Sunday, October 11, 2026

ඔක්තෝබරය සහ ටානියා කාව්‍යා

 


අද ඔක්තෝබර් 11.


ඔයාට ප්‍රීතිමත් උපන්දිනයක් ටානියා !

මේ සුබපැතුමට වෙනදා වගේ බ්‍රේක් නැති  ලස්සන ප්‍රතිචාරයක් මෙතැන නොලියෙවෙන බව මම දන්නවා. ඒත් ඒ උත්තරය මට දැනෙනවා.
ටානියා, ඔයා ගේ සමුගැනීම අපි මේ මාසයේ මුල වෙද්දී මෙනෙහි කළා. අද ආපහු අපි ඔයා ගේ උපන්දිනය මෙනෙහි කරනවා. ඒක පුනරුත්පත්තිය හෝ පුනරුත්ථානය ගැන කතාවක් නෙවෙයි. ඒ හොඳට ම අකල් මරණයට පසුත් ඔයා ජීවිතය ඇතුලේ. මාංසික සිරුර මේ මහපොළොව එක්ක එකතු වෙලා. ඒත් ආත්මික සිරුර අපි අතර. ඔයා බෙදාගත්ත ආදරයට ඉඩ තියෙන මතකයන් අතර.
මම මේක ලියන්නේ ඒ මතකයන්ට.
ඒ මතකයන් ඇතුලේ ජීවමාන වෙන ඔයා ට.

සාමාන්‍යයෙන් මම දැනගත්තොත්, ඉස්සර හැම කෙනෙකුගේම උපන්දිනවලට සුබපතනවා. ඒත් දැන් මම එතැනදී පරිස්සම් වෙනවා. නම කියා සුබපැතුමක් යැවූ කළ එක්තරා 'ලොකු පොරක්'  තමන් කවුදැයි මට උගන්වන්නට ඔහුගේ සීවී එක එවා තිබුණා. තවත් වාමාංශිකයෙක් තමන්ගේ ආණ්ඩුවක් එන තුරු කාටවත් ප්‍රීතිමත් දින නැති බව මට දන්වා එවා තිබුණා. ඔහු අදත් දහ අතේ කම්ප්ලේන් දමමින් කාටත් බාධා කරමින් ඉන්න නිකම් හිස් කෑකොස්සන් ගසන්නෙක්.
සුබබැතුමකට හැම අයෙක් ම සුදුසු නෑ කියල දැන් මම දන්නවා.
ජීවිතය හැම තප්පරයක් ම, මරණයටත් එහා ජීවිතය අත්දැකීමක් බවට පත් කරවන ඔයා තරම් ඒකට සුදුසු තව බොහොම ටිකයි වෙන්න පුළුවන්.
එක අතකින් ඔයා හරි ම සාමාන්‍ය පුංචි කෙල්ලෙක්. දවසක් ඔයා ට බෙහෙත් පෙති කීපයක් පොවාගන්න අම්මී, ඔයා ගේ දෙවෙනි අම්මි කියපු ආන්ටි, ඩ්‍රයිවර් බන්දු අංකල් එක්ක මාත් පැයක් විතර ඔයාගේ පස්සේ එලවමින් කරපු මෙහෙයුම මතක් වෙද්දී මට තාමත් හිනා ! අන්තිමට අපි කොහොම හරි බෙහෙත් පෙති ටික ඔයාට පොවාගත්තා. හැරෙන තැපෑලෙන් ඔයා ඉන් කොටසක් වොමිට් කළා. "නෝ ප්‍රොබ්ලම්. මම අපේ දෝනිගේ ඔය කතාව දන්න නිසා ම වැඩිපුරත් ඩෝස් එක ගෙනැත් තියෙන්නේ" කියල අම්මි කීවා ම අපි කාටත් තරු පෙනුනා ! ඒ ව⁣යසේ පුංචි උන් හැමෝම වගේ ඔයත්. ඒත් නිදහස අත්දකිමින් අළුත් ලෝකයකට ගිහින් මාසයක් යන්නත් කලින් හදිසියේ ඔයා ගේ ඔය ලස්සන හදවත නතර වුණේ කොහොමද ? අපට තාමත් හිතා ගන්න බැ. අපි තාමත් තේරුම් ගන්න බලමින්.
ඔයා අන්තිම කාලේ කියමින් හිටපු කතාවක ඒ හෝඩුවාව තියේද කියලා අපි හිතමින්.
"මට පුළුවන් නිසා මම යාවි. ඒත් මෙහෙමවත් බැරි අය...?"
තව කෙනෙකුගේ වේදනාවක් එයාලටත් වැඩියෙන් තමන්ගේ කරගැනීමේ ඔයාගේ හුරුව ඒ හදවත නතර වෙන තරම් වුණා වෙන්නත් පුළුවන්.
ඉතින් ඔයා සාමාන්‍ය දැරිවියකට වඩා අමුතු, අපූරු දැරිවියක්.
ඔයා අපේ මතකයන් අතර තාමත් ජීවත් වෙනවා ටානියා.
ඔයාට සුබ උපන්දිනයක්, ටානියා කාව්‍යා. 🤍