Friday, March 8, 2024

ගැහැනුන්ට එරෙහි ව ගැහැණු

 අද මාර්තු 08; ජාත්‍යන්තර ස්ත්‍රී දිනය...


සමහරු අහනවා ඇයි ස්ත්‍රීන්ට එක දවසක් කියලා. තවත් සමහරු අහනවා පුරුෂයන්ට ඇයි දවසක් නැත්තේ කියලා.
ඔය අනිත් ලිංගිකයන් ගැන අහුමුල්ලකින්වත් කතාවක් නැති තරම්. ඒ වුණත් ඒ අයටත් වෙන් වුණ දවස් ජාත්‍යන්තර කැලැන්ඩරේ තියෙනවා.

එහෙම දවසක් තියෙන්නේ අනිත් දවස් විසින් අමතක කෙරෙන කොටස් ගැන, උරහිසින් අල්ලල, හොලවල, මතක් කිරීමක් කරල දෙන්නයි. සමහර විට ඒ ස්ත්‍රීන් වගේ මනුෂ්‍ය කොටස් ගැන විතරක් නෙවෙයි, ස්වභාවික පරිසරය ගැන නැත්නම් ආදරය වගේ සංකල්පීය දෙයක් ගැන වුණත් වෙන්න පුළුවන්.

"රස්සාවකට ඕනවට වඩා ඇඩික්ට් වෙන්න එපා; ඊට වඩා ජීවිතයක් තියෙන බව මතක තියාගන්න" කියලා වර්ගයේ සෑහෙන්න අවවාද අනුශාසනා හතරවටින් ම ඇහිල ඇති නේ.
මම දැන් ටිකක් වෙන තැනකින් ආයේ කතාව පටන්ගන්නවා. (මුල-මැද-අග රීතියෙන් වගේ ම එහෙ මෙහෙ විසි වෙන ගමන් මාව කියවගන්න එන අයට සොරි)

දරාගන්න බැරි තරමට පෲෆ් අවුල් තිබුණ ලස්සන පොතක් ගැන තද විවේචකයෙක් වීම හැර වෙන කිසිම හේතුවක් නැතිව මට සිංහල පෲෆ් රීඩර් කෙනෙක් වෙන්න වුණා පොත් ප්‍රකාශක මිත්‍රයෙකුට. අපි දෙන්න අතර වාදයක් ඇති වුණා 'ගැහැනු' ණයන්න ගැන ! ගෘහ+අණි =ගෘහණි (ගෙදර ඇත්තී) කියල මම ඉගෙන ගෙන තිබුණ ව්‍යාකරණ පෙරලගෙන 'ණ'  වෙනුවෙන් මම ෆයිට් කළා. "ඉතින් අපි ඕක පිළිගන්න ඕනද, ගැහැනු කියන්නේ ගෙදරට සීමා වෙන්න ඕන කට්ටියක් කියලා?" මිත්‍රයා ඇහුවා. මම ප්‍රතිතර්කය පිළිගත්තා. දැන් ලියන්න ඕන වුණා ම මම 'ගැහැනු' කියලා ලියන අතරේ අපහාසාත්මක යෙදුමක් හැටියටයි 'ගැහැණු' කියල යොදාගන්නේ.
ඉතින් හැම මනුස්සයෙක් තුළ ම තියෙන්න පුළුවන් ස්ත්‍රීත්වය අමතලා මම ඉල්ලන්නේ 'ප්ලීස්, ගෑණු වෙන්න එපා' කියලා.
ස්ත්‍රියකට ජීවිතයේ වෙන්න පුළුවන් බරපතල ම අකරතැබ්බය 'අම්මා' කෙනෙක් වීමයි.  මොකද, එතැන සෙන්ටර් කරන් තමයි ස්ත්‍රී ජීවිතය ගේ අස්සට කොටු කිරීමේ සියළු ම ව්‍යාපෘති හැසිරවෙන්නේ.
දැන් අර මැද නතර වුණ තැනට ආයේ යමු.
අම්මා පදවිය කියන්නේ ලෝකයේ තියෙන උසස්තම පදවිය වගේ (ඕකේම පූට්ටු සංකල්පය තාත්තාකම ගැන) ලෝක තක්කඩි උස්සන් එන ලනු කන්න එපා. ඒක තනතුරක්නම්, ඒක රස්සාවක්නම්, ජීවිතය කියන්නේ ඊට වඩා ගොඩක් ලොකු එකක් කියලා මතක් කරගන්න. කැමතිනම් අම්මා කෙනෙක් වෙන්න. ඒත් අම්මාකමින් ඇදගන්න එපා.
අද දවසේ ලංකාවේ පැවැත්වුණ 'කාන්තා' (පිරිමින් ඇදගන්නා කියන අරුතින් එන සිංහල වචනය) දින සමරු කීපයක් දුරස්ථව හරි නිරීක්ෂණය කරන්න මට පුළුවන් වුණා. හැම එකක් ම වගේ මේ මැතිවරණ අවුරුද්දක් කියන එක සිහියේ තියාගෙන ඩිසයින් කරපු බවකුයි මට දැනුනේ. නිදසුනක් හැටියට ප්‍රධාන කණ්ඩායම් දෙකතුනකින් ම මේ තේමාවන්ට ගෙනැත් තිබුණේ බඩු මිල, බදු බර, ජීවන වියදම වගේ දේවල්. ළමයි නඩත්තු කරගන්න, කුස්සිය කළමනාකරණය කරගන්න කොටින්ම කියතොත් අර අම්මා රෝල් එකේ ගෑණුන්ට තියෙන්න ඕන ප්‍රශ්න ටික තොරොම්බල් කරනවා හැරෙන්න මේවාට ඔය ගෑණුකමේ සීමාවෙන් නිදහස් ස්ත්‍රී මනුස්සයෙක් ගොඩනගා ගන්න එක ගැන තුන්හිතකවත් අදහසක් නැති බවයි පෙනුනේ. "ගෑණු කියන්නේ අම්මලාට. අම්මලාට පුළුවන් තමන්ගේ ළමයින්ට කියලා දෙන්න. ළමයින්ගේ අම්මලාට පුළුවන් තාත්තලාට කියල දෙන්න. ජාතියක අනාගතය තියෙන්නේ මේ අම්මලා අතේ..." ඉතින් මැතිවරණ සිතියම අස්සේ ගෑණු වාහන වෙන්නේ ඔන්න ඔහොමයි.
ඉතින් මම ට්‍රයි කළේ මට අහුවුණ  සීමාව පෙන්නල දෙන්න. ඒ සීමාවන් මම හදපුව නෙවෙයි. එහෙම හිතල මගේ ඇඟට ගොඩවෙන්න එපා ප්ලීස්.
ඕන්, පුළුවන්නම් ගෑණු නොවී මනුස්සයන් වෙයල්ලා !





Thursday, March 7, 2024

ආපු කතාව හංගන යවපු කතාවේ ඇත්ත

 ගෝඨාභය රාජපක්ෂ එලෙව්වේ 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින්' ලු !


'ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය' කියල ඕක 'හෙලිදරව්' කරන පොතක් හෙට ගෝඨාභය රාජපක්ෂ විසින් ජනගත කරනවාලු.

සමහර විට ඔය 'හෙලිදරව්ව' ඊට කලින් '9;සැඟවුන ඇත්ත' කියල විමල් වීරවංශ කරපු එකේ ම ගෝඨාභය වර්ෂන් එක වෙන්නත් පුළුවන්.

අද ගෝලීය දේශපාලනය, ඒක ඇතුලේ භූ-දේශපාලනික යථාර්ථයන් ගැන මතුපිට හරි තේරුම්ගැනීමක් තියෙන කෙනෙකුට මේවා 'මාර හෙලිදරව්වන්' වෙන්නේ නෑ.  ඒ නිසා මෙයාලා කියන කතා අපටනම් 'මාර' වෙන්නෙත් නෑ; 'ඊයියියා...විදේශික බලවේග' වගේ කැතක් හිතට එන්නෙත් නෑ.

හැබැයි, ඔය 'හෙලිදරව්වන්' කරන්නෙම ඒකෙම තව කොටසක්, සමහර විට වඩාත් ම වැදගත් කොටස යටගහන්න කියන එක තමයි සිරා ම හෙලිදරව්ව !

පුළුවන්නම්,  හෙට එළියට එන ඔය කියන පොත වර්ගයේ 'හෙලිදරව් පොත්වලින්' යවපු විදිය එක්ක ම ආපු විදියත් කියන්න කෝ බලන්න.  මෙයාල රකින්න සපථ කරන 'ජාතික රාජ්‍යයේ' එක්ටැම් ගේ ගහපු පදනම් සැකිලිවල හෙළුව ඔන්න එතකොට බලාගතෑකි කාටත් !

Saturday, March 2, 2024

අපි Vs අපි


 පෙර කතාව:

අපි ජීවත් වෙන්නේ සමූහයක් හැටියට. මේ නිසා තනි පුද්ගලයෙකුගේ නිදහස සමූහය එක්ක බැඳුණු එකක්. 
දැන් මම මෙහෙම එකක් ලියන්නෙම, එතැනින් නතර නොවී මේක මේ වගේ අවකාශයක බෙදන්නෙම ඔයාට කියවන්න. ඒක වීඩියෝ ක්ලිප් එකක් ගැන, හඬපටයක් ගැන, පින්තූරයක් ගැන, ඔය ඕනම දෙයක් ගැන අදාල කතාවක්. මේක ඔයාගේ ඇහැ-කණ ගැටුන ගමන් ඔයාට යම් දෙයක් වෙනවා. එක්කෝ සතුටක් ⁣ඇති වේවි. නැත්නම් යකා නගින්නත් පුළුවන්. ඇඬෙන්න, උගුර කට පිච්චිල යන තරම් දුක හිතෙන්න පුළුවන්. බිම පෙරලි පෙරලී හිනායන්න පුළුවන්. ඒ එක්ක ඔයා තව අය එක්ක මේකට අදාලව ප්‍රතිචාර දක්වනවා. එතකොට තව තව අයට බලපානවා.
මට ඕන දෙයක් මට කියතෑකි. කට මගේ. මට ඕන දෙයක් මට අහතෑකි; කණ මගේ. ඒක මගේ අයිතිය සහ නිදහස. ඉතින් මට ඕන දෙයක්, ඔයා ගැන වුණත්, ඔයාගේ අහවලා ගැන වුණත්, වෙන කවුරු හරි ගැන වුණත් මට ඕන දෙයක් කියතෑකි.
මේ තරමට යද්දී මේ 'නිදහස' ඇතුළේ ඔයාගෙත් නිදහස තියාගන්න එක ගැන ප්‍රශ්නයක් වගේ දැනෙනව ද ? ඒක පුදුමයට හේතුවක් නෙවෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් තමයි.
ඔන්න ඕකයි එක්කෙනෙකුගේ නිදහස තව කෙනෙකුගේ නිදහස එක්ක එකට බැඳිල තියෙන්නේ කියල අපට තේරුම් ගන්න වෙන්නේ.

සන්නිවේදනයට අපි අතර වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ ජනමාධ්‍යයයයි, සමාජ මාධ්‍යයි.  එතැනිනුත් සමාජ මාධ්‍යයන් ගත්තාම අපි හැමෝම වගේ අපේ ම කියල මාධ්‍ය ආයතනයක් අයිතියේ තියන්, මෙහෙයවීම කරන අය බවට පත් වෙලා තියෙනවා.
මේ නිදහස සහ ඉඩකඩ අපි එකිනෙකා පාවිච්චි කරන්නේ එක එක විදියට.

ඉතින් අපේ නිදහස ඇත්තටම රැකෙන්නනම් අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙන විදියට විදි යොදාගන්න වෙනවා. ඒ වගේ ම එහෙම පාලනයක මුවාවෙන් නිදහස උදුරගන්නත් අනතුරක් තියෙනවා.

ලෝකයේ තවත් රටවල වගේ ලංකාවටත් සමාජ මාධ්‍ය නියාමන පනතක් ඕන කරන්නේ ඒකටයි.
දැන් ප්‍රශ්නය ලංකාවේ ඉතාම දිගුකාලෙකට පස්සේ වුණත් කඩිමුඩියේ සම්මත වුණ පනත ඒ ඕනකමට කොයි තරම් ගැලපෙනවද කියන එක.

පනත යෝජනා කරපු පොලිස් ඇමති ටිරාන් අලස් කියනවා, 2023 අවුරුද්දේ විතරක් සමාජ මාධ්‍ය ජාලාවලට සම්බන්ධ පැමිණිලි 8000ක් කියල. ලිංගික හිරිහැර ගැන 669යි. නිරුවත් පින්තූර ගැන 506යි. ඒත් විපක්ෂය කියන්නේ මේ පනතේ වගන්ති 57කින් 55ක් ම සමාජ ආරක්ෂාවට අදාල නොවෙන බවයි.
පනත දේශීය වගේ ම ජාත්‍යන්තරවත් පුළුල් විරොධතා මැද පාර්ලිමේන්තුව තුළ සම්මත වුණා. ඒත් ආයෙමත් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කෙරිල තියෙනවා වගන්ති 57න් 47ක් ම සංශෝධනය කිරීම සම්බන්ධයෙන්.



වර්තමාන කතාව:
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online safety Act)  පාර්ලිමේන්තුවේ සම්මත වුණා.
ඒ සම්මත වූ බවට කතානායක අත්සන යෙදුනා.

⁣ පාර්ලිමේන්තු මංත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුණ පනත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතකා කරපු එකක් කියන චෝදනාව කතානායකට සහ නීතිපතිට ඉදිරිපත් කෙරුනා.
ඒත්, දින තුනකට කළින්, පෙබරවාරි 29දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම නිශ්ප්‍රබා කළා.

ඒකට හේතුව තමයි ලංකාවේ අධිකරණ සමාලෝචන බලය(Power of Judicial Review) කියන එක නැහැ. ඒ බලය සන්ධීය ආකෘතිය (Federal)  ඇතුළේ අනිවාරනීය වුණත් ඒකීය රාජ්‍ය ආකෘති ඇතුලේ වැඩිපුර වෙන්න ඉඩ ඇත්තේ නැති වෙන්නයි. ගොඩක් වෙලාවට ඒකීය රාජ්‍ය ආකෘතිය ඇතුලේ ව්‍යවස්ථාදායකයට හෝ පාලනයේ මධ්‍ය කේන්ද්‍රයට බලයේ වැඩි බරක් ලැබෙන නිසා අධිකරණයට ඊට ඉහළින් කොයි අවස්ථාවකවත් පවතින්න අමාරුයි. ලංකාවෙත් මේ තත්වය ඇතුළේ සම්මත කරපු පනතක් ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ.

පරම බලය තියෙන්නේ ජනතාවට. පුදුමෙන් කටඇරන් බලන් ඉන්න ඕන නෑ. ඔව්; ඒ කියන්නේ මේ අපි 'ජනතාව' තමයි ලු. ඉතින් අපි තෝරල යවපු අපේ නියෝජිතයන් හැටියට ව්‍යවස්ථාදායකයට පරම බලය මාරු වෙනවා. එතැන බහුතරයේ බලයට කාටත් යටත් වෙන්න වෙනවා. ඒක තමයි ඒකීය රාජ්‍ය ආකෘතිය.

දැන් වෙන විදියකින් අර්බුදයක් මතු වෙලා තියෙනවා.
යම් නීතියක් එහෙම සම්මත වෙන්න කලින් කෝකටත් මහජනතාවට පුළුවන්කමක් ලැබෙනවා  ඒක රටේ මූලික නීතිය, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණය ලවා පරීක්ෂා කරවගන්න. එහෙම වෙලාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයට දන්වල එවනවා තමන්ගේ නිර්දේශ. ඊටපස්සේ වෙන්න ඕන දේ තමයි ඒ නිර්දේශ අනූව අදාල සම්මත කිරීමේ ක්‍රියාවලිය යන එක.

හැබැයි මේවා පැත්තකට දාලා,  පාර්ලිමේන්තුව ඒක සම්මත කළොත්, ඒ ගැන කාටවත් ම කරන්න දෙයක් නැති වෙනවා.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ,තව විදියකින් කීවොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන විදියෙ පනතක් නීතියක් බවට පත්වෙන තත්වයක් මැද මෙතැන වෙලා තියෙන්නෙත් ඒකයි කියලා කෙනෙක් දකින්න පුළුවන්.

එහෙමනම් මේ තත්වය එක වාක්‍යයකින් මෙහෙම කියන්න පුළුවන්;
"අපි වෙනුවෙන් අපි සමග අපට එරෙහිව අපි"




Wednesday, February 28, 2024

රොනල්ඩ්ලාගේ සියවස


 'ලංකාවේ විවෘත ආර්ථිකයේ පියා' හැටියට රොනී ද මෙල් ගැන ජනප්‍රිය හැඳින්වීමක් තියෙනවා. මගේ අදහස මේක බරපතල වැරදි නම් කිරීමක්.

මගේ දැනුමේ හැටියට, 'විවෘත ආර්ථික සංකල්පය' ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින්.  ව්‍යවස්ථාදායකය තුළත්, ඉන් පිටත සමහර තැන්වලත්  ප්‍රමුඛ පෙළේ ලිබරල් ආර්ථික විද්‍යාඥයකු වන ගුනාර් මිර්ඩාල් උපුටා දක්වමින් ඔහු මේ අදහස ඉදිරිපත් කරනවා
.
1960 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ව්‍යවස්ථාදායකයට පත්වන ෆීලික්ස් මුදල් අමාත්‍ය ධූරයද ඒ කුළුඳුල් අවස්ථාවේ දී ම  ලබනවා.වසර තුනකින් මතභේදාත්මක තත්වයක් තුළ ඉල්ලා අස්වන්නට සිදුවූවත්, 1975 දී ආයෙමත් මුදල් අමාත්‍ය වගකීම බාරගන්නේ සමගි පෙරමුණ, දේශපාලන පෙරමුණක් සහ ආණ්ඩුවක් හැටියටත්, රටේ ආර්ථිකය සහ මුළු රටත් දැවැන්ත අර්බුදයකට පත්වෙමින් තිබුණු කාලයක. නිදහස් වෙළඳ කලාප පිළිබඳව මුල්ම සැලසුම් කිරීම් පවා ෆීලික්ස්ගෙන් ඉදිරිපත් වන්නේ මේ කාලයේ. මම අහලා තියෙනවා, 'මෝඩ ජනසතු කිරීම් තවදුරටත් නැති'  බවට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ඒ වෙලාවේ  ප්‍රකාශ කළ බවක්.

විවෘත ආර්ථික සංකල්පය' මේ විදිහට ස්ථාපිත කරන්නට උත්සාහ දරමින් සිටියදී, එහි 'පියා' ලෙස හඳුන්වන රොනී දමෙල් හිටියේ කොහේද? පුදුම සහගත කරුණ නම්, ඔහුත් එම වෙලාවේ, එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එම ව්‍යවස්ථාදායකයේ හිටියා. 

එකුන් සියවසක සිය ජීවිත කාලය නිමවා, ඊයේ (පෙබරවාරි 27) සන්ධ්‍යාවේ රොනී ද මෙල් මෙලොවින් සමුගන්නා විට, ඒ කිසිත් නොදත් මාත්, තව මිතුරෙකුත් කතා කරමින් හිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවූ මේ ප්‍රතිපත්තිමය පිල් මාරුව සාක්ෂාත් කරගන්නට ඔවුන් අසමත් වූයේ ඇයි යන්නයි.

සාපේක්ෂව ඊට අවශ්‍ය ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර් ජයවර්ධනලාට.

තියුණු උපහාසාත්මක දේශපාලන කථිකයෙකු වූ ඔසී අබේගුණසේකර විසින් 'පනී ද පිල්' නමින් නම  උච්ඡාරණය කරන ලද රොනී ද මෙල්, 1977 දී එ.ජා.ප. මන්ත්‍රීවරයකු ලෙස නව පාර්ලිමේන්තුවට පත්වී තිබුණා.  කෘතහස්ථ සිවිල් සේවකයකු ලෙස 1964 දී විශ්‍රාම ලැබූ ඔහු, 1964 දී බිබිල ආසනයෙන් පරාජයට පත් වූයේත්, 1970 දී දෙවිනුවර ආසනයෙන් ජය ගත්තෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්.  'රොනී, ජේ. ආර්. ගේ ප්‍රඩක්ට් එකක්' යයි කතාවක් තියෙනවා. තමන්ගේ පිළට අලුතෙන් පැමිණි මේ මන්ත්‍රීවරයාට බර වගකීම් සහිත මුදල් අමාත්‍ය ධූරය ලබා දී ජේ. ආර්. ගේ ජනාධිපති සමය 1988 දී අවසාන වෙන තුරු ම 'අඛණ්ඩ අයවැය 11ක් ඉදිරිපත් කළ මුදල් ඇමතිවරයා'  ලෙස රොනී ගොඩනගන්නේ ජේ ආර් විසින් බව මේ අය පෙන්වා දෙනවා. ඉහත කියපු 'පීතෘභාවය' රොනී ට පැවරෙන්නේත් මේ නිසා වෙන්න පුළුවන්.

මගේ පුද්ගලික තක්සේරුව, ලංකාවේ විවෘත ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ෆීලික්ස් මෙන්ම රොනී ද අසමත් බවයි.  ඒත් කිසිසේත්ම ඊට හේතුව වන්නේ ඔවුන්ගේ පුද්ගල අසමත්භාවය යයි නම් කරන්නට අසීරුයි. ආර්ථික වෙනස්කම් තුළින් විතරක් රට ගොඩනගන්නට ෆීලික්ස් ගත් අංශභාග උත්සාහය, සම්පූර්ණ කරන්නට අවම ලෙස හෝ රොනී සමත් වූයේ නව එ.ජා.ප. පාලනය මගින් ක්‍රියාවට නංවන ලද පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ද සමඟ ඒවා සම්බන්ධ කිරීමෙන්. හැත්තෑව දශකයේ රාජ්‍ය ප්‍රාග්ධනයට සම්බන්ධව ගොඩනැගුණු පුද්ගලික ධනපතියන් හරහා සමාජ සැකැස්ම තුළ ඇතිවුණු වෙනස්කම් මෙයට ගැඹුරින් බලපෑ බවක් මා අසා තිබෙනවා.

ලංකාවේ විවෘත ආර්ථිකය තුළ සැබැවින්ම කිසිසේත් 'නිදහස් වෙළඳපොලක්' බිහිවුනේ නෑ. දේශීය විදේශීය සියලු ව්‍යවසායකයන්ට ඊනියා සුභසාධක රාජ්‍යයේ පසුගාමී නිලධාරි යාන්ත්‍රණයක් ඇතුළතින් ගමන් කරන්නට එදා සිටම සිදුවුණා. ආණ්ඩුමය හයියෙන් වෙළඳපොළ හසුරුවන ගජ මිතුරන්ගේ මාෆියාවක් මේ තුළ තහවුරු වෙමින් තිබුණා.  ජේ. ආර්. විසින් උත්කෘෂ්ටයට නංවන ලද නවලිබරල් සිංහල බෞද්ධ රාජ්‍යය මේ විදියට එහි සීමාවන් සලකුණු  කෙරෙමින් තිබෙනවා.  ඒත්  ඊනියා 'ජාතික ආර්ථිකය' හෝ ආවෘත ආර්ථිකය කරා යළිත් පසුබැසීමක් මෙමඟින් කිසිසේත් යෝජනා කෙරෙන්නේ නෑ. අපි යා යුත්තේ ඉදිරියටයි. එකිනෙකට පසමිතුරු සේ පෙනුනත් රනිල් සහ NPP  ප්‍රවනතා අතරින් මේ සීමා අතික්‍රමණය කිරීමේ වෑයම් අඩු-වැඩි වශයෙන් දකින්න පුළුවන්.

රොනී ද මෙල් සිය දේශපාලන ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ, දැඩි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි දේශපාලනයක් මත පදනම් වූ මහින්ද රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය හා ආර්ථික උපදේශකයකු ලෙසයි.  එය ඉතිහාසයේ සරදමකට වඩා තාර්කික ඵලයක් කියලයි මට දැනෙන්නේ.

මෙල්වරු, මෙරට යටත් විජිත ආර්ථිකයේ, වයඹ පළාතේ ආරම්භක ධනපති පන්තියේ සාමාජිකයන් ලෙස ගොඩනැගුණු බවක් මා කියවා තිබෙනවා. රොනිලාචචට එහි ඇති සෘජු සම්බන්ධය ගැන මට ඒ තරම් තොරතුරු නැහැ. එසේ නමුත් රොනීලා සතුව බස්නාහිර සහ දකුණු පළාතේ ස්ථානගත වූ විශාල ව්‍යාපෘති ගැන මා අසා තිබෙනවා.

රොනීද මෙල්ගේ සියවසක තරම් ජීවිතය, ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය විස්තර කරගන්නට පුළුවන් හරි අපූරු ජීවිත කතන්දරයක් ලෙස අදටත් වැදගත්.


Saturday, December 10, 2022

ලංකාවේ මානව හිමිකම් ගැටළුවේ කේන්ද්‍රය පීඩක ජාතිවාදයයි.


අද දෙසැම්බර් 10; ජාත්‍යන්තර මානව හිමිකම් දිනය.

ඔබත්-මාත් අයිති වෙන හෝමෝසේෆියන් නමින් හදුන්වන මානව වර්ගයා මේ පොළොව මත්තේ බිහි වෙලා දැන් වෙද්දී අවුරුදු දෙලක්ෂයකුත්-තුන්ලක්ෂයකුත් අතර වගේ කාලයක් ලු. හැබැයි මානව විද්‍යාව ඔය කතාව කියන්නේ මේ අපේ ශරීර කූඩු සම්බන්ධයෙන් හොයල බලල.
ඒත්, මානවයා නැත්නම් මනුෂ්‍යයා කියන්නේ ශරීර කූඩුවක් විතරක් නෙවෙයි නේ.
අද ඔය අනුස්මරණය කෙරෙන මානව හිමිකම් දිනයට පදනම විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය සම්මත කරගැනීම;අද වගේ දවසක ලු, ලෝකයේ ඔක්කොම වගේ රාජ්‍ය එකතු වුණ එක්සත් ජාතින්ගේ මහා සම්මේලනයකදී මේ නිල එකගතාවයට ආවේ. 
මනුෂ්‍යයෙක් හැටියට පිළි ගත හැක්කේ හිමිකම් භුක්ති විදීමේ තත්වයක් ඇති අයෙක් බවට මේ ප්‍රඥප්තියෙන් රාජ්‍යයන් පිළිගත්තා.  එක් අතෙකින් මානව හිමිකම් කියන්නේ රාජ්‍ය වගකීමක් බවට පත්වීමකුත් එක්ක ම අනිත් අතින් රාජ්‍යය එ තැනට ගෙන ඒමේ පුරවැසි සමාජ වගකීමකුත් ඒ හරහා අවධාරණය කෙරෙන බව තේරුම් ගතෑකි.
මේ එකගතාවයට එන ගමන වැටිල තියෙන්නේ 'අපිත් මනුෂ්‍යයෝ' කියල පිළිගන්න බලකරපු දීර්ඝ අරගල ඉතිහාසයකින්. ක්‍රි.පූ. හැත්තෑ ගණන්වල ස්පාර්ටකස්ලා මෙහෙයවපු වහල් කැරලි අපි දන්න ඉතිහාසයේ මුල් සිද්ධි. ඊට පස්සේ එංගලන්තයේ,  ප්‍රංශයේ, රුසියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි පිමි ගණනාවක් සලකුණු කළ නැගිටීම්.
මේ හැම දේ ම හරහා නූතන මනුෂ්‍යයා ගැන කියවාගැනීම මූලික වශයෙන් බටහිර ශිෂ්ටාචාරයෙන් මතු වුණ බව ඇත්ත.  ඒක පිළිගන්න නිහතමානි වීම, මනුෂ්‍යත්වය අහිමි වීමක් නෙවෙයි. "ඕවා බටහිර සංකල්ප" කියලා මොට්ට මෝල්‍ කතා කියන පොරවලට උත්තර දෙන්න ඕන, නැති ඉතිහාසයක් පෙරදිග වෙනුවෙන් ලිවීමෙන් නෙවෙයි; කොන්ද පන ඇතිව 'ඉතින් මොකෝ' කියා ආපස්‍සට ඇසීමෙන්. මනුෂ්‍යත්වය දිනා ගත හැක්කේ ඒ විදියෙන්.


මානව හිමිකම් දින සටහන්-2:
______________________________

මනුෂ්‍යාත්මභාවයක්, මනුස්ස ශරීර කූඩුවකට හිමිවෙන්නේ හිමිකම් භුක්ති විදිමේ පුළුවන්කමත් එක්කනම්, ඒක රාජ්‍යයේත්, ඒ රාජ්‍යය කරවන ආණ්ඩුවේත්, ඒ තුළ වාසය කරන වැසියාගේත් ප්‍රධාන වගකීමකුත් වෙනවා, එවැනි ජීවිතයක් නිර්මාණය කිරීම.
රාජ්‍යය කරවන ආණ්ඩුව එතැනට මෙහෙයවාගන්න එකත් වැසියාගේ ම වැඩක්. ඒක කවුරුවත් උඩින් ඇවිත් කරල දෙන එකක් නෑ. රටක්-රාජ්‍යයක් හැටියට ගත්තොත් උඩින් එහෙම දෙයක් කඩා පාත් වුණත්, ඒ ඔය කියන එක ම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සංකල්පේ මූලික ම බටහිර වුණත්, ඕක අපේ දේකුත් වෙනකම් අපට අත් කර ගන්න බැරි වෙනවා.
දැන් ලංකාවේ යථාර්ථය ඔන්න ඕකයි.
මුළින් ම ආණ්ඩුවක් විසින් ශ්‍රීලංකාව කියන රාජ්‍යය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් කියල පිළිගැනීමක් කරන්නේ 1972 ව්‍යවස්ථාවෙන්. ඇත්තම කීවොත් ඒකෙන් මානව හිමිකම් තහවුරු වෙන්න වෙච්ච අලයක් නෑ. කඩ වුණොත් සොරි කියන්නවත් බැදීමක් නෑ! හරියට ම කියතොත් මේ ඉමිටේෂන් කරාබුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටල දැම්මේ සුළුජාතීන්ට එරෙහි පීඩනයට බාධාවන් ඇති කරපු, කලින් ව්‍යවස්ථාවේ 29(2) වගේ කොන්දේසිවලට කෙලවල දාන්න !  ඒ කියන්නේ ඔය මුල් ම මූලික හිමිකම් කියන්නෙම හිමිකම් විරෝධි විගඩමක්!
78 ව්‍යවස්ථාවෙන් මේ මූලික හිමිකම්වලට ක්‍රියාත්මක තේරුමක් දුන්නා. ඒක එක්තරා ඉදිරි පියවරක්. ඒ පිටිපස්සේ තිබුණේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඕනකම. ජීවිතයට ඇති අයිතියවත්, සමාජ-ආර්ථික අයිතීන්වත් තවදුරටත් මූලික හිමිකම් වුණේ නෑ. පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම දේකට බලකරන්න තරමට ලංකාවේ ඒ ඕනකම තියෙන බලවේගයක් නිර්මාණය වෙලා නෑ.  ඒක කරන්න ඕන අය ඒකත් ආණ්ඩුවකින් කරන්න ඕන කියන ට්‍රැජඩිමය කොමඩියේ බවයි තාමත් පේන්නේ.
අනිත් අතින් මානව හිමිකම් ගැන අදත් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය සලකුණු වෙන්නේ ජාතික ප්‍රශ්නයෙන්. මානව හිමිකම් හී පදනම් හැටියට සැළකෙන පුරවැසි සමානාත්මතාවයත්, ගරුත්වයත් ගැන සියළු ප්‍රශ්න, මේ නිශ්චිත ප්‍රශ්නය මග හැර ගිහින් කතා කිරීම අර කී ට්‍රැජඩිමය කොමඩියේ ම කොටසක්.
ලංකාවේ මහජාතික පදනමේ වැඩකරන කට්ටියට ආර්ථික අර්බුදයක් හැටියට දැනෙන්නේ ශ්‍රීලංකාව නමින් ගොඩ නැගූ වර්ගතාන්ත්‍රික රාජ්‍යයේ දේශපාලන අර්බුදය බව තේරුම් ගන්නා තාක් ඔය කොමඩිය ඉහළින් ම රග දැක්වේවි.
සටහන අවසන් කරන්න කළින් තව එක දෙයක් විතරක් සළකුනු කරන්නම්; අවසන් වතාවට උසස්පෙළ දේශපාලන විද්‍යා පිළිතුරු ගැන විවරණයක් දක්වා ඇති 2016දී විද්‍යාර්ථීන්ගේ අඩු ම හා ව්‍යාකූලතම දැනුම සහිත කළාපයක් හැටියට සළකුනු වෙන්නේ 'මානව හිමිකම්'! ඒ දේශපාලන විද්‍යාව හදාරපු හාදයන් ගේ තත්වය!!
අද උදේ මට යන්න සිදු වුණා, අපේ මිත්‍රයන් කණ්ඩායමක් විසින් කැදවපු මානව හිමිකම් දින සමරුවකට, කොළඹ පදනම් ආයතනයට. එස්. සිවගුරුනාදන්, නීතිඥ ස්වස්තිකා ආරුමුගම්, ජේ. ජෙගන්, මහාචාර්ය, අර්ජුන පරාක්‍රම, නීතිඥ සාලිය පීරිස්, ජෝෂප් ස්ටාලින්ගේ කතා වල (අතරින් පතර එකතු කරපු ජාත්‍යන්තර සුබපැතුම් වීඩියෝ පණිවුඩ එක්ක) ශ්‍රාවකයකු හැටියට පැය ගානක් ගෙවා දමන්නට මටත් සිදු වුණා. එහි සිටි තවත් මා දන්නා සහ නොදන්නා පන්සියයකට අඩු ඉතිරි ශ්‍රාවක පිරිසට කොහොම දැනුනාදැයි මම දන්නේ නෑ. හැබැයි ඒ කිසිවෙක් හෝ ඔවුන් ඇමතූ මේ කතා කිසිවකින් මහපොළොවේ සම්මුතියක් ගොඩනැගීම ගැන කථිකාවට ඉඩක් ලැබුණේනම් නෑ. ඒක අනිත් අයට මට තරම් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ.
මට සමහර විට දැනෙන්නේ මේ වගේ 'වැඩ' ඒ වැනි ඇත්ත කථිකාවක් මගහැරීම සදහා ම ඇටවෙන ඒවා ද කියන ප්‍රශ්නයයි. සමාවෙන්න;ඔය නම් කියවුණ අය හෝ කිසිම කණ්ඩායමක් ඉලක්ක කරපු චෝදනාවක් නෙවෙයි. සමහර විට ඔවුනුත් ඒ ඒ අයට සෙට්‍ වෙන ෆැන්ටසිවල ගිලී යාම නිසා නොදැන ම මිස් වෙනවා වෙන්නත් පුළුවන්.
















Saturday, July 16, 2022

හුදු රනිල් විරෝධයේ ඝෝෂකයන්ට ප්‍රතිපිළිතුරක්

රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක්

--------------------------------------------------------------

'රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්' මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින සුනන්ද දේශප්‍රිය ගේ SriLanka Brief හී පළ කර තිබෙනවා.
ලංකා පොළොවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා දිගුකල් අරගලයක පරිනත අත්දැකීම්ධාරියකු විසින් මෙවැනි නර්මාලාප සහිත ලිපියක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක්.
මුළු ලිපිය ම පදනම්‍ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයේ සිට ම අගමැති, වැඩ බලන ජනාධිපති හා 20 දින අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු නිලවරණයේ දී අපේක්ෂකයකු වීම පවා ව්‍යවස්ථානුකූල නැති බව එක අතකින් කියන ගමන් අනිත් අතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීම 'ව්‍යවස්ථාවට පිටින් වූවක්' බැවින් ව්‍යවස්ථාව අනූව ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් අවශ්‍ය නොවන බව පෙන්වා දීමටයි. මේ පදනම විතරක් සැළකිල්ලට ගත්තත් මේ ලිපිය ව්‍යවස්ථාව පදනම් කර ගත් එකිනෙකට පරස්පර ප්‍රකාශනයන්ගෙන් නිශේධ වී
යන්නක් බව පැහැදිලි යි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පත්වීම් ද ?
---------------------------------------------------
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස පත් වීම කිසිදු ජනවරමකින් බැහැර ව සිදු වූවක් බව මෙහි එන එක් තර්කයක්. මෙහි දී රංජිත් 2019 විවාදාත්මක ඡන්ද ප්‍රතිඵලය ඇත්තක් ලෙස අවිවාදයෙන් බාර අරන්. ඉතින් එදා ප්‍රකාශ වුණා කියන 'ජනමතය' අනූව රනිල් මංත්‍රීධූරය ලබන්නේ ජාතික ලැයිස්තුවෙන් එම පක්ෂයට ලැබෙන එක ම එක ආසනය මගින්. ජාතික ලැයිස්තුව යනු ජනවරමක් නෙවෙයි ද ? ඒ විවාදාත්මක ඡන්ද ප්‍රතිඵලය තුළ වුව ද, රට පුරා ම එම පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ වූ ඡන්ද නියෝජනයෙන් බැහැර විය යුතු යයි රංජිත් වැන්නෝ කල්පනා කරතියි අදහාගත නොහැක්කක්.
ජාතික ලැයිස්තුවේ රනිල් ගේ නම නැතැයි ද, රනිල් ඡන්දයෙන් පරාජිත වූවෙක්යැයි ද තවත් ඤරුඤුරුවක්. කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට විශිෂ්ට සේවයක් කරපු සුනිල් හදුන්නෙත්ති කියන්නෙත් ඒ වගේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ පරාජිත මංත්‍රීවරයෙක්. ජාතික ලැයිස්තුවේ අරමුණ වෙන ජනප්‍රියතාවයෙන් අසමත් වෙන, එහෙත් පාර්ලිමේන්තු මංත්‍රීවරයකු හැටියට වැදගත් සේවයක් සැලසිය හැකි අය ඊට පත්කිරීමයි. (කෝප් හිටපු සභාපතිවරයකු වන ඩිව් ගුණසේකර පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය, ජනතාව නියෝජනය කිරීම සදහා හැකියාව, පාර්ලිමේන්තු මංත්‍රීවරයකු සතු විය යුතු සුදුසුකම් බවයි)ඉතින් රනිල්-සුනිල් අවස්ථා දෙකේ දී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය ගැන ලියුම්කරුට ඇත්තේ සමාන නොඑකගතාවයක් ද ? නැත්නම් වෙනස් තේරුම් කිරීමක් ද ?

අගමැති වෙනස රාජපක්ෂවරු විසින් පරිත්‍යාග කිරීමක් ද;අරගලය තුළ දිනාගැනීමක් ද ?
---------------------------------------------------
රනිල් අගමැති ධූරයට පත් වෙන්නේ 'බලහත්කාරයෙනැ' යි රංජිත් කියයි. මෙකී අරගල තත්වය ආරම්භ වීමට පෙරාතුවම ලංකාවේ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයන් මෝරා යන, පිපුරුම් සහගත කාලයේ දෙවරක් ම රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ අගමැති යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත්, ගෝල්ෆේස් ඇතුළු වීදි අත්‍පත්කරගැනීම් අතර ඉදිරිපත් වූ මුල් යෝජනාව ද ප්‍රතික්ෂේප කළ බවත් එක්කෝ රංජිත්ලා විසින් අමතක කරනවා; නැත්නම් වසන් කරනවා.  අන්තිමේ දී මැයි 09 වෙනිදා ආණ්ඩුවේ ප්‍රහාර හමුවේ මතු වූ අස්ථාවරත්වය යොදා ගනිමින් මිලිටරි ජුන්ටාවක් ඇටවීමේ අනතුර එළැඹෙමින් තිබෙද්දී, විපක්ෂ නායක සජිත් හා ජාතික ජනතා බලවේගය ලෙස පෙනී සිටින අනුර කුමාර යන දෙදෙනා ම නොකෙරෙන කොන්දේසි දමමින් මග හරින තත්වය තුළදිත්, රනිල් මෙය  බාර ගත්තා. නැත්නම් ඇමති මණ්ඩලයම නැතිව වුණත් ගෝටා ට ජුන්ටාවක් පිහිටුවා ගැනීමේ ඉඩ විවර වෙමින් තිබුණේ. ඔහුට කියන්නට ඇත්තේ මෙපමණයි;"පාර්ලිමේන්තුව විකල්ප නායකත්වයක් පත් කිරීමට අසමත්; අස්ථාවරත්වය වළක්වනු වස් පාලන බලතල  ව්‍යවස්ථානුකූලව මා අතට ගන්නවා". (සමහරුන් 'විධායක ජනාධිපති ක්‍රමය' යයි පටලවා ගෙන සිටින 'දෙමුහුන් ක්‍රමයේ' ලක්ෂණය හා අවශ්‍යතාවය ද ඒකයි)

එයාලගේ කොන්දේසි සහ මෙයාලගේ කොන්දේසි
---------------------------------------------------
රනිල් මේ බාරගැනීම කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය අසීරු ම අභියෝගයකට ලක් ව තිබිය දී  බව මෙතැන දී ලියුම්කරු ට අමතක වීමක් ද;නැතහොත් කුහක වසන් කිරීමක් ද ? රනිල් කිසිම කොන්දේසියකින් තොර ව අගමැති ධූරය බාර ගත් බව මීට  කීපවිටක් ම මෙකී ලියුම්කරු පවසා තියෙනවා. ඒත් ඇත්ත වෙන්නේ, රනිල් විසින් ඉදිරිපත් කළ කොන්දේසි ද ඇති අතර, ඒවා අතර තිබුණේ ගෝටාගෝගම සාමකාමි රැස්වීමේ හා සමාගමයේ අයිතිය යටතේ ආරක්ෂා කළ යුතු බවත්, 19 සංශෝධනය යළි ව්‍යවස්ථාවට ගෙනෙමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 සංශෝධනය අහෝසි කළ යුතු බවත් යනාදි ඒවා බවයි.  මානව අයිතීන් රැකෙන, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කෙරෙන පරිදි ක්‍රමක්‍රමයෙන් ජනාධිපති විධායක බලතල අඩු කෙරෙන වැඩපිළිවෙල සැබැවින් ම අරගල බිමේ ඇත්ත අරගලය ඉදිරියට ගෙන යාමක් නො වේ ද ? ඉඩම් අල්ලා ගෙන සිටීමෙන් හෝ පිකට් බෝඩ් අල්ලා සිටීමෙන් හෝ මග හරස් කිරීමෙන් හෝ පමණක් මේ අරගලය දිනිය නොහැකි අතර අනිවාර්යයෙන් ම එය ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාදායකය තුළට ද ගෙන යා යුතු ව තිබුණා. වීදි අත්පත් කරගැනීම් වලට බොහෝ කලකට පෙර රනිල් වික්‍රමසිංහ සිය ප්‍රථම පාර්ලිමේන්තු කතාවේදී ම පෙන්නා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ව්‍යවස්ථාපිත නොවන රෙජීමයකින්, විශේෂයෙන් ම මිලිටරි රෙජීමයකින් යට කෙරෙමින් ඇති බවයි; ඒ  ගලවා, ස්වාධීන කර ගැනීමේ අවශ්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජන අරගලයේ පාර්ලිමේන්තුව තුළ අවම වශයෙන් එක් ප්‍රමුඛ මට්ටමේ ප්‍රකාශකයෙකු වුණා. ආඥාදායකත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටි ආණ්ඩුවේ බල කළමනාකරණ උපක්‍රමයක් ලෙස අගමැති ධූරය හිස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ අන් සියළු ම නායකයන් කර හැරි වගකීම බාරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම 'බලහත්කාරයක්' වන්නේ කොහොමද ? කාවද 'බලහත්කාරය' ට ගොදුරු වුණේ ?

ජනාධිපති පදවිය මංකොල්ල කෑවා ද;ව්‍යවස්ථානූකූල ජන අරගලයෙන් දිනා ගත්තා ද ?
---------------------------------------------------

මීළගට වැඩබලන ජනාධිපති පදවිය බලහත්කාරයකින් උදුරා ගත්තක් ද ? නැහැ; ඒ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූලව සිදු වූවක්‍. ජනාධිපතිවරයා විදෙස්ගත වීමක් ඒ වන විට සිදු ව තිබුණු අතර 37:1 ව්‍යවස්ථාව අනූව ඒ වන විට සිටි අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ධූරයේ වැඩ බැලීම සදහා පත් කළ යුතු වෙනවා.ඉතින් සිදු වුණේ ඒක මිස වෙන කිසිවක් නෙවෙයි. එතැන ඇති 'බලහත්කාරය' මොකක්ද ? කාට වූවක් ද ?
40:1 ව්‍යවස්ථාව අනූව පාර්ලිමේන්තුව විසින් එහි මංත්‍රීවරු අතරින් අයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා ගත යුතු වෙනවා. එහිදී තරග වැදීම ව්‍යවස්ථාවටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් මුළුමනින් ම එකගයි. ඒ ඡන්දයට ඉදිරිපත් නොවන ලෙස පවා ඉහත පිරිස රනිල් වික්‍රමසිංහ ට බලපෑම් කරමින් ඉන්නවා. ඉහත සියළු නර්මාලාප නිශේධ වීමෙන් පසුවත් මේ කල්ලි විසින් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සාපරාධී  බලහත්කාරයක් ද නොවන්නේ කොහොමද ? 

ව්‍යවස්ථාව එක්ක ඩබල් ගේම් කාගේ ද ?
---------------------------------------------------
එක් අතකින් රනිල් වික්‍රමසිංහ ගේ සියළු ම පත්වීම් නීතියට පිටින් බව පෙන්වීමට ව්‍යවස්ථාව පෙන්වන රංජිත්, අනෙක් අතින් ජනාධිපතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථාවට බැහැරින් කරන ලද්දක් බව පෙන්වමින් ව්‍යවස්ථාවට අනූව කටයුතු කිරීමේ හෝ යුක්තියුක්තභාවය සෙවීමේ අවශ්‍යතාවයක් නැති බව කියනවා. මේ පරස්පර කතාව ගැන කරදර වීමත් අනවශ්‍ය දෙයක් වෙන නමුත් සරල පැහැදිලි කිරීමක් ලියා තියන්නම්. මෙපමණයි; ජනාධිපතිවරයකු ඉවත් කළ හැකි සෘජු ක්‍රියාමාර්ග ලෙස ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ දෝෂාභියෝග සම්මතයත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කිරීමත් විතරක් බව ඇත්ත නමුත් අදහස් පළ කිරීමට ද, සාමකාමී  රැස්වීමේ අයිතිය ද මූලික අයිතිවාසිකම් හැටියට ව්‍යවස්ථාවෙන් තහවුරු වී තියෙනවා. රංජිත් අමතක කරන්නේ හො සගවාලන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන හැටියට බල කළ මුළු ජන නැගිටීම විසින් ම යොදා ගත්තේ මේ ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන බවයි. ඒ අනූව මේ මුළුමනින් ම ව්‍යවස්ථානූල තත්වයක්.

'අරගලය', හයිජැක් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ එඩ්‍රස් මාරුව
---------------------------------------------------
එහෙත් අරගලය තුළ තිබුණු බහුපාක්ෂික ස්වරූපය ඊට හයියක් වගේ ම සමහර විට ව්‍යාකූලත්වයක් සහ විනාශකාරීත්වයක් ද ගෙන ආ බව දකින්න පුළුවන්. මේ හිඩැස යොදා ගනිමින් 'ගෝටාගෝහෝම්' තේමාවට 'ගෝටා-රනිල් ආණ්ඩුව ගෙදර පල' ලෙස තේමාවක් උඩින් පටවනු ලැබීම අරගලයේ දිශානතිය වියවුල්‍ කරන්නක් වුණා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජවිපෙ යටතේදීත් ,අද පෙසප යටතේදීත් කුමනාකාර 'ප්‍රජාතන්ත්‍රවාදී' සංවිධානයක් ද යන්න නොදන්නා අයත් ඇති. සාමාන්‍ය සරසවි ශිෂ්‍යයන් විමසා බලන්න. ඒ කරුණ මෙහි මතු කළේ අළුත් බලලත් හිමිකාර කණ්ඩායමේ ලොකු ම හයිය වෙන්නේ මේ අවිශිබම නිසා. 'සිස්ටම් චේන්ජ්' යනුවෙන් පුළුල් සටන්පාඨයක් ඔවුන් විසින්, ඔවුන් ගේ අයිතිකාරීත්වය යටතේ ගෝල්ෆේස් පිටියට ගේනවා. අපි එක් එක් අය හිතා ඉන්නේ එක එක සිස්ටම් චේන්ජ් ගැන. ඒ ගැන කිසිම මොහොතක අභිමුඛ වීම වළක්වාගනිමින් කවුරුත් වැඩ කළේ ඊනියා 'නිර්පාක්‍ෂික' ලේබලයට මුවා වෙලා. හිත් යට, මේස යට ඇත්ත බල ව්‍යාපෘති තිබුණා. ජූලි 05 වෙනිදා යම් පිරිසක් විසින් 'ගෝල්ෆේස් අරගලකරුවෝ' ලෙස තමන් හදුන්වා ගනිමින් 'සම්මුතිය' නම් ලියවිල්ලක් ප්‍රකාශයට පත් කරනවා. දසදහස්  ගණනින් ඒ පත්‍රිකා බෙදා හැරෙනවා.(සම්පත් ලැබෙන විදිය මම අහන්නේ නෑ) මේ ගැන මේ ලියුම්කරු ගෝල්ෆේස් අරගල භූමියේ පැලපදියම් වෙලා හිටපු කණ්ඩායම් කීපයකගෙන් විමසුවාම ඔවුන් ගෙන් බහුතරය කීවේ "ඔහොම ලියවිලි කීපයක් තියෙනවා. අපි ඕක කතා කරල නෑ. අපි දැනුවත්ව නිකුත් කරන ලද එකක් නෙවෙයි" යනුවෙන්. 'පුරවැසි මහා සභාව' තුළ මේ අවුල සාකච්ඡා කරන බවක් කී එක් පිරිසක් මටත් ඊට ඇරයුම් කළා. තත්වය මෙහෙම වෙද්දී නිරීක්ෂණය කරන්න ලැබුණේ 'දැන් රටේ බලපවත්වන්නේ 78 ව්‍යවස්ථාව නොව ,මෙකී සම්මුතිය බව'  විශේෂයෙන් ම පෙසප සම්බන්ධ පිරිස් විසින් තැනින් තැන ප්‍රකාශයට පත් කිරීමයි. ජවිපෙ සහ ඔවුන් අතර බලඅරගලය කුමන්ත්‍රණකාරී වගේ ම එළිපිට මතු වෙන තත්වයකුත් ඒ අතර තැනින් තැන මතු වුණා. 'කල්ලි හයක් අතර ගෝල්ෆේස් අරගලය බෙදී ගොස් ඇති බවත්, කොතැනක හෝ වැරදීමක් සිදුවෙමින් පවතින බවත්' අවසන් මොහොතේදී ගෝල්ෆේස් අතැර යමින් සිටි අයෙක් මේ ලියුම්කරුට පැවසුවා. 

ත්‍රස්තෝන්මාදවාදී ක්‍රියා ගැන දිව දෙකේ කතා
---------------------------------------------------
මේ අතරතුර වාරයේ විනාශකාරී ක්‍රියා, විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ ගේ නිවස ට එල්ල කළ ත්‍රාසෝන්මාදවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් 'අරගලකරුවන්' යයි කියා ගන්නා පිරිස ප්‍රතිචාර දක්වමින් සිටින්නේ කොහොමද ? "එය අරගලයට මඩ ගැසීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් ම ගිනි තබා ගත්තක් වන අතර රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි තැබිය යුත්තකි!"
මේ සිහිගන්වන්නේ 'යාපනය පුස්තකාලය කොටි පොත්පත් රැකි නිසා ගිනි තැබිය යුත්තක් වන අතර එය ගිනි තැබුවේ සිංහල ආණ්ඩුව අපකීර්තියට ලක් කරනු වස් කොටි විසින්' යැයි කීමට නො වේ ද ?  තවදුරටත් 'සිරස ට ගිනි තබා ගන්නා ලද්දේ සිරස විසිනැ'යි කී 'හෙළිදරව්ව' වැන්නක් නො වේ ද ? ප්‍රහාරකයන් මොකුන් වූවත් ඔවුනගේ 'වීරවික්‍රමාන්විත ක්‍රියාව' ගැන රංජිත් විසින් නරඹා ඇත්තේ බාගෙට වීඩියෝ පටයකි. යකඩ පොලුවලින් ගසමින් ආරක්ෂක කුටි බිද හෙලන අතර පිටේ එල්ලා ගත් බූලි වැනි උපකරණ සහිතව ඇතුළට පනින ප්‍රහාරකයන් ද, "ගල් ගහන්න එපා; අපේ උන් ඇතුළේ " යයි පිටත සිට ගල්මුල් ප්‍රහාර එල්ල කරන පිරිසට නියෝග දෙන අය ද සහිත වීඩියෝ පට ඔහු විසින් නිරීක්ෂණය කර නැති හැඩයි. ඇතුලට ගිය පිරිස ඇතුලත ආරක්ෂක නවාතැන්වලට ගිනි ලෑමට පෙර ඔවුන් විසින් ම කරන ලද වීඩියෝ ඇති අතර හදුනාගැනීමට අවශ්‍යනම් ඒවායෙන් මූණු කීපයක් ද සොයා ගත හැකි වනු ඇති.

ගිනිලෑමෙන් පසු ඊනියා අරගලකරුවන් හැසිරුන පිලස්තීනු ආකාරයත්, ඉහත සමස්ත ප්‍රතිචාරත් කුමන වර්ගයේ ප්‍රජාතන්ත්‍රික භාවිතයක්දැයි කරුණාකර පැහැදිලි කරනු මැනවි. එවැනි 'ප්‍රජාතන්ත්‍රික' භාවිතයන් මා නම් නිරීක්ෂණය කර ඇත්තේ පැසිස්ට් සහ පැසිස්ට් පන්නයේ කල්ලි අතරයි. 

හැබෑ ම බබාඋක්කුං ලා, කෛරාටික හිවළුන් සහ හිස් පුරවැසි අවකාශය
---------------------------------------------------
අදාල ලියුම්කරු විසින් මතක් කර ඇති 'බබාඋක්කුං'භාවය ගැනත් සුළු තේරුම් කිරීමකින් මේ ලිපිය ඉවර කරන්නට කැමතියි.
19 සියවසේ සම්භාව්‍ය මාක්ස්වාදී හෙලිදරව් කරගැනීම් පවා දැන සිටි, ප්‍රකාශ කළ සත්‍යයන් වූ සමාජවාදය ගොඩ නැගිය හැක්කේ ද්‍රව්‍යමය වූ නිෂ්පාදන සම්බන්ධතා ඒ කරා සංවර්ධනය වූ තත්වයක් යටතේ මිස කාගේවත් හිතේ පහළ වන ආසාවක්, අවංකකමක්, ඊනියා කැපවීමක් අවම ලෙස සෞන්දර්යයට නැංවීමෙන්වත් නො වේ යන්න වැනි අතිමූලික රීතීන් පවා යට ගසා දමා ඇත්තේ ඇයි ? අමනකමද ? තක්කඩිකම ද ? මේ බව අහන්නට වෙන්නේ 'සිස්ටම් චේන්ජ්' යනුවෙන් සමාජවාදයට යන්නට තතනන බබා උක්කුන්ලා සෙට් එක ගැන මතය පැහැදිලි කර ගනු උදෙසා ය.
භූ දේශපාලනික යථාර්ථයන් නොදැන ළදරු වලිප්පු වලින් මුසපත් වීම විසින් ඇද ගෙන යන්නේ මහා ජයග්‍රහණයකට නො ව මහා සංහාරාත්මක විනාශයකටයි. මේ වෙලාවේ ලංකාව, එක් අතෙකින් චීන න්‍යායපත්‍රත්, අනිත් අතින් ඉන්දු-ඇමරිකානු  න්‍යායපත්‍රත් අතර ගැටුමක. ඉන්දු-ඇමරිකානු න්‍යායපත්‍රය අනිත් එකත් එක්ක යම් කලමනාකරණ සංහිදියාවකට යමින් ජයග්‍රාහි තැනක.  අප සියළු දෙනාමත්, සියළු දේමත්,ඒ  ගේම ඇතුළේ ඉත්තන් බව අවබෝධ කර නොගන්නා කිසිවෙක් අදට ඔබින නවීකාරක දේශපාලනයකට තියා මරණාධාර සමිතියකටවත් සුදුසු වෙන එකක් නෑ. ඔවුන්‍ කාටවත් ම ඔය දාම් ලෑල්ලෙන් එහා ජීවිතයක් හෝ ගමනක් නැහැ. අන්න ඔවුන් තමයි නියම බබා උක්කුං ලා.

තව එක ම එක දෙයක් එකතු කළ යුතුයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ගොඩ නගා ඇත්තේ ගැඹුරු සහ හයිය සමාජ සම්මුතියක් මත නොවෙයි. එහෙම සමාජ සම්මුතියක් හදාගන්න අත්‍යවශ්‍ය 'පුරවැසියා' නිකම් ම නිකම් වයස පිරුණ පලියට, ඡන්දදායකයෙක් වුණ පලියට හැදෙන්නේ නෑ. එහෙම පුරවැසි සමාජයක් නැතිව දියුණු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක් හැදෙන්නේ නෑ. එතැන තියෙන්නේ අනුපූරක සම්බන්ධයක්.
මේ බව තේරුම් නොගෙන 'බබා උක්කුං' වෙන අය ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නේ පට්ට ම හානියක්. 
ඒ මෙහෙමයි;
රනිල් සාධකය එක්ක සම්බන්ධිත ලිබරල් ප්‍රතිසංස්කරණ එක අතකින් ඉන්දු-ඇමරිකන්-යුරෝ-ජපන් න්‍යාය පත්‍ර එක්ක සමපාතයි. අනිත් පැත්තෙන් සුබසාධක රාජ්‍යය මත්තේ ගොඩ නැගුනු, රාජ්‍ය ප්‍රාග්ධන හා දේශපාලන බලය මත්තේ ගොඩනැගුනු ස්වදේශික ව්‍යාපාරික ජාලයක ආපස්සට ඇදීමේ පීඩනය එක්ක සමපාතයි. මේකට අපේ කැමැත්ත-අකැමැත්ත අදාල නෑ. මේ දෙපැත්තට ඇදීමක් ඇතුළේ තියෙන හිස්‍ අවකාශයක් තුළ තමයි 'පුරවැසියා' සතු ගැබ තියෙන්නේ. රනිල් සාධකය විසින් හැමවිට ම විවර කරන්නේ ඒ ඉඩ. 
නවීකාරක, ප්‍රායෝගික දේශපාලනය සදාචාරවාදී ද;උපායමාර්ගික ද ?
---------------------------------------------------
එතැනදී සදාචාරයක් ගැන දේශනා වල එල්ලී ඉදීම, පසුගාමී සදාචාරවාදීන් ගේ කදවුර ශක්තිමත් කිරීමක් හැර වෙන කිසිවක් නොවෙයි. සදාචාරය අපේක්ෂා කළ හැකි සමාජයක්, පුරවැසි සමාජයක් ඉස්සෙල්ල ගොඩනගල ඉමු. ඒ තැනදී වඩා වැදගත් වෙන්නේ උපක්‍රමික අරගලය මිස ඔය අපි උඩ තර්ක කරපු සදාචාරාත්මක පදනම නෙවෙයි. අර දාම් ලෑල්ලෙන් එහාට වගේ ම රනිල් සාධකයෙනුත් එහාට යන්න පුළුවන්‍කම ලැබෙන්නේ ජනප්‍රියවාදී රනිල් විරෝධයේ අශුද්ධ සංධානය පරාජය කිරීම හරහා විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ලාංකික අරගල භූමිය දැන් ඇත්තේ හරියට ම මෙන්න මෙතැනයි.




Sunday, May 22, 2022

2020 අවතාරයෙන් ගැලවෙනු වස් 21 !


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21  වන සංශෝධනය, හෙට, 23 සදුදා, ඇමති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බව ඇමති විජේදාස රාජපක්ෂ කියනවා. ඇමති මණ්ඩල අනුමැතිය ලබපු  වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කියනවා. 

මේ එක්ක සිග්සැග් සංශෝධන රටාවක් පේන්න තියෙනවා. 

'78 ව්‍යවස්ථාව මිශ්‍ර විධායක ක්‍රමයක් පදනම් කර ගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ඒක විධායක ජනාධිපති ක්‍රමයක් කියන ජනප්‍රිය බේගලය බොහෝ දෙනා දරා ඉන්නේ, පත් වෙන ජනාධිපතිවරයාට අතිවිශාල බලතල ප්‍රමාණයක් මදිවට කොහේවත් නැති මුක්තියේ (නඩු පැවරීමෙන් නිදහස්) තත්වයකුත් ඇති කරල තියෙන නිසා වෙන්න පුළුවන්. 17 වන සංශෝධනයෙන් මේ බලතල වල විශාල අඩු කිරීමක් වගේ ම පාලනය කිරීමක් කළා. නැවත 18 සංශෝධනය මගින් තිබුණටත් වඩා නරක විදියේ බලතල අත්කර ගැනීමක් කළා. නැවත 19න් අඩු කරලා,  පාලනය කිරීමකුත් කළා. නැවත 20න් ඉතිහාසයේ නරක ම සංශෝධනය වන 18ත් ඉක්මවා වන පවරා ගැනීමක් කළා. ඒක දිරව ගන්න බැරි තරම් බලයක්. මේ වෙද්දී ඒ පවරපු පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි, ඒ ලබපු ජනාධිපතිවරයත් ඒක අතාරින්න එකග වෙලා ලු !

යහපාලන ආණ්ඩුව ඇතුළට රිංගලා, රාජපක්ෂ මාෆියාවේ නඩු ෆයිල් යට ගහල, මේ සිංහල-බෞද්ධ මහාරාජෝත්තම පාලනය පිහිටුවන්න බොක්කෙන් ම ඇප කැප වුණ විජේදාස රාජපක්ෂ අතින් තමයි දැන් මේ 21 හරහා වෙන අත්හැරීමත් යෝජනා වෙන්න යන්නේ ! 

එයා ද ඇතුළු ව පොදුජන පෙරමුණේ 'ස්වාධීන' යයි කියාගන්නා කණ්ඩායමත්,පක්ෂ දහයේ කණ්ඩායම කියන හාදයොත්, ශ්‍රීලනිපයත්(වෙනස මගෙන් අහන්න එපා. මම දන්නෙත් නෑ. ඒ එයාල හදුන්වගන්න විදි) අප්‍රේල් 22 කතානායකට යෝජනාවලියක් දීල තියෙනවා. 19 සංශෝධනයේ තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාවන් ආයෙමත් බලාත්මක කරන්න ඒකෙන් යෝජනා වෙනවලු.  ඒ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් මිස කිසිම කොමිෂන් සභාවක පත් කිරිමක් කරන්නවත්, ඒ ඒ කොමිෂන් සභාවල අනුමැතියකින් මිස ඒවායෙන් කෙරෙන ඉහළ නිලධාරීන් පත් කිරීම් කරන්නවත් ජනාධිපතිවරයාට බැහැ. සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු යෝජනාවලියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැනත්, සංවරණ හා තුලන (Check & Balance) ක්‍රමයක් එක්ක ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල ඒ ඒ ආයතනවලට පැහැදිලිව වෙන් කිරීමකුත් යෝජනා වෙලා තියෙනවලු. 

මේක සුබ සිහිනයක් ! 

හැබැයි අමතක කරන්න එපා, 19ත් මදි තත්වයක රට තිබුණේ. තවදුරටත් මේ වෙනස්‍කම් කරන්න යන්නේ මේ විනාශකාරී  ආඥාදායකත්වයට රට ඇද ගෙන ගිය බහුතර පොහොට්ටුවාදී පාලනයක් එක්ක. 

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගැන අපට ඇති බරපතල ම අභියෝගය වන ජාතික ප්‍රශ්නය විසදන නැනෝවක් තරම් දෙයක් මේවා තුළ නෑ. 

ඒ නිසා ම ලත් තැන ම ලොප් වෙන්නත් ඉඩ  වැඩියි. 

මේ අභියෝග ජයගන්න නම් එළියේ ශක්තිමත් සිවිල් සමාජ ව්‍යාපාරයක් තියෙන එක අත්‍යාවශ්‍යයි. ඒත් එහෙම එකකුත් ලංකාවේ නෑ. ඒ වෙනුවට අතරමැද මට්ටමේ පොරවල් ටිකක් හදුනගන්න පුළුවන් සිවිල් සමාජ හැටියට පෙනී ඉන්න. මේ අය පාව්චිචි කරල හරි මේ වෙලාවේ එළියෙන් බලපෑමක් ගොඩනැගුවේ නැත්නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ තනියෙන් ගහන ගේමටත් කෙල වෙන්න ඇරලා, 'ඕක තමයි අපි කිව්වේ රනිල් ට බෑ;රනිල් පාවා දෙන්නා" කියලා හාන්සි වෙලා, කෙල වීමේ සතුට විදගන්න ඇති තරම් 'නිදහස' දිනා ගතෑකි. 

රට පුරා අයාලේ යමින් තියෙන කලහකාරී විරෝධතාවලට ඔළුවක් හයි කරගන්න වෙනවා. 

පළාත් මට්ටමේ දැනට තියෙන පරිපාලන ඒකක වෙන පළාත් සභාවලට දේශපාලන බලය පැවරෙන පුළුල්‍ කිරීමක්, සියළු ම පාලන ආයතන, ඒ ඒ පාලන ආයතන හරහා විතරක් නෙවෙයි සෘජුව ම ජනතාව හරහාත් තුලනය හා සංවරණය වෙන ක්‍රමයක් ඇතුලත් කිරීමත්, තොරතුරු අයිතිය වගේ ඒවා වඩා ගැඹුරු හා බලගතු කිරීමත්, ආගම රාජ්‍යයෙන් නිදහස් කිරීමත් වගේ සංශෝධන දිහාට තල්ලු කරගන්න පුළුවන් නම් මම කැමතියි. තව එකක්;ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළේ පාර්ලිමේන්තුවෙන් පිටත නියෝජිතයන් ප්‍රමාණය වැඩි කිරීමත් වැදගත් වේවි. ඒක 19 ගෙනෙද්දිත් ඇමති මණ්ඩල කෙටුම්පතේ තියලා, පස්සේ පොදු පෙරමුණු වැඩි බලය ඇති පාර්ලිමේන්තුව විසින් කප්පාදු කරපු ඉදිරිගාමී යෝජනාවක්. 

'ගෝටාගෝහෝම්' වගේ පට්ට සීමිත, අදේශපාලනික සටන්පාඨයක් පිටුපස තියෙන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පාර මේ දිහාවෙන් විවෘත වේගෙන එන බවයි මගේ විශ්වාසය.