Tuesday, November 26, 2024

උතුර ට මෙන් ම දකුණට ද ඉදිරිමඟ පෙන්වන මහවිරුවෝ ඔවුහු ම ය !

 තමිල් ජාතික විමුක්ති අරගලය මගේ සිංහල මිතුරන් අතිබහුතරයක් විසින් සළකන්නේ 'ත්‍රස්තවාදයක්' හැටියට. මුස්ලිම් සහ බර්ගර් මිතුරන්ගෙන් සැලකිය යුතු පිරිසකුත්, තමිල් මිතුරන් කීපදෙනෙකුත් දරන්නේ ඒකට සමාන අදහසක්.

මේ නිසා මම අයිති වෙන්නේ අතිබහුතරයක් මැද අති සුළුතරයකට. ඒ සුළුතරයට මා දන්නා අතිබහුතර තමිල් පිරිසකුත්, යම් ප්‍රමාණයකින් තමිල් නොවන තව සුළුතර පිරිසකුත් ඇතුලත්.

මම දන්න සිංහල නොවන පිරිස අතර වගේ ම සිංහල නමුත් බෞද්ධ නොවන පිරිස ගත්තාමත් ඒ අතර අති බහුතරයට පොදු දුක්ගැනවිල්ලක් තියෙනව තමන් මේ රට ඇතුලේ සමාන පුරවැසියන් හැටියට සැළකෙන්නේ නෑ කියලා. අනිත් අතින් දුප්පත්කම හෝ පිරිමි නොවීම මත හෝ අඩු කුල පදනමින් හෝ ඔය මොකක් හෝ දෙයක්  නිසා තමන්ටත් එහෙම සමාන තැනක් නැති බවක් කියන සිංහල බහුතරයකුත් මට හමු වෙලා තියෙනවා.
එහෙම බැලුවා ම අති බහුතරයක් ආයෙමත් මේ තියෙන ශ්‍රීලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරන, එහෙම නැත්නම් ඒ ගැන සෑහීමකට පත් නොවෙන අය කියන්න පුළුවන්.
ඒත් ඒක එහෙම ම වෙන්නේ නැති බව මට දැනෙනවා.
පීඩිතයන් වුණ සිංහලයන් බහුතරයක් තමන් ගේ දුක්ගැනවිල්ල කියාපාන්නේ ම මෙන්න මේ විදියට;
"සිංහල බුද්ධාගම්කාරයෝ වෙලත් අපේ ම රටේ අපටත් නැති තැනක් දෙමළුන්ට, හම්බයන්ට, ඉංග්‍රීසියට, කුරුසකාරයන්ට,.... තියෙනවා"
මේ නිසා පීඩිත සිංහලයා මේ පීඩක සෙල්ලම බේරගන්න යන්නේ සිංහල නොවන අනෙකා 'සතුරා' කර ගෙන. ඒක හරියට ම ඇඩොල්ෆ් හිට්ලර් උන්නැහෙලා ජර්මන් උතුම් ආර්ය ජාතිය, යුදෙව් සුළුතර පීඩිත ජාතියෙන් බේරගන්න සංවිධානය වුණා වගේ.  සිංහල නිර්ප්‍රභූ- පීඩිත කියන ජන සංඝය සංවිධානය වෙලා තියෙන්නේ මූලිකව ම ජවිපෙ එක්කනම්, ජවිපෙ ප්‍රකාශනය ඇතුලේ මේ කියන කතාව හොඳින් ම දැක බලා ගන්න පුළුවන්.

මේ  තත්වයට කෙළින් ම අභියෝග කරන්න පුළුවන්කම තිබුණේත්, එහෙම කළෙත් තමිල් ජාතියෙන්. උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ඔවුන්ට තමන් ගේ භාෂාවත්, සංස්කෘතීනුත් සඳහා පදනමක් තිබුණා.
එක පැත්තකින් සිංහල-බෞද්ධ රාජ්‍යයක් මතු කරගනිද්දී අනිත් පැත්තෙන් මුළින් ම මතු කෙරුනේ අසිංහල-අබෞද්ධ රාජ්‍යයක් නෙවෙයි. කාටත් එකට ඉන්න පුළුවන් සමානාත්මතාවයේ රාජ්‍යයක්. අධිපති කණ්ඩායමේ නිල නොලත් සන්නද්ධ මැර කල්ලි පවා රැක බලා ගෙන, පෝෂණය කරපු සන්නද්ධ රාජ්‍ය යන්ත්‍රයකට මුහුණ දෙන අතරත් අනිත් පැත්තෙන් තමිල් ජනයා ගේ මුල් කාලීන අරගල සාමකාමී සහ නීත්‍යානුකූල වුණා.

ඒත් ප්‍රශ්නය අසමින් තිබෙන විදිය අනූව පිළිතුර දෙමින් තියෙන විදියත් වෙනස් වෙනවා නේ.
එවකට කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයා වුණ සරත් මුත්තෙට්ටුවගම, ප්ලොට් සංවිධානයේ උමා මහේෂ්වරන් මුණ ගැහුණා ම මෙහෙම කතාවක් කී බවක් අහන්න ලැබුණා. "පුංචි කාමරයක් ඇතුලේ හිර වෙලා ඉන්න බල්ලෙකුට පයින් ගැහුවාම මොකද වෙන්නේ සහෝදරයා...? ඌ කාමරයේ මුල්ලට ගුලි වෙයි. ඒත් අන්තිම මුල්ලෙදිත් ඌට ගහගෙන ගියොත්...මොන තරම් නිවට බල්ලෙක් වුණත් පැනල හපා කන එක හැර වෙන මොනවද කරන්නේ!"
ඉතින් තමිල් ජාතියටත් ලංකාව ඇතුලේ වුණේ ඔන්න ඕකයි.
අත-පය බැඳලා ළිදට දාපු මිනිහා 'ළි⁣ඳේ වතුර බොර කරනවා කියලා චෝදනා කරන්න එපා ! " කාගේ කියමනක් ද කියල නොදත් මේ කතාව, මේ තත්වය හරියට ම පැහැදිලි කරන්නක්.
ඉතින් තමිල් මක්කල් සංගම් ඉඳල ගත්තත් තමිල් විමුක්ති කොටි දක්වා ම ඉතිහාසය සමානත්මතාවය සහ ගරුත්වය සඳහා, යුක්තිය හා සාධාරණත්වය සඳහා හැම විදියක ම උපාය-උපක්‍රම යොදාගනිමින් ඉස්සරහට ආපු, අදටත් ඉදිරියට ඇදෙමින් තියෙන්නක්. 1972 තරම් කාලයක ඒකේ මුල් ම තුවක්කු පත්තු වුණත් එල්ටීටීඊය පවා අන්තිම කාලයේත් මේ සියළු විදියේ උපක්‍රම යොදාගත්තා. සාකච්ඡාවට වාඩි වෙන එක, දේදුන්න වගේ පත්තර සහ පොත්, පොංගු තමිල් වගේ සංස්කෘතික උත්සව වගේ ම සත්‍යග්‍රහ සහ උපවාස පවා සන්නද්ධ ප්‍රහාරයන් අතරත් ඔවුන් පාවිච්චි කළා. අදටත් මේ අරගලය මුළුමනින් ම වගේ භාවිතා කරන්නේ නිර්ප්‍රචණ්ඩ උපක්‍රම.
උපක්‍රමය මොකක් වුණත් ඔවුන් ඉල්ලා හිටින්නේ සමාන සහ ගරුත්වයෙන් යුතු ජීවිතයකට ඇති අයිතිය. ඒක යට කර දැමීම මිස ඒක වෙනුවෙන් පෙනී සිටීම හුදු 'ත්‍රස්තවාදයක්' වෙන්නේ කොහොම ද ?
මේ නිසා අද, නොවැම්බර් 27 වෙනිදාවෙන් අවසන් වෙන මහවිරු සමරු සතිය තුළ තමිල් ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් දිවිපිදූවන් වීරත්වයෙන් සැමරීම කිසි විදියකින් ත්‍රස්තවාදයක් හරි ඊට උඩගෙඩි දීමක් හරි  වෙන්නේ නෑ. මම අවංකව ම විශ්වාස කරනවා ඒ දිවි පිදූවන් සහ කැපවූවන් කවුරුත් හැබෑ වීරයන් බව. ඔවුන් විමුක්ති කොටි වුණත් නැතත් මට ඒකේ වෙනසක් නැහැ. ඒ අතර තමිලුන් විතරක් නෙවෙයි විරාජ් මෙන්ඩිස් වගේ සිංහලයොත්, මුස්ලිම් හා අනෙක් ජන කොටසුත්, ඒ කවුරු වුණත් මට ඒකේ වෙනසක් නෑ.
මේ මොහොත පට්ට ම අභියෝගාත්මක මොහොතක්.
2009 දී තමිල් පීඩිත ජනයාට එරෙහිව එල් කෙරුන රාජපක්ෂමය මහා සංහාරයේ සමකොටස්කරුවන් වෙන ජවිපෙ අරටුව ඇති මාලිමාණ්ඩුවක් මේ වෙලාවේ බලයට පත්⁣වීමත්, ඒ මදිවට ඔවුන්ට තමිල් ජන ප්‍රදේශවලිනුත් සැළකිය යුතු බලයක් ලැබීමත් මේ අභියෝගාත්මක මොහොත නිර්මාණය කරල තියෙනවා.
මේ තත්වය අවභාවිතා කරල සමහරු මේ වෙද්දී ලංකාවේ කවදාවත් 'ජාතික ප්‍රශ්නයක්' කියා දෙයක් නොතිබුණ බවක් පෙන්වන්න දැන් රඟමින් ඉන්නව දකින්නත් පුළුවන්.
මේ අය කරන්නේ යථාර්ථය යට ගැහීමක්; නැත්නම් විකෘති කිරීමක්. මීට කලින් 2009 මහා සංහාරයේ මිලිටරි නායකයා වෙන ජනරාල් සරත් ෆොන්සේකා ට මේ ජනයා 2010දී ඡන්දය දුන්නා. ඒ වෙලාවේ ප්‍රකාශිත විවාදිත ඡන්ද ප්‍රතිපලය වෙනස් වුණානම් මේ ප්‍රශස්ති ගායනා වෙන්නේ ඔහු වෙනුවෙන් ! ඒ වෙලාවෙත් තමිල් ජනයා ඒ බලය දෙන්නේ මේ මිලිටරි ගහලකම පිළිගනිමින්, ඔසවමින් නොවෙන බව, ඒ ඔය ගහලකමේ දේශපාලන නායකත්වය වෙන රාජපක්ෂවරු පරාජය කරන්න, ඒ හරහා යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් වන තමන්ගේ අරගලය නැවත නැවතත් ඔසවා තබන්නට බව, වත්මන් රෙජීමයේ ප්‍රචාරක බාස්ලා විසින් යට ගහන ඇත්තයි.
මේ පාර වෙනස වෙන්⁣නේ මහ ඡන්දෙනුත් සම්ප්‍රදායික තමිල් පක්ෂ පවා දෙවෙනි තැනට දාලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ජවිපෙ විසින් මෙහෙයවෙන ජාජබ විසින් දිනාගැනීමයි කියලා අර ප්‍රචාරක බාස්ලා ආයෙමත් කියාවි. ඒත් එයාලගෙම ඉලක්කම් කියන්නේ මොකක්ද ?
යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 5,93,187කින් මාලිමාවුන්ට ඡන්ද ලැබුණේ 808,306යි. 40%ක් ඡන්ද පොළට ගියේ ම නෑ. ගිය අයගෙන් 25%කට කිට්ටු ගානක් ඔවුන් දිනාගත්තා. වන්නි දිස්ත්‍රික්කයේ 306,081 ඡන්දදායකයන්ගෙන් 39,894යි මාලිමාවුන්ට ඡන්දය දුන්නේ. තුනෙන් පංගුවකට වඩා එතැනත් ඡන්දපොළට ගියෙවත් නෑ. මඩකලපු දිස්ත්‍රික්කයේ 4,49,686කින් මාලිමාවුන්ට ලැබුණේ ඡන්ද 55,498යි. ඉලන්කෛ තමිල් අරසු කච්චි ඡන්ද 96,975ක් අරන් දිස්ත්‍රික්කය දිනාගත්තා. එතැනත් තුනෙන් පංගුවකට වඩා ඡන්දපොළට ගියේ නෑ. ඒ තත්වය යටතෙත් මාලිමාව පරදා ITAK ඒ දිස්ත්‍රික්කය දිනාගත්තා. සම්මිශ්‍රිත ජනඝනත්වයක් ඇති දිගාමඩුල්ල සහ ත්‍රී'මලේ දිස්ත්‍රික්කවල තත්වය බැලුවත් 30%කට වැඩි පිරිසක් ඡන්දපොළ වර්ජනය කරලා. ප්‍රකාශිත ඡන්දවලින් 40%ක වගේ ප්‍රමාණයක් මාලිමාවුන් විසින් දිනාගන්නවා.
මේ ඉලක්කම් වලින් පේනවා, ඔය ප්‍රචාරක බාස් බලඇණිය කියන තරම් මාර දෙයක් මාළිමාවට දිනාගන්න බැරි වෙලා තියෙන බව. ඒත් කිසිවක් නැත්තෙත් නෑ. අනිත් අතින් ඒ ඇත්තට පිටුපස හරවන්නත් බෑ.
"මාලිමාවට දුන් ඡන්දය මහින්ද සිහින සැබෑ වීමක්"  බව පෙන්වා දෙමින් පොහොට්ටු පක්ෂයේ නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ඉතිහාසයේ මුල් වතාවට දකුණේ පක්ෂයකින් මෙහෙයවෙන උතුරේ නායකත්වයක් හදාගන්න පුළුවන් වෙලා. අන්න ඒකයි 'ජයග්‍රහණය' ! නාමල් ට විරුද්ධ වුණත්, මේ කතාව ම තමයි අනිත් අයත් අඩු වැඩි වශයෙන් කියලා තිබුණේ. ජනපති අනුර ජනාධිපතිවරණ කැම්පේන් එකට යාපනේ ගිහින් කිව්වේ "උතුරට ⁣කිසි ම දෙයක් දෙන්න පොරොන්දු වෙන්නේ නෑ.අපිව දිනවන්න දකුණ තීන්දුවක් ගනිමින් ඉන්න මොහොතක ඒකට විරුද්ධවිමේ නරක ප්‍රථිපල බාරගන්නවද නැද්ද කියල තීරණය කරගන්න" කියලා.

මේ මැතිවරණ කොයි එකත් තමිල් ජනයාට අනූව දකුණෙන් දාන සෙල්ලම්. ඒ නිසා ඒවාට සහභාගි වීම ගැන ප්‍රසාදයක් නැති බොහොදෙනා ඉන්නවා. 2020 ඡන්දය ගැන මා දන්නා ඇතැම් මිතුරන් කීවේ තමන්ගේ ගම්වලින් කිසිවෙක් ඡන්දපොළට නොගිය නමුත් ගමේ ඡන්දනම් දාස් ගණනින් ලකුණු වී ඇති බව අසන්නට ලැබීමෙන් සෑහෙන විනෝදයක් ලැබූ බවයි ! මේ අතර සම්ප්‍රදායික තමිල් පක්ෂ ගැනත් අප්‍රසාදයක් තියෙන බවත් ඇත්තක්. ඔවුන් අතරින් ක්‍රියාමාර්ගික පෙරමුණු ගණනාවක් බිහි වෙලා තියෙනවා. නායකත්වය විසිරිලා. යාපනය ස්වාධීන 17 කණ්ඩායම මේ අප්‍රසාදය ප්‍රකාශයට පත් වුණ තවත් විදියක්.
මේ තත්වයන් තුළ තමිල් ජාතික විමුක්ති අරගලය අභියෝගාත්මක හෝරාවක ගමන් කරමින් ඉන්න බව ඇත්තක්. ජාතික විමුක්ති අරගලයකට දායක වී, ඉමහත් වීරත්වයකින් කැප කළ, පුද කළ දසදහස් ගණනක් විරු ජීවිත පරිත්‍යාගයන් ඒ නිසා අපතේ යාමක් බවට පත් වේ වි ද ?
මට දැනෙන දේ නම් මොන විදියෙන්වත් ඒ එහෙම නොවෙන බවයි.
ඒ වෙනුවට මුළු මහත් ලංකාවේ ම ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ ශිෂ්ටත්වය ගැන ප්‍රශ්නය තව දුරටත් පීඩිත ජාතියේ සමානාත්මතාවය හා ගරුත්වය මත පදනම් වුණ සාධාරණත්වය හා යුක්තිය එක්ක තව තවත් බැ⁣ඳෙමින්, ඒ නොතකා ඉදිරියට යන්නට බැරි බව පෙන්වමින් ඊළඟ මොහොත වඩ වඩා දිදුලන්නට ගනිවී.
2022 දී කූටප්‍රාප්තියට පත්  වුණ අර්බුදයේ පටන්ගැන් ම 2009දී බව වත්මන් මාලිමාණ්ඩුවේ සුබපතන්නෙක් වෙන හිටපු විගණකාධිපති ගාමිනී විජේතුංග විසින් පෙන්වා දී තිබුණා. ඔහු එහි දේශපාලනික ලක්ෂ්‍යයන් මඟ හැර ආර්ථික ලක්ෂ්‍යයන් විතරක් සලකුණු කිරීමේ වරද කළත් මේ තොරතුරුවලින් පෙන්වන්නේ මොකක්ද ?
ලංකාව සමස්තයක් හැටියට මුහුණු දුන් සහ දෙමින් ඉන්න මේ අර්බුදය, කිසිසේත් හොරකම්,වංචා, දූෂණ නැත්නම් ණය හෝ ආනයන-අපනයන ආර්ථිකයට සීමා වුණ එකක් නොවෙන බවයි. ඒ වෙනුවට ඒ පීඩිත ජාතීන් යටපත් කරමින් ගොඩනගන්නට ගිය රාජ්‍යයේ අතුරුඵල බවයි.
තවත් සරල ව කියනවා නම් ලංකාවේ සංවර්ධනයත්, ශිෂ්ටත්වයත්, ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයත් කරා යා හැක්කේ පීඩිත ජාතීන්ගේ සමානාත්මතාවය හා ගරුත්වය පිළි ගත් මාවතක් හරහා විතරක් බවයි.
ඒ තේරුමෙන් ගත්තා ම තමිල් ජාතික විමුක්ති අරගලයේ දිවි කැප කළ, දිවි පුද කළ සියළු විරුවන් මුළු රට විසින් ම හිස නමා ගරු කළ යුතු පුරෝගාමීන් !

 

Saturday, September 14, 2024

කොටියෙකු ට සිංහයකු ගේ දඩයම ප්‍රශ්න කළ හැකි ද ?

 








මේ තියෙන පින්තූර 88-89 කාලේ පත්‍රිකාවක්. ඒක කියවගන්න අමාරු, ඒත් ඕනකමක් තියෙන අයට අකුරු ටික විතරක් මුල් ම කමෙන්ටුවේ.

(ෂෙයාර් කරනවනම් මේ දෙකතුනම අමතක කරන්න එපා)
අප්‍රේල් 5;ඒක හරි වැදගත් දිනයක් නේ. 71 කැරැල්ල පටන් ගත් දවස. මේ කාලවකවානුවේ මොකක් හරි හේතුවක් නිසා එදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් හර්තාල් ප්‍රකාශයට පත් කරපු දවසක්. සාමාන්‍යයෙන් වාමාංශික අපි දන්න 'හර්තාල්' පාරට බැහැල කරන ක්‍රියාකාරකම් වුණාට මේ කියන වර්ගයේ ඒවලදි එළියට බහින්න තහනම්.
එදා අනුරාධපුර - කුරුණෑගල පාරේ තරුණ බඩදරු අම්මා කෙනෙක් අර ගෙන ඉස්පිරිතාලෙට දුවපු ඇම්බියුලන්ස් එකට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් වෙඩි තියලා අම්මත් එක්ක නූපන් දරුවත් මරාදමනවා. ඒ ප්‍රහාරයෙන් කම්පාවට පත්වෙච්ච අම්මා කෙනෙක් අතින් විජේවිර නෝනාට ලියවෙන පත්‍රිකාවක් මේ.
එදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය(DJV)  මෙහෙයවූයේ අද ජාතික ජනතා ව්‍යාපාරය(NPP) මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණමයි. එහි තවත් ප්‍රධාන කොටසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වෙන ම ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

මේ දූපත ඇතුලේ තිබුණ රාජධානි සහ ජනපද රැසක්, එක රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත ප්‍රොජෙක්ට් එකක් හැටියට. ඒ රාජ්‍යය ඇතුලේ සමාන පුරවැසියෝ හැටියට තමන්ට පවතින්න ඕන ඉඩකඩ වෙනුවෙන් සිංහල සහ බෞද්ධ නොවන අයගේ ඕනෑඑපාකම් යටපත් කරල දාලා සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් හැටියටයි මේක ගොඩනගන්නේ. 1972 ව්‍යවස්ථාව වගේ එකකින් මේ තත්වය තහවුරු කෙරුනා. 1978 ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනයෙන් පීඩිත ජාතීන්ගේ දේශපාලන අයිතීන් අවසාන වශයෙන් ම නීත්‍යානුකූල සහ සාමකාමී ඉසව්වෙන් එළියට තල්ලු කරල දැම්මා.
1983 දී තමිල් විරෝධී සිවිල් සංහාරක ප්‍රහාර මාලාව විසින් දකුණ ගැන තමිල් සමාජයට තිබුණු අන්තිම විශ්වාසයත් අහෝසි කෙරුනා. අනිත් හැම වතාවෙමත් මේ වගේ මහජාතිකවාදී ප්‍රහාරයන්වලට රාජ්‍ය අනුග්‍රහය නියමින්-අනියමින් ලැබුණත් 83 තරම් ඒක තීව්‍ර වෙච්ච වෙනත් අවස්ථාවක් නැති තරම්. ඡන්ද නාමලේඛණ පදනම් කර ගෙන එල්ල කරපු ප්‍රහාරයන්, හිරගෙවල් වගේ රාජ්‍ය ආයතන ඇතුලේ ක්‍රියාත්මක කරපු ප්‍රහාරයන්, ලංගම බස් යොදාගැනීම් විතරක් නෙවෙයි එළිපිට ම ඒ වෙනුවෙන් ඇමතිවරුන් දෙදෙනෙකු විතර පෙනීහිටියා; ජනාධිපතිවරයා ඒ සියල්ල ඉවසමින් ඉඩ හදල දෙමින් හිටියා.
සාමකාමී, නීත්‍යානුකූල උද්ඝෝෂණයකට තිබුණ ඉඩකඩ සම්පූර්ණයෙන් ම අකුලා දැමීම ඇතුලේ තම්ල් ජාතික විමුක්ති ව්‍යාපාරය සන්නද්ධව සහ දේශපාලනිකව ශක්තිමත් වෙමින් ඉන්දියානු මහාආණ්ඩුවට පවා බලපෑම් කරන තත්වයකට ගොඩ නැගුනා. අනිත් අතින් ඉන්දියානු හා සෝවියට් පාලනයන්ට ලංකාව තුළ චීන සහ ඇමරිකානු බලපෑම් පාලනය කරගන්න ප්‍රතිරෝධක බලයක් හැටියට තමිල් විමුක්ති ව්‍යාපාරයේ වැදගත්කම ඔවුන් තේරුම් අරන් හිටිය කියල මට හිතෙනවා.
1987 ඉන්දු-ලංකා ගිවිසුම එන්නේ මේ පසුබිමෙන්. වෙන ම රාජ්‍යයක් වෙනුවට බලය බෙදාගැනීමේ පළාත් සභා ක්‍රමයක් ඒ මගින් යෝජනා කළා. ලංකාවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනත මේ අනූව සම්මත කරගත්තේ ආණ්ඩුව ඇතුලේ ම අන්ත ජාතිවාදීන්ගේ විරෝධතා මැද්දේ.
මේ අතරවාරයේ 83 සිද්ධීන් පදනම් කර ගෙන පක්ෂ තුනක් ආණ්ඩුව විසින් තහනම් කරනවා. ඉන් නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂයත් එක්ක එළියට ඇවිත්, අළුත බිහි වූ ශක්තිමත් වාම බලවේගයක් වුණ ශ්‍රීලංකා මහජන පක්ෂයත්, පැරණිතම වමේ පක්ෂය වුණ ලසසපත් එකතු කරන්, තමිල් විමුක්ති සංවිධාන වුණ EPRLF, PLOTE, EROS  වගේ සංවිධානත් හවුල් කරගනිමින් එක්සත් සමාජවාදී පෙරමුණ බිහි කරගන්නවා. මේ වාම සන්ධානය ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පළාත් සභා ස්ථාපිත කරන්නට දිවි පරදුවට තබා සහයෝගය ලබා දෙනවා. තහනමට ලක් වු ජවිපෙ ගමන් කරන්නේ අනිත් පැත්තට. ඔවුන් ආණ්ඩුව ඇතුලෙත්, ඉන් පිටතත් සිංහල ස්වෝත්තමවාදී පිරිස් සංවිධානය කර ගෙන 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය'  නම් සන්නද්ධ දේශපාලන ව්‍යාපාරය ගොඩ නගා මෙහෙයවනවා. දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනි හිටින, ජාතිවාදයට විරුද්ධ සියළු දෙනා 'මව්බිමේ සතුරන්' හැටියට නම් කොට පහර දීමට සහ මරාදැමීමට පටන් ගන්නවා.
මතක හැටියට මේක පටන් ගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායක දයා පතිරණ  සහ එහි ස්වාධින ශිෂ්‍ය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙක් වූ සෝමසිරි පුංචිරාල කපා කොටා දැමීමෙන්. ගෙල සිඳ ලූ දයා පතිරණ ඒ ප්‍රහාරයෙන් ජීවිතය පුද කරනවා. මේ ප්‍රහාරයන් ජාතික සමානත්මතාවය, සමඟිය, එක්සත්කම වෙනුවෙන් පෙනි සිටි වාමාංශික ක්‍රියාධරයන්, සමාජ ක්‍රියාධරයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු දහස් ගණනක් බිලි ගනිමින් ඉදිරියට ඇදෙනවා. ආණ්ඩු පක්ෂය වු යූඑන්පියේ ක්‍රියාධරයන්ටත්, රාජ්‍ය නිලධාරීන්ටත්, රජයේ වැඩසටහන්වලට මොන පදනමින් හෝ සම්බන්ධ වූ අයටත්, පොදුවේ දේ.ජ.ව්‍යා. නියෝග ⁣මොන යම් පදනමින් හෝ ⁣නොතකා හැරිීයයි චූදිත හැමෝටමත් එරෙහි ව එහි දණ්ඩක හස්තය ක්‍රියාත්මක වෙනවා.
දැන් අපේ කතාව පටන් ගත් තැන ඇම්බියුලන්ස් එකකට ඒ ප්‍රහාරය එල්ල කෙරුනේ දරුවා වදන්නට දේ.ජ.ව්‍යා. විසින් තහනම් කළ දවසක් යොදාගැනීමේ වරදට දඬුවම් හැටියට !

මේ ත්‍රස්තවාදය සුජාත කෙරෙනුයේ, ඒ වෙද්දී සන්නද්ධ තමිල් ජාතික විමුක්ති ව්‍යාපාරයේ 'ත්‍රස්තවාදයකින්' රට ගලවා ගැනීමේ පදනමකින් !
මේ කාලයේ සිදු වූ මේ විනාශයන්, ඝාතනයන්, ඛේදවාචකයන් සාධාරණිය කරන්නට ආණ්ඩුව පැත්තෙන් යොදා ගත් රාජ්‍ය ප්‍රතිත්‍රස්තවාදයත් නිදසුන් කොට පෙන්වීමක් තියෙනවා.
තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ 'අත-පය බැඳ ළිඳ ට දැමූ මිනිසා' නිදසුන ! එහෙම වෙලාවක ළි⁣ඳේ වතුර බොර කළ බවට ඒ මිනිසාට දොස් කියන්න බෑ.

ඇත්ත. ඒත් ජවිපෙ හිටියේ එහෙම තත්වයක ද ?
83 දී තහනමට සහ මර්දනයට ලක් කෙරුන පක්ෂ තුනෙන් දෙකක් එක මාවතකත්, ජවිපෙ විතරක් මේ මාවත තෝරාගැනීමත් කරමින් ප්‍රචණ්ඩ පීඩක සිං-බෞ. රාජ්‍යය වෙනුවෙන්, එහි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී හිටියා විතරක් නෙවෙයි; ඒ වෙනුවෙන් තමන් එක්ක ම තහනම ට ලක් වුණ සහෝදර පක්ෂ පවා තමන් ගේ දඩයම් ලැයිස්තුවට ගත්තා. ඉතින් ළිදට දාපු මිනිහ වෙන්නේ ජවිපෙන් තර්ජිත අය මිස වෙන කවුරුවත් වෙන්නේ නැහැ.
ජවිපෙ විසින් දියත් කරපු ත්‍රස්තවාදය, එල්ටීටීඊය ඇතුළු තමිල් විමුක්ති සංවිධාන විසින් දියත් කරපු 'ත්‍රස්තවාදය' එක්ක හරි හරියට සමාන ද ?
'බල්ලයි, හාවයි, නරියයි, අලියයි ඔක්කොම එකමයි; කකුල හතරයි' කීව වගෙ කතාවක් ඒක !
මතුපිට ලක්ෂණ වෙනුවට ගැඹුරින් බැලුවොත් සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යය හැදෙන්නෙම සිං-බෞ. නො වන අසල්වැසි, සහෝදර ප්‍රජාවන් දෙවෙනි, තුන්වෙනි තැනට දාලා. ගැඹුරින් බැලුවොත් එතැන තියෙනවා ජීවිත පවා උදුරගන්න තත්වයන්. ඒක ත්‍රස්තවාදයක්.
ඒ පීඩක රාජ්‍යය, අපි කාටත් සමාන හා ගෞරවණිය පුරවැසියන් විදියට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන් විදියේ රාජ්‍යයක් බවට පත් කරගන්නට මිලිමීටරයකින්වත් ඉස්සරහට තල්ලු කිරිමත්, ඒක බාධා කරලා පස්සට ඇදිල්ලයි එකක් නෙවෙයි දෙකක්.

ජවිපෙ හී, භීෂණ දායකත්වය ගැන චෝදනාවෙන් තවමත් ඔවුන් නිදහස් වෙන්නේ නැත්තේ තාමත් ඔවුන් මේ වර්ගතාන්ත්‍රික රාජ්‍යය වෙනුවෙන් තදින් ම පෙනී හිටින නිසයි. මේ ගැන සැකයක් තියේනම් යාපනේ දී දකුණ දිහා බලා ගෙන අනුර කියන කතාව එයාගේ හඬින් ම අහල බලන්න.

මොන තත්වයක් යටතෙත් ජීවිත උදුරාගැනීම, යටපත් කිරීම, පිඩාවට පත් කිරීම සුන්දර දෙයක් නෙවෙයි. එහෙම කරන්න වෙන තත්වයක දී එහෙම නොවෙන අන්තිම විකල්පයත් හොයාබලන්න අපට සිදු වෙනවා.
ඒත් මේ රාජ්‍යය එහෙම එකක් නෙවෙයි.

72න් පස්සේ ඒ ප්‍රචණ්ඩ පීඩක රාජ්‍යය ඔසවා තියන්න ගත්ත ලොකු ම පියවර වුණේ ගෝඨාභය ගේ ප්‍රකාශිත ජයග්‍රහණය.
ඒ ගමන කෙලවර වෙන්නත් ඉස්සෙල්ල ලංකාව ම බංකොලොත් රාජ්‍යයක් වුණා.ඒක මේ සීමිත පිරිසකගේ හොරකම්, වංචා, දූෂණ වගේ සිල්ලර වැඩකිඩ වලින් වෙච්ච දෙයක් කියන්නේ හිනා නොයන විහිළුවක් !
සිං-බෞ. නොවන අනෙකා එක්ක සමාන හා ගෞරවනීය එක්සත් රාජ්‍යයක් හදාගැනීමේ පාරේ දී මිසක සංවර්ධනයටත්, ශිෂ්ටත්වයටත් වෙන පාරක් නෑ.
මේ දෙකින් එකක් තෝරගන්න පුළුවන්. එක්කෝ ඒක; නැත්නම් මේක !
ජවිපෙ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න මට තහනම් කරන සමහරු ඒකට හේතු දෙකක් ඉදිරිපත් කරනවා. ඉන් එකක්, මම විමුක්ති කොටි හිතවාදියෙක් හැටියට එහි ඝාතන සාධාරණීකරණය කරනවා කියන එක. මේක ඇත්තක් නොවුණත් ඒ ගැන පදනම මෙතැන දක්වා තිබෙන තරම ප්‍රමාණවත් ඇති. දෙවෙනි චෝදනාව තමයි මම රනිල් වික්‍රමසිංහ මේ  මොහොතේ මගේ දේශපාලන නියෝජිතයා හැටියට තෝරාගෙන තිබීමෙන් එයා සම්බන්ධයි කියන දකුණේ සහ උතුරේ ඝාතන හා වධහිංසා ගැනත් පක්ෂපාතී වෙලා තියෙනවා කියන එක. මේකත් පට්ට ම බොරුවක්.
මට සාධාරණිකරණය කරන්න සිදු වුණ ඝාතනයන් තියෙනවා. ඒ හැම වෙලාවකමත් ඊට වඩා වෙනස් ඕනෑ ම පියවරක් වෙනුවෙන් මම පෙනි හිටිනවා. කිසිසේත් ම අර තෝරාගැනීම් සුන්දර නැහැ. වධහිංසා ගැනනම් කොන්දේසි විරහිත විපාක්ෂිකත්වයක් මට තියෙන්නේ.
දැන් රනිල් ට එල්ල වෙලා තියෙන චෝදනා අතර බටලන්ද වධකාගාරය මෙහෙයවීම ගැන ලොකු චෝදනාවක් තියෙනවා. ඒ ඒ අය හිතේ හැටියට මේ චෝදනාව ඩිසයින් කරනව මම දැකල තියෙනවා. එකක් මේ ගැන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මගින් විමර්ශන කොමිෂන් සභාවක් පිහිටවලා කැඳවීමක් කළා ම රනිල් ඒකට සම්පූර්ණ සහයෝගය දීලා ඒ පරීක්ෂණයට යටත් වුණා. එහෙම චෝදනාවක් ඔප්පු වුණේනම් නෑ. දෙවැන්න ඒ කාලේ අතුරුදන් කිරිම්, වධහිංසාවට ලක්කිරීම් ගැන එක ම නඩුවකදිවත් රනිල් චූදිතයෙක් කරන්න මේ චෝදකයන්ට අමතක වෙලා තියෙන හැඩයි. ඉතින් මේකත් නිකම් 'මහබැංකු හොරා' වගේ හිතළු සහ ආශාවන් මත පදනම් වුණ ප්‍රවාදයක්. ටික කලක් යනකොට මේ වගේ බොරු ඇත්ත හැටියට ගැනෙන අවස්ථා කෝටි ගණන් හොයාගතෑකි.
ඒ ඔක්කොමත් තියෙද්දී අද හරි තියෙනවනම් රනිල් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුත්තෙක් කියලා ,මගේ අදහස අද පවා ඒ පරීක්ෂණයට ඉඩ තිබිය යුතුයි.  එහෙම ඉඩ ඇති නීතිමය පදනමක් අමාරුවෙන් නමුත් දැන් හැදී ගෙන යනවා.
වැදගත් ම දේ ඒක නෙවෙයි.
චඇයි බටලන්ද විශේෂ වෙන්නේ ? සපුගස්කන්දේ, බටලන්ද ප්‍රභූ නිලනිවාස පිහිටුවල තිබුණේ බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයත්, ඊට සම්බන්ධ හමුදා කඳවුරත් එක්ක. හමුදාව සහ අතුරු හමුදා ඛාණ්ඩ සම්බන්ධ හැම කඳවුරක් ම පාහේ වධකාගාර හැටියටත් ක්‍රියාත්මක වුණා. විශාලතම සමූහඝාතනයන් සම්බන්ධයෙන් මේජර් ගෝඨාභය නායකත්වය දැරූ මාතලේ කප් ගහල තියෙනවා. මාතර එළියකන්ද කඳවුරේ රැඳවියෙකු වූ අජිත් පැරකුම් එහි අත්දැකීම් ලියා තියෙනවා. උතුරට අරුමයක් නොවුණ මේ වධකාගාර සහ නීතියෙන් බැහැර රැඳවුම් මධ්‍යස්ථාන කුට්ටමනී ගේ අනාවැකි සනාථ කරමින් රට පුරා ම විහිදිල තිබුණා. මේවා උතුරට එරෙහි ව ජවිපෙ සහභාගිත්වයෙන් හා මෙහෙයවීමෙන් ද ක්‍රියාත්මක වුණා.
ඒ මුළු ප්‍රශ්නය, රාජ්‍ය ත්‍රස්තවාදය ගැනත්, වර්ගපීඩක රාජ්‍යයේ සාපරාධීත්වය ගැනත් ගැඹුරු ප්‍රශ්නයෙන් ගලවලා, 'බටලන්ද වධකාගාරය' කියල තනි ලඝු ප්‍රශ්නයකට ගෙන එන එක ඇත්තටම වධකාගාර පැවැත්ම තහවුරු කිරීමේ කුහක හා බිහිසුනු උත්සාහයක් නෙවෙයි ද ?
ඒ නිසයි මට වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නය ඒකේ ලොකු තේරුමෙන් ම ගන්න එක.

වර්ගතාන්ත්‍රික නොවෙන එක්සත්, අළුත් ලංකාවක් වෙනුවෙන් 100%ක් පිරිසිදු කිසි ම බලවේගයක් මේ වෙද්දි දකුණේ නෑ. තමිල් ජාතිය පවා ඉන්නේ දුර්වල තත්වයක. භූදේශපාලනික යථාර්ථයන් ගත්තොත් යම් ආකාරයක ඉදිරියට තල්ලු කිරීමක් ඉන්දියාව පැත්තෙන් වෙද්දී චීනය පැත්තෙන් පස්සට ඇදීමක් තියෙනවා. යුරෝපයේ, එක්සත් ජනපද හා උතුරු කළාපවල, යුරෝපයේ සහ ඕෂනියානු කළාපවල පුරවැසි බලපෑම එක්ක බලබෙදීමක් සහිත නිදහස් වෙළඳපොළ තත්වයකට තල්ලු කිරීමක් වෙනවා.

රනිල් වික්‍රමසිංහ නිර්ව්‍යාජ ලෙස ම පෙනී හිටින්නේ නිදහස් වෙළඳපොළ සිස්ටම් එකක් වෙනුවෙන්. ජාතික ප්‍රශ්නය විසඳන්න වෙන්නේ එහෙම තත්වයක් යටතේ ධනවාදයේ සංවර්ධනයත් එක්ක. මේ වෙද්දිමත් උතුරේ මිලිටරි ග්‍රහණය යටතේ තිබුණ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමෙන්, සිවිල් පරිපාලනය ප්‍රතිස්ථාපනයට සුළු නමුත් ඉදිරි පියවර ගනිමින්, 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නට සපථ කරමින්, බෞද්ධ වැඩවසම් බලකොටු සංචාරක ඇතුලු වෙළඳපොළ ආකර්ශණිය මධ්‍යස්ථාන බවට පෙරලමින්, ආදායම් මූලාශ්‍ර ප්‍රසිද්ධ හා විවෘත කිරීමට පසුබිම් සකසමින් දැනටත් පටන් ගෙන ඇත්තේ ඒ ගමනයි.

අපි සාකච්ඡාව පටන් ගත් අශිෂ්ටත්වයේ, ප්‍රචණ්ඩත්වයේ නිදසුන් ඇත්තටම පරාජය කරන්න පුළුවන් මාවත වැටී ඇත්තේ ඒ හරහා බවයි මගේ අදහස. ඒකට මට රනිල් පාර්ශ්වය තුළමත් අභ්‍යන්තර අරගලයක් තියෙනවා. ඒ අරගලයට පවා ඉඩ ඇත්තේ රනිල් කඳවුර තුළ විතරයි. මොකද, ඒක කාගෙවත් හොඳ හිත, දයානුකම්පාව වගේ හැඟීම් මත වෙනුවට භෞතික යථාර්ථයන් මත පදනම් වෙන්නක් නිසා. නිදහස් වෙළඳපෙොළ පදනම් වුණ ව්‍යවසායකත්ව සමාජයක් කියන්නේ අන්න ඒ භෞතික යථාර්ථයයි.



Thursday, September 5, 2024

මඟ හිටියත්-ගෙදර ගියත්...


 සැප්තැම්බර් 21, ලංකාවේ විධායක කේන්ද්‍රයේ බලය අත්පත් කරගන්නට හතලිහකට ආසන්න පිරිසක් සිය සූදානම ප්‍රකාශයට පත් කර ඇතත් මේ වෙන විට තරඟය අපේක්ෂකයන් තිදෙනෙකුට සීමා වෙමින් තිබේ. දෙකක් නො වී, තුනක් වීම නිසා වෙන කවරදාකටත් වඩා මෙවර දෙවෙනි මනාපයට වැදගත්කමක් ලැබෙන ලකුණු පහළ වී තිබේ. ජනාධිපති ලෙස පත්වීමටනම් ප්‍රකාශිත ඡන්දවලින් හරි අඩකුත්, තව එකකුත් ලබා ගත යුතු ව ඇති  බැවිනි.


සජබ සහ රනිල් සංධානය අතර දෙවෙනි මනාප හුවමාරු වන්නට වැඩි ඉඩක් තිබේ.  නමුත් ජාජබ ඡන්දදායකයන්ගෙන් අනෙක් අයට හෝ අනෙක් අයගෙන් ජාජබට දෙවෙනි මනාප හුවමාරු වෙන්නට ඇති ඉඩකඩ අඩු ය. මේ නිසා මේ තුන්කොන් තරඟයෙන් වඩාත් ම අපහසුතාවයට ලක් වී ඇත්තේ ජාජබ ය.
ජනකාන්ත සිං-බෞ. නායකත්වය වූ ගෝඨාභය පලවා හැරීමේ ජයග්‍රාහී පොදුජන අරගලයේ නායකත්වයේ තනි උරුමය තමන් සන්තක බව කියා පාන කණ්ඩායමකට වාම ජනප්‍රියවාදය ගැන න්‍යායාචාර්යවරුන් වූ දෙපළක් දැන් ජාජබ වෙත හිමින් සීරුවේ සීරුමාරු වී තිබේ. ඔවුන්ගෙන් ප්‍රමුඛතමයා විසින් ආසන්තම මොහොතක ලියු ලිපියකින් පෙන්වා දෙන්නේ ජාජබ ජයග්‍රහණය සඳහා රනිල්-සජිත් කඳවුරු අතර තරඟය උත්සන්න කිරීම වැදගත් ම උපායමාර්ගය වනු ඇති බව ය.

ජාජබට ඉහත තුන්කොන් තරඟය අතර අහිමි වන වාසිය උදෙසා තම වඩාත් ආසන්න ප්‍රතිවාදියා වන සජිත් පරාජය කිරීමට මේ උපක්‍රමය යොදාගන්නේ නම් රනිල් වෙත දෙවෙනි මනාපය සඳහා දිරිගැන්වීම් කළ යුතු ව තිබේ.
එහෙත් එතැන දී ද ජාජබ සිටින්නේ අර්බුදයක ය. ජාජබ මුළු ඡන්ද පදනම ම නිර්මාණය වන්නේ රනිල් විරෝධී ඝෝෂාවකිනි. මෙහි දී  ඉහත කී 'අරගල උරුමක්කාර' කල්ලිය විසින් රනිල් විරෝධයේ බූදල්පත්‍රය තමන් සතු කරගන්නට සිය සවිය යෙදවීමෙන් ජාජබ තුළ ඇති ආන්තික වාම ක්‍රියාකාරී ස්ථරය අවුල් කිරීම හරහා කරන බලපෑම ද සුළුපටු නො වනු ඇත. ගෝල්ෆේස් නිමේෂයේ දී එතෙක් ජවිපෙ සතුව තිබූ පෝෂණ මූලයන් පැහැරගැනීම මගින් තාවකාලික වුව ද මේ කණ්ඩායම මුළුමහත් ජාජබ අර්බුදයට යැවීමේ තම හැකියාව ගැන සලකුණු පෙන්වා තිබේ. (ඒ තුළින් ඔවුන් ලද ජයග්‍රහණයක් නැත ද තම සමීපතම සතුරා පරාජය කිරීමෙන් ලබන 'අල කිරීමේ සතුට' අත්පත් කරගැනීම පමණක් වුව ද ඔවුන්ගේ පැවැත්මට ප්‍රමාණවත් වනු ඇත)

සියල්ල අවසානයේ මේ වර විය හැකි පරාජයක් මාරාන්තික වන කණ්ඩායම් දෙක වනු ඇත්තේ සජබ සහ ජාජබ ය. සජබ ට ද සිය මහගෙදර තිබේ. අනාථ කම්මුතු වී යන්නේ ජාජබ ය. ජයග්‍රහණය සඳහා ජාජබ අන්කිසිවකුටත් වඩා වියරු ස්වරූපයේ ප්‍රයත්නයක් දැරීම මේ අනූව තේරුම් ගත හැකි ය.

කවුරු ජයග්‍රහණය කළ ද වාස්තවික යථාර්ථයන් විසින් බල කර ඇති පරිදි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා වැඩපිළිවෙල හැර අන් යමක් ඉදිරියට ද ක්‍රියාත්මක නොවනු ඇත. එතැන දී ද ප්‍රතිවිරෝධී පොරොන්දු පොට්ටනි මත බලය අත්පත් කරගතහොත්, ඒ මොහොතින් පසු සජබටත් වැඩි අර්බුදයකට ⁣මුහුණ දෙනු ඇත්තේ ජාජබ ය. ඒ විසින් ගොනු කරමින් සිටින්නේ ඉතිහාසයේ වඩාත් ම එකිනෙකට ප්‍රතිවිරෝධී බලවේගයක් බැවිනි. ආන්තික සමාජවාදී පොට්ටනිය ටිල්වින් හරහා ද, ලිබරල්වාදී පොට්ටනිය හරිනි හරහා ද, මේවා අතර සමහන් පොට්ටනිය ලාල්කාන්ත හරහා ද ආදි වශයෙන් නමුදු එක ම පොට්ටනියක් ලෙස ඉදිරිපත් කරමින් සිටින ජාජබ, බලය ලදහොත් ඒවා අතර වන ප්‍රතිවිරෝධතා ගුගුරා පුපුරා යන මොහොතට මුහුණදීම සඳහා එක ම වූ වැඩපිළිවෙළක් ඇති බවක් පෙන්නුම් කරන බවක් නොපෙනේ.

බලය ලබා ගැනීමේ මෙන් ම එය ලදහොත් තහවුරු කරගැනීමේ හෝරාවන් හි දී ජාජබ මත කඩා වැටීමට නියමිත මේ ව්‍යවසනය මුළුමහත් ලංකාව මත ද පහළ වීමට නියමිත ය. ජාජබ බලය ලැබුව ද නැත ද ව්‍යවසනය කුමන ස්වරූපයකින් හෝ පහළ වීමේ නරක පෙරනිමිති අප ඉදිරියේ ය.
"මේ වෙලාවේ බැරි වුණොත් ආයේ කවදාවත් බෑ" යන්නත්, "තනි බලයකට ජවිපෙ උත්සාහ දරතොත් ජවිපෙ නොවන ජාජබ ද ඊට මුහුණ දෙන්නට සූදානම්"  බවට ඇතුලත හාහෝවත් වැනි මේ සලකුණු මගින් සලකුණු කරමින් තිබෙන්නේ සැප්තැම්බරයෙන් එහා පොළොවේ දේශගුණය වෙන්නට පුළුවන. 

Tuesday, September 3, 2024

'සිවා' මරමින් සිවා 'සැමරීම' !


 


ඊයේ සිවා මහත්තයා හෙවත් සබාපති සිවගුරුනාදන් ගේ උපන්දිනය !

ඒ අපි කවුරුත් දන්න හඳුනන පරිවර්තකයා.

ඒත් එච්චර ද ?

අගෝස්තු 29 බ්‍රහස්පතින්දාවේ ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාලාව සිවා උපහාර උළෙලට ගලා ආපු සෙනඟින් අතුරුසිදුරු නැතිව පිරිල ඉතිරිල ගියා.
ජීවරත්නම් සුරේෂ් විසින් සංග්‍රහ කරපු උපහාර ලිපි ඇතුලත් පොතට වියමනක් බාර දිය නොහැකි වූ පනස්වෙනියා දක්වා නොයෙක් තරාතිරම්වල අය දායක වෙලා තිබුණා.
"කොළඹ, නුවර, කුරුණෑගල, මීගමුව හැමතැනම එන්ජීඹ් පොරවල් ඔක්කොම මෙතැන නේ" මිත්‍රයෙක්ගේ නිරීක්ෂණයකට මට එකතුවක් තිබුණා.
"විශ්වවිද්‍යාල, එක එක කොමිෂන් සභා, පාර්ලිමේන්තු නිලධාරීන් වගේ රාජ්‍ය අංශයත් එතැන නේ"
වේදිකාව මෙහෙයවපු නදීරා සහ ජේසුදාසන් පෙන්නල දීපු හැටියටත් මේ හැමෝටම ඕන වුණේ සිවාට 'තෑන්ක්ස්' කරන්න.
වෙනස් කතාවක් කාටවත් තිබුණේ නෑ. තෑන්ක්‍යු කියන අතරේ තමන් ගේ පුද්ගලික අත්දැකීමේ කොටස ඇඩ් කිරීමක් විතරයි. ඒ ආපු දාස්ගානක් කතා කළත් ඊට වඩා දෙයක් කියවෙන එකක් නෑ.
සිවා එක්ක එකඟ නැති කිසිකෙනෙක් නැති තරම්.
අදටත් ඉවරයක් නැති පරම සතුරු සමාජයන් දෙකක අතරමැදියා වෙන සිවා ට මෙහෙම උත්කෘෂ්ට පිලිගැනීමක් ලැබෙන්නේ කොහොමද ? විශේෂයෙන්  ම මහා සිංහල සමාජයෙන් සුළුතර තමිල් මනුස්සයෙකුට ?

සිවා එක්ක කාටවත් ගැටුමක් නෑ !

ඒක ඇත්ත; හේතුව තමයි ඕනෑ ම ගැටුමක දී සිවා බලවන්තයාට ඉඩ දී, තමන් ගේ පැත්ත අකුලගන්න එක !

අපි අතර සමහර වැඩ ගැන විවාදයන් ඇති වුණා ම සිවා ඒක නිරාකරණය කරන්නේ මේ විදියට;
"අපි මේක ඉස්සෙල්ල කරල ඉමු. ඊටපස්සේ ඒක කිරීම හරි ද වැරදි ද කියල ඕන තරම් විවාද කරමු"
ඉතින් ඒ ක්‍රමය යටතේ 'අදහස් ප්‍රකාශනයේ අයිතිය' ඉහළින් ම සුරැකෙන අතර සංවාදය හෙවත් කයිවාරුව මියෙන තෙක් වුව පවත්වා ගත හැකි ය !

ඔහු ගේ පරිවර්තනයන් ගැන මතු වෙන බර විවේචනයක් මම දවසක් සිවාගේ අවධානයට යොමු කළා.
"ඔයා අදහස් සැන්ඩි කරනවා කියල ක්‍රිටික් එකක් තියෙනවා"
මත්පැන් නොගන්නා සිවා ට සැන්ඩි කිරීම යනු කුමක්දැයි උදාහරණ නැතිව ම තුන්තේරුම් කරන්න වුණා !
එදා උපහාරය දා සිවා තමන් ගේ කතාවේදීත් මේ විවේචනය ගැන තමන් ගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කළා.  
"පරිවර්තකයෙකුගේ කාර්යය වෙන්නේ සංවාදය පවත්වා ගෙන යාමයි. කොයි පැත්තකින් හෝ ඊට බාධා වෙන විදියට දැඩි අදහසක් ඉදිරිපත් වුණොත් ඒකෙන් සංවාදයට බාධා වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒ කතාව ඒ ටිකක් 'සරල' කරන්න වෙනවා..."
මේ අටුවාවට ටීකාවකුත් දෙන සිවා තවදුරටත් මෙහෙම පැහැදිලි කළා.
"තිම්පු සාකච්ඡාවලදී තමිල් පාර්ශ්වය නියෝජනය කරපු හැමෝම කිව්වා 'තමිල් කියන්නේ වෙන ම ජාතියක්(Nation)' කියලා. ලංකාණ්ඩුව පැත්තෙන් කිව්වා "නෑ; ඔයාල 'ජනවර්ගයක්'(Ethnic group)  කියලා.ඉතින් එතැනින් ම සාකච්ඡාව ඉවරයි !"
තවදුරටත් ටිප්පනියක් සපයන සිවා මෙහෙමත් කීවා;
"සිංහලෙන් 'ජාතිය' කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. කෑම 'ජාතිය' කිව්වම එකක්; කුලයටත් 'ජාතිය' කියල කියනවා...."
දැන් මේ ටිප්පනිය මගින් සිවා කරන්නේ සැන්ඩිවලින් විතරක් බෝතලයම පිරවීමයි !
ඔතැන දී 'ජාතිය' කියන වචනයෙන් කියවෙන්නේ වෙන කිසිම කෙහෙල්මලක් ⁣නොවේ; ස්වාධින දේශපාලන අනන්‍යතාවයක් හිමි ජනසමූහයක්. 
'ජාතියක්' හැටියට පෙනී හිටින්න ඕනකමත්, ඒක ප්‍රතික්ෂේප කිරීමේ ඕනකමත් එන්නේ ඒ නිශ්චිත ජනසමූහයාට ස්වාධින අනන්‍යතාවයක් ඇති පිරිසක් හැටියට පිළිගන්නවා ද-නැද්ද යන්න මතයි.
තිම්පුවේදීත් ඕක කවුරුත් නොදැන හිටියා නෙවෙයි. ඒ නිසා "හරි;එහෙනම් අපි ජනවර්ගයක් තමයි"  කියල වචනයක් පිළිගැනීමෙන්වත්, "අපි ජාතියක්වත්, ජනවර්ගයක්වත් නෙවෙයි;ඔක්කොම මනුස්සයෝ" වගේ වචන ගේම් එකක් ගැහීමෙන්වත් ජාතික ප්‍රශ්නය ගැන මොන ම විසඳුමක්වත් එන්නේ නෑ.

1948දී  'නිදහස් විජිතයක්' හැටියට ලංකාව පිරිසක් විසින් බාරගනිද්දී, මේ බිමේ ම තවත් පිරිසක් ඒ නිදහසෙන් පිටුවහල් කර තිබුණා. ලංකාවේ 'වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය' වැඩකෙරුවේ බහුතරයේ බලයට සුළුතරය යටපත් කරගැනීමේ භාවිතයක් එක්ක. මේකේ තීව්‍රතම ප්‍රකාශනය 1956 කාලවකවානුවේ දකින්න පුළුවන්. බණ්ඩාරනායක විසින් "සිංහල-තමිල් ස්වභාෂාවන් රාජ්‍ය භාෂාවන් බවට පත් කරනවා" කියල තුරුම්පුවක් ගැහුවාම, අනිත් පැත්තෙන් 'සිංහල පමණක්' කියන තුරුම්පුව වදිනවා. බණ්ඩාරනායකත් ඒකට දෙවෙනි නොවෙන්⁣න 'පැය විසිහතරෙන්  සිංහල විතරක් රාජ්‍ය භාෂා කරන්න' හයිය තුරුම්පුවක් ගහනවා. මේ විදියට  බහුතර සිංහල ප්‍රජාව අන්දගන්න පුළුවන්නම් බලය අත්පත් කරගන්න පුළුවන් කියන සූත්‍රය දිගටම වැඩ කරන්න ගන්නවා. මුළු රාජ්‍ය යන්ත්‍රය ම, ඒ කියන්නේ, පාර්ලිමේන්තු, ඇමති මණ්ඩල, රාජ්‍ය සේවය, උසාවි, පොලීසි, හමුදා, සංවර්ධන ව්‍යාපෘති ආදි ඔය හැම මඟුලක් ම සංවිධානය කෙරුනේ බහුතර සිංහල ප්‍රජාව අන්දගන්න පුළුවන් විදියට.
56 සිංහල භාෂා ආධිපත්‍යය, සිංහල බුදුන් ගේ බුද්ධ ජයන්තිය, වාහනවල එල්ලූ සිංහල 'ශ්‍රී'ය වගේ උත්කර්ෂවත් අවස්ථා ගණනාවක් අස්සේ සිංහල බෞද්ධ අම්මෙකුටයි, තමිල් හින්දු අප්පෙකුටයි දාව සිවා ඉපදිලා හැදෙනවා;වැඩෙනවා.

ඒ එකතුව කොහෙත් ම සරල නෑ. සිංහල සහ තමිල් සමාජයන් මේ රට ඇතුළේ මුහුණ දෙන හැම අත්දැකීමක් ම වගේ මේ පවුල ඇතුලෙනුත් ප්‍රකාශයට පත් වෙනවා. දෙමළෙක් එක්ක ගිය සිවා ගේ අම්මා සිංහල නෑයන් විසින් පිටුවහල් කරනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා "මොකද මේ ළමයට දෙමළ නමක්" කියල ඒ අම්මගේ කණ රත් වෙන්න ප්‍රශ්න කරනවා. අම්මට ඕන කරනවා තමන්ගේ පුතා, සිවා 'සිංහල' කරවන්න. තාත්තාට හිතුවක්කාර විදියට බලය පාන්න බෑ. තමිලෙකුට මේ රටේ දි මුහුණ දෙන්න වෙන ඉරණම අත්දකිමින් ඉන්න ඒ තාත්තා ඒ අම්මා ට ඉඩ දීල පැත්තකට වෙන්නේ 'එක්කෝ පුතා සිංහල වෙන තරමට මේ රටේ දී තමිල්කම මත පටවල තියෙන හිරිහැරකාරි කරච්චලයෙන් එයාවත් ගැලවේවි' කියල හිතල වෙන්නත් පුළුවන්. 
සිවා ඉගෙනගත්ත රත්මලාන හින්දු විද්‍යාලයේ හත-අට වගේ පංතියක දිග නිවාඩුවකට පස්සේ යාළුවෝ ආපහු ආවේ ඔය භාෂා ප්‍රශ්න, ශ්‍රී ප්‍රශ්න ඔක්කොම එක්ක තමන්ට එල්ල කෙරුන ප්‍රහාරයන් මගින් ගතේ-සිතේ ඇති කරපු තුවාල කැළැල් එක්ක. ඉස්කෝලේ මැල් මහත්තයගේ සිංහල පංතිය පුංචි උන් විසින් අල කරල දැම්මේ ගුරුතුමා එක්ක ප්‍රශ්නයක් නිසා නෙවෙයි. බලහත්කාරයෙන් තමන් මත පටවපු භාෂාවක් ඉගෙන ගන්න ඔවුන් සූදානම් වුණේ නෑ.
මේ නිසා වඩා ම කම්පාවට පත්වුණේ සිවා ගේ අම්මා.
එයා සිවා එක්ක යනවා පංසලට.
බුද්ධාගම;සිංහල එක්ක !
හාමුදුරුවෝ ඉතා ම කරුණාවන්ත හිතෙන් සිවා ව 'ධර්මසේන' කියල සිංහල නමකින් යළි උපද්දවනවා. බෞද්ධ පන්සල ඇතුලේ තමිල් ළමයෙකුට අත් වෙන්න පුළුවන් ඉරණම ගැන මහා අවබෝධයකින් ඒ දේ කෙරෙන්නේ.
ඒ තමයි සිවා ඉගෙනගන්න පළමුවෙනි පාඩම !
'නුඹ පෙළන මහාඑකාගේ අනුකොටසක් වනු;නුඹේකම නැසී නුඹ රැකෙනු ඇත!'

ඒකට ලංකාවේ පාර තමයි බුද්ධාගම.

තමිලෙකුට වුණත් බෞද්ධ වෙතෑකි. ඒත් ඒ එක්කම සිංහල නොවුණොත් ඒ බෞද්ධකම සම්පූර්ණ වෙන්නේ නෑ. බෞද්ධ නොවුණොත් සිංහලකම සම්පූර්ණ වෙන්නේ නෑ.
මහත්මා ගාන්ධි වගේ සිවා දකින්නේ නෑ හින්දු ආගමට දර්ශනයක් තියෙන බවක්. ඒක වත්පිළිවෙත් මාලාවක් විතරයි කියන සිවා, දර්ශනය දකින්නේ බුද්ධාගමෙන්. ඒත් ඒ සිංහල පන්සල උගන්වපු බුද්ධාගමේ 'දර්ශනය' !  'තුවක්කු කටෙන් දේශපාලනය උපදින' බව කියපු මාවෝවාදී වාම දේශපාලනයෙදිත් සිවා කියන්නේ බෞද්ධයෙක්.

දෙවෙනි පාඩමත් ඒ පන්සලෙන්.
පන්සල් අධ්‍යාපනය විසින් හික්මවපු දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් වෙන සිවා ට ජයග්‍රාහී සහතිකපත් ගණනාවක් ලැබෙනවා.ඒත් ඉතින් 'ධර්මසේන' ගේ සහතික වලින් සිවා අල කන්නයැ ! මේ ද්විත්ව රංගනය විසින් විඩාපත් කරවන සිවා අන්තිමට තීරණය කරන්නේ තමන්ට සිංහල-බෞද්ධ සමාජයට සිවා හැටියට ම ඇතුල් වෙන පොටක්.
ඒක තමයි දෙවෙනි පාඩම !
හින්දූත්වය යටපත් කර ගෙන, තමිල් පීඩිත ප්‍රතිවිරෝධතා දැක්වීමේ අභිලාශය මඟහැර ගෙන මතු වෙන සිවා ට පුළුවන් වෙනවා දකුණ විසින් පිළිගන්න යහපත් දෙමළා වෙන්න.
පාර කියන්නේ බුද්ධාගම එක්ක වම !

'මනුෂ්‍යත්වයට අයිති දේ කවරකු විසින් හෝ සොරකම් කළ විට මතුවෙන්නේ අමනුෂ්‍යත්වය' කියල සිවා තමන් එක්ක කීව බවක් මහචාර්ය ජයන්ත සෙනෙවිරත්න කියනවා.  'තිස් අවුරුදු යුද්ධය කියන්නේ 48 ඉඳන් අද දක්වාත් කර ගෙන යන හොරකමක ප්‍රතිපලයක් කියල , මනුෂ්‍යත්වය දිනාගැනීමටනම් මුළින්ම අප අමනුෂ්‍යයන් වෙන්නේ කොහොමදැයි දැන ගත යුතු බවක් ඒ වෙලාවේ සිවා කීවා  කියන්නේ ඇත්තනම්,  ඒ අපිට හුරුපුරුදු සිවා නෙවෙයි.

දෙපසක පිරිසකට දෙපසට යන්න එන්නට නිහඬ කොන්ක්‍රීට් පාලමක් සේ මෙහෙ කළ සිවා දැන්වත් තමන්ගේ හිස තුළ සඟවාගෙන සිටින ඒ මහා මතකයන් එළියට විවෘත කළ යුතුව ඇතැයි ආචාර්ය උදාන් ප්‍රනාන්දු ප්‍රාර්ථනා කරනවා.
සිවා විසින් ම යටපත් කර ගෙන සිටින පීඩිත තමිල් සිවා,  ඒ කටුවේ පිපුරුමක් වුණ විස්මිත හා දුර්ලභ මොහොතක ජයන්ත සෙනෙවිරත්නට මුණගැසුනා වත් ද ?

පහුගිය 29වෙනිදා උපහාර දක්වන්න කියල කොබ්බෑකඩුව ශාලාව පිරී ඉතිරී යන්නට එකතු වුණ සකලවිධ මහාසමාජය විසින් 'ගැටුමක් නැති- ආගමක් නැති- ජාතියක් නැති සිවා' උස්සමින් සිදුකෙරුවේ, සිවා විසින් නියෝජනය කෙ⁣රෙන බව කියන පීඩිත තමිල් ජාතිය සම්බන්ධ දකුණේ කුහකත්වය උත්කර්ෂවත් කරන සමූහ යාගයක් ! හරියට දකුණේ මුළු සමාජය ම එකතු වෙලා බොදු බැති ගී ගයපු මුස්ලිම් මොහිදින් බෙග් තමන්ගේ 'අතිඋත්කෘෂ්ට ලාංකිකයා' සම්බන්ධ පරමාදර්ශයක් හැටියට උස්සල පෙන්නුව වගේ.
කලක් මම සේවකයකු වුණ, තවත් කලෙක නියෝජ්‍ය ලේකම්වරයා වුණ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ (MDDR) අද  දවසේ සභාපති පුටුවේ වාඩිකරවල ඉන්න සිවා එහි සමාරම්භක නායකයෙක්. ඒකත් ඇතුළුව ලංකාවේ ඊනියා සිවිල් සමාජයත්, රාජ්‍යයත් ඒ තරම් වෙනසක් නැතිව වර්ගතාන්ත්‍රික රාජ්‍යයට අත නොතබා ඉන්නට පරිස්සම් වෙන විදියත්, ඒකට සිවා වගේ චරිත පාවිච්චි වෙන විදියත් ගැන කදිම නිරූපනයක් සිවා උපහාරය ! රාජ්‍යයත්, සිවිල් සමාජයත් ප්‍රජාතන්ත්‍රවාදය සොයමින් ඉන්නේ උතුරු කටුව අහිමි මාලිමාවන් භාවිතා කරමින්. 

සිවා කියවා ගැනීම අතිවිශාල සමාජ වටිණාකමක් ඇත්තක් කියල මට හිතෙන්නේ මේ හැම දේ ම නිසා.
සිවාට සුබපතන්න රාත්‍රියේ කතා කරල දීර්ඝායු පැතුවා ම සිවා කීවා "දැන්නම් හිටිය ඇති කියලයි හිතෙන්නේ" කියලා.
"ඔව්; ඔය විදියට හිටියනම් ඇති තමයි. ඒත් වෙන විදියක පැවතීමක් තව ගොඩක් කාලෙකට ඔයාගෙන් ඕන වේවි සිවා මහත්තයා" මම කීවා.
සිවාගේ උපන්දිනය නිමිත්තෙන් මගේ ප්‍රාර්ථනාව ඒකයි.

Saturday, August 31, 2024

අන්ස්මාර්ට් අවකාශයක අතරමං කාලයකට පසු...


 මේ කාලවකවානුවේ ස්මාර්ට් ෆෝන් එකකට කෙල වී යාම වූ කලී ජීවිතයෙන් තුන්කාලකට ම කෙල වී යාමකි;සමහරවිට ඒ කෙලවරත් පන්නන්නකි.


ඉතින් මටත් පහුගිය ටිකේ වුණේ ඔය සන්තෑසිය ම ය !

සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ටිකේ දො⁣රටු විවර කරගන්නට නොහැකි වූයෙන් සම්බන්ධතා වැඩි ම හරියත් ⁣බ්ලොක් ය ! ඒවායේ කියවෙන සහ නොකියවෙන දේ ඇසුරෙන් එක එකා ගේ-එකී ගේ අප්ඩේට් ඔක්කොම මිසින් ය ! උන් ඒවායේ වැඩි හරියක් පෙන්වන්නේ බොරුවක් බව ඇත්ත ය. ඒත් 'ඇත්ත හමුවීම්' යයි කියන ලයිව් මුණගැසීමුත් ඒ කියන තරම් ඇත්ත නොවන බවත් ඒ තරමට ම ඇත්තකි.

ඉතින් මම ආයෙමත් සයිබර් අවකාශයට ඇතුලු වන මේ වෙලාව වෙද්දී කවදාවත් හොයාගන්නට බැරි විදියේ හේතු අටෝරාසියක් එක්ක ඡන්මාන්තර වෛරක්කාරයන් පිරිසක් මේකේ ෆ්‍රෙන්ඩ්ස් කියන ලැයිස්තුවේ උන් අතර මතුව-පැතිර-විසිර තිබුණොත්  ඒ ගැනත් කරන්නට කිසිඳු ඉටිගෙඩියක් ඉතිරි නොවනු ඇත.

සයිබර අඹරේ චිත්‍රපටයක් බලන්නටවත්, කයිවාරුවකට ඇහුම්කන් දෙන්නටවත් මට අවකාශයක් නො වී ය. මගේ ඩේටා මූලාශ්‍රය ද මේ ස්මාර්ට් ෆෝනය ම වූ බැවිනි. ඒ බැවින් ඒවා මුල් කොට ගත් කතාබහට ද බැරිකේඩ හරහට විය.

අප්‍රසන්න එලාර්ම් නාදය මිසින්ග් වීම හේතුවෙන් ජීවිතය කොයි තරම් අප්‍රසන්න අත්දැකීම් කරා පොළා පනීදැයි පසක් කරගන්න ට ලැබුණේ මේ කාලයේ ය.

බැංකු කටයුතු අතින් එකපාරට ම අසූ ගණන්වල අවාසනාවන්ත ජීවියකු බවට මම රූපාන්තරණය වී සිටියෙමි. එබැවින් ඒවා බොහෝමයක් ස්කිපින් වී ගොසිනි.

ජීවිතය ගම්-රටවල සීමාවන් පන්නා කොයි තරම් සුවිසල් පුළුල් වීමකට ගොස් ඇත්දැයි පසක් කරවන්නට ස්මාර්ට් ෆෝනයක් නොමැති අවකාශය අසීරු පාඩමක් මට කියාදෙමින් සිටියේ ය.

මේ අතර හැත්තෑහතර අවුරුද්දක් තිස්සේ ⁣කෙරිච්ච ඉටිගෙඩියක් නැතැයි කියමින්, ඒ අහවල් 'ඉටිගෙඩිය' ඉටු කරලීමේ පාරමී මහාමේරු තරමින් දෙසා බාන හිස් මිතුරු-මිතුරියෝ බොහෝ දෙනා මට ලයිව් ද  මුණගැසුනි. උන් ද සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්වල නොයෙක් වෙස්මූණු දරා ගෙන රඟපාමින් සිටිති.  ස්මාර්ට් ටෙක්නොලොජියෙන් මෙහා ලෝකය කොයි තරම් පටුදැයි උනුත් නොදන්නා පාඩමක් උන් විසින් කියා දෙමින් සිටියහ.
"උඹ නැති වුණා ම අපට අපිවත් නැති වුණා වගේ" යයි කියමින් මේ අතර තවත් මිතුරු-මිතුරියෝ පිරිසක් පුනරාගමනයක් උදෙසා මට මාවත් තනමින්, දොරටු විවර කරමින්, ව්‍යාපෘති දියත් කළහ.
මගේ අතට යළි ස්මාර්ට් ෆෝනයක් ලැබින !
උන් කාටත් ස්තූති ය !

ඒත්, දිගු කලක් මිසින් වී තිබූ සයිබරයට පය ගහන්නට  මා තුළ වැඩී තිබූ දාර කම්මැලිකමක් තවත් මාසයක් විතර යන තුරු මැඩගන්නට පහසු නො වී ය.

ඒ කම්මැලිකමේ විද්‍යාව වෙන ම ම කතාවකට සුදුස්සක් යයි සිතමි.

ඉතින් , මට හුරු පුරුදු විදියේ හෙමින් ගමනින්, දැන් යළිත් මම සයිබරයේ සක්මන් කරන්නට පටන් ගෙන සිටිමි. 

Sunday, May 19, 2024

මුල්ලෙවෛක්කාල්-නොදුුටු තාක් කල්...

මුල්ලෙවෛක්කාල් ඛේදවාචකයක් !

'ජයග්‍රහනය' අං තට්ටුවක් !


'නැත්තටම නැති කරපු' , 2009න් පස්සේ මිහි පිට නැති සංවිධානයක්, යළි යළිත්,මේ දැනුත් තහනම් කෙරෙන්නේ ඇයි? (ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ බොහෝ රටවල්වල එල්ටීටීඊය තවමත් තහනම්. ගිය සතියේ ඉන්දියානු මහ ආණ්ඩුවත් තව අවුරුදු පහකින් එල්.ටී.ටී. ඊ. තහනම දිගු කරන්න තීරණය කළා)
'ජයග්‍රහනයක්' ගැන පාංපෝරි ගහන මුඛරීන්ට සිය සිහි බුද්ධිය ආපහු ලබාගන්න ඇත්තටම ඕන නම්,  කල්පනා කරන්න හොඳ කමටහනක් ඔන්න !

මේ 'තහනම්' සීන් එක ලෝකයා විසින් ලංකාවේ 'අහිංසක' සිංහලයා අන්දවන්න ගහන ගේමක් කියලත් හිතන අමනපාලල, අමනවතීලා ඉන්නවා.  ඒගොල්ලන්ට අනූව මේ තහනමත් ගේම්; ඉවත් කිරීමත් ගේම්. දෙකෙන් කොයි එක කළත් මේ යක්කු කියන්නේ 'අන්න ලංකාවට කෙලෝන කුමන්ත්‍රණ' කියලා. (එගොල්ලා හරි ආසයි ඔය 'කුමන්ත්‍රණ' කතා රසවිඳින්න!)
ලෝකයා එහෙම කරද්දී 'අන්දන කුමන්ත්‍රණ' හඳුනාගන්නා මේ ජහමනයා ලංකාවෙන් ම එහෙම කරද්දී ඇඳගන්නේ සීතාම්බර පට රෙද්දවල් ! ඒ නිසා හිතා ඉන්නේ කාටවත් පේන හෙලුවක් නැති බවක් !
අදින් අවුරුදු පහළොවකට කලින්, අද වගේ දවසක, එදා ජන+අධිපතියා වූ පළමුවෙනි රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ (පස්සේ ඔහුගේ සහපිරිවර සේනාවට අනූව 'නාකි මයිනා') ගුවනින් බිමට වැඩම කර, ''අනේ මගේ පිංබර ගොං පොළොව' කියා, පොළොව මත උම්මාවක් දුන්නේ මේ සෙට් එකේ හෙල ජාන ලොම් කෙලින් කරමින් ! අර සීතාම්බර පට රෙද්දේ කේස් එක නිසා ඒ ඇන්දිලි පේන්නේ නැති ජාත්‍යන්ධ කමක් මේ ඇත්තන්ට තියෙනව.
එයාලගේ මේ ඇන්දිල්ල ලොකුවට මහන්සි වෙලා කරන්න තියෙන වැඩක් නෙවෙයි. රෙද්ද පෙන්නන පරක්කුව විතරයි; පැනලා ඇඳගන්න කට්ටිය පෝලිම් පැන ගෙන එන්නේ !
මේ සෙට් එකෙත් ලොකු සෙට් එක සිංහල ජහමනයා තමයි; තමන්ගේ ජනසමූහය ඇතුලේ තැනක් දිනාගන්න බාධා වුණ, ඒ වෙනුවෙන් තනිව හෝ සාමුහිකව ෆයිට්එකක් දෙන්න තරමට කොන්⁣දක් නැති සිංහල නොවන පිරිසුත් මෙතැන නැතිව නෙවෙයි. ඒ අය ගේ ට්‍රයි එක අර ලොකු සෙට් එකට සෙට් වීමෙන් තමන්ගේ පොඩි එක ලොකු වගේ පෙන්නගන්න පුළුවන් කියන එක. ඔය අතරවාරයේ දී තමන් ගේ ලොකුකම ගැන නිරන්තර සැකෙන් බයෙන් ඉන්න ලොකු ජාතියේ පොරවල් විසිහතර පැයේ ම කල්පනා කරමින් ඉන්නේ ඇත්තටම තමන් ව 'ලොකුවට' පෙන්නා ගන්නේ කොහොමද කියන එක !

ඔන්න ඔතැනට තමයි රාජපක්ෂවරු අමතන්නේ. මේක බණ්ඩාරනායක වර්ෂන් එකේ අප්ඩේටඩ් එක ! (බණ්ඩාරනායක කියන්නෙත් සේනානායක-කොතලාවල වර්ෂන්වල අප්ඩේට් එකක්)

මේ කියන 'යුද ජයග්‍රහනයේ' පාම්පෝරිකාර ⁣තඩි බේගලය පාදම කර ගෙන 'රාජපක්ෂ සිස්ටම්' එක නිර්මානය වෙන්නේ ඔන්න ඔතැන.

රාජ්‍ය යන්ත්‍රය සිං-බෞ. පදනමින් ප්‍රතිනිර්මාණය කිරීම තමයි රාජපක්ෂ සිස්ටම් එක.
ඒකේ උච්චස්ථානය වුණේ කිසිදා දේශපාලනඥයෙක් නොවුණ, ඒත් අර උත්කර්ෂවත් මුල්ලේවෛක්කාල් සංහාරක වීර ප්‍රතිරූපකයා වුණ  ගෝටාබය උස්සන් ඇවිත් ජනාධිපති පුටුවේ ඉන්දවන එක.
ඒ නාටකය අවසන් වෙන්නේ එහෙම උස්සන් ආපු ජහමනය ම 'ඉලල්වේ හිට්ලර්-ලැබුණේ චැප්ලින්' වර්ගයේ මනස්ථාපයකින් ගෝටා ගේ සනුහරේ ම උස්සා පොළොවේ ගසන්නට සිංහ කොඩිත් උස්සන් මාළිගාව වටලෑමේ සන්දර්ශනයකින් ! ඒ සන්දර්ශනය වෙද්දී ගොඩනගන්න ගිය සිං-බෞ. තව්තිසා රාජධානිය, ලෝකයේ නොම්මර එකේ බංකොලොත් රටක් බවට සංවර්ධනය කරගන්න පුළුවන් වුණා !
(ඒ තත්වය ණය ගැනීමෙන් සහ සොරකමෙන් නැත්නම් ධනවාදයෙන් වුණා වගේ පෙන්වමින්  වර්ගතාන්ත්‍රික රාජ්‍යය එසේ ම පවත්වාගැනීමේ වෑයමකුත් ප්‍රගිතිශීලි-වාම ව්‍යාපෘතිවල වෙස්මුහුණු පෙන්වීමක්; ප්‍රථිපලයන්, හේතූන් හැටියට පෙන්වීමක්)

ඉතින් මුල්ලේවෛක්කාල් කියන්නේ නිදහස්, අභිමානවත් ජීවිතයකට තමන්ට ඇති අයිතිය වෙනුවෙන් නැගී හිටපු වීර-උදාර මනුස්ස පරපුරක සමූල සංහාර⁣යක ඛේදවාචකය විතරක් නෙවෙයි. බංකොලොත් රටක් දක්වා ආපු ගමන දක්වා ⁣දකුණටත් ඛේදවාචකයක්. දකුණ විසින් නම් ඒක ඉල්ලන් කෑමක් !

රාජ්‍යයෙන් පිටමං කිරීම එක එක විදියට කරන්න පුළුවන්. මරා දාන්න පුළුවන්. පහර දීල, දේපොළ වනසල, එලවල දාන්න පුළුවන්. උසාවි දාල පිටුවහල් කරන්න පුළුවන්.  දුප්පත්කම නිසා, ඉන්න ඕන අවම පහසුකම්වත් නොලැබීම නිසා, තමන් ට තමන් හැටියට ඉන්න බැරි වීම නිසා පිටමං වෙන්න බලකරන්න පුළුවන්. මේ හැම හේතුවක් ම වගේ යොදා ගෙන දැනුවත් ව යම් සමාජ කණ්ඩායමක් ඉලක්ක කරල පිටමං කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවනම් ඒක හඳුන්වන්න වෙන්නේ ජන සංහාරයකට (massacare)  වඩා ජනවර්ග සංහාරයක් (genoside)  හැටියට.
අවාසනාවට ලංකා රාජ්‍යය සකස් කෙරිල ම තියෙන්නේ සිං-බෞ. නොවන ජනයා මේ විදියට පිටමං කෙරෙන විදියට.
මුල්ලේවෛක්කාල් කියන්නේ ඒක සන්ධිස්ථානයක්.

ඒ මතකය පවා තහනම් කරන්න පුළුවන් රාජ්‍යයක් කියන්නේ මේ කතාවට ජීවමාන සාක්කි.

බෝම්බ, ෂෙල්, වෙඩි මැද, බේත් හේත් , ප්‍රතිකාර පහසුකම් අහිමි කරවපු තුවාල- ලෙඩ ඇති කරවපු පරිසරයක, කන්න බොන්න දේ පවා අහිමි කරවපු තත්වයකදී, ඉතිරිවුණ හාල් ටිකට වතුර දාල හදාගත්ත මුල්ලෙවෛක්කාල් කංජි (කැඳ) කෝප්පය ජීවිතය ගැන අන්තිම සංකේතය වුණ පරිසරයක, අවුරුදු පහළොවකට පස්සෙත් ඒ කැඳ කෝප්පය එක්ක බැඳුනු මතකය පාගා දාන්න වැඩ කරන රාජ්‍යයක් කියන්නේ මේ කතාවට ජීවමාන සාක්කි.

ඛේදවාචක ගැන මතකය කිසිදා අපිව සුවපත් කරන්නේ නෑ. ඛේදවාචක, 'ජයග්‍රහණ' හැටියට අයිසින් කරන සමාජයක් නැවත නැවතත්  ඛේදවාචක නිර්මාණය කිරීම නවත්වන්නත් බෑ.
මහා ජනසම්මත රාජපක්ෂ සිස්ටම් ⁣එකෙන් නැට්ටටම කෙල වුණ රටක් දැන් ආපසු අනෙක් පැත්තට ගමන් අරඹමින් තියෙනවා අපට දැකගන්න පුළුවන්. වලක වැටීම මොළේට යහපතක් කියන්නේ ඒ වගේ තත්වයක් වෙන්න ඕන.
ඒත් මුළුමහත් රාජ්‍ය යන්ත්‍රය තාමත් තියෙන්නේ වර්ගතාන්ත්‍රික (ethno-cratic state) තත්වයක.

පොලීසියට උපදෙස් දුන්නාම අනුස්මරණ අයිතියට බාධා කරන්න දෙන්න එපා කියලා, පොලිස් නිලධාරීන් ඒක ක්‍රියාත්මක කරන්නේ 'මහජනයා කුපිත කරවන දේවල් කරන්නේ නැතිව ඉක්මනින් මෙතැනින් පිටත් වෙනවා. අපට බෑ ගොඩක් වෙලා මේවා ආරක්ෂා කරන් ඉන්න" කියමින්. මම සම්බන්ධ වුණ කොළඹ වෙරළ තිරයක අනුස්මරණයකදී වර්ගවාදී කඩාකල්පල්කාරීන් ඉවත් කරන්න වගේ ම අනූස්මරණයට සහභාගී වෙන්න ගිය කීපදෙනෙකුටමත් පොලිස් නිලධාරීන් විසින් බාධා කෙරුනා. "මම යන්නේ බීච් එකට. ඇයි මට බීච් එකට යන්න බැරි?" එහෙම බාධා වුණ අයෙක් අහද්දී, එතැන කණ්ඩායම බාර ව හිටපු පොලිස් ලොක්කා ම ඉස්සරහට පැනලා "මොකටද මේ මල් අරන් යන්නේ" කියමින් මල් බෑගය උදුරා ගෙන ඔහුව බලහත්කාරයෙන් එතැනින් ඉවත් කරන්න නියෝග කළා.
පොලීසියට ලැබුණ නියෝගයේ 'මල් රැගෙන වෙරළට යන්නන්ට බාධා කරන්නැ'යි කොටසක් තිබුණෙ නැති බව සහතිකයි.  එතකොට ඒ කෑල්ල කොහෙන්ද ? ඒක තමයි ආණ්ඩුවටත් උඩින් තියෙන වර්ගතාන්ත්‍රික රාජ්‍යය. පුද්ගලිකව වර්ගවාදියෙක් වෙන විකෘතිකයෙකුට රාජ්‍යතාන්ත්‍රික බලයක් ලැබෙන්නෙ එහෙමයි.
මුල්ලේවෛක්කාල් ඛේදවාචකය අමතක කරන්න බැරි ම වෙන්නේ ඒක තාමත් මේ විදියට ඛේදවාචක යළි යළිත් නිෂ්පාදනය කරන නිසා.
'ජයග්‍රහණය'  ඇන්දවීමක් වෙන්නේ ඒ ඛේදවාචකත්, ඒ මගින්  ඇත්ත හේතු තවදුරටත් වසන් කරමින් යන ගමන නිසා.

ඒ ගමන තවදුරටත් වක්කලං ගහන්නේ ඛේදවාචක දිහාවටම බව අමතක නොකරමු.









Friday, April 19, 2024

පුරවැසියා එනතුරු හුදී ජනයා සමග පොර බැදූ මිනිසෙකු ගේ නික්මයාමක්

 හුදී ජනයා කියන්නේ මට පෙන්නන්න බැරි සත්ව කොට්ඨාශයක්.

සැකයක් නෑ;පාලිත තෙවරප්පෙරුම කියන්නේ ඒ හුදී ජනයාගේ මිනිහෙක්.

ඔය හුදී ජනයාගෙන් ඇහුවොත් 'ආණ්ඩුව කාගෙද' කියලා ඒගොල්ලෝ කියන්නේ 'දේශපාලඥයන්ගේ' කියල. එතකොට 'දේශපාලඥයෝ කොහෙන්ද' කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියාවි 'පක්ෂ වලින්' කියලා. (මේ කියන්නේ සියවසකට කිට්ටු කාලයක් සර්වජන ඡන්ද බලය ප්‍රැක්ටිස් කරපු ජහමනයා ගැන!);

ආයතනයක තේ හදන මනුස්සයයි, සිකුයුරිටියි,  මැනේජරුයි කවුරුත් පඩියකට රස්සාවක්  කරන සමානයෝ කියලා මේ හුදී ජනයාට අදහසක් නෑ. පන්සලේ හාමුදුරුවෝ ඉස්කෝලේ රස්සාවකට ගිහිපුවාම පුටුවට  සුදු රෙද්දකුත් එලල, දානෙත් දෙන්න ඕන කියලා මේ හුදී ජනයා හිතන්නේ.ඒ හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට ගිහිපුවහම කථානායකත් එයාට ඔලුව නවන්න ඕන කියලා ඒගොල්ලෝ හිතනවා. ( මේ විසි එක් වන සියවසේදිත්)

ලංකාවේ මහාමාර්ග වගේම දුම්රිය මාර්ග සංවර්ධනයේ පුරෝගාමියෙක් සහ යටත්විජිත නිලධාරියෙක් වන කැප්ටන් ඩෝසන් වතාවක් කිව්වා,  'ශිෂ්ඨ සමාජයන්ට අදාළ ප්‍රජාතන්ත්‍රවාදය වගේ තත්වයන් ලංකාව වගේ සමාජයන්ට අදාළ කරන්න අමාරු බවත්,  මෙහෙට ගැලපෙන්නේ දයාන්විත තාත්තා කෙනෙක් වගේ පාලකයෙක්' බවත්. අපේ කලාපයේ මිනිස්සු ඉල්ලන්නේ 'සුපර් හීරෝ' කෙනෙක්. 

පාලිත තෙවරප්පෙරුම අන්න ඒ වර්ගයේ සුපර් මෑන් කෙනෙක්; හුදී ජන විරුවෙක්.

හැට නම ලක්ෂයේ කුණු කුණාටුව වෙලාවේ පාලිත තෙවරප්පෙරුමත් ප්‍රතික්ෂේප වෙනවා. ඒක පාලිතටවත් හිතාගන්න බැරි ෂොක් එකක් වෙන්න ඇති. 

"ඒක මිනිස්සුන්ගේ වැරැද්ද නෙවෙයි ;මේ ඔක්කොම බැසිල්ගේ ගේම්" පාලිත කියනවා. ඒ කියන්නේ ඒ වැඩේ වුණු විදිය ගැන පාලිතට හොඳ අවබෝධයක් තියෙනවා. මේ කාලයේ 'ජනමතය' කියන්නේ දෙන දේ විශ්වාස කරන එක. 

"පාලිත හොඳ මනුෂ්‍යයෙක්. ඒත් හොඳ දේශපාලඥයෙක් නෙවෙයි" කියලා දැන් ජනප්‍රිය අදහසක් තියෙනවා. සමහර විට ඒකෙන් අදහස් කරනවා ඇත්තේ පාලිතට ඡන්ද දිනන්න බෑ කියලා වෙන්න ඕන. ඒ තේරුමෙන් ගත්තොත් හොඳ දේශපාලඥයා වෙන්නේ බැසිල් වර්ගයේ අය. මට අනුව බැසිල් කියන්නෙත් මේ හුදී ජනයාගේ මිනිහෙක්. (ඒත් මේ වර්ග දෙක අතර වෙනස්කම් ටොන් එකක් තියෙනවා)

අද දවසේ ඕනම ආණ්ඩුවක් අඩු වැඩි වශයෙන් නිදහස් වෙළඳපොළ ක්‍රමය මත පදනම් වෙන්නේ. ඒක යූඑන්පීය, පොහොට්ටුව, එන්පීපිය වගේ හැමෝම සම්බන්ධයෙන් ඇත්තක්. ඒකට එක එක අය පාවිච්චි කරන වචනවල යම් වෙනස්කම් තියෙනවා;විදි අතර ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්.

පොහොට්ටුවට ඕන කරන්නේ පාලනය කරපු වෙළඳපොලක්. ඒකේ හොඳම සංකේතයක් තමයි ධම්මික පෙරේරා. 

යූඑන්පීය පෙනී හිටින්නේ නිදහස් වෙළඳපොලක් වෙනුවෙන්. ඒක කවුරු හරහා උනත් කමක් නෑ. ඒගොල්ලන්ගේ  පෙනී හිටීම සිස්ටම් එකක් වෙනුවෙන්. (පොහොට්ටු වර්ගයේ  මජර සෙට් එකක්  කොතනත් වගේ එතනත් නැතිවෙන්නේ නෑ; ඒක අපේ 'ජාතික සහලක්ෂණයක්' ) එහෙම වෙළඳපොළක් සාර්ථක වෙන්න නම් කේවල් කළ හැකි ශක්තිමත් පුරවැසියෙක් ඉන්න ඕන. පුරවැසියා හැදෙන්නේ පුද්ගලික පුද්ගලයාගෙන්. පුද්ගලික පුද්ගලයා නැතුව සංවිධානාත්මක සමාජයක් ගොඩනැගෙන්නෙත් නෑ. (මේ නිසා සිවිල් සමාජයක් කියලා කියන්නේ සිවිල් පුද්ගලයාගෙන් වෙන් කරන්න බැරි සාධකයක්) 

යටත් විජිත ආර්ථිකයයි,  ඒකටම ඈදුනු අධ්‍යාපනයයි, අනිත් සේවාවනුයි එක්ක  අලුත් මධ්‍යම  සහ ධනපති පංති හැදෙනවා. හැබැයි එතනත් ඉහළම බලය බොහෝ දුරට පරණ වැඩවසම් පොරවල් අතේ තිබුණු බවයි පේන්නේ.  ලංකාවේ ධනවාදය මේ විදිහට මුළු සමාජය පුරා විසිර පැතිර ගිය එකක් බවට පත්වුණේ නෑ. 

චන්ද බලය පුරවැසි බලය දක්වා වර්ධනය වීමක්වත්, ඒකට අදාලව දේශපාලන පක්ෂ වර්ධනය වීමක්වත් අද වනතුරු දකින්න නෑ. 


ඒ නිසා ආණ්ඩුව කියන්නේ අහසින් පාත් වෙන එකක් වගේ හුදී ජනයාට පේන එකේ ලොකු වරදකුත් නෑ. හැබැයි හුදී ජනයා පුරවැසියන් බවට පත්වන තෙක් මේ කිසිම වරදක් හදාගන්න වෙන්නෙත් නෑ. 

මේ හුදී ජනයා සංවිධානය කිරීමේ පළල්ම වැඩපිළිවෙළක් මුලින්ම දකින්න ලැබෙන්නේ යූඑන්පීයේ ජේ.ආර්. ජයවර්ධන මූලිකත්වයෙන්. පස්සේ ඒකට ඔවුන් ගොඩනැගූ ග්‍රාමෝදය මණ්ඩල වගේ ව්‍යුහයන් එතෙක් තිබුණු සීමිත හෝ  පුරවැසි ක්‍රියාකාරීත්වයන් තවදුරටත් අකුලා දමන්න හේතු වුණා කියලා විවේචනයකුත් තියෙනවා. දැන් ජනසභා කියල වඩා සාර්ථක විය හැකි ව්‍යුහයකට උත්සාහ දරමින් තිබෙනවා. 

පාලිත නොසැලී නියෝජනය කෙරුවේ මෙන්න මේ පුරවැසියා හරහා නිදහස් වෙළෙඳපොළක් ගොඩනගා ගැනීමේ යූඑන්පී දේශපාලනයයි. 

එහෙව් පාලිත එළියට ඇද දාපු  බැසිල්ගේ උපායමාර්ගය මොකක්ද ? ඒකට බැසිල් කිව්වා 'ඡන්ද මැෂින්' හදන වැඩක් කියලා.  පාරවල් පාලං බිල්ඩින් ඇතුළු යටිතල පහසුකම් කියලා ජාතියක් ගොඩනගාගෙන යනවා. හරියටම කියනවනම් ඒ කියන දේවල් සඳහා කොන්ත්‍රාත් බෙදාගෙන යනවා. මහා කොන්ත්‍රාත්කරුවාගේ ඉඳලා අන්තිම වැඩ කරන කෙනා දක්වා සම්තින් එකක් බෙදෙනවා. ඔය පොහොට්ටුවේ ජනරැළි  පුරවන්නෙත් අන්න එහෙම ඡන්ද මැෂින් ප්‍රඩක්ට් වලින්. මේ වැඩේදි කාටවත් ගිල්ටියක් එන්නේ නෑ. මොකද ඒවා රටත් ජාතියක් වෙනුවෙන් කරන මහා මෙහෙවරයන් ! පොහොට්ටුවේ ජීවනාලිය වෙන්නේ, සිංහල බහුතරයට ටෙම්ප⁣රි ෆන් එකක් සපයන, තමිල් විරෝධි මහා යුද ජයග්‍රහණ මන්තරෙන්. මේක තමයි 'රාජපක්ෂ ක්‍රමය'. දැනුත් ඒක ක්‍රියාත්මක වෙනවා 'රනිල් රාජපක්ෂ විරෝධය' නමින්. ඒක හරිම ජනකාන්ත ප්‍රොජෙක්ට් එකක්. 

පාලිත 'සුපර් හීරෝ' වෙන්නේ මේකෙ අනිත් පැත්තේ ඉතාම දුෂ්කර ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන්. 

අපේ සමාජයන්ට උභතෝකෝටිකයක් තියෙනවා, පුරවැසි සමාජයක් හැටියට ගොඩනැගීමේදී. 

සමාජය ඇතුලේ බල කේන්ද්‍රවල කුස්සි, කක්කුස්සි, කානු-අගල් වැටිලා ඉන්න හුදී ජනයා තමන්ගේ ඉරණම තමන්ගේ අතටම ගන්න නං සුපර් හීරෝලා ප්‍රතික්ෂේප වෙන්න ඕන. ඒත් එහෙම කරන්න හයිය දෙන්න සුපර් හීරෝලා ඉන්නත් ඕන. ඒකට හේතුව යුරෝපයේ වගේ පුරවැසියා හැටියට ගොඩනැගෙන්න ඕන කරන සමාජ ආර්ථික තත්වයන් අපට උදා නොවෙන නිසා. 


මේ අනුව, පාලිත තෙවරප්පෙරුම කියන්නේ, පුරවැසියා ගොඩනැගීමේ මේ උභතෝකෝටිකය මගින් ගත් බිල්ලක් කියලා සලකන්නත් පුළුවන්.  ඒ හිඩැස පුරවන්න ජීවිතය පරිත්‍යාග කරපු විරුවෙක් හැටියට සලකන්නත් පුළුවන්. 


කොහොමටත් අපේ කලාපයේ හැම විරුවෙකුගේ ම වගේ ජීවිත කතාවල මෙහෙම උභතෝකෝටිකත් තියෙනවා. 


පුරවැසියා දක්වා යන ගමනේ අපට තව ගොඩක් දුර යන්න තියෙනවා. පාලිත වගේ අය නැතිව දැනෙන පාළුව ඒ නිසා කියා නිම කරන්න බෑ. ඒකට අපට තව ගොඩක් බිල් ගෙවන්න වේවි. ඒ නිසා පාලිත වගේ කෙනෙක්ව තවත් වෙහෙසකරවන්න සුදුසු නෑ. ඔහුගේ පුද්ගලික ගොවිපළේ, ගහකොළ, සතා සීපාවා එක්ක, මිත්‍රත්වයේ රැකවලුන් එක්ක, ඉර හඳ තරු වළාකුළු යට, ඔහු ම තනා ගත් සදා නිදන පුංචි කුටියේ සදා විවේකයක් පාලිතට පතමු. 

සුභ සන්ධ්‍යාවක් විරුවාණෙනි !