Friday, April 8, 2022

පරමාධිපතිවරු දොට්ට දමා ස්වාධිපති වෙතෑකි ද ???

 "චූදිතයා, මිනීමැරුම් චෝදනාවට වැරදිකරු බව ඔප්පු වී ඇති නිසා මරණීය දණ්ඩනය නියම කරමි" කියල නඩුකාරයා තීන්දුව දුන්නා. 

"මිනීමැරීම වරදක්නම් මාව මරාදැමීම ගැන ඔබතුමාටත් මරණීය දණ්ඩනය හිමිවෙනවා නේද" කියල ඒ චූදිතයා ඇහුව ලු. 

චූදිතයා මේ මිනීමැරීම කරන්නේ එයා ගේ අභිමතයක්-අදහසක් මත්තේ. නඩුකාරයා මේ විමසීම සහ තීන්දුව දෙන්නේ එයා ගේ පුද්ගලික ආසාවක්-කැමැත්තක්-අදහසක් අනූව නෙවෙයි. එයා වැඩ කරන්න ඕන පටිපාටියක් තියෙනවා.  එයා විශාල සාමුහික මැෂිමක එක පුංචි දැතිරෝදයක් විතරක් තරම්. 

ඒ පටිපාටිය තීර‍ණය කරන්න මේ චූදිතයා පවා දායක වෙලා තියෙන බව සමහර විට එයා දන්නෙත් නැතිව ඇති. ලංකාවේ ව්‍යවස්ථාවෙන් කියනවනම්,  එහෙම වෙන්නේ මේ චූදිතයත් 'පරමාධිපති' කෙනෙක් වෙන නිසා.  

ව්‍යවස්ථාව තවදුරටත් කියනවා, ජනතාව තමන් ගේ පරමාධිපත්‍ය‍ බලය, සර්වජන ඡන්ද බලය මගින් ක්‍රියාත්මක කරනවාය කියලා.

මේ වෙන කිසි අමුතු දෙයක් නෙවෙයි;'ස්වාධිපති බලයේ හිමිකරුවෝ මහජනතාවමය" කියන විශ්ව මූලධර්මය මිසක.

මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වෙලා, මරණීය දණ්ඩනයට ලක් වෙන අපේ කතාවේ මිත්‍රයත් මේ පරමාධිපතියෙක්. දැන් එයා මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්. 

"පොතේ හැටියට මට එහෙම බලයක් තියෙන්න ඕන තමයි. ඒත් මට ඒක ලැබිල තිබුණේ නෑ. ඒ නිසා මගෙ සහභාගීත්වය නැතිවයි මේ නීතිය මම මත ක්‍රියාත්මක වෙන්නේ" 

දැන් මේ තර්කය ජෝක් එකක් නෙවෙයි. 

1848 කැරැල්ලේ නායකත්වය දරපු, රජ්ජුරුවෝ කියල අභිෂේක කරවපු  විල්බාවේ උන්නැහේ අත්අඩංගුවට අරන් උසාවි ගෙනාවම, එංගලන්ත ආණ්ඩුවෙන් උන්නැහේ වෙනුවෙන් පත් කරපු පෙරකදෝරුවා මෙහෙම තර්කයක් ගේනවා. "මේ චූදිතයා උඩරට වැසියෙක්. ඔහු පිළිබද චෝදනා පහතරට ඉංග්‍රීසි නීතියෙන් විභාග කරන්න බෑ" නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථානුකූලවාදය ගැන ශිෂ්ට ලෝකයේ සම්ප්‍රදාය ගැන අමතක නොකළ යුතු පාඩමක් කියා දෙමින්, උසාවිය විල්බාවේ නිදහස් බව ප්‍රකාශ කරනවා. මරනෙට හිත හදන් උන්න විල්බාවේ කට ඇරන් බලා ඉදලා, ගෙදර ගිහින්, ඉතිරි ජීවිත කාලෙ කුඹුරක් කොටන් ඉන්නවා. 

ආණ්ඩුව තමයි රාජ්‍යයට හැඩයක් දෙන්නේ. ලංකාවේ ආණ්ඩු හදල තියෙන කිසිම හැඩයකින්, සමාන තත්වයක් යටතේ හැම පරමාධිපතියෙකුගෙම පුද්ගලිකත්වය නියෝජනය වෙලා තියෙනවද ? 

සාම ගිවිසුම කාලේ තමිල් ඊලම් පාලන ප්‍රදේශයේ ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. ඒකෙදී ඇන්ටන් බාලසිංහම් හිටපු උපදේශක කියනවා "දකුණේ අගමැති රනිල් වික්‍රමසිංහ;අපේ අගමැති ප්‍රභාකරන්" කියලා. මේකේ තාර්කික පදනම තමිල් ජනතාවගේ සහභාගීත්වයක් නැතිවයි මේ ඡන්ද ප්‍රතිඵලය ආවේ කියන එක. ඡන්ද වර්ජන ව්‍යපාර හරහා එයාල මේ චිත්‍රය වඩා හොදින් පැහැදිලි කළා. තමිල් ජනතාව ඡන්දය දුන්නාමත්, ඒ ඡන්ද බලරහිතයි. හැමදාම සිංහල-බෞද්ධ බහුතර ආධිපත්‍යයේ ආණ්ඩුවක් ඇතුළේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු වෙස්මූණක් සරසන්න බලරහිත නියෝජිතයෝ ටිකක් ඉන්නවා. මුළු තමිල් ප්‍රදේශයම මුළු හයිය දාල සියළු නියෝජිතයෝ තෝරල එව්වත් ඒ අය නොතකා තීන්දු ගන්න මේ පාර්ලිමේන්තුවට කවදත් පුළුවන් වුණා. සිංහල විතරක් රාජ්‍ය භාෂාව කළේ එහෙමයි. බුද්ධාගම රාජ්‍යාගම කළේ එහෙමයි. තමිල් ප්‍රදේශවල නියෝජිතයෝ හැමෝම විරුද්ධ වෙද්දී ඒ ප්‍රදේශ පාලනය කරන්න සාමාන්‍ය නීතිය අකුලලා හදිසි නීතිය තීන්දු කළේ එහෙමයි. පස්සේ මේ වෙද්දී දකුණට ම පාරා වලල්ලක් වුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ බිහිසුනු අසික්කිත පනත් සම්මත කරගත්තේ එහෙමයි. ප්‍රධාන විපක්ෂය හැටියට බහුතර බලයක් ඇතිව හිටපු වෙලාවේ 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැත් පාර්ලිමේන්තුවේ නියෝජිතත්වය අහිමි කළේ එහෙමයි. ඉතින් මේ නියෝජිතත්වය බොරු. ඒ බව එයාලා ඡන්දවලින්, ඊටත් වඩා ඡන්ද වර්ජනයෙන් ඔප්පු කරල පෙන්නුවා. 

මේ කතාව මුස්ලිම්  ජනතාව ගැනත් ඇත්ත. කතෝලික ඇතුළු කිතුනු ජනකොටස් ගැනත් ඇත්ත. 52%ක් වන ගැහැණු ජනගහනය ගැනත් ඇත්ත. LGBTQ+ප්‍රජාව ගැනත් ඇත්ත. නිරාගමික ප්‍රජාව ගැනත් ඇත්ත. තව තව බොහෝ දෙනෙක් ගැනත් ඇත්ත. 

මෙහෙම බැලුවා ම මේ හදල තියෙන ආණ්ඩු ආකෘති ඇතුළේ මේ නීති හැදීමේ වැඩේ, මුදල් ඇතුළු ආර්ථිකය පාලනය කිරීමේ වැඩේ, නීති ක්‍රියාත්මක කිරීමේ වැඩේ, යුක්තිය පසිදලීමේ උසාවි වැඩේ වගේ හැම දෙයක් ම පරමාධිපතිල සැළකිය යුතු ප්‍රමාණයක් එළියෙන් තියලා කරන ක්‍රමයක් තියෙන්නේ. එහෙමනම් ලංකාවෙන් අපි බැහැර කරල, රටක් නැති වැස්සෝ බවට හොර රහසේ පත් කරලා. ඇත්තටම රට අයිතිකාරයන්ට ඒක මෙහෙයවගන්න පහසු වෙන්න අපි අතර කොටසක්, වැඩි කොටසක් 'මේ රටේ අයිතිකරුවෝ' කියල අන්දවලා තියෙන්නේ.  ඒ උන්නැහෙලත් ඇදගත්ත එක හරියටම කරලා!!

සරලවම කීවොත් තමන් ගේ පරමාධිපතිවරුන් විසින් සුජාත විදියට දීපු නැති බලයක් මේ වැඩ කරන්නේ. 


ඒ නිසා ඒ ආණ්ඩු ආකෘතියම වෙනස් කරලා, අළුත් රාජ්‍යයක් හදන අභියෝගය දිනාගත්තේ නැත්නම් ලංකාව කියන්නේ තවදුරටත් මිථ්‍යාවක් කියන එක වැඩිකලක් හංගගෙන ඉන්න වෙන්නේ නෑ. 


පටන්ගන්නවනම්, ෆෙඩරල්-අනාගමික ලංකාවක්...ඊට මිලිමීටරයක්වත් මෙහායින් තේරුමක් නෑ 


Thursday, April 7, 2022

රාජ්‍ය ද්‍රෝහීන් වන්නෝ ජනතා ද්‍රෝහීයෝ ම ය !

 1794 දී ප්‍රංශ සමූහාණ්ඩුවේ සහාය ඇතිව ඕලන්ද සමූහාණ්ඩුවාදීන් එරට රාජාණ්ඩුව පෙරලා දැම්මා. මේ වෙලාවේ ඕලන්ද පාලකයා ව හිටපු 5 වැනි විලියම් කුමාරයා එංගලන්තයේ කියු මාළිගාවේ රැකවරණය ලබමින් සංදේශයකින් නියෝග කළා, ලංකාවේ ලංදේසි පාලන ප්‍රදේශවල ආරක්ෂාවත් බ්‍රිතාන්‍යයට බාර දෙන්න කියලා.  ෆන්එංගල්බෙක් ආණ්ඩුකාරයා ඇතුළු ලංකාවේ ලංදේසි පාලනය උභතෝකෝටිකයකට මූණ දුන්නා, දැන් කොයි ආණ්ඩුව ද ඕලන්ද රාජ්‍යය හැටියට බාරගන්නේ කියලා. තීන්දුව වුණේ රාජාණ්ඩුව ප්‍රතික්ෂේප කරල සමූහාණ්ඩුව පිළිගන්න. 


ෆන්එංගල්බෙක් මූණ දීපු ප්‍රශ්නය ම නොවුණත් සමාන ප්‍රශ්න විටින් විට අපි කාටත් මතු වෙනවා. හේතුව වෙන්නේ රාජ්‍යයක් සහ ජනතාවක් අතර සම්බන්ධය ගැන නොදන්නාකම නැත්නම් ඒක හංගන තක්කඩිකම ! 


රාජ්‍යය කියන්නේ එකක්; රජය හෙවත් ආණ්ඩුව කියන්නේ තව එකක්.

සාමාන්‍ය කටවහරින් 'රජයේ සේවකයා' කියා කියන්නේ 'රාජ්‍ය සේවකයා' ට මිස 'ආණ්ඩුවේ සේවකයා' කියල කෙනෙකුට නෙවෙයි. 

රාජ්‍යයට තියෙනවා අති දැවැන්ත බලයක්. ඕකට කියන්නේ 'ස්වාධිපත්‍යය' බලය කියලා. 

ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ යම් දේශසීමාවක් ඇතුළේ ඉන්න ජනතාවක් නැත්නම් සමාජයක් මත. ඒ වගේ ම ඒ බලයේ හිමිකරුවෝ වෙන්නෙත් ඒ අයමයි. 

මේ නිසයි අපි කියන්නේ ජනතාවට 'පරමාධිපත්‍ය' බලය තියෙන බවක්. 

දැන්, අර රාජ්‍යයට තියෙනව කියල අපි දැනගත්ත මාර බලය, ඒ කියන්නේ ස්වාධිපත්‍ය බලය, ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුවක් පත් කරගන්නේ. ආණ්ඩුව ඒක කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් ව. ඒ වගේ ම ආණ්ඩු තාවකාලිකයි. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ඒකත් එක්ක බලද්දී සදාකාලිකයි. 

මේ නිසා යම් ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ නම්, ජනතා පරමාධිපත්‍යයට එකග ව වැඩ නොකරනවනම්, තව දුරටත් ඒ ආණ්ඩුවේ වලංගුභාවයක් ඇති වෙන්නේ නෑ.  

එහෙම ආණ්ඩුවක නියෝග තවදුරටත් පිළිපදින රාජ්‍ය සේවකයකු එහෙම කිරීමෙන් රාජ්‍ය විරෝධියකු බවට පත් වෙනවා කියන එකයි මේකේ තේරුම. ඒ තේරුමෙන් ම ඒ තැනැත්තා ජනතා ද්‍රෝහියකු ද වෙනවා. 

හැබෑ රාජ්‍ය සේවකයා, මොන හේතුවක් නිසාවත් ජනතා පරමාධිපත්‍යයට පිටු නොපෑ යුතු බව මේ කාලයේ සිහියට නගා ගත යුතු පාඩමක්.

Thursday, March 31, 2022

දේශපාලනය ඇලජික් වීම ද රෝගයකි.

 රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒම බර ඓතිහාසික වරදකි. විශේෂයෙන් ම සිවිල් සමාජයකට ඇති ඉඩ හකුලා, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අව්‍යජ ඉලක්ක සහ වැඩපිළිවෙළක් ඇති ක්‍රමයක් ලෙස තේරුම් ගත් විටද එය බර වරදකි. මේ නිසා වුව ද රාජපක්ෂලා එළවා දැමිය  යුතු ය. ඒත් ඒ එක් රාජපක්ෂ කෙනෙකු වෙනුවට වෙනත් රාජපක්ෂ කෙනෙකු සිංහාසනාරූඪ කරවීමට ද ? (නම වෙනස් වුණත් කුමන විදියකින් හෝ රාජපක්ෂ කෙනෙක්?)

ඉතින් මේ 03 වෙනිදා හෝ යම් දවසක රාජපක්ෂ පළවා හැරියොත්, එකී දවසට පසු දින සිට ආණ්ඩුව කාගේ ද ? එහි බලය හොබවන්නේ කවුරුන් ද ? අදත්, එදාටත් 'ආණ්ඩුව' නොවන අප වැනි අයට(කෙනෙක් මේ පිරිස 'සිවිල් සමාජය' ලෙස ද හදුන්වාගන්නට කැමති ඇති) මේ ප්‍රශ්නය අති වැදගත් නො වේ ද ? ඒ මානව හිමිකම්, විවෘතභාවය, වගකීම හා වගවීම, ජාතින්-ජනවර්ග, ලිංගික සමාජභාවි ආදි සියළු ජනකොටස් සම්බන්ධයෙන් සමානාත්මතාවය, වින්දිතයන්ට යුක්තිය, පෞද්ගලික නිදහස ආදිය පිළිගන්නා, භාවිත යාන්ත්‍රණ තනන ආණ්ඩුවක් වීම අපේ අවශ්‍යතාවයක් නො වේ ද ?
ආණ්ඩු කිරීම මේ කියන 'සිවිල් සමාජයේ' කටයුත්තක් නොවන  බව ඇත්ත ය. ඒත් ඒ නිසාවෙන් මේ කාර්යභාරයන් දෙක එකිනෙකින් මුළුමනින් ම වෙන් කර සැළකීම ද බර වරදක් නො වේ ද?
ඉතින් දේශපාලනයත්, දේශපාලන පක්ෂ හා කණ්ඩායමුත් බහුජන ව්‍යාපාර නැත්නම් සිවිල් සමාජය නැත්නම් ඒ මොකක් හෝ ආණ්ඩුව නොවන එකක් හැදීමේ දී නොතකා වැඩ කළ හැකි හෝ කළ යුතු එකක් නො වේ. එක ම දේ දේශපාලන පක්ෂය  ආණ්ඩුව අත් කර ගත් විට ද එහි නිරෝගී හැඩයක් වෙනුවෙන් එළියේ සමාජයේ බලපෑම් කිරීමේ හැකියාව ශක්තිමත් ව පවත්වා ගැනීමයි.
ඒ අනූව එවැනි සමාජයක් අපට අවශ්‍ය ය. ඒ සමාජයේ අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ස්වාධින තනි තනි පුද්ගලයන් බව ඇත්ත නමුත් ඒ තනි තනි පුද්ගලයා එකී සමාජය වෙන්නේ ද නැති බවත් ඇත්ත ය. ඒ නිසා පුද්ගලයන් ආණ්ඩුව තුළට යනවාද නැද්ද යන්නත් මේකට ඒ තරමට අදාල නැත. කවුරු ගියත්, ආවත් සමාජය, ආණ්ඩුව බවට පත් නො වී, එහි අනෙකා ලෙස සිටිය යුතු වේ. 

සිවිල් සමාජයක් මොකටදැයි ඇතැමෙක් අසති. ඕකට මගේ පිළිතුර නම් ඕක ය.

මේ නිසා අප්‍රේල් 03 වැනිදා යෝජිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් පවතින අවුල් වියවුල් මොනවා වුණත්, දේශපාලන පක්ෂ මැදිහත්වීම වැළැක්විය යුතු හෝ කළ හැකි දෙයක් නො වේ. NGO සම්බන්ධයෙන් ද කතාව මේකම ය. ඒ කවුරුත් සිය අනන්‍යතා සහිත ව යා හැකි තරම් දුරකට පමණක් සම්බන්ධ වීම කළ යුත්තකි.  ඒ ඒ අය ගේ දුර ඉවර වී, වෙන ම ගමන් පටන් ගන්නා කළ, අනාථ ව-අසරණ ව  "අන්න අපිව තනි කරල යනෝ; අපටත් බැරියෝ" කියා ලතෝනි නො දෙන සමාජයක් ගොඩ නගා ගැනීම අප හමුවේ ඇති ඇත්ත අභියෝගයයි.
"වෙනස් කළ යුත්තේ පාලකයන් නො ව ජනතාව ය" යයි කියන බර්ටෝල්ට් බ්‍රෙශ්ට් ගේ කතාව මට හොදට ම තේරෙන්නේ  ඒ අරුතිනි. 

Thursday, February 3, 2022

විසි නවේ දෙක එච්චර ම ඇලජික් වෙන්න ඇත්තේ ඇයි ?

 


29(2) ඒ තරම් ඇලජික් වෙන්න ඇත්තේ ඇයි ?
පෙබරවාරි 04 කියන්නේ ලංකාවේ ඉන්නවනම් ඒක හිතන්න පට්ට දවසක් !
1947 සොල්බරි ව්‍යවස්ථාවේ 29(2) අනුව්‍යවස්ථාව ගැන එක එක විදියේ අර්ථකථන හමු වෙලා තියෙනවා. එක එක විදිය කියල කිව්වට ගොඩක් වෙලාවට එක ම විදියක තමයි. ඒ ඔක්කොම වගේ හැබෑ විදිය හැර අනිත් ඒවා !
මෙන්න මෙහෙමයි ඔරිජිනල් කතාව..

29(2)No such law shall,
(a) prohibit or restrict the free exercise of any religion; or
(b) make persons or any community or religion liable to disabilities or restrictions to which persons of other communities or religions are not made liable;or
(c) confer on persons of any community or religion any privilege or advantage which is not conferred on persons of other communities or religions; or
(d) alter the constitution of any religious body except with the consent of the governing authority of that body
දැන් මේක සරල සිංහලට දැම්මොත් මම කියවගන්නේ මෙහෙමයි.
'යම් ජනකණ්ඩායමකට හෝ ආගමකට, අනිත් ඒවාට නැති විශේෂ තත්වයක් හෝ වරප්‍රසාදයක් දෙන, නැත්නම් අනිත් අයට ඇති අයිතිවාසිකමක් අහිමි කරන ආකාරයේ නීතියක්වත්, යම් ආගමික ආයතනයක පිළිගත් නායකත්වයේ එකගතාවයෙන් බැහැර ව ඒ ආගමික සංවිධාන ව්‍යුහ වෙනස් කරන නීතියක්වත් පැනවිය නොහැක'
මේ ගැන එල්ල වුණ බරපතල ම විවේචනය තමයි මේකෙන් අපේ 'නිදහස' ට විලංගුවක් දාල කියන එක. මේ ටික කියව ගන්න කොට ම තේරෙනව නේ මොන වගේ කර්තව්‍යයකට ඇති 'නිදහසක්' ගැන ද මේ ප්‍රශ්නය ආවේ කියලා !
ඕන්න තවත් තර්කයක් තිබුණා, මේක අපේ පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමක්, අඩු කිරීමට පනෝපු සීමාවක් කියලා. ඒ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක් කියලා. ඒ කියන්නේ ඒ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' හැටිත් එහෙමයි කියල තේරුම් ගතෑකි නේ !
තවත් තර්කයක් තමයි මේකෙන් රැකවරණයක් දෙන්නේ සුළුජාතීන්ට විතරක් නිසා ජාතිවාදී හැඩයක් ගන්නවය කියන එක. ඔන්න ඔහොමයි ලු 'ජාතිවාදය'! මේ නිසා 'මූලික හිමිකම්' වගේ පොදු රැකවරණයකින් මේක හෝදල දාන්න ඕන කියල මේ කට්ටිය අළුත් ව්‍යවස්ථාවක් ගෙනාවා. 1972 ගෙනාපු මේ ව්‍යවස්ථාවේ 'මූලික අයිතිවාසිකම්' (වලින් කොටසක් ලස්සන බෝල බෝල අකුරෙන්) අච්චු ගහල තිබුණා. ආතල් ම කතාව කියන්නේ පොදුවේ ඒ ඔක්කොම කඩ වෙලා ගියත් කරන්න දෙයක් නෑ!!
දැන් ඔය සුළු ජාතීන්ට විතරයි මේකේ වාසිය කියන තර්කයට පදනම් වුණ වචනයක් හොයාගන්න මම මේක උඩ-යට මාරු කර කර කියවල බැලුවා. ම්හු! හොයාගන්න නෑ.
මහජාතියෙන් සුළු ජාතියට මිසක සුළු ජාතියෙන් මහා ජාතියට මේ වගේ හිමිකම් උදුරගැනීමක්, අවස්ථා නැති කිරීමක් වගේ ම විශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබාගැනීමක් කියන එක ප්‍රායෝගිකව ඇත්ත නොවන බව දන්න නිසා වෙන්න පුළුවන් ඒ කට්ටිය ඕව ඔහොම තේරුම් අරන් තියෙන්නේ.
ඉතින් ඔය වගේ හේතු ඉදිරිපත් කරල, අවස්ථාවක් ලැබුණ මුල් ම වෙලාවේ දී ම 29(2) එක්ක සොල්බරි ව්‍යවස්ථාව කුණු බාල්දියට දැම්මා කියමු කෝ.
නෑ; ඇත්ත ම කතාව ඊටත් කලින් ම මේ 29(2) ට කෙලවල තිබුණේ මෙහෙ උන්දැල වගේ ම එහෙ උන්දැලත්.
හ පුරා කියලා නිදහස් ලංකාවේ මුල් ම පනත 1948(18) පුරවැසි පනත. කොඩක්කන්පිල්ලෛ එදිරිව මුදන්නායක නඩුව එංගලන්තයේ ප්‍රිවී කවුන්සිලය දක්වා ම යනවා. ඒත් ඒ ඉහළ ම තැන තීරණය වෙන්නේ 'තමන්ගේ පුරවැසියෝ වෙන්නේ කව්ද නැත්තේ කව්ද කියල තීරණය කරන්න මේ රටේ පාර්ලිමේන්තුවට බලේ තියෙනව' කියල. කේස් ක්ලෝස්. නිදහසේ මුල් ම පනතින් ම
ලක්ෂ ගානක් වතුකර තමිල් ප්‍රජාවට තමන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වුණ බිමේ පුරවැසිභාවය නැති කරල දානවා, 29(2) ජෝක් කරලා ! ඊළගට 1956 (33) රාජ්‍ය භාෂා පනත. සිංහල විතරක් තනිකර රාජ්‍ය භාෂාව කිරීමෙන් විශේෂ තත්වයක් ලබා දීමකුත්, අයිතීන් උල්ලංඝනයකුත් දෙක ම වෙන බව කියා ගෙන කේතීස්වරන් යනව නීතිපති ට නඩුවක් දා ගෙන, ප්‍රිවි කවුන්සිලේ වෙනකම්. එතැනදී කෑගල්ලේ කේතීස්වරන් ගේ කතාව මේ ඉහළ ම උසාවිය පිළිගන්නවා. ඒත් මොකද වෙන්නේ ? මුකුත් ම නෑ. ලංකාව දන්නේ නෑ වගේ ඉන්නවා. එංගලන්තේ..? උන්දැලත් දන්නෙ නෑ වගේ ඉන්නවා.
ඕං ඔහොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුණත් නිදහස් ලංකාවට මහ කජුපුහුලමක් නොවෙන බව ඔප්පු කරනවා මුල් ම මොහොතේ ඉදන්.
සොල්බරි ව්‍යවස්ථා සම්පාදකයෝ ඔය 29(2) ඇතුල් කරන්නේ ඒ වෙලාවේ තමිල් මහා සංගමය කියල එකතු වෙලා හිටපු තමිල්-මුස්ලිම් එකතුව ගෙනාපු යෝජනා කුණු කූඩෙට දාලා. එයාල ඉදිරිපත් කළා 50:50 කියල යෝජනාවක්. පාර්ලිමේන්තුවේ මහජාතියෙන් බාගයයි;සුළු ජාතීන් ඔක්කොමත් බාගයයි. ඕනෑම සාමාන්‍ය පනතක් සම්මත කරගන්න දෙගොල්ලන්ගෙන් ඕන කෙනෙකුට අනිත් පැත්තෙන් එක්කෙනෙක් හරි ඕනමයි. ව්‍යවස්ථාවක් වගේ එකකට අදාලනම් 2/3ක් එකග කරගන්න ඕන. ඕකට ගැහැව්වා 'ජාතිවාදි' කියල.සොල්බරි කොමිසම කිව්වා, 'අපි ඒ වෙනුවට පට්ට විසදුම් මල්ලක්ම දානවා' කියලා. ඔන්න ඒකේ උඩින් ම තිබුණේ මේ 29(2) !!
ඊට පස්සේ තව තිබුණා, නාමකරණයෙන් පත්කිරීම්. සෙනෙට් සභාවේ 30 දෙනාගෙන් 15 දෙනෙක්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 06 දෙනෙක් ආදි වශයෙන්. ඒ අය පත් කරන්නේ කිරීටය නියෝජනය කරපු, රාජ්‍ය නායකයා වුණ අග්‍රාණ්ඩුකාරවරයා. උන්නැහේ පත් කරන්නේ එංගලනතේ කිරීටයෙන් වුණාට මෙහෙ අගමැතිගෙන් අහලා. මෙහෙ පාර්ලිමේන්තුවට පුළුවන් උන්නැහේ අයින් කරන්න යෝජනවක් සම්මත කරන්න. ඉතින් මෙතැනදීත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩකෙරුවේ මහජාතියේ ඒකාධිපතිවාදයක් ඇතුළේ. අග්‍රාණ්ඩුකාරට අගමැති ගේ හොද හිත ඕන. අගමැතිට බහුතර ජනයාගේ හොද හිත ඕන. බහුතර ජනයා වැඩියෙන් ම කරදරයක් නැතිව අන්දගන්න පුළුවන් ඒ බහුතරයේ ජාතිවාදී සූට් එකට බස්සවලා.
ඉතින් නාමකරණයෙන් පත්වුණ උන්දැල ඔය මේ කාලේ ඉන්න ඩග්ලස් දේවානන්ද, කරුණා අම්මාන්,පිල්ලෙයාන්, අලි සබ්රි වගෙ පොරවල් හැටියට කදිමෙට ඒ ජනප්‍රජාවන් අද වගේ ම නියෝජනය කරන්නැති නේ !
උතුරු නැගෙනහිර වගේ ම වතුකරයටත් සංවර්ධන ව්‍යාපෘති ගලා ගියේ නෑ. උතුරේ විතරක්වත් අඩු ම ගානේ ලොකු ම බලාපොරොත්තු තිබුණේ අධ්‍යාපනය හරහා රාජ්‍ය සේවයට එන එක. සිංහල බහුතර පාලනය යටතේ රාජ්‍ය සේවයට මොනව වෙයි ද කියන සැකයට සොල්බරි ලා දීපු උත්තරයක් රාජ්‍ය සේවා කොමිසම. ඒකටනම් කෙළින් ම අග්‍රාණ්ඩුකාර ට පුළුවන් තුන්දෙනෙක් පත් කරන්න, සුදුසුකම් අනූව. ඒත් අර හොදහිත කේස් එක එතනත් වැඩ නොකරන්නේ කොහොමද !
අධිකරණ සේවා කොමිසම දාලා අධිකරණයේ ස්වාධීනත්වයක් ඇති කරන්න දීපු පොරොන්දුවත් ඔය කේන්දරේ ම ලියාගෙනයි ඇවිත් තිබුණේ.
විසදුම් මල්ලේ තවත් එකක් බහුමන්ත්‍රී කොට්ඨාස. මැදකොළඹ වගේ තැනක සිංහල, තමිල්, මුස්ලිම් වගේ ජනවර්ග තුනෙන් ම නියෝජතයෝ 1,2,3 කියල පත්වෙයි කියල කොමිසම බලාපොරොත්තු දුන්නා. ඒ වගේ දෙන්නෙක් පත් කරගන්න කොට්ඨාසත් තිබුණා. පත් වෙලා බලන කොට එක ම වර්ගයේ දෙන්න තුන්දෙනා !
50:50 සමච්චලයෙන් විසි කරපු සොල්බරි කොමිසම තක්කඩිකමක් නෙවෙයිනම් ඒ කළේ පට්ට ම පට්ට නාගැනිල්ලක් බව පස්සේ තේරුම් ගන්න ඇති. බ්‍රෙස්ගර්ඩල් චරිතාපදානයට පස්සේ කාලෙක පසුවදනක් ලියන සොල්බරි සාමි පාපෝච්චාරණයක් කරන්නේ ඔය තත්වය උඩ වෙන්නැති. ඒත් ලංකාවේ යථාර්ථය වෙන්නෙ පාපෝච්චාරණ නෙවෙයි පාප අඛණ්ඩතාවය !
1972 දී සිංහල භාෂාව තනිකර රාජ්‍ය භාෂාව විතරක් නෙවෙයි රාජ්‍යයට නිල ආගමක් හැටියට බුද්ධාගම ඇතුල් කරවලා, (බුදුදහමේ දාර්ශනික ආගමික හරයක් ඉතිරි වෙලා තිබුණනම්, අන්තිම ටිකත් ෆ්ලෂ් කරල දාල)  ව්‍යවස්ථාවෙන් ම සිංහල බෞද්ධ රාජ්‍යයක් හදා ගන්නවා.'එක බසක් නම් රටවල් දෙකයි' කියපු කට්ටියම තමයි මේ ව්‍යවස්ථාව ලියන්නෙත්! ඒ අනූව එයාල ලංකාවේ පරම්පරා ගානකට ඉතිහාසයත් ඉදිරියට ලියල දානවා. ජාතික රාජ්‍ය සභාව කියපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් හා ඔවුන් අතරින් පත් වුණ අගමැති ප්‍රමුඛ ඇමැත්තන් නැවත ලොකු පොඩි රජවරු බවට පත්වෙනවා. ඒකට විරුද්ධව කැරලි ගහපු ජවිපෙ ඊටත් ඉහළින් නියෝජනය කරන්නේ ඔය සිංහල බෞද්ධ රාජ්‍යය ම තමයි. 1977 ජේආර් යුගයෙදී 83 කළු ජූලිය නිර්මාණය කරල එළිබස්සද්දී, ජවිපෙත් 'දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය' හැටියට තමන් ගේ ඉදිරිමග තනා ගන්නේ ඔය පාරෙම ඉස්සරහට යමින්.
දැන් මේ හැමෝම අඩු වැඩි වශයෙන් පෙන්නන්න ට්‍රයි කරනවා 2009 දී අළුත් යුගයක් හැදුව කියලා.
සමහර විට ප්‍රශ්නය තියෙන්නේ කව්ද ඒකේ සුජාත තාත්ත කියලා!
ඉතිහාසය පුරා ම මේ ලංකා පොළොව මත්තේ ජීවත් වෙන අපි, ලංකාව කියල එක රාජ්‍යයක් හදාගන්න අද වෙන කොටත් ගිය ගමන් ඔක්කොම ෆේල් නැද්ද ? සිංහල-බෞද්ධ රාජ්‍යයක් හැටියට ලංකාව රීකන්ඩිෂන් කරන්න යන ප්‍රොජෙක්ට් එක නිසා ම මේ භූමිය මත්තේ වාසය කරන, මේක පෝෂණය කරන සියළු මිනිස්සු එකතු කර ගෙන ගොඩ නගන ඇත්ත ලාංකීය ජාතිය ගොඩ නගා ගන්න අපි අදටත්, හැමදාටමත් ෆේල් වෙන බව තේරුම් ගන්නේ කවදා ද ? එතෙක් ලංකාව කියල රාජ්‍යයක්වත් සාර්ථක ව හැදෙන්නේ නෑ කියල තේරුම් ගන්නේ කවදද ? 
අපි අතර ජීවත් වෙන තමිලා ගේ, මුසල්මානුවාගේ විතරක් නෙවෙයි, බර්ගර් වාර්ගිකයාගේත්, චීනාගේත්, වැදි ගෝත්‍රිකයාගේත් සමානත්මතාවය තහවුරු කිරීම මග හරින තුරු අර කියන හැම වර්ගයක ම අනිත් අර්බුදත් අපි අතර ම පවතීවි. 

Thursday, September 9, 2021

මට දෙශපාලනයක් ඕනෑම නැත කියන එකේ ඇත්ත තේරුම !


 ගුරු මිත්‍රයෙක් හිටියා. පොර කිසි ම යූනියන් වැඩකටවත් සෙට් වෙන්නේ නෑ.   "තනියෙන් කරගන්න වැඩක් තමයි. බොරු කතා නේ ඔය අරගල-උද්ඝෝෂණ"  එහෙමයි ඌ කිව්වේ. මේ අදහස මට හිතෙන්නේ අපේ කාලයේ ඇත්තක්. මේ පොර ගේ විතරක් නෙවෙයි. ගුරුවරුත්, අනිත් ජනතාවත් අති බහුතරය ඉන්නේ ඔය තැනමයි.

මේ කියන මිත්‍රයට විනය කේස් එකක් වැටුණා. මිනිහ දන්න නිලධාරීන්, යාළුවෝ හැමෝගෙන් ම උදව් ඉල්ලුවා. මටත් කිව්වා මගේ සම්බන්ධකම් තියෙන යූනියන් පොරවලට සෑහෙන ලොකු දෙයක් කරන්න පුළුවන්;මිනිහට යුක්තිය ඉෂ්ට කරල දෙන්න උදව් වෙන්න කියලා.
වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ යුනියන් හෝ පොදු අරගලය විශ්වාස කරන තැනකට මිනිහ මාරු වුණා කියල එහෙම නෙවෙයි. යූනියන්වල පොරවල් හරහා පෞද්ගලික මැදිහත්වීමක් තමයි ඒත් බලාපොරොත්තූ වුණේ.
දැන් මම මේ කතාව මැදට එක පාර ම ඇද ගෙන එනවා වසන්තා හදපාන්ගොඩ නෝනා ව. අර පොහොට්ටු ආණ්ඩුවේ හොරිකඩ යූනියන් එකේ ලොක්කී. (සංකේතයක් හැටියට ගේන්නේ; පුද්‍ගල වටිණාකමක් තියේ ද නැද්ද කියන එක ගැන අපි කරදරවෙන්න ඕන ම නෑ කියල හිතෙනවා)
මේ ලොක්කී මාස් මීඩියා ප්‍රෝගෑම් එකකදී කෙලින් ම කියල දැම්මා මෙහෙම කතාවක්; "දේශපාලනේ නැතිව මුකුත් ම කරන්න බෑ. බලේ තියෙන අයට තමයි වැඩක්‍ කරන්න පුළුවන්. අපිට යූනියන් එක හදන්න කීවෙත් බැසිල් ඇමතිතුමා. එතුමාගේ සිත් දිනා ගෙන හිටියොත් මුදල් ඇමති හැටියට එතුමා මේ අපේ ඉල්ලීම් ඔක්කොම දෙනවා. අපට විශ්වාසයි ඒක"
පටලව ගන්න එපා. ඔය කියන්නේ දේශපාලනයක් කරන බව නොවෙයි, නොකරන බවයි. ඒ කියන්නේ ඕක පට්ට ම අදේශපාලනික බවයි.  අර කියා ගෙන ආපු මිත්‍රයා සහ මේ හොරිකඩ ලොක්කී ඉන්නේ ගොඩක් කිට්ටු තැන් දෙකක; එක ම තැන තරම්.
මූලික වශයෙන් දෙන්න ම විශ්වාස කරන්නේ වැඩක් කරන්න පුළුවන් බලේ තියෙන එකෙකුට කියලා. ඒ නිසා ඒ බලේ  තියෙන ඇත්තන්ට, සම්ප්‍රදායයන්ට, ආයතනයන්ට යටත් පහත් වෙලා, අනුකම්පාව නැත්නම් හොද හිත දිනා ගැනීමෙන් ඒ තැන්වලින් විසි කරන යමක් අහුල ගැනීමේ මහාර්ඝ අවස්ථාව තමුන්ටත් හිමි වේවි කියලා. අර ලොක්කී ට වඩා මෙතැනදී අපේ මිත්‍රයා අඩු ම වශයෙන් ඌ ව විශ්වාස කරනවා. තමුන් විසින් තමුන් ගේ ගේම ප්ලේ කරන්න ඕන වගේ එකක්. අර ලොක්කී විශ්වාස කරන්නේ සහ අනෙකා ගේ විශ්වාසයත් දක්කා ගෙන යන්නේ බලේ තියෙන එකාගෙන් බැහැරව  වෙන කාටවත් ම, තමන්ටවත් එහෙම එකක් කරන්න බෑ කියන තැනට.
දැන් අපේ මිත්‍රයා මේ දවස්වල වැටුප් උද්ඝෝෂණයේ  ඉන්නවා !
තමන් ගේ පුද්ගලික කේස් එකකදී අර වගේ පුද්ගලික සම්බන්ධකම් පාවිච්චි කරල "සර්, මැඩම්, මගේ මේ වැඩේ කරල දෙන්න කෝ" කියා ගෙන යතෑකි. ඒත්‍ ඒ මිත්‍රයට වගේ ම ලක්ෂ ගානක ගුරුවරු කිසිම කෙනෙකුට සතවරුස කාලක කාලයක් තිස්සේ සිද්ධ කරපු රාජ්‍ය සේවයේ කුඩම්මා ගේ සැළකිල්ල විසදගන්න එහෙම තනි තනි සම්බන්ධකම් වලින් බෑ. පුළුවන් නම් දැනටත් කරගෙන නේ.
ඒත් මේ වගේ තැනකදීත් සමහර කුරුමිට්ටෝ ඉන්නවා මෙහෙම කියන; " අර හාමුදුරුවෝ ගිහින් නර්ස්ලට අරන් දුන්නේ. ඒ වගේ අපේ නායකයන්ටත් බැරි ඇයි ඉල්ලල දෙන්න" මෙහෙම කියන පොරවල්  ඉස්කෝලවලදීත් හමු වෙනවා, "සර්ලට බැරි ද අපේ ඉල්ලීම් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් වගේ කරන්න" වගේ යෝජනා එක්ක ! වැඩේ ගහල ගියොත් මැරෙන්නේ යූනියන්කාරයෝ නේ; ගොඩ ගියොත්‍ එයාලත් ! නායකයන්ට කෙල වෙලා හරි පොරවල් ගොඩ ගියොත් ඒත් ගොඩ නේ !!
මේ කස්ටියත් තමුන් ගේ හයියක් ගැන විශ්වාස නොකරන සෙට් එකක්.
දැන් පඩි ප්‍රශ්නය සීරියස්. ගුරුවරුන්ට මේ පඩිය ලැබිය යුතුයි කියන ගුරු නොවන සැළකිය යුතු සමාජ තීරුවකුත් දැන් ඉන්නවා.  ආණ්ඩුව පැත්තෙන් මොන තරම් හොරිකඩ බලමුළු පිට පිට මුදා හැරියත් අනිත් පැත්තෙනුත් ඒවට මුහුණ දෙන්න හයියක් තියෙන තත්වයක් දකින්න පුළුවන්.
ගුරුවරුන්ට ඒ තරම් හයියක්  කොහොමද ? එකක් පැහැදිලි අසාධාරණයක ගොදුරක් විතරක් නෙවෙයි, නින්දිත රැවටීමකට,කඩේ යැවීමකට තමන් ලක් වුණ බවට මේ ලක්ෂ ගානක් ගුරුවරුන්ට ඇස් පනා පිට පසක් වෙන ලැජ්ජකාරී තත්වයක් එනවා. දෙවැන්න ඒක විසදගන්න තනි තනි උත්සාහයන්ගෙන් තියා යූනියන් පොරවල් විතරක් ඉස්සරහට දාලවත් බෑ කියල තේරුමක් එනවා. (පැරදුනොත් ඒත් ඔක්කොම) තනි තනි හඩවල් ගොඩක් එකතු වුණා ම ටිකක් හොදින් ඇහෙන ලොකු හඩක් මතු වෙන බව තුන්වෙනුව තේරුම් ගන්නවා. ඒ එක්කම එහෙම හඩක් ඇහුනේ නෑ  වගේ ඉන්න බලේ ඇත්තන්ට අමාරු තැනක් එන බවක් පසක් වෙන්න ගන්නවා. (කවදත් කළා වගේ කෝවිඩ් නීති අවභාවිතා කරල ගේන්න ගිය මර්දනයට කණේ පාරක් ගහල ආපසු හරවන්න පුළුවන් වීමත් මේකට හොද ම රුකුලක් වුණා)


කෝවිඩ් තත්වයන් උඩ අරගලයට පෞද්ගලික දායකත්වය දෙන්න බලකෙරෙන ඩිජිටල් අරගල බිමක් මතු වීම වගේ තත්වයන් විසින් මේ තෙරපුම තවත් වැඩි කරනවා.
පාලකයන්, නායකයන් විතරක් නෙවෙයි තමන් එකිනෙකාත් බලවතුන් බව, ඒ බලය මතු වෙන්නේ ඒ ප්‍රශ්නය ඇති අය එක්සත්වීම මත බව පේන්න ගන්නවා.
අර හොරිකඩ ලොක්කී විරුද්ධ සහ අකැමැති දේ මෙන්න මේකයි.
ජනතාව විසින් තමන්ගේ බලය තේරුම් ගැනීම පීඩක පාලකයාට මාරාන්තිකයි. ඒ නිසා බලය එක්ක සම්බන්ධ හැම දෙයක් ම පාලකයාට විතරයි කියල දෘෂ්ටිවාදයක් හදනවා. දේශපාලනය ඒ ගොල්ලන් ගේ. අනිත් උන්ට දේශපාලනය අපිරිසිදුයි;පිළිකුල්; පාපකාරී; ඒ නිසා අනිත් අය  අත නොගැසිය යුතුයි කියල මතයක් හදනවා. එහෙම කිරීමෙන් ඇත්තටම කරන්නේ පවතින දේශපාලනය ඒ විදියට ම තියා ගෙන ඉන්න ඉඩ හදන එක.
ඒ වෙනුවට  ඒක වෙනස් කරන්න පුළුවන්කම ජනතාවට තනි තනි තීන්දුව මත වුණත් එකතු වීමෙන් පුළුවන් කියල දෘෂ්ටිවාදයක් හදන එක දේශපාලනිකයි. හොරිකඩ ලොක්කී විසින් දේශපාලනයේ නමින් අදේශපාලනික කිරීමක් කරද්දී, අපේ අර මිත්‍රයා වගේ අය තත්වයේ බලකිරීමක් නිසා හරි දේශපාලනික වෙලා තියෙනවා කියන්නේ අන්න ඒකයි.

දේශපාලනය මිස් කරන්න බෑ; ඕවර්ටේක් කරන්නත් බෑ.
ඇත්ත ම පාපකර්මය, දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමයි.

Saturday, August 14, 2021

මේ වහල් අධ්‍යාපනයේ කොහෙද 'නිදහස්'!


 "හතර වරක් හතර දාසයයි" ;"ලංකාවේ අගනුවර කොළඹය"  ශිෂ්‍යයා මෙම වාක්‍ය සටහන් කර ගනී; ධාරණය කර ගනී; පුනරුච්චාරණය කර ගනී. "හතර වරක් හතර දාසයයි" යන්නෙන් සැබැවින් අදහස් කරන්නේ කුමක්දැයි හෝ 'අගනුවරක්' යන්නෙහි අස්ත්‍යාර්ථකය හෝ අගනුවරක් වශයෙන් 'කොළඹ' වීම බලපෑමක් වශයෙන් ශ්‍රී ලංකාවට කොතරම් වැදගත් වේදැයි  හෝ නොසැලකේ.

ගුරුවරයා දේශකයකු වශයෙන් දෙන ව්‍යාඛ්‍යානය, දේශිත අර්ථය, යාන්ත්‍රික වශයෙන් කටපාඩම් කොට ගැනීමට ශිෂ්‍යයා ට බල කරයි. ඊටත් වඩා අහිතකර වන්නේ, ඒ මගින් ගුරුවරයා විසින් වක්කරනු ලබන දැණුම පිළිගන්නා භාජනයක් බවට ශිෂ්‍යයා පත් වීමයි. භාජනය පුරවන්නට හැකි තරමට, කෙනෙක් දක්ෂ ගුරුවරයෙක් වෙති. භාජන වශයෙන් දැනුම් පුරවා ගත හැකි තරමට කෙනෙක් දක්ෂ ශිෂ්‍යයෙක් වෙති.
අධ්‍යාපනය, මේ ආකාරයෙන් තැන්පත් කිරීමේ ක්‍රියාවක් බවට පත් වේ. ගුරුවරයා තැන්පත් කරන්නා ය. ශිෂ්‍යයා තැන්පතු පිලිගන්නා තැනැත්තා ය. ගුරුවරයා සන්නිවේදකයකු වශයෙන් තම උතුම් කාරිය අමතක කොට, නිවේදන නිකුත් කරයි; නිවේදන තැන්පත් කරයි. ශිෂ්‍යයෝ ඒවා ඉවසීමෙන් පිළි ගෙන,කටපාඩම්‍ කර ගෙන පුනරුච්චාරණය කරති. මෙය අධ්‍යාපනය පිළිබඳ 'බැංකු' සංකල්පයයි. ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වන එක ම සහභාගීත්වය, ද්‍රව්‍ය වශයෙන් ලැබෙන දැනුම පිළිගෙන, ලැයිස්තුගත කොට, සේප්පුවක මෙන් මොළේ තැන්පත් කොට ගැනීමේ ක්‍රියාවට සීමා වෙයි. තමන් 'ඉස්ටෝරු කර ගන්නා' දේ එකතු කොට, ලැයිස්තු ගත කර ගැනීමට පමණක් මෙයින් ඔවුන්ට අවස්ථාව ලැබේ. නිර්මාණාත්මක, විපර්යාසකරණීය ඥානයෙන් තොර වූ මෙම ක්‍රමය නිසා අන්තිමේ දී සිදු වන්නේ මනුෂ්‍යයා ම (ශිෂ්‍යයා වශයෙන්) ලැයිස්තුවක් හා වට්ටොරුවක් පමණක් බවට පත් වීම ය. විචාරණ ශක්තියෙන් හා ප්‍රයුක්තියෙන් තොර වූ මිනිසා සැබෑ මනුෂ්‍යත්වයෙන් ද තොර වෙයි. සැබෑ ඥානය ලැබිය හැක්කේ නැවත නැවත ද, අළුතින් එය හෙළිදරව් කොට ගැනීමෙනි. අන්‍යොන්‍ය වශයෙන් ද, ලෝකය සමග ද, ලෝකය පිළිබදව ද, නොසන්සුන්ව ද, නොඉවසිලිවන්තව ද, අනවරතව ද මිනිසා විසින් බලාපොරොත්තු සහගතව ගෙනයන්නා වූ  නිරන්තර විචාරයෙනි.
අධ්‍යාපනය පිළිබඳ බැංකු සංකල්පයෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද ? ඥානවන්ත යයි තමන් විසින් ම හදුන්වා ගනු ලබන්නා වූ අය විසින් අඥානයින් යයි ඔවුන්  හදුන්වනු ලබන්නා වූ පිරිසකට 'ඥානය' ත්‍යාගයක් සේ පිරිනැමීමයි. 'අවිද්‍යා අන්ධකාරයේ ගැලී සිටින්නා' යන අදහස, මෙහි දී අන්‍යයන් කෙරෙහි  ආරෝපණය කරනු ලැබේ.
සූරාකෑමේ මතවාදයේ ලක්ෂණය මෙයයි. 'අධ්‍යාපනය සහ ඥානය විචාරන ක්‍රියාදාමයකි' යන අදහස ප්‍රතික්ෂේප කෙරේ. ගුරුවරයා, ශිෂ්‍යයාට සහමුලින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිරූපයකින් නැගී සිටී. ශිෂ්‍යයාගේ අවිද්‍යාව ඒකාන්ත ය. ගුරුවරයා කියන්නේ මුකුත් ම නොදන්නා ශිෂ්‍යයන් නිසා පවතින්නෙකි. හේගලියානු දයලෙක්තික න්‍යායේදී අර්ථ දැක්වෙන වහලා ගේ වහල් මානසික පරාරෝපණ තත්වයට ඇද වැටෙන ශිෂ්‍යයන්, ගුරුවරයාගෙ පැවැත්ම උදෙසා තමන් ගේ අඥානභාවය පිළි ගත යුතුය. එසේ ම තවත් අතකින් ශිෂ්‍යයා, වහලාට ද වඩා අන්ත තත්වයකට ද වැටේ. මක් නිසා ද, තමන් ගුරුවරයාට ද අධ්‍යාපනයක් දෙන්නෙකු බව ඔහු කවදාවත් වටහා නොගන්නා හෙයිනි.
විමුක්තිදායක අධ්‍යාපනයේ සැබෑ අර්ථය නම් සංධානයයි. අධ්‍යාපනය, ප්‍රායෝගික හා මතවාදී සංධානයක් කරා මෙහෙයවනු ලැබීමේ ප්‍රවනතාවයයි. ගුරු- ශිෂ්‍ය ප්‍රතිවිරෝධය නිරාකරණය කිරීමයි. දෙඅන්තය සමෝධානය කිරීම තුළින්, ගුරුවරයා ද, ශිෂ්‍යයා  ද  යන දෙදෙනා ම, එක ම අවස්ථාවේ දී ම ගුරුවරයා මෙන් ම ශිෂ්‍යයා ද වීමයි"
මේ උපුටා ගැනීම පාවුලෝ ෆ්‍රෙයරේ ගේ 'Pedagogy of the oppressed' කෘතියේ සයිමන් නවගත්තේගම විසින් කරන ලද සිංහල පරිවර්තනයෙ 37-39 පිටුවලින්. ලංකාවේ මේ තියෙන, තිබුණ අධ්‍යාපන ක්‍රමවලත්, මුළු පද්ධතියේමත් පට්ට ම අවුලක් මම අත්දැක්කා.ශිෂ්‍යයෙක් හැටියටත්, ඊටත් වඩා ගුරුවරයෙක් හැටියටත්. ඒ අත්දැකීම් කතන්දර සටහන් එකතුවක් හැටියට 'A මොකටද?' කියන පොත ලියමින් තියෙනවා. එක අරමුණක් තමයි ලංකාවේ මේ ජරාජීර්ණ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගන්න ඕනකරන කතාබහක් හදාගන්න එක.  මේ ෆේස්බුක් පිටුව එහෙම සංවාදයකට ඉඩක් හදාගන්න ට්‍රයි එකක්. ඒකෙදී ඉහත උපුටයෙන් ලොකු ආලෝකයක් එල්ල වෙනවා කියල හිතෙනවා. සමහර වචන  නම් ටිකක් රළු  බව ඇත්ත. 'වචනවලට ආවේනික විපර්යාසකරණීය ශක්තිය'  කියල කතුවරයා පෙන්වා දෙන තත්වය මේ නිසා මේ කෘතියෙන් ම අහිමි කෙරෙනවාද කියල දුකකුත් දැනෙනවා. හැබැයි අපේ ඇත්ත අත්දැකීම් එක්ක ඉස්සරහට යද්දී ෆ්‍රෙයරේ කියවාගැනීම සංකීර්ණ වැඩක් නෙවෙයි. ඒ නිසා 'A මොකටද?' කියවගන්න ෆ්‍රෙයරේ හොද මුල පිරුමක් කියලා හිතුනා. 

Friday, July 23, 2021

තිස් අට වසරකට පෙර ඒ මතකය අමතමි

ආදරණිය සුබද්‍රන්,

අවුරුදු තිස්අටක් පරණ මතකයක ඈත කෙළවරේ අපැහැදිලි තිතක් වගේ උඹ. ඒ කාලේ අපි අවුරුදු දොළහක විතර කොළුගැටව්.  අපි හිටියේ ඉස්කෝලේ වාර විභාගය ලියමින්.  මොන මගුලක් වෙලා හරි ඉස්කෝලේ වැහෙනවනම් අපි හිත යටින් සතුටු වුණා; ඇත්තයි.  එදා කොළඹ ගිනි ගනිමින් තිබුණ දවසක්.  ඉස්කෝලේ වටේට ම අහසට නගින කළු දුම්රොටු අහස වහගනිමින් තිබුණා.  අළු ඇවිත් ඉස්කෝලේ වැලි මිදුලට එකතුවෙමින් තිබුණා.  අපි ඒ අළු මත උඩ පැන්නා.  සමාවෙයං; මේ මාත්.  මට හිතුනේ ඉන්දියාවයි, තව බලගතු රටවලයි සපෝට් එක එක්ක දෙමෙල්ලු අපේ සිංහලයට කෙලවනවා; අපේ රට අල්ල ගන්න යනවා.  වීරෝධාර සිංහලයෝ දැන් උන්ට රිටර්න් එක දීල අපේ ජීවිත රැකගෙන තියෙනවා කියලා.  සුබද්‍රන්, මට උඹව මතක් වුණේ නෑ.  මම දැන ගෙන හිටපු දෙමළාට වඩා මට විස්තර කරල තිබුණ දෙමළා ගැන කතාව ඇත්ත කියලා ඒ වෙලාවේ මට හිතුනේ. එදා ඉස්කෝලේ වේලාසනින් වැහුවා.  අම්ම මාවත් අර ගෙන ගේට්ටුවෙන් එළියට එන කොට ම මගේ මුණ ඇගට තියල තද කරගත්ත; වේගයෙන් මාත් එක්ක එතැන පහු කරන් දුවගෙන ආවා.  ඒත් මට එදා කෑම කන්නවත් බැරි තරම්. මම ඇස් කොණින් වගේ දැක්කා පාරේ වැටිල හිටපු ඇගේ සරමක් විතරක් තිබුණ මනුස්සයෙක් වට කර ගෙන තුන්හතර දෙනෙක්; “මූට තාම පණ තියෙනවා වගේ“ කියමින් එකෙක් දුම් දමන යකඩ කූරකින් අර මනුස්සයගේ යටිපතුල පුච්චනවා. මග දිගට කඩ සාප්පු ගොඩක් ගිණි අගුරු වෙමින් තිබුණා.  මොන දේකටද කියල හිතා ගන්න බැරි වුනත් ඒ ඉස්සරහ හමුදා සෙබලුන් අත්වල තුවක්කුත්, මුණුවල සිනාවනුත් එක්ක බලන් හිටියා. ඒ තුවක්කුවලින් මට ආරක්ෂාවක් ලැබෙනව වගේ දැනුණා.  මට හිතුනා ඉස්කෝලේ ඉස්සරහ මනුස්සයෙකුට කරදර කරනව කියල ඒ සෙබලෙකුට කියන්න.  ඒත් සුබද්‍රන්, උඹට ඒ තුවක්කුවලින් ඒ වගේ ආරක්ෂිත හැඟීමක් ආවේ නැති බව දැන් මට සහතිකයි.  ඊට හරියට ම අවුරුදු පහකට පස්සේ ඒ තුවක්කු නිසා සිංහල අපි නින්ද, නිස්කලංකය, මුළු ජිවිතයේ ම රහක් නැති පරපුරක් බවට පත් වෙද්දිනම් මට උඹලව මතක් වුණා.  ඒත් මම දන්නව අපේ ගොඩ දෙනෙකුට 83 මතක් වුණේ නෑ කියලා.  අපි 83 අමතක කරන්න ලොකු ට්‍රයි එකක් දෙමින් හිටියේ.  උඹ දන්නවනේ. 83 ඒ කාලෙත් මම වාමාංශිකයා.  හැබැයි අපි වාමාංශික කියල දැනන් හිටියේ ජේවිපී ය. ජේවිපි ය ගොඩක් කතා කළේ ම ‘රට‘ ගැන.  කව්ද කිව්වා, ජනාධිපති ජේ. ආර්. කිව්ව කියල මේ කලබල නිසා රට අවුරුදු දහයකින් පස්සට ගියා කියලා.  මම අහු වෙන හැම තැන ම ඔය කතාව හයිලයිට් කරල කිව්වා“පේනව නේ ද, ඒ කියන්නේ අවුරුදු දහයක් ම මුං කරල තියෙන්නේ දෙමෙල්ලුන්ට නේ“ කියලා.  (පස්සේ මම දැනගත්තේ ජේ. ආර්.ජනාධිපතිගේ හරි කතාවේ කියවෙන්නේ ‘දෙමළ අයට ගහන තරමට සිංහලයට සතුටුයි‘ කියලා කියපු එකක්)  දැන් ඇත්තටම ලැජ්ජයි සුබද්‍රන්.  මට අඩු ගානේ උඹ ගැනවත් මතක් වුණානම්...ඒ වෙද්දී අපි දෙන්නම අවුරුදු දොළහයි නේ.  අවුරුදු දහයක් තිස්සේ මට ලැබුණ දේවල්වත් උඹට ලැබිල තිබුණේ නෑ කියල මට එදා තේරුම් ගන්න පුළුවන් වුණානම්... පාඩම් පොත්වල අපට ඉගැන්නුවේ සිංහලයා මේ රටේ ආදිවාසියා;මේ රට ගොඩ නැගුවේ සිංහලයෝ. පරසතුරු උවදුරුවලින් රට බේරගත්තේ සිංහලයෝ; අනිත් ඔක්කොම උන් මේ රටට එළියෙන් ආපු, කපටිකමින්, හොරමැරකමින් මේ රට අස්සට රිංගගෙන,රටට හතුරුකම් කරන උන් කියලා.  සුබද්‍රන්, උඹට ඒක දැනෙනව ඇත්තේ, අපේ ම පංතියේ හිටපු මොහොමඩ්ලට,තෝමස්ලට ඒක දැනෙනව ඇත්තේ කොහොමද කියල මට ලාවට දැනුන වෙලාවක් මාත් ‘බෞද්ධ උරුමය පාවා දීලා, පෘතුගිසින්ට රට පාවා දෙන්න කතෝලික ආගමට ගිය පරම්පරාවකින් පැවතෙන දේශද්‍රෝහියෙක්‘ වගේ ඒ පාඩම්වලින් අපට උගන්වද්දී.  ‘සිංහල-බෞද්ධ රටට සපෝට් කරපු විජාතිකයොත් හිටිය ඕල්කට්තුමා, ටිබෙට් හාමුදුරුවෝ, සිද්දි ලෙබ්බේ, පොන්නම්බලම් රාමනාදන් වගේ.  මේ පස්සේ කියපු සමහරු ආයි සුළුජාතින් හැටියට මහජාතියෙන් වෙන් වෙලා වෙන ම ගමනක් යන්න ගත්තා.  නායක්කාර් වංශිකයෝ බුද්ධාගම වැළඳ ගෙන මෙහෙ බෞද්ධ රජවරුන්ටත් වඩා සේවයක් කරල තියෙන අයත් ඉන්නවා“ වගේ කොච්චරක්නම් පාඩම්වලින් අපේ පාඩම් පොත් අදටත් පිරිල ද...සුබද්‍රන්, අපි උඹව වගේ ම මොහොමඩ්ලවත්, තෝමස්ලවත් ලේසියෙන් අමතක කරල දැම්මා, මොනව වුණත් අපි ජාතියක් හැටියට මේ රටේ සාඩම්බර සිංහලයෝ නේද කියල හිතේ මවා ගෙන.  අපේ පල්ලිවලට ගහද්දී, අන්තිමට පාස්කුවකදි අපිව ඇමක් හැටියට පාව්ච්චි වෙද්දිත් තාමත් අපේ සමරුන්ට සුබද්‍රන් උඹලව තේරෙන්නේ නෑ.  ඊළඟට අපි අතර වලියක් ආපු හැම වෙලාවක ම උඹ ‘විදේශිකයෙක්‘ කියල මාක් කරන්න අපේ හැමෝම වගේ පුරුදු වෙලා හිටියා.  “පළ යාපනේට.  මෙහෙ ඔය පාට් තියාගන්න එපා“ ඔය වචන ටික එළියට පනින්නේ උපතේ ඉඳන් හුරුවට වගේ. 

ඉතින් එදා හිටිගමන් 83දි අතුරුදන් වුණ උඹ ජිවතුන් අතර ද නැද්ද කියල මම දන්නේ නෑ.  එදා උඹලගේ ගෙවල් දොරවල් අඟුරු, අළු- දූලි බවට පත් කරන්න ඇති කියල මට හිතාගන්න පුළුවන්.  සීටිබි බස්වලින් යකඩ පොළු, ගල්ඉනි, කඩු වගේ දේවල් අර ගත්ත මිනිස්සු (ආයෙමත් මම එහෙම එකක් දැක්කේ 2009 දී.  එතකොට උන්ගේ අතේ තිබුණේ සිංහ කොඩියි, කිරිබතුයි.  ආයුධවල කොටස මානුෂිකව කෙරිල තිබුණලු !) ඔල්වරසන් දෙමින් දෙමළ උඹලගේ විතරක් නෙවෙයි එහෙමයි කියල සැක කරපු ජා, මැලේ මිනිස්සුන්ගේ පවා ගෙවල් දොරවල් කඩල , බිඳලා, විනාශ කරලා, මංකොල්ල කාලා තිබුණා.  අපේ එහා පැත්තේ වයසක නිකුලස් අංකලුයි ඇන්ටියි සැකේ නිසා කොහේදෝ ගිහින් හැංගිලා තිබුණා.  ඒ ගේ වට කරපු අර වගේ ජය ගෝෂා නගා ගෙන ආපු පිරිසක් අහළ පහළ අපටත් බනිමින් “තොපිටත් ගහන්න ඕන. ජාතික කැක්කුමක් නැති හැතිකරේ “ කියමින් ඒ ගේ කඩලා ඉස්සරහින් ගිනි තිබ්බා අපි හැංගිලා බලා ගෙන.  පිටිපස්සෙන් ටිවි එකයි, තව තව බඩු වගේකුයි ආපු බස් එකට පටවා ගත්තා. එතකොට එතන හිටපු අපේ අසල්වැසියෙක් කීවේ “ඔන්න පේනවද ජාතික ආලේ.  ඕක තමයි අපේ උන් එක්ක කරන්න බැරි. හොරකමයි, මංකොල්ලෙයි.  ඉතින් මේ දෙමළ හැතිකරේ ඉවරයක් කරන්න බෑ නේ“ කියලා.

‘යුද්දේ තිස් අවුරුද්දක් තිස්සේ වවා ගෙන කෑවා‘ කියල කිව්වෙත් ඔය කතාවම නේද කියල මට පස්සේ තේරුණේ සුබද්‍රන්. කොහොම වුනත් මම ආසයි විශ්වාස කරන්න උඹ කොහේ හරි පන පිටින් ඇති කියලා.  එක ම රටක, එක පංති කාමරයක් ඇතුළේ උන් අපට උගන්නපු අකුරෙන් එහා වෙන ඇත්තක් අත්දකිමින් හිටපු උඹ මැරුනා කියලා විශ්වාස කරන්න මම කැමති නැහැ.  ඒත් සමහර විට ඒ නීරස කතාව ඇත්ත වෙන්න පුළුවන්.  

එදා පැනලා යන සමහර දෙමල පවුල් වාහනවලින් එළියට ඇදලා මරපු බවත්, සමහරු ඒ වාහන ඇතුළෙම අම්මල, තාත්තලා, උඹ වගේ සහ උඹටත් පුංචි ළමයි, වයසක සීයල, ආච්චිලා එක්ක ගිනි අගුරු බවට පත් කරපු බවත් මම පස්සේ දැනගත්තා.  සුබද්‍රන් එදා එහෙම අමු අමුවේ මරාදමපු හාරසියයත් තුන්දහසත් අතර හරියටම කියන්න බැරි ජීවිත ඇතුළේ උඹවත් ගණන් කෙරුනද ? රායප්පු ජෝෂප් හිටපු බිෂොප්තුමා ඇහුවා 2008 ඔක්තෝබර් වෙද්දී වන්නියේ හිටි බවට ලංකා ආණ්ඩුවේ ඉලක්කම් වලින් කියවෙන 4,29,059ක් මිනිස්සු, 2009 ජූලි 10 වෙන කොට ඒ ඉලක්කම් හැටියට ම 2,80, 380ක් වුණේ කොහොමද කියලා ! සුබද්‍රන්, ඒ සහතිකයක් නැති මිනිස් ජිවිත 1,46,679 ඇතුළේ උඹවත් ගණන් කෙරුනද ?  සුබද්‍රන්, මේ දැනුත් මගේ අතේ ඇඟිලි වෙව්ලනවා.  ඒත් මම අමාරුවෙන් හරි මේක ටයිප් කරන්න ඕන. 

අපි ඇස් වහගෙන හිටපු සුමානයක විතර ඒ කාලය ඇතුළේ උඹලගේ මිනිස්සු විසිපන්දහසකට වඩා යකඩඋල්වලින්, ගින්දරින්, පුපුරන ද්‍රව්‍යවලින්, පොලුවලින්,ගල්වලින් පහර දීල තුවාල කරල තිබුණලු.  සුබද්‍රන් උඹත් ඒ අතරේ හිටියද ?  සමහරු ඉන්දියාවට ගියා ලු පණ බේරගන්න. එහෙම වතුකරයෙන් ගිය පනස්අටදාහක් මිනිස්සු තාම එහෙ ඉන්නවලු ඉන්දියාවෙවත්, ලංකාවෙවත් පුරවැසියන් නොවෙන. සුබද්‍රන් උඹත් ඒ රටක් නැති මිනිස්සු අතර ඉලක්කමක් වෙලා ඉන්නවද තාමත් ?   

අර කොටුව ස්ටේෂන් එක ඇතුළේ සපත්තු මහන දෙමළ මනුස්සයාගේ ඇඳුම් ගලවල, පහර දෙමින්, සින්දු කියමින් ඒ මනුස්සයව මරා දමන පින්තූරය අපි හැමෝම වගේ දැකලා තියෙනවා.   සුබද්‍රන්, මම දන්න තරමින් උඹ දුප්පත් නෑ.  උඹලගේ තාත්තට කඩසාප්පු තිබුණා.  ඒත් 83 ජූලියේදී විනාශ කරපු කඩසාප්පු පන්දහකට වඩා අතර අනිවාර්යයෙන් ම මම දන්නවා උඹලගේ ඒ දේපලත් අඟුරු-අළු වෙන්න ඇති කියලා.  අවුරුදු කීයක මහන්සියද, පරම්පරා කීයක හීන ද කියලා හීල්ලෙන්න ඇති අම්මටයි අප්පටයි.  ගෙදර කියන්නේ කොයිතරම් සැනසිලිදායක තැනක් ද? ඒත් උඹලා කිදෙනෙක් ඒ තමන්ගෙම ගෙවල් දොරවල් ඇතුළේ අඟුරු වෙන්න ඇත්ද ඒ සතියේ විතරක්.  ඒකට බයේ කිදෙනෙක් ඒ ඔක්කොම අතෑරලා පණ බේරගන්න දුවද්දී හීල්ලුනේ නැත්නම් තමයි පුදුම.  එහෙම ගෙවල් අටදාහකට වඩා කොළඹ ගිනි අඟුරු කරල තියෙනවලු.

සමහරු කියනවා හැම දේ ම කොයි පැත්තෙත් දුප්පතුන්ට තමයි වෙන්නේ කියලා.  මාත් ඉස්සර එහෙම හිතුවා. ඒත් සුබද්‍රන්, මේ ඔක්කොම දැනගත්තටත් පස්සේ උඹ වගේ ඇත්ත මනුස්සයෙක්වත් අමතක කරල මට පොතක තියෙන කතාවක් ඇත්ත කරගන්න පුළුවන්ද ! දුප්පත්-පොහොසත් කියල වෙනසක්වත්, පිරිමි ද-ගැහැනුද කියල වෙනසක්වත්, පොඩි බබාලද- තරුණයොද-වයසක ඇත්තොද කියල වෙනසක්වත් එතැන තිබුණේ නෑ.  ඒක වුණේ උඹල දෙමළ වුණ නිසා. සුබද්‍රන් ඒ පාඩම අපට කියල දෙන්න උඹට ජිවිතය දෙන්න වුණා ද ? උඹ එහෙ ගියාට පස්සේ කොටි සංවිධානයට හරි ඒ වගේ වෙන එකකට හරි එකතු වුනා ද කියල මම දන්නේ නෑ.  ආණ්ඩුවේ ඉලක්කම් වලින් කියනවා 50-500 අතර වගේ හිටපු අරගලකරුවන් 83 ජුලියෙන් පස්සේ එක පාරටම පන්දාහ, දහදාහ වගේ වැඩි වෙන්න ගත්ත කියලා.  ඒ පාර හැර වෙන ඕන තරම් පාරවල් තියෙනව මනුස්සයෙක් වගේ අභිමානයෙන් ජීවත් වෙන්න කියල හිතන් හිටපු ගොඩ දෙනෙකුට ඊට පස්සේ පේන්න ගත්තලු ඒ පාර හැර වෙන කිසිම පාරක් නැහැ කියලා.  සුබද්‍රන් සමාවෙයන්; අපි කයිය ගැහුවට ඕක නෙවෙයි පාර කියලා, අපි හදපු පාරකුත් නැහැ.  ඉතින් උඹල එහෙම තේරුවනම්, ඒ තේරුවේ ජීවිතය උඹලට කියල දීපු දේ.  

සුබද්‍රන්, එදා උඹ විදපු අත්දැකීම මොකක් වුණත්, බෞද්ධ නොවන්නෙක් විදියට මාත් දැන් විඳවලා තියෙනවා. මුස්ලිම්වරුත් විඳවමින් ඉන්නවා.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යයන්තර සම්මුතිය පිළිබද(ඔව්; ඒ වගේ ‘හිමිකම්‘ පවා !) පනත වගේ නීතිවලිනුත්, නීතියට පිටතිනුත් අපි විඳවනවා. කොහොම වුණත් වෙනසක් නැහැ; අන්තිමට මේ රටේ ‘නීතිය‘ ඒක තමයි ! එදිනෙදා ජිවිතය ඇතුළේ පුංචි පුංචි වගේ පේන දහදාහක් දේවලින් අපි විඳවනවා.  83දි ඒ බියෙන් තැතිගැනුන, කටහඬ අහිමි කළ, තුවාල කෙරුනු, සමිපතමයන් අහිමි කෙරුණු. මරා දැමුණු, උන්හිටි තැන් අහිමි කරපු, අත්-පා-ඇස් උගුල්ලා දැමුනු ඒ ‘දෙමළා‘ බවට අපි ගොඩ දෙනෙකුට පත් වෙන්නට වෙලා තියෙනවා.  ඔව් සුබද්‍රන් උඹ බවට මට පත් වෙන්න වෙලා තියෙනවා.  ජීවිතය හරි ම ආදරණීයයි.  අවුරුදු ගණනාවකට පස්සේ හරි එදා මට නොතේරුන ජීවිතය,  අද උඹේ ආත්මය මගේ ඇතුලට කඩා වැදිලා තේරුම්ගන්න බල කරමින් තියෙනවා. 

සුබද්‍රන්, අදත් සමහරු අහනවා,“සිංහලයාට නැති දමිළ හෝ අනෙකෙකුට විතරක් ඇති ප්‍රශ්නය මොකක්ද “ කියලා.  හරි සරලයි. ඌ ‘සිංහල‘ නොවීම; තව ටිකක් ගැඹුරට ගිහින් කීවොත් ‘සිංහල-බෞද්ධ‘ නොවීම.  අන්න එහෙම ‘වෙන එකෙක්‘ වෙලා ඉඳලා බලන්න කෝ කියලයි මට කියන්න වෙන්නේ. හොඳටම තේරුම් යන වෙලාවකත් ආයි කියනවා ‘‘අපි ඔක්කොම මනුස්සයෝ“ කියලා. හැබැයි එහෙම කියන අය ඊළඟ මොහොතේ ‘පංති අරගලය‘ ගැන කතාකරද්දී අර මනුස්සයෝ අතර ඔක්කොම මනුස්සයෝ නෙවෙයි කියල එකකුත් එනවා ! සමහරු කියනවා,“ඕක හරි වුණාට කියන්න ඕන නැහැ. දැන් කොටිත් නෑ නේ. ඔන්න ඔය පුළුවන් විදියට ලොකු එකට සෙට් වෙලා ඉන්න කියමු“ කියල කතාවක්.    

මේක තේරුම් කරල මට වෙහෙසයි සුබද්‍රන්.