Sunday, March 7, 2021

පාස්කුවේ බූමරැංගය


 ඉතිහාසය වෙලාවකට වංගු ගගහ යනව;තව වෙලාවක එක පාර ලොකු ටර්න් එකක් ගන්නවා. 

අවුරුදු දෙකකට කිට්ටු ලංකාවේ  පාස්කු ප්‍රහාරයත් ඒ වගේ; හරියට ම කීවොත් මේ වෙද්දීී ලංකා දේශපාලනයේ ප්‍රධාන ම ටර්නින් පොයින්ට් එක නැත්නම් හැරවුම් ලක්ෂය වෙන්නේ මේ පාස්කු ප්‍රහාර සිද්ධිය. 

එතෙක් දේශපාලනයේ තිබුණ බලතුලනය උඩුයටිකුරු කරන්න, නැත්නම් එහෙම වුණා කියල විශ්වාසයක් ජනිත කරන්න ප්‍රධානතම සාධකය හැදුනේ පාස්කු ප්‍රහාර⁣ සිද්ධියෙන්.   

එක පාරට ම හිතාගන්න බැරි වෙලාවක, හිතාගන්න බැරි විදියට පාස්කු පූජාවන් මැද පල්ලි වල සහ සමාන්තරව තරු පහේ හෝටල් වල මරාගෙන මැ⁣රෙන බෝම්බ පිපිරුම් මාලාවක් වෙනවා. ලෝකය පුරා ම හයිලයිට් වෙන පාස්කු උත්සව දවසේ  ලංකාවේ සංචාරක ව්‍යාපාරය මරණීය අත්දැකීමක් වෙන්න පුළුවන් කියන ෂොක්ෆුල් පණිවුඩය සමාජගත වෙන්නේ මෙහෙ ප්‍රධාන ම ආදායම් මාර්ගයේ මුදුන් මුල ට එල්ල කෙරෙන පොරෝ පාරත් එක්ක. කවදත් අනාාරක්ෂිත ව හිටපු මිනිස්සු අතර 'අනාරක්ෂිතබවේ භීතිකාවක්' වෛරසයක් වගේ පැතිර යනවා. පැවතුන ආණ්ඩුවට ඒක කරන්න බෑ; ඊටත් පරණ කට්ටිය ආයි ඕන කියන මතයත් අවධාරණය කරමින් තමයි මේ භීතිකාව සමාජගත කෙරෙන්නේ කියන එක පරිස්සමින් බලද්දී පේන්න ගන්නවා. 

දැන් පාස්කු කොමිෂන් වාර්තාවේ කෑලි කෑලි සමාජගත කර ගෙන යද්දී පේන්නෙත් පට්ට සැකසහිත තත්වය අඛණඩව පැවතීමක් වගේ. කිසිම කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇහුවේ නෑ. උදේ 8.45ට වගේ මුල් ම බෝම්බය පුපුරල මුල් විනාඩි කීපය තුළ මුණුපොත්වාසීන්ගේ දැනගැනීමට RAW රිපෝට් එකක් සංසරණය වෙන්න ගන්නේ කොහොමද ? මුල් පැය ඇතුලත හිටපු ජනාධිපතිවරයා කොච්චිකඩේ පල්ලියේ  ඉස්සරහ රටේ අනාරක්ෂිතබව ගැන සැබෑ වූ පුරෝකථනයක් එක්ක මීඩියා ෂෝ එකක් දාන්නේ කොහොමද ? එදා ම, ඒ වෙද්දී 'කවුරුවත් ම නොවුණ' වර්තමාන ජනාධිපතිවරයා කොළඹ කාදිනල්ගේ නිල කාර්යාලයේ ඉඳල එළියට ඇවිත් 'ආරක්ෂක වගකීම බාරගන්න' සූදානම ප්‍රකාශයට පත් කිරීමේ පසුබිම මොකක්ද ? එදා දවල් දෙහිවල දී සිිිිදුවුණ පුපුරාගැනීමකට කලින් පිපිරුම්කරු මුණගැසුන රාජ්‍ය බුද්ධි අංශ නියෝජිතයා කව්ද?ඇය් ඒ ? 

නවසීලන්තයේ කේස් එකකට පලි ගැනීමක් සඳහා ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකිිිින් මේ ප්‍රහාරක මෙහෙයුම කළ බව දවස් දෙකකට පස්සේ අදාල සංවිධානය 'ඉල්ලීමක් අනූව' පිළිගත් බව BBCයෙන් වාර්තා වුණා.    

කාලාන්තරයක් තිස්සේ ඉස්ලාමීය ආන්තික සංවිධාන ලංකාවේ වැඩ කරමින් හිටි බවට අනාවැකි දැක් වූ බව, ඒ තාලයේ ම බෞද්ධ ආන්තික සංවිධාන කියාපාමින් මතක් කළා. පරිස්සමින් බලපුවාම මේ කියන ඉස්ලාමික ආන්තික සංවිධාන වලට න්‍යායික පෝෂණයක් ලැබෙන්නේ ඒ කියන බෞද්ධ ආන්තික සංවිධානවලිිිින් තමයි. මේ ප්‍රහාරයේ ප්‍රහාරක නායකයා වගේ පෙනී යන සහ්රාන් හෂීම් තමන්ගේ කණ්ඩායම මෝටිව් කරන්න පාවිච්චි කරල තියෙන්නේ බොදු බල සේනා ලොක්කා ඤානසාර හාමුදුරුවන් ගේ දර්ගා ප්‍රකාශය ප්‍රමුක ප්‍රකාශ හා ක්‍රියාකාරකම්.  ඉස්ලාමය දේශපාලනික අවියක් හැටියට පාවිච්චි වීමේ සංවිධානමය මුල උතුරු නැගෙනහිර යුද කාලය දක්වාවත් පැරණි එකක්. විශේෂයෙන් ම ඒ කාලයේ පටන් තමිල් සංවිධිනවලට මුහුණ දෙන්න පැරා මිලිටරි කල්ලි හැටියට මෙවැනි අය මෝටිව් කරල පුහුණු කිරීම්, සන්නද්ධ කිරීම් නැගෙනහිර පළාතේ කාලයක් තිස්සේ කර ගෙන ගිහින් තියෙනවා. 

මේ විදියට කාලයක් එක ව්‍යාපෘතියකට හදපු සංවිධාන, වෙනස් ව්‍යාපෘතියකට පාව්ච්චි කරගන්න බැරි වුණා ම, ඒවා සුද්ද-බුද්ද කරල දාන්න වෙන ම ව්‍යාපෘතියක් හදන එක ලෝකේ කොහෙත් කෙරෙන පාලක සම්ප්‍රදායක්.    

අවුරුදු දෙකක් වෙන්නත් ආවා. පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන පත්කරපු ජනාධිපති පරීක්ෂණ කොමිසමෙත් හුලං ගියා වගේ වැඩක් දැන් පේන්න තියෙන්නේ. නාට්‍යය ඉවර කරන්න හිතා ගෙන මුළින් ගහපු ප්ලෑනක් තියේනම්, මේ හුලං බැහිල්ලත් එක්ක දැන් ආයේ පොඩි එඩිට් එකක් දාලා ඉස්සරහට යන්න වෙන පාටයි. 

කළු ඉරිදාව ප්‍රකාශයට පත්වෙන්නේ පිලාත් කෙනෙක්ගගෙන් වෙන්න පුළුවන්. ඒත් ඒ මට්ටමිි්න අත හෝද ගෙන අයින් වෙන්න පුළුවන් තැනකට වඩා දැන් මේ ව්‍යාපෘතිය ලොකු වෙලා වගේ. 

කළු පාට, කිතුනුවන්ගේ සම්ප්‍රදායික සංකේතය හැටියට ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ ඒ හැඟීම්-දැනීම් ප්‍රකාශනයන් ට එඩ්‍රස් හැදෙන  විදිය මේ වෙලාවේ දේශපාලනය ගැන තියුණු  සහ රසවත් අධ්‍යයනයක් වේවි.

Wednesday, March 25, 2020

මුඛවාඩමක් මැවු වෙනසක අරුමය






මේ සටහන නැවත ලිවිම ට මම සිතුවෙමි.  
එක්තරා වේලාවක මේ මුල් රූපයේ ආකාරයෙන් මුහුණ වැසීම තහනම් කරන ලද කාලයක් විය.  තවත් වේලාවක, මේ දෙවන රූපයේ දක්වා ඇති පරිද්දෙන් මුහුණ නොවැසීම තහනම් කරන ලද කාලයක් පැමිණ තිබේ.  මේ දෙකට ම පදනම් වි ඇත්තේ ‘ආරක්ෂාව‘ පිළිබඳ තර්කයකි.  මේ ලිපිය මුලින් ම සටහන් කරන ලද ඊයේ දවසේ දි ද මා විසින් මතු කරගන්න ට තැත් කරන ලද්දේ පලමු මොහොතේ නගන ලද ‘ආරක්ෂාව‘ පිළිබඳ තර්ක, දෙවැනි මොහොතේ දී නිකම් ම වාෂ්ප වී ගොස් ඇත්තේ කෙසේද යන්නයි.  
මුහුණ වැසීම, ලංකාවේ  තහනම් කරන ලද්දේ වසරකට පෙර හරියට ම මෙන්න මෙවැනි කාලයක දී ය.  සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිස්තියානි ජනයා ඉලක්ක කරගත්තක් බව පෙනි යන එම ප්‍රහාර මාලාව, ඉස්ලාමය නියෝජනය කරන කල්ලියක් විසින් එල්ල කරන  ලද්දෙන්, එය පදනම් කොට ගෙන ඊට පොහෝ කලක ට පෙර ආරම්භ වී තිබූ ඉස්ලාම් විරෝධී පලපෑම් රැල්ල මේ සමඟ ම උත්කර්ෂයට නංවන ලදී.  මෙම ඇඳුම, ඉස්ලාමිය සංස්කෘතිය තුළ ඇති අගතිගාමිත්වයේ ලක්ෂණයක් ලෙස පරාජය ට පත් කරනු වෙනුවට සිදු වූයේ එවැනි ම අගතිගාමීත්වයක් විසින් එය මත සිය ආධිපත්‍යය මතු කිරිම ය.ඒ සඳහා
තර්ක ආනයනය කරන ලද්දේ  ‘ආරක්ෂාව‘ නාමයෙනි.  
‘ආරක්ෂක හේතූන් මත මෙම වර්ගයේ ඇඳුම් ඇඳ සිටින්නන්‘ බස් රථවලට නංවා ගැනිම ප්‍රතික්ෂේප කෙරුනි.  බස්  රථවලට නැඟ සිටියවුන් ඒවායෙන් බස්වන ලදී.  රජයේ සහ පෞද්ගලික කාර්යාලවල ට ඇතුල් කර නොගන්නා ලදී.  රෝහල් වල දි පවා ප්‍රතික්ෂේක වීම ට හිස ආවරනය පවා හේතු විය.  කඩ-සාප්පුවලට වැද්ද නොගන්නා ලදී.  ඒ සියල්ල ‘ආරක්ෂාව‘ වෙනුවෙනි.  මෙය ‘අනන්‍යතාවය සැඟවිමක්‘ ලෙස හඳුනාගන්නා ලදී.  පෙනි යන පරිද්දෙන් ‘ආරක්ෂාව‘ පිළිබඳ තර්කයේ එක ම පදනම එය විය.  ඒ මතුපිටින් පෙනි යන පරිදි ය.    
මේ දිනවල එක ම කතා බහ කැරකෙන්නේ ‘කොරෝනා‘ වටා ය.  විශේෂයෙන් ම කැස්සක දී හෝ සාමාන්‍ය කතාබහක දි පවා පිට වෙන කෙළ බිඳිති මගින් මේ රෝගය පහසුවෙන් බෝවිය හැකි අතර, ඒ මගින් පෙනහළු අකර්මන්‍ය කිරීම නිසා මරණීය තත්වයට ළඟා වෙයි.  මෙය වළක්වා ගැනිම සඳහා වෛද්‍ය විද්‍යාත්මක ව ලැබි ඇති එක ම විසඳුම, මීටරයක පරතරයක් නඩත්තු කිරීම සහ මුඛ ආවරණයක් පැළඳීම ය.  ඊට අමතර ව නිරන්තර පිරිසිඳු වීම සහ උෂ්ණත්වයට නිරාවරණය වීම වැනි වැළැක්වීමේ උපදෙස් තිබේ.  අනෙක් උපදෙස් කෙසේ වෙතත් පොලිසිය සහ ප්‍රජාවේ ඇතැම් ‘ක්‍රියාකාරී‘ සාමාජිකයන් විසින් ඉහලින් ම ඔසවා ඇත්තේ මේ මුඛ ආවරණ උපදේශය බව පෙනි යයි. ඊයේ පෙරේදා දුන්   පැය හයක කාලයක් තුළ ඇඳිරි නිති විරාමය ඇතුලේ නිර්මාණය වු මිනිස් පොදි අතර ට කඩා වැදුනු පොලිසියමුඛ ආවරණ නොමැතිවුන් තර්ජනය කොට පළවා හරිනු අපි අත්දුටුවෙමු.  තර්කය පෙර පරිදි ම ‘ආරක්ෂාව‘ ය !
‘ආරක්ෂාව‘ !!
මෙය මෙසේ වන්නේ කෙසේ ද ? 
අවුරුද්දක ට පෙර නැගුන තර්ක, අද  දිනයේ නැගෙන තර්ක වල ට පරස්පර වන්නේ කෙසේ ද ? 
වෙනස ඇත්තේ කොරෝනා ගර්ජනය ඉදිරියේ සියළු ම දෙනා ට මේ තත්වය ට යන්න ට සිදු විමත්, අවුරුද්දක ට පෙර මේ තත්වය කිසියම් නිශ්චිත ජනවර්ගයක් පමණක් පදනම් කරගත්තක් විමත් ද ? එසේ නම් අවුරුද්ක ට පෙර මේ තහනම පිටුපස පැවතියේ එසේ නිශ්චිත ජනවර්ගයක් පදනම් කර ගත්තක් නම්, ඒ පැහැදිලි ව ම ‘වර්ගවාදයක්‘ බව අවුරුද්දක ට පසු කොරෝනාව විසින් හෝ අද අප ට පැහැදිලි කරමින් තිබේ ද ? 
අවුරුද්දක් යන්න ට පෙර ‘මුකවාඩම‘ විසින් අප ට කියා දෙන්නේ වර්ගවාදි තර්ක සහ එවැන්නක් විසින් පදනම් කරගනු ලබන ‘ආරක්ෂාව‘ වැනි තර්කයන් හී ඇති පුස්ස නොවේ ද ? 

Monday, March 23, 2020

පරපීඩාකාමිත්වයේ අප රක්නා උරුමය

සිංහලෙන් 'නවක වධය' , 'රැග' හෙවත් 'රැග් ඒක' ය.  සිංහලෙන් කියන්නා සේ ම මේ වධයකි: හිංසාවකි.  වධහිංසාවන් පලප්‍රෙයා්ජනවත් දේ ලෙස බාරගත්තේත්, ඒ්වා අගය කළේත්, සමාජය හික්මවන්න ට, පාලනය කරන්න ට දියුණු ක්‍රමශිල්ප අහිමි පෞරාණික සමාජයන් ය.  වධ හිංසාව දියුණු, ශිලාචාර සමාජයක් තුළ සැළකෙන්නෙ පිළිකුල් සහගත දෙයක් ලෙස ය.  වැළැක්විය යුත්තක් ලෙස ය.  

එසේ විය යුතු ව තිබිය දී, තවදුරටත් වධහිංසාවක් පවත්වා ෙගන යන, එය සාධාරනීකරණය කරන සමාජයක් අදත් පවතිනම්   එය යැවිය යුත්තේ කුමන කටුගෙයකට ද ?

නවකයකු වීම වධහිංසාවට ලක් විමට තරම් සුදුසුකමක් ලෙස සළකන තැනක 'පරිනතයින්'  හෝ ‘ජ්‍යේෂ්ටයින්'  කුමන විදියක අය විය හැකි ද ? 

මේ ප්‍රශ්න අසන්න ට වන්නේ 'විශ්ව විද්‍යාල' වැනි නුතනත්වයේ හා ශිෂ්ටත්වයේ මුදුන්මල්කඩක් විය යුතු ආයතනයක් සම්බන්ධයෙන්නම්...................??

අවාසනාවකට එය එසේ ය; ඒ් මේ ලංකාව ගැන ය.  

නවක වධ සංසිද්ධින් විටින් විට කරලියට පැමිණ බැස යයි.  මාතෘකාවක් ලෙස එය අපේ සමාජයට වැදගත් වන්නේ කොයි තරම් දුරකට ද යන්න පසෙක තිබියදී එහි අඛණ්ඩතාවය නිරීක්ෂණය කළ විට පෙනි යන්නේ අපරාධ  සිදු වන්න ට ඉඩ හැර නිහැඩියාව තුළින් ඒ්වා ආරක්ෂා කිරීම මගින් අපි සාපරාධී සමාජයක් බව ට පත් වී ඇති බවයි.  

මේ තත්වය දරුණු වන්නේ ශිෂ්ටත්වයේ සංකේතයක් විය යුතු, නුතනත්වයේ උති උත්කෘෂ්ට නිපැයුමක් විය යුතු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කොට ගෙන මේ අශිෂ්ට සම්ප්‍රදාය ක්‍රියාත්මක වීම නිසා ම පමණක් නො වේ; එවන් පසුගාමි උරුමයක් කරගසා ගෙන යන කරුමය දරන්නේ ඊනියා 'ප්‍රතගිශීලින්' විසින් වීම ද නිසා ය !

මේ ටික කියන්න ට හිතුනේ කොරෝනා කතිකාව ඇතුළේ යට ගසමින් තියෙන තවත් සාපරාධි නවක වධ හිංසාවක් සම්බන්ධ පුවතක් නිසා ය  එය ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය‘ බව ට පෙරලන ලද අතීත පිරිවෙනක වර්තමාන අවසන් වසර ශිෂ්‍යයන් විසින් ට්‍රැක්ටර්  ටයරයකට යටකිරීමෙන් මාරාන්තික තුවාල ලද ප්‍රථම වසර ශිෂ්‍යයකු සම්බන්ධයෙනි. 


මේ කතාව සම්පූර්ණ කිරිමට වැදගත් යයි සිතන වීඩියෝ ක්ලිපයක් ද මේ සටහන ට සම්බන්ධ කරමි.

Monday, October 21, 2019

උපරිම නොසුදුස්සා වැළැක්වීම සඳහා අඩු නොසුදුස්සා තෝරාගැනීම ට සිදු වීම...

2020න් පටන් ගන්නා අවුරුදු පහකට නැත්නම් තව කාලයකට ලංකා දූපතේ ජනාධිපති ජොබ් එක ට තිස්තුන්දෙනෙක් අතරින් එ⁣ක් කෙනෙක් පත්කරගැනීමේ අවසන් මහා පරීක්ෂණය අත ළඟ ය; නොවැම්බර් 16 ය. දෙකෝටියකට වැඩි නරපනුවන් වෙනුවෙන් එක්කෝටි හැටලක්ෂයක තරම් පරීක්ෂණ මණ්ඩලය ට සුදුසුකම් ලබා ඇත. එසේ නමුත් ඒ හැමෝ ම මේ වැඩේ ට සහභාගී වන්නේ නැති බව හැමෝ ම වාගේ දනිති. පෙරපුරුදු අනූව මින් එක්කෝටි විසිලක්ෂයක් මේ ඉන්ටවීව් බෝඩ් එකට වාඩි වුණොත්, නීතියේ හැටියට 50%කුත් තව එකකුත් ජොබ් එක සඳහා අවශ්‍ය බැවින් තිස්තුනෙන් කවුරු හෝ හැටලක්ෂයක් පමණ ඡන්ද ලැබිය යුතු ය. තිස්තුනක් ම ඉල්ලනවා වගේ පෙනුනාට ජොබ් එක ගැන ඇත්ත ම ඕනෑකමකින් ඇත්තේ දෙන්නෙක් පමණි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් සහ පොදුජන පෙරමුණේ ගෝඨාබය ය. තුන්වැන්නා ජාතික ජනතා බලවේගයේ නමින් එන ජවිපෙ හි අනුර ය. හිටපු හමුදාපති මහේෂ් ලා ගේ කණ්ඩායම ද සැලකිය යුතු සටනක් දෙනු ඇත. පෙනී යන විදියට අනුරලා ගේ පැහැදිලි වර්ධනයකි. එහෙයින් මේ වතාවේ එක වටයෙන් 50% පැන්නීමට කිසිවෙක් සමත් නො විය හැක. එවැනිපවිටක දී ලංකාවේ නීතිමය ප්‍රතිපාදනය ඇත්තේ අන් සියළු අපේක්ෂකයන් ගේ ඡන්දදායකයන් පළ කර ඇති දෙවැනි මනාප ඇත්නම් ඒවා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හරිමින් යළි ගණන් කිරීම ය.
මගේ තක්සේරුව මේ වර ඒ දෙවන වටය අවශ්‍ය වනු ඇත යන්න ය. දන්නා සෙල්ලම් සියල්ල දමාත් තනි බහුතරය දිනාගන්නට සමත් එකෙකුවත් මෙතැන හෝ කොතැනවත් නැති වනු ඇත !
දැන් මේ 'පරීක්ෂණ මණ්ඩලයේ' ගරු සාමාජිකයකු වන මේ මම ද යළිත්, යළි යලිත් උභතෝකෝටික ගැටළුවක ට මුහුණ පාමින් සිටිමි.
තිස්තුනක් තබා තිස්තුන්දාහක් අතරිනුදු ඇත්ත මා නියෝජනය කරන්නේ කවුදැයි මට සොයා ගත නො හැක !
ඒ අනූව මට ඇත්තේ සුදුස්සන් තේරීම පිළිබඳ ගැටළුවක ට වඩා නුසුදුස්සන් අතරින් අඩු ම නුසුදුස්සා තෝරාගැනීමේ ගැටළුවයි !
වැඩි ම නුසුදුස්සා ගෝඨාභය ය ! ඒ හැර වෙන ඕනෑ එකෙක් මට ඒ හැටි ගැටළුවක් නො වේ. ඒ බෙදුම් රේඛාව මට පරිපූර්ණ ලෙස ම පැහැදිලි ය. ගෝටා ගේ පරාජය යුක්තිය, සාධාරණත්වය, නිදහස උදෙසා අත්‍යාවශ්‍ය කොන්දේසියකි. කාට හෝ පැහැදිලි මදිනම්,අවංක කතාබහක් අපේක්ෂා කරන්නේනම් ඒ වෙන ම කතා කරන්න ට මම කැමැත්තෙමි. දැන් මගේ දෙවන ගැටළුව ඇත්තේ ගෝටා පරාජය කළ හැක්කේ කොතැනින් ද, නැතහොත් කා මගින් ද යන්නයි. මෙතැන දී සජිත් යනු එජාපය තුළ කරූ, චම්පික තරම් ම ඒ සඳහා නුසුදුස්සෙකි. මේ වන විට ද ජනාධිපතිවරයා ට අයත් නොවන බලතල (ඇමති පත්කිරීම් වැනි) අතට ගන්නට ගෝටා මෙන් ම සජිත් ද වැැඩ කර ඇත. එහෙත් එක ම සැනසීම ප්‍රමාණවත් ව භාවිතා නො වූව ද, පොදුජන පක්ෂය හෝ ශ්‍රීලනිප හෝ නාමමාත්‍රික පක්ෂයක ට වඩා එජාප ය තවමත් සාපේක්ෂ සංවිධාන විනයක් රැතගැනීම ට සමත් වීමයි. එහෙත් එය ප්‍රමාණවත් නැත ! ඒ අතින් ඉහළ ම පක්ෂ විනයක් ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරය නමින් දැන ට පෙනී සිටින ජවිපෙ ය. ඒ සංවිධාන විනය ඇත්ත වශයෙන් ම භාවිතා වන්නේ ගෝටා,සජිත් විසින් ඔසවා තබන සම්ප්‍රදායයන් ම රැකීම ට මිස අභියෝග කිරීම ට නො වන බව දනිමි. ඉතින් ඒ විනය කුමට ද !
මට මේ මහබලවතුන් තිදෙනා ම මගේ නියෝජිතයා ලෙස පිළිගැනීම ට තරම් සුදුසු නො වේ. එහෙත් මට නියෝජිතයකු නැත. මා වැන්නකු මේ දූපත මත කිසිසේත් ම 'නියෝංනය' වන්නෙකු නොවෙයි.
මම 'දේශපාලන' විරෝධයකු නො වෙමි. එය මට ජීවිතය තරම් ම ය. ඒ තරම් සීරියස් වන නිසා ම මම මෙ වැනි උභතෝකෝටිකයක සිර වූවා විය හැක.
ඉතින් මේ ජනාධිපතිවරණයේ දී මගේ නොතේරීම විය හැක්කේ කුමක් ද ?
මගේ ඡන්දය හෘදය සාක්ෂ්‍යය වෙනුවෙන් ද, දෙවැනි මනාපය උපක්‍රමික ඕනෑකම වෙනුවෙන් ද භාවිතා කිරීම ට මම තීරනය කළෙමි. එය අතිශය  සුළුතර ඡන්දයක් වනු ඇත.
මට එකඟ විය හැකි, ලංකාවේ වඩාත් ම තීරණාත්මක ගැටළු වෙනුවෙන් පරාජය පෙනී පෙනීත්, පෙනී සිටීම සඳහා අතිශය මෝඩ වූත්, අභීත වූත්, හිතුවක්කාර වූත් තීන්දුවක් ගත් සිවාජි ට මගේ ඡන්දය ප්‍රකාශ කරනු ඇත. එය බහුතර ඡන්ද සංඛ්‍යාවක් කරවීම සඳහා මට කළ හැකි අලයක් නැත. බහුතරය තීන්දු වන්නේ වෙනත් කොන්දේසි මත ය. ඒවා තීන්දු කරන්න ට තරම් ලංකාව මා වැන්නන් වැදගතුන් සේ නොසළකයි. ඉතින් මට උපක්‍රමිකව සමාන්තර තීන්දුවක් ගැනීම ට සිදු වේ. එනම් ලාංකිකයන් ගේ ⁣මුගිධ තේරීම් දෙක වන ගෝටා සහ සජිත් අතරින්, අතිබිහිසුනු ගෝටාගමනය වලක්වා ගැනිම සඳහා සජිත් ට දෙවන මනාපය සළකුනු කිරීම ය. එතැන සිටින්නේ අනුරනම් දෙවැනි මනාපය සඳහා ඔහු සුදුස්සා වනු ඇත.
මා  ඉදිරියේ ඇති ලාංකීය දේශපාලනයේ දෙබෙදුම මට ⁣විහිලුවක් හෝ සෙල්ලමක් නො වේ. උපරිම නුසුදුස්සා ඉවත් කිරීම වෙනුවෙන් ඊට අඩු නුසුදුස්සකු තෝරාගැනීම ට සිදු වීම මගේ කාලයේ යථාර්තයකි. ඒ ගැන තනි පුද්ගලික මට කළ හැකි දෙයක් නැත.

Tuesday, October 1, 2019

පඔයෙක් වෙන්නට පඹගාලක ට පනින පොරවල් !

ඕන්න, නොවැම්බර් 16, ජනාධිපතිවරණය ! 
ඒත්, කව්ද දන්නේ; අන්තිම වෙනකම් ඉඳල හරි දැන් ඉන්න ජනාධිපති මහ උසාවියෙන් ඇහුවොත් 'මාත් යන්න ඕන පහෙන් ද? ඕක අළුත් උන් ට විතරක් තියෙන එකක් නොවේද හිටං?" කියල, උසාවියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොත බලල අහකලා, "ඔව් නේන්නං" වගේ උත්තරයක් දුන්නොත් එහෙම !
(එහෙව් උත්තරයක් බලාපොරොත්තුවෙන් මඟ බලාන ඉන්න තවත් හිටපු ජනාධිපතියෙකුත් ඉන්නවා තිරය පිටුපස්සේ,"එහෙමනම් මටත් 'දෙපාරයි' කියන සීමාව අදාල නෑ" කියාගන්න)
මේ ඔක්කොම එහෙම හරි මෙහෙම හරි වෙන්නේ,'විධායක ජනාධිපති'  ක්‍රමය අයින් කරනවා- අයින් කරනවා කියන ටොම් පචේ 
මේ පාරත් යාවත්කාලීන කරන ගමන් කියල මේ පාරත් සැකයක් නැහැ ! 
මේක කවදාවත් වෙන්නේ නැහැ; හේතු දෙකක්.
එකක් තමයි, ඒ කියන විධායක ජනාධිපති කමෙන් ඇහිරෙනවා කියන 'ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය' ගැන හාල් කෑල්ලක තරම් හැඟීමක් අතිබහුතරයකට නැති එකයි; ඒක මේ අපේක්ෂක ප්‍රභූතන්ත්‍රය අවුලකින් තොරව දන්න එකයි. දෙවැන්න තමයි, ඇත්ත වශ⁣යෙන් ම 'විධායක ජනාධිපති ක්‍රමයක්' ලංකාවේ නැති එක ! 
(විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා කියන්න නමි වෙන ම ඡන්දයකින් පත් කරගන්න 'ජනාධිපතියෙක්: ඉඳල විතරකි බැහැ. ඇමති/කැබිනට් මණ්ඩලයක්, අගමැතියෙක් ඉන්න බැහැ.ඒ කියන්නේ විධායක බලය එහෙ මෙහෙ බෙදෙන්න බැහැ. ඕන්න හරි ම උදාහරණයක් ඇමරිකානු එක්සත් ජනපදය ) 
ලංකාවේ දැනුත් විරාජමාන වෙන 1978 ව්‍යවස්ථාව අනූව විධායක හෙවත් නීතිය ක්‍රියාත්මක කෙරෙන බලය තැන් දෙකකට බෙදල තියෙන්නේ. ඒ බෙදීම නාමමාත්‍රිකයි වගේ තමයි; ඒත් හයිය ඇති දෙගොල්ලක් අතරේ පාර්ලිමේන්තුවයි, ජනාධිපතිකමයි බෙදිල ගිය වෙලාව ට තමයි මේකේ ඇත්ත අවුල මතු වෙන්නේ ! ඒත් ඒකටත් හේතුව මෙහෙම විධායක බලය දෙපැත්ත ට බෙදීම ම නෙවෙයි. ඒ විදිය ට බෙදීම හෝ තනි බලයක් පිහිටුවීම කියන දෙකෙන් එකක්වත් හරියට නොකර ගේමක් ගහන්න ඉඩ තියපු එක !
මේ විදියට විධායක බලය තැන් දෙකක ස්ථාපිත කරන 'මිශ්‍ර විධායක' මොඩලය ට හොඳ ම නිදසුන ප්‍රංශයේ දැන් තියෙන ඩිගෝලියානු ව්‍යවස්ථාව. ලංකාවත් ගුරු කොට ගත්ත⁣ කියන මේ ඩිගෝලියානු ව්‍යවස්ථාව එක්කත් ගහපු ගේම තියෙන්නේ විධායකයේ කොටසක් වෙන අගමැති ඇතුළු ඇමති මණ්ඩලය විධායකයේ ඉන්න ගමන් ම ව්‍යවස්ථාදායකයෙත් ඉන්න එක(ප්‍රංශ මොඩලයේ දී විධායකය ට පත් වුණ ගමන් ව්‍යවස්ථාදායකයෙන් ඉවත් වෙනවා) මේක උපාවිච්චියෙන්(අවභාවිතයෙන්) තමයි 'මහරජු' ට ඇඳගත්ත මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ  අඳුරුතම අවධියක් නීත්‍යානුකූල කරගත්තේ.
යහපාලනයේ කානුව ට එහා අඩියක්වත් තියාගන්න අසමත් වුණ මේ ඩීල්පාල ආණ්ඩුව කාලේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් දිනා ගත් ලොකු ම ජයග්‍රහනය වෙන්⁣නේ (අර 'කානුව' ඉසව්ව) 19 වන සංශෝධනය. අවුල් ඇතිව හරි මේකෙන් අර ජනාධිපති ධූරය ට තියෙන ඒකාධිපති මට්ටමේ බලතල ඔළුව ට, ඇඟ ට ටිකක් දැනෙන තරමින් අඩු කළා. අර දවස් 51 විගඩම් කුමන්ත්‍රණය ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉවරයක් (?) කරගන්න පුළුවන් වුනේ ඔන්න ඕක උදව් කරගෙන. එතැන ඉඳන් 19 කීව ගමන් රජ හීනෙන් පෙළෙන ඕන ම සර්පයෙක් අඳු⁣කොල දැක්ක සයිස් එකෙන් පරල වෙන්නේ ඔන්න ඕකයි ! 
දැන් ඉතින් මේ ලියමන ඉවර කරගන්න උඩ ට ආයි කිට්ටු කරමු.  ඉවරයක් කරනව කීව ජනාධිපතිකම ඔන්න ඔහේ තවත් එකෙකුටත් දීල ම බලමු වගේ එකකින් එන නොවැම්බර් 16ත් ඡන්ද කෙළියක් කරගත්තොත්, ඒකෙන් වින් කරන සර්පයා ට ලැබෙන්නේ කොයි විදියේ බල විමානයක් ද ?
 නිල කාලය අවුරුදු පහයි; උපරිම දෙපාරයි.
පාර්ලිමේන්තුවේ එකඟතාවයක් නැතිව අන්තිම මාස 6 වෙනතුරු ඒක විසුරුවා හරින්න බැහැ.
අගමැති පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්. ඇමතිවරු නිර්දේශ කෙරෙන්නේ අගමැති මගින්. විෂයයන් බෙදද්දී අගමැති විමසිය යුතුයි. 
රාජ්‍ය සේවය, අධිකරණය ආදි විධායක- පරිපාලන- අධිකරණ ක්ෂෙත්‍රවල පාලනය ස්වාධීන කොමිෂන් හරහා. ජනාධිපති ට තියෙන පත්වීම් ලියුමට අත්සන තියන්න සිදු වෙන බලය විතරයි. 
මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට නීතිපති මගින් කැඳවිය හැකියි. 
ඔහොම ⁣ඔහොම බලා ගෙන යද්දී දැන් පත් වෙන ජනාධිපති කියන්නේ අර 'රජ' මේනියාවෙන් පෙළෙන උඩහ- පහළ කොයි උන්දෑටත් අනුව 'පඹ තනතුරක්' !!!
දැන් මගේ ප්‍රශ්නය මේකයි;
අර රාජකීය මානසිකත්වයක ඉන්න පට්ට පොරවල් මේ වගේ පඹයෙක් වෙන්න මේ තරම් පොරකන්නේ ඇයි ?
මේක 

Monday, June 17, 2019

පාළු ය; හිස් ය; පුරවන්නට අකුරු නැත !



පැය කීපයකට කළින් රසිකා ගේ කඳුළු බර හඩින් දුරකථනයෙන් කියවුණ ඒ පුවත හදවතත්, මගේ හඬත් මොහොතකට ගොළු කළා.
“ප්‍රේමපාල අයියා නැති වෙලා ! “
60 දශකය මැද දි ජවිපෙ සමාරම්භකයෙක්; කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අංශය මෙහෙයවමින් 71 කැරැල්ල ට නායකත්වය දුන්නෙක්; සිරමැදිරි තුළ සිර කොට මරා දැමිය නොහැකි විප්ලවීය ජවයකින් යුතු ව කැරලිකාරීත්වය හරිහමන් විප්ලවවාදිත්වයක ට පෙරලා ගන්න ට අවශ්‍ය නිහතමානි ස්වයං විවේචනය සමඟ ‘ජනතා සංගමය‘ ගොඩනැගිමේ එක් පුරෝගාමියෙක්; ස්වයං විවේචනය තු්ළ වාම ඉදිරිමඟක් දැකිමත්, පිඩිත දමිළ ජාතියේ අරගලය සම්බන්ධයෙන් යුක්තිගරුක සිහිනයක් දැකිමත් හේතුවෙන් අප සමඟ, අපටත් ඉහළින් 88-89 ජවිපෙ ඝාතන ලැයිස්තුවේ අංකයක් වූවෙක්; කෘෂිකාර්මික රටක් වූ ලංකාවේ ගොවියන් නොතකා හරිමින් කළ හැකි සමාජ විප්ලවයක් නැතැයි එන්ජීඕ ආකෘතික සීමා පෞද්ගලිකව බිඳදමන හුදෙකලා කැරලිකරුවකු වෙමින් ජාතික ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගොඩනැගූ පුරෝගාමියෙක් !
කොයි අතින් බැලූවත් ‍‍ඔහු දැවැන්තයෙක්.එහෙත් ඔහු හුස්ම ගත්තේ අප වැනි පුංචි මිනිසුන් අතරයි. 
මාදිවෙල කුලි කටුමැටි නිවෙසට මම මුළින් ම ඇතුල් වුණේ අපේ කොළු නඩයක් අතර ඇති වූ සිනමාවේ ‘කලාත්මක-සම්භාව්‍ය‘ හුටපටයක් විසඳා ගන්න ! එදා මුණ ගැහුණ ‘ප්‍රේමපාල අංකල්‘ , ‘සහෝදරයා‘ වන්න ට වැඩි කාලයක් ගියේ නැහැ. ඊට පස්සේ ඒ මනුස්සයා ම මේ මනුස්සයා තුළ ‘ප්‍රේමපාල අයියා‘ වුනා. පැය ගණන් දිග පළල අපේ මාතෘකා දේශපාලනය, කලාව, ආගම, පරිසරය වගේ ඉමක් කොනක් නැති අනන්තයක ගලා ගිය ඒවා. 
ලේසියෙන් ඇඳක තියන්න බැරි මේ මනුස්සයා ඇඳට වැටුන වෙලාවක මම ගියා පොත් ටිකකුත් අරන් බලන්න. එදා දවස ම අපේ කතාව එකඟතාවලට වඩා සැර නොඑකඟතා එක්ක ! ඒත් අන්තිම ට අපි කවදත් වගේ හොඳ ම හොඳ ආදරණිය යාළුවෝ ! 
“ජවිපේ අධ්‍යාපන වැඩපිලිවෙල අහම්බයක් නෙවෙයිි. එහෙම එකක් බිහි වුනේ ඇයි කියන එක ගැන හොඳ සාකච්ඡාවක් තාම ඇවිත් නැහැ කියල මට හිතුනා. ඔයා මොකද හිතන්නේ ඒ ගැන යම් ලියවිල්ලක් කියවාගැනිමක් ගැන ?“ 
මම මේ වැඩේ ඉහලන් ම අගය කළා. 
“මම ලියන්න ගත්තා. පිළිවෙලක් නැහැ. තැන් තැන්වල. ඔයා ට පුළුවන් නේද මට උදව් වෙන්න මේක ලියන්න“ 
එදාත්- දවස් කීපයක්මත් ඔහු මේ ඉල්ලීම කළා. ඇත්තට ම මට ඕන වුණා මේ වැඩේ ට උදව් වෙන්න, මම ඒකට පොරක් නොවුණත්. ඒත් මම ගියේ නැහැ. මම ඕනකමින් ම මඟ හැරියා !
ප්‍රේමපාල අයියා දේශපාලනය වගේ ම සමාජ ක්‍රියාකාරිත්වය ‘රස්සාවක්‘ කරගන්න අකැමැති වුණ එක ටිකක් ආන්තික හැසිරිමක් වගෙත් කියලත් දැන් මට හිතෙනවා. ඔහු එවැනි රැැකියා ඔක්කොම ප්‍රතික්ෂේප කළා. ඒ කාලේ ඔහු ඇඳුම් මැසූ සන්නාලියෙක් (හිරගෙදර ඔහු ගේ වෘත්තීය පුහුණුවත් ඒක)මේ අන්තිම දවස්වල ඔහු විටින් විට සනීපාරක්ෂක කම්කරුවෙක්, රාත්‍රී මුරකරුවෙක්, සුරතල් මසුන් අළෙවි සේවකයෙක් ආදි සොයා ගත හැකි රස්සා ගණනාවක හිටියා. ඒ අතර දේශපාලන ක්‍රියාකාරකම් වල ට වෙන ම වෙලාව හා හයිය හොයා ගත්තා. අඟහිඟකම් ගැන ඔහු ගාව කන්කෙඳිරිගෑම් නැහැ. ඒත් බෙහෙත් ටික ගන්නවත් බැරි තරමට ඔහු වැටී සිටි අනන්ත මොහොතවල් රහසක් නො වුණ මා වැන්නන් ට ඒ වෙනුවෙන් ඔහු ගේ අත ට කීයක් ම හෝ දෙන්න ට බැරිනම් ඔහු හමුවෙන්න ට හිත හදා ගන්න අමාරු වුණා. 
ඉතින් ආයෙමත් කවදාවත්, කොහේදිවත් මට ප්‍රේමපාල අයියා මුණ ගැහෙන්නේ නැහැ ! ඔබ ට මුණ ගැහෙන්නෙත් නැහැ !
ඔහු එක්ක කරන්න හිටපු කිසිම වැඩක් ආයි කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. 
“ජීවිතය සුන්දර කරන්නේ එක පැත්තකින් මරණයයි“ මෙහෙම නිතර කියපු ප්‍රේමපාල අයියා පොඩි අතුල ගේ කතාවකුත් සමහර විට එකතු කරනවා ඒකට ම; “මරණය මඟ හැරිලා, මාත් මේ ගත කරන්නේ ජිවිතයේ ව්‍යතිරේකයක්“
දශක කීපෙකට කළින් නුගේගොඩ හංදියකදි මාව අල්ල ගත්ත ප්‍රෙමපාල අයියා මෙහෙම කිව්වා;“පොදු අරමුණක් වෙන්වෙන් වෙහෙස නොවෙන ජිවිතයක කිසිම තේරුමක් නැහැ. මම ඔයා ට ආදරේ ඒ නිසයි“
ඒ ආදරය සමඟින් ම ප්‍රේමපාල අය්යා නික්ම ගිහින්. මට ලොකු පාළුවක් දැනෙනවා. සමහර විට ප්‍රෙමපාල අයියා නැති ඔහු ගේ අවමඟල් උත්සවය ට වුුණත් මම යන එකක නැහැ. 
ප්‍රේමපාල අයියා, මට ඔයා ව ගොඩාක් මිස් වුණා ! මට මිස් වුණේ මනුස්සයෙක් විතරක් නෙවෙයි !

Wednesday, September 23, 2015

පොත් විකිණිම හා කියවීම

“බුක් ෆෙයාර් ගියා“ කියන, “ බුක්ෆෙයාර් යනව“ කියන, “බුක්ෆෙයාර් යනවද“ අහන ගොඩ දෙනෙක් මේ දවස්වල හමු වෙනවා.  ඒත් පොතක් - ලිපියක් ගැන කතා කරන්න, දෙයක් අහන්න ගියොත් එතැනින් දහයෙන් එක්කෙනෙක් එක්කවත් ඒ වැඩේ කරන්න බැහැ.  

 ඇත්තට  කියවීම දුර්වල දෙයක්, දුර්ලභ දෙයක් වෙලාද ?  පැනපු ගමන් ‘ඔව්‘ කියන පිරිසක් ඉන්නව ඒකටත්.  එහෙමනම් මොකක්ද ඇත්තට ම හේතුව ? 

ගොඩදෙනෙක් කියන්නේ අන්තර්ජාලය ඇතුළු කොම්පියුටරය; එහෙම නැත්නම් ටීවි එක තමයි ප්‍රධාන හේතුව කියලා.  මම පොත්-පත්තර කියවන්න ගත්තේ ටීවි ආපු කාලෙමයි.  ටීවී එක ළඟින් වාඩි වුණා ම දවස පුරා ම නැගිටගන්න බැරි ව හිටපු, ටිවී බලන්න ඕනකමට ක්ලාස් කට් කරල හිටපු එකෙක් මාත්.  ඒත්, ඒකෙන් මගේ පොත්- පත්තර කියවිල්ලට මෙලෝ බලපෑමක් වුණා කියල මටනම් දැනෙන්නේ නෑ.

හැබැයි මටත් පොදුවේ දැනෙනවා පොත් පත්තරවලට වඩා අළුත් පරපුර ටීවී එකට, මුණුපොත ඇතුළු අන්තර්ජාලෙට වැඩියෙන් සෙට් කියලා. මේ නිරික්ෂණයෙන් ම ‘ඔන්න ඕක තමයි අපි කීවේ; ඕක තමයි හේතුව“ කියල කියන්න කලබල වෙන්න ඕන නෑ නේද ?  මේක හරියට ළමයෙක්  භාෂාව විෂයයට වඩා විද්‍යාවට කැමතිනම්, භාෂාවට අකැමැති වෙන්න හේතුව විද්‍යාව කියල කරන මහා සොයාගැනිම තරම් ම ගොබ්බයි ! 

මට දැනෙන හැටියට, කියවිමට කෙළවලා තියෙන්නේ කියවීම සම්බන්ධ බලධාරීන් නිසයි.  

මම ආසාවෙන් කියවමින් හිටපු පොත් කීපයක් ම මට තිත්ත වෙලා ගියේ ඉස්කෝලේ නිර්දිෂ්ට පොත් කළාට පස්සේ.  රසවින්දනය කියල ඒකෙ දී කළේ අමු අමුවෙ ම රසවින්දනය කාබාසිනියා කරපු එක.  එකම එක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින්වත් අධ්‍යාපනය ආගමිකකරණයෙන් මුදවා ගෙන නෑ.  ඉතිහාසය, සාහිත්‍යය වගේ හැම විෂයයක්මත් ආගමික කරල තියෙන්නේ.  උන් අහන ප්‍රශ්ණෙට උන්ගේ උත්තරේ ම දෙන්න පුළුවන් නම් තමයි ලකුණු ලැබෙන්නේ. මේක වෙනස් කරල ඇත්ත ශිෂ්‍ය කේන්ද්‍රීය-නිදහස් අදහස්වලට ඉඩ තියෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්නත් මේ එකම එක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකටවත් බැරි වුනා.  

ඉතින් මේක පොත්-පත් කියවීමට බලපාන්නේ කොහොමද  ?  

අපි පුංචි දවස්වල ළමා පත්තර කියෙව්වේ පට්ට ම පට්ට ආසාවකින්.  ඒ පත්තර ම දැන් පල වෙනවා, මෙලෝ රහක් නැති තරම්. තනිකරම ‘ප්‍රශ්ණෝත්තර පත්තර‘ වගේ.  අපි පුංචි කාලෙත් එහෙම පත්තරත් තිබුණා.  ඒත් ඒවා ගත්තේ මුලු ජීවිතයම විභාග උණෙන් පෙලුන පොරවල් විතරයි.  දැන් හැම එකකටම ඒවා බෝ වෙලා. 

මේ ක්‍රමය යටතේ කියවන්නේ ලකුණු ගන්න. ලකුණු දෙන ප්‍රශ්ණත් උන්ගේ; උත්තරත් උන්ගේ.  ඒ ඒ ප්‍රශ්නවලට දෙන්න ඕන උත්තර මෙන්න මේවා කියල පැහැදිලි කරලා උන් පොත් පත්තර ගහනවා. ලකුණු ගන්නනම් ඒවා සල්ලි දිල ගන්න ඕන.  

මේ විදියට දැන් සමහර විෂයයන්ට ආණ්ඩුවෙන් පෙළ පොත් නැහැ.  ඒත් පේපර් එක හදන පොර ලියනවා පොතක්.  නිල නොලත් පෙළ පොත ඒකයි.  පොර ‘කතිපයාධිකාරියෙක්‘ (ටීම් ඒකාධිපතියෙක්නම්) සහචර පොරවල් කීපදෙනෙක්ගේ පොතුත් නියම කරනවා. එතකොට ඒකත් මාර්කට්.  

දැන් ප්‍රාථමික පංතිවල පැවරුම් දෙනවා.  චිත්‍ර අතින් අඳින්න බැහැ. පින්තූර අලවන්න ඕන.  ඒ පිංතූර පංතියෙන් පංතියට වෙන වෙන ම ගහන පත්තර තියෙනවා.  ඉතින් ඒකත් මාර්කට්.  

ආණ්ඩුවෙන් විභාග තියනවා.  නිර්දේශිත පිළිතුරු දෙන්නේ නෑ ශිෂ්‍යයන්ට.  ඒවා දෙන්නේ ප්‍රකාශක වෙළෙන්දන්ට.   විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන් ප්‍රශ්න පත්තරේ විතරයි.  ඒකත් ලොකු කට්ටක් කාලා. ප්‍රශ්න-පිළිතුරු ඇතුළත් පොත් ගහනවා අර ප්‍රකාශන ආයතන.  එක ම තමයි හැමෝ ම ගහන්නේ. පුදුම වැඩේ කියන්නේ ගුරුවරු ඉඳන් ම කියනවා අහවල් ප්‍රකාශන ආයතනයේ එක ගන්න කියලා.

අද ළමයෙකුට ළමා කතන්දර පොතක් හරි ලැබෙන්නේ ඉසකෝලේ නිර්දේශ කරපු පොතක් විදියට.  මට හිතා ගන්න පුළුවන් එතකොට ඒ ළමයටත් පොත් ගැන ඇති වෙන ජුගුප්සාව. 

මේ කාලකන්නි නිලධර තන්ත්‍රයෙන් ගැලවිලා ටිකක් හරි රස විඳින්න පුළුවන් අන්තර්ජාලේයි ටිවි එකයි විතරයි.   ඒකත් සාපේක්ෂයි.  ඉතින් එතනට අළුත් පරපුර යොමු වෙද්දී පත්තර-පොත් අතහැරෙන ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නේ.   ඒ වගේ ම ඒකට වගකියන්න ඕන අධ්‍යාපන- සාහිත්‍ය බලධරයන් වගේ ම උන්ගේ ගොබ්බ මාර්ගෝපදේශන-නියෝග ගෙඩි පිටින් ගිලගන්න මේ මැටි මෝල් ජනතාව ! 

මේ විදියට අපේ රටේ තියෙන්නේ කෘතිම ව හදපු පොත්-පත්තර මාර්කට් එකක්.  ඒක හදල තියෙන්නේ බලධාරීන්.  මේ මැටි සමාජය කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව ඒක ගිලල දානවා.  මේ පොත්-පත්තර මාර්කට් එක අන්තිම වැඩවසම්.  ඒක හදන්නේ වෙළෙන්දොමත් නෙවෙයි.  නිලධාරින්.  නිෂ්පාදන ධනපතින් වෙනුවට නිලධාරින් ධනපතීන් වෙන මේ වගේ අඩු දියුණු සමාජයක රසාස්වාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක වගකිමක් අපේක්ෂා කරන්න පුලුවන් කාගෙන්ද ? කවුරුවත් නෑ කියන එක ම නෙවෙයි.  ඒත්, මේක මට ප්‍රශ්නයක්.