රුද්‍රමූර්ති චේරන් නැති වූ බවට පුවත අද උදේ මට ලැබුණේ ඔහුගේ සමීපතම හිතවතෙකුගෙන්. ඒ ආරංචියත් එක්ක මගේ මතකය අවුරුද්දකට විතර කලින් තිබුණු පොත් එළිදැක්වීමක් වෙත ගමන් කළා.
චේරන් ගැන මම නොයෙක් දේ අසා තිබුණා. ඔහුගේ ඇතැම් කවිවල සිංහල පරිවර්තන කීපයක් කියවා තිබුණා. එහෙත් මට ඔහු හරියටම හමු වූයේ අපේ තවත් මිතුරියක වන සංජුලා පීටර්ස් විසින් ඔහුගේ කවි සිංහලට පරිවර්තනය කර පොතක් ලෙස එළිදැක්වූ 2025 අගෝස්තුවේදී.
කැනඩාවේ වින්ඩ්සර් සරසවියේ සමාජවිද්‍යා මහාචාර්යවරයකු සහ පර්යේෂකයකු ලෙස කටයුතු කළ චේරන් වඩාත් කැමති වූයේ කවියකු ලෙස ඔහුව හඳුන්වා දෙනවාට බව එදා ඔහු කීවා.
එදා චේරන්ගේ කවි සිංහලෙන් කියවූ තවත් මිතුරියක වන ෆාතිමා රික්සා විසින්, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය භාෂා තුනෙන්ම පළ කළ අතුරුදන් වූවන් පිළිබඳ කවි එකතුවක් වන නිහඬ සෙවනැලි පොතේ පිටපතක් චේරන්ට තෑගි කළා. ඇය එහි මෙහෙම සටහනක් තබා තිබුණා.
“චේරන්, ඔබ කවියෙකි; ඔබ කවියකි.”
චේරන් ඒ පුංචි තිළිණය බොහොම සතුටින් භාරගත්තා. මම ඈත ඉඳන් බලා හිටියා.
සංජුලා එදා ඇය විසින් පරිවර්තනය කළ චේරන්ගේ කවි පොත ළසෝ දිය වෙන භූමිය (Land of Melting Sorrow) පිටපතක් මටත් තෑගි කළා.
එහි පෙරවදනේ චේරන් මෙහෙම ලියා තිබුණා.
“...මා විශ්වාස කරන්න; කවීන්ට මිසයිල හෝ මූනිස්සම් නවතාලිය නොහැක. එහෙත් ඔවුන්ට මනෝභාවය, දෘෂ්ටිකෝණය වෙනස් කළ හැක. ඔවුන්ට ඔබට වැළපීමට කියා දිය හැකි ය.”
චේරන් එහෙම ඇත්තටම විශ්වාස කරන්න ඇති. මනුස්සයකුට ලියන්න, කියන්න, වැඩක් කරන්න එහෙම විශ්වාසයක් නැතිව බැහැ. විශේෂයෙන්ම ඒ සඳහා වෙනම නඩත්තුවක් කොතැනින්වත් සිදු නොවන විට.
මව්බිමෙන් පළවා හරින ලද විගාමිකයකු වූ චේරන්ට විශ්වවිද්‍යාල රැකියාවෙන් ලැබෙන ආදායම භුක්ති විඳගෙන පැත්තකට වී සිටින්නත් තිබුණා. ඒත් මොන මඟුලකටද මන්දා, ඔහු දිගටම ලිව්වා.
මම චේරන් වගේ මහා ලේඛකයෙක් නෙවෙයි. චේරන්ගේ පියා වූ ‘මහා කවි’ නමින් හඳුන්වන ටී. රුද්රාමූර්ති වැනි පරම්පරා පසුබිමකුත් මට නැහැ. ලේඛකයකු හැටියට තියා නිකම්ම මිනිහකු හැටියටවත් නඩත්තු වෙන හරිහමන් විදියකුත් මට නැහැ.
ඉතින් දැන් මගෙන් ලියවෙන්නේ නැහැ. බොහෝ හමු වලදී මම කතා කරන්නෙත් නැහැ. ලොකු තෙහෙට්ටුවකුත්, කම්මැලිකමකුත් සකල වැඩ සම්බන්ධයෙන් මාව වෙලාගෙන. චේරන් වගේ කෙනෙක් අන්තිම වෙනකම් ලියපු උද්යෝගය මට විස්මයක් සමඟ බැඳුණු උද්දාමයක් ඇති කරන්නේ ඒ නිසා. ඒ පිටුපස දැල්වෙමින් තිබූ විශ්වාසය මට පේන්නේ ඒ නිසා.
චේරන් ලියනවා මුහුද ගැන. ‘උතුරුකරයේ අප සතු වූ එකම ස්වභාවික සුන්දර වස්තුව මුහුද බව’ ඔහු කියනවා. ඒකත් ශ්‍රී ලංකා රාජ්‍යයෙන් උදුරාගෙන බව කියනවා.
‘පිරිමින්ගේ රැවුල් හැර ස්වභාවිකව වැවුණු කිසිවක් උතුරුබිමේ නැති’ බව ඔහු කියද්දී මගේ ඇස් ඉදිරිපිට මැවී යන්නේ තල් අරණ අතරින් විහිදෙන සරුසාර උතුරු වගාබිම්. ඒ පොළොව මුඩුබිමක් නෙවෙයි; ඒත් මුඩු කරන ලද්දක්. මුහුදින්, අහසින්, ගොඩබිමෙන් විතරක් නෙවෙයි, කාලාන්තරයක් පුරා අකාමකා දමමින් ඇති ඉතිහාසයකින්ද, ශිෂ්ටාචාරයකින්ද මුඩු කරන ලද්දක්. චේරන්ගේ කවි ඒ මුඩු බිමේ දළු ලා වැඩුණු අස්වැන්නක කොටසක්.
චේරන් කිව්ව වගේ ඒ ඔවුන් සතු එකම සුන්දර ස්වභාවික වස්තුවයි. සදා නිල් පැහැති ඒ සොඳුරු මුහුද වටලා නාවුක ප්‍රහාර එල්ල කෙරුණේ ගොඩබිම වටලා එල්ල කළ ප්‍රහාරත් එක්ක, ඒවාට සහාය වෙමින් අහසින් ගුගුරමින් එල්ල කෙරුණු ප්‍රහාරත් එක්ක. හරියටම විශ්වාසයක් ඇතිව කියන්න බැරි මෝසම් වැස්සත් රැගත් වළාකුළුත් නැති අහසක තනි නිල් පැහැය මහමුහුදත් නිල් පාට කළා. ඒත් ප්‍රහාරවලින් ඇද වැටුණු ජනයාගේ රතු ලෙයින් ඒ මුහුද බොර පාට පෙණ පිඩුවලින් පිරි ගියා. ඉතින් ඒ බිමේ සුන්දර මුහුදක් ඉතිරි වී තිබුණාද කියාත් සැකයි.
ඒ මුහුදම චේරන්ලාට හුස්ම ගන්න පුළුවන් දේශයකට මඟ කිව්වා. ඒ මුහුදම තමන්ගෙන් උදුරාගත් මව්බිමක් මත තමන්ගේම වූ ජීවිතය ගැන චේරන්ලාගේ මතකයන් හැමදාමත් අවදි කළා. ඒ ශෝකයත්, ඒ දිය කරන අස්වැසිල්ලත් දෙකම ආයෙමත් ඒ මුහුදෙන්. ඉතින් චේරන් ලියනවා මුහුද ගැන.
ඒ වේදනාවන්ගෙන් ඔහු සුවපත් වෙන්නත්, අපේ සමාජයන් සුවපත් කරන්නටත් ඔහු ලියනවා.
මට හරියටම මතක නෑ චේරන්ගේ ළමාවියේ මතකයන් ඇසුරෙන් මේ කතාව එදා කීවේ ඔහුමද, නැත්නම් ප්‍රධාන දේශනය කළ ආචාර්ය කුමුදු කුසුම් කුමාරද කියලා.
රාජ්‍ය පරිපාලන නිලධාරියකු හැටියට චේරන්ගේ පියාට ඒ ඒ කාලවල ලැබෙන නිල නිවාසවලට නමක් තියන පුරුද්දක් චේරන්ට තිබුණා. නම තියනවා විතරක් නෙවෙයි, ඔහුගේ විශේෂ කුසලතාවක් වුණ ලස්සන අත්අකුරින් ඒ නම ලියන පුරුද්දකුත් තිබුණා.
මේ විදියට දවසක් දෙමළ අකුරෙන් ලියලා තිබුණු நீழல் (Neezhal — “Shade”), එනම් විශාල ගසක සෙවණ යන තේරුම ඇති නම, අප්පා විසින් මකා දමා තිබුණා. “ලියනවනම්, සිංහලෙන් ලියපං” අප්පාගේ ඒ තර්කය චේරන්ට තේරුනේ නෑ. “ඉතින් අපි දෙමළ නේ” එයා ඇහුවා. “ඒ වුණාට ආණ්ඩුව සිංහල නේ” අප්පාගේ උත්තරය චේරන්ට බොහෝ දේ ගැන ඇස් අරවන්නක් වුණා.
කුඩා නිවසක නාමපුවරුවක සිදුවීමක් වගේ පෙනුණත්, එතැන තියෙන්නේ රාජ්‍යය, භාෂාව, අනන්‍යතාව සහ අයිතිය පිළිබඳ විශාල දේශපාලන ප්‍රශ්නයක්. තමන් ජීවත් වන නිවසේ නම පවා තමන්ගේ භාෂාවෙන් ලියන්නට නොහැකි වීමේ යථාර්ථයක්.
මේ පොත පරිවර්තනය කළ සංජුලා පීටර්ස් ඊට පෙරත් චේරන්ගේ A Rainy Day කවිය පරිවර්තනය කර ඉහළ ප්‍රතිචාර ලැබූ බව කියනවා.
ළසෝ දිය වෙන භූමියේ මුළු කවි කතාවම ප්‍රදීප් කුමාර්ගේ පිටකවරයේ තිබෙනවා කියා මට හිතෙනවා. ඒක ආකර්ෂණීය වගේම වර්ණවලින්, රූපවලින් වචන දහස් ගණනක් කතා කරන්නක්.
පොත එළිදැක්වීමේදී සංජුලා කිව්වා මේ කාර්යය ව්‍යාජ සංහිඳියා පාලම් තැනීම සඳහා නොවන බව. පීඩිතයන්ගේ හඬ දකුණේ සමාජයට ගෙන ඒම එහි අරමුණ බව. පාලම් තනන්නෝ බොහෝ විට ඒවා සැලසුම් කරන්නේ දෙපැත්තටම දෙපැත්ත දැකගන්න කියලයි. එක පැත්තක් ගැන දන්න මඟුලක් නැති පැත්තකුත්, අනිත් පැත්ත ගැන අමුතුවෙන් දැනගන්න තරම් මඟුලක් නැති පැත්තකුත් අතර මේ පාලම් කතාව මෝඩ වගේම තක්කඩි ප්‍රෝඩාවක්.
ඇත්තටම ඕන වෙන්නේ ඒ වගේ ‘පාලම් තැනීමකට’ වඩා, දකුණට ඇස් ලබාදීමක්. උතුරේ අත්දැකීම්, වේදනාවන් සහ දේශපාලන අපේක්ෂාවන් දකුණට පෙනෙන තැනකට ගෙන ඒමක්. දෙපැත්තේම මිනිසුන් එකතු වී දකුණට ඇසක් ලබාදීමක්.
එවැනි කාර්යයකදී චේරන්ලාගේ ලිවීමටත්, සංජුලාලාගේ පරිවර්තනයටත්, ප්‍රදීප්ලාගේ නිර්මාණයටත්, ෆාතිමාලාගේ කියවීමටත් වෙන වෙනම වැදගත්කමක් තිබෙනවා. එවැනි මැදිහත්වීම්වල වටිනාකම ඒවායේ හිමිකාරිත්වය එක් අයකුට හෝ කුඩා පිරිසකට සීමා නොකර, ඒවාට දායක වූ සියලු දෙනාගේ ශ්‍රමය සහ දායකත්වය පිළිගැනීම තුළත් තිබෙනවා.
පොත ගැන ඒ දවස්වලම ලියන්න ඕනෑකමක් තිබුණත් මගෙන් ඒක වුණේ නැහැ. හේතු-අහේතු හැටියට විශේෂ දෙයක් කියන්නත් නැහැ.
චේරන්ට තිබුණ, ඔහු දරා සිටි ඒ බර විශ්වාසය මා තුළ දැන් නැති වීම වෙන්න පුළුවන්.
චේරන් මැරෙන තුරු ලිව්වා.
මතකයන් සහ ශිෂ්ටාචාරයන් දරාගැනීම ගැනත්, උදුරාගත් ඒත් මුලිනුදුරා දැමිය නොහැකි ජීවිතය ගැනත්, මරණයේ මුඩුබිමක් බවට පත් කරනු ලැබූ මේ බිමෙන් හුස්ම ගන්න පුළුවන් බිමකට මාරු කළ මඟක් ගැනත් ළසෝ දිය වෙන භූමිය තුළින් මට නැවත නැවත කියවගන්න පුළුවන් වුණා.
මුහුදෙන් එතෙර වූවන්ට මුහුද අහිමි වන්නේ නැහැ. ඔවුන්ගේ මතකයේ, සිහිනවල සහ කවියේ එය දිගටම පවතිනවා.
චේරන්ගේ කවිය මට ඉතිරි කරන්නේ ඒ මුහුදේ වේදනාව පමණක් නොවෙයි. ඒ වේදනාව දැකීමට, අසා සිටීමට සහ තමන්ගේම සමාජය දෙස වෙනත් ඇසකින් බැලීමට අපට කරන ආරාධනයක්.
ඒත් චේරන් ගැනත් ඉතිරි වෙන මතකය දරාගෙන නතර වෙන මේ මොහොතේ සිටගෙන ඉන්න මට මේ විදියේ දෙයකුත් හිතෙනවා. චේරන් කියනවා ඔහු ලංකාවේ සිටියදී ඔහුගේ ජීවිතය දරාගත්, විශේෂයෙන්ම සිංහල ජීවිත ගැන. ඒ වගේ නම් ලැයිස්තුවකට ඇතුළත් නොවෙන, ඒත් ඒ පෙනීසිටීම නිසා තමන්ගේ ජීවිත තුළින් පවා වන්දි ගෙවන්නට සිදු වුණ, ඒ හෝ මේ හෝ ආකාරයෙන් නිහඬ කරවනු ලැබූ, සමහර විට තාමත් කොතැනක හෝ මුල්ලක හුස්ම ගනිමින් ඉන්නා, ඒත් අර වගේ ‘නම්’ අහිමි පිරිසකුත් ඒ පේළි මැදින් ඇති. සමහර විට චේරන්ලාට ඔවුන් හමු වෙන්නේ නෑ. නැත්නම් හමු වුණත් ඒ හමු වීම්, ‘හමුවීම්’ වෙන්නේ නෑ.
එතකොට සමහර විට අර පාලම් හදන, ඇස් විවර කරවන කොයි වැඩෙත් ඊතල තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට යන වැඩ වෙන්නත් පුළුවන්.
අධිකාරිවාදී ප්‍රභූ ස්තරවල බල රේඛා වඩාත් නරක විදියට ක්‍රියාත්මක වෙන්නේ, සමහර විට, නිර්ප්‍රභූ පසුතලයකයි.
