Thursday, November 28, 2024
බොදු ත්‍රිකෝණයේ මියන්මාර් කොන යුද අපරාධ අධිකරණයට !
ලෝකයේ බෞද්ධ ත්‍රිකෝණය හැටියට හඳුන්වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මියන්මාරය. මේ වෙනකොටත් මේ කියන මියන්මාරයේ තියෙන්නේ හමුදා පාලනයක්. හමුදා ජුන්ටාවේ නායකයා මිං හවුං හ්ලේං. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අභිචෝදක කරීම් ඛාන් විසින් මේ ජුන්ටා ලොක්කා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීමක් කරනවා. පුළුල්, අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණවලින් මියන්මාරයේ සුළු වාර්ගික රෝහින්‍යාවරුන් ඉලක්ක කර පාලක ජුන්ටාව විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම ගැන බරපතල තත්වයේ තොරතුරු ඇති බව ICC අභිචෝදක විසින් පෙන්වා දෙනවා.
මියන්මාරයේ ජනගහනය මිලියන 55ක් විතර වෙනවා. ඉන් 68%ක් බාමර් (බුරුමන්). ශාන් 9%, කැරන් 7%, රඛායින් (රෝහින්‍යා මුස්ලිම්) 4% වෙන කොට තව ස්වදේශික ආදිවාසී ගෝත්‍ර 135ක් විතර මියන්මාරයේ මේ ජනගහනය තුළ ජීවත් වෙනවා. ශාන්වරු ප්‍රධාන සුළුතරය වෙන අතර 1947 පටන් ජාතික විමුක්ති අරගලයක නිරත වෙනවා.
මියන්මාරය, ලංකාවට සමාන ලක්ෂණ දක්වන තවත් තැනක් තමයි මේ දෙක ම යටත්විජිත හැටියට තිබිල නිදහස් වෙච්ච රටවල්. ඒවායේ කලින් තිබුණ නොදියුණු ආසියාතික වැඩවසම් සම්බන්ධකම් උඩ අධිරාජ්‍යයෙන් අපනයනය කරපු ධනේෂ්වර සම්බන්ධකම් පිහිටුවද්දී කලවමක් හැදුන සමාජයන්. අධිරාජ්‍ය ආක්‍රමණයෙන් මේ සමාජයන්ට ඉස්සරහට තල්ලුවක් ලැබුණ බව ඇත්ත. ඒ දායාදයන් එක්ක ම ආපු නරක ම දේ තමයි යටත්විජිත ආකෘතියේ රාජ්‍යයක් උරුම වෙච්ච එක. (පශ්චාත් යටත්-විජිත රාජ්‍යයක්)
ලංකාවට සමාන තවත් ලක්ෂණයක් තමයි මියන්මාරය එක දේශපාලන ඒකකයක් හැටියට එතැන ජනසමූහය සංවිධානය කෙරෙන්නේ ආගම පදනම් කරගෙන. මේ අනූව මොන මොන විදියෙන් හරි බහුතරය වුණ මියන්මාර් බෞද්ධ වාර්ගිකත්වය 89.8%ක අතිබහුතරයක් බවට පත්කෙරෙමින් රාජ්‍යය තීරණය කරන ජාතිය නිර්මාණය කෙරෙනවා. නොයෙක් උපක්‍රම හරහා 6.2% වෙන ක්‍රිස්තියානීන් ද, 2.3%ක් වෙන ඉස්ලාමිකයන් ද, අනෙකුන් ද දිගින් දිගට ම දියවෙමින් පවතිනවා.
මේකෙන් කියවෙන්නේ අර පසු-යටත්විජිත රාජ්‍යය, වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් හැටියට සංවිධානය වෙන බවයි. යටත්විජිත ස්වාමියා ගේ තැන බෞද්ධත්වය වෙද්දී එසේ නොවෙන අනෙකා යටත්වැසියා වෙනවා. (මේ විදියේ රාජ්‍යයක් තුළ යටත්විජිත ස්වාමීන් වෙන ආධිපත්‍යධාරී ජනසමූහයත් ස්වේච්ඡාවෙන් ම 'යටත්වැසියා' බවට පත්වෙනවා. හරියට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සොල්දාදුවා ගේ තත්වය වගේ.
මියන්මාර් වැසියන්ගෙන් 1/4ක් ම දරිද්‍රයෝ හැටියට ගණන් ගැනෙනවා. මේ තත්වය වඩා තියුණු වෙන්නේ සුළු ජාතික ප්‍රදේශවල. රඛායින් ප්‍රාන්තයේ 42%කුත්, කචින් ප්‍රාන්තයේ 37%කුත් අන්ත දිළින්දන්. මේක වෙන විදිය ගැන හොයා බැලුවා ම වර්ගතාන්ත්‍රික රාජ්‍යය කියන්නේ මොකක්ද කියන එක ආයේ පැහැදිලි කරන්න ඕන වෙන එකක් නෑ.
USDP කියන්නේ මියන්මාරයේ මිලිටරි පක්ෂය. පළාත්පාලන ආයතනවලත් මිලිටරි කෝටාවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 25ක කෝටාවක් කෙළින් ම මිලිටරියට. මියන්මාර් ව්‍යාපාරවලින් 60%ක් මිලිටරි නිලධාරීන්ට අයිතියි. දැන් තියෙන මිලිටරි පාලනය යටතේ බහුජාතික සමාගම් පවා ආයෝජනය කරන්න ඕන මිලිටරියෙන් හදපු ආයතන දෙකක් හරහා.
2008 දී මිලිටරියෙන් ගෙනාපු ව්‍යාවස්ථාවක් යටතේ තමයි 2010 මැතිවරණය පවා පැවැත්තුවේ. අවුන්-සාන්-සූකි ගේ NLD ය හෝ වෙන මොන පක්ෂයක් බලයට ආවත් රාජ්‍යය මෙහෙයවන්න මිලිටරියට සහ සංඝ බලමධ්‍යස්ථානයන්ට ඇති බලය ඊට ඉහළින් තියෙනවා. අවුන්-සාන්-සූකි බලය ලැබුණ වෙලාවේ පවා ඒවට අභියෝග නොකර ඒ බලය ආරක්ෂා කරන තැනකට ගියා. ඊනියා 'ප්‍රජාතාන්ත්‍රික' පාලනය යටතෙත් වර්ගවාදී බලය ඉහළින් ම පැවතුනා.
මියන්මාර වර්ගතාන්ත්‍රික රාජ්‍යය දීප්තිමත් වැඩ කොටස 60 දශකයේ ජනරාල් නේ-වින් යටතේ සමාජවාදී පාලන කාලයේ දියත් වෙන්නක් ! මියන්මාර මිලිටරිය යුද-දේශපාලන යාන්ත්‍රණයක් හැටියට ප්‍රතිසංවිධානය කිරීම මේකේ පටන්ගැන්ම කියනවා. 1964 මිලිටරිය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතියක් විදියට ඉන්දීය සම්භවයක් ඇති ජනසමූහයන්ගේ දේපළ අත්පත් කර ගෙන රටින් පළවා හරිනවා. මිළඟට හමුදාව තුළ මුස්ලිම්වරුන් ඉවත් කිරීමත්, මුස්ලිම් රඛායින් ප්‍රාන්තයේ බෞද්ධ ජනාවාස පැතිරවීමත් කරගෙන යනවා. 1978දී නීති විරෝධී සංක්‍රමණ මැඩ පැවැත්වීම නම් මිලිටරි ව්‍යාපෘතිය යොදා ගෙන මුළු මුස්ලිම් ජනගහනයෙන් අඩක් වෙන 3,00,000ක් විතර පළවා හරිනවා. 91-92 දී රෝහින්‍යාවරුන්ට 86%ක් හානි සිදු වෙන 'බෞද්ධ-මුස්ලිම් ගැටුමක්' දියත් වෙනවා. මුල් සති 5ක් ඇතුලත 5,00,000 තරම් රෝහින්‍යා මුස්ලිම්වරුන් ප්‍රමාණයක් බංග්ලාදේශයට පැනලා යන්නේ ජීවිතය බේරගන්න. මෙහෙම බේරිල ආපු මිලියනයක් විතර රෝහින්‍යාවරු බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි අනාරක්ෂිතව, ලොව විශාලතම සරණාගත කඳවුරේ ජීවත් වෙන අතර රිජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන සමූහ සංහාර, සමූහ දූෂණ, දේපළ විනාශයන් ගැන ජීවමාන සාක්ෂි දරා ගෙන ඉන්නවා. චන්ද්‍රිකා ඡායාරූප අනූවත් අඩු ම ගානේ රෝහින්‍යා ජනාවාස 200ක් ගිනිබත් කරලා.
ජීවිතාරක්ෂාව ඉල්ලා ගෙන ලංකාවට ආපු රෝහින්‍යා සරණාගත පිරිසකට විරුද්ධව වෛරී ප්‍රකාශනයක් එලිබස්සවන්න මුල් වුණේ බොදු බල සේනා ඇතුළු බෞද්ධ මූලධර්මවාදී කල්ලි. ඒ අයත් තායි සහ මියන්මාර් අන්තවර්ගවාදී කල්ලිත් අතර සෘජු සම්බන්ධකම් හෙළි වි තියෙනවා.
සූකී නායකත්වය දැරූ NLD පාලනය කුමන්ත්‍රණකාරීව කෙලවර වුණේ ඔවුන් ගේ නිශ්ක්‍රීයත්වය මත්තෙන් සවිමත් වූ මිලිටරි-සංඝ බලවේග මතින්.
ඒ වෙලාව වෙද්දී 'සිවිල් නීති කඩකිරීමේ මියන්මාර් ව්‍යාපාරය'(CDM) ජුන්ටාවට එරෙහි විශාල ම ක්‍රියාකාරී ව්‍යාපෘතිය බවට ශක්තිමත් වෙලා තියෙනවා. ඔවුන් විකල්ප ආණ්ඩුවකුත් පිහිටුවලා. වෙන ම ආර්ථික ව්‍යුහයකුත් හදා ගෙන, සන්නද්ධ පෙරමුණකිනුත් ජුන්ටාව එක්ක හැප්පෙමින් ඉන්නවා. මියන්මාර් මිලිටරි ආර්ථිකය බිඳවැට්ටවීම ඔවුන් ගේ ලොකු ම ඉලක්කයක්. ඒත් කුමන හෝ මිලක් ගෙවා මිලිටරි ජුන්ටාව රැකගැනීමට චීනයේ කැපවීම බරපතල අභියෝගයක්. චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේත් නිත්‍ය සාමාජිකයෙක් වෙන අතර නිශේධ බලයත් අයිතියි. රාජපක්ෂ තන්ත්‍රය රැකගන්නත් මේ විදියේ කැපවීමක් චීනය විසින් දරපු බව අමතක නොකරමු.
ඉතින් ICC විනිසුරුවන් තිදෙනෙකු විසින් මියන්මාර් සාපරාධී පාලනය වගඋත්තරකරුවන්ට එරෙහි නඩු විභාගය පටන් ගත්තත් යුක්තිය තව බෙහෝ දුර වෙන්න පුළුවන්.
මේ ඔක්කොම අස්සේ ලෝකයේ උස ම බුදු පිළිමය ඉඳිකිරීමේ ව්‍යාපෘතියත් මියන්මාර් මිලිටරි ජුන්ටාවෙන් ඉස්සරහට අරන් යමින් !
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment