1917 ඔක්තෝබර් විප්ලවයේ අංකුරය හැටියට සැළකෙන්නේ 1905 ජනවාරි 'ලේ වැකි ඉරිදා'වයි.
රුසියාවේ ළදරු කම්කරු පංතියේ තත්වය අතිදුෂ්කර වුණා. අඩු කරන ලද සේවා කාලයත් පැය 11ක්. ඒක පවා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. ලැබුණේ සොච්චම් වැටුපක්. සුළු වරදකටත් විශාල දඩ ගැසීම්; සමූහ දොට්ට දැමීම්.පහත් ම ජීවන තත්වයන්. අදහස් ප්‍රකාශනයේ නිදහස ගැන අදහසක් ගන්න හිතන්නවත් එපා.
කාර්මික නගර කීපයෙන් වඩාත් ම ශක්තිමත් නගරයක් වුණේ ශාන්ත පීටර්ස්බර්ග්. පූජක ජෝර්ජි ගැපොන්, මේ නගරයේ ජනප්‍රිය දේශකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්.
1905 ලේ වැකි ඉරිදාවේ නියමුවා මේ ගැපොන් පූජකයා.
ඔහු ජනවාරි 06 වෙනිදා ඔහු ගේ ශ්‍රාවක කම්කරු සංඝය ඇමතුවා.
"සාර්(රජු) සහ මේ කම්කරුවන් අතරමැද ලේ උරාබොන්නන් හැටියට ඇතැම් කම්හල් හිමියන්, නිලධාරීන් සහ තවත් අය ඉන්නවා. අපි මේ බව කෙළින් ම සාර් අප්පච්චීට කියමු. එතුමාගේ දරුවන් වන ඔබ දුප්පත්කමෙන්, නූගත්කමෙන් සහ නිලධාරී පීඩනයෙන් ගලවා ගන්නා හැටියට ඉල්ලා හිටිමු"
ගැපොන් පූජකයා විසින් පෙත්සමක් හදා දුන්නා. ඒක බාර දෙන්න අඹුදරුවොත් එක්ක සාර් ගේ මාලිගයට පාගමනින් යන්න ඔහු යෝජනා කළා.
ජනවාරි 09 වෙනි ඉරිදා, 1,40,000ක් කම්කරුවෝ, ගැහැණු හා දරුවෝ ගැපොන් පූජක පෙරටු කර ගෙන මාළිගාව වෙතට ගමන් ගත්තා.
සම්පූර්ණයෙන් ම අහිංසාවාදී ක්‍රියාවක් හැටියට සංවිධානය කරල තිබුණ මේ ගමන ගැන රජු දැනුවත් කරල තිබුණා. ප්‍රතිඵලය වුණේ, මාළිගාවෙන් පිටත රැදී සිටි රජු ගැපොන් පූජක අත්අඩංගුවට ගන්නට නියෝග කිරීමයි. ඒත් කම්කරුවන් විසින් ආරක්ෂිතව වට කර ගෙන සිටි පූජකයා අත්අඩංගුවට ගන්න, අඩු ම ගානේ පොලිස් හමුදාවේ ජීවිත දහයක්වත් දෙන්න වෙනවා කියල රජුට වාර්තා වුණා. ඊළග පියවර හැටියට සාර් අප්පච්චි ට දුක්ගැනවිලි ලියුමක් දෙන්න එන නිරායුධ දිළිදු දරුවන්ට වෙඩි තබා, මර්දනය කරන්න නියෝගයක් ලැබුණා.
මේ තත්වයන් ගැන කිසි ම සූදානමක නොසිටි ජනතාව ලක්ෂ ගණනින් මරා දමනු ලැබූ බව කියවෙනවා. අතිශයෝක්තියෙන් තොර ඉලක්කම්වලින් කීවොත් දහසක් පමණ මරා දමා, දෙදහසක් පමණ තුවාල කොට තිබෙනවා. ගැපොන් පූජක ද තුවාල ලබා, මක්සිම් ගෝර්කි ගේ නවාතැනේ ආරක්ෂිතව නවතා ප්‍රතිකාර කළ බවක් ඇතැම් වාර්තා වල කියවෙනවා. කාලෙකට පස්සේ ඔහු යළි නගරයට ඇවිත් කම්කරු ජනයා අතර වැඩ පටන්ගන්න බවත්, ආරක්ෂාව සැපයීමේ මුවාවෙන් ඔහු කැටිව යන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් විසින් වධහිංසා කොට ඔහු මරා සගවන බවත් වාර්තා වෙනවා. මේ පුද්ගලයා සමාජවාදී විප්ලවවාදී (එස්එර්) කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු හා සාර් ගේ ඔත්තුකරුවෙක් හැටියට කියවෙන අතර ගැපොන් පූජක ගැනත් එවැනි කියවීම් තියෙනවා.
1905 මහා සංහාරය 1917ට ඉතා වැදගත් පාඩම් කියා දුන්නා. ඒ නිසයි ඒක ඔක්තොම්බර් විප්ලවයේ මුල් අංකුරය කියා හැදිනගන්නේ.
එක පාඩමක් තමයි අරගල ක්‍රමයක් හැටියට අහිංසාවාදයේ සීමාවන් ගැන කියවාගැනීමක් නැති වීම බරපතල හිංසාකාරී තත්වයක් නිර්මාණය කර දෙන බව. මේ නිසා අඩු ම ගානේ ගැපොන් පූජකයාට හෝ බලය අත්පත් කරගැනීමේ සැලසුමක් තිබුණේ නෑ. තිබුණද නැද්ද කියල ඒ පස්සේ ගිය ලක්ෂ ගණනක් ජනයා තියා අදටත් අපිවත් දන්නේ නෑ. ඉතින් පවතින බලතන්ත්‍රයට ඉලක්කම් ටිකක් පෙන්නුවාම, රත් වෙලා, වහා ම ජනහඩට කන් දේවි වගේ අදේශපාලනික මිථ්‍යාවක් මවා ගෙන මේ සෙනග යන්නේ. අඩු ම වශයෙන් ඔවුන් අභිමුඛ වෙන්නේ සන්නාහ සන්නද්ධ දැවැන්ත යාන්ත්‍රණයක් අනෙකා කරගනිමින් කියන එකවත් මේ අයට කියවාගන්න බැරි වුණා. ඒ වගේ ම සාර් සහ කම්හල් හිමියන්, නිලධාරීන්, හමුදාව ආදි මර්දන ඒකක අතර තියෙන සංධානය ගැන මෙලෝ මලහත්තිලව්වක් ගැන අදහසක් මේ අදේශපාලනිකත්වය ඇතුළේ ඔවුන්ට පෙනුනේ නෑ.
මේ පාඩම් 2022ට වුණත්, ලංකාව වගේ සමාජයකට වුණත් තාමත් අදාල ඇති.
No comments:
Post a Comment