1794 දී ප්‍රංශ සමූහාණ්ඩුවේ සහාය ඇතිව ඕලන්ද සමූහාණ්ඩුවාදීන් එරට රාජාණ්ඩුව පෙරලා දැම්මා. මේ වෙලාවේ ඕලන්ද පාලකයා ව හිටපු 5 වැනි විලියම් කුමාරයා එංගලන්තයේ කියු මාළිගාවේ රැකවරණය ලබමින් සංදේශයකින් නියෝග කළා, ලංකාවේ ලංදේසි පාලන ප්‍රදේශවල ආරක්ෂාවත් බ්‍රිතාන්‍යයට බාර දෙන්න කියලා. ෆන්එංගල්බෙක් ආණ්ඩුකාරයා ඇතුළු ලංකාවේ ලංදේසි පාලනය උභතෝකෝටිකයකට මූණ දුන්නා, දැන් කොයි ආණ්ඩුව ද ඕලන්ද රාජ්‍යය හැටියට බාරගන්නේ කියලා. තීන්දුව වුණේ රාජාණ්ඩුව ප්‍රතික්ෂේප කරල සමූහාණ්ඩුව පිළිගන්න.
ෆන්එංගල්බෙක් මූණ දීපු ප්‍රශ්නය ම නොවුණත් සමාන ප්‍රශ්න විටින් විට අපි කාටත් මතු වෙනවා. හේතුව වෙන්නේ රාජ්‍යයක් සහ ජනතාවක් අතර සම්බන්ධය ගැන නොදන්නාකම නැත්නම් ඒක හංගන තක්කඩිකම !
රාජ්‍යය කියන්නේ එකක්; රජය හෙවත් ආණ්ඩුව කියන්නේ තව එකක්.
සාමාන්‍ය කටවහරින් 'රජයේ සේවකයා' කියා කියන්නේ 'රාජ්‍ය සේවකයා' ට මිස 'ආණ්ඩුවේ සේවකයා' කියල කෙනෙකුට නෙවෙයි.
රාජ්‍යයට තියෙනවා අති දැවැන්ත බලයක්. ඕකට කියන්නේ 'ස්වාධිපත්‍යය' බලය කියලා.
ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ යම් දේශසීමාවක් ඇතුළේ ඉන්න ජනතාවක් නැත්නම් සමාජයක් මත. ඒ වගේ ම ඒ බලයේ හිමිකරුවෝ වෙන්නෙත් ඒ අයමයි.
මේ නිසයි අපි කියන්නේ ජනතාවට 'පරමාධිපත්‍ය' බලය තියෙන බවක්.
දැන්, අර රාජ්‍යයට තියෙනව කියල අපි දැනගත්ත මාර බලය, ඒ කියන්නේ ස්වාධිපත්‍ය බලය, ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුවක් පත් කරගන්නේ. ආණ්ඩුව ඒක කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් ව. ඒ වගේ ම ආණ්ඩු තාවකාලිකයි. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ඒකත් එක්ක බලද්දී සදාකාලිකයි.
මේ නිසා යම් ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ නම්, ජනතා පරමාධිපත්‍යයට එකග ව වැඩ නොකරනවනම්, තව දුරටත් ඒ ආණ්ඩුවේ වලංගුභාවයක් ඇති වෙන්නේ නෑ.
එහෙම ආණ්ඩුවක නියෝග තවදුරටත් පිළිපදින රාජ්‍ය සේවකයකු එහෙම කිරීමෙන් රාජ්‍ය විරෝධියකු බවට පත් වෙනවා කියන එකයි මේකේ තේරුම. ඒ තේරුමෙන් ම ඒ තැනැත්තා ජනතා ද්‍රෝහියකු ද වෙනවා.
හැබෑ රාජ්‍ය සේවකයා, මොන හේතුවක් නිසාවත් ජනතා පරමාධිපත්‍යයට පිටු නොපෑ යුතු බව මේ කාලයේ සිහියට නගා ගත යුතු පාඩමක්.
No comments:
Post a Comment