– ටානියා කාව්‍යා නික්ම ගොස් වසර 8ක් පිරෙන මොහොතේ –
මේ වෙලාවේ මගෙන් ලියවෙන මේ දේ ටානියාගේ මිතුරු මිතුරියන්ට කොහොම දැනේවිද කියන්න මම දන්නේ නෑ. ඊනියා ‘සමාජ සංවාද’ ගැන මගේ උනන්දුව බිංදුවටම බැහැලා තියෙන වෙලාවක, ටානියාගේ මතකය ඇවිත් මට ඇඟිල්ලෙන් අනිනවා. ටානියාගේ මතකය දරාගෙන ඉන්න එක පුංචි යාළුවෙක් මට කතා කරලා කියනවා, "ටානියා ගිහින් අවුරුදු අටක්" කියලා. මට ඇහුණේ නෑ, දන්නේ නෑ වගේ ඉන්න බැරි තත්වයක් එනවා.
ටානියා ෆේස්බුක් ආවාම ඇය එක්ක චැට් කරන්න හැමවිටම දහදෙනෙක්වත් එක වරක ඉන්නවා. ඒ ඔක්කොම අස්සේ ඇය පුංචි ලිවීමුත් පෝස්ට් කරනවා. පෝස්ටුව කියවන්නෙවත් නැතුව කමෙන්ට් කරන, තගරි පාට් දාන, ලව් සිම්බල් බාන තව තොගයක් එක්ක ඒ හැම එකකටම ඇය ප්‍රතිචාර දක්වනවා. ඇය ලියන දේ ඉතා තියුණුයි; ගැඹුරුයි; සරලයි.
ඇය ෆේස්බුක් එන්නේ එකම එක අයෙකු වෙනුවෙන්. ඒත් ඇයට වද දීපු, ආදරය කරපු, මුණගැසුණු කිසිවෙක් ඇය දැනුවත්ව මඟහැරියේ නෑ. ඇය ඇත්තටමයි විශ්වාස කළේ මේ හැම හමුවීමක්ම දේව සැලසුමේ කොටස් කියලා. ඉතින් මේ හමුවීම්වලට දිව්‍යමය තේරුමක් තියෙනවා. ඇයට තිබුණා හැම අයෙකුටම ඇහුම්කන් දෙන්න, හැම අයෙකුගේම ගැටලු, සිත්වේදනාවන්, බිඳවැටීම් තමන්ගෙම කරගෙන බාරගන්න, ඔවුන් කියන වචනයටත් එහායින් ඔවුන්ගේ ජීවිතය දකින්න, ඒ හැම අයෙක්ම සුවපත් කරන්න... ඒ වෙනුවෙන් තමන් දියවෙන්න තරම් පිස්සුවක්.
ටානියා, මේ ලෝකයට හොඳ වැඩි වෙන්න ඇති. ලංකාවේ සමාජයට අලුත් වැඩි වෙන්න ඇති. ඇත්තටම එයා, තමන්ගේ උපන්දිනයට කලින් පිටත් වුණා. එයා අතීතයට නෙවෙයි අයිති; අනාගතයටයි එයා අයිති. අපි හීන දැක්කා නම් ලස්සන, වඩා යහපත් ලෝකයක්, රටක්, සමාජයක් ගැන—ටානියා කියන්නේ අන්න ඒ හීනයට නමක්.
ටානියා හිටපු දවස්වල ඇය වටා සිය ගණන් පොදි බැඳගෙන හිටියා. ඒත් ඇය තනි සහ පුංචි කෙල්ලෙක්. කවුද ඈ ගැන දන්නේ? ඇය අප අතරින් නික්ම ගිය බව දැනගත්තට පස්සේ ඒ ගොඩදෙනෙක් තව කෙල්ලෙකගේ ෆේස්බුක් ප්‍රොෆයිලයක් හොයාගෙන ඊළඟ නිමේෂයේ යන්න ඇති. මතක තියාගන්න තරම් දෙයක් ටානියාගෙන් ඔවුන් අතර ඉතිරි නොවුණා වෙන්න පුළුවන්. ටානියා අද මෙතැන හිටියා නම් සැර ගුටියක් දීලම මේ ඇත්ත ඇයට පෙන්වා දෙන්න මම කැමතියි. අපට සමාජයක්, මනුස්ස සම්බන්ධයක් නැති බව තිත්ත ඇත්ත මම වගේ එකෙක් දැනගන්නේ නපුරු, කටුක අත්දැකීම් ගොඩක් අස්සෙන්. ඒ පාඩම් සරල හෝ සුසිනිඳු නෑ.
ඒත් ටානියා ඉන් සැලේවිද, වෙනස් වේවිද කියල මට විශ්වාසයක් නෑ. මේ පොඩි එකී එක්ක මට රණ්ඩු ගොඩක් තිබුණා. අපේ බොහෝ යාළුවෝ ඒ බව දන්නවා ඇති. හෙට දවසක තියෙන්න ඕන කියලා අපි හිතන, ඒත් අද දවසේ නැති ඇත්තක් තමයි ටානියාගේ ජීවිතය කියලා මම හිතන්නේ මේ ගොඩක් දේ එක්ක.
අපි, මිනිස්සු එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්නේ මතකයන් එක්ක. අපි මොන වගේ මතකයන්ද පවත්වා ගන්නේ? මොනවාද අමතක කරන්නේ? මොනවාද අමතක වෙන්නේ? මේවා තමයි අපව රංචුවකින් වෙනස් ‘සමාජයක්’ බවට පත් කරවන හෝ නොකරවන ප්‍රශ්න.
මට දැනෙනවා ලංකාවේ දකුණට සාපේක්ෂව උතුරේ අඩුම ගානේ ‘සමාජයකට’ කිට්ටු සම්බන්ධකම් තියෙනවා කියලා. දොළොස් දවසක උපවාසය කෙළවර ජීවිතය පරිත්‍යාග කළ තිලීපන් ගැන මතකය දැන් දශක තුනකටත් අධික කාලයක් පුරා උතුරේ සමාජය විසින් පවත්වාගෙන එනවා. තමන් එකිනෙකා කවුද, තමන්ට අනෙකා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියන එක ඔවුන් සම්බන්ධ කරන්නේ තිලීපන් වගේ විරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මතකය එක්ක. ඒක තමන්ගේ පුද්ගලික ජීවිතය, වැළැක්විය නොහැකි විදිහට ගැටගැසුණු ජාතියක් කියන සාමූහිකයේ විමුක්තිය එක්ක සම්බන්ධ කරවන මතකයක්. මේ නිසාම දකුණේ වියරු උමතු පිරිසකට මේ මතකය උගුල්ලා දැමීම ගැන අමතක කරන්න බැරි කැසිල්ලක් එනවා. උන් තමුන්ගේම ලේ සියොළඟ ගාගෙන ඉවක් බවක් නැතුව තමන්ගේ සිරුරු පහුරු ගාගන්නවා. රෑ එළිවෙද්දී පොලිස් සේනාංක යොදවලා තිලීපන් වෙනුවෙන් ඒ මිනිස්සු ගොඩනගපු ප්‍රතිමාව උගුල්ලාගෙන පළා යන්නේ මතකයක් පවත්වාගන්න බය, අමතකය තෝරාගන්නා මේ තක්කඩි උන්මත්තකයන්.
ඇත්ත... අපි බහුතරයක්, මේ මෙලෝ ඉටිගෙඩියකින් කිසිවක් නොදැනෙන, නොතේරෙන සිහිවිසංඥ රංචුවක්. අර විදියේ උමතු තක්කඩීන් ටික දෙනයි. උතුරෙත් ටික දෙනයි. උතුරේදී ඒ ටික දෙනාට පුළුවන් වෙනවා එකඟ වගේම නැති හැම එකාටම සමාජමය අවකාශයක් ඉතිරි කරගන්න. දකුණේදී අර උමතු තක්කඩීන් ටික දෙනාට පුළුවන් වෙනවා අපට සමාජමය අවකාශයකට තියෙන අන්තිම චූට්ටං ඉඩ ටිකත් ගුවලින් පුරවලා දාන්න.
ටානියා ගැන මතකය ඉතිරි කරගත්තු අපි ටික දෙනෙකුට—මනුස්සයෙක් මනුස්සයෙකුට ආදරය කරන, ඒකේ අත්‍යවශ්‍ය කොන්දේසියක් හැටියට සතා සීපාවට, ගහට කොළට, මහපොළොවට, ආකාශයට, සීතලට, උණුහුමට, ඉර-හඳ-තරු-වළාකුළුවලට, යන්ත්‍ර සූත්‍රවලට, පාරට තොටට, ගොඩනැගිලිවලට, මේ හැම මඟුලටම ආදරය කරන, ඒ ආදරය වැඩිවර්ධනය කරවන ගාමක බලයක් ඒ මතකය විසින් ලබාදෙනවා.
ටානියා ගොඩාක් තනිවෙච්ච, ගොඩාක් චූටි කෙල්ලෙක්. ඒ හීනි ඇස්වල කඳුළු පුරෝගෙන, මුහුණේ හිනාව පුරෝගෙන, බගෑපත්කමෙන් හිස බිමට බර කරගෙන, ඒත් කොන්දේසි විරහිතව නොනවත්වා අරගල කරපු, සාමාන්‍ය පටු ලෝකයට වඩා ගොඩාක් ලොකු ජීවිතයක් ගැන මතකයක් අපට ඉතිරි කරලා ගිය පොඩි එකියක්.
මේ මොහොතේ අපේ වටේ මනුස්ස සම්බන්ධකම්වලින් හැදුණු සමාජයක් මෙතැන තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. එවැන්නක් තියෙන බවට ගෝසාකාරීව මතු කරන කයියවල් පිටිපස්සේ තියෙන කුප්ප බොරුව දැන් මම හොඳටම දන්නවා. මේ හෝරාවේ නැතිවුණත්, ඊළඟ නිමේෂයක එවැන්නකට තියෙන ඉඩ ගැන මට තියෙන පුංචිම පුංචි බලාපොරොත්තුව ඉතිරි වෙන්නේ ටානියා වගේ අයගේ මතකය ඇතුළේ.
දශක ගණනක් පුරා අපි දේශපාලන පක්ෂ, එන්ජීඕ, බහුජන සංවිධාන, වචනයේ සම්පූර්ණ තේරුමටත් එහා ස්වේච්ඡා සංවිධාන, ඒ විතරක් නෙවෙයි, පන්සල්-පල්ලි-කෝවිල්-ඉස්කෝල-සරසවි වගේ අති දැවැන්ත ව්‍යුහ එක්ක 'යහපත් සමාජයක්' කොහොම වෙතත් 'සමාජයක්' ගොඩනගාගන්න දරපු හැම මහන්සියක්ම පට්ට ෆේල්! එක ඩොලරයකින්, රුපියලකින් වෙන වෙන ඉටිගෙඩි වුණත් මේ වැඩේ නම් වෙලෑම නෑ. ඒත් මේ පුංචි කෙල්ලෙක් තමන්ගේ අතිශය පුද්ගලික, පුංචි මැදිහත්වීම් අවකාශයක් ඇතුළේ කරපු බලපෑම ඒ පැත්තෙන් ඇත්තටම සාර්ථකයි.
ටානියාගේ මතකය විසින් අපට ඇන ඇන කියන්නේ නැගිටලා යමක් කරපල්ලා කියලා.
හැමෝටම එහෙම නොවෙන එක ගැන කම්පා නොවෙමු. කිසිවෙකුට නොවුණු බලපෑම ගැන එහෙම නැත්නම් අපි සුයිසයිඩ් කරගන්න එපැයි. එක්කෙනෙක්... එකම එක්කෙනෙක්... ඒ ඇති ටානියා. ඒ එකම එක්කෙනා තව කිහිපදෙනෙකුට මේ හයිය දේවි.
