තමිල් ජාතික විමුක්ති අරගලය මගේ සිංහල මිතුරන් අතිබහුතරයක් විසින් සළකන්නේ 'ත්‍රස්තවාදයක්' හැටියට. මුස්ලිම් සහ බර්ගර් මිතුරන්ගෙන් සැලකිය යුතු පිරිසකුත්, තමිල් මිතුරන් කීපදෙනෙකුත් දරන්නේ ඒකට සමාන අදහසක්.
මේ නිසා මම අයිති වෙන්නේ අතිබහුතරයක් මැද අති සුළුතරයකට. ඒ සුළුතරයට මා දන්නා අතිබහුතර තමිල් පිරිසකුත්, යම් ප්‍රමාණයකින් තමිල් නොවන තව සුළුතර පිරිසකුත් ඇතුලත්.මම දන්න සිංහල නොවන පිරිස අතර වගේ ම සිංහල නමුත් බෞද්ධ නොවන පිරිස ගත්තාමත් ඒ අතර අති බහුතරයට පොදු දුක්ගැනවිල්ලක් තියෙනව තමන් මේ රට ඇතුලේ සමාන පුරවැසියන් හැටියට සැළකෙන්නේ නෑ කියලා. අනිත් අතින් දුප්පත්කම හෝ පිරිමි නොවීම මත හෝ අඩු කුල පදනමින් හෝ ඔය මොකක් හෝ දෙයක් නිසා තමන්ටත් එහෙම සමාන තැනක් නැති බවක් කියන සිංහල බහුතරයකුත් මට හමු වෙලා තියෙනවා.
එහෙම බැලුවා ම අති බහුතරයක් ආයෙමත් මේ තියෙන ශ්‍රීලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරන, එහෙම නැත්නම් ඒ ගැන සෑහීමකට පත් නොවෙන අය කියන්න පුළුවන්.
ඒත් ඒක එහෙම ම වෙන්නේ නැති බව මට දැනෙනවා.
පීඩිතයන් වුණ සිංහලයන් බහුතරයක් තමන් ගේ දුක්ගැනවිල්ල කියාපාන්නේ ම මෙන්න මේ විදියට;
"සිංහල බුද්ධාගම්කාරයෝ වෙලත් අපේ ම රටේ අපටත් නැති තැනක් දෙමළුන්ට, හම්බයන්ට, ඉංග්‍රීසියට, කුරුසකාරයන්ට,.... තියෙනවා"
මේ නිසා පීඩිත සිංහලයා මේ පීඩක සෙල්ලම බේරගන්න යන්නේ සිංහල නොවන අනෙකා 'සතුරා' කර ගෙන. ඒක හරියට ම ඇඩොල්ෆ් හිට්ලර් උන්නැහෙලා ජර්මන් උතුම් ආර්ය ජාතිය, යුදෙව් සුළුතර පීඩිත ජාතියෙන් බේරගන්න සංවිධානය වුණා වගේ. සිංහල නිර්ප්‍රභූ- පීඩිත කියන ජන සංඝය සංවිධානය වෙලා තියෙන්නේ මූලිකව ම ජවිපෙ එක්කනම්, ජවිපෙ ප්‍රකාශනය ඇතුලේ මේ කියන කතාව හොඳින් ම දැක බලා ගන්න පුළුවන්.
මේ තත්වයට කෙළින් ම අභියෝග කරන්න පුළුවන්කම තිබුණේත්, එහෙම කළෙත් තමිල් ජාතියෙන්. උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ඔවුන්ට තමන් ගේ භාෂාවත්, සංස්කෘතීනුත් සඳහා පදනමක් තිබුණා.
එක පැත්තකින් සිංහල-බෞද්ධ රාජ්‍යයක් මතු කරගනිද්දී අනිත් පැත්තෙන් මුළින් ම මතු කෙරුනේ අසිංහල-අබෞද්ධ රාජ්‍යයක් නෙවෙයි. කාටත් එකට ඉන්න පුළුවන් සමානාත්මතාවයේ රාජ්‍යයක්. අධිපති කණ්ඩායමේ නිල නොලත් සන්නද්ධ මැර කල්ලි පවා රැක බලා ගෙන, පෝෂණය කරපු සන්නද්ධ රාජ්‍ය යන්ත්‍රයකට මුහුණ දෙන අතරත් අනිත් පැත්තෙන් තමිල් ජනයා ගේ මුල් කාලීන අරගල සාමකාමී සහ නීත්‍යානුකූල වුණා.
ඒත් ප්‍රශ්නය අසමින් තිබෙන විදිය අනූව පිළිතුර දෙමින් තියෙන විදියත් වෙනස් වෙනවා නේ.
එවකට කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයා වුණ සරත් මුත්තෙට්ටුවගම, ප්ලොට් සංවිධානයේ උමා මහේෂ්වරන් මුණ ගැහුණා ම මෙහෙම කතාවක් කී බවක් අහන්න ලැබුණා. "පුංචි කාමරයක් ඇතුලේ හිර වෙලා ඉන්න බල්ලෙකුට පයින් ගැහුවාම මොකද වෙන්නේ සහෝදරයා...? ඌ කාමරයේ මුල්ලට ගුලි වෙයි. ඒත් අන්තිම මුල්ලෙදිත් ඌට ගහගෙන ගියොත්...මොන තරම් නිවට බල්ලෙක් වුණත් පැනල හපා කන එක හැර වෙන මොනවද කරන්නේ!"
ඉතින් තමිල් ජාතියටත් ලංකාව ඇතුලේ වුණේ ඔන්න ඕකයි.
අත-පය බැඳලා ළිදට දාපු මිනිහා 'ළිඳේ වතුර බොර කරනවා කියලා චෝදනා කරන්න එපා ! " කාගේ කියමනක් ද කියල නොදත් මේ කතාව, මේ තත්වය හරියට ම පැහැදිලි කරන්නක්.
ඉතින් තමිල් මක්කල් සංගම් ඉඳල ගත්තත් තමිල් විමුක්ති කොටි දක්වා ම ඉතිහාසය සමානත්මතාවය සහ ගරුත්වය සඳහා, යුක්තිය හා සාධාරණත්වය සඳහා හැම විදියක ම උපාය-උපක්‍රම යොදාගනිමින් ඉස්සරහට ආපු, අදටත් ඉදිරියට ඇදෙමින් තියෙන්නක්. 1972 තරම් කාලයක ඒකේ මුල් ම තුවක්කු පත්තු වුණත් එල්ටීටීඊය පවා අන්තිම කාලයේත් මේ සියළු විදියේ උපක්‍රම යොදාගත්තා. සාකච්ඡාවට වාඩි වෙන එක, දේදුන්න වගේ පත්තර සහ පොත්, පොංගු තමිල් වගේ සංස්කෘතික උත්සව වගේ ම සත්‍යග්‍රහ සහ උපවාස පවා සන්නද්ධ ප්‍රහාරයන් අතරත් ඔවුන් පාවිච්චි කළා. අදටත් මේ අරගලය මුළුමනින් ම වගේ භාවිතා කරන්නේ නිර්ප්‍රචණ්ඩ උපක්‍රම.
උපක්‍රමය මොකක් වුණත් ඔවුන් ඉල්ලා හිටින්නේ සමාන සහ ගරුත්වයෙන් යුතු ජීවිතයකට ඇති අයිතිය. ඒක යට කර දැමීම මිස ඒක වෙනුවෙන් පෙනී සිටීම හුදු 'ත්‍රස්තවාදයක්' වෙන්නේ කොහොම ද ?
මේ නිසා අද, නොවැම්බර් 27 වෙනිදාවෙන් අවසන් වෙන මහවිරු සමරු සතිය තුළ තමිල් ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් දිවිපිදූවන් වීරත්වයෙන් සැමරීම කිසි විදියකින් ත්‍රස්තවාදයක් හරි ඊට උඩගෙඩි දීමක් හරි වෙන්නේ නෑ. මම අවංකව ම විශ්වාස කරනවා ඒ දිවි පිදූවන් සහ කැපවූවන් කවුරුත් හැබෑ වීරයන් බව. ඔවුන් විමුක්ති කොටි වුණත් නැතත් මට ඒකේ වෙනසක් නැහැ. ඒ අතර තමිලුන් විතරක් නෙවෙයි විරාජ් මෙන්ඩිස් වගේ සිංහලයොත්, මුස්ලිම් හා අනෙක් ජන කොටසුත්, ඒ කවුරු වුණත් මට ඒකේ වෙනසක් නෑ.
මේ මොහොත පට්ට ම අභියෝගාත්මක මොහොතක්.
2009 දී තමිල් පීඩිත ජනයාට එරෙහිව එල් කෙරුන රාජපක්ෂමය මහා සංහාරයේ සමකොටස්කරුවන් වෙන ජවිපෙ අරටුව ඇති මාලිමාණ්ඩුවක් මේ වෙලාවේ බලයට පත්වීමත්, ඒ මදිවට ඔවුන්ට තමිල් ජන ප්‍රදේශවලිනුත් සැළකිය යුතු බලයක් ලැබීමත් මේ අභියෝගාත්මක මොහොත නිර්මාණය කරල තියෙනවා.
මේ තත්වය අවභාවිතා කරල සමහරු මේ වෙද්දී ලංකාවේ කවදාවත් 'ජාතික ප්‍රශ්නයක්' කියා දෙයක් නොතිබුණ බවක් පෙන්වන්න දැන් රඟමින් ඉන්නව දකින්නත් පුළුවන්.
මේ අය කරන්නේ යථාර්ථය යට ගැහීමක්; නැත්නම් විකෘති කිරීමක්. මීට කලින් 2009 මහා සංහාරයේ මිලිටරි නායකයා වෙන ජනරාල් සරත් ෆොන්සේකා ට මේ ජනයා 2010දී ඡන්දය දුන්නා. ඒ වෙලාවේ ප්‍රකාශිත විවාදිත ඡන්ද ප්‍රතිපලය වෙනස් වුණානම් මේ ප්‍රශස්ති ගායනා වෙන්නේ ඔහු වෙනුවෙන් ! ඒ වෙලාවෙත් තමිල් ජනයා ඒ බලය දෙන්නේ මේ මිලිටරි ගහලකම පිළිගනිමින්, ඔසවමින් නොවෙන බව, ඒ ඔය ගහලකමේ දේශපාලන නායකත්වය වෙන රාජපක්ෂවරු පරාජය කරන්න, ඒ හරහා යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් වන තමන්ගේ අරගලය නැවත නැවතත් ඔසවා තබන්නට බව, වත්මන් රෙජීමයේ ප්‍රචාරක බාස්ලා විසින් යට ගහන ඇත්තයි.
මේ පාර වෙනස වෙන්නේ මහ ඡන්දෙනුත් සම්ප්‍රදායික තමිල් පක්ෂ පවා දෙවෙනි තැනට දාලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ජවිපෙ විසින් මෙහෙයවෙන ජාජබ විසින් දිනාගැනීමයි කියලා අර ප්‍රචාරක බාස්ලා ආයෙමත් කියාවි. ඒත් එයාලගෙම ඉලක්කම් කියන්නේ මොකක්ද ?
යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 5,93,187කින් මාලිමාවුන්ට ඡන්ද ලැබුණේ 808,306යි. 40%ක් ඡන්ද පොළට ගියේ ම නෑ. ගිය අයගෙන් 25%කට කිට්ටු ගානක් ඔවුන් දිනාගත්තා. වන්නි දිස්ත්‍රික්කයේ 306,081 ඡන්දදායකයන්ගෙන් 39,894යි මාලිමාවුන්ට ඡන්දය දුන්නේ. තුනෙන් පංගුවකට වඩා එතැනත් ඡන්දපොළට ගියෙවත් නෑ. මඩකලපු දිස්ත්‍රික්කයේ 4,49,686කින් මාලිමාවුන්ට ලැබුණේ ඡන්ද 55,498යි. ඉලන්කෛ තමිල් අරසු කච්චි ඡන්ද 96,975ක් අරන් දිස්ත්‍රික්කය දිනාගත්තා. එතැනත් තුනෙන් පංගුවකට වඩා ඡන්දපොළට ගියේ නෑ. ඒ තත්වය යටතෙත් මාලිමාව පරදා ITAK ඒ දිස්ත්‍රික්කය දිනාගත්තා. සම්මිශ්‍රිත ජනඝනත්වයක් ඇති දිගාමඩුල්ල සහ ත්‍රී'මලේ දිස්ත්‍රික්කවල තත්වය බැලුවත් 30%කට වැඩි පිරිසක් ඡන්දපොළ වර්ජනය කරලා. ප්‍රකාශිත ඡන්දවලින් 40%ක වගේ ප්‍රමාණයක් මාලිමාවුන් විසින් දිනාගන්නවා.
මේ ඉලක්කම් වලින් පේනවා, ඔය ප්‍රචාරක බාස් බලඇණිය කියන තරම් මාර දෙයක් මාළිමාවට දිනාගන්න බැරි වෙලා තියෙන බව. ඒත් කිසිවක් නැත්තෙත් නෑ. අනිත් අතින් ඒ ඇත්තට පිටුපස හරවන්නත් බෑ.
"මාලිමාවට දුන් ඡන්දය මහින්ද සිහින සැබෑ වීමක්" බව පෙන්වා දෙමින් පොහොට්ටු පක්ෂයේ නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ඉතිහාසයේ මුල් වතාවට දකුණේ පක්ෂයකින් මෙහෙයවෙන උතුරේ නායකත්වයක් හදාගන්න පුළුවන් වෙලා. අන්න ඒකයි 'ජයග්‍රහණය' ! නාමල් ට විරුද්ධ වුණත්, මේ කතාව ම තමයි අනිත් අයත් අඩු වැඩි වශයෙන් කියලා තිබුණේ. ජනපති අනුර ජනාධිපතිවරණ කැම්පේන් එකට යාපනේ ගිහින් කිව්වේ "උතුරට කිසි ම දෙයක් දෙන්න පොරොන්දු වෙන්නේ නෑ.අපිව දිනවන්න දකුණ තීන්දුවක් ගනිමින් ඉන්න මොහොතක ඒකට විරුද්ධවිමේ නරක ප්‍රථිපල බාරගන්නවද නැද්ද කියල තීරණය කරගන්න" කියලා.
මේ මැතිවරණ කොයි එකත් තමිල් ජනයාට අනූව දකුණෙන් දාන සෙල්ලම්. ඒ නිසා ඒවාට සහභාගි වීම ගැන ප්‍රසාදයක් නැති බොහොදෙනා ඉන්නවා. 2020 ඡන්දය ගැන මා දන්නා ඇතැම් මිතුරන් කීවේ තමන්ගේ ගම්වලින් කිසිවෙක් ඡන්දපොළට නොගිය නමුත් ගමේ ඡන්දනම් දාස් ගණනින් ලකුණු වී ඇති බව අසන්නට ලැබීමෙන් සෑහෙන විනෝදයක් ලැබූ බවයි ! මේ අතර සම්ප්‍රදායික තමිල් පක්ෂ ගැනත් අප්‍රසාදයක් තියෙන බවත් ඇත්තක්. ඔවුන් අතරින් ක්‍රියාමාර්ගික පෙරමුණු ගණනාවක් බිහි වෙලා තියෙනවා. නායකත්වය විසිරිලා. යාපනය ස්වාධීන 17 කණ්ඩායම මේ අප්‍රසාදය ප්‍රකාශයට පත් වුණ තවත් විදියක්.
මේ තත්වයන් තුළ තමිල් ජාතික විමුක්ති අරගලය අභියෝගාත්මක හෝරාවක ගමන් කරමින් ඉන්න බව ඇත්තක්. ජාතික විමුක්ති අරගලයකට දායක වී, ඉමහත් වීරත්වයකින් කැප කළ, පුද කළ දසදහස් ගණනක් විරු ජීවිත පරිත්‍යාගයන් ඒ නිසා අපතේ යාමක් බවට පත් වේ වි ද ?
මට දැනෙන දේ නම් මොන විදියෙන්වත් ඒ එහෙම නොවෙන බවයි.
ඒ වෙනුවට මුළු මහත් ලංකාවේ ම ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ ශිෂ්ටත්වය ගැන ප්‍රශ්නය තව දුරටත් පීඩිත ජාතියේ සමානාත්මතාවය හා ගරුත්වය මත පදනම් වුණ සාධාරණත්වය හා යුක්තිය එක්ක තව තවත් බැඳෙමින්, ඒ නොතකා ඉදිරියට යන්නට බැරි බව පෙන්වමින් ඊළඟ මොහොත වඩ වඩා දිදුලන්නට ගනිවී.
2022 දී කූටප්‍රාප්තියට පත් වුණ අර්බුදයේ පටන්ගැන් ම 2009දී බව වත්මන් මාලිමාණ්ඩුවේ සුබපතන්නෙක් වෙන හිටපු විගණකාධිපති ගාමිනී විජේතුංග විසින් පෙන්වා දී තිබුණා. ඔහු එහි දේශපාලනික ලක්ෂ්‍යයන් මඟ හැර ආර්ථික ලක්ෂ්‍යයන් විතරක් සලකුණු කිරීමේ වරද කළත් මේ තොරතුරුවලින් පෙන්වන්නේ මොකක්ද ?
ලංකාව සමස්තයක් හැටියට මුහුණු දුන් සහ දෙමින් ඉන්න මේ අර්බුදය, කිසිසේත් හොරකම්,වංචා, දූෂණ නැත්නම් ණය හෝ ආනයන-අපනයන ආර්ථිකයට සීමා වුණ එකක් නොවෙන බවයි. ඒ වෙනුවට ඒ පීඩිත ජාතීන් යටපත් කරමින් ගොඩනගන්නට ගිය රාජ්‍යයේ අතුරුඵල බවයි.
තවත් සරල ව කියනවා නම් ලංකාවේ සංවර්ධනයත්, ශිෂ්ටත්වයත්, ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයත් කරා යා හැක්කේ පීඩිත ජාතීන්ගේ සමානාත්මතාවය හා ගරුත්වය පිළි ගත් මාවතක් හරහා විතරක් බවයි.
ඒ තේරුමෙන් ගත්තා ම තමිල් ජාතික විමුක්ති අරගලයේ දිවි කැප කළ, දිවි පුද කළ සියළු විරුවන් මුළු රට විසින් ම හිස නමා ගරු කළ යුතු පුරෝගාමීන් !
No comments:
Post a Comment