Saturday, September 14, 2024

කොටියෙකු ට සිංහයකු ගේ දඩයම ප්‍රශ්න කළ හැකි ද ?

 








මේ තියෙන පින්තූර 88-89 කාලේ පත්‍රිකාවක්. ඒක කියවගන්න අමාරු, ඒත් ඕනකමක් තියෙන අයට අකුරු ටික විතරක් මුල් ම කමෙන්ටුවේ.

(ෂෙයාර් කරනවනම් මේ දෙකතුනම අමතක කරන්න එපා)
අප්‍රේල් 5;ඒක හරි වැදගත් දිනයක් නේ. 71 කැරැල්ල පටන් ගත් දවස. මේ කාලවකවානුවේ මොකක් හරි හේතුවක් නිසා එදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් හර්තාල් ප්‍රකාශයට පත් කරපු දවසක්. සාමාන්‍යයෙන් වාමාංශික අපි දන්න 'හර්තාල්' පාරට බැහැල කරන ක්‍රියාකාරකම් වුණාට මේ කියන වර්ගයේ ඒවලදි එළියට බහින්න තහනම්.
එදා අනුරාධපුර - කුරුණෑගල පාරේ තරුණ බඩදරු අම්මා කෙනෙක් අර ගෙන ඉස්පිරිතාලෙට දුවපු ඇම්බියුලන්ස් එකට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් වෙඩි තියලා අම්මත් එක්ක නූපන් දරුවත් මරාදමනවා. ඒ ප්‍රහාරයෙන් කම්පාවට පත්වෙච්ච අම්මා කෙනෙක් අතින් විජේවිර නෝනාට ලියවෙන පත්‍රිකාවක් මේ.
එදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය(DJV)  මෙහෙයවූයේ අද ජාතික ජනතා ව්‍යාපාරය(NPP) මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණමයි. එහි තවත් ප්‍රධාන කොටසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වෙන ම ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

මේ දූපත ඇතුලේ තිබුණ රාජධානි සහ ජනපද රැසක්, එක රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත ප්‍රොජෙක්ට් එකක් හැටියට. ඒ රාජ්‍යය ඇතුලේ සමාන පුරවැසියෝ හැටියට තමන්ට පවතින්න ඕන ඉඩකඩ වෙනුවෙන් සිංහල සහ බෞද්ධ නොවන අයගේ ඕනෑඑපාකම් යටපත් කරල දාලා සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් හැටියටයි මේක ගොඩනගන්නේ. 1972 ව්‍යවස්ථාව වගේ එකකින් මේ තත්වය තහවුරු කෙරුනා. 1978 ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනයෙන් පීඩිත ජාතීන්ගේ දේශපාලන අයිතීන් අවසාන වශයෙන් ම නීත්‍යානුකූල සහ සාමකාමී ඉසව්වෙන් එළියට තල්ලු කරල දැම්මා.
1983 දී තමිල් විරෝධී සිවිල් සංහාරක ප්‍රහාර මාලාව විසින් දකුණ ගැන තමිල් සමාජයට තිබුණු අන්තිම විශ්වාසයත් අහෝසි කෙරුනා. අනිත් හැම වතාවෙමත් මේ වගේ මහජාතිකවාදී ප්‍රහාරයන්වලට රාජ්‍ය අනුග්‍රහය නියමින්-අනියමින් ලැබුණත් 83 තරම් ඒක තීව්‍ර වෙච්ච වෙනත් අවස්ථාවක් නැති තරම්. ඡන්ද නාමලේඛණ පදනම් කර ගෙන එල්ල කරපු ප්‍රහාරයන්, හිරගෙවල් වගේ රාජ්‍ය ආයතන ඇතුලේ ක්‍රියාත්මක කරපු ප්‍රහාරයන්, ලංගම බස් යොදාගැනීම් විතරක් නෙවෙයි එළිපිට ම ඒ වෙනුවෙන් ඇමතිවරුන් දෙදෙනෙකු විතර පෙනීහිටියා; ජනාධිපතිවරයා ඒ සියල්ල ඉවසමින් ඉඩ හදල දෙමින් හිටියා.
සාමකාමී, නීත්‍යානුකූල උද්ඝෝෂණයකට තිබුණ ඉඩකඩ සම්පූර්ණයෙන් ම අකුලා දැමීම ඇතුලේ තම්ල් ජාතික විමුක්ති ව්‍යාපාරය සන්නද්ධව සහ දේශපාලනිකව ශක්තිමත් වෙමින් ඉන්දියානු මහාආණ්ඩුවට පවා බලපෑම් කරන තත්වයකට ගොඩ නැගුනා. අනිත් අතින් ඉන්දියානු හා සෝවියට් පාලනයන්ට ලංකාව තුළ චීන සහ ඇමරිකානු බලපෑම් පාලනය කරගන්න ප්‍රතිරෝධක බලයක් හැටියට තමිල් විමුක්ති ව්‍යාපාරයේ වැදගත්කම ඔවුන් තේරුම් අරන් හිටිය කියල මට හිතෙනවා.
1987 ඉන්දු-ලංකා ගිවිසුම එන්නේ මේ පසුබිමෙන්. වෙන ම රාජ්‍යයක් වෙනුවට බලය බෙදාගැනීමේ පළාත් සභා ක්‍රමයක් ඒ මගින් යෝජනා කළා. ලංකාවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනත මේ අනූව සම්මත කරගත්තේ ආණ්ඩුව ඇතුලේ ම අන්ත ජාතිවාදීන්ගේ විරෝධතා මැද්දේ.
මේ අතරවාරයේ 83 සිද්ධීන් පදනම් කර ගෙන පක්ෂ තුනක් ආණ්ඩුව විසින් තහනම් කරනවා. ඉන් නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂයත් එක්ක එළියට ඇවිත්, අළුත බිහි වූ ශක්තිමත් වාම බලවේගයක් වුණ ශ්‍රීලංකා මහජන පක්ෂයත්, පැරණිතම වමේ පක්ෂය වුණ ලසසපත් එකතු කරන්, තමිල් විමුක්ති සංවිධාන වුණ EPRLF, PLOTE, EROS  වගේ සංවිධානත් හවුල් කරගනිමින් එක්සත් සමාජවාදී පෙරමුණ බිහි කරගන්නවා. මේ වාම සන්ධානය ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පළාත් සභා ස්ථාපිත කරන්නට දිවි පරදුවට තබා සහයෝගය ලබා දෙනවා. තහනමට ලක් වු ජවිපෙ ගමන් කරන්නේ අනිත් පැත්තට. ඔවුන් ආණ්ඩුව ඇතුලෙත්, ඉන් පිටතත් සිංහල ස්වෝත්තමවාදී පිරිස් සංවිධානය කර ගෙන 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය'  නම් සන්නද්ධ දේශපාලන ව්‍යාපාරය ගොඩ නගා මෙහෙයවනවා. දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනි හිටින, ජාතිවාදයට විරුද්ධ සියළු දෙනා 'මව්බිමේ සතුරන්' හැටියට නම් කොට පහර දීමට සහ මරාදැමීමට පටන් ගන්නවා.
මතක හැටියට මේක පටන් ගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායක දයා පතිරණ  සහ එහි ස්වාධින ශිෂ්‍ය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙක් වූ සෝමසිරි පුංචිරාල කපා කොටා දැමීමෙන්. ගෙල සිඳ ලූ දයා පතිරණ ඒ ප්‍රහාරයෙන් ජීවිතය පුද කරනවා. මේ ප්‍රහාරයන් ජාතික සමානත්මතාවය, සමඟිය, එක්සත්කම වෙනුවෙන් පෙනි සිටි වාමාංශික ක්‍රියාධරයන්, සමාජ ක්‍රියාධරයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු දහස් ගණනක් බිලි ගනිමින් ඉදිරියට ඇදෙනවා. ආණ්ඩු පක්ෂය වු යූඑන්පියේ ක්‍රියාධරයන්ටත්, රාජ්‍ය නිලධාරීන්ටත්, රජයේ වැඩසටහන්වලට මොන පදනමින් හෝ සම්බන්ධ වූ අයටත්, පොදුවේ දේ.ජ.ව්‍යා. නියෝග ⁣මොන යම් පදනමින් හෝ ⁣නොතකා හැරිීයයි චූදිත හැමෝටමත් එරෙහි ව එහි දණ්ඩක හස්තය ක්‍රියාත්මක වෙනවා.
දැන් අපේ කතාව පටන් ගත් තැන ඇම්බියුලන්ස් එකකට ඒ ප්‍රහාරය එල්ල කෙරුනේ දරුවා වදන්නට දේ.ජ.ව්‍යා. විසින් තහනම් කළ දවසක් යොදාගැනීමේ වරදට දඬුවම් හැටියට !

මේ ත්‍රස්තවාදය සුජාත කෙරෙනුයේ, ඒ වෙද්දී සන්නද්ධ තමිල් ජාතික විමුක්ති ව්‍යාපාරයේ 'ත්‍රස්තවාදයකින්' රට ගලවා ගැනීමේ පදනමකින් !
මේ කාලයේ සිදු වූ මේ විනාශයන්, ඝාතනයන්, ඛේදවාචකයන් සාධාරණිය කරන්නට ආණ්ඩුව පැත්තෙන් යොදා ගත් රාජ්‍ය ප්‍රතිත්‍රස්තවාදයත් නිදසුන් කොට පෙන්වීමක් තියෙනවා.
තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ 'අත-පය බැඳ ළිඳ ට දැමූ මිනිසා' නිදසුන ! එහෙම වෙලාවක ළි⁣ඳේ වතුර බොර කළ බවට ඒ මිනිසාට දොස් කියන්න බෑ.

ඇත්ත. ඒත් ජවිපෙ හිටියේ එහෙම තත්වයක ද ?
83 දී තහනමට සහ මර්දනයට ලක් කෙරුන පක්ෂ තුනෙන් දෙකක් එක මාවතකත්, ජවිපෙ විතරක් මේ මාවත තෝරාගැනීමත් කරමින් ප්‍රචණ්ඩ පීඩක සිං-බෞ. රාජ්‍යය වෙනුවෙන්, එහි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී හිටියා විතරක් නෙවෙයි; ඒ වෙනුවෙන් තමන් එක්ක ම තහනම ට ලක් වුණ සහෝදර පක්ෂ පවා තමන් ගේ දඩයම් ලැයිස්තුවට ගත්තා. ඉතින් ළිදට දාපු මිනිහ වෙන්නේ ජවිපෙන් තර්ජිත අය මිස වෙන කවුරුවත් වෙන්නේ නැහැ.
ජවිපෙ විසින් දියත් කරපු ත්‍රස්තවාදය, එල්ටීටීඊය ඇතුළු තමිල් විමුක්ති සංවිධාන විසින් දියත් කරපු 'ත්‍රස්තවාදය' එක්ක හරි හරියට සමාන ද ?
'බල්ලයි, හාවයි, නරියයි, අලියයි ඔක්කොම එකමයි; කකුල හතරයි' කීව වගෙ කතාවක් ඒක !
මතුපිට ලක්ෂණ වෙනුවට ගැඹුරින් බැලුවොත් සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යය හැදෙන්නෙම සිං-බෞ. නො වන අසල්වැසි, සහෝදර ප්‍රජාවන් දෙවෙනි, තුන්වෙනි තැනට දාලා. ගැඹුරින් බැලුවොත් එතැන තියෙනවා ජීවිත පවා උදුරගන්න තත්වයන්. ඒක ත්‍රස්තවාදයක්.
ඒ පීඩක රාජ්‍යය, අපි කාටත් සමාන හා ගෞරවණිය පුරවැසියන් විදියට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන් විදියේ රාජ්‍යයක් බවට පත් කරගන්නට මිලිමීටරයකින්වත් ඉස්සරහට තල්ලු කිරිමත්, ඒක බාධා කරලා පස්සට ඇදිල්ලයි එකක් නෙවෙයි දෙකක්.

ජවිපෙ හී, භීෂණ දායකත්වය ගැන චෝදනාවෙන් තවමත් ඔවුන් නිදහස් වෙන්නේ නැත්තේ තාමත් ඔවුන් මේ වර්ගතාන්ත්‍රික රාජ්‍යය වෙනුවෙන් තදින් ම පෙනී හිටින නිසයි. මේ ගැන සැකයක් තියේනම් යාපනේ දී දකුණ දිහා බලා ගෙන අනුර කියන කතාව එයාගේ හඬින් ම අහල බලන්න.

මොන තත්වයක් යටතෙත් ජීවිත උදුරාගැනීම, යටපත් කිරීම, පිඩාවට පත් කිරීම සුන්දර දෙයක් නෙවෙයි. එහෙම කරන්න වෙන තත්වයක දී එහෙම නොවෙන අන්තිම විකල්පයත් හොයාබලන්න අපට සිදු වෙනවා.
ඒත් මේ රාජ්‍යය එහෙම එකක් නෙවෙයි.

72න් පස්සේ ඒ ප්‍රචණ්ඩ පීඩක රාජ්‍යය ඔසවා තියන්න ගත්ත ලොකු ම පියවර වුණේ ගෝඨාභය ගේ ප්‍රකාශිත ජයග්‍රහණය.
ඒ ගමන කෙලවර වෙන්නත් ඉස්සෙල්ල ලංකාව ම බංකොලොත් රාජ්‍යයක් වුණා.ඒක මේ සීමිත පිරිසකගේ හොරකම්, වංචා, දූෂණ වගේ සිල්ලර වැඩකිඩ වලින් වෙච්ච දෙයක් කියන්නේ හිනා නොයන විහිළුවක් !
සිං-බෞ. නොවන අනෙකා එක්ක සමාන හා ගෞරවනීය එක්සත් රාජ්‍යයක් හදාගැනීමේ පාරේ දී මිසක සංවර්ධනයටත්, ශිෂ්ටත්වයටත් වෙන පාරක් නෑ.
මේ දෙකින් එකක් තෝරගන්න පුළුවන්. එක්කෝ ඒක; නැත්නම් මේක !
ජවිපෙ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න මට තහනම් කරන සමහරු ඒකට හේතු දෙකක් ඉදිරිපත් කරනවා. ඉන් එකක්, මම විමුක්ති කොටි හිතවාදියෙක් හැටියට එහි ඝාතන සාධාරණීකරණය කරනවා කියන එක. මේක ඇත්තක් නොවුණත් ඒ ගැන පදනම මෙතැන දක්වා තිබෙන තරම ප්‍රමාණවත් ඇති. දෙවෙනි චෝදනාව තමයි මම රනිල් වික්‍රමසිංහ මේ  මොහොතේ මගේ දේශපාලන නියෝජිතයා හැටියට තෝරාගෙන තිබීමෙන් එයා සම්බන්ධයි කියන දකුණේ සහ උතුරේ ඝාතන හා වධහිංසා ගැනත් පක්ෂපාතී වෙලා තියෙනවා කියන එක. මේකත් පට්ට ම බොරුවක්.
මට සාධාරණිකරණය කරන්න සිදු වුණ ඝාතනයන් තියෙනවා. ඒ හැම වෙලාවකමත් ඊට වඩා වෙනස් ඕනෑ ම පියවරක් වෙනුවෙන් මම පෙනි හිටිනවා. කිසිසේත් ම අර තෝරාගැනීම් සුන්දර නැහැ. වධහිංසා ගැනනම් කොන්දේසි විරහිත විපාක්ෂිකත්වයක් මට තියෙන්නේ.
දැන් රනිල් ට එල්ල වෙලා තියෙන චෝදනා අතර බටලන්ද වධකාගාරය මෙහෙයවීම ගැන ලොකු චෝදනාවක් තියෙනවා. ඒ ඒ අය හිතේ හැටියට මේ චෝදනාව ඩිසයින් කරනව මම දැකල තියෙනවා. එකක් මේ ගැන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මගින් විමර්ශන කොමිෂන් සභාවක් පිහිටවලා කැඳවීමක් කළා ම රනිල් ඒකට සම්පූර්ණ සහයෝගය දීලා ඒ පරීක්ෂණයට යටත් වුණා. එහෙම චෝදනාවක් ඔප්පු වුණේනම් නෑ. දෙවැන්න ඒ කාලේ අතුරුදන් කිරිම්, වධහිංසාවට ලක්කිරීම් ගැන එක ම නඩුවකදිවත් රනිල් චූදිතයෙක් කරන්න මේ චෝදකයන්ට අමතක වෙලා තියෙන හැඩයි. ඉතින් මේකත් නිකම් 'මහබැංකු හොරා' වගේ හිතළු සහ ආශාවන් මත පදනම් වුණ ප්‍රවාදයක්. ටික කලක් යනකොට මේ වගේ බොරු ඇත්ත හැටියට ගැනෙන අවස්ථා කෝටි ගණන් හොයාගතෑකි.
ඒ ඔක්කොමත් තියෙද්දී අද හරි තියෙනවනම් රනිල් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුත්තෙක් කියලා ,මගේ අදහස අද පවා ඒ පරීක්ෂණයට ඉඩ තිබිය යුතුයි.  එහෙම ඉඩ ඇති නීතිමය පදනමක් අමාරුවෙන් නමුත් දැන් හැදී ගෙන යනවා.
වැදගත් ම දේ ඒක නෙවෙයි.
චඇයි බටලන්ද විශේෂ වෙන්නේ ? සපුගස්කන්දේ, බටලන්ද ප්‍රභූ නිලනිවාස පිහිටුවල තිබුණේ බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයත්, ඊට සම්බන්ධ හමුදා කඳවුරත් එක්ක. හමුදාව සහ අතුරු හමුදා ඛාණ්ඩ සම්බන්ධ හැම කඳවුරක් ම පාහේ වධකාගාර හැටියටත් ක්‍රියාත්මක වුණා. විශාලතම සමූහඝාතනයන් සම්බන්ධයෙන් මේජර් ගෝඨාභය නායකත්වය දැරූ මාතලේ කප් ගහල තියෙනවා. මාතර එළියකන්ද කඳවුරේ රැඳවියෙකු වූ අජිත් පැරකුම් එහි අත්දැකීම් ලියා තියෙනවා. උතුරට අරුමයක් නොවුණ මේ වධකාගාර සහ නීතියෙන් බැහැර රැඳවුම් මධ්‍යස්ථාන කුට්ටමනී ගේ අනාවැකි සනාථ කරමින් රට පුරා ම විහිදිල තිබුණා. මේවා උතුරට එරෙහි ව ජවිපෙ සහභාගිත්වයෙන් හා මෙහෙයවීමෙන් ද ක්‍රියාත්මක වුණා.
ඒ මුළු ප්‍රශ්නය, රාජ්‍ය ත්‍රස්තවාදය ගැනත්, වර්ගපීඩක රාජ්‍යයේ සාපරාධීත්වය ගැනත් ගැඹුරු ප්‍රශ්නයෙන් ගලවලා, 'බටලන්ද වධකාගාරය' කියල තනි ලඝු ප්‍රශ්නයකට ගෙන එන එක ඇත්තටම වධකාගාර පැවැත්ම තහවුරු කිරීමේ කුහක හා බිහිසුනු උත්සාහයක් නෙවෙයි ද ?
ඒ නිසයි මට වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නය ඒකේ ලොකු තේරුමෙන් ම ගන්න එක.

වර්ගතාන්ත්‍රික නොවෙන එක්සත්, අළුත් ලංකාවක් වෙනුවෙන් 100%ක් පිරිසිදු කිසි ම බලවේගයක් මේ වෙද්දි දකුණේ නෑ. තමිල් ජාතිය පවා ඉන්නේ දුර්වල තත්වයක. භූදේශපාලනික යථාර්ථයන් ගත්තොත් යම් ආකාරයක ඉදිරියට තල්ලු කිරීමක් ඉන්දියාව පැත්තෙන් වෙද්දී චීනය පැත්තෙන් පස්සට ඇදීමක් තියෙනවා. යුරෝපයේ, එක්සත් ජනපද හා උතුරු කළාපවල, යුරෝපයේ සහ ඕෂනියානු කළාපවල පුරවැසි බලපෑම එක්ක බලබෙදීමක් සහිත නිදහස් වෙළඳපොළ තත්වයකට තල්ලු කිරීමක් වෙනවා.

රනිල් වික්‍රමසිංහ නිර්ව්‍යාජ ලෙස ම පෙනී හිටින්නේ නිදහස් වෙළඳපොළ සිස්ටම් එකක් වෙනුවෙන්. ජාතික ප්‍රශ්නය විසඳන්න වෙන්නේ එහෙම තත්වයක් යටතේ ධනවාදයේ සංවර්ධනයත් එක්ක. මේ වෙද්දිමත් උතුරේ මිලිටරි ග්‍රහණය යටතේ තිබුණ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමෙන්, සිවිල් පරිපාලනය ප්‍රතිස්ථාපනයට සුළු නමුත් ඉදිරි පියවර ගනිමින්, 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නට සපථ කරමින්, බෞද්ධ වැඩවසම් බලකොටු සංචාරක ඇතුලු වෙළඳපොළ ආකර්ශණිය මධ්‍යස්ථාන බවට පෙරලමින්, ආදායම් මූලාශ්‍ර ප්‍රසිද්ධ හා විවෘත කිරීමට පසුබිම් සකසමින් දැනටත් පටන් ගෙන ඇත්තේ ඒ ගමනයි.

අපි සාකච්ඡාව පටන් ගත් අශිෂ්ටත්වයේ, ප්‍රචණ්ඩත්වයේ නිදසුන් ඇත්තටම පරාජය කරන්න පුළුවන් මාවත වැටී ඇත්තේ ඒ හරහා බවයි මගේ අදහස. ඒකට මට රනිල් පාර්ශ්වය තුළමත් අභ්‍යන්තර අරගලයක් තියෙනවා. ඒ අරගලයට පවා ඉඩ ඇත්තේ රනිල් කඳවුර තුළ විතරයි. මොකද, ඒක කාගෙවත් හොඳ හිත, දයානුකම්පාව වගේ හැඟීම් මත වෙනුවට භෞතික යථාර්ථයන් මත පදනම් වෙන්නක් නිසා. නිදහස් වෙළඳපෙොළ පදනම් වුණ ව්‍යවසායකත්ව සමාජයක් කියන්නේ අන්න ඒ භෞතික යථාර්ථයයි.



1 comment:

  1. ගරු විජේවීර නෝනා වෙතටයි,
    මේ ලියුම ලියන මම අඹන්පොළ දිගන ගමේ ජීවත් වන දරුවන් දෙදෙනෙකු සිටින මවක්.තුන්වන ළමයා ලැබීමට මට ඇත්තේ තව මාස හතරකි.මම අහලා තියෙන විදිහට ඔය නෝනත් අම්මා කෙනෙක් නිසා මේ ලියුම අමාරුවෙන් හරි ඔක්කොම කියවලා බලන්න කියලා මම මුලින්ම ඉල්ලා හිටිනවා.
    අප්‍රේල් 5දා, අනුරාධපුර කුරුණෑගල පාරේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කට්ටියක් ගිලන් රථයකට වෙඩි තියලා ඒකෙ හිටියේ ක්‍රිෂ්ණම්මා කියන බඩ දරු අම්මව මරලා දැම්මා. ඒක නෝනා දැනටමත් දන්නවා ඇති. ඒ දේශප්‍රේමී ව්‍යාපාරයට නෝනලත් සම්බන්ධ නිසයි මේ ටික නෝනාට කියන්න හිතුවේ.
    ඒ ක්‍රිෂ්ණාම්මා ගැන මම හොඳින්ම දන්නවා. ක්‍රිෂ්ණම්මා බැඳලා හිටියේ සෙනවිරත්න කියලා පොළවල්වල මුට්ට උස්සලා ජීවත් වුන පුදුම අහිංසක මිනිහෙක්.
    මේ ළඟක් වෙනකන් ක්‍රිෂ්නම්මට දරුඵල තිබුණේ නැහැ. සෙනවිරත්නත් ක්‍රිෂ්ණම්මත් ළමයෙක් ලැබෙන්ඩ කියලා බාරහාර වෙන්න එහෙම නොගිය තැනක් නැහැ. ඒගොල්ලලා ළමයෙකුට කොච්චර ආදරේද කියනවනම් මගේ පුංචි දුවට සැලකුවේ ඒගොල්ලන්ගේම ළමයෙකු විදියට. මට මගේ දුව ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දා ඉඳන් ක්‍රිෂ්ණම්මා තමයි මට උදව් කළේ. දවසක් මම වමනේ දාපු රෙදි වගයක් එයා හෝදනකොට මම එපා කිව්වා. එතකොට එයා කිව්වා "මේවා පින් සිද්ධ වෙන වැඩ මේ පිනෙන් මටත් ළමයෙක් හම්බවෙයි" කියලා.
    ඔහොම ඉන්නකොට තමයි එයාට බබෙක් ලැබෙන ලකුණු ආවේ. ඒ දවස් වල ක්‍රිෂ්ණම්මත්,සෙනවිරත්නත් හිටිය පුදුම සන්තෝසයකින්. වැඩි වයසක් නැති ඒ වගේම දෙමව්පියොත් නැති ක්‍රිෂ්ණම්මා බබා හම්බවීම ගැන බයෙන් හිටියෙ. ඒ බය නැති කරේ මම. එදා එයා කිව්වා එයාට ලැබෙන ළමයට නමක් හදලා දෙන්නත් කියලා.
    එදා ක්‍රිෂ්ණම්මට විළිරුදා හැදුනහම ගමේ රෝහලට ගෙනිච්චා. ඒත් එදා දේශප්‍රේමීන් ඇදිරි නීතිය දාලා තිබුණු නිසා මෙහි කිසිම වාහනයක් වැඩියෙන් සල්ලි දීලවත් කුලියට ගන්න තිබුණේ නැහැ. ඊට පස්සේ ගිලන් රථයෙන් ක්‍රිෂ්ණම්ම ව කුරුණෑගලට ගෙනියන්න පිටත් වුනා. ඒකෙ වැඩ කළ අයත් ඔයාලට තිබුණු බය නිසාම ගිලන් රථයෙ ලයිට් එකත් එවෙලේම දැම්ම මට මතකයි. ගිලන් රථයට යන්ඩ ඉඩ දෙන්නට ගහන හෝන් එකත් ගහගෙන ගිය වාහනේට මගදී පාරට පැනපු ඒ දේශප්‍රේමීන් ඒක ගිලන් රථයක් කියලා දැන දැනම වෙඩි තියලා ඒකෙ හිටිය අර අහිංසක ඒ නූපන් දරුවත් අමු අමුවෙම මරලා දැම්මා. ක්‍රිෂ්ණම්මගේ කුසට වැදුණු වැඩි පහරකින් කුසේ හිටිය දරු පැටියගේ අතක් ගැලවිලා ගිහින් තිබුණලු.
    මේ මොන අපරාධයක්ද නෝනා !
    අනේ නෝනා දැක්කනම් මේ කොලු පැටියව, නෝනාටත් ඉහළුම් නැතුව යාවි. ලස්සන හොඳට වැඩුණු පුතෙක්. උපන් ගෙයිම මරලා දාලා ! හුරතලයට හිනාවෙමින්, බහ තෝරමින්, වැටි වැටී ඇවිදිමින්, ලොකු වෙන්න හිටපු ෂෝක් කොලු පැටියෙක් ඔහොම මරලා දාලා ඉන්නවා දැක දැක හූල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්ද අම්ම කෙනෙකුට ? අනේ එහෙම දෙයක් නම් දකින්නවත් අහන්නවත් සිද්ධ වෙන්න එපා කාටවත් !
    තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අහිංසකයින්ටත් මේ වගේ අපරාධ කරලා ඔයගොල්ල දේශප්‍රේමය නාමෙන් කරන්න යන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. පහුගිය කාලේ පත්තරවල තිබුණා මොණරාගල දරුවාට කිරි පොවමින් හිටිය අම්මවයි ළමයවයි, හම්බන්තොට තාත්තයි පුතෙකුයි මේ වගේම ඔය සංවිධානයේ කට්ටිය මැරුවා කියලා. ඒත් අපි මේ දක්වා හිතුවේ නෑ, දේශප්‍රේමි සංවිධානය ඔය වගේ වැඩ කරනවා කියලා. ඒත් මේ ඇස් පනාපිට පෙනෙන දේවල් නිසා අපිට ඒවා ඇත්ත කියලා හිතෙනවා.
    ක්‍රිෂ්ණම්මගේ මරණෙ දවසේ කව්දෝ කිව්වලු මේක වැරදීමක් කියලා. ඒත් ඒක වැරදීමක් වෙන්න බැහැ. ගිලන් රථයක් එන බව දැන දැනත්, ඒක ඉන්න ලෙඩෙක් බව දැන දැනත්, වෙඩි තිබ්බේ වැරදීමකින් වෙන්න බැහැ නෝනා.
    අද ක්‍රිෂ්ණම්මා එයාගේ දරුවත් එක්ක පස් යට වැළලිලා. එයාගේ මරණෙට සුදු රතු කොඩි තියා ගොක් රෑනක්වත් එල්ලන්න කිසි දේශප්‍රේමියෙක් හිටියේ නැහැ. සමහර විට ක්‍රිෂ්ණම්මා දෙමළ නිසා වෙන්න ඇති. සෙනෙවිරත්නට ඒ මරණෙ වළ දාගන්න පෙට්ටියක්වත් ගන්න වත්කමක් තිබුණේ නැහැ. නෝනා, අහිංසක අපි ඔයාලා මහත්තයලගෙන් අහන්නේ මෙහෙම අණක් ගුණක් නැතුව අහිංසක අම්මලා, දරුවෝ පවා මරලා දාන එකෙන් ඔයගොල්ලන්ට ඇති සෙතේ මොකක්ද කියලා. රටට ජාතියට ලැබෙන විමුක්තිය මොකක්ද කියලා.
    අනේ නෝනා, ඔය නෝනා අම්ම කෙනෙක් වශයෙන් මේ ගැන ටිකක් කල්පනා කරන්න. ඔය නෝනට මේ වගේ දෙයක් වුනා නම්, ඔය නෝනගේ දරු පැටියා අමුඅමුවේ මරලා දැම්මනම්, නෝනටත් නෝනගේ මහත්තයටත් ඇතිවෙන වේදනාව ගැන හිතලා බලන්න. දුප්පත් අහිංසක මිනිස්සු හැමදාම වගේ මරනවා කියලා පත්තරවල එහෙම දැන් නිතරම දානවා. සමහර දවස්වල හිටි අඩියෙම කඩ වස්සලා, බස් නවත්තලා දානවා. ඒකෙනුත් අමාරුව එදිනෙදා වේල හම්බ කරගෙන කන අපි වගේ දුප්පත් මිනිස්සුන්ටයි. සේරම නස්පැත්ති දුප්පත් අපිටමයි. අනේ නෝනා දැන්වත් මේවා ගැන හිතලා බලලා, මහත්තයටත්, මහත්තයාගේ සඟයින්ටත් කියලා මේ මිනි මරන එකයි, රටේ දුප්පත් මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරන එකයි කොහොම හරි නවත්වන්න. එහෙම කරන්න පුළුවන් උනොත් ඒ පිනම ඇති නෝනාට නිවන් දකින්නට.

    මෙයට,

    ආර්. එම්. සෝමලතා

    ReplyDelete