Tuesday, September 3, 2024
'සිවා' මරමින් සිවා 'සැමරීම' !
ඊයේ සිවා මහත්තයා හෙවත් සබාපති සිවගුරුනාදන් ගේ උපන්දිනය !
ඒ අපි කවුරුත් දන්න හඳුනන පරිවර්තකයා.
ඒත් එච්චර ද ?
අගෝස්තු 29 බ්‍රහස්පතින්දාවේ ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාලාව සිවා උපහාර උළෙලට ගලා ආපු සෙනඟින් අතුරුසිදුරු නැතිව පිරිල ඉතිරිල ගියා.
ජීවරත්නම් සුරේෂ් විසින් සංග්‍රහ කරපු උපහාර ලිපි ඇතුලත් පොතට වියමනක් බාර දිය නොහැකි වූ පනස්වෙනියා දක්වා නොයෙක් තරාතිරම්වල අය දායක වෙලා තිබුණා.
"කොළඹ, නුවර, කුරුණෑගල, මීගමුව හැමතැනම එන්ජීඹ් පොරවල් ඔක්කොම මෙතැන නේ" මිත්‍රයෙක්ගේ නිරීක්ෂණයකට මට එකතුවක් තිබුණා.
"විශ්වවිද්‍යාල, එක එක කොමිෂන් සභා, පාර්ලිමේන්තු නිලධාරීන් වගේ රාජ්‍ය අංශයත් එතැන නේ"
වේදිකාව මෙහෙයවපු නදීරා සහ ජේසුදාසන් පෙන්නල දීපු හැටියටත් මේ හැමෝටම ඕන වුණේ සිවාට 'තෑන්ක්ස්' කරන්න.
වෙනස් කතාවක් කාටවත් තිබුණේ නෑ. තෑන්ක්‍යු කියන අතරේ තමන් ගේ පුද්ගලික අත්දැකීමේ කොටස ඇඩ් කිරීමක් විතරයි. ඒ ආපු දාස්ගානක් කතා කළත් ඊට වඩා දෙයක් කියවෙන එකක් නෑ.
සිවා එක්ක එකඟ නැති කිසිකෙනෙක් නැති තරම්.
අදටත් ඉවරයක් නැති පරම සතුරු සමාජයන් දෙකක අතරමැදියා වෙන සිවා ට මෙහෙම උත්කෘෂ්ට පිලිගැනීමක් ලැබෙන්නේ කොහොමද ? විශේෂයෙන් ම මහා සිංහල සමාජයෙන් සුළුතර තමිල් මනුස්සයෙකුට ?
සිවා එක්ක කාටවත් ගැටුමක් නෑ !
ඒක ඇත්ත; හේතුව තමයි ඕනෑ ම ගැටුමක දී සිවා බලවන්තයාට ඉඩ දී, තමන් ගේ පැත්ත අකුලගන්න එක !
අපි අතර සමහර වැඩ ගැන විවාදයන් ඇති වුණා ම සිවා ඒක නිරාකරණය කරන්නේ මේ විදියට;
"අපි මේක ඉස්සෙල්ල කරල ඉමු. ඊටපස්සේ ඒක කිරීම හරි ද වැරදි ද කියල ඕන තරම් විවාද කරමු"
ඉතින් ඒ ක්‍රමය යටතේ 'අදහස් ප්‍රකාශනයේ අයිතිය' ඉහළින් ම සුරැකෙන අතර සංවාදය හෙවත් කයිවාරුව මියෙන තෙක් වුව පවත්වා ගත හැකි ය !
ඔහු ගේ පරිවර්තනයන් ගැන මතු වෙන බර විවේචනයක් මම දවසක් සිවාගේ අවධානයට යොමු කළා.
"ඔයා අදහස් සැන්ඩි කරනවා කියල ක්‍රිටික් එකක් තියෙනවා"
මත්පැන් නොගන්නා සිවා ට සැන්ඩි කිරීම යනු කුමක්දැයි උදාහරණ නැතිව ම තුන්තේරුම් කරන්න වුණා !
එදා උපහාරය දා සිවා තමන් ගේ කතාවේදීත් මේ විවේචනය ගැන තමන් ගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කළා.
"පරිවර්තකයෙකුගේ කාර්යය වෙන්නේ සංවාදය පවත්වා ගෙන යාමයි. කොයි පැත්තකින් හෝ ඊට බාධා වෙන විදියට දැඩි අදහසක් ඉදිරිපත් වුණොත් ඒකෙන් සංවාදයට බාධා වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒ කතාව ඒ ටිකක් 'සරල' කරන්න වෙනවා..."
මේ අටුවාවට ටීකාවකුත් දෙන සිවා තවදුරටත් මෙහෙම පැහැදිලි කළා.
"තිම්පු සාකච්ඡාවලදී තමිල් පාර්ශ්වය නියෝජනය කරපු හැමෝම කිව්වා 'තමිල් කියන්නේ වෙන ම ජාතියක්(Nation)' කියලා. ලංකාණ්ඩුව පැත්තෙන් කිව්වා "නෑ; ඔයාල 'ජනවර්ගයක්'(Ethnic group) කියලා.ඉතින් එතැනින් ම සාකච්ඡාව ඉවරයි !"
තවදුරටත් ටිප්පනියක් සපයන සිවා මෙහෙමත් කීවා;
"සිංහලෙන් 'ජාතිය' කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. කෑම 'ජාතිය' කිව්වම එකක්; කුලයටත් 'ජාතිය' කියල කියනවා...."
දැන් මේ ටිප්පනිය මගින් සිවා කරන්නේ සැන්ඩිවලින් විතරක් බෝතලයම පිරවීමයි !
ඔතැන දී 'ජාතිය' කියන වචනයෙන් කියවෙන්නේ වෙන කිසිම කෙහෙල්මලක් නොවේ; ස්වාධින දේශපාලන අනන්‍යතාවයක් හිමි ජනසමූහයක්.
'ජාතියක්' හැටියට පෙනී හිටින්න ඕනකමත්, ඒක ප්‍රතික්ෂේප කිරීමේ ඕනකමත් එන්නේ ඒ නිශ්චිත ජනසමූහයාට ස්වාධින අනන්‍යතාවයක් ඇති පිරිසක් හැටියට පිළිගන්නවා ද-නැද්ද යන්න මතයි.
තිම්පුවේදීත් ඕක කවුරුත් නොදැන හිටියා නෙවෙයි. ඒ නිසා "හරි;එහෙනම් අපි ජනවර්ගයක් තමයි" කියල වචනයක් පිළිගැනීමෙන්වත්, "අපි ජාතියක්වත්, ජනවර්ගයක්වත් නෙවෙයි;ඔක්කොම මනුස්සයෝ" වගේ වචන ගේම් එකක් ගැහීමෙන්වත් ජාතික ප්‍රශ්නය ගැන මොන ම විසඳුමක්වත් එන්නේ නෑ.
1948දී 'නිදහස් විජිතයක්' හැටියට ලංකාව පිරිසක් විසින් බාරගනිද්දී, මේ බිමේ ම තවත් පිරිසක් ඒ නිදහසෙන් පිටුවහල් කර තිබුණා. ලංකාවේ 'වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය' වැඩකෙරුවේ බහුතරයේ බලයට සුළුතරය යටපත් කරගැනීමේ භාවිතයක් එක්ක. මේකේ තීව්‍රතම ප්‍රකාශනය 1956 කාලවකවානුවේ දකින්න පුළුවන්. බණ්ඩාරනායක විසින් "සිංහල-තමිල් ස්වභාෂාවන් රාජ්‍ය භාෂාවන් බවට පත් කරනවා" කියල තුරුම්පුවක් ගැහුවාම, අනිත් පැත්තෙන් 'සිංහල පමණක්' කියන තුරුම්පුව වදිනවා. බණ්ඩාරනායකත් ඒකට දෙවෙනි නොවෙන්න 'පැය විසිහතරෙන් සිංහල විතරක් රාජ්‍ය භාෂා කරන්න' හයිය තුරුම්පුවක් ගහනවා. මේ විදියට බහුතර සිංහල ප්‍රජාව අන්දගන්න පුළුවන්නම් බලය අත්පත් කරගන්න පුළුවන් කියන සූත්‍රය දිගටම වැඩ කරන්න ගන්නවා. මුළු රාජ්‍ය යන්ත්‍රය ම, ඒ කියන්නේ, පාර්ලිමේන්තු, ඇමති මණ්ඩල, රාජ්‍ය සේවය, උසාවි, පොලීසි, හමුදා, සංවර්ධන ව්‍යාපෘති ආදි ඔය හැම මඟුලක් ම සංවිධානය කෙරුනේ බහුතර සිංහල ප්‍රජාව අන්දගන්න පුළුවන් විදියට.
56 සිංහල භාෂා ආධිපත්‍යය, සිංහල බුදුන් ගේ බුද්ධ ජයන්තිය, වාහනවල එල්ලූ සිංහල 'ශ්‍රී'ය වගේ උත්කර්ෂවත් අවස්ථා ගණනාවක් අස්සේ සිංහල බෞද්ධ අම්මෙකුටයි, තමිල් හින්දු අප්පෙකුටයි දාව සිවා ඉපදිලා හැදෙනවා;වැඩෙනවා.
ඒ එකතුව කොහෙත් ම සරල නෑ. සිංහල සහ තමිල් සමාජයන් මේ රට ඇතුළේ මුහුණ දෙන හැම අත්දැකීමක් ම වගේ මේ පවුල ඇතුලෙනුත් ප්‍රකාශයට පත් වෙනවා. දෙමළෙක් එක්ක ගිය සිවා ගේ අම්මා සිංහල නෑයන් විසින් පිටුවහල් කරනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා "මොකද මේ ළමයට දෙමළ නමක්" කියල ඒ අම්මගේ කණ රත් වෙන්න ප්‍රශ්න කරනවා. අම්මට ඕන කරනවා තමන්ගේ පුතා, සිවා 'සිංහල' කරවන්න. තාත්තාට හිතුවක්කාර විදියට බලය පාන්න බෑ. තමිලෙකුට මේ රටේ දි මුහුණ දෙන්න වෙන ඉරණම අත්දකිමින් ඉන්න ඒ තාත්තා ඒ අම්මා ට ඉඩ දීල පැත්තකට වෙන්නේ 'එක්කෝ පුතා සිංහල වෙන තරමට මේ රටේ දී තමිල්කම මත පටවල තියෙන හිරිහැරකාරි කරච්චලයෙන් එයාවත් ගැලවේවි' කියල හිතල වෙන්නත් පුළුවන්.
සිවා ඉගෙනගත්ත රත්මලාන හින්දු විද්‍යාලයේ හත-අට වගේ පංතියක දිග නිවාඩුවකට පස්සේ යාළුවෝ ආපහු ආවේ ඔය භාෂා ප්‍රශ්න, ශ්‍රී ප්‍රශ්න ඔක්කොම එක්ක තමන්ට එල්ල කෙරුන ප්‍රහාරයන් මගින් ගතේ-සිතේ ඇති කරපු තුවාල කැළැල් එක්ක. ඉස්කෝලේ මැල් මහත්තයගේ සිංහල පංතිය පුංචි උන් විසින් අල කරල දැම්මේ ගුරුතුමා එක්ක ප්‍රශ්නයක් නිසා නෙවෙයි. බලහත්කාරයෙන් තමන් මත පටවපු භාෂාවක් ඉගෙන ගන්න ඔවුන් සූදානම් වුණේ නෑ.
මේ නිසා වඩා ම කම්පාවට පත්වුණේ සිවා ගේ අම්මා.
එයා සිවා එක්ක යනවා පංසලට.
බුද්ධාගම;සිංහල එක්ක !
හාමුදුරුවෝ ඉතා ම කරුණාවන්ත හිතෙන් සිවා ව 'ධර්මසේන' කියල සිංහල නමකින් යළි උපද්දවනවා. බෞද්ධ පන්සල ඇතුලේ තමිල් ළමයෙකුට අත් වෙන්න පුළුවන් ඉරණම ගැන මහා අවබෝධයකින් ඒ දේ කෙරෙන්නේ.
ඒ තමයි සිවා ඉගෙනගන්න පළමුවෙනි පාඩම !
'නුඹ පෙළන මහාඑකාගේ අනුකොටසක් වනු;නුඹේකම නැසී නුඹ රැකෙනු ඇත!'
ඒකට ලංකාවේ පාර තමයි බුද්ධාගම.
තමිලෙකුට වුණත් බෞද්ධ වෙතෑකි. ඒත් ඒ එක්කම සිංහල නොවුණොත් ඒ බෞද්ධකම සම්පූර්ණ වෙන්නේ නෑ. බෞද්ධ නොවුණොත් සිංහලකම සම්පූර්ණ වෙන්නේ නෑ.
මහත්මා ගාන්ධි වගේ සිවා දකින්නේ නෑ හින්දු ආගමට දර්ශනයක් තියෙන බවක්. ඒක වත්පිළිවෙත් මාලාවක් විතරයි කියන සිවා, දර්ශනය දකින්නේ බුද්ධාගමෙන්. ඒත් ඒ සිංහල පන්සල උගන්වපු බුද්ධාගමේ 'දර්ශනය' ! 'තුවක්කු කටෙන් දේශපාලනය උපදින' බව කියපු මාවෝවාදී වාම දේශපාලනයෙදිත් සිවා කියන්නේ බෞද්ධයෙක්.
දෙවෙනි පාඩමත් ඒ පන්සලෙන්.
පන්සල් අධ්‍යාපනය විසින් හික්මවපු දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් වෙන සිවා ට ජයග්‍රාහී සහතිකපත් ගණනාවක් ලැබෙනවා.ඒත් ඉතින් 'ධර්මසේන' ගේ සහතික වලින් සිවා අල කන්නයැ ! මේ ද්විත්ව රංගනය විසින් විඩාපත් කරවන සිවා අන්තිමට තීරණය කරන්නේ තමන්ට සිංහල-බෞද්ධ සමාජයට සිවා හැටියට ම ඇතුල් වෙන පොටක්.
ඒක තමයි දෙවෙනි පාඩම !
හින්දූත්වය යටපත් කර ගෙන, තමිල් පීඩිත ප්‍රතිවිරෝධතා දැක්වීමේ අභිලාශය මඟහැර ගෙන මතු වෙන සිවා ට පුළුවන් වෙනවා දකුණ විසින් පිළිගන්න යහපත් දෙමළා වෙන්න.
පාර කියන්නේ බුද්ධාගම එක්ක වම !
'මනුෂ්‍යත්වයට අයිති දේ කවරකු විසින් හෝ සොරකම් කළ විට මතුවෙන්නේ අමනුෂ්‍යත්වය' කියල සිවා තමන් එක්ක කීව බවක් මහචාර්ය ජයන්ත සෙනෙවිරත්න කියනවා. 'තිස් අවුරුදු යුද්ධය කියන්නේ 48 ඉඳන් අද දක්වාත් කර ගෙන යන හොරකමක ප්‍රතිපලයක් කියල , මනුෂ්‍යත්වය දිනාගැනීමටනම් මුළින්ම අප අමනුෂ්‍යයන් වෙන්නේ කොහොමදැයි දැන ගත යුතු බවක් ඒ වෙලාවේ සිවා කීවා කියන්නේ ඇත්තනම්, ඒ අපිට හුරුපුරුදු සිවා නෙවෙයි.
දෙපසක පිරිසකට දෙපසට යන්න එන්නට නිහඬ කොන්ක්‍රීට් පාලමක් සේ මෙහෙ කළ සිවා දැන්වත් තමන්ගේ හිස තුළ සඟවාගෙන සිටින ඒ මහා මතකයන් එළියට විවෘත කළ යුතුව ඇතැයි ආචාර්ය උදාන් ප්‍රනාන්දු ප්‍රාර්ථනා කරනවා.
සිවා විසින් ම යටපත් කර ගෙන සිටින පීඩිත තමිල් සිවා, ඒ කටුවේ පිපුරුමක් වුණ විස්මිත හා දුර්ලභ මොහොතක ජයන්ත සෙනෙවිරත්නට මුණගැසුනා වත් ද ?
පහුගිය 29වෙනිදා උපහාර දක්වන්න කියල කොබ්බෑකඩුව ශාලාව පිරී ඉතිරී යන්නට එකතු වුණ සකලවිධ මහාසමාජය විසින් 'ගැටුමක් නැති- ආගමක් නැති- ජාතියක් නැති සිවා' උස්සමින් සිදුකෙරුවේ, සිවා විසින් නියෝජනය කෙරෙන බව කියන පීඩිත තමිල් ජාතිය සම්බන්ධ දකුණේ කුහකත්වය උත්කර්ෂවත් කරන සමූහ යාගයක් ! හරියට දකුණේ මුළු සමාජය ම එකතු වෙලා බොදු බැති ගී ගයපු මුස්ලිම් මොහිදින් බෙග් තමන්ගේ 'අතිඋත්කෘෂ්ට ලාංකිකයා' සම්බන්ධ පරමාදර්ශයක් හැටියට උස්සල පෙන්නුව වගේ.
කලක් මම සේවකයකු වුණ, තවත් කලෙක නියෝජ්‍ය ලේකම්වරයා වුණ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ (MDDR) අද දවසේ සභාපති පුටුවේ වාඩිකරවල ඉන්න සිවා එහි සමාරම්භක නායකයෙක්. ඒකත් ඇතුළුව ලංකාවේ ඊනියා සිවිල් සමාජයත්, රාජ්‍යයත් ඒ තරම් වෙනසක් නැතිව වර්ගතාන්ත්‍රික රාජ්‍යයට අත නොතබා ඉන්නට පරිස්සම් වෙන විදියත්, ඒකට සිවා වගේ චරිත පාවිච්චි වෙන විදියත් ගැන කදිම නිරූපනයක් සිවා උපහාරය ! රාජ්‍යයත්, සිවිල් සමාජයත් ප්‍රජාතන්ත්‍රවාදය සොයමින් ඉන්නේ උතුරු කටුව අහිමි මාලිමාවන් භාවිතා කරමින්.
සිවා කියවා ගැනීම අතිවිශාල සමාජ වටිණාකමක් ඇත්තක් කියල මට හිතෙන්නේ මේ හැම දේ ම නිසා.
සිවාට සුබපතන්න රාත්‍රියේ කතා කරල දීර්ඝායු පැතුවා ම සිවා කීවා "දැන්නම් හිටිය ඇති කියලයි හිතෙන්නේ" කියලා.
"ඔව්; ඔය විදියට හිටියනම් ඇති තමයි. ඒත් වෙන විදියක පැවතීමක් තව ගොඩක් කාලෙකට ඔයාගෙන් ඕන වේවි සිවා මහත්තයා" මම කීවා.
සිවාගේ උපන්දිනය නිමිත්තෙන් මගේ ප්‍රාර්ථනාව ඒකයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment