මුල්ලෙවෛක්කාල් ඛේදවාචකයක් !
'ජයග්‍රහනය' අං තට්ටුවක් !
'නැත්තටම නැති කරපු' , 2009න් පස්සේ මිහි පිට නැති සංවිධානයක්, යළි යළිත්,මේ දැනුත් තහනම් කෙරෙන්නේ ඇයි? (ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ බොහෝ රටවල්වල එල්ටීටීඊය තවමත් තහනම්. ගිය සතියේ ඉන්දියානු මහ ආණ්ඩුවත් තව අවුරුදු පහකින් එල්.ටී.ටී. ඊ. තහනම දිගු කරන්න තීරණය කළා)
'ජයග්රහනයක්' ගැන පාංපෝරි ගහන මුඛරීන්ට සිය සිහි බුද්ධිය ආපහු ලබාගන්න ඇත්තටම ඕන නම්, කල්පනා කරන්න හොඳ කමටහනක් ඔන්න !
මේ 'තහනම්' සීන් එක ලෝකයා විසින් ලංකාවේ 'අහිංසක' සිංහලයා අන්දවන්න ගහන ගේමක් කියලත් හිතන අමනපාලල, අමනවතීලා ඉන්නවා. ඒගොල්ලන්ට අනූව මේ තහනමත් ගේම්; ඉවත් කිරීමත් ගේම්. දෙකෙන් කොයි එක කළත් මේ යක්කු කියන්නේ 'අන්න ලංකාවට කෙලෝන කුමන්ත්‍රණ' කියලා. (එගොල්ලා හරි ආසයි ඔය 'කුමන්ත්‍රණ' කතා රසවිඳින්න!)
ලෝකයා එහෙම කරද්දී 'අන්දන කුමන්ත්‍රණ' හඳුනාගන්නා මේ ජහමනයා ලංකාවෙන් ම එහෙම කරද්දී ඇඳගන්නේ සීතාම්බර පට රෙද්දවල් ! ඒ නිසා හිතා ඉන්නේ කාටවත් පේන හෙලුවක් නැති බවක් !
අදින් අවුරුදු පහළොවකට කලින්, අද වගේ දවසක, එදා ජන+අධිපතියා වූ පළමුවෙනි රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ (පස්සේ ඔහුගේ සහපිරිවර සේනාවට අනූව 'නාකි මයිනා') ගුවනින් බිමට වැඩම කර, ''අනේ මගේ පිංබර ගොං පොළොව' කියා, පොළොව මත උම්මාවක් දුන්නේ මේ සෙට් එකේ හෙල ජාන ලොම් කෙලින් කරමින් ! අර සීතාම්බර පට රෙද්දේ කේස් එක නිසා ඒ ඇන්දිලි පේන්නේ නැති ජාත්යන්ධ කමක් මේ ඇත්තන්ට තියෙනව.
එයාලගේ මේ ඇන්දිල්ල ලොකුවට මහන්සි වෙලා කරන්න තියෙන වැඩක් නෙවෙයි. රෙද්ද පෙන්නන පරක්කුව විතරයි; පැනලා ඇඳගන්න කට්ටිය පෝලිම් පැන ගෙන එන්නේ !
මේ සෙට් එකෙත් ලොකු සෙට් එක සිංහල ජහමනයා තමයි; තමන්ගේ ජනසමූහය ඇතුලේ තැනක් දිනාගන්න බාධා වුණ, ඒ වෙනුවෙන් තනිව හෝ සාමුහිකව ෆයිට්එකක් දෙන්න තරමට කොන්දක් නැති සිංහල නොවන පිරිසුත් මෙතැන නැතිව නෙවෙයි. ඒ අය ගේ ට්‍රයි එක අර ලොකු සෙට් එකට සෙට් වීමෙන් තමන්ගේ පොඩි එක ලොකු වගේ පෙන්නගන්න පුළුවන් කියන එක. ඔය අතරවාරයේ දී තමන් ගේ ලොකුකම ගැන නිරන්තර සැකෙන් බයෙන් ඉන්න ලොකු ජාතියේ පොරවල් විසිහතර පැයේ ම කල්පනා කරමින් ඉන්නේ ඇත්තටම තමන් ව 'ලොකුවට' පෙන්නා ගන්නේ කොහොමද කියන එක !
ඔන්න ඔතැනට තමයි රාජපක්ෂවරු අමතන්නේ. මේක බණ්ඩාරනායක වර්ෂන් එකේ අප්ඩේටඩ් එක ! (බණ්ඩාරනායක කියන්නෙත් සේනානායක-කොතලාවල වර්ෂන්වල අප්ඩේට් එකක්)
මේ කියන 'යුද ජයග්‍රහනයේ' පාම්පෝරිකාර තඩි බේගලය පාදම කර ගෙන 'රාජපක්ෂ සිස්ටම්' එක නිර්මානය වෙන්නේ ඔන්න ඔතැන.
රාජ්‍ය යන්ත්‍රය සිං-බෞ. පදනමින් ප්‍රතිනිර්මාණය කිරීම තමයි රාජපක්ෂ සිස්ටම් එක.
ඒකේ උච්චස්ථානය වුණේ කිසිදා දේශපාලනඥයෙක් නොවුණ, ඒත් අර උත්කර්ෂවත් මුල්ලේවෛක්කාල් සංහාරක වීර ප්‍රතිරූපකයා වුණ ගෝටාබය උස්සන් ඇවිත් ජනාධිපති පුටුවේ ඉන්දවන එක.
ඒ නාටකය අවසන් වෙන්නේ එහෙම උස්සන් ආපු ජහමනය ම 'ඉලල්වේ හිට්ලර්-ලැබුණේ චැප්ලින්' වර්ගයේ මනස්ථාපයකින් ගෝටා ගේ සනුහරේ ම උස්සා පොළොවේ ගසන්නට සිංහ කොඩිත් උස්සන් මාළිගාව වටලෑමේ සන්දර්ශනයකින් ! ඒ සන්දර්ශනය වෙද්දී ගොඩනගන්න ගිය සිං-බෞ. තව්තිසා රාජධානිය, ලෝකයේ නොම්මර එකේ බංකොලොත් රටක් බවට සංවර්ධනය කරගන්න පුළුවන් වුණා !
(ඒ තත්වය ණය ගැනීමෙන් සහ සොරකමෙන් නැත්නම් ධනවාදයෙන් වුණා වගේ පෙන්වමින් වර්ගතාන්ත්‍රික රාජ්‍යය එසේ ම පවත්වාගැනීමේ වෑයමකුත් ප්‍රගිතිශීලි-වාම ව්‍යාපෘතිවල වෙස්මුහුණු පෙන්වීමක්; ප්‍රථිපලයන්, හේතූන් හැටියට පෙන්වීමක්)
ඉතින් මුල්ලේවෛක්කාල් කියන්නේ නිදහස්, අභිමානවත් ජීවිතයකට තමන්ට ඇති අයිතිය වෙනුවෙන් නැගී හිටපු වීර-උදාර මනුස්ස පරපුරක සමූල සංහාරයක ඛේදවාචකය විතරක් නෙවෙයි. බංකොලොත් රටක් දක්වා ආපු ගමන දක්වා දකුණටත් ඛේදවාචකයක්. දකුණ විසින් නම් ඒක ඉල්ලන් කෑමක් !
රාජ්‍යයෙන් පිටමං කිරීම එක එක විදියට කරන්න පුළුවන්. මරා දාන්න පුළුවන්. පහර දීල, දේපොළ වනසල, එලවල දාන්න පුළුවන්. උසාවි දාල පිටුවහල් කරන්න පුළුවන්. දුප්පත්කම නිසා, ඉන්න ඕන අවම පහසුකම්වත් නොලැබීම නිසා, තමන් ට තමන් හැටියට ඉන්න බැරි වීම නිසා පිටමං වෙන්න බලකරන්න පුළුවන්. මේ හැම හේතුවක් ම වගේ යොදා ගෙන දැනුවත් ව යම් සමාජ කණ්ඩායමක් ඉලක්ක කරල පිටමං කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවනම් ඒක හඳුන්වන්න වෙන්නේ ජන සංහාරයකට (massacare) වඩා ජනවර්ග සංහාරයක් (genoside) හැටියට.
අවාසනාවට ලංකා රාජ්‍යය සකස් කෙරිල ම තියෙන්නේ සිං-බෞ. නොවන ජනයා මේ විදියට පිටමං කෙරෙන විදියට.
මුල්ලේවෛක්කාල් කියන්නේ ඒක සන්ධිස්ථානයක්.
ඒ මතකය පවා තහනම් කරන්න පුළුවන් රාජ්‍යයක් කියන්නේ මේ කතාවට ජීවමාන සාක්කි.
බෝම්බ, ෂෙල්, වෙඩි මැද, බේත් හේත් , ප්‍රතිකාර පහසුකම් අහිමි කරවපු තුවාල- ලෙඩ ඇති කරවපු පරිසරයක, කන්න බොන්න දේ පවා අහිමි කරවපු තත්වයකදී, ඉතිරිවුණ හාල් ටිකට වතුර දාල හදාගත්ත මුල්ලෙවෛක්කාල් කංජි (කැඳ) කෝප්පය ජීවිතය ගැන අන්තිම සංකේතය වුණ පරිසරයක, අවුරුදු පහළොවකට පස්සෙත් ඒ කැඳ කෝප්පය එක්ක බැඳුනු මතකය පාගා දාන්න වැඩ කරන රාජ්‍යයක් කියන්නේ මේ කතාවට ජීවමාන සාක්කි.
ඛේදවාචක ගැන මතකය කිසිදා අපිව සුවපත් කරන්නේ නෑ. ඛේදවාචක, 'ජයග්‍රහණ' හැටියට අයිසින් කරන සමාජයක් නැවත නැවතත් ඛේදවාචක නිර්මාණය කිරීම නවත්වන්නත් බෑ.
මහා ජනසම්මත රාජපක්ෂ සිස්ටම් එකෙන් නැට්ටටම කෙල වුණ රටක් දැන් ආපසු අනෙක් පැත්තට ගමන් අරඹමින් තියෙනවා අපට දැකගන්න පුළුවන්. වලක වැටීම මොළේට යහපතක් කියන්නේ ඒ වගේ තත්වයක් වෙන්න ඕන.
ඒත් මුළුමහත් රාජ්‍ය යන්ත්‍රය තාමත් තියෙන්නේ වර්ගතාන්ත්‍රික (ethno-cratic state) තත්වයක.
පොලීසියට උපදෙස් දුන්නාම අනුස්මරණ අයිතියට බාධා කරන්න දෙන්න එපා කියලා, පොලිස් නිලධාරීන් ඒක ක්‍රියාත්මක කරන්නේ 'මහජනයා කුපිත කරවන දේවල් කරන්නේ නැතිව ඉක්මනින් මෙතැනින් පිටත් වෙනවා. අපට බෑ ගොඩක් වෙලා මේවා ආරක්ෂා කරන් ඉන්න" කියමින්. මම සම්බන්ධ වුණ කොළඹ වෙරළ තිරයක අනුස්මරණයකදී වර්ගවාදී කඩාකල්පල්කාරීන් ඉවත් කරන්න වගේ ම අනූස්මරණයට සහභාගී වෙන්න ගිය කීපදෙනෙකුටමත් පොලිස් නිලධාරීන් විසින් බාධා කෙරුනා. "මම යන්නේ බීච් එකට. ඇයි මට බීච් එකට යන්න බැරි?" එහෙම බාධා වුණ අයෙක් අහද්දී, එතැන කණ්ඩායම බාර ව හිටපු පොලිස් ලොක්කා ම ඉස්සරහට පැනලා "මොකටද මේ මල් අරන් යන්නේ" කියමින් මල් බෑගය උදුරා ගෙන ඔහුව බලහත්කාරයෙන් එතැනින් ඉවත් කරන්න නියෝග කළා.
පොලීසියට ලැබුණ නියෝගයේ 'මල් රැගෙන වෙරළට යන්නන්ට බාධා කරන්නැ'යි කොටසක් තිබුණෙ නැති බව සහතිකයි. එතකොට ඒ කෑල්ල කොහෙන්ද ? ඒක තමයි ආණ්ඩුවටත් උඩින් තියෙන වර්ගතාන්ත්‍රික රාජ්‍යය. පුද්ගලිකව වර්ගවාදියෙක් වෙන විකෘතිකයෙකුට රාජ්‍යතාන්ත්‍රික බලයක් ලැබෙන්නෙ එහෙමයි.
මුල්ලේවෛක්කාල් ඛේදවාචකය අමතක කරන්න බැරි ම වෙන්නේ ඒක තාමත් මේ විදියට ඛේදවාචක යළි යළිත් නිෂ්පාදනය කරන නිසා.
'ජයග්‍රහණය' ඇන්දවීමක් වෙන්නේ ඒ ඛේදවාචකත්, ඒ මගින් ඇත්ත හේතු තවදුරටත් වසන් කරමින් යන ගමන නිසා.
ඒ ගමන තවදුරටත් වක්කලං ගහන්නේ ඛේදවාචක දිහාවටම බව අමතක නොකරමු.
Sunday, May 19, 2024
මුල්ලෙවෛක්කාල්-නොදුුටු තාක් කල්...
Subscribe to:
Posts (Atom)