Tuesday, June 29, 2021
ඔන්ලයින් යනු අර්බුදයේ හේතුව නොවේ;විභාග කේන්ද්‍රීයත්වයේ අර්බුදයේ හඩ පමණි.
'ඔන්ලයින්' කියද්දිත් ඔක්කාරයට එන සයිස් ය. අති විශේෂයෙන්ම නරක ම අත්දැකීම් ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ය. මාස 15ක් පමණ දිගු කලක් වසා දමා ඇති ආණ්ඩුවේ ඉස්කෝලෙ 10,012 ක් ඇතුළු පාසල් පද්ධතිය කෝවිඩ් නිසා ඇරගන්නට බැරි ය. ඒ කියන්නේ ඉස්කෝල බිල්ඩින් ටිකට ගුරුන් සිසුන් ගාල් කර ගත නොහැක. එහෙම කරන්නට යාම නිසා දැනටමත් නිරපරාදේ මරණ ගණනකි. ආණ්ඩුවට මේ පාසල් පද්ධතිය සහ විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාම සදහා තිබූ එක ම විකල්පය ඔන්ලයින් අධ්‍යාපනය ලෙස හැදින්වූ අන්තර්ජාල ප්ලැට්ෆෝම් ය. ඒකත් ගුරුවරුන් හා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ස්වේච්ඡාවෙන්, තම තමන් ගේ වියදමෙන්,තම තමන් ගේ උපකරණවලින් ඒ වැඩේ පටන් ගත් පසු ය. ඒවා අධීක්ෂණය කරන්නට, නිල ඇදුම් ඇගලා ගෙන විකාරරූපි නාට්‍ය රගදක්වන්නට නිලධාරීන් ඒ මැදට පැන බලපෑම් එල්ල කරන්නට පටන් ගැනීමෙන්, ගුරුන් ගේ රතු කට්ට ද පැන්නේ ය. දිවයින පුරා ශක්තිමත් අන්තර්ජාල පහසුකම් පද්ධතියක් නැත; උපකරණ නැත; වියදම් කරන්නට සිදුවන්නේ අතිනි. ගුරුන් හා ශිෂ්‍යයන්ට ටැබ් ලබා දී, රට පුරාම අන්තර්ජාල කලාප ව්‍යාප්ත කොට පටන් ගන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගතකිරීම් ආපස්සට හරවද්දී අපේ ඊනියා ප්‍රගතිශීලී කියන බලවේග රග දැක් වූ ප්‍රතිගාමී කාර්යභාරයේ විපාක දැන් දැන් අපි භුක්ති විදිමින් සිටිමු. ඒ කාලේ ඔවුන් ඇසුවේ 'දැන් අධ්‍යාපනයට අඩු ටැබ් ද' කියා ය. 'ඡන්ද නැති කරගන්නා වැඩක්'යි කියමින් වත්මන් රෙජීමයේ ද ප්‍රධාන හවුල්කරුවකු වන එවකට සිටි ජනාධිපතිවරයා ඒ යෝජනාව හමස් පෙට්ටියට එබුවේ ය.
ඉතින් අන්තර්ජාල පහසුකම් ගැන කවර කතා ද ! රටේ ජාතික මට්ටමේ පරිගනක සාක්ෂරතාවය 32%කි. එය නාගරික වශයෙන් ද 43.5%කි;ගම්වල 30.7%කි;වතුකරයේ 12.1%කි. මේ ගණන් බලා ඇත්තේ අවුරුදු 5-69 අතර පිරිස අතර ගේම් ගහන්නට හෝ පරිඝනයක් හසුරුවා ගැනීමේ හැකියාව අනූව ය. අපි අත ඇති බොහෝ ස්මාර්ට් දුරකථන ඇතුළු උපකරණවලින් වැඩි ම දෙනෙකු ෆේස්බුක් ගොස් සුද්ද සිංහල කෙටීමට හා සකබර්ග්ලා විසින් දී ඇති මූණක්, අතක් ලකුණු කොට දීමට වඩා දෙයක් දන්නේ නැත. බොහෝ වැඩිහිටියන්, විශේෂයෙන් ම ගුරුවරුන් අන්තර්ජාලය සලකන්නේ යක්ෂයෙකු ලෙස ය. පාසල්වල ICT ලැබ් වල හොදම දේ වාරණය කර ඇත. ලෝකයේ sex සම්බන්ධයෙන් වැඩි ම අතෘප්තිමත් පාරිභෝජකයන් සිටින රටක් බවට ලංකාව පත්වන්නේ ඉහත සියල්ලේ අනිවාර්ය ප්‍රතිපලයක් ද ලෙස ය.
ඉතින් දැන් ඉස්කෝල බිල්ඩින් ටික ඇරගන්නට බැරි වූ කල මේ කවුරුත් zoom, meet,team, classroom ආදි අන්තර්ජාල ප්ලැට්ෆෝම් සොයා ගිය හ. අර පසුබිමේ මේ වැඩේ කරන්නට යාම අත්‍යවශ්‍ය හෝම්වර්ක් මග හැර මැද්දෙන් පැනීමකි. මේ වන විට ප්‍රතිඵල ලෙස දරුවන්ගෙන් 60%ක් අධ්‍යාපනයෙන් පිටුවහල් වී ඇතැයි ද, සිලබස්වලින් 5%-10%ට වඩා කවර් කර නැතැයි ද ගුරු සංගම් වලින් පෙන්වා දී ඇත.
පුළුල් අන්තර්ජාල ආවරණයන් ගැන අතේ පත්තු වෙන මාගල් සයිස් බේගල් දෙසා බෑම වෙනුවට ඇත්ත විකල්පයන් දෙසට හැරෙන ලෙස ගුරු සංගම් දැන් බලකරමින් සිටී. අධ්‍යපෙයේ අහිමි වන සම අවස්ථා ගැන මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමේ උද්ඝෝෂණයක් ද ඔවුහු දැන් ආරම්භ කර ඇත.
ආණ්ඩුව අධ්‍යාපනය පමණක් නො ව කිසිදු තීරණාත්මක ප්‍රශ්නයක් ගැන විකල්පයක් නිර්මාණය කරන්නට අසමත් ව සිටී. ඒ රට කරවන ඇත්තන් ගේ දෝෂයක් ම යයි මම නොසාතමි.ඔවුන් සැබැවින් ම අපේ සමාජයේ අන්ත පසුගාමී බලවේගවල මජර කොල්ලකාරි උවමනාවන් නියෝජනය කරමින්, ඒ තුළින් තමන් ගේ ලොකු කුට්ටිය කඩා ගනිමින් පමණක් සිටිති. ඒ මංකොල්ලයත්, හරස් වන්නන් මර්දනයත් යන දෙකට එහායින් මේ සමාජ බලවේගවලට කිසිදු වැඩපිළිවෙලක් ගැන කල්පනා නො වේ.
ඉතින් දැන් යෝජිත අධ්‍යාපන විකල්ප මොනවාද ?
සියළු ගුරුන් හා විදුහල්පතින් එන්නත් කර පාසල් විවෘත කිරීමත්, පුරුදු පරිදි වැඩ කර ගෙන යාමත් එක යෝජිත විකල්පයකි. මේ ජුනියේ මැද වන විට එන්නත් කර ඇත්තේ ජනගහනයෙන් 2.81%ක් පමණි. ඒ ද බරපතල ගැටළුකාරී දේශපාලන හා පරිපාලන ඇගිලි ගැසීම් මගින් ඇති කළ විකෘතතා සහිතව ය. අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය ලබා නොදීම මෙන් ම චීන එන්නත් හී ඵලදායිතාවය ගැන ද සැකමුසු චෝදනා එල්ල වෙමින් තිබේ. මේ තත්වයන් තුළ පාසල් ප්‍රජාව එන්නත් කර අවසන් කිරීම අතිශයින් අසාර්ථක විකල්පයක් වනු ඇත. ඒ හැරත් රජයේ පාසල් 10,012කින් 2644ක වැසිකිලි පහසුකම් නැති, 1627ක ජල පහසුකම් නැති තත්වයක් යටතේ කෝවිඩ් වළක්වාගැනීම සිනා නැති විහිළුවක් පමණක් වනු ඇත.
මේ වන විට වඩා ඉහළින් ඔසවමින් ඇත්තේ රූපවාහිනිය තුළින් සිලබස් කවර් කිරීමේ යෝජනාව ය. ආණ්ඩුවට මෙය ක්‍රියාත්මක කළ හැක්කේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ එකගතාවය මත පමණි. ඕනෑනම් අනෙක් පෞද්ගලික රූපවාහිනි සේවා සමග ද එකගතා ඇති කර ගත හැක. එහෙත් මේ යෝජනාව ඔසවා තබන අය ට එක් අතෙකින් රූපවාහිනි චැනලයක වේලා තීරු වෙන් කිරීමේ කාර්යය ගැන අබ මල් රේනුවක දැනුමක් නැති බවක් පෙනේ. අනිත් අතින් රූපවාහිනි සේවා වුව ද මුළු දිවයින එක ලෙස ආවරණය කරන්නේ නැති බව ද, එසේ කිරීම සදහා අප රටේ භාවිතා කෙරෙන උපකරණ වල සිට තව බොහෝ දේ ප්‍රමාණවත් නොවන බව ද, අති විශේෂයෙන් ම කිසිදු ජනමාධ්‍යයක ක්ෂණික සහ සෘජු ප්‍රතිචාර දැක්වීමේ නොහැකියාව නිසා දුර්වල වන ප්‍රතිපෝෂණ හැකියා ගැටළුව ගැනද ආදි සුවහසක් ගැටළු අවධානයෙන් ගිලිහී ගොස් ඇති බව ද පෙනේ.
එහෙත් මේ යෝජනා ගෙන එන අය අවංක ලෙස ම ඒවා කරනුයේ පවතින විභාග ටික කර ගැනීම ම පමණක් ම සමස්ත අධ්‍යාපනය ලෙස සළකා ය. මේ ප්‍රශ්නය ගැන මුළු සාකච්ඡාව ම කැරකෙමින් ඇත්තේ විභාග කේන්ද්‍රීය මේ අධ්‍යාපන ව්‍යුහය කඩා වැටීම වළක්වන්නේ කෙසේ ද යන්න ගැන ය.
ඇත්ත ම අර්බුදය ඇත්තේ යල් පැන ගිය මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ ය. දැන් ඉතින් මේ අවසරයෙන්වත් ඊට කුළු ගෙඩි පහරක් දිය යුතු නො වේ ද...?
අවශ්‍ය පහසුකම් සහ නිර්මාණාත්මක නිදහස තහවුරු කරන ලද ගුරු අධ්‍යාපනයක් තිබුණේනම්, ඇත්ත වශයෙන්ම රූපවාහිනී හෝ ඒ තරමටවත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේද අසාර්ථක නො වේ. ඇත්ත ම අසාර්ථකත්වය ඇත්තේ 'අහවල් විභාගයට අහවල් ප්‍රශ්නපත්‍රයේ අසන මේ විදියේ ප්‍රශ්නයට මේ විදියේ පිළිතුරක් දෙන්න' යයි කීමට සීමා වූ අධ්‍යාපන පද්ධතියේ ය; 'ටෝක් සහ චෝක්' ක්‍රමවේදයේ ය.
මේ තව එක පැයක් වත් පවත්වා ගැනීමට නුසුදුසු ක්‍රමයකි.
වහාම කළ යුතු ව ඇත්තේ මේ අසාර්ථක විභාග පද්ධතිය අහෝසි කර දැමීම ය.
විකල්ප ඇගයුම් ක්‍රමයක් ස්ථාපිත කිරීම හදිසි හා අත්‍යවශ්‍ය වේ. හැකිතාක් ස්වයං අධ්‍යයන ක්‍රම දිරිගැන්විය යුතු ය. ඉන්දියාවේ සෘෂිවැලි සහ ස්ථාන හයක ක්‍රිෂ්ණමුර්ති පදනමෙන් පවත්වා ගෙන යන පාසල්වල ඉගෙන ගන්නා දරුවෝ අවශ්‍යනම් පමණක් ගුරුන් විමසති. තම ශ්‍රේණියට අදාල තත්වය අපැහැදිලිනම් පහළ ශ්‍රේණීන්ගේ සිට අදාල මූලධර්ම ඉහළට ඉගෙනගනිමින් එති. ඇත්තටම නායකත්වය ශිෂ්‍යයන්ට දී ගුරුවරු පසුපසින් සිට පහසුකම් සැපයිය යුතු තත්වයක් නිර්මාණය කර ගත යුතු වෙමු. යල් පැනගිය දිසාපාමොක්ලා ගෙන් අපි වහා වහා ම නිදහස් විය යුතු වෙමු.
අන්තර්ජාල තාක්ෂණය නිසා දරුවන් රෝගී බවට පත් ව ඇතැයි වෛද්‍ය වාර්තා උපුටා දක්වයි. ඇත්ත ය. ඉතා දිගු කලක්, අකුරු කියවමින්, කුඩා තිර මත ඇස් රදවා ගෙන සිටින්නට බල කිරීම මගින් එය අනිවාර්යයෙන් ම සිදු වනු ඇත. 2017 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අඩු ම වශයෙන් අවුරුදු 17 වන තුරුවත් සියළුම විභාග අහෝසි කරන ලෙස ආණ්ඩුවට යෝජනා කළේ විභාග පාදක අධ්‍යාපන ක්‍රමය අපේ දරුවන් මානසික- කායික රෝගින් බවට පත් කරමින් ඇති බැවිනි. 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ ආරම්භක පියවර ම, ඒ වැදගත් වෙනසේ මුලපිරුම ම විනාශ කිරිමෙන් එය ද ආපස්සට හරවන ලදී. දැන් සනීප ය !
"අපි ප්‍රශ්න අසන්නෙමු.නුඹලා ඒවාට අප කැමති, අප අනුමත කරන පිළිතුරු දිය යුතු වේ. ඒවා එසේ ම දී ඇත්දැයි පරික්ෂා කිරීමට අප විසින් පත් කරන උත්තර පරීක්ෂකවරුන්ට මොඩල් උත්තර අප විසින් දී ඇති අතර ඒවා සමග ඇති ගැලපුම අනූව නුඹලාට ලකුණු හිමි වනු ඇත" යන්න පදනම් කර ගත් අධ්‍යාපන ක්‍රමයක් අපේ දරුවනුත්,අනාගතයත්,ශිෂ්ටාචාරයත් තවදුරටත් විනාශ කරනු ඇත. ඒ ඉදිරියේ බකං නිලා සිටිනවා ද; නැතහොත් ඊළග පැයේදීම එය වෙනස් කරනවා ද ? අඩු ම වශයෙන් ආරම්භක පියවර හෝ තැබීමට මේ සුදුසු ම මොහොත නො වේ ද ?
විකල්ප ඇගයුම් ක්‍රමයක මුල් ම පාදම විය යුත්තේ ශිෂ්‍යයා ගේ ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සහ ඊටත් වඩා ප්‍රතිචාර සටහන් කිරීමේ මාධ්‍යය සම්බන්ධයෙන් ඔහු ගේ, ඇයගේ නිදහස පූර්ණ ලෙස පිළිගැනීම ය. මාකින් ස්කීම් අවශ්‍ය නැත. ඔහු ට හෝ ඇයට, අදාල දෙය කොයි තරම් දක්ෂ ලෙස ඒත්තු ගැන්විය හැකිව තිබේ ද යන්න පමණක් ගණනය කළ යුතු ය. පිළිතුරකට මාර්ග බොහෝ තිබිය හැක.බොහෝ විට පිළිතුරු ද එකකට වඩා තිබිය හැක. ඒවා යේ හරි වැරදි ගැන අධිකාරීවාදි මතයක් පටවනු වෙනුවට අවශ්‍ය කරන්නේ අදාල ප්‍රකාශනය කොතෙක් හොදින් සංනිවේදනය කර ඇත් ද යන්න මැදිහත් ව විමසා බැලීමයි. එය අළුත් දැනුම නිෂ්පාදනයේ තෝතැන්නක් වනු ඇත; කුසලතා ගොඩනගනු ඇත;ආකල්ප සහ අධ්‍යාත්මයන් නිදහස් කරනු ඇත.
ඉතින් කෝවිඩ් තුළින් අධ්‍යාපනයේ අර්බුදයක් මතු වී ඇතැයි යන විකාර අදහස අතහරිමු. සිදු ව ඇත්තේ අධ්‍යාපනයේ අර්බුදය ප්‍රකාශ වෙමින් පොලා පැනීම ය. ප්‍රශ්නයේ හරය වන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වහා අහෝසි කරන්නට බල කරමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment