Saturday, April 3, 2021

සැබෑ එඬේරික රායප්පු ජෝෂප් රදගුරු සිය අධ්‍යාත්මය අප අතර තබා නික්ම යයි


 රදගුරු රායප්පු ජෝෂප් ගැන පට්ට ම වෛරයකින් තමන් ම පිච්චෙමින් ඉන්නා කීපදෙනෙක් ද නැතුවා නො වේ.  කොහොමටත් උන්නාන්සේ උතුරේ පූජනීය උත්තමාචාරයට ලක් වන තරමට දකුණේ එසේ නො වීම තේරුම් ගන්න ඒ තරම් අමාරු දෙයක් නො වේ.  


ඒත් මේ වෛරී ප්‍රකාශනවලින් උන්වහන්සේ ට නැනෝවක් සයිස් අවුලක්වත් නොවුණ එකත් තේරුම් ගන්න අමාරු දෙයක් නොවෙයි.  සැකයක් නැතිව ම උන්වහන්සේ හිටියේ තමන්ගේ හෘදය සාක්ෂ්‍යය තුළින් අමතන දෙවියන් වහන්සේ එක්ක වීම බව ඒකට හේතුව හෙව්වොත් පැහැදිලි ව පෙනේවි.  


තවත් සාමාජිකයන් තුන් දෙනෙක් එක්ක දූත කණ්ඩායමක සාමාජිකයෙක් විදියට අවුරුදු කීපයකට පෙර උන්වහන්සේ එක්ක විනාඩි 15ක කාලයකට මුණ ගැසෙන්නට මටත් අවස්ථාවක් ලැබුණා.  අපේ සාකච්ඡාව පටන් ගන්න ටිකට කළින් අපි ගිහින් හිටපු නිසා වේලාසන තේ පැන් සැදයත් අපට භුක්ති විඳින්න ට ලැබුණා.  ඒ අතර එතන සෙමනේරියේ ඉගෙන ගන්නා පොඩි අන් දෙන්නෙක් ගේ වලියක්.  ඒ දෙන්නාම කැඳවා, දෙන්නාගෙන් ම කෙටියෙන් කරුණු අසා, දෙන්නාටම සැර වේවැල් පාරවල් දෙක ගැනේ දීලා පිටත් කරද්දී පොඩි අන් දෙන්නගෙම ඇස් කඳුළින් බර වෙලා.  මට ඒ වෙලාවේනම් රදගුරුතුමා ගැන ඇති වුණේ එතරම් ප්‍රසන්න හැඟීමක් නෙවෙයි.  “ඇයි ඒ පොඩි එවුන්ට ගහන්නේ ?“ මට අහන්න ඕන වුණා.  ඒත් න්‍යායපත්‍රෙය් ඒකට ඉඩක් නෑ.  “ඔහොම කළාට, නපුරුයි වගේ පෙන්නුවට කෑම බිම ටිකද, බොහෙත් පෙත්තක්ද, මුකුත් අඩුවෙන්න උන්නාන්සේ ඉඩ දෙන්නේ නෑ“  පස්සේ ඒ ගැන වෙන කෙනෙක් පැහැදිලි කළේ එහෙමයි.  ඒත් ශිෂ්‍යයෙක්.  හරි දේ කියල තමන්ට තේරුන දේ වෙනුවෙන් පට්ට දැඩි විදියට පෙනි ඉන්න එක, මොන ම කොන්දේසියක් යටතේවත් ඒක අතාරින්න සූදානමක් නැතිකම ඒ ටික වෙලාව ඇතුළේ මම අත්දැකපු දෙයක්.  අනිත් කෙනා තේරුම්ගන්න උන්වහන්සේ මහ ලොකු වෙලාවක් ගත කරන්නේ නැහැ.  අපි හැමෝටම ලැබෙන්නේ කෙටි වෙලාවක්.  ඒ වගේම උන්වහන්සේ ගන්නෙත් ඊටත් වඩා කෙටි වෙලාවක්.  ඒ කියන දේ ඉතා පැහැදිලියි.  ආයි තුන් තේරුම් කර ගන්න දෙයක් නැහැ.  අපට කළින් අනිත් එපොයින්මන්ට් එක ඒ ප්‍රදේශය පාලනය කරපු එල්ටීටීඊ අධිකාරියේ නායකයන් දෙන්නෙක් එක්ක.  එක්කෙනෙක් දයා මාස්ටර්.  හිනාවකින් පිළිගත්තත් එතනත් පොඩි වලියක් වගේ දැනුනු නිසා මම අපේ පරිවර්තක මිත්‍රයගෙන් ඇහුවා, ‘ මොකක්ද මේ කේස් එක?“ කියල.  ඒ දවස්වල ශ්‍රීලංකා රාජ්‍යය මේ ප්‍රදේශ පැනඩෝල් පෙත්තක්වත් එන්න නොදී හිර කර ගෙන හිටියේ.  පෙට්‍රල්, ඩිසල්, ලාම්පුතෙල් වගේ දේවලුත් ලොකු සීමාවක් යටතේ තුන් හතර පොළකින් අවසර අනුමැති අරන් ගේන්න ලැබුණේ. (අර දරුවන් ගැන අර විදියේ බලාගැනීමක් ගැන තවත් දරුවෙක් ඒ කතාව කියන්නේ මේ පසුබිමත් එක්ක) කරන්ට් එක අත්‍යවශ්‍ය තැන්වලට ලැබුණේ එල්ටීටීඊ පාලනාධිකාරියෙන් ඉතාම සීමිත සම්පත් යටතේ ක්‍රියාත්මක කරපු ජෙනරේටර් වලින්.  දැන් අර වලිය ඒ වගේ දෙයක් ගැන.  දයා මාස්ටර්ලට සිදු වුණ බවක් පෙනුනා විනාඩි පහක්-හයක් යනන් කලින් රදගුරුතුමාට එකඟ වෙන්න.  එල්ටීටීඊයට සම්බන්ධ කරමින් රදගුරු රායප්පු ජෝෂප් ගැන තිත්ත රස කතා පොට්ටනි ගණන් බෝල ගහන කට්ටිය ඒ ගැන දන්න ඇටයක් නැති බව ඒ විනාඩ් කීපය ඇතුළේ අපට පෙනී ගියා.  හැබැයි දෙගොල්ලම දෙගොල්ලන්ට ඇත්ත වශයෙන් ම ගරු කර ගන්නා බවක් පෙනුනා. 

ඊට පස්සේ අපේ වෙලාව.  අපේ තේ කෝප්ප මණ්ඩි හරියේ එතකොටත්.  හැබැයි වෙලාවේ ප්‍රමාදයක් නැහැ.  විනාඩි එකහමාරක් වගේ ඇතුළත අපේ පුද්ගලික නම්-ගම් ඇතුළු හඳනාගැනීම්.  ඉවර වෙනවත් එකක් ම උන්නාන්සේ මේ සාක්ච්ඡාව ගැන දැනුවත් කරල කොළඹින් අපේ කට්ටිය එවල තිබුණ ලියුම අර ගෙන ඒකේ වැඩේ කෙරෙන්න ඕන කොහොමද කියල උන්නාන්සේගේ අදහස කීවා.  ඒ කියන්නේ උන්නාන්සේ මේ හැම දේට ම හෝම්වර්ක් කරල, සූදානමින් ඉන්නේ.  ඒ සංවිධානාත්මකබව පට්ට ! අපි ගාව තිබුණ සැලසුම හැබැයි වෙනස් ටිකක් විතර.  අපි ඒක කීවා ම උන්වහන්සේ අංක එක, දෙක, තුන කියමින් ඒකේ තියෙන අවුල් ටික කියන්න ගත්තා.  ඊට පස්සේ ඇහුවා ඒ තත්වයන් ඇතුලේ අපි හිතනවද කියල එහෙම කරන එකෙන් මේ වැඩේ හරි යයි කියල.  ඉතින් ඔක්කොම හරි; එකඟ වෙනව හැරෙන්න අපට කරන්න වෙන දෙයක් නැහැ.  කොලඹ ඉඳන් හදන ප්ලෑනකට වඩා පට්ට ප්‍රැක්ටිකල් ප්ලෑන් එකක් එක්ක රදගුරු තුමා  හැබෑම සූදානමකින් හිටියේ.

දළදාව වගේ දේශපාලන බල මෙවලමක් හැටියට මඩු මාතා සුරුවමත් පාවිච්චි කරන්න නිල්-කොල-රතු වෛවාරණ පාලක රැළ ටුයි එකක් දෙමින් ඉන්නේ අද ඊයෙක ඉඳුන් නෙවෙයි.  සංහල-දමිළ ජනයා එකතු කරන සාමයේ සහ සහජීවනයේ පරාදිසයක් වුණ මඩු දේවස්ථානය, මේ ජනයා වෙන් කිරීම, එකාට එකා කා කොටා ගන්නා තත්වයකට පත් කිරිම සඳහා කාලෙක ඉඳන් ම ව්‍යාපෘති තිබුණා.  ශ්‍රී ලංකා රාජය හමුදා මඩු පුදබිම යටත් කරගන්නා විට ඒ පළාතේ මිනිස්සු ආරක්ෂිත ප්‍රදේශ දිහාට පළායන්න ගත්තා.  රදගුරුතුමා ඇතුළු පිරිසත් මඩු සුරුවමත් අර ගෙන ඔවුන් සමඟ ගියා.   ඔන්න ඉතින් චෝදනාවක් ! රදගුරු රායප්පු ජෝෂප් කොටි පාලන ප්‍රදේශයට මඩු මාතාව පාවා දෙයි කියලා යෝධ පෝස්ටර් දකුනේ වදින්න ගත්තා.  මුඩු මාතාව කොට්න්ගෙන් බේරා ගනිමු කියල මේ මහා බැතිමත් වයාපාරය ගෙන ගියේ පල්ලිවලට පහර දීල, පෙට්රල් බෝම්බ-ග්‍රෙනේඩ් ගහලා, බැතිමතුන් පිටින් ම පල්ලිවලට ගිණි අවුලවන්න ගිය ඇත්තොම වෙච්ච එක ඓතිහාසික සරදමක් වගෙයි. 

රදගුරුතුමා මේ ගැන ඇහුවම කිව්වේ මෙච්චරයිි;

“මගේ ජනතාව ගමන් කරන දිහාට යනව හැර මම වෙන කොහේ යන්න ද ?“

ඇත්ත ! උන්වහන්සේ ජනතාවට බොරු එඩ්‍රස් දෙන්න පාලකයෝ එක්ක ඩීල් ගැහුවේ නැහැ.  පාලකයන් කොයි පාටද, කොයි ජාතියෙද, උතුරෙම අය ද, දකුණෙන් ද වගේ කිසි දෙයක් අදාල කර ගත්තෙත් නැහැ.  2009න් පස්සේ තනිකර දකුණෙන් ගෙන ආ මිලිටරි පාලනයකට උතුර යටත් කරල තියෙන වෙලාවෙදීත් උන්වහන්සේ ඒ අධිකාරින්ට සම්පූර්ණ සහයෝගය දෙමින් දකුණේ පාලකයන් ට කීවේ දැන් දැන් ම , වහාම සිවිල් පාලනයකට ඉඩ හදා, පිඩිත ජාතීන් ගේ ප්‍රශ්න විසඳිය යුතු බවයි.  

2011 අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා උන්වහන්සේ LLRC හෙවත් ‘උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය සඳහා කොමිසම‘ හමුවට යනවා.  එතන දී උන්වහන්සේ මෙන්න මේ ප්‍රශ්නය අහනවා.  

“2008 ඔක්කෝබර් මාසය වෙද්දී ශ්‍රී ලංකා රජයේ පරිපාලන සංඛ්‍යාෙල්ඛණ අනුව වන්නි ප්‍රදේශවල ජීවත් වුණ 4,29,059 ජනතාව 2009 ජූලි 10 ශ්‍රී ලංකා රජය එක්සත් ජාතින් ගේ සංවිධානයේ උදව් ඇතිව කරන සංගණනයේදී 2,82,380ක් වුණේ කොහොමද ? 1,46,679ක් මනුස්සයන්ට වුනේ මොකක්ද කියල කරුණාකර පැහැදිලි කිරිමක් කරන්න“

මේ ලියවිල්ලේ තවත් දේවල් තිබුණා.  ඒ හැම දේමත්, ඔක්කෝටමත් වඩා මෙන්න මේ ප්‍රශ්නය නයාට අඳුකොල වගේ ප්‍රහ්නයක් වුණා.  ඇයි ඒ ? මේ සංඛ්‍යාෙල්ඛන කාගේ ද ? ඒවා සම්පූර්ණයෙන් ම ශ්‍රි ලංකා රජයේ නිල සංඛ්‍යාෙල්ඛණ.  ඒ හැර තමන්ගේ ගම්වල්, තමන්ගේ වැඩපොලවල, තමන්ගේ විශ්වවිද්‍යාලවල, තමන්ගේ පවුල් වල මේ නැති වුණ මිනිස්සුන්ගේ දන්න කියන අය ඒ නැති වුණ අය කෝ කියමින් හොයමින් ඉන්නවා.  ඒක වැරදි ද ? නිකමට හිතන්න; තම තමන් ගේ සමීපතමයා, එක පාරට ම හොයාගන්න නැති තත්වයක් ආවොත් තමුන්ට ඒක දැනෙන්නේ කොහොමද කියලා.  හැම පැත්තෙන් ම බැට කාලා, පීඩිත ව, වහල්භාවයට පත් කොට, බෙලහින ව ඉන්න මේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නය හඬ නගා අහගන්න බැරි වෙන එක තේරුම් ගන්න පුළුවන් නේ ද ? අන්න එතනදි තමයි මන්නාරමේ සහ උතුරේ මුලු කතෝලික සංඝය එක්ක එකතු වෙලා මේ අසරණ, පීඩිත මිනිස්සුන්ගේ හඬ බවට රදගුරු රායප්පු ජෝෂප් පත් වෙන්නේ.  

ඒක තමයි කිතුනුකම ! ඒක තමයි යහපත් එඬේරකම ! ඒක තමයි මනුස්සකම ! 

අමනුස්ස සමාජයක දී ඒ වගේ මනුස්සකමක් ‘ත්‍රස්තවාදය‘ හෝ වෙනයම් ‘සාපරාධයක‘ නමින් හඳුනාගැනිම පුදුමයක් නෙවෙයි.  ඒත් ඒ අමනුස්ස සමාජය, අපි වටේ තියෙන අන්තිම මනුස්ස ශිෂ්ටාචාරයත් විනාශ කරල දාන්න කළින්, ඔය අමනුස්සකමටම රට,ජාතිය, ආගම කිය කිය කඩේ ගිහින් අනිත් හැමෝටමත්, හැමදේකටමත් කෙලෝ ගෙන තමනුත් නැති භංගස්ථාන වෙන්න කළින් මේ විදියේ ඉන්ජෙක්ෂන් එකක් හරි ඔළුවට දෙන්න ඕනමයි කියල හිතුනා; ලිව්වා.

සැබෑ එඬේරික රායප්පු ජෝෂප් රදගුරු තුමනි, දෙවියන්වහන්සේ අභිමුව අප වෙනුවෙන් යාඥා කරනු මැන ! 

    


      

Wednesday, March 31, 2021

පැට්‍රික් අයියා තුළින් බහුජන-දේශපාලන අරගලය කියවාගැනීමට ට්‍රයි එකක්



“මගේ වයස දැන් වසර හැත්තෑ තුනකි.  මෙම වසර හැත්තෑ තුනෙන් වසර පනහකට වඩා අධික කාලයක් පුරා ම මා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙමින් වැඩ කටයුතු කර තිබේ........“ 

‘නව මාවතක නව මාවතක් සෙවූ සටන්කාමියා‘ පොත පටන් ගන්නේ එහෙමයි.  පොත ලියන්නෙත්, පොතෙන් කියන්නෙත් ‘පැට්‍රික් අයියා‘ නැත්නම් ‘පැට්‍රික් සහෝදරයා‘; ඒ කියන්නේ පැට්‍රික් ප්‍රනාන්දු ගැන.  

“...අවසාන වහයෙන් කිව යුත්තේ මා දැනට ඇවිදීම අපහසු කරන යම් රෝගි තත්වයකට පත් ව ඇති හෙයින් පෙර සේ ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වීමට එකී තත්වය මට  ඉඩ නොසලසන බව ය.  එහෙත් මගේ දේශපාලන අධිෂ්ටානය අකර්මන්‍ය කරන්නට එය තවමත් සමත් ව නැති බව පවසන්නේ ආඩම්බරයකින් යුතුව ය“  

160 වෙනි පිටුවෙන් පොත ඉවර වෙන්නේ ඔන්න ඔය කතාවෙන්.

ඔය කොටස කියවන්නත් කලින් ඉඳල ම පැට්‍රික් සහෝදරයා වගේ කෙනෙක් මගේ හිත ඇතුළේ චිත්‍රණය වෙන්නේ බොහෝ විට ‘වානේ පන්නරය ලැබූ හැටි‘ පොතේ ‘පාවෙල් කොර්චාගින්‘ වගේ චරිතයක් හැටියට.  පාවෙල්, ඒ පොත ලියපු කිකෝලායි ඔස්ත්‍රනොෆ් ගේ ප්‍රතිමුර්තියක් හැටියට සැළකෙනවා.  මුළු ජීවිතය ම අති මහත් කැපවීමෙන් සෝවියට් විප්ලවය දිනවන්න වැඩ කරන මේ චරිතය අන්තිමට පූර්ණ අන්ධභාවය ට පත් වෙනවා.  එවිට ඔහු තෝරා ගන්නේ එක තැනක ඉඳන් ලිවීම ! 

පැට්‍රික් සහෝදරයා මේ වෙලාවේ මේ පොත ලියල ජනතාවට පිළිගන්නවන කොට සමු නොගන්නා, විශ්‍රාම නොගන්නා අරගල ගමනක මේ මොහොතේ ස්වරූපය හැටියට ලිවීම තෝර ගෙන ඇති කියලත් හිතෙනවා.  ඒත්  ඔහු අනිත් විදිත් අතෑරල ම නෑ.    

සමසමාජ ආභාෂයක් ඇති පවුලකින් පැට්‍රික් සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී දේශපාලන ක්‍රියාධරයෙක් බවට පත් වෙලා 1971 කැරැල්ලේ නායකත්ව මට්ටමේ කාර්යභාරයක් ඉටු කරනවා.  සිර ගෙදරට පුළුවන් වෙන්නේ නැහැ ඔහු වගේ කෙනෙක් හිරකාරයෙක් කරන්න.  පැට්‍රික් සහෝදරයා එලියට එන්නෙත් ලේ වැකි පරාජයක අඳුර අතරින් අරුණෝදයක ආලෝක ධාරා දකිමින් .  ජනතා සංගමය ගොඩ නගා ගනිමින්, වැඩි බරක් බහුජන අරගල බිමේ අරගලයන් එක්ක හදාරමින් ‘විප්ලවවාදී පක්ෂයේ‘ තවාන හදා වඩා ගන්න ඔවුන් උත්සාහ කරනවා.  ගොවි සම්මේලනයේ නායකත්ව වැඩ කොටසක් බාරගනිමින් ඒ වැඩ කොටස ඉවර වෙන්නේ.  ඉන් පස්සේ මරණය දෙපැත්තකින් කඩා පනින බිහිසුනු සමයක අමාරු ම කාලයෙත් උතුරේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනයට පවා අවංක වෙමින්, හෘදය සාක්ෂ්‍යය පාවා නොදෙමින් යන ගමන වැඩ ස්වරූපයන්ගෙත් ලොකු වෙනස්කම් ඇති කරවන බවක් පේනවා.  දියැස අධ්‍යයන කවය හරහා න්‍යායික හැදෑරීමේ වැඩබිමක් හදා ගන්නා පැට්‍රික් සහෝදරයලා, ඒ හැදෑරීම පොත් ගුල්වල ට සීමා කරගන්න බැරිකමේ අභියෝගය එක්ක එළියේ වැඩබිම් නිර්මානය කරගන්න ගන්නවා.  ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය ඒ අතරින් මුල් ම එක හැටියට මතක් වුණා මට. 

දැන් අපේ කතාවට ආයෙමත් හැරෙමු.
පොත....................!

පැට්‍රික් සහෝදරයා මේ මුද්‍රිත අකුරු අතරින් දොඩමලු වෙන්නේ තමන් ගේ ජීවිත මතකයන් එක්ක.  මුල ඉඳල ම ඒ මතකයන් හැම එකක් ම වගේ සමාජ අරගලයන් එක්ක බැඳිලා.  ඒ නිසා එයා ගැන කතා කරන්න ගත්ත ම නිකම් ම ඒක ලංකාවේ සමාජ අරගලයන් ගැනත් කතාවක් බව ට පත් වෙනවා.  

පැට්‍රික් සහෝදරයගේ ජිවිතය අදටත් පර්යේෂණ වැඩබිමක් වගේ.  

“ඉකුත් පරිච්ඡේදයේ සාකච්ඡා කෙරුනේ ප්‍රධාන කොට ම ජනතා සංගමයේ බහුජන ක්ෂේත්‍රයේ වැඩ ය. ..අපි ජනතා සංගමය ගොඩ නැගුවේ සැබෑ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම සඳහා ක්‍රියා කරන විප්ලවීය පූර්ව පක්ෂ සංවිධානයක් වශයෙනි.  ප්‍රවණතා දෙක(ජනතා සංගමය තුළ) පැවතියේ මෙය ගොඩනැගීම සම්බන්ධයෙනි. එක ප්‍රවණතාවයක් වූයේ වැඩපිළිවෙලක් සහිත විනයගත විප්ලවීය සංවිධානයක් ගොඩ නගමින් එහි මඟපෙන්වීම යටතේ බහුජන වැඩවලට හා බහුජන අරගලයට සම්බන්ධ විය යුතු බව ය.  අනෙක් ප්‍රවණතාවය වූයේ අප සරල සංවිධානයක් ගොඩ නගා එහි මෙහෙයවීම යටතේ බහුජන වැඩවලට හා අරගලයට සම්බන්ධ වෙමින් ඒ ඔස්සේ විප්ලවීය සංවිධානයක් ලෙස ගොඩනැගිය යුතු බව හා වැඩපිළිවෙලවල් සම්පාදනය කළ යුත්තේ බහුජන වැඩ හා බහුජන අරගලය  නැතහොත් පංති අරගලය තුළ බව ය....“ (116 පිටුව)

“ඒ අනුව බහුජන ක්ෂේත්‍රෙය් වැඩ ප්‍රමුඛ තැනේ තබා ගෙන අපි වැඩකටයුතු කර ගෙන ගියෙමු...එසේ වුව ද, එක් අතකින් සංවිධානය ගොඩ නැගීම සම්බන්ධයෙන් අප සිටි දෘෂ්ටිමය ප්‍රවේශය හේතු කොට ගෙන සංවිධානය ස්ථිරසාර හා විනයගත සංවිධානයක් වශයෙන් පවත්වා ගැනිමට ද, අනෙක් අතින් අවශ්‍ය කරන න්‍යාය හා වැඩපිළිවෙලවල් ගොඩ නැගෙන්නේ බහුජන වැඩ හරහාය යන දෘෂ්ටිමය ප්‍රවේශය හේතු කොට ගෙන නිසි න්‍යායික මඟපෙන්විමකින් හා නිශ්චිත වැඩපිළිවෙලකින් යුත් සංවිධානයක් බවට පත් වීමට ද අපට මේ වකවානුවේ හැකි නො වී ය....“(117 පිටුව)

‘බහුජන වැඩ‘ කියන්නේ මොනවාද ?  

ශිෂ්‍යයෝ අධ්‍යාපන ප්‍රශ්න විසඳගන්න අරගල කරනවා.  ගොවීයෝ ඉඩම්, වතුර වගේ තමන් ගේ ගැටළු විසඳගන්න අරගල කරනවා.  වෘත්තීය සමිති වැටුප්, සේවා කොන්දේසි, වැඩ කාලය වගේ  තමුන් ගේ වෘත්තීය ප්‍රශ්න විසඳ ගන්න අරගල කරනවා.  මේ හැම අරගලයකට ම පදනම් වෙන්නේ පොදු ප්‍රශ්නයක ඒ ඒ කොටස්.  කට්ටිය ඒකෙත් තමන් ගේ කොටස විසඳ ගන්න තනියෙන් අරගල කරනවා වෙනුවට ඒ ඒ ක්ෂේත්‍රවල අය එකතු වෙලා අරගල කරනවා.  ඉතින් ඕක තමයි බහුජන අරගලය.  මේ අරගල ඇතුළේ පොදුබවක් තිබුණට ඒවා ඒ ඒ මුහුණ දෙන ප්‍රශ්නවල ගැඹුරු හේතු සාධක හොයා ගෙන යන්නේ නැහැ.  ඒ මොහොතේ ප්‍රශ්නය විසඳා ගැනීමෙන් නතර වෙනවා.  අතර මැද සම්මුතිවලට ගිහින් මගින් නතර වෙන්නත් පුළුවන්.  ගොවි අරගලය ඇතුළේ පැට්‍රික් සහෝදරයා මේ ගැන කදිම විස්තරයක් ගේනවා.  ඉඩම් අහිමි දුප්පත් ගොවින් සහ ඉඩම් හිමි පෝසත් ගොවීන්, භික්ෂූන් වගේ වැඩවසම් නින්දගම් හිමියන් පොදුවේ ජල බදුවලට එරෙහිව නැගි සිටියාට ඒ මුළු ගමන ම අන්තිම දක්වා එකට යන්නේ නැහැ.  
අන්තිම දක්වා යන අයත් සමාජ ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලන අරගලය දිහාට ගොඩනැගෙනව කියල කතාවක් නැහැ.  
ඒත් දේශපාලන අරගලය ගොඩනැගීම බහුජන අරගල වැඩබිමේ හැදෑරීම් නැතිව කරන්නත් බැහැ.  

දැන් අද මේ මොහොත දක්වාම පැට්‍රික් සහෝදරයා ගේ ජීවිතය මේ දෙක අතර දෝලනය වෙන අත්හදා බැලීම් මාලාවක වැඩබිමක්.  මට දැනෙන්නේ හරියට වරහන් දෙකක් අතර යන එන ගමනක් වගේ.  බහුජන අරගල වරහනේ එක පැත්තකින් යමින් ආයෙමත් දේශපාලන අරගල වරහනේ ගමන් කරනවා.  මේ වගේ වරහන් ගොඩයි.  ඒ වරහන් අතර කතා ගොඩයි.  

මේ වැඩබිම ගැන කල්පනා කරද්දී එදා පොත ජනගත කිරීමේ හමුව අමතපු වමා හෙවත් ආචාර්ය නිර්මාල් රංජිත් ඒකට සමපාතව ඇයි X එකේ අත්දැකීම (X කණ්ඩායම කැඩී යාමේ දී එක් අතකින් පෙරටුගාමී පක්ෂය සහ අනෙක් අතින් කණ්ඩායම්, ප්‍රවණතා රැසක් විදියට ක්‍රියාකාරිත්වයන් බෙදී යාම ගැන) කතා නොකළේ කියලත් වෙලාවක මට හිතුනා.  මෑත කාලයේ ජවිපේ බිඳිම ඇතුළේ පෙරටුගාමී සමාජවාදි පක්ෂය ගොඩ නැගෙන එකත් මේ වගේ දෝලනයන් ගණනාවක් හරහා එන්නක්.  නව සමසමාජ අත්දැකීම් ඇතුළේ ‘ජන අරගල න්‍යාය‘ ගැන කතා කළත් මේ අත්දැකීම මුණ ගැහෙනවා.  පැට්‍රික් සහෝදරයා සහ මම එකට මුණ ගැසුන ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරයේ‘ අවසාන අත්දැකීමත් මේ වගේ.  ඒකේ මූලික පදනම දේශපාලන බහුජන සංවිධානයක්.  කෙළින් ම දේශපාලන පක්ෂ සංධානයක් හැටියට නව වාමාංශික පෙරමුණ ගොඩ නැගෙද්දී පැට්‍රික් සහෝදරයා නියෝජනය කළ බහුතර කණ්ඩායම එහි සාමාජික සංවිධානයක් හැටියට එකතු වෙන්න තීරණය කළා.  විරුද්ධ වුණ සුළුතරයේ වැඩි දෙනා ට තිබුණේ නව සමසමාජ පක්ෂය වගේ එකක් මේ සන්ධානයේ අරමුණු කොහාට පාව්ච්චි කරාවිද වගේ සැකයක්.  ඒත් මම සහ රසිකා සහෝදරිය පෙනි සිටියේ නව වාමාංශික පෙරමුණේ දේශපාලන වැඩබිමට අපට කළ හැකි ඉහළ ම දායකත්වය ඉන් පිටත ඉඳ ගෙන බහුජන අරගලය සංවර්ධනය කිරීම නිසා එහි සාමාජික සංවිධානයක් නොවිය යුතුයි කියන එකයි.   
පරම්පරා ගණනක් අතර, මඟ හැරිය නොහැකි විදියට මුණගැසෙමින් තියෙන මේ ප්‍රශ්නය පැට්‍රික් ගේ ජීවිතය ගැන කරන කතාවක දී අපට අධ්‍යයනාගාරයක් සපයනව කියල මට හිතෙනවා.

පොතට ඉතා කදිම පසුවදනක් සපයන යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ට කථිකාචාර්ය සාමිනාදන් විමල් පැට්‍රික් සහෝදරයා ගේ ජීවිතය මේ වැඩබිම ඔස්සේ කියවා ගැනීමේ වැදගත්කම මේ විදියට ලියල තිබුණා. 
“...මෙම කෘතියෙහි ආරම්භයේ සිට අවසානය දක්වා ඇදෙන හූයක් වෙයි.  එය නම් අනෙකාගේ ප්‍රශ්නය ගැන දැක්වෙන උනන්දුව තුළින් ප්‍රකට කෙරෙන විමුක්තිවාදි ප්‍රවේශයයි...“  ඔහු කදිම රූපකමය බසකින් මෙහෙම කියනවා.  “...කෑගලු නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරවා ගෙන සිය වෙදකම කර ගෙන ගිය පියෙකුගේ පුතෙක් රාජගිරිය බන්ඩරනායකපුර පර්චස් දෙකහමාරක වපසරියක තනන දෙමහල් නිවෙසක පදිංචි වෙයි...පළමුවැන්න පාරම්පරික උරුමයයි.  දෙවැන්න තම ක්‍රියාකාරිත්වය තුළ සිටි සහ එයට ආධාර වු සහෝදරත්වයේ තිළිනයයි. දෙවැන්න ඉතාමත් අසීරු  ය.  එයට හේතුව එය ඔහු දිනා ගත් දේශපාලනයෙහි හෘදය සාක්ෂිය පිළිඹිඹු කරන්නක් වීමයි...“  

පැට්‍රික් සහෝදරයා මේ වන විට සම්බන්ධ වී සිටින ‘විප්ලවීය සමාජවාදි කේන්ද්‍රය‘ එහි අරමුනු හැටියට කියවෙන විප්ලවීය න්‍යයක් ගොඩ නැගීම, කැප වුණ ප්‍රාරම්භක ක්‍රියාකාරින් සමූහයක් ගොඩ නගා ගැනීම, බහුජන ක්‍රියාකාරීත්වයක් සංවර්ධනය කරන හා පක්ෂයට අවශ්‍ය ක්‍රියාකාරින් සපයන, අරගලය තුළ ඔවුන් පුහුණු කරන, පන්නරගත කරන හා පොදු ජනයාට පක්ෂයක අවශ්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරවන මහජන ව්‍යාපාරයක් පණ ගැන්වීම වගේ කාරණා සම්බන්ධයෙන් සාර්ථක වෙවි ද ?  බහුජන අරගලය සඳහා වඩා සුදුසු ම මධ්‍යස්ථානය හැටියට ජවිපෙ කේන්ද්‍ර කර ගත් ජාතික ජන බලවේගය තෝරා ගැනීම සාර්ථක වේවි ද ?  පැට්‍රික් කියන බහුජන දේශපාලන අධ්‍යයනාගාරය මේ මොහොතේ මේ ලියමින් කරන්නේ ඒ හැදෑරීමට අපේ සමාජය කැඳවීමක්. 

එතැන දි පැට්‍රික් ගොඩනැගුනේ, පවතින්නේ කොහොමද කියන ප්‍රශ්න එක්ක පෙර බැදීම පට්ට ම වැදගත්කියල මම හිතනවා. 
 පොතේ කියවෙන විදියට ඒකට සමසමාජ තාත්තා බලපෑවානම් පැට්‍රික් සහෝදරයගේ දුවල දෙන්න එහෙම නොවෙන්නේ ඇයි ?  තවත් සමහර සහෝදරවරුන් ගේ දරුවන් තමන් ගේ පියවරුන් ට, මව්වරුන්ට සාප කරන්නන් බවට පත් වූයේ ඇයි ? පැට්‍රික් සහෝදරයා ගේ ටර්නින් පොයින්ට් එකක් හැටියට සරත් විජේසිංහ ගේ බලපෑම දක්වනවානම් පැට්‍රික් කියන පුද්ගල මිතුරා අනෙක් මිතුරන් වෙත එහෙම නොවන්නේ ඇයි ?  

මට හිතෙන්නේ ලංකාවේ වාම සාහිත්‍යය ඇතුළේ , විශේෂයෙන් ම මාවෝවාදි බලපෑම ඇතුළත් සාහිත්‍යය ඇතුළේ තියෙන බර අඩුවක් මේ කාරණා සම්බන්ධයෙන් පැට්‍රික් සහෝදරයා ගේ පොතෙනුත් මතු වෙනවා.  පැට්‍රික්, ‘පැට්‍රික්‘ විදියට නැත්නම් වාම බහුජන දේශපාලන ක්‍රියාධරයා විදියට බිහි වුණ විදිය, හැදුනු වැඩුනු විදිය, ඒ පුද්ගල වීර චරිත තුලින් පැහැදිලි කරනන් බැහැ.  ඒවාට බලපාපු, ඒ චරිතවලට පවා බලපාපු සන්දර්භයන් තියෙනවා.  මේ දිහාට මේ පොතෙන් මතු කරන සංවාදය ගෙන යන එක පට්ටම වැදගත් කියල මට ආයේ ආයෙමත් හිතෙනවා.  ඒක ඇතුළේ සරත් විජේසිංහලා ගැන වගේ ම බන්ධනාගාර අධිකාරි ව සිටි ජෝර්ඩන් වගේ චරිත ගැනත්, ඒ චරිත මතු කෙරෙන පොළොවවල් ගැන තව මහා කෘතියක් කරන්න වේවි.  

ඒකට හොඳ මුලපිරුමක් දුන්නාට ස්තූතියි පැට්‍රික් සහෝදරයා !     

  


  
      

  




     


   
 

Sunday, March 7, 2021

පාස්කුවේ බූමරැංගය


 ඉතිහාසය වෙලාවකට වංගු ගගහ යනව;තව වෙලාවක එක පාර ලොකු ටර්න් එකක් ගන්නවා. 

අවුරුදු දෙකකට කිට්ටු ලංකාවේ  පාස්කු ප්‍රහාරයත් ඒ වගේ; හරියට ම කීවොත් මේ වෙද්දීී ලංකා දේශපාලනයේ ප්‍රධාන ම ටර්නින් පොයින්ට් එක නැත්නම් හැරවුම් ලක්ෂය වෙන්නේ මේ පාස්කු ප්‍රහාර සිද්ධිය. 

එතෙක් දේශපාලනයේ තිබුණ බලතුලනය උඩුයටිකුරු කරන්න, නැත්නම් එහෙම වුණා කියල විශ්වාසයක් ජනිත කරන්න ප්‍රධානතම සාධකය හැදුනේ පාස්කු ප්‍රහාර⁣ සිද්ධියෙන්.   

එක පාරට ම හිතාගන්න බැරි වෙලාවක, හිතාගන්න බැරි විදියට පාස්කු පූජාවන් මැද පල්ලි වල සහ සමාන්තරව තරු පහේ හෝටල් වල මරාගෙන මැ⁣රෙන බෝම්බ පිපිරුම් මාලාවක් වෙනවා. ලෝකය පුරා ම හයිලයිට් වෙන පාස්කු උත්සව දවසේ  ලංකාවේ සංචාරක ව්‍යාපාරය මරණීය අත්දැකීමක් වෙන්න පුළුවන් කියන ෂොක්ෆුල් පණිවුඩය සමාජගත වෙන්නේ මෙහෙ ප්‍රධාන ම ආදායම් මාර්ගයේ මුදුන් මුල ට එල්ල කෙරෙන පොරෝ පාරත් එක්ක. කවදත් අනාාරක්ෂිත ව හිටපු මිනිස්සු අතර 'අනාරක්ෂිතබවේ භීතිකාවක්' වෛරසයක් වගේ පැතිර යනවා. පැවතුන ආණ්ඩුවට ඒක කරන්න බෑ; ඊටත් පරණ කට්ටිය ආයි ඕන කියන මතයත් අවධාරණය කරමින් තමයි මේ භීතිකාව සමාජගත කෙරෙන්නේ කියන එක පරිස්සමින් බලද්දී පේන්න ගන්නවා. 

දැන් පාස්කු කොමිෂන් වාර්තාවේ කෑලි කෑලි සමාජගත කර ගෙන යද්දී පේන්නෙත් පට්ට සැකසහිත තත්වය අඛණඩව පැවතීමක් වගේ. කිසිම කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇහුවේ නෑ. උදේ 8.45ට වගේ මුල් ම බෝම්බය පුපුරල මුල් විනාඩි කීපය තුළ මුණුපොත්වාසීන්ගේ දැනගැනීමට RAW රිපෝට් එකක් සංසරණය වෙන්න ගන්නේ කොහොමද ? මුල් පැය ඇතුලත හිටපු ජනාධිපතිවරයා කොච්චිකඩේ පල්ලියේ  ඉස්සරහ රටේ අනාරක්ෂිතබව ගැන සැබෑ වූ පුරෝකථනයක් එක්ක මීඩියා ෂෝ එකක් දාන්නේ කොහොමද ? එදා ම, ඒ වෙද්දී 'කවුරුවත් ම නොවුණ' වර්තමාන ජනාධිපතිවරයා කොළඹ කාදිනල්ගේ නිල කාර්යාලයේ ඉඳල එළියට ඇවිත් 'ආරක්ෂක වගකීම බාරගන්න' සූදානම ප්‍රකාශයට පත් කිරීමේ පසුබිම මොකක්ද ? එදා දවල් දෙහිවල දී සිිිිදුවුණ පුපුරාගැනීමකට කලින් පිපිරුම්කරු මුණගැසුන රාජ්‍ය බුද්ධි අංශ නියෝජිතයා කව්ද?ඇය් ඒ ? 

නවසීලන්තයේ කේස් එකකට පලි ගැනීමක් සඳහා ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකිිිින් මේ ප්‍රහාරක මෙහෙයුම කළ බව දවස් දෙකකට පස්සේ අදාල සංවිධානය 'ඉල්ලීමක් අනූව' පිළිගත් බව BBCයෙන් වාර්තා වුණා.    

කාලාන්තරයක් තිස්සේ ඉස්ලාමීය ආන්තික සංවිධාන ලංකාවේ වැඩ කරමින් හිටි බවට අනාවැකි දැක් වූ බව, ඒ තාලයේ ම බෞද්ධ ආන්තික සංවිධාන කියාපාමින් මතක් කළා. පරිස්සමින් බලපුවාම මේ කියන ඉස්ලාමික ආන්තික සංවිධාන වලට න්‍යායික පෝෂණයක් ලැබෙන්නේ ඒ කියන බෞද්ධ ආන්තික සංවිධානවලිිිින් තමයි. මේ ප්‍රහාරයේ ප්‍රහාරක නායකයා වගේ පෙනී යන සහ්රාන් හෂීම් තමන්ගේ කණ්ඩායම මෝටිව් කරන්න පාවිච්චි කරල තියෙන්නේ බොදු බල සේනා ලොක්කා ඤානසාර හාමුදුරුවන් ගේ දර්ගා ප්‍රකාශය ප්‍රමුක ප්‍රකාශ හා ක්‍රියාකාරකම්.  ඉස්ලාමය දේශපාලනික අවියක් හැටියට පාවිච්චි වීමේ සංවිධානමය මුල උතුරු නැගෙනහිර යුද කාලය දක්වාවත් පැරණි එකක්. විශේෂයෙන් ම ඒ කාලයේ පටන් තමිල් සංවිධිනවලට මුහුණ දෙන්න පැරා මිලිටරි කල්ලි හැටියට මෙවැනි අය මෝටිව් කරල පුහුණු කිරීම්, සන්නද්ධ කිරීම් නැගෙනහිර පළාතේ කාලයක් තිස්සේ කර ගෙන ගිහින් තියෙනවා. 

මේ විදියට කාලයක් එක ව්‍යාපෘතියකට හදපු සංවිධාන, වෙනස් ව්‍යාපෘතියකට පාව්ච්චි කරගන්න බැරි වුණා ම, ඒවා සුද්ද-බුද්ද කරල දාන්න වෙන ම ව්‍යාපෘතියක් හදන එක ලෝකේ කොහෙත් කෙරෙන පාලක සම්ප්‍රදායක්.    

අවුරුදු දෙකක් වෙන්නත් ආවා. පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන පත්කරපු ජනාධිපති පරීක්ෂණ කොමිසමෙත් හුලං ගියා වගේ වැඩක් දැන් පේන්න තියෙන්නේ. නාට්‍යය ඉවර කරන්න හිතා ගෙන මුළින් ගහපු ප්ලෑනක් තියේනම්, මේ හුලං බැහිල්ලත් එක්ක දැන් ආයේ පොඩි එඩිට් එකක් දාලා ඉස්සරහට යන්න වෙන පාටයි. 

කළු ඉරිදාව ප්‍රකාශයට පත්වෙන්නේ පිලාත් කෙනෙක්ගගෙන් වෙන්න පුළුවන්. ඒත් ඒ මට්ටමිි්න අත හෝද ගෙන අයින් වෙන්න පුළුවන් තැනකට වඩා දැන් මේ ව්‍යාපෘතිය ලොකු වෙලා වගේ. 

කළු පාට, කිතුනුවන්ගේ සම්ප්‍රදායික සංකේතය හැටියට ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ ඒ හැඟීම්-දැනීම් ප්‍රකාශනයන් ට එඩ්‍රස් හැදෙන  විදිය මේ වෙලාවේ දේශපාලනය ගැන තියුණු  සහ රසවත් අධ්‍යයනයක් වේවි.

Wednesday, March 25, 2020

මුඛවාඩමක් මැවු වෙනසක අරුමය






මේ සටහන නැවත ලිවිම ට මම සිතුවෙමි.  
එක්තරා වේලාවක මේ මුල් රූපයේ ආකාරයෙන් මුහුණ වැසීම තහනම් කරන ලද කාලයක් විය.  තවත් වේලාවක, මේ දෙවන රූපයේ දක්වා ඇති පරිද්දෙන් මුහුණ නොවැසීම තහනම් කරන ලද කාලයක් පැමිණ තිබේ.  මේ දෙකට ම පදනම් වි ඇත්තේ ‘ආරක්ෂාව‘ පිළිබඳ තර්කයකි.  මේ ලිපිය මුලින් ම සටහන් කරන ලද ඊයේ දවසේ දි ද මා විසින් මතු කරගන්න ට තැත් කරන ලද්දේ පලමු මොහොතේ නගන ලද ‘ආරක්ෂාව‘ පිළිබඳ තර්ක, දෙවැනි මොහොතේ දී නිකම් ම වාෂ්ප වී ගොස් ඇත්තේ කෙසේද යන්නයි.  
මුහුණ වැසීම, ලංකාවේ  තහනම් කරන ලද්දේ වසරකට පෙර හරියට ම මෙන්න මෙවැනි කාලයක දී ය.  සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිස්තියානි ජනයා ඉලක්ක කරගත්තක් බව පෙනි යන එම ප්‍රහාර මාලාව, ඉස්ලාමය නියෝජනය කරන කල්ලියක් විසින් එල්ල කරන  ලද්දෙන්, එය පදනම් කොට ගෙන ඊට පොහෝ කලක ට පෙර ආරම්භ වී තිබූ ඉස්ලාම් විරෝධී පලපෑම් රැල්ල මේ සමඟ ම උත්කර්ෂයට නංවන ලදී.  මෙම ඇඳුම, ඉස්ලාමිය සංස්කෘතිය තුළ ඇති අගතිගාමිත්වයේ ලක්ෂණයක් ලෙස පරාජය ට පත් කරනු වෙනුවට සිදු වූයේ එවැනි ම අගතිගාමීත්වයක් විසින් එය මත සිය ආධිපත්‍යය මතු කිරිම ය.ඒ සඳහා
තර්ක ආනයනය කරන ලද්දේ  ‘ආරක්ෂාව‘ නාමයෙනි.  
‘ආරක්ෂක හේතූන් මත මෙම වර්ගයේ ඇඳුම් ඇඳ සිටින්නන්‘ බස් රථවලට නංවා ගැනිම ප්‍රතික්ෂේප කෙරුනි.  බස්  රථවලට නැඟ සිටියවුන් ඒවායෙන් බස්වන ලදී.  රජයේ සහ පෞද්ගලික කාර්යාලවල ට ඇතුල් කර නොගන්නා ලදී.  රෝහල් වල දි පවා ප්‍රතික්ෂේක වීම ට හිස ආවරනය පවා හේතු විය.  කඩ-සාප්පුවලට වැද්ද නොගන්නා ලදී.  ඒ සියල්ල ‘ආරක්ෂාව‘ වෙනුවෙනි.  මෙය ‘අනන්‍යතාවය සැඟවිමක්‘ ලෙස හඳුනාගන්නා ලදී.  පෙනි යන පරිද්දෙන් ‘ආරක්ෂාව‘ පිළිබඳ තර්කයේ එක ම පදනම එය විය.  ඒ මතුපිටින් පෙනි යන පරිදි ය.    
මේ දිනවල එක ම කතා බහ කැරකෙන්නේ ‘කොරෝනා‘ වටා ය.  විශේෂයෙන් ම කැස්සක දී හෝ සාමාන්‍ය කතාබහක දි පවා පිට වෙන කෙළ බිඳිති මගින් මේ රෝගය පහසුවෙන් බෝවිය හැකි අතර, ඒ මගින් පෙනහළු අකර්මන්‍ය කිරීම නිසා මරණීය තත්වයට ළඟා වෙයි.  මෙය වළක්වා ගැනිම සඳහා වෛද්‍ය විද්‍යාත්මක ව ලැබි ඇති එක ම විසඳුම, මීටරයක පරතරයක් නඩත්තු කිරීම සහ මුඛ ආවරණයක් පැළඳීම ය.  ඊට අමතර ව නිරන්තර පිරිසිඳු වීම සහ උෂ්ණත්වයට නිරාවරණය වීම වැනි වැළැක්වීමේ උපදෙස් තිබේ.  අනෙක් උපදෙස් කෙසේ වෙතත් පොලිසිය සහ ප්‍රජාවේ ඇතැම් ‘ක්‍රියාකාරී‘ සාමාජිකයන් විසින් ඉහලින් ම ඔසවා ඇත්තේ මේ මුඛ ආවරණ උපදේශය බව පෙනි යයි. ඊයේ පෙරේදා දුන්   පැය හයක කාලයක් තුළ ඇඳිරි නිති විරාමය ඇතුලේ නිර්මාණය වු මිනිස් පොදි අතර ට කඩා වැදුනු පොලිසියමුඛ ආවරණ නොමැතිවුන් තර්ජනය කොට පළවා හරිනු අපි අත්දුටුවෙමු.  තර්කය පෙර පරිදි ම ‘ආරක්ෂාව‘ ය !
‘ආරක්ෂාව‘ !!
මෙය මෙසේ වන්නේ කෙසේ ද ? 
අවුරුද්දක ට පෙර නැගුන තර්ක, අද  දිනයේ නැගෙන තර්ක වල ට පරස්පර වන්නේ කෙසේ ද ? 
වෙනස ඇත්තේ කොරෝනා ගර්ජනය ඉදිරියේ සියළු ම දෙනා ට මේ තත්වය ට යන්න ට සිදු විමත්, අවුරුද්දක ට පෙර මේ තත්වය කිසියම් නිශ්චිත ජනවර්ගයක් පමණක් පදනම් කරගත්තක් විමත් ද ? එසේ නම් අවුරුද්ක ට පෙර මේ තහනම පිටුපස පැවතියේ එසේ නිශ්චිත ජනවර්ගයක් පදනම් කර ගත්තක් නම්, ඒ පැහැදිලි ව ම ‘වර්ගවාදයක්‘ බව අවුරුද්දක ට පසු කොරෝනාව විසින් හෝ අද අප ට පැහැදිලි කරමින් තිබේ ද ? 
අවුරුද්දක් යන්න ට පෙර ‘මුකවාඩම‘ විසින් අප ට කියා දෙන්නේ වර්ගවාදි තර්ක සහ එවැන්නක් විසින් පදනම් කරගනු ලබන ‘ආරක්ෂාව‘ වැනි තර්කයන් හී ඇති පුස්ස නොවේ ද ? 

Monday, March 23, 2020

පරපීඩාකාමිත්වයේ අප රක්නා උරුමය

සිංහලෙන් 'නවක වධය' , 'රැග' හෙවත් 'රැග් ඒක' ය.  සිංහලෙන් කියන්නා සේ ම මේ වධයකි: හිංසාවකි.  වධහිංසාවන් පලප්‍රෙයා්ජනවත් දේ ලෙස බාරගත්තේත්, ඒ්වා අගය කළේත්, සමාජය හික්මවන්න ට, පාලනය කරන්න ට දියුණු ක්‍රමශිල්ප අහිමි පෞරාණික සමාජයන් ය.  වධ හිංසාව දියුණු, ශිලාචාර සමාජයක් තුළ සැළකෙන්නෙ පිළිකුල් සහගත දෙයක් ලෙස ය.  වැළැක්විය යුත්තක් ලෙස ය.  

එසේ විය යුතු ව තිබිය දී, තවදුරටත් වධහිංසාවක් පවත්වා ෙගන යන, එය සාධාරනීකරණය කරන සමාජයක් අදත් පවතිනම්   එය යැවිය යුත්තේ කුමන කටුගෙයකට ද ?

නවකයකු වීම වධහිංසාවට ලක් විමට තරම් සුදුසුකමක් ලෙස සළකන තැනක 'පරිනතයින්'  හෝ ‘ජ්‍යේෂ්ටයින්'  කුමන විදියක අය විය හැකි ද ? 

මේ ප්‍රශ්න අසන්න ට වන්නේ 'විශ්ව විද්‍යාල' වැනි නුතනත්වයේ හා ශිෂ්ටත්වයේ මුදුන්මල්කඩක් විය යුතු ආයතනයක් සම්බන්ධයෙන්නම්...................??

අවාසනාවකට එය එසේ ය; ඒ් මේ ලංකාව ගැන ය.  

නවක වධ සංසිද්ධින් විටින් විට කරලියට පැමිණ බැස යයි.  මාතෘකාවක් ලෙස එය අපේ සමාජයට වැදගත් වන්නේ කොයි තරම් දුරකට ද යන්න පසෙක තිබියදී එහි අඛණ්ඩතාවය නිරීක්ෂණය කළ විට පෙනි යන්නේ අපරාධ  සිදු වන්න ට ඉඩ හැර නිහැඩියාව තුළින් ඒ්වා ආරක්ෂා කිරීම මගින් අපි සාපරාධී සමාජයක් බව ට පත් වී ඇති බවයි.  

මේ තත්වය දරුණු වන්නේ ශිෂ්ටත්වයේ සංකේතයක් විය යුතු, නුතනත්වයේ උති උත්කෘෂ්ට නිපැයුමක් විය යුතු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කොට ගෙන මේ අශිෂ්ට සම්ප්‍රදාය ක්‍රියාත්මක වීම නිසා ම පමණක් නො වේ; එවන් පසුගාමි උරුමයක් කරගසා ගෙන යන කරුමය දරන්නේ ඊනියා 'ප්‍රතගිශීලින්' විසින් වීම ද නිසා ය !

මේ ටික කියන්න ට හිතුනේ කොරෝනා කතිකාව ඇතුළේ යට ගසමින් තියෙන තවත් සාපරාධි නවක වධ හිංසාවක් සම්බන්ධ පුවතක් නිසා ය  එය ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය‘ බව ට පෙරලන ලද අතීත පිරිවෙනක වර්තමාන අවසන් වසර ශිෂ්‍යයන් විසින් ට්‍රැක්ටර්  ටයරයකට යටකිරීමෙන් මාරාන්තික තුවාල ලද ප්‍රථම වසර ශිෂ්‍යයකු සම්බන්ධයෙනි. 


මේ කතාව සම්පූර්ණ කිරිමට වැදගත් යයි සිතන වීඩියෝ ක්ලිපයක් ද මේ සටහන ට සම්බන්ධ කරමි.

Monday, October 21, 2019

උපරිම නොසුදුස්සා වැළැක්වීම සඳහා අඩු නොසුදුස්සා තෝරාගැනීම ට සිදු වීම...

2020න් පටන් ගන්නා අවුරුදු පහකට නැත්නම් තව කාලයකට ලංකා දූපතේ ජනාධිපති ජොබ් එක ට තිස්තුන්දෙනෙක් අතරින් එ⁣ක් කෙනෙක් පත්කරගැනීමේ අවසන් මහා පරීක්ෂණය අත ළඟ ය; නොවැම්බර් 16 ය. දෙකෝටියකට වැඩි නරපනුවන් වෙනුවෙන් එක්කෝටි හැටලක්ෂයක තරම් පරීක්ෂණ මණ්ඩලය ට සුදුසුකම් ලබා ඇත. එසේ නමුත් ඒ හැමෝ ම මේ වැඩේ ට සහභාගී වන්නේ නැති බව හැමෝ ම වාගේ දනිති. පෙරපුරුදු අනූව මින් එක්කෝටි විසිලක්ෂයක් මේ ඉන්ටවීව් බෝඩ් එකට වාඩි වුණොත්, නීතියේ හැටියට 50%කුත් තව එකකුත් ජොබ් එක සඳහා අවශ්‍ය බැවින් තිස්තුනෙන් කවුරු හෝ හැටලක්ෂයක් පමණ ඡන්ද ලැබිය යුතු ය. තිස්තුනක් ම ඉල්ලනවා වගේ පෙනුනාට ජොබ් එක ගැන ඇත්ත ම ඕනෑකමකින් ඇත්තේ දෙන්නෙක් පමණි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් සහ පොදුජන පෙරමුණේ ගෝඨාබය ය. තුන්වැන්නා ජාතික ජනතා බලවේගයේ නමින් එන ජවිපෙ හි අනුර ය. හිටපු හමුදාපති මහේෂ් ලා ගේ කණ්ඩායම ද සැලකිය යුතු සටනක් දෙනු ඇත. පෙනී යන විදියට අනුරලා ගේ පැහැදිලි වර්ධනයකි. එහෙයින් මේ වතාවේ එක වටයෙන් 50% පැන්නීමට කිසිවෙක් සමත් නො විය හැක. එවැනිපවිටක දී ලංකාවේ නීතිමය ප්‍රතිපාදනය ඇත්තේ අන් සියළු අපේක්ෂකයන් ගේ ඡන්දදායකයන් පළ කර ඇති දෙවැනි මනාප ඇත්නම් ඒවා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හරිමින් යළි ගණන් කිරීම ය.
මගේ තක්සේරුව මේ වර ඒ දෙවන වටය අවශ්‍ය වනු ඇත යන්න ය. දන්නා සෙල්ලම් සියල්ල දමාත් තනි බහුතරය දිනාගන්නට සමත් එකෙකුවත් මෙතැන හෝ කොතැනවත් නැති වනු ඇත !
දැන් මේ 'පරීක්ෂණ මණ්ඩලයේ' ගරු සාමාජිකයකු වන මේ මම ද යළිත්, යළි යලිත් උභතෝකෝටික ගැටළුවක ට මුහුණ පාමින් සිටිමි.
තිස්තුනක් තබා තිස්තුන්දාහක් අතරිනුදු ඇත්ත මා නියෝජනය කරන්නේ කවුදැයි මට සොයා ගත නො හැක !
ඒ අනූව මට ඇත්තේ සුදුස්සන් තේරීම පිළිබඳ ගැටළුවක ට වඩා නුසුදුස්සන් අතරින් අඩු ම නුසුදුස්සා තෝරාගැනීමේ ගැටළුවයි !
වැඩි ම නුසුදුස්සා ගෝඨාභය ය ! ඒ හැර වෙන ඕනෑ එකෙක් මට ඒ හැටි ගැටළුවක් නො වේ. ඒ බෙදුම් රේඛාව මට පරිපූර්ණ ලෙස ම පැහැදිලි ය. ගෝටා ගේ පරාජය යුක්තිය, සාධාරණත්වය, නිදහස උදෙසා අත්‍යාවශ්‍ය කොන්දේසියකි. කාට හෝ පැහැදිලි මදිනම්,අවංක කතාබහක් අපේක්ෂා කරන්නේනම් ඒ වෙන ම කතා කරන්න ට මම කැමැත්තෙමි. දැන් මගේ දෙවන ගැටළුව ඇත්තේ ගෝටා පරාජය කළ හැක්කේ කොතැනින් ද, නැතහොත් කා මගින් ද යන්නයි. මෙතැන දී සජිත් යනු එජාපය තුළ කරූ, චම්පික තරම් ම ඒ සඳහා නුසුදුස්සෙකි. මේ වන විට ද ජනාධිපතිවරයා ට අයත් නොවන බලතල (ඇමති පත්කිරීම් වැනි) අතට ගන්නට ගෝටා මෙන් ම සජිත් ද වැැඩ කර ඇත. එහෙත් එක ම සැනසීම ප්‍රමාණවත් ව භාවිතා නො වූව ද, පොදුජන පක්ෂය හෝ ශ්‍රීලනිප හෝ නාමමාත්‍රික පක්ෂයක ට වඩා එජාප ය තවමත් සාපේක්ෂ සංවිධාන විනයක් රැතගැනීම ට සමත් වීමයි. එහෙත් එය ප්‍රමාණවත් නැත ! ඒ අතින් ඉහළ ම පක්ෂ විනයක් ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරය නමින් දැන ට පෙනී සිටින ජවිපෙ ය. ඒ සංවිධාන විනය ඇත්ත වශයෙන් ම භාවිතා වන්නේ ගෝටා,සජිත් විසින් ඔසවා තබන සම්ප්‍රදායයන් ම රැකීම ට මිස අභියෝග කිරීම ට නො වන බව දනිමි. ඉතින් ඒ විනය කුමට ද !
මට මේ මහබලවතුන් තිදෙනා ම මගේ නියෝජිතයා ලෙස පිළිගැනීම ට තරම් සුදුසු නො වේ. එහෙත් මට නියෝජිතයකු නැත. මා වැන්නකු මේ දූපත මත කිසිසේත් ම 'නියෝංනය' වන්නෙකු නොවෙයි.
මම 'දේශපාලන' විරෝධයකු නො වෙමි. එය මට ජීවිතය තරම් ම ය. ඒ තරම් සීරියස් වන නිසා ම මම මෙ වැනි උභතෝකෝටිකයක සිර වූවා විය හැක.
ඉතින් මේ ජනාධිපතිවරණයේ දී මගේ නොතේරීම විය හැක්කේ කුමක් ද ?
මගේ ඡන්දය හෘදය සාක්ෂ්‍යය වෙනුවෙන් ද, දෙවැනි මනාපය උපක්‍රමික ඕනෑකම වෙනුවෙන් ද භාවිතා කිරීම ට මම තීරනය කළෙමි. එය අතිශය  සුළුතර ඡන්දයක් වනු ඇත.
මට එකඟ විය හැකි, ලංකාවේ වඩාත් ම තීරණාත්මක ගැටළු වෙනුවෙන් පරාජය පෙනී පෙනීත්, පෙනී සිටීම සඳහා අතිශය මෝඩ වූත්, අභීත වූත්, හිතුවක්කාර වූත් තීන්දුවක් ගත් සිවාජි ට මගේ ඡන්දය ප්‍රකාශ කරනු ඇත. එය බහුතර ඡන්ද සංඛ්‍යාවක් කරවීම සඳහා මට කළ හැකි අලයක් නැත. බහුතරය තීන්දු වන්නේ වෙනත් කොන්දේසි මත ය. ඒවා තීන්දු කරන්න ට තරම් ලංකාව මා වැන්නන් වැදගතුන් සේ නොසළකයි. ඉතින් මට උපක්‍රමිකව සමාන්තර තීන්දුවක් ගැනීම ට සිදු වේ. එනම් ලාංකිකයන් ගේ ⁣මුගිධ තේරීම් දෙක වන ගෝටා සහ සජිත් අතරින්, අතිබිහිසුනු ගෝටාගමනය වලක්වා ගැනිම සඳහා සජිත් ට දෙවන මනාපය සළකුනු කිරීම ය. එතැන සිටින්නේ අනුරනම් දෙවැනි මනාපය සඳහා ඔහු සුදුස්සා වනු ඇත.
මා  ඉදිරියේ ඇති ලාංකීය දේශපාලනයේ දෙබෙදුම මට ⁣විහිලුවක් හෝ සෙල්ලමක් නො වේ. උපරිම නුසුදුස්සා ඉවත් කිරීම වෙනුවෙන් ඊට අඩු නුසුදුස්සකු තෝරාගැනීම ට සිදු වීම මගේ කාලයේ යථාර්තයකි. ඒ ගැන තනි පුද්ගලික මට කළ හැකි දෙයක් නැත.

Tuesday, October 1, 2019

පඔයෙක් වෙන්නට පඹගාලක ට පනින පොරවල් !

ඕන්න, නොවැම්බර් 16, ජනාධිපතිවරණය ! 
ඒත්, කව්ද දන්නේ; අන්තිම වෙනකම් ඉඳල හරි දැන් ඉන්න ජනාධිපති මහ උසාවියෙන් ඇහුවොත් 'මාත් යන්න ඕන පහෙන් ද? ඕක අළුත් උන් ට විතරක් තියෙන එකක් නොවේද හිටං?" කියල, උසාවියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොත බලල අහකලා, "ඔව් නේන්නං" වගේ උත්තරයක් දුන්නොත් එහෙම !
(එහෙව් උත්තරයක් බලාපොරොත්තුවෙන් මඟ බලාන ඉන්න තවත් හිටපු ජනාධිපතියෙකුත් ඉන්නවා තිරය පිටුපස්සේ,"එහෙමනම් මටත් 'දෙපාරයි' කියන සීමාව අදාල නෑ" කියාගන්න)
මේ ඔක්කොම එහෙම හරි මෙහෙම හරි වෙන්නේ,'විධායක ජනාධිපති'  ක්‍රමය අයින් කරනවා- අයින් කරනවා කියන ටොම් පචේ 
මේ පාරත් යාවත්කාලීන කරන ගමන් කියල මේ පාරත් සැකයක් නැහැ ! 
මේක කවදාවත් වෙන්නේ නැහැ; හේතු දෙකක්.
එකක් තමයි, ඒ කියන විධායක ජනාධිපති කමෙන් ඇහිරෙනවා කියන 'ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය' ගැන හාල් කෑල්ලක තරම් හැඟීමක් අතිබහුතරයකට නැති එකයි; ඒක මේ අපේක්ෂක ප්‍රභූතන්ත්‍රය අවුලකින් තොරව දන්න එකයි. දෙවැන්න තමයි, ඇත්ත වශ⁣යෙන් ම 'විධායක ජනාධිපති ක්‍රමයක්' ලංකාවේ නැති එක ! 
(විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා කියන්න නමි වෙන ම ඡන්දයකින් පත් කරගන්න 'ජනාධිපතියෙක්: ඉඳල විතරකි බැහැ. ඇමති/කැබිනට් මණ්ඩලයක්, අගමැතියෙක් ඉන්න බැහැ.ඒ කියන්නේ විධායක බලය එහෙ මෙහෙ බෙදෙන්න බැහැ. ඕන්න හරි ම උදාහරණයක් ඇමරිකානු එක්සත් ජනපදය ) 
ලංකාවේ දැනුත් විරාජමාන වෙන 1978 ව්‍යවස්ථාව අනූව විධායක හෙවත් නීතිය ක්‍රියාත්මක කෙරෙන බලය තැන් දෙකකට බෙදල තියෙන්නේ. ඒ බෙදීම නාමමාත්‍රිකයි වගේ තමයි; ඒත් හයිය ඇති දෙගොල්ලක් අතරේ පාර්ලිමේන්තුවයි, ජනාධිපතිකමයි බෙදිල ගිය වෙලාව ට තමයි මේකේ ඇත්ත අවුල මතු වෙන්නේ ! ඒත් ඒකටත් හේතුව මෙහෙම විධායක බලය දෙපැත්ත ට බෙදීම ම නෙවෙයි. ඒ විදිය ට බෙදීම හෝ තනි බලයක් පිහිටුවීම කියන දෙකෙන් එකක්වත් හරියට නොකර ගේමක් ගහන්න ඉඩ තියපු එක !
මේ විදියට විධායක බලය තැන් දෙකක ස්ථාපිත කරන 'මිශ්‍ර විධායක' මොඩලය ට හොඳ ම නිදසුන ප්‍රංශයේ දැන් තියෙන ඩිගෝලියානු ව්‍යවස්ථාව. ලංකාවත් ගුරු කොට ගත්ත⁣ කියන මේ ඩිගෝලියානු ව්‍යවස්ථාව එක්කත් ගහපු ගේම තියෙන්නේ විධායකයේ කොටසක් වෙන අගමැති ඇතුළු ඇමති මණ්ඩලය විධායකයේ ඉන්න ගමන් ම ව්‍යවස්ථාදායකයෙත් ඉන්න එක(ප්‍රංශ මොඩලයේ දී විධායකය ට පත් වුණ ගමන් ව්‍යවස්ථාදායකයෙන් ඉවත් වෙනවා) මේක උපාවිච්චියෙන්(අවභාවිතයෙන්) තමයි 'මහරජු' ට ඇඳගත්ත මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ  අඳුරුතම අවධියක් නීත්‍යානුකූල කරගත්තේ.
යහපාලනයේ කානුව ට එහා අඩියක්වත් තියාගන්න අසමත් වුණ මේ ඩීල්පාල ආණ්ඩුව කාලේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් දිනා ගත් ලොකු ම ජයග්‍රහනය වෙන්⁣නේ (අර 'කානුව' ඉසව්ව) 19 වන සංශෝධනය. අවුල් ඇතිව හරි මේකෙන් අර ජනාධිපති ධූරය ට තියෙන ඒකාධිපති මට්ටමේ බලතල ඔළුව ට, ඇඟ ට ටිකක් දැනෙන තරමින් අඩු කළා. අර දවස් 51 විගඩම් කුමන්ත්‍රණය ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉවරයක් (?) කරගන්න පුළුවන් වුනේ ඔන්න ඕක උදව් කරගෙන. එතැන ඉඳන් 19 කීව ගමන් රජ හීනෙන් පෙළෙන ඕන ම සර්පයෙක් අඳු⁣කොල දැක්ක සයිස් එකෙන් පරල වෙන්නේ ඔන්න ඕකයි ! 
දැන් ඉතින් මේ ලියමන ඉවර කරගන්න උඩ ට ආයි කිට්ටු කරමු.  ඉවරයක් කරනව කීව ජනාධිපතිකම ඔන්න ඔහේ තවත් එකෙකුටත් දීල ම බලමු වගේ එකකින් එන නොවැම්බර් 16ත් ඡන්ද කෙළියක් කරගත්තොත්, ඒකෙන් වින් කරන සර්පයා ට ලැබෙන්නේ කොයි විදියේ බල විමානයක් ද ?
 නිල කාලය අවුරුදු පහයි; උපරිම දෙපාරයි.
පාර්ලිමේන්තුවේ එකඟතාවයක් නැතිව අන්තිම මාස 6 වෙනතුරු ඒක විසුරුවා හරින්න බැහැ.
අගමැති පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්. ඇමතිවරු නිර්දේශ කෙරෙන්නේ අගමැති මගින්. විෂයයන් බෙදද්දී අගමැති විමසිය යුතුයි. 
රාජ්‍ය සේවය, අධිකරණය ආදි විධායක- පරිපාලන- අධිකරණ ක්ෂෙත්‍රවල පාලනය ස්වාධීන කොමිෂන් හරහා. ජනාධිපති ට තියෙන පත්වීම් ලියුමට අත්සන තියන්න සිදු වෙන බලය විතරයි. 
මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට නීතිපති මගින් කැඳවිය හැකියි. 
ඔහොම ⁣ඔහොම බලා ගෙන යද්දී දැන් පත් වෙන ජනාධිපති කියන්නේ අර 'රජ' මේනියාවෙන් පෙළෙන උඩහ- පහළ කොයි උන්දෑටත් අනුව 'පඹ තනතුරක්' !!!
දැන් මගේ ප්‍රශ්නය මේකයි;
අර රාජකීය මානසිකත්වයක ඉන්න පට්ට පොරවල් මේ වගේ පඹයෙක් වෙන්න මේ තරම් පොරකන්නේ ඇයි ?
මේක