"චූදිතයා, මිනීමැරුම් චෝදනාවට වැරදිකරු බව ඔප්පු වී ඇති නිසා මරණීය දණ්ඩනය නියම කරමි" කියල නඩුකාරයා තීන්දුව දුන්නා.
"මිනීමැරීම වරදක්නම් මාව මරාදැමීම ගැන ඔබතුමාටත් මරණීය දණ්ඩනය හිමිවෙනවා නේද" කියල ඒ චූදිතයා ඇහුව ලු.
චූදිතයා මේ මිනීමැරීම කරන්නේ එයා ගේ අභිමතයක්-අදහසක් මත්තේ. නඩුකාරයා මේ විමසීම සහ තීන්දුව දෙන්නේ එයා ගේ පුද්ගලික ආසාවක්-කැමැත්තක්-අදහසක් අනූව නෙවෙයි. එයා වැඩ කරන්න ඕන පටිපාටියක් තියෙනවා. එයා විශාල සාමුහික මැෂිමක එක පුංචි දැතිරෝදයක් විතරක් තරම්.
ඒ පටිපාටිය තීරණය කරන්න මේ චූදිතයා පවා දායක වෙලා තියෙන බව සමහර විට එයා දන්නෙත් නැතිව ඇති. ලංකාවේ ව්‍යවස්ථාවෙන් කියනවනම්, එහෙම වෙන්නේ මේ චූදිතයත් 'පරමාධිපති' කෙනෙක් වෙන නිසා.
ව්‍යවස්ථාව තවදුරටත් කියනවා, ජනතාව තමන් ගේ පරමාධිපත්‍ය බලය, සර්වජන ඡන්ද බලය මගින් ක්‍රියාත්මක කරනවාය කියලා.
මේ වෙන කිසි අමුතු දෙයක් නෙවෙයි;'ස්වාධිපති බලයේ හිමිකරුවෝ මහජනතාවමය" කියන විශ්ව මූලධර්මය මිසක.
මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වෙලා, මරණීය දණ්ඩනයට ලක් වෙන අපේ කතාවේ මිත්‍රයත් මේ පරමාධිපතියෙක්. දැන් එයා මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්.
"පොතේ හැටියට මට එහෙම බලයක් තියෙන්න ඕන තමයි. ඒත් මට ඒක ලැබිල තිබුණේ නෑ. ඒ නිසා මගෙ සහභාගීත්වය නැතිවයි මේ නීතිය මම මත ක්‍රියාත්මක වෙන්නේ"
දැන් මේ තර්කය ජෝක් එකක් නෙවෙයි.
1848 කැරැල්ලේ නායකත්වය දරපු, රජ්ජුරුවෝ කියල අභිෂේක කරවපු විල්බාවේ උන්නැහේ අත්අඩංගුවට අරන් උසාවි ගෙනාවම, එංගලන්ත ආණ්ඩුවෙන් උන්නැහේ වෙනුවෙන් පත් කරපු පෙරකදෝරුවා මෙහෙම තර්කයක් ගේනවා. "මේ චූදිතයා උඩරට වැසියෙක්. ඔහු පිළිබද චෝදනා පහතරට ඉංග්‍රීසි නීතියෙන් විභාග කරන්න බෑ" නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථානුකූලවාදය ගැන ශිෂ්ට ලෝකයේ සම්ප්‍රදාය ගැන අමතක නොකළ යුතු පාඩමක් කියා දෙමින්, උසාවිය විල්බාවේ නිදහස් බව ප්‍රකාශ කරනවා. මරනෙට හිත හදන් උන්න විල්බාවේ කට ඇරන් බලා ඉදලා, ගෙදර ගිහින්, ඉතිරි ජීවිත කාලෙ කුඹුරක් කොටන් ඉන්නවා.
ආණ්ඩුව තමයි රාජ්‍යයට හැඩයක් දෙන්නේ. ලංකාවේ ආණ්ඩු හදල තියෙන කිසිම හැඩයකින්, සමාන තත්වයක් යටතේ හැම පරමාධිපතියෙකුගෙම පුද්ගලිකත්වය නියෝජනය වෙලා තියෙනවද ?
සාම ගිවිසුම කාලේ තමිල් ඊලම් පාලන ප්‍රදේශයේ ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. ඒකෙදී ඇන්ටන් බාලසිංහම් හිටපු උපදේශක කියනවා "දකුණේ අගමැති රනිල් වික්‍රමසිංහ;අපේ අගමැති ප්‍රභාකරන්" කියලා. මේකේ තාර්කික පදනම තමිල් ජනතාවගේ සහභාගීත්වයක් නැතිවයි මේ ඡන්ද ප්‍රතිඵලය ආවේ කියන එක. ඡන්ද වර්ජන ව්‍යපාර හරහා එයාල මේ චිත්‍රය වඩා හොදින් පැහැදිලි කළා. තමිල් ජනතාව ඡන්දය දුන්නාමත්, ඒ ඡන්ද බලරහිතයි. හැමදාම සිංහල-බෞද්ධ බහුතර ආධිපත්‍යයේ ආණ්ඩුවක් ඇතුළේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු වෙස්මූණක් සරසන්න බලරහිත නියෝජිතයෝ ටිකක් ඉන්නවා. මුළු තමිල් ප්‍රදේශයම මුළු හයිය දාල සියළු නියෝජිතයෝ තෝරල එව්වත් ඒ අය නොතකා තීන්දු ගන්න මේ පාර්ලිමේන්තුවට කවදත් පුළුවන් වුණා. සිංහල විතරක් රාජ්‍ය භාෂාව කළේ එහෙමයි. බුද්ධාගම රාජ්‍යාගම කළේ එහෙමයි. තමිල් ප්‍රදේශවල නියෝජිතයෝ හැමෝම විරුද්ධ වෙද්දී ඒ ප්‍රදේශ පාලනය කරන්න සාමාන්‍ය නීතිය අකුලලා හදිසි නීතිය තීන්දු කළේ එහෙමයි. පස්සේ මේ වෙද්දී දකුණට ම පාරා වලල්ලක් වුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ බිහිසුනු අසික්කිත පනත් සම්මත කරගත්තේ එහෙමයි. ප්‍රධාන විපක්ෂය හැටියට බහුතර බලයක් ඇතිව හිටපු වෙලාවේ 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැත් පාර්ලිමේන්තුවේ නියෝජිතත්වය අහිමි කළේ එහෙමයි. ඉතින් මේ නියෝජිතත්වය බොරු. ඒ බව එයාලා ඡන්දවලින්, ඊටත් වඩා ඡන්ද වර්ජනයෙන් ඔප්පු කරල පෙන්නුවා.
මේ කතාව මුස්ලිම් ජනතාව ගැනත් ඇත්ත. කතෝලික ඇතුළු කිතුනු ජනකොටස් ගැනත් ඇත්ත. 52%ක් වන ගැහැණු ජනගහනය ගැනත් ඇත්ත. LGBTQ+ප්‍රජාව ගැනත් ඇත්ත. නිරාගමික ප්‍රජාව ගැනත් ඇත්ත. තව තව බොහෝ දෙනෙක් ගැනත් ඇත්ත.
මෙහෙම බැලුවා ම මේ හදල තියෙන ආණ්ඩු ආකෘති ඇතුළේ මේ නීති හැදීමේ වැඩේ, මුදල් ඇතුළු ආර්ථිකය පාලනය කිරීමේ වැඩේ, නීති ක්‍රියාත්මක කිරීමේ වැඩේ, යුක්තිය පසිදලීමේ උසාවි වැඩේ වගේ හැම දෙයක් ම පරමාධිපතිල සැළකිය යුතු ප්‍රමාණයක් එළියෙන් තියලා කරන ක්‍රමයක් තියෙන්නේ. එහෙමනම් ලංකාවෙන් අපි බැහැර කරල, රටක් නැති වැස්සෝ බවට හොර රහසේ පත් කරලා. ඇත්තටම රට අයිතිකාරයන්ට ඒක මෙහෙයවගන්න පහසු වෙන්න අපි අතර කොටසක්, වැඩි කොටසක් 'මේ රටේ අයිතිකරුවෝ' කියල අන්දවලා තියෙන්නේ. ඒ උන්නැහෙලත් ඇදගත්ත එක හරියටම කරලා!!
සරලවම කීවොත් තමන් ගේ පරමාධිපතිවරුන් විසින් සුජාත විදියට දීපු නැති බලයක් මේ වැඩ කරන්නේ.
ඒ නිසා ඒ ආණ්ඩු ආකෘතියම වෙනස් කරලා, අළුත් රාජ්‍යයක් හදන අභියෝගය දිනාගත්තේ නැත්නම් ලංකාව කියන්නේ තවදුරටත් මිථ්‍යාවක් කියන එක වැඩිකලක් හංගගෙන ඉන්න වෙන්නේ නෑ.
පටන්ගන්නවනම්, ෆෙඩරල්-අනාගමික ලංකාවක්...ඊට මිලිමීටරයක්වත් මෙහායින් තේරුමක් නෑ
No comments:
Post a Comment