Thursday, November 26, 2026

මල්ලංකා ඇන් සිරිලංකා



​අපි දන්න ලංකා ඉතිහාසය කියන්නේ මල් මල් කතාවක්. විශේෂයෙන්ම ලංකාවේ නොවැම්බරය ගෙවිලා යන්නේ මල් මල් පොකුරුවලින් හොම්බට ඇනගෙන ඇනගෙන! (සොරි හොඳේ! මට දැනෙන්නේ අපි කවුරුත් වගේ හෝමෝ සේපියන් වර්ගයේ වුණත්, අඩු වැඩි වශයෙන් හොම්බ ටිකක් දිග ජීවී විශේෂයකට අයිතියි කියලා.)

​මේ මල් කතා අතරින් 'මෝස්ට් සීනියර්' මල් කතාව පොපි මල් කතාව වෙන්න ඇති. පොපි මල කීවාම දුම් දාගෙන මතකයට එන්නේ අබිං. පළමුවෙනි ලෝක යුද්දේ බ්‍රිතාන්‍ය මිලිටේරියේ තුවාල වුණු, ආබාධිත වුණු සොල්දාදුවන්ට හෙවත් 'රණවිරුවන්'ට සම්මාදම් කරපු වැඩේ ගියේ පොපි මල් උඩින්. ගැළපීම කියවන නුවණට බාරයි ඉතින්.

​මේ වැඩේදි "ඇයි සුදු උං විතරද රණවිරුවෝ? ඇයි අපි කළුද?" කියලා ලංකාවෙන් අදිරද මිලිටේරියට ගිය පොරක් පටන් ගත්තා ඒකට දෙවෙනි නොවෙන්න 'සූරියමල් ව්‍යාපාරය'. ඒත් පොරට වැඩි කල් ඔය මල් වැඩේ කරන් යන්න අසීරුතා ආවා. උදව්වට ආපු වාමාංශික ඇත්තෝ අදිරද විරෝධී අක්ෂයට අංශක 180කින් සූරියමල හරවලා තමන්ගේ අතට ගත්තා. කොහොමත් සූරියමල කියන්නේ ඉර හැරෙන හැරෙන පැත්තට හැරෙන මලක් නේ. ඒකත් ඉතින් මලේ සොබාවේ කියලා හිතාගමු කෝ. ඒත් කේස් එක කියන්නේ පැය 24ම ඉර නෑ නේ. මං කියන්නේ පේන්න නෑ නේ. ඒ නිසාදෝ මන්දා සූරියමලටත් ඉර එක්ක ටැපලිලි ගොඩයි. වෙලාවකට හඳ ඉර වෙනවා. තව වෙලාවකට තරු වෙනවා. ඒ අස්සේ වල්ගා තරු. ඒ මදිවට උල්කාපාත.

​එංගලන්තේ තේ කෝප්පෙත් එක්කම සාගරේට විසි කරලා, ලංකාව 'සිරි' වෙලා, පූර්ණ 'ජනරජයක්' වුණා කියන 1972 වෙද්දී, සූරියමලේ පෙත්තක් හොයාගන්න බැරි සයිස් එකට කෙළ වුණා නේ! හැබැයි පේන විදියට නැට්ටක්වත්, ඇටයක්වත් ඉතිරි නොවෙන්න සූරියමල නැත්තටම නැති වෙලා ගියේ දැන් මාලිමා මූණක් දාගෙන ආණ්ඩු කරන ජේවීපී ඇත්තෝ ඒ කාලේ මානෙල් මල් ව්‍යාපාරේ කරන්න 'ද්වේෂහිතෛෂී' ජාතික ව්‍යාපාරේ හදපු කාලේ වෙන්න ඕන. ඒකට පාත්තිය හාද්දී 71 අප්‍රියලයේ ඒ ඇත්තන්ම පුප්පවපු එරබදු මල් මොට්ටු පොට්ටුත් කුඩේ කුඩු වුණා කියපං කෝ! යුද්දෙට විරුද්ධව හදපු සූරියමලෙන් උපන් උදවිය මේ විදියට යුද්දෙට සපෝට් එකට හදපු මානෙල් මලෙන් යළි උපන්නා වගේ මොකක්ද එකක් වුණා ලු!

​ඕං ඔය අතරේ ගින්දර හැඩැති අමුතුම මලක් අනිත් කොණෙන් මතු වුණේ ඔය කොයි කොයි මලෙත් කන්කොන් බලපෑම් එක්ක. රතුපාටයි කහපාටයි. ඇට කෑවොත් මරණේ තමයි. හැබැයි අපේ දූපතේ ඇත්තෝ මරණින් එහා මොකක් හරි සීන් එකකුත් විශ්වාස කරනවා නේ. පුනරුජ්ජීවනය, පුනර්භවය, පුනරුත්පත්තිය නැත්නම් ආගමික නොවන කස්ටිය අමරණීය ජීවිත වගේ මොකක්ම හරි එකක්. ඒ අලුත් ජීවිතය ලබන්න නම් මේ පරණ ජීවිතය මැරෙන්න ඕන. මේ විදියට ගත්තාම මේ අමුතු නියඟලා මල ගින්දර වගේ කියාන යන්නේ මරණය මතින් අලුත් ජීවිතයක්.

​දැන් මේ කොයි කොයි මලටත් ඒකෙම සුවඳක් තියෙනවා නේ. ඒවා, ඒවා හැටියට විතරක් නෙවෙයි ඒ ඒ විඳින්නන්ගේ හැටියටත් වෙනස් නේ. සමහර මල් ජීවිතය වගේ සුවඳයි. තවත් ඒවා මරණය වගේ. තවත් ඒවා සතුටු සුවඳක්. තවත් ඒවා දුකේ නැත්නම් කෝපයේ සුවඳයි. වෙනස් තමයි; ඉතින් මොකෝ!

​ලංකාව හැදෙන්නෙම මේ නොයෙකුත් මල් සුවඳේ එකතුවක් විදියට. ලංකාව, ලංකාව හැටියට බාරගන්න ඕන ඇත්තෙක් ඉන්නවා නම් මේ කොයි මලත්, ඒ ඒ සුවඳ බාරගන්න මිනිස්සු එක්කම බාරගන්න වෙනවා.

​දැන් ඔය නියඟලා මල් උදුරන්න, පස්ස උඩ දාගෙන තටමන තප්පුලන්නන්ට පුළුවන් දේ ලංකාවේ මූණත්තහඩුවේ පදාස පදාස පිටින් ඩැමේජ් කරන එක! ඒ හැර බෝනස් එකක් හැටියට නියඟලා මල් සුවඳ තව තවත් දසත පතුරවන්නත් එයාලට පුළුවන් වේවි.

​ඉතින් ඕන කෙහෙල්මලක් කියලා කොයි කාටත් මල් මල් සුබපැතුම්!


#Suriyamal #Popimal # ManelMal# Niyagalamal #SriiLanka ethnic issue #ethnocratic state mahaweera 

No comments:

Post a Comment