Saturday, September 14, 2024

කොටියෙකු ට සිංහයකු ගේ දඩයම ප්‍රශ්න කළ හැකි ද ?

 








මේ තියෙන පින්තූර 88-89 කාලේ පත්‍රිකාවක්. ඒක කියවගන්න අමාරු, ඒත් ඕනකමක් තියෙන අයට අකුරු ටික විතරක් මුල් ම කමෙන්ටුවේ.

(ෂෙයාර් කරනවනම් මේ දෙකතුනම අමතක කරන්න එපා)
අප්‍රේල් 5;ඒක හරි වැදගත් දිනයක් නේ. 71 කැරැල්ල පටන් ගත් දවස. මේ කාලවකවානුවේ මොකක් හරි හේතුවක් නිසා එදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් හර්තාල් ප්‍රකාශයට පත් කරපු දවසක්. සාමාන්‍යයෙන් වාමාංශික අපි දන්න 'හර්තාල්' පාරට බැහැල කරන ක්‍රියාකාරකම් වුණාට මේ කියන වර්ගයේ ඒවලදි එළියට බහින්න තහනම්.
එදා අනුරාධපුර - කුරුණෑගල පාරේ තරුණ බඩදරු අම්මා කෙනෙක් අර ගෙන ඉස්පිරිතාලෙට දුවපු ඇම්බියුලන්ස් එකට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් වෙඩි තියලා අම්මත් එක්ක නූපන් දරුවත් මරාදමනවා. ඒ ප්‍රහාරයෙන් කම්පාවට පත්වෙච්ච අම්මා කෙනෙක් අතින් විජේවිර නෝනාට ලියවෙන පත්‍රිකාවක් මේ.
එදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය(DJV)  මෙහෙයවූයේ අද ජාතික ජනතා ව්‍යාපාරය(NPP) මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණමයි. එහි තවත් ප්‍රධාන කොටසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වෙන ම ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

මේ දූපත ඇතුලේ තිබුණ රාජධානි සහ ජනපද රැසක්, එක රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත ප්‍රොජෙක්ට් එකක් හැටියට. ඒ රාජ්‍යය ඇතුලේ සමාන පුරවැසියෝ හැටියට තමන්ට පවතින්න ඕන ඉඩකඩ වෙනුවෙන් සිංහල සහ බෞද්ධ නොවන අයගේ ඕනෑඑපාකම් යටපත් කරල දාලා සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් හැටියටයි මේක ගොඩනගන්නේ. 1972 ව්‍යවස්ථාව වගේ එකකින් මේ තත්වය තහවුරු කෙරුනා. 1978 ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනයෙන් පීඩිත ජාතීන්ගේ දේශපාලන අයිතීන් අවසාන වශයෙන් ම නීත්‍යානුකූල සහ සාමකාමී ඉසව්වෙන් එළියට තල්ලු කරල දැම්මා.
1983 දී තමිල් විරෝධී සිවිල් සංහාරක ප්‍රහාර මාලාව විසින් දකුණ ගැන තමිල් සමාජයට තිබුණු අන්තිම විශ්වාසයත් අහෝසි කෙරුනා. අනිත් හැම වතාවෙමත් මේ වගේ මහජාතිකවාදී ප්‍රහාරයන්වලට රාජ්‍ය අනුග්‍රහය නියමින්-අනියමින් ලැබුණත් 83 තරම් ඒක තීව්‍ර වෙච්ච වෙනත් අවස්ථාවක් නැති තරම්. ඡන්ද නාමලේඛණ පදනම් කර ගෙන එල්ල කරපු ප්‍රහාරයන්, හිරගෙවල් වගේ රාජ්‍ය ආයතන ඇතුලේ ක්‍රියාත්මක කරපු ප්‍රහාරයන්, ලංගම බස් යොදාගැනීම් විතරක් නෙවෙයි එළිපිට ම ඒ වෙනුවෙන් ඇමතිවරුන් දෙදෙනෙකු විතර පෙනීහිටියා; ජනාධිපතිවරයා ඒ සියල්ල ඉවසමින් ඉඩ හදල දෙමින් හිටියා.
සාමකාමී, නීත්‍යානුකූල උද්ඝෝෂණයකට තිබුණ ඉඩකඩ සම්පූර්ණයෙන් ම අකුලා දැමීම ඇතුලේ තම්ල් ජාතික විමුක්ති ව්‍යාපාරය සන්නද්ධව සහ දේශපාලනිකව ශක්තිමත් වෙමින් ඉන්දියානු මහාආණ්ඩුවට පවා බලපෑම් කරන තත්වයකට ගොඩ නැගුනා. අනිත් අතින් ඉන්දියානු හා සෝවියට් පාලනයන්ට ලංකාව තුළ චීන සහ ඇමරිකානු බලපෑම් පාලනය කරගන්න ප්‍රතිරෝධක බලයක් හැටියට තමිල් විමුක්ති ව්‍යාපාරයේ වැදගත්කම ඔවුන් තේරුම් අරන් හිටිය කියල මට හිතෙනවා.
1987 ඉන්දු-ලංකා ගිවිසුම එන්නේ මේ පසුබිමෙන්. වෙන ම රාජ්‍යයක් වෙනුවට බලය බෙදාගැනීමේ පළාත් සභා ක්‍රමයක් ඒ මගින් යෝජනා කළා. ලංකාවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනත මේ අනූව සම්මත කරගත්තේ ආණ්ඩුව ඇතුලේ ම අන්ත ජාතිවාදීන්ගේ විරෝධතා මැද්දේ.
මේ අතරවාරයේ 83 සිද්ධීන් පදනම් කර ගෙන පක්ෂ තුනක් ආණ්ඩුව විසින් තහනම් කරනවා. ඉන් නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂයත් එක්ක එළියට ඇවිත්, අළුත බිහි වූ ශක්තිමත් වාම බලවේගයක් වුණ ශ්‍රීලංකා මහජන පක්ෂයත්, පැරණිතම වමේ පක්ෂය වුණ ලසසපත් එකතු කරන්, තමිල් විමුක්ති සංවිධාන වුණ EPRLF, PLOTE, EROS  වගේ සංවිධානත් හවුල් කරගනිමින් එක්සත් සමාජවාදී පෙරමුණ බිහි කරගන්නවා. මේ වාම සන්ධානය ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පළාත් සභා ස්ථාපිත කරන්නට දිවි පරදුවට තබා සහයෝගය ලබා දෙනවා. තහනමට ලක් වු ජවිපෙ ගමන් කරන්නේ අනිත් පැත්තට. ඔවුන් ආණ්ඩුව ඇතුලෙත්, ඉන් පිටතත් සිංහල ස්වෝත්තමවාදී පිරිස් සංවිධානය කර ගෙන 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය'  නම් සන්නද්ධ දේශපාලන ව්‍යාපාරය ගොඩ නගා මෙහෙයවනවා. දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනි හිටින, ජාතිවාදයට විරුද්ධ සියළු දෙනා 'මව්බිමේ සතුරන්' හැටියට නම් කොට පහර දීමට සහ මරාදැමීමට පටන් ගන්නවා.
මතක හැටියට මේක පටන් ගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායක දයා පතිරණ  සහ එහි ස්වාධින ශිෂ්‍ය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙක් වූ සෝමසිරි පුංචිරාල කපා කොටා දැමීමෙන්. ගෙල සිඳ ලූ දයා පතිරණ ඒ ප්‍රහාරයෙන් ජීවිතය පුද කරනවා. මේ ප්‍රහාරයන් ජාතික සමානත්මතාවය, සමඟිය, එක්සත්කම වෙනුවෙන් පෙනි සිටි වාමාංශික ක්‍රියාධරයන්, සමාජ ක්‍රියාධරයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු දහස් ගණනක් බිලි ගනිමින් ඉදිරියට ඇදෙනවා. ආණ්ඩු පක්ෂය වු යූඑන්පියේ ක්‍රියාධරයන්ටත්, රාජ්‍ය නිලධාරීන්ටත්, රජයේ වැඩසටහන්වලට මොන පදනමින් හෝ සම්බන්ධ වූ අයටත්, පොදුවේ දේ.ජ.ව්‍යා. නියෝග ⁣මොන යම් පදනමින් හෝ ⁣නොතකා හැරිීයයි චූදිත හැමෝටමත් එරෙහි ව එහි දණ්ඩක හස්තය ක්‍රියාත්මක වෙනවා.
දැන් අපේ කතාව පටන් ගත් තැන ඇම්බියුලන්ස් එකකට ඒ ප්‍රහාරය එල්ල කෙරුනේ දරුවා වදන්නට දේ.ජ.ව්‍යා. විසින් තහනම් කළ දවසක් යොදාගැනීමේ වරදට දඬුවම් හැටියට !

මේ ත්‍රස්තවාදය සුජාත කෙරෙනුයේ, ඒ වෙද්දී සන්නද්ධ තමිල් ජාතික විමුක්ති ව්‍යාපාරයේ 'ත්‍රස්තවාදයකින්' රට ගලවා ගැනීමේ පදනමකින් !
මේ කාලයේ සිදු වූ මේ විනාශයන්, ඝාතනයන්, ඛේදවාචකයන් සාධාරණිය කරන්නට ආණ්ඩුව පැත්තෙන් යොදා ගත් රාජ්‍ය ප්‍රතිත්‍රස්තවාදයත් නිදසුන් කොට පෙන්වීමක් තියෙනවා.
තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ 'අත-පය බැඳ ළිඳ ට දැමූ මිනිසා' නිදසුන ! එහෙම වෙලාවක ළි⁣ඳේ වතුර බොර කළ බවට ඒ මිනිසාට දොස් කියන්න බෑ.

ඇත්ත. ඒත් ජවිපෙ හිටියේ එහෙම තත්වයක ද ?
83 දී තහනමට සහ මර්දනයට ලක් කෙරුන පක්ෂ තුනෙන් දෙකක් එක මාවතකත්, ජවිපෙ විතරක් මේ මාවත තෝරාගැනීමත් කරමින් ප්‍රචණ්ඩ පීඩක සිං-බෞ. රාජ්‍යය වෙනුවෙන්, එහි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී හිටියා විතරක් නෙවෙයි; ඒ වෙනුවෙන් තමන් එක්ක ම තහනම ට ලක් වුණ සහෝදර පක්ෂ පවා තමන් ගේ දඩයම් ලැයිස්තුවට ගත්තා. ඉතින් ළිදට දාපු මිනිහ වෙන්නේ ජවිපෙන් තර්ජිත අය මිස වෙන කවුරුවත් වෙන්නේ නැහැ.
ජවිපෙ විසින් දියත් කරපු ත්‍රස්තවාදය, එල්ටීටීඊය ඇතුළු තමිල් විමුක්ති සංවිධාන විසින් දියත් කරපු 'ත්‍රස්තවාදය' එක්ක හරි හරියට සමාන ද ?
'බල්ලයි, හාවයි, නරියයි, අලියයි ඔක්කොම එකමයි; කකුල හතරයි' කීව වගෙ කතාවක් ඒක !
මතුපිට ලක්ෂණ වෙනුවට ගැඹුරින් බැලුවොත් සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යය හැදෙන්නෙම සිං-බෞ. නො වන අසල්වැසි, සහෝදර ප්‍රජාවන් දෙවෙනි, තුන්වෙනි තැනට දාලා. ගැඹුරින් බැලුවොත් එතැන තියෙනවා ජීවිත පවා උදුරගන්න තත්වයන්. ඒක ත්‍රස්තවාදයක්.
ඒ පීඩක රාජ්‍යය, අපි කාටත් සමාන හා ගෞරවණිය පුරවැසියන් විදියට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන් විදියේ රාජ්‍යයක් බවට පත් කරගන්නට මිලිමීටරයකින්වත් ඉස්සරහට තල්ලු කිරිමත්, ඒක බාධා කරලා පස්සට ඇදිල්ලයි එකක් නෙවෙයි දෙකක්.

ජවිපෙ හී, භීෂණ දායකත්වය ගැන චෝදනාවෙන් තවමත් ඔවුන් නිදහස් වෙන්නේ නැත්තේ තාමත් ඔවුන් මේ වර්ගතාන්ත්‍රික රාජ්‍යය වෙනුවෙන් තදින් ම පෙනී හිටින නිසයි. මේ ගැන සැකයක් තියේනම් යාපනේ දී දකුණ දිහා බලා ගෙන අනුර කියන කතාව එයාගේ හඬින් ම අහල බලන්න.

මොන තත්වයක් යටතෙත් ජීවිත උදුරාගැනීම, යටපත් කිරීම, පිඩාවට පත් කිරීම සුන්දර දෙයක් නෙවෙයි. එහෙම කරන්න වෙන තත්වයක දී එහෙම නොවෙන අන්තිම විකල්පයත් හොයාබලන්න අපට සිදු වෙනවා.
ඒත් මේ රාජ්‍යය එහෙම එකක් නෙවෙයි.

72න් පස්සේ ඒ ප්‍රචණ්ඩ පීඩක රාජ්‍යය ඔසවා තියන්න ගත්ත ලොකු ම පියවර වුණේ ගෝඨාභය ගේ ප්‍රකාශිත ජයග්‍රහණය.
ඒ ගමන කෙලවර වෙන්නත් ඉස්සෙල්ල ලංකාව ම බංකොලොත් රාජ්‍යයක් වුණා.ඒක මේ සීමිත පිරිසකගේ හොරකම්, වංචා, දූෂණ වගේ සිල්ලර වැඩකිඩ වලින් වෙච්ච දෙයක් කියන්නේ හිනා නොයන විහිළුවක් !
සිං-බෞ. නොවන අනෙකා එක්ක සමාන හා ගෞරවනීය එක්සත් රාජ්‍යයක් හදාගැනීමේ පාරේ දී මිසක සංවර්ධනයටත්, ශිෂ්ටත්වයටත් වෙන පාරක් නෑ.
මේ දෙකින් එකක් තෝරගන්න පුළුවන්. එක්කෝ ඒක; නැත්නම් මේක !
ජවිපෙ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න මට තහනම් කරන සමහරු ඒකට හේතු දෙකක් ඉදිරිපත් කරනවා. ඉන් එකක්, මම විමුක්ති කොටි හිතවාදියෙක් හැටියට එහි ඝාතන සාධාරණීකරණය කරනවා කියන එක. මේක ඇත්තක් නොවුණත් ඒ ගැන පදනම මෙතැන දක්වා තිබෙන තරම ප්‍රමාණවත් ඇති. දෙවෙනි චෝදනාව තමයි මම රනිල් වික්‍රමසිංහ මේ  මොහොතේ මගේ දේශපාලන නියෝජිතයා හැටියට තෝරාගෙන තිබීමෙන් එයා සම්බන්ධයි කියන දකුණේ සහ උතුරේ ඝාතන හා වධහිංසා ගැනත් පක්ෂපාතී වෙලා තියෙනවා කියන එක. මේකත් පට්ට ම බොරුවක්.
මට සාධාරණිකරණය කරන්න සිදු වුණ ඝාතනයන් තියෙනවා. ඒ හැම වෙලාවකමත් ඊට වඩා වෙනස් ඕනෑ ම පියවරක් වෙනුවෙන් මම පෙනි හිටිනවා. කිසිසේත් ම අර තෝරාගැනීම් සුන්දර නැහැ. වධහිංසා ගැනනම් කොන්දේසි විරහිත විපාක්ෂිකත්වයක් මට තියෙන්නේ.
දැන් රනිල් ට එල්ල වෙලා තියෙන චෝදනා අතර බටලන්ද වධකාගාරය මෙහෙයවීම ගැන ලොකු චෝදනාවක් තියෙනවා. ඒ ඒ අය හිතේ හැටියට මේ චෝදනාව ඩිසයින් කරනව මම දැකල තියෙනවා. එකක් මේ ගැන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මගින් විමර්ශන කොමිෂන් සභාවක් පිහිටවලා කැඳවීමක් කළා ම රනිල් ඒකට සම්පූර්ණ සහයෝගය දීලා ඒ පරීක්ෂණයට යටත් වුණා. එහෙම චෝදනාවක් ඔප්පු වුණේනම් නෑ. දෙවැන්න ඒ කාලේ අතුරුදන් කිරිම්, වධහිංසාවට ලක්කිරීම් ගැන එක ම නඩුවකදිවත් රනිල් චූදිතයෙක් කරන්න මේ චෝදකයන්ට අමතක වෙලා තියෙන හැඩයි. ඉතින් මේකත් නිකම් 'මහබැංකු හොරා' වගේ හිතළු සහ ආශාවන් මත පදනම් වුණ ප්‍රවාදයක්. ටික කලක් යනකොට මේ වගේ බොරු ඇත්ත හැටියට ගැනෙන අවස්ථා කෝටි ගණන් හොයාගතෑකි.
ඒ ඔක්කොමත් තියෙද්දී අද හරි තියෙනවනම් රනිල් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුත්තෙක් කියලා ,මගේ අදහස අද පවා ඒ පරීක්ෂණයට ඉඩ තිබිය යුතුයි.  එහෙම ඉඩ ඇති නීතිමය පදනමක් අමාරුවෙන් නමුත් දැන් හැදී ගෙන යනවා.
වැදගත් ම දේ ඒක නෙවෙයි.
චඇයි බටලන්ද විශේෂ වෙන්නේ ? සපුගස්කන්දේ, බටලන්ද ප්‍රභූ නිලනිවාස පිහිටුවල තිබුණේ බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයත්, ඊට සම්බන්ධ හමුදා කඳවුරත් එක්ක. හමුදාව සහ අතුරු හමුදා ඛාණ්ඩ සම්බන්ධ හැම කඳවුරක් ම පාහේ වධකාගාර හැටියටත් ක්‍රියාත්මක වුණා. විශාලතම සමූහඝාතනයන් සම්බන්ධයෙන් මේජර් ගෝඨාභය නායකත්වය දැරූ මාතලේ කප් ගහල තියෙනවා. මාතර එළියකන්ද කඳවුරේ රැඳවියෙකු වූ අජිත් පැරකුම් එහි අත්දැකීම් ලියා තියෙනවා. උතුරට අරුමයක් නොවුණ මේ වධකාගාර සහ නීතියෙන් බැහැර රැඳවුම් මධ්‍යස්ථාන කුට්ටමනී ගේ අනාවැකි සනාථ කරමින් රට පුරා ම විහිදිල තිබුණා. මේවා උතුරට එරෙහි ව ජවිපෙ සහභාගිත්වයෙන් හා මෙහෙයවීමෙන් ද ක්‍රියාත්මක වුණා.
ඒ මුළු ප්‍රශ්නය, රාජ්‍ය ත්‍රස්තවාදය ගැනත්, වර්ගපීඩක රාජ්‍යයේ සාපරාධීත්වය ගැනත් ගැඹුරු ප්‍රශ්නයෙන් ගලවලා, 'බටලන්ද වධකාගාරය' කියල තනි ලඝු ප්‍රශ්නයකට ගෙන එන එක ඇත්තටම වධකාගාර පැවැත්ම තහවුරු කිරීමේ කුහක හා බිහිසුනු උත්සාහයක් නෙවෙයි ද ?
ඒ නිසයි මට වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නය ඒකේ ලොකු තේරුමෙන් ම ගන්න එක.

වර්ගතාන්ත්‍රික නොවෙන එක්සත්, අළුත් ලංකාවක් වෙනුවෙන් 100%ක් පිරිසිදු කිසි ම බලවේගයක් මේ වෙද්දි දකුණේ නෑ. තමිල් ජාතිය පවා ඉන්නේ දුර්වල තත්වයක. භූදේශපාලනික යථාර්ථයන් ගත්තොත් යම් ආකාරයක ඉදිරියට තල්ලු කිරීමක් ඉන්දියාව පැත්තෙන් වෙද්දී චීනය පැත්තෙන් පස්සට ඇදීමක් තියෙනවා. යුරෝපයේ, එක්සත් ජනපද හා උතුරු කළාපවල, යුරෝපයේ සහ ඕෂනියානු කළාපවල පුරවැසි බලපෑම එක්ක බලබෙදීමක් සහිත නිදහස් වෙළඳපොළ තත්වයකට තල්ලු කිරීමක් වෙනවා.

රනිල් වික්‍රමසිංහ නිර්ව්‍යාජ ලෙස ම පෙනී හිටින්නේ නිදහස් වෙළඳපොළ සිස්ටම් එකක් වෙනුවෙන්. ජාතික ප්‍රශ්නය විසඳන්න වෙන්නේ එහෙම තත්වයක් යටතේ ධනවාදයේ සංවර්ධනයත් එක්ක. මේ වෙද්දිමත් උතුරේ මිලිටරි ග්‍රහණය යටතේ තිබුණ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමෙන්, සිවිල් පරිපාලනය ප්‍රතිස්ථාපනයට සුළු නමුත් ඉදිරි පියවර ගනිමින්, 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නට සපථ කරමින්, බෞද්ධ වැඩවසම් බලකොටු සංචාරක ඇතුලු වෙළඳපොළ ආකර්ශණිය මධ්‍යස්ථාන බවට පෙරලමින්, ආදායම් මූලාශ්‍ර ප්‍රසිද්ධ හා විවෘත කිරීමට පසුබිම් සකසමින් දැනටත් පටන් ගෙන ඇත්තේ ඒ ගමනයි.

අපි සාකච්ඡාව පටන් ගත් අශිෂ්ටත්වයේ, ප්‍රචණ්ඩත්වයේ නිදසුන් ඇත්තටම පරාජය කරන්න පුළුවන් මාවත වැටී ඇත්තේ ඒ හරහා බවයි මගේ අදහස. ඒකට මට රනිල් පාර්ශ්වය තුළමත් අභ්‍යන්තර අරගලයක් තියෙනවා. ඒ අරගලයට පවා ඉඩ ඇත්තේ රනිල් කඳවුර තුළ විතරයි. මොකද, ඒක කාගෙවත් හොඳ හිත, දයානුකම්පාව වගේ හැඟීම් මත වෙනුවට භෞතික යථාර්ථයන් මත පදනම් වෙන්නක් නිසා. නිදහස් වෙළඳපෙොළ පදනම් වුණ ව්‍යවසායකත්ව සමාජයක් කියන්නේ අන්න ඒ භෞතික යථාර්ථයයි.



Thursday, September 5, 2024

මඟ හිටියත්-ගෙදර ගියත්...


 සැප්තැම්බර් 21, ලංකාවේ විධායක කේන්ද්‍රයේ බලය අත්පත් කරගන්නට හතලිහකට ආසන්න පිරිසක් සිය සූදානම ප්‍රකාශයට පත් කර ඇතත් මේ වෙන විට තරඟය අපේක්ෂකයන් තිදෙනෙකුට සීමා වෙමින් තිබේ. දෙකක් නො වී, තුනක් වීම නිසා වෙන කවරදාකටත් වඩා මෙවර දෙවෙනි මනාපයට වැදගත්කමක් ලැබෙන ලකුණු පහළ වී තිබේ. ජනාධිපති ලෙස පත්වීමටනම් ප්‍රකාශිත ඡන්දවලින් හරි අඩකුත්, තව එකකුත් ලබා ගත යුතු ව ඇති  බැවිනි.


සජබ සහ රනිල් සංධානය අතර දෙවෙනි මනාප හුවමාරු වන්නට වැඩි ඉඩක් තිබේ.  නමුත් ජාජබ ඡන්දදායකයන්ගෙන් අනෙක් අයට හෝ අනෙක් අයගෙන් ජාජබට දෙවෙනි මනාප හුවමාරු වෙන්නට ඇති ඉඩකඩ අඩු ය. මේ නිසා මේ තුන්කොන් තරඟයෙන් වඩාත් ම අපහසුතාවයට ලක් වී ඇත්තේ ජාජබ ය.
ජනකාන්ත සිං-බෞ. නායකත්වය වූ ගෝඨාභය පලවා හැරීමේ ජයග්‍රාහී පොදුජන අරගලයේ නායකත්වයේ තනි උරුමය තමන් සන්තක බව කියා පාන කණ්ඩායමකට වාම ජනප්‍රියවාදය ගැන න්‍යායාචාර්යවරුන් වූ දෙපළක් දැන් ජාජබ වෙත හිමින් සීරුවේ සීරුමාරු වී තිබේ. ඔවුන්ගෙන් ප්‍රමුඛතමයා විසින් ආසන්තම මොහොතක ලියු ලිපියකින් පෙන්වා දෙන්නේ ජාජබ ජයග්‍රහණය සඳහා රනිල්-සජිත් කඳවුරු අතර තරඟය උත්සන්න කිරීම වැදගත් ම උපායමාර්ගය වනු ඇති බව ය.

ජාජබට ඉහත තුන්කොන් තරඟය අතර අහිමි වන වාසිය උදෙසා තම වඩාත් ආසන්න ප්‍රතිවාදියා වන සජිත් පරාජය කිරීමට මේ උපක්‍රමය යොදාගන්නේ නම් රනිල් වෙත දෙවෙනි මනාපය සඳහා දිරිගැන්වීම් කළ යුතු ව තිබේ.
එහෙත් එතැන දී ද ජාජබ සිටින්නේ අර්බුදයක ය. ජාජබ මුළු ඡන්ද පදනම ම නිර්මාණය වන්නේ රනිල් විරෝධී ඝෝෂාවකිනි. මෙහි දී  ඉහත කී 'අරගල උරුමක්කාර' කල්ලිය විසින් රනිල් විරෝධයේ බූදල්පත්‍රය තමන් සතු කරගන්නට සිය සවිය යෙදවීමෙන් ජාජබ තුළ ඇති ආන්තික වාම ක්‍රියාකාරී ස්ථරය අවුල් කිරීම හරහා කරන බලපෑම ද සුළුපටු නො වනු ඇත. ගෝල්ෆේස් නිමේෂයේ දී එතෙක් ජවිපෙ සතුව තිබූ පෝෂණ මූලයන් පැහැරගැනීම මගින් තාවකාලික වුව ද මේ කණ්ඩායම මුළුමහත් ජාජබ අර්බුදයට යැවීමේ තම හැකියාව ගැන සලකුණු පෙන්වා තිබේ. (ඒ තුළින් ඔවුන් ලද ජයග්‍රහණයක් නැත ද තම සමීපතම සතුරා පරාජය කිරීමෙන් ලබන 'අල කිරීමේ සතුට' අත්පත් කරගැනීම පමණක් වුව ද ඔවුන්ගේ පැවැත්මට ප්‍රමාණවත් වනු ඇත)

සියල්ල අවසානයේ මේ වර විය හැකි පරාජයක් මාරාන්තික වන කණ්ඩායම් දෙක වනු ඇත්තේ සජබ සහ ජාජබ ය. සජබ ට ද සිය මහගෙදර තිබේ. අනාථ කම්මුතු වී යන්නේ ජාජබ ය. ජයග්‍රහණය සඳහා ජාජබ අන්කිසිවකුටත් වඩා වියරු ස්වරූපයේ ප්‍රයත්නයක් දැරීම මේ අනූව තේරුම් ගත හැකි ය.

කවුරු ජයග්‍රහණය කළ ද වාස්තවික යථාර්ථයන් විසින් බල කර ඇති පරිදි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා වැඩපිළිවෙල හැර අන් යමක් ඉදිරියට ද ක්‍රියාත්මක නොවනු ඇත. එතැන දී ද ප්‍රතිවිරෝධී පොරොන්දු පොට්ටනි මත බලය අත්පත් කරගතහොත්, ඒ මොහොතින් පසු සජබටත් වැඩි අර්බුදයකට ⁣මුහුණ දෙනු ඇත්තේ ජාජබ ය. ඒ විසින් ගොනු කරමින් සිටින්නේ ඉතිහාසයේ වඩාත් ම එකිනෙකට ප්‍රතිවිරෝධී බලවේගයක් බැවිනි. ආන්තික සමාජවාදී පොට්ටනිය ටිල්වින් හරහා ද, ලිබරල්වාදී පොට්ටනිය හරිනි හරහා ද, මේවා අතර සමහන් පොට්ටනිය ලාල්කාන්ත හරහා ද ආදි වශයෙන් නමුදු එක ම පොට්ටනියක් ලෙස ඉදිරිපත් කරමින් සිටින ජාජබ, බලය ලදහොත් ඒවා අතර වන ප්‍රතිවිරෝධතා ගුගුරා පුපුරා යන මොහොතට මුහුණදීම සඳහා එක ම වූ වැඩපිළිවෙළක් ඇති බවක් පෙන්නුම් කරන බවක් නොපෙනේ.

බලය ලබා ගැනීමේ මෙන් ම එය ලදහොත් තහවුරු කරගැනීමේ හෝරාවන් හි දී ජාජබ මත කඩා වැටීමට නියමිත මේ ව්‍යවසනය මුළුමහත් ලංකාව මත ද පහළ වීමට නියමිත ය. ජාජබ බලය ලැබුව ද නැත ද ව්‍යවසනය කුමන ස්වරූපයකින් හෝ පහළ වීමේ නරක පෙරනිමිති අප ඉදිරියේ ය.
"මේ වෙලාවේ බැරි වුණොත් ආයේ කවදාවත් බෑ" යන්නත්, "තනි බලයකට ජවිපෙ උත්සාහ දරතොත් ජවිපෙ නොවන ජාජබ ද ඊට මුහුණ දෙන්නට සූදානම්"  බවට ඇතුලත හාහෝවත් වැනි මේ සලකුණු මගින් සලකුණු කරමින් තිබෙන්නේ සැප්තැම්බරයෙන් එහා පොළොවේ දේශගුණය වෙන්නට පුළුවන. 

Tuesday, September 3, 2024

'සිවා' මරමින් සිවා 'සැමරීම' !


 


ඊයේ සිවා මහත්තයා හෙවත් සබාපති සිවගුරුනාදන් ගේ උපන්දිනය !

ඒ අපි කවුරුත් දන්න හඳුනන පරිවර්තකයා.

ඒත් එච්චර ද ?

අගෝස්තු 29 බ්‍රහස්පතින්දාවේ ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාලාව සිවා උපහාර උළෙලට ගලා ආපු සෙනඟින් අතුරුසිදුරු නැතිව පිරිල ඉතිරිල ගියා.
ජීවරත්නම් සුරේෂ් විසින් සංග්‍රහ කරපු උපහාර ලිපි ඇතුලත් පොතට වියමනක් බාර දිය නොහැකි වූ පනස්වෙනියා දක්වා නොයෙක් තරාතිරම්වල අය දායක වෙලා තිබුණා.
"කොළඹ, නුවර, කුරුණෑගල, මීගමුව හැමතැනම එන්ජීඹ් පොරවල් ඔක්කොම මෙතැන නේ" මිත්‍රයෙක්ගේ නිරීක්ෂණයකට මට එකතුවක් තිබුණා.
"විශ්වවිද්‍යාල, එක එක කොමිෂන් සභා, පාර්ලිමේන්තු නිලධාරීන් වගේ රාජ්‍ය අංශයත් එතැන නේ"
වේදිකාව මෙහෙයවපු නදීරා සහ ජේසුදාසන් පෙන්නල දීපු හැටියටත් මේ හැමෝටම ඕන වුණේ සිවාට 'තෑන්ක්ස්' කරන්න.
වෙනස් කතාවක් කාටවත් තිබුණේ නෑ. තෑන්ක්‍යු කියන අතරේ තමන් ගේ පුද්ගලික අත්දැකීමේ කොටස ඇඩ් කිරීමක් විතරයි. ඒ ආපු දාස්ගානක් කතා කළත් ඊට වඩා දෙයක් කියවෙන එකක් නෑ.
සිවා එක්ක එකඟ නැති කිසිකෙනෙක් නැති තරම්.
අදටත් ඉවරයක් නැති පරම සතුරු සමාජයන් දෙකක අතරමැදියා වෙන සිවා ට මෙහෙම උත්කෘෂ්ට පිලිගැනීමක් ලැබෙන්නේ කොහොමද ? විශේෂයෙන්  ම මහා සිංහල සමාජයෙන් සුළුතර තමිල් මනුස්සයෙකුට ?

සිවා එක්ක කාටවත් ගැටුමක් නෑ !

ඒක ඇත්ත; හේතුව තමයි ඕනෑ ම ගැටුමක දී සිවා බලවන්තයාට ඉඩ දී, තමන් ගේ පැත්ත අකුලගන්න එක !

අපි අතර සමහර වැඩ ගැන විවාදයන් ඇති වුණා ම සිවා ඒක නිරාකරණය කරන්නේ මේ විදියට;
"අපි මේක ඉස්සෙල්ල කරල ඉමු. ඊටපස්සේ ඒක කිරීම හරි ද වැරදි ද කියල ඕන තරම් විවාද කරමු"
ඉතින් ඒ ක්‍රමය යටතේ 'අදහස් ප්‍රකාශනයේ අයිතිය' ඉහළින් ම සුරැකෙන අතර සංවාදය හෙවත් කයිවාරුව මියෙන තෙක් වුව පවත්වා ගත හැකි ය !

ඔහු ගේ පරිවර්තනයන් ගැන මතු වෙන බර විවේචනයක් මම දවසක් සිවාගේ අවධානයට යොමු කළා.
"ඔයා අදහස් සැන්ඩි කරනවා කියල ක්‍රිටික් එකක් තියෙනවා"
මත්පැන් නොගන්නා සිවා ට සැන්ඩි කිරීම යනු කුමක්දැයි උදාහරණ නැතිව ම තුන්තේරුම් කරන්න වුණා !
එදා උපහාරය දා සිවා තමන් ගේ කතාවේදීත් මේ විවේචනය ගැන තමන් ගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කළා.  
"පරිවර්තකයෙකුගේ කාර්යය වෙන්නේ සංවාදය පවත්වා ගෙන යාමයි. කොයි පැත්තකින් හෝ ඊට බාධා වෙන විදියට දැඩි අදහසක් ඉදිරිපත් වුණොත් ඒකෙන් සංවාදයට බාධා වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒ කතාව ඒ ටිකක් 'සරල' කරන්න වෙනවා..."
මේ අටුවාවට ටීකාවකුත් දෙන සිවා තවදුරටත් මෙහෙම පැහැදිලි කළා.
"තිම්පු සාකච්ඡාවලදී තමිල් පාර්ශ්වය නියෝජනය කරපු හැමෝම කිව්වා 'තමිල් කියන්නේ වෙන ම ජාතියක්(Nation)' කියලා. ලංකාණ්ඩුව පැත්තෙන් කිව්වා "නෑ; ඔයාල 'ජනවර්ගයක්'(Ethnic group)  කියලා.ඉතින් එතැනින් ම සාකච්ඡාව ඉවරයි !"
තවදුරටත් ටිප්පනියක් සපයන සිවා මෙහෙමත් කීවා;
"සිංහලෙන් 'ජාතිය' කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. කෑම 'ජාතිය' කිව්වම එකක්; කුලයටත් 'ජාතිය' කියල කියනවා...."
දැන් මේ ටිප්පනිය මගින් සිවා කරන්නේ සැන්ඩිවලින් විතරක් බෝතලයම පිරවීමයි !
ඔතැන දී 'ජාතිය' කියන වචනයෙන් කියවෙන්නේ වෙන කිසිම කෙහෙල්මලක් ⁣නොවේ; ස්වාධින දේශපාලන අනන්‍යතාවයක් හිමි ජනසමූහයක්. 
'ජාතියක්' හැටියට පෙනී හිටින්න ඕනකමත්, ඒක ප්‍රතික්ෂේප කිරීමේ ඕනකමත් එන්නේ ඒ නිශ්චිත ජනසමූහයාට ස්වාධින අනන්‍යතාවයක් ඇති පිරිසක් හැටියට පිළිගන්නවා ද-නැද්ද යන්න මතයි.
තිම්පුවේදීත් ඕක කවුරුත් නොදැන හිටියා නෙවෙයි. ඒ නිසා "හරි;එහෙනම් අපි ජනවර්ගයක් තමයි"  කියල වචනයක් පිළිගැනීමෙන්වත්, "අපි ජාතියක්වත්, ජනවර්ගයක්වත් නෙවෙයි;ඔක්කොම මනුස්සයෝ" වගේ වචන ගේම් එකක් ගැහීමෙන්වත් ජාතික ප්‍රශ්නය ගැන මොන ම විසඳුමක්වත් එන්නේ නෑ.

1948දී  'නිදහස් විජිතයක්' හැටියට ලංකාව පිරිසක් විසින් බාරගනිද්දී, මේ බිමේ ම තවත් පිරිසක් ඒ නිදහසෙන් පිටුවහල් කර තිබුණා. ලංකාවේ 'වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය' වැඩකෙරුවේ බහුතරයේ බලයට සුළුතරය යටපත් කරගැනීමේ භාවිතයක් එක්ක. මේකේ තීව්‍රතම ප්‍රකාශනය 1956 කාලවකවානුවේ දකින්න පුළුවන්. බණ්ඩාරනායක විසින් "සිංහල-තමිල් ස්වභාෂාවන් රාජ්‍ය භාෂාවන් බවට පත් කරනවා" කියල තුරුම්පුවක් ගැහුවාම, අනිත් පැත්තෙන් 'සිංහල පමණක්' කියන තුරුම්පුව වදිනවා. බණ්ඩාරනායකත් ඒකට දෙවෙනි නොවෙන්⁣න 'පැය විසිහතරෙන්  සිංහල විතරක් රාජ්‍ය භාෂා කරන්න' හයිය තුරුම්පුවක් ගහනවා. මේ විදියට  බහුතර සිංහල ප්‍රජාව අන්දගන්න පුළුවන්නම් බලය අත්පත් කරගන්න පුළුවන් කියන සූත්‍රය දිගටම වැඩ කරන්න ගන්නවා. මුළු රාජ්‍ය යන්ත්‍රය ම, ඒ කියන්නේ, පාර්ලිමේන්තු, ඇමති මණ්ඩල, රාජ්‍ය සේවය, උසාවි, පොලීසි, හමුදා, සංවර්ධන ව්‍යාපෘති ආදි ඔය හැම මඟුලක් ම සංවිධානය කෙරුනේ බහුතර සිංහල ප්‍රජාව අන්දගන්න පුළුවන් විදියට.
56 සිංහල භාෂා ආධිපත්‍යය, සිංහල බුදුන් ගේ බුද්ධ ජයන්තිය, වාහනවල එල්ලූ සිංහල 'ශ්‍රී'ය වගේ උත්කර්ෂවත් අවස්ථා ගණනාවක් අස්සේ සිංහල බෞද්ධ අම්මෙකුටයි, තමිල් හින්දු අප්පෙකුටයි දාව සිවා ඉපදිලා හැදෙනවා;වැඩෙනවා.

ඒ එකතුව කොහෙත් ම සරල නෑ. සිංහල සහ තමිල් සමාජයන් මේ රට ඇතුළේ මුහුණ දෙන හැම අත්දැකීමක් ම වගේ මේ පවුල ඇතුලෙනුත් ප්‍රකාශයට පත් වෙනවා. දෙමළෙක් එක්ක ගිය සිවා ගේ අම්මා සිංහල නෑයන් විසින් පිටුවහල් කරනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා "මොකද මේ ළමයට දෙමළ නමක්" කියල ඒ අම්මගේ කණ රත් වෙන්න ප්‍රශ්න කරනවා. අම්මට ඕන කරනවා තමන්ගේ පුතා, සිවා 'සිංහල' කරවන්න. තාත්තාට හිතුවක්කාර විදියට බලය පාන්න බෑ. තමිලෙකුට මේ රටේ දි මුහුණ දෙන්න වෙන ඉරණම අත්දකිමින් ඉන්න ඒ තාත්තා ඒ අම්මා ට ඉඩ දීල පැත්තකට වෙන්නේ 'එක්කෝ පුතා සිංහල වෙන තරමට මේ රටේ දී තමිල්කම මත පටවල තියෙන හිරිහැරකාරි කරච්චලයෙන් එයාවත් ගැලවේවි' කියල හිතල වෙන්නත් පුළුවන්. 
සිවා ඉගෙනගත්ත රත්මලාන හින්දු විද්‍යාලයේ හත-අට වගේ පංතියක දිග නිවාඩුවකට පස්සේ යාළුවෝ ආපහු ආවේ ඔය භාෂා ප්‍රශ්න, ශ්‍රී ප්‍රශ්න ඔක්කොම එක්ක තමන්ට එල්ල කෙරුන ප්‍රහාරයන් මගින් ගතේ-සිතේ ඇති කරපු තුවාල කැළැල් එක්ක. ඉස්කෝලේ මැල් මහත්තයගේ සිංහල පංතිය පුංචි උන් විසින් අල කරල දැම්මේ ගුරුතුමා එක්ක ප්‍රශ්නයක් නිසා නෙවෙයි. බලහත්කාරයෙන් තමන් මත පටවපු භාෂාවක් ඉගෙන ගන්න ඔවුන් සූදානම් වුණේ නෑ.
මේ නිසා වඩා ම කම්පාවට පත්වුණේ සිවා ගේ අම්මා.
එයා සිවා එක්ක යනවා පංසලට.
බුද්ධාගම;සිංහල එක්ක !
හාමුදුරුවෝ ඉතා ම කරුණාවන්ත හිතෙන් සිවා ව 'ධර්මසේන' කියල සිංහල නමකින් යළි උපද්දවනවා. බෞද්ධ පන්සල ඇතුලේ තමිල් ළමයෙකුට අත් වෙන්න පුළුවන් ඉරණම ගැන මහා අවබෝධයකින් ඒ දේ කෙරෙන්නේ.
ඒ තමයි සිවා ඉගෙනගන්න පළමුවෙනි පාඩම !
'නුඹ පෙළන මහාඑකාගේ අනුකොටසක් වනු;නුඹේකම නැසී නුඹ රැකෙනු ඇත!'

ඒකට ලංකාවේ පාර තමයි බුද්ධාගම.

තමිලෙකුට වුණත් බෞද්ධ වෙතෑකි. ඒත් ඒ එක්කම සිංහල නොවුණොත් ඒ බෞද්ධකම සම්පූර්ණ වෙන්නේ නෑ. බෞද්ධ නොවුණොත් සිංහලකම සම්පූර්ණ වෙන්නේ නෑ.
මහත්මා ගාන්ධි වගේ සිවා දකින්නේ නෑ හින්දු ආගමට දර්ශනයක් තියෙන බවක්. ඒක වත්පිළිවෙත් මාලාවක් විතරයි කියන සිවා, දර්ශනය දකින්නේ බුද්ධාගමෙන්. ඒත් ඒ සිංහල පන්සල උගන්වපු බුද්ධාගමේ 'දර්ශනය' !  'තුවක්කු කටෙන් දේශපාලනය උපදින' බව කියපු මාවෝවාදී වාම දේශපාලනයෙදිත් සිවා කියන්නේ බෞද්ධයෙක්.

දෙවෙනි පාඩමත් ඒ පන්සලෙන්.
පන්සල් අධ්‍යාපනය විසින් හික්මවපු දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් වෙන සිවා ට ජයග්‍රාහී සහතිකපත් ගණනාවක් ලැබෙනවා.ඒත් ඉතින් 'ධර්මසේන' ගේ සහතික වලින් සිවා අල කන්නයැ ! මේ ද්විත්ව රංගනය විසින් විඩාපත් කරවන සිවා අන්තිමට තීරණය කරන්නේ තමන්ට සිංහල-බෞද්ධ සමාජයට සිවා හැටියට ම ඇතුල් වෙන පොටක්.
ඒක තමයි දෙවෙනි පාඩම !
හින්දූත්වය යටපත් කර ගෙන, තමිල් පීඩිත ප්‍රතිවිරෝධතා දැක්වීමේ අභිලාශය මඟහැර ගෙන මතු වෙන සිවා ට පුළුවන් වෙනවා දකුණ විසින් පිළිගන්න යහපත් දෙමළා වෙන්න.
පාර කියන්නේ බුද්ධාගම එක්ක වම !

'මනුෂ්‍යත්වයට අයිති දේ කවරකු විසින් හෝ සොරකම් කළ විට මතුවෙන්නේ අමනුෂ්‍යත්වය' කියල සිවා තමන් එක්ක කීව බවක් මහචාර්ය ජයන්ත සෙනෙවිරත්න කියනවා.  'තිස් අවුරුදු යුද්ධය කියන්නේ 48 ඉඳන් අද දක්වාත් කර ගෙන යන හොරකමක ප්‍රතිපලයක් කියල , මනුෂ්‍යත්වය දිනාගැනීමටනම් මුළින්ම අප අමනුෂ්‍යයන් වෙන්නේ කොහොමදැයි දැන ගත යුතු බවක් ඒ වෙලාවේ සිවා කීවා  කියන්නේ ඇත්තනම්,  ඒ අපිට හුරුපුරුදු සිවා නෙවෙයි.

දෙපසක පිරිසකට දෙපසට යන්න එන්නට නිහඬ කොන්ක්‍රීට් පාලමක් සේ මෙහෙ කළ සිවා දැන්වත් තමන්ගේ හිස තුළ සඟවාගෙන සිටින ඒ මහා මතකයන් එළියට විවෘත කළ යුතුව ඇතැයි ආචාර්ය උදාන් ප්‍රනාන්දු ප්‍රාර්ථනා කරනවා.
සිවා විසින් ම යටපත් කර ගෙන සිටින පීඩිත තමිල් සිවා,  ඒ කටුවේ පිපුරුමක් වුණ විස්මිත හා දුර්ලභ මොහොතක ජයන්ත සෙනෙවිරත්නට මුණගැසුනා වත් ද ?

පහුගිය 29වෙනිදා උපහාර දක්වන්න කියල කොබ්බෑකඩුව ශාලාව පිරී ඉතිරී යන්නට එකතු වුණ සකලවිධ මහාසමාජය විසින් 'ගැටුමක් නැති- ආගමක් නැති- ජාතියක් නැති සිවා' උස්සමින් සිදුකෙරුවේ, සිවා විසින් නියෝජනය කෙ⁣රෙන බව කියන පීඩිත තමිල් ජාතිය සම්බන්ධ දකුණේ කුහකත්වය උත්කර්ෂවත් කරන සමූහ යාගයක් ! හරියට දකුණේ මුළු සමාජය ම එකතු වෙලා බොදු බැති ගී ගයපු මුස්ලිම් මොහිදින් බෙග් තමන්ගේ 'අතිඋත්කෘෂ්ට ලාංකිකයා' සම්බන්ධ පරමාදර්ශයක් හැටියට උස්සල පෙන්නුව වගේ.
කලක් මම සේවකයකු වුණ, තවත් කලෙක නියෝජ්‍ය ලේකම්වරයා වුණ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ (MDDR) අද  දවසේ සභාපති පුටුවේ වාඩිකරවල ඉන්න සිවා එහි සමාරම්භක නායකයෙක්. ඒකත් ඇතුළුව ලංකාවේ ඊනියා සිවිල් සමාජයත්, රාජ්‍යයත් ඒ තරම් වෙනසක් නැතිව වර්ගතාන්ත්‍රික රාජ්‍යයට අත නොතබා ඉන්නට පරිස්සම් වෙන විදියත්, ඒකට සිවා වගේ චරිත පාවිච්චි වෙන විදියත් ගැන කදිම නිරූපනයක් සිවා උපහාරය ! රාජ්‍යයත්, සිවිල් සමාජයත් ප්‍රජාතන්ත්‍රවාදය සොයමින් ඉන්නේ උතුරු කටුව අහිමි මාලිමාවන් භාවිතා කරමින්. 

සිවා කියවා ගැනීම අතිවිශාල සමාජ වටිණාකමක් ඇත්තක් කියල මට හිතෙන්නේ මේ හැම දේ ම නිසා.
සිවාට සුබපතන්න රාත්‍රියේ කතා කරල දීර්ඝායු පැතුවා ම සිවා කීවා "දැන්නම් හිටිය ඇති කියලයි හිතෙන්නේ" කියලා.
"ඔව්; ඔය විදියට හිටියනම් ඇති තමයි. ඒත් වෙන විදියක පැවතීමක් තව ගොඩක් කාලෙකට ඔයාගෙන් ඕන වේවි සිවා මහත්තයා" මම කීවා.
සිවාගේ උපන්දිනය නිමිත්තෙන් මගේ ප්‍රාර්ථනාව ඒකයි.