දශක දෙකකට විතර ඉස්සර රුපියල් දෙකකින් කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද ! ඒ දවස්වල ගල් බනිසක් කාලා ප්ලේන් ටීයක් ගහන්න ඊට වඩා වියදමක් යන්නේ නැහැ. ඉස්කොලේ යන දවස්වල(ඒ කියන්නේ ශිෂ්‍යෙයක් හැටියට) කෑම කන්න කියල මට හැමදාම ලැබෙන රුපියල් දෙක මම වෙනම එකතු කළා. පොත් ප්‍රදර්ශන කාලයේ දි පොත් ගන්න ගොඩක් දුරට මට උදව් වුණේ මේ අරමුදල.
එහෙම ගත්තු, තෑගි ලැබුණු, ඉල්ල ගත්තු පොත් මගේ ජිවිතය ඇතුළේ ළඟ ම මිතුරන් බව ට පත් වෙලා, පොත් රාක්කයේ නැතත් මගේ හදවතේ ජිවත් වෙනවා.
මගේ ජීවිතයට ගොඩාක් බලපාපු පොත් කීපයක් ගැන මතකය අකුරු කරන්නයි මේ උත්සාහය.
පොඩි දවස්වල ඉඳල ම මම මගේ නිදහස ගොඩක් බලාපොරොත්තු වුණා. ඒ පුංචි ම කාලේ ඒකට පරම හතුරෙක් විදියට වැඩ කෙරුවේ මගේ ඔළුගෙඩිය ඇතුළේ තිබුණ බය ! මේ නිසා සෑහෙන අරගලයක් කරල, වෙනම ම කාමර කෑල්ලක් දිනාගත්තත් රෑ ට මගේ ඒ ස්ව-පාලන ප්‍රදේශය අතෑරලා අම්මල-තාත්තලා නිදා ගන්න පැත්තට පසු බහින්න මට සිද්ධ වුණ වාර එකක්-දෙකක් නෙවෙයි තියෙන්නේ ! දන්නවද, කොහොමද කියල, ඒ ප්‍රශ්නය විසඳිල ගියේ. අවුරුදු දහතුනේ දී මට කියවන්න ලැබුණා, ‘දෙවියෝ සහ භුතයෝ‘ කියල පොතක්. ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත පරිවර්තනය කරල තිබුණේ ධර්මපාල සේනාරත්න. ලයිට් එක නිවපු ගමන්, මම ඇඳට ගොඩ වෙන්නත් කළින්, අත් වනන, ඔළු වනන, දිව දික් කරන භූත ආත්ම ඔක්කොම එදා ඉඳන් අතුරදන් ! මට මාර ධෛර්යයක් ඒකෙන් ආවේ. එහෙම උන් නෑ කියල ආපු අදහසත් එක්ක, ඒ වගේ පෙනි හිටින ඕන ම එකෙක් ළඟට ම ගිහින් හොයල ම බලන්න පුළුවන්කමක් ලැබුණා. මොකද, පොතේ හැටියට වැඩේ ෆුල් ෂුවර්. කොවූර්ගේ ඉතිරි පොත් ටිකත් ඒ ආශ්වාදයට ම කියවන්න ගත්ත විතරක් නෙවෙයි, හේතුවාදය ගැන තව තවත් හොයන්නත් පෙළඹුනා. ඒකෙන්-මේකෙන් ආගමක් නැති අමුතු ම සතෙක් හැටියට මාව ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒ අනන්‍යතාවයට මාත් ආසයි ඉතින්. හැබැයි මේ වැඩෙන් භූතයෝ විතරක් නෙවෙයි, දෙයියොත් මාත් එක්ක පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙන්න ගත්තා.
හරියට ම දන්නේ නැතත් මාක්ස්වාදය ගැන උණකුත් ඔය කාලේ ම මට හැදුනා. ඒ කාලේ කීවේ ඉස්කෝලේ හයේ පංතියේ දි විතර. ඒකට මුල් වුණේ ‘සෝවියට් දේශය‘ සඟරා. මම උපදින්නත් කළින් ඉඳල ම සඟරා කියව ගන්න මට ඉඩක් ලැබුණා. ඒවායෙන් දැන හඳුනා ගත්තු යුක්ති සහගත, සාධාරණ, සමානාත්මතා ලෝකය ගැන ආශ්වාදයෙන් රුසියානු හා සෝවියට් ලේඛකයන්ගේ පොත් හොය හොය කියවන්න ගත්තා. ඉතින් මගේ ජිවිතයට ලොකු ම බලපෑමක් කරපු පොත් අතර අංක දෙකට ‘සෝවියට් දේශය‘ සඟරා ලකුණු කළොත්, ඒත් එක්ක ම අංක තුනට ලකුණු කරන්න ඕන ලෙනින්ගේ පොතක්. ‘අධිරාජ්‍යවාදය, ධනවාදයේ උච්චතම අවධියයි‘ ඇත්තට ම ඒ දවස්වල නමේ තේරුමවත් තේරුණේ නැහැ. ඒත් ලෙනින් ට තිබුණ ගෞරවය නිසා ම, ලෙනින් ගේ පොතක් ළඟ තියාගන්න විතරයි මුළින් ම ඕන වුණේ; ඉතින් මුළින් ම හමු වුණ පොත තමයි මේක. (ඒක හරියට කියව ගත්තේ තව දශකයකට විතර පස්සේ ! ) ඒ පොත මුළින් ම ගන්න ගිය වෙලාවේ පොත් සාප්පුවේ සේවකයා ෂෝකේස් එක යටින් මං දිහා බලලා, මාව එළෝගත්තා ! මේ නෝන්ඩිය විසඳගන්නත් එක්ක පස්සේ මට සිද්ධ වුණා, දන්න කියන අයියා කෙනෙකු ව යොදවල පොත මිළ දි ගන්න ! ඒ වැඩවලින් මම ‘ප්‍රසිද්ධ මාක්ස්වාදියෙක්‘ බවටත් පත් වුණා !
මිළෙන් අඩු නිසාත්, මතවාදි ආකර්ශනය නිසාත් සෝවියට් පොත් බොහෝමයක් මට ගොඩාක් සමීප වුණා. මිතුරන් අතරේ ‘වානේ පන්නරය ලැබු හැටි‘, ‘සැබෑ මිිනිසෙකුගේ කතාවක්‘ ගොඩාක් ජනප්‍රිය වෙද්දී මගේ ප්‍රියතම පොත බවට පත් වුණේ ‘පෙරලූ නැවුම් පස‘. මේ පොත දහතුන් වතාවක් කියවන්න මාව පෙළඹෙව්ව සාධකය තාමත් මට සමහර විට හිතාගන්න අමාරුයි. සමහර විට ගොවි ගමක් වෙනස් කරමින් සමාජවාදය ගොඩනගන්න දරපු උත්සාහයන් එක්ක ඒ චරිත හැසිරුන විදිය ලංකාවේ පසුබිමට ගොඩාක් සමීපව මවා තිබුණ විදියත් එක්ක වෙන්න පුළුවන්. ඒක ඇතුළේ සමාජවාදී ලංකාවක සිහිනය මුළින් මුළින් ආශ්වාදනය කළත්, නැවත නැවත කියවීමේ දී, ඒ කටයුත්තේ ගැටළුකාරීභාවය පොතෙන් හීන් සැරේ මතු වෙන බවක් මට දැණුනා. සෝවියට් සමාජවාදය ගැන මම හිටියෙත් එක්තරා අන්ධ භක්තියක කියල ඇත්තට ම පේන්න ගත්තේ 1991 දි සෝවියට් සංගමය බිඳවැටීමත් එක්ක. සෝවියට් හිතවාදීන් හැටියට ඒ වෙන තෙක් ස්වයං වාරණයක් පනවගෙන තිබුණ ලියොන් ට්‍රොට්ස්කිලගේ පොත පත ආයෙමත් උවමනාවෙන් කියවලා බලන්න ඇත්තට ම මම පෙළඹුණේ ඒකෙන් පස්සේ. එතනින් මට වඩා ආශ්වාදාත්මක වුණ පොත ‘පාවා දුන් විප්ලවය‘ කියල හඳුන්වල දෙන්න පුළුවන්. විප්ලවය කියන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනිමට එහා යන දිග-ලොකු ක්‍රියාවලියක් කියල ඇඟට දැණෙන විදියට ඔළුවට ආවේ ඒක ඇතුළු ට්‍රොට්ස්කිවාදී ලේඛන නිසා. හැබැයි ‘නොනවතින විප්ලවය‘යි, ‘අවධි දෙකේ විප්ලවය‘යි දෙකම අතරේ එහාට මෙහාට විසි වෙවි හිටපු මම කොමියුනිස්ට් පක්ෂයේ සංවිධානවලින් එළියටම බැහැලා ආවේ ඒක ඒ වෙන කොට ශ්‍රී.ල.නි.ප.ය එක්ක මෙලෝ රහක් නැති බින්න බැහිමක් පටන් ගැනීමත් එක්ක. න.ස.ස.ප. හා ඒකෙනුත් කැඩුනු ට්‍රොට්ස්කිවාදි සමහර මිත්‍රයන් එක්ක ඇයි-හොඳයිකම් පවත්වන් යන අතරේ මම සංවිධානමය වශයෙන් ස්ථානගත වුණේ ඒ වෙන කොට වර්ගවාදීන් විසින් මරා දමා තිබුණ විජය කුමාරතුංගගේ ආකර්ශනය යටතේ පවත්ව ගෙන ගිය ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ක. මට තේරුණ විදියට ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට කෙළින් ම බලපෑ පොතක් නම් කරන්න අමාරු වුණත්, මම හිතන්නේ ඒ සෝවියට් ලයින් එක සහ ට්‍රොට්ස්කි ලයින් එක විසින් දෙපැත්තකින් මට ආපු බලපෑමේ ප්‍රතිඵලයක් කියලා.
සෝවියට් පොත්-පත්වලින් මට ආපු බලපෑම එතැනිනුත් නතර වුණේ නැහැ. පස්සේ කාලෙක ගුරුවරයෙක් විදියට මගේ ප්‍රියතම රස්සාවලින් එකකට සම්බන්ධ වෙද්දී මගේ මොඩල් චරිතය වුණේ ‘දුයිෂෙන්‘. අයිත්මාතෆ් ගේ ‘ගුරු ගිතය‘ මේ විදියට අදටත් මගේ ජිවිතය ළඟින් ම ඉඳන් මට බලපෑම් කරන පොතක්. මගේ ගුරු චරිතය හැඩගැස්සුවේ ඒ පොතෙන් කියල කියන්න පුළුවන් තරම්.
ජිවිතයේ හොඳටම වැටිලා, තනි වෙලා හිටපු කාලෙක මාව ආයෙමත් නැගිටුවන්න දෝත ම දිගු කරපු කිහිප දෙනා අතර ලේඛකයෝ කීපදෙනෙකුත් ඉන්නවා; වෙන විදියකට නොවෙයි, ඒ ඇත්තන්ගේ පොත්-පත්වලින්මයි. පාවුලෝ කොයියෝ ඒ අතරින් මුළින් ම ලියන්න ඕන නමක්. ‘සත්තියාගේ නම් සැරිසරන්නා‘ කියෙව්වට පස්සේ හැම මළදානෙකටම ඇත්තටම මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන් කියලා. ඒ අනූව අහම්බයන් කියන එක හීන් වෙලා මැකිල යන්න ගත්තා. ඒ ගමන ඕෂෝ එහෙමත් පොඩ්ඩක් කියවන්න ගත්තා. වැඩේ නතර වුණේ ආයෙමත් ‘බයිබලය‘ දිහාට ගිහින්. ‘නතර වුණා‘ කියන එක වැරදියි. ඒක නතර වීමක් නැති වැඩක් වුණා. ගොඩක් වෙලාවට බයිබලය තෝරා ගෙන කියවනවට වඩා මම යොමු වෙලා තියෙන්නේ ඒ වෙලාවේ මම පැටලිලා තියෙන නිශ්චිත ප්‍රශ්නයක් එක්ක ‘අහ්මබ‘ පිටුවක් පෙරලල උත්තරයක් හොයන ‘ක්‍රීඩාවකට‘ ! ‘සොෆීගේ ලෝකය‘ කියවලා මේ වැඩේ තවත් ව්‍යාප්ත වුණා. සමහර විට බලන්න තෝරගන්න චිත්‍රපටයක්, කියවන්න ගන්න පොතක් එක පාරට ම, හරියට ම මම පැටලිලා ඉන්න තැනක් හරහා මාව එළියට අරන් යනවා. ආයෙමත් කොයියෝ ! ඉත්න් කොයියෝ, බයිබලය හා සොෆීගේ ලෝකය මගේ ජිවිතය මත දැවැන්ත විදියට බලපෑ පොත් අතරට එකතු කරන්න ම ඕන.
මේ අතරේ වෙනස් ම පොතකුත් නම් කරන්න ඕන. ඒ තමයි ‘වර්ෂා‘. මේක කෙළවරක් නැතිව දිගින් දිගට ම ඇද ගෙන යන පොතක් වුණත් මම කියවල තියෙන්නේ පළමු වෙනි කොටස. මගේ මාජය ඇතුළේ සුජිව ප්‍රසන්නආරච්චි ඉන්නේ කොතනද ? එයා සංකේතයක්; නියෝජනයක්. මම හිතන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය‘ ගැන ජෝතිපාලටත් වඩා හොඳ සංකේතයක්. සම්මත- ප්‍රභූවාදි සංස්කෘතියත් එක්ක ගැටෙන්න තරමට විකල්ප ප්‍රවණතා ශක්තිමත් නොවෙද්දී අපිට පාරවල් හොයන්න වෙනවා. සම්මත එක අර්බුදයක් වෙද්දී ඒකට මුහුණ දෙන්න, අළුත් එකක් ගැන හිතන්න වැඩි ම ඉඩ තියෙන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය‘ ඇතුළේ. මම වැඩ කරපු ඉස්කෝලවල ලයිබ්‍රිවලට මේ පොත් හිමින් සැරේ එකතු කර ගන්නවා. ළමයින් ට ජීවිතේට අළුතෙන් ඒයින් පොතක් කියවගන්න වෙන්නේ නැත්තේ, ගුරුවරු මුළු මණ්ඩලේ ම වගේ ඒක මුළින් ම කියවගන්න ලොකු පෝලිමක ඉන්න නිසා. ඒත්, ප්‍රසිද්ධියේ මේවාට පළු යන්න බනිනවා. මාත් කියවලා බැලුවා. බලා ගෙන යන කොට සම්මත එක ශක්තිමත් කරන්න ඒ තරමට වැඩ කරන වෙන එකක් නෑ. ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියේ සීමාව පෙන්වන හොඳ ම සංකේතය හැටියට ඊට පස්සේ මට සූජිව ප්‍රසන්නආරච්චිලා ව දකින්න පුළුවන් වුණා. ඒ ගොල්ල ඇවිල්ලා ‘පියදාස සිරිසේන‘ ලගේ එක්ස්ටෙන්ෂන් එක හෙවත් දිගුවක් හැටිට හඳුන්වන්න පුළුවන්. ඒත්, ජනප්‍රිය සංස්කාතියේ මේ සීමාවන් බිඳ ගෙන, විකල්පයක් කරා වන්දනාවකට ඒක යොදා ගැනිම ගැන මම තවමත් හිතනවා. හිටි ගමන් වෙලාවක් අහු වුණොත් මුණුපොත පැත්තේ එහෙම ටිකක් දඟලන්නේ ඒකයි. ඉතින් ‘වර්ෂා‘ත් මට තදින් බලපෑ පොතක්.
සාහිත්‍ය මාසය !
වෙනදා නැති ප්‍රෙබා්ධයක් පොත්-පත් සම්බන්ධයෙන් ඇති වෙන්නේ මේ කාලයේ දී නේ. ඉතින් මම කිවේ පොත්-පත් ගත්තාම අපේ ජිවිතයට කොයි තරම් දැවැන්ත බලපෑමක් කරනවද කියන එක ගැන මගේ අත්දැකිම් ටිකක්. තව කතා කරන්න තරම් වටිණාකමක් ඇති පොත් ගොඩාක් තියෙනවා. ඒත් මට ඕන කළේ මගේ ජිවිතයේ සංධිස්ථාන වගේ කීපයක් එක්ක පොත් ගැන කතා කරන්න.
එක අතකින් පොත් කියන්නෙත් මනුස්සයො ම තමයි. ඇසුරු කරන්න මනුස්සයෙක් හොයාගන්න අමාරු කාලයක, ඉන්න මනුස්සයෙක් එකක් හොඳ ඇසුරක් ගොඩනගාගන්න, හොඳ පොතක් හරහා සමහර විට පුළුවන් වෙනවා. ඒකත් එක ප්‍රෙයා්ජනයක් !
No comments:
Post a Comment