Saturday, August 31, 2024

අන්ස්මාර්ට් අවකාශයක අතරමං කාලයකට පසු...


 මේ කාලවකවානුවේ ස්මාර්ට් ෆෝන් එකකට කෙල වී යාම වූ කලී ජීවිතයෙන් තුන්කාලකට ම කෙල වී යාමකි;සමහරවිට ඒ කෙලවරත් පන්නන්නකි.


ඉතින් මටත් පහුගිය ටිකේ වුණේ ඔය සන්තෑසිය ම ය !

සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ටිකේ දො⁣රටු විවර කරගන්නට නොහැකි වූයෙන් සම්බන්ධතා වැඩි ම හරියත් ⁣බ්ලොක් ය ! ඒවායේ කියවෙන සහ නොකියවෙන දේ ඇසුරෙන් එක එකා ගේ-එකී ගේ අප්ඩේට් ඔක්කොම මිසින් ය ! උන් ඒවායේ වැඩි හරියක් පෙන්වන්නේ බොරුවක් බව ඇත්ත ය. ඒත් 'ඇත්ත හමුවීම්' යයි කියන ලයිව් මුණගැසීමුත් ඒ කියන තරම් ඇත්ත නොවන බවත් ඒ තරමට ම ඇත්තකි.

ඉතින් මම ආයෙමත් සයිබර් අවකාශයට ඇතුලු වන මේ වෙලාව වෙද්දී කවදාවත් හොයාගන්නට බැරි විදියේ හේතු අටෝරාසියක් එක්ක ඡන්මාන්තර වෛරක්කාරයන් පිරිසක් මේකේ ෆ්‍රෙන්ඩ්ස් කියන ලැයිස්තුවේ උන් අතර මතුව-පැතිර-විසිර තිබුණොත්  ඒ ගැනත් කරන්නට කිසිඳු ඉටිගෙඩියක් ඉතිරි නොවනු ඇත.

සයිබර අඹරේ චිත්‍රපටයක් බලන්නටවත්, කයිවාරුවකට ඇහුම්කන් දෙන්නටවත් මට අවකාශයක් නො වී ය. මගේ ඩේටා මූලාශ්‍රය ද මේ ස්මාර්ට් ෆෝනය ම වූ බැවිනි. ඒ බැවින් ඒවා මුල් කොට ගත් කතාබහට ද බැරිකේඩ හරහට විය.

අප්‍රසන්න එලාර්ම් නාදය මිසින්ග් වීම හේතුවෙන් ජීවිතය කොයි තරම් අප්‍රසන්න අත්දැකීම් කරා පොළා පනීදැයි පසක් කරගන්න ට ලැබුණේ මේ කාලයේ ය.

බැංකු කටයුතු අතින් එකපාරට ම අසූ ගණන්වල අවාසනාවන්ත ජීවියකු බවට මම රූපාන්තරණය වී සිටියෙමි. එබැවින් ඒවා බොහෝමයක් ස්කිපින් වී ගොසිනි.

ජීවිතය ගම්-රටවල සීමාවන් පන්නා කොයි තරම් සුවිසල් පුළුල් වීමකට ගොස් ඇත්දැයි පසක් කරවන්නට ස්මාර්ට් ෆෝනයක් නොමැති අවකාශය අසීරු පාඩමක් මට කියාදෙමින් සිටියේ ය.

මේ අතර හැත්තෑහතර අවුරුද්දක් තිස්සේ ⁣කෙරිච්ච ඉටිගෙඩියක් නැතැයි කියමින්, ඒ අහවල් 'ඉටිගෙඩිය' ඉටු කරලීමේ පාරමී මහාමේරු තරමින් දෙසා බාන හිස් මිතුරු-මිතුරියෝ බොහෝ දෙනා මට ලයිව් ද  මුණගැසුනි. උන් ද සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්වල නොයෙක් වෙස්මූණු දරා ගෙන රඟපාමින් සිටිති.  ස්මාර්ට් ටෙක්නොලොජියෙන් මෙහා ලෝකය කොයි තරම් පටුදැයි උනුත් නොදන්නා පාඩමක් උන් විසින් කියා දෙමින් සිටියහ.
"උඹ නැති වුණා ම අපට අපිවත් නැති වුණා වගේ" යයි කියමින් මේ අතර තවත් මිතුරු-මිතුරියෝ පිරිසක් පුනරාගමනයක් උදෙසා මට මාවත් තනමින්, දොරටු විවර කරමින්, ව්‍යාපෘති දියත් කළහ.
මගේ අතට යළි ස්මාර්ට් ෆෝනයක් ලැබින !
උන් කාටත් ස්තූති ය !

ඒත්, දිගු කලක් මිසින් වී තිබූ සයිබරයට පය ගහන්නට  මා තුළ වැඩී තිබූ දාර කම්මැලිකමක් තවත් මාසයක් විතර යන තුරු මැඩගන්නට පහසු නො වී ය.

ඒ කම්මැලිකමේ විද්‍යාව වෙන ම ම කතාවකට සුදුස්සක් යයි සිතමි.

ඉතින් , මට හුරු පුරුදු විදියේ හෙමින් ගමනින්, දැන් යළිත් මම සයිබරයේ සක්මන් කරන්නට පටන් ගෙන සිටිමි.