Wednesday, September 23, 2015

පොත් විකිණිම හා කියවීම

“බුක් ෆෙයාර් ගියා“ කියන, “ බුක්ෆෙයාර් යනව“ කියන, “බුක්ෆෙයාර් යනවද“ අහන ගොඩ දෙනෙක් මේ දවස්වල හමු වෙනවා.  ඒත් පොතක් - ලිපියක් ගැන කතා කරන්න, දෙයක් අහන්න ගියොත් එතැනින් දහයෙන් එක්කෙනෙක් එක්කවත් ඒ වැඩේ කරන්න බැහැ.  

 ඇත්තට  කියවීම දුර්වල දෙයක්, දුර්ලභ දෙයක් වෙලාද ?  පැනපු ගමන් ‘ඔව්‘ කියන පිරිසක් ඉන්නව ඒකටත්.  එහෙමනම් මොකක්ද ඇත්තට ම හේතුව ? 

ගොඩදෙනෙක් කියන්නේ අන්තර්ජාලය ඇතුළු කොම්පියුටරය; එහෙම නැත්නම් ටීවි එක තමයි ප්‍රධාන හේතුව කියලා.  මම පොත්-පත්තර කියවන්න ගත්තේ ටීවි ආපු කාලෙමයි.  ටීවී එක ළඟින් වාඩි වුණා ම දවස පුරා ම නැගිටගන්න බැරි ව හිටපු, ටිවී බලන්න ඕනකමට ක්ලාස් කට් කරල හිටපු එකෙක් මාත්.  ඒත්, ඒකෙන් මගේ පොත්- පත්තර කියවිල්ලට මෙලෝ බලපෑමක් වුණා කියල මටනම් දැනෙන්නේ නෑ.

හැබැයි මටත් පොදුවේ දැනෙනවා පොත් පත්තරවලට වඩා අළුත් පරපුර ටීවී එකට, මුණුපොත ඇතුළු අන්තර්ජාලෙට වැඩියෙන් සෙට් කියලා. මේ නිරික්ෂණයෙන් ම ‘ඔන්න ඕක තමයි අපි කීවේ; ඕක තමයි හේතුව“ කියල කියන්න කලබල වෙන්න ඕන නෑ නේද ?  මේක හරියට ළමයෙක්  භාෂාව විෂයයට වඩා විද්‍යාවට කැමතිනම්, භාෂාවට අකැමැති වෙන්න හේතුව විද්‍යාව කියල කරන මහා සොයාගැනිම තරම් ම ගොබ්බයි ! 

මට දැනෙන හැටියට, කියවිමට කෙළවලා තියෙන්නේ කියවීම සම්බන්ධ බලධාරීන් නිසයි.  

මම ආසාවෙන් කියවමින් හිටපු පොත් කීපයක් ම මට තිත්ත වෙලා ගියේ ඉස්කෝලේ නිර්දිෂ්ට පොත් කළාට පස්සේ.  රසවින්දනය කියල ඒකෙ දී කළේ අමු අමුවෙ ම රසවින්දනය කාබාසිනියා කරපු එක.  එකම එක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින්වත් අධ්‍යාපනය ආගමිකකරණයෙන් මුදවා ගෙන නෑ.  ඉතිහාසය, සාහිත්‍යය වගේ හැම විෂයයක්මත් ආගමික කරල තියෙන්නේ.  උන් අහන ප්‍රශ්ණෙට උන්ගේ උත්තරේ ම දෙන්න පුළුවන් නම් තමයි ලකුණු ලැබෙන්නේ. මේක වෙනස් කරල ඇත්ත ශිෂ්‍ය කේන්ද්‍රීය-නිදහස් අදහස්වලට ඉඩ තියෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්නත් මේ එකම එක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකටවත් බැරි වුනා.  

ඉතින් මේක පොත්-පත් කියවීමට බලපාන්නේ කොහොමද  ?  

අපි පුංචි දවස්වල ළමා පත්තර කියෙව්වේ පට්ට ම පට්ට ආසාවකින්.  ඒ පත්තර ම දැන් පල වෙනවා, මෙලෝ රහක් නැති තරම්. තනිකරම ‘ප්‍රශ්ණෝත්තර පත්තර‘ වගේ.  අපි පුංචි කාලෙත් එහෙම පත්තරත් තිබුණා.  ඒත් ඒවා ගත්තේ මුලු ජීවිතයම විභාග උණෙන් පෙලුන පොරවල් විතරයි.  දැන් හැම එකකටම ඒවා බෝ වෙලා. 

මේ ක්‍රමය යටතේ කියවන්නේ ලකුණු ගන්න. ලකුණු දෙන ප්‍රශ්ණත් උන්ගේ; උත්තරත් උන්ගේ.  ඒ ඒ ප්‍රශ්නවලට දෙන්න ඕන උත්තර මෙන්න මේවා කියල පැහැදිලි කරලා උන් පොත් පත්තර ගහනවා. ලකුණු ගන්නනම් ඒවා සල්ලි දිල ගන්න ඕන.  

මේ විදියට දැන් සමහර විෂයයන්ට ආණ්ඩුවෙන් පෙළ පොත් නැහැ.  ඒත් පේපර් එක හදන පොර ලියනවා පොතක්.  නිල නොලත් පෙළ පොත ඒකයි.  පොර ‘කතිපයාධිකාරියෙක්‘ (ටීම් ඒකාධිපතියෙක්නම්) සහචර පොරවල් කීපදෙනෙක්ගේ පොතුත් නියම කරනවා. එතකොට ඒකත් මාර්කට්.  

දැන් ප්‍රාථමික පංතිවල පැවරුම් දෙනවා.  චිත්‍ර අතින් අඳින්න බැහැ. පින්තූර අලවන්න ඕන.  ඒ පිංතූර පංතියෙන් පංතියට වෙන වෙන ම ගහන පත්තර තියෙනවා.  ඉතින් ඒකත් මාර්කට්.  

ආණ්ඩුවෙන් විභාග තියනවා.  නිර්දේශිත පිළිතුරු දෙන්නේ නෑ ශිෂ්‍යයන්ට.  ඒවා දෙන්නේ ප්‍රකාශක වෙළෙන්දන්ට.   විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන් ප්‍රශ්න පත්තරේ විතරයි.  ඒකත් ලොකු කට්ටක් කාලා. ප්‍රශ්න-පිළිතුරු ඇතුළත් පොත් ගහනවා අර ප්‍රකාශන ආයතන.  එක ම තමයි හැමෝ ම ගහන්නේ. පුදුම වැඩේ කියන්නේ ගුරුවරු ඉඳන් ම කියනවා අහවල් ප්‍රකාශන ආයතනයේ එක ගන්න කියලා.

අද ළමයෙකුට ළමා කතන්දර පොතක් හරි ලැබෙන්නේ ඉසකෝලේ නිර්දේශ කරපු පොතක් විදියට.  මට හිතා ගන්න පුළුවන් එතකොට ඒ ළමයටත් පොත් ගැන ඇති වෙන ජුගුප්සාව. 

මේ කාලකන්නි නිලධර තන්ත්‍රයෙන් ගැලවිලා ටිකක් හරි රස විඳින්න පුළුවන් අන්තර්ජාලේයි ටිවි එකයි විතරයි.   ඒකත් සාපේක්ෂයි.  ඉතින් එතනට අළුත් පරපුර යොමු වෙද්දී පත්තර-පොත් අතහැරෙන ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නේ.   ඒ වගේ ම ඒකට වගකියන්න ඕන අධ්‍යාපන- සාහිත්‍ය බලධරයන් වගේ ම උන්ගේ ගොබ්බ මාර්ගෝපදේශන-නියෝග ගෙඩි පිටින් ගිලගන්න මේ මැටි මෝල් ජනතාව ! 

මේ විදියට අපේ රටේ තියෙන්නේ කෘතිම ව හදපු පොත්-පත්තර මාර්කට් එකක්.  ඒක හදල තියෙන්නේ බලධාරීන්.  මේ මැටි සමාජය කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව ඒක ගිලල දානවා.  මේ පොත්-පත්තර මාර්කට් එක අන්තිම වැඩවසම්.  ඒක හදන්නේ වෙළෙන්දොමත් නෙවෙයි.  නිලධාරින්.  නිෂ්පාදන ධනපතින් වෙනුවට නිලධාරින් ධනපතීන් වෙන මේ වගේ අඩු දියුණු සමාජයක රසාස්වාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක වගකිමක් අපේක්ෂා කරන්න පුලුවන් කාගෙන්ද ? කවුරුවත් නෑ කියන එක ම නෙවෙයි.  ඒත්, මේක මට ප්‍රශ්නයක්.                       

Monday, September 21, 2015

පොත් ගැන මගේ කතාවක්

දශක දෙකකට විතර ඉස්සර රුපියල් දෙකකින් කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද ! ඒ දවස්වල ගල් බනිසක් කාලා ප්ලේන් ටීයක් ගහන්න ඊට වඩා වියදමක් යන්නේ නැහැ.  ඉස්කොලේ යන දවස්වල(ඒ කියන්නේ ශිෂ්‍යෙයක් හැටියට) කෑම කන්න කියල මට හැමදාම ලැබෙන රුපියල් දෙක මම වෙනම එකතු කළා.  පොත් ප්‍රදර්ශන කාලයේ දි පොත් ගන්න ගොඩක් දුරට මට උදව් වුණේ මේ අරමුදල.



එහෙම ගත්තු, තෑගි ලැබුණු, ඉල්ල ගත්තු පොත් මගේ ජිවිතය ඇතුළේ ළඟ ම මිතුරන් බව ට පත් වෙලා, පොත් රාක්කයේ නැතත් මගේ හදවතේ ජිවත් වෙනවා. 




මගේ ජීවිතයට ගොඩාක් බලපාපු පොත් කීපයක් ගැන මතකය අකුරු කරන්නයි මේ උත්සාහය. 




පොඩි දවස්වල ඉඳල ම මම මගේ නිදහස ගොඩක් බලාපොරොත්තු වුණා.  ඒ පුංචි ම කාලේ ඒකට පරම හතුරෙක් විදියට වැඩ කෙරුවේ මගේ ඔළුගෙඩිය ඇතුළේ තිබුණ බය ! මේ නිසා සෑහෙන අරගලයක් කරල,  වෙනම ම කාමර කෑල්ලක් දිනාගත්තත් රෑ ට මගේ ඒ ස්ව-පාලන ප්‍රදේශය අතෑරලා අම්මල-තාත්තලා නිදා ගන්න පැත්තට පසු බහින්න මට සිද්ධ වුණ වාර එකක්-දෙකක් නෙවෙයි තියෙන්නේ ! දන්නවද, කොහොමද කියල, ඒ ප්‍රශ්නය විසඳිල ගියේ. අවුරුදු දහතුනේ දී මට කියවන්න ලැබුණා, ‘දෙවියෝ සහ භුතයෝ‘ කියල පොතක්.  ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත පරිවර්තනය කරල තිබුණේ ධර්මපාල සේනාරත්න. ලයිට් එක නිවපු ගමන්, මම ඇඳට ගොඩ වෙන්නත් කළින්, අත් වනන, ඔළු වනන, දිව දික් කරන භූත ආත්ම ඔක්කොම එදා ඉඳන් අතුරදන් ! මට මාර ධෛර්යයක් ඒකෙන් ආවේ.  එහෙම උන් නෑ කියල ආපු අදහසත් එක්ක, ඒ වගේ පෙනි හිටින ඕන ම එකෙක් ළඟට ම ගිහින් හොයල ම බලන්න පුළුවන්කමක් ලැබුණා. මොකද, පොතේ හැටියට වැඩේ ෆුල් ෂුවර්.  කොවූර්ගේ ඉතිරි පොත් ටිකත් ඒ ආශ්වාදයට ම කියවන්න ගත්ත විතරක් නෙවෙයි, හේතුවාදය ගැන තව තවත් හොයන්නත් පෙළඹුනා.  ඒකෙන්-මේකෙන් ආගමක් නැති අමුතු ම සතෙක් හැටියට මාව ප්‍රසිද්ධ වෙන්න ගත්තා.  ඒ අනන්‍යතාවයට මාත් ආසයි ඉතින්. හැබැයි මේ වැඩෙන් භූතයෝ විතරක් නෙවෙයි, දෙයියොත් මාත් එක්ක පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙන්න ගත්තා. 




හරියට ම දන්නේ නැතත් මාක්ස්වාදය ගැන උණකුත් ඔය කාලේ ම මට හැදුනා.  ඒ කාලේ කීවේ ඉස්කෝලේ හයේ පංතියේ දි විතර.  ඒකට මුල් වුණේ ‘සෝවියට් දේශය‘ සඟරා. මම උපදින්නත් කළින් ඉඳල ම සඟරා කියව ගන්න මට ඉඩක් ලැබුණා.  ඒවායෙන් දැන හඳුනා ගත්තු යුක්ති සහගත, සාධාරණ, සමානාත්මතා ලෝකය ගැන ආශ්වාදයෙන් රුසියානු හා සෝවියට් ලේඛකයන්ගේ පොත් හොය හොය කියවන්න ගත්තා. ඉතින් මගේ ජිවිතයට ලොකු ම බලපෑමක් කරපු පොත් අතර අංක දෙකට ‘සෝවියට් දේශය‘ සඟරා ලකුණු කළොත්, ඒත් එක්ක ම අංක තුනට ලකුණු කරන්න ඕන ලෙනින්ගේ පොතක්. ‘අධිරාජ්‍යවාදය, ධනවාදයේ උච්චතම අවධියයි‘ ඇත්තට ම ඒ දවස්වල නමේ තේරුමවත් තේරුණේ නැහැ. ඒත් ලෙනින් ට තිබුණ ගෞරවය නිසා ම, ලෙනින් ගේ පොතක් ළඟ තියාගන්න විතරයි මුළින් ම ඕන වුණේ; ඉතින් මුළින් ම හමු වුණ පොත තමයි මේක. (ඒක හරියට කියව ගත්තේ තව දශකයකට විතර පස්සේ ! ) ඒ පොත මුළින් ම ගන්න ගිය වෙලාවේ පොත් සාප්පුවේ සේවකයා ෂෝකේස් එක යටින් මං දිහා බලලා, මාව එළෝගත්තා ! මේ නෝන්ඩිය විසඳගන්නත් එක්ක පස්සේ මට සිද්ධ වුණා, දන්න කියන අයියා කෙනෙකු ව යොදවල පොත මිළ දි ගන්න ! ඒ වැඩවලින් මම ‘ප්‍රසිද්ධ මාක්ස්වාදියෙක්‘ බවටත් පත් වුණා ! 





මිළෙන් අඩු නිසාත්, මතවාදි ආකර්ශනය නිසාත් සෝවියට් පොත් බොහෝමයක් මට ගොඩාක් සමීප වුණා. මිතුරන් අතරේ ‘වානේ පන්නරය ලැබු හැටි‘, ‘සැබෑ මිිනිසෙකුගේ කතාවක්‘  ගොඩාක් ජනප්‍රිය වෙද්දී මගේ ප්‍රියතම පොත බවට පත් වුණේ ‘පෙරලූ නැවුම් පස‘. මේ පොත දහතුන් වතාවක් කියවන්න මාව පෙළඹෙව්ව සාධකය තාමත් මට සමහර විට හිතාගන්න අමාරුයි.  සමහර විට ගොවි ගමක් වෙනස් කරමින් සමාජවාදය ගොඩනගන්න දරපු උත්සාහයන් එක්ක ඒ චරිත හැසිරුන විදිය ලංකාවේ පසුබිමට ගොඩාක් සමීපව මවා තිබුණ විදියත් එක්ක වෙන්න පුළුවන්.  ඒක ඇතුළේ සමාජවාදී ලංකාවක සිහිනය මුළින් මුළින් ආශ්වාදනය කළත්, නැවත නැවත කියවීමේ දී, ඒ කටයුත්තේ ගැටළුකාරීභාවය පොතෙන් හීන් සැරේ මතු වෙන බවක් මට දැණුනා.  සෝවියට් සමාජවාදය ගැන මම හිටියෙත් එක්තරා අන්ධ භක්තියක කියල ඇත්තට ම පේන්න ගත්තේ 1991 දි සෝවියට් සංගමය බිඳවැටීමත් එක්ක.  සෝවියට් හිතවාදීන් හැටියට ඒ වෙන තෙක් ස්වයං වාරණයක් පනවගෙන තිබුණ ලියොන් ට්‍රොට්ස්කිලගේ පොත පත ආයෙමත් උවමනාවෙන් කියවලා බලන්න ඇත්තට  ම මම පෙළඹුණේ ඒකෙන් පස්සේ.  එතනින් මට වඩා ආශ්වාදාත්මක වුණ පොත ‘පාවා දුන් විප්ලවය‘ කියල හඳුන්වල දෙන්න පුළුවන්.  විප්ලවය කියන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනිමට එහා යන දිග-ලොකු ක්‍රියාවලියක් කියල ඇඟට දැණෙන විදියට ඔළුවට ආවේ ඒක ඇතුළු ට්‍රොට්ස්කිවාදී ලේඛන නිසා.  හැබැයි ‘නොනවතින විප්ලවය‘යි, ‘අවධි දෙකේ විප්ලවය‘යි දෙකම අතරේ එහාට මෙහාට විසි වෙවි හිටපු මම කොමියුනිස්ට් පක්ෂයේ සංවිධානවලින් එළියටම බැහැලා ආවේ ඒක ඒ වෙන කොට  ශ්‍රී.ල.නි.ප.ය එක්ක මෙලෝ රහක් නැති බින්න බැහිමක් පටන් ගැනීමත් එක්ක. න.ස.ස.ප.  හා ඒකෙනුත් කැඩුනු ට්‍රොට්ස්කිවාදි සමහර මිත්‍රයන් එක්ක ඇයි-හොඳයිකම් පවත්වන් යන අතරේ මම සංවිධානමය වශයෙන් ස්ථානගත වුණේ ඒ වෙන කොට වර්ගවාදීන් විසින් මරා දමා තිබුණ විජය කුමාරතුංගගේ ආකර්ශනය යටතේ පවත්ව ගෙන ගිය ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ක.  මට තේරුණ විදියට ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට කෙළින් ම බලපෑ පොතක් නම් කරන්න අමාරු වුණත්, මම හිතන්නේ ඒ සෝවියට් ලයින් එක සහ ට්‍රොට්ස්කි ලයින් එක විසින් දෙපැත්තකින් මට ආපු බලපෑමේ ප්‍රතිඵලයක් කියලා.  

සෝවියට් පොත්-පත්වලින් මට ආපු බලපෑම එතැනිනුත් නතර වුණේ නැහැ.  පස්සේ කාලෙක ගුරුවරයෙක් විදියට මගේ ප්‍රියතම රස්සාවලින් එකකට සම්බන්ධ වෙද්දී මගේ මොඩල් චරිතය වුණේ ‘දුයිෂෙන්‘.  අයිත්මාතෆ් ගේ ‘ගුරු ගිතය‘ මේ විදියට අදටත් මගේ ජිවිතය ළඟින් ම ඉඳන් මට බලපෑම් කරන පොතක්.  මගේ ගුරු චරිතය හැඩගැස්සුවේ ඒ පොතෙන්  කියල කියන්න පුළුවන් තරම්.

ජිවිතයේ හොඳටම වැටිලා, තනි වෙලා හිටපු කාලෙක මාව ආයෙමත් නැගිටුවන්න දෝත ම දිගු කරපු කිහිප දෙනා අතර ලේඛකයෝ කීපදෙනෙකුත් ඉන්නවා; වෙන විදියකට නොවෙයි, ඒ ඇත්තන්ගේ පොත්-පත්වලින්මයි.  පාවුලෝ කොයියෝ ඒ අතරින් මුළින් ම ලියන්න ඕන නමක්. ‘සත්තියාගේ නම් සැරිසරන්නා‘ කියෙව්වට පස්සේ හැම මළදානෙකටම ඇත්තටම මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන් කියලා.  ඒ අනූව අහම්බයන් කියන එක හීන් වෙලා මැකිල යන්න ගත්තා.  ඒ ගමන ඕෂෝ එහෙමත් පොඩ්ඩක් කියවන්න ගත්තා.  වැඩේ නතර වුණේ ආයෙමත් ‘බයිබලය‘ දිහාට ගිහින්. ‘නතර වුණා‘ කියන එක වැරදියි. ඒක නතර වීමක් නැති වැඩක් වුණා.  ගොඩක් වෙලාවට බයිබලය තෝරා ගෙන කියවනවට වඩා මම යොමු වෙලා තියෙන්නේ ඒ වෙලාවේ මම පැටලිලා තියෙන නිශ්චිත ප්‍රශ්නයක් එක්ක ‘අහ්මබ‘ පිටුවක් පෙරලල උත්තරයක් හොයන ‘ක්‍රීඩාවකට‘ ! ‘සොෆීගේ ලෝකය‘ කියවලා මේ වැඩේ තවත් ව්‍යාප්ත වුණා.  සමහර විට බලන්න තෝරගන්න චිත්‍රපටයක්, කියවන්න ගන්න පොතක් එක පාරට ම, හරියට ම මම පැටලිලා ඉන්න තැනක් හරහා මාව එළියට අරන් යනවා.  ආයෙමත් කොයියෝ !  ඉත්න් කොයියෝ, බයිබලය හා සොෆීගේ ලෝකය මගේ ජිවිතය මත දැවැන්ත විදියට බලපෑ පොත් අතරට එකතු කරන්න ම ඕන.  

මේ අතරේ වෙනස් ම පොතකුත් නම් කරන්න ඕන. ඒ තමයි ‘වර්ෂා‘. මේක කෙළවරක් නැතිව දිගින් දිගට ම ඇද ගෙන යන පොතක් වුණත් මම කියවල තියෙන්නේ පළමු වෙනි කොටස.  මගේ මාජය ඇතුළේ සුජිව ප්‍රසන්නආරච්චි ඉන්නේ කොතනද ? එයා සංකේතයක්; නියෝජනයක්.  මම හිතන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය‘ ගැන ජෝතිපාලටත් වඩා හොඳ සංකේතයක්.  සම්මත- ප්‍රභූවාදි සංස්කෘතියත් එක්ක ගැටෙන්න තරමට විකල්ප ප්‍රවණතා ශක්තිමත් නොවෙද්දී අපිට පාරවල් හොයන්න වෙනවා. සම්මත එක අර්බුදයක් වෙද්දී ඒකට මුහුණ දෙන්න, අළුත් එකක් ගැන හිතන්න වැඩි ම ඉඩ තියෙන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය‘ ඇතුළේ.  මම වැඩ කරපු ඉස්කෝලවල ලයිබ්‍රිවලට මේ පොත් හිමින් සැරේ එකතු කර ගන්නවා.  ළමයින් ට ජීවිතේට අළුතෙන් ඒයින් පොතක් කියවගන්න වෙන්නේ නැත්තේ, ගුරුවරු මුළු මණ්ඩලේ ම වගේ ඒක මුළින් ම කියවගන්න ලොකු පෝලිමක ඉන්න නිසා.  ඒත්, ප්‍රසිද්ධියේ මේවාට පළු යන්න බනිනවා.  මාත් කියවලා බැලුවා. බලා ගෙන යන කොට සම්මත එක ශක්තිමත් කරන්න ඒ තරමට වැඩ කරන වෙන එකක් නෑ.  ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියේ සීමාව පෙන්වන හොඳ ම සංකේතය හැටියට ඊට පස්සේ මට සූජිව ප්‍රසන්නආරච්චිලා ව දකින්න පුළුවන් වුණා.  ඒ ගොල්ල ඇවිල්ලා ‘පියදාස සිරිසේන‘ ලගේ එක්ස්ටෙන්ෂන් එක හෙවත් දිගුවක් හැටිට හඳුන්වන්න පුළුවන්.  ඒත්, ජනප්‍රිය සංස්කාතියේ මේ සීමාවන් බිඳ ගෙන, විකල්පයක් කරා වන්දනාවකට ඒක යොදා ගැනිම ගැන මම තවමත් හිතනවා.  හිටි ගමන් වෙලාවක් අහු වුණොත් මුණුපොත පැත්තේ එහෙම ටිකක් දඟලන්නේ ඒකයි.  ඉතින් ‘වර්ෂා‘ත් මට තදින් බලපෑ පොතක්.       

සාහිත්‍ය මාසය  ! 

වෙනදා නැති ප්‍රෙබා්ධයක් පොත්-පත් සම්බන්ධයෙන් ඇති වෙන්නේ මේ කාලයේ දී නේ. ඉතින් මම කිවේ පොත්-පත් ගත්තාම අපේ ජිවිතයට කොයි තරම් දැවැන්ත බලපෑමක් කරනවද කියන එක ගැන මගේ අත්දැකිම් ටිකක්.   තව කතා කරන්න තරම් වටිණාකමක් ඇති  පොත් ගොඩාක් තියෙනවා.  ඒත් මට ඕන කළේ මගේ ජිවිතයේ සංධිස්ථාන වගේ කීපයක් එක්ක පොත් ගැන කතා කරන්න.  

එක අතකින් පොත් කියන්නෙත් මනුස්සයො ම තමයි.  ඇසුරු කරන්න මනුස්සයෙක් හොයාගන්න අමාරු කාලයක, ඉන්න මනුස්සයෙක් එකක් හොඳ ඇසුරක් ගොඩනගාගන්න,  හොඳ පොතක් හරහා සමහර විට පුළුවන් වෙනවා.  ඒකත් එක ප්‍රෙයා්ජනයක් !   

Thursday, September 3, 2015

විපක්ෂනායකකම දෙමලෙකුට...! ඉතින් අවුල් ද ?


ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ආයෙමත් වතාවක් දෙමළ ජාතිකයෙකුට ගිහින් තියෙන එක මේ දවස් වල අපේ ඇතැම් සිංහල මිත්‍රයන් ට ජාත්‍යන්තර මට්ටමේ ‘ජාතික ප්‍රශ්නයක්‘ බව ට පත් ව තිබේ. 
ඒත් මේ සරල අංක ගණිත ගැටළුවකි.  මහැදුරු නලින් සිල්වා වැනි තමන් උගන්වමින් සිටින විෂයයට ම එරෙහි මහැදුරෙක් ට වුණත්, උන්නැහේගේ සනුහරේ මේ ඇත්තන් ට මෙහි ලා උදව් විය හැකි වනු ඇත. 
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර ද සමඟින් ලංකාවේ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 225 කි. දැන් ඒවායෙන් 106ක් ම දිනා ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි.  එක්සත් ජාතික පක්ෂය මුළින් ම පොරොන්දු වූ ආකාරයට දැන් ‘ජාතික ආණ්ඩුවක්‘ වැන්නක් පිහිටුවා ගැනීමට සමත් වී තිබේ.  ඒ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධානතම පාර්ශ්වකරුවා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩු බලය බෙදා ගන්නට එකඟ වීමෙනි.  දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටසකි.  පක්ෂය ගත් තීරණයට එනඟ වන්නට අසමත් අය පාලනය කරන්නේ කෙසේද යන්න එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකි.  එහෙත් යථාර්ථය වූ කලී, ආසන 95ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සංධානයේ අති බහුතර කොටස මේ වන විට ආණ්ඩුවේ කොටසක් වි තිබීම ය.  තවදුරටත් එක්සත් ජනතා නිදහස් සංධානයක් යථාර්තයේ නැත.  මේ අනූව ඊනියා එක්සත් ජනතා නිදහස් සංධානයකට ආසන 16කට වඩා පාර්ලිමේන්තුවේ අයත් යයි තව දුරටත් කිව හැකි ද ?
මේ තත්වය යටතේ ඊ ළඟට වැඩි ම ආසන දිනා ඇති පක්ෂය වන්නේ දමිළ ජාතික සන්ධානයයි.  එය මේ රටේ දමිළ ජනයා නියෝජනය කරන්නක් වීම ගැන කරන්නට දෙයක් නැත.  ඔවුන් නියෝජනය කරන ප්‍රෙද්ශ ලංකාවේ භූමිබාගයට අයත් යයි කවුරුන් හෝ සළකන්නේ නම්, මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණයක් පවත්වා, ප්‍රකාශ කරන ලද ප්‍රතිපලය නීත්‍යානුකූල ලෙස පිළිගන්නේනම්, මේ ආසන 16 ලංකාවේ පාර්ලිමේන්තුවේ ම ආසන ලෙස පිළිගැනිම ට සිදු වේ.  එසේ නොවේ යයි සිහි බුද්ධියෙන් යුතු ව ඉදිරිපත් කරන එකඳු තර්කයක්වත් මට මෙතෙක් හමු වී නැත.
ආණ්ඩු පක්ෂයේ ම ඉඳ ගෙන විපක්ෂ නායකකමත් භුක්ති විඳීමට සිහින දැකීම මොන ආකාරයේ විගඩමක් දැයි නයැදුරු (න්‍යායාචාරී) වීරවංස මැතිතුමා විසින් මේ වන විටත් පෙන්වා දී ඇත.  ඒ ඒ අයගේ තර්ක ඒ අයට ම පැටලෙන්නට ගත් විට මෙය පට්ට විගඩමක් බවට පත් වෙයි.  ඉතින් ආණ්ඩු පක්ෂයේ කොටස්කරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට, එය නියෝජනය කරන මංත්‍රීවරයෙකුට විපක්ෂනායකකමකුත් දරන්නට බෑ නේ ද?  එහෙමනම් ඉතින් ඊ ළඟ බහුතර ආසන ඇති දමිළ ජාතික සන්ධානයට මේ තනතුර හිමි වීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ?

වර්ගවාදය යනු ජාත්‍යන්ධකමටත් හපන් අන්ධකමක් බව ඇත්ත ය.  ඒ බව යළිත් තහවුරු වෙන්නේ මෙන්න මේ විදියේ සිද්ධි එක්ක ය.  මේ තරම් සරල අංක ගණිත ප්‍රශ්නයකට පිළිතුර හිතා ගන්න බැරි තරමට දෑස් අන්ධ වන්නේ වර්ගවාදය නිසා ය !                   

Wednesday, September 2, 2015

Just Coke is it ?


හදවත් සැත්කමකට බඳුන් ව සිටින මගේ මිත්‍රයෙක් මට මේ වගේ කථාවක් කීවා.
“පරිස්සම් වෙනව කියන එකනම් කරන්න බෑ මචං; මැරෙන්නයි වෙන්නේ“
“ඉතින්, පරිස්සම් නොවුණොත් කොහොමත් මැරෙනව නේ !“
“කොහොමත් මැරෙනවා නේ. ඒක ගැන වැඩිය කරදර නො වී ඉන්න ටික නිදහසේ ඉන්න එක වැදගත් කියල මම හිතුවා“
මොකද හිතන්නේ ?  අවංක ව ම මට දැන් හිතෙනවා ඒ කතාවත් ඇත්ත කියලා. 
ගිය ඉරිදාවේ නවාතැන්පළ පැත්තේ ගොඩ වෙන කොට මිතුරියක් කීවා, මෙහෙම කතාවක්.
“කොකාකෝලා තහනම් කරල ලූ ! එහෙම නැත්නම් තහනම් කරන්න යනවලූ !“
ඇය විස්තර දැන ගෙන තිබුණේ ෆේස් බුක් තුළින්.  ඒ ගැන පළ වෙලා තිබුණ අපේ ෆේස්බුක් මිතුරන්ගේ ප්‍රතිචාර ඇය විසින් මටත් පෙන්නුවා.       
ඇය කී කතාවනම් ඇත්ත ය; ඒත් මේ පුවත ඇත්තක් ද ?
එදා හවස හතර ට විතර ගත් දිවා ආහාරය එක්කත් බීපු කෝක් බඩියක් ඒ වෙන කොටත් මගේ බඩ ඇතුළේ ! තහන්ම කළානම් කොහොමද දෙයියනේ එහෙම වෙන්නේ....?  ඒ නිසා මට හොඳට ම ෂුවර් මේක අපේ වාම-ප්‍රගතිශීලි මිත්‍රයන් ගේ ආශාව වෙනුවෙන් ලියවුන එකක් කියලා.  හැබැයි කෝක් කොම්පැනියේ නරක පැටිකිරියත් වර්ල්ඩ් ෆේමස් එකක් නිසා මේ කතන්දරේ පිටුපස්සේ මුකුත් ම නැති වෙන්නත් බෑ. 
මේ කතන්දරෙන් මතු වුණ කාරණා ගණනාවක් තිබුණා කියල මට හිතෙන්නේ.  නිකම් දත්තයක් හැටියට තිබුණා සමාගම විසින් කැළණි ගඝට පොම්ප කරන ලද භූමිතෙල් ලීටර් 25,000ක් නිසාවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයත් විනාශ වෙලා ගිහින් බවත්, ඒ හේතුවෙන් එක් දිනක දී සිදු වූ එම විනාශයට වන්දි වශයෙන් සමාගම විසින් රුපියල් බිලියනයක් ගෙවා ඇති බවත්.  ප්‍රතිචාරකයන් ගේ විරෝධය එල්ල වූයේ මෙය ජනතාවගෙන් වසන් කිරීම ගැන බව පෙනෙන්නට තිබුණා.ෆේස්බුක් වැනි සමාජ ජාලයන් විසින් දරුණු ලෙස මිනිස් සබඳතා විනාශ කර ඇති බවත්, සමස්ත අන්තර් ජාලය මිනිස් ශිෂ්ටාචාරයේ පිළිළයක් බවත්, එමඟින් පුද්ගලිකවාදයක් ගොඩනගන බවත් බෙරිහන් දී, අඳෝනා නගන පිරිසත් මෙදා වතාවේ අකුලා ගෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙසේ ඇත්ත හංගන විට, විකෘති කරන විට සමාජ ජාලවල ඇති වැදගත්කම අවධාරණය කර තිබීම ගොඩක් වැදගත් කියල මට හිතුනා.  මොකද, ඒ අන්ත පසුගාමීත්වය පරාජය කිරීම වැඩියෙන් වැදගත් කියල මම හිතන නිසා.            
අපේ වාම-ප්‍රගතිශීලි ධාරාවේ මිත්‍රයිනුත්, අර කීව අන්ත පසුගාමී ධාරාවේ උදවියත් බහුජාතික සමාගම්, නූතන ධනවාදී පාරිභෝජන රටාව වගේ මහේක්ෂ තලයේ සටන්පාඨ පෝෂණය කර ගන්නට මේ අවස්ථාව යොදා ගන්න දරණ උත්සාහයකුත් මේ අතරේ දකින්න තිබුණා.  ඒකෙත් වරදක් නෑ. 
ඒත් මට ගැටළුවක් තියෙනවා, ඒ එක්කත් විසඳගන්න.  පහු ගිය කාලයක දී මාත් මේ වගේ අදහසක් මත ඉඳලා විවිධ වර්ජන ව්‍යාපාරවලට දායක වුනා.  එක කාලයක දී ටුබැකෝ කොම්පැනියේ නිෂ්පාදන ගන්නේ නෑ; තව කාලෙක දී බාටා කොම්පැනියේ; තවත් කාලයක දී කෝක් කොම්පැනියේ පවා...අධිරාජ්‍යවාදය, මනුස්ස ශිෂ්ටාචාරය වලපල්ලට ඇද ගෙන යමින් තියෙන බව ට විවාදයක් නෑ.  ඒකට විරුද්ධයි කියන ඔය ආගම්-ජාති පිස්සෝ පවා ඒකෙ ම සහචර කොටස්.  ඒ තොගය ම පරාජය කරගන්න ඕන.  ඒත්, මේ ක්‍රියාමාර්ගවලින් ඒක කරන්න පුළුවන් ද ? ඒ ක්‍රියාමාර්ග අන්තිමට ම සේවය කරන්නේ අපි විසින් පරාජය කරන්න යන තැනට ම නෙවෙයි ද ?  කාලෙකට කලින් අපි එක්ක අධිරාජ්‍ය විරෝධි සටන් පෙරමුණේ කඳවුරු බැඳ ගෙන හිටපු වීරයෝ ගොඩ දෙනෙක්, අද වෙන කොට වර්ගවාදය හරහා අධිරාජ්‍යවාදයේ හොඳම සහචරයන් වෙලා තියෙනවා ඇස් පනා පිට ම දැක බලා ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂවාදි කල්ලිය තරම් වෙන ඉස්තරම් උදාහරණයක් නෑ.  හිතට දුක, එදා අපි කරපු අරගලවල ප්‍රාග්ධනයත් අද උන් ඒ කුප්ප වැඩේ ට පාවිච්චි කරමින් ඉන්නවා කිසි ම හිරිකිතයක් නැති ව ! මේ තත්වයන් නිසා ඒ උපාය-උපක්‍රම ගැන මම හිතන්නේ අපි බරපතල විදියට ආයේ ආයෙමත් හිතල බලන්න වටිනවා කියලා. 
දැන් කෝක් කොම්පැනිය තමන්ගේ පාරිභෝගිකයන් ට වස-විස විකුණල කියල පැහැදිලි තොරතුරු තියේනම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් වෙනම ම ගන්න අවශ්‍යයි.  වතුර ට විස එකතු කිරීම පිළිබඳ දඩ ගැසීම දක්වා ම කතාව ඇත්ත වුණත්, ඒකෙන් මේ කියන වස-විස ශරීර ගත වීම පිළිබඳ අවනඩුව විසඳෙන්නේ  නෑ නේ.  හොඳයි, තොරතුරු තියේනම්,  ඇයි අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වගේ තැනක ඒ ගැන පැමිණිලි කරන්නේ නැත්තේ...?  මොකද, කවුරුත් දන්නවා කෝක් කොම්පැනිය විතරක් නොවෙයි, බෙහෙත්, කිරිපිටි, ආයුධ, ගෘහභාණ්ඩ, ප්‍රවෘත්ති ඒජන්සි මෙ කී- නො කී ඒවා විතරක් නොවේ බණ-දහම් ගැන පොත්-පත් ගහන කොම්පැනිය පවා වැඩ කරන්නේ ධනවාදයේ මේ කුරිරුතම සූරා කෑමේ යාන්ත්‍රණය පාවිච්චි කරමින් කියලා.  දැන් අපේ පොඩි ජයග්‍රහණයක් තියෙනවා; ඒ, මේ යාන්ත්‍රණයේ හවුල්කරුවන් විසින් හංගගෙන තිබුණ මේ රහස හෙළිදරව් කරගැනීම පැත්තෙන්.  ඒක අඩුපාඩුකම් ගොඩක් තියෙන දුර්වල මට්ටමේ එකක් වුණත්, ඒ පියවර වැදගත්.  ඊ ළඟට අපට පුළුවන් නේ ද මේවා ගැන වින්දිතයන් ගේ පැත්තෙන් කොවල් කළ හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙන් සටන් කරන්න.  දැනට තියෙන ව්‍යුහයන් පාවිච්චි කිරීම එක විදියක්. 
ඒ හැම දෙයක් ම දුර්වල, නොදියුණු සමාජයක පණ බේර ගෙන ඉන්නවා කියන්නේ පණ යන වැඩක්.  ආපහු මට මතක් වෙන්නේ මුළින් ම මම කියපු මිත්‍රයා ගේ කතාව.  මේකෙ දි ‘පරිස්සම් වීම‘ සඳහා එකක් අතහරින අපට ආයේ තෝර ගන්න තියෙන්නෙත් ඒ වගේ ම එකක් ! කෝක් නොබීව කියල මැරෙන්නේ නෑ කියල කියන මිත්‍රයන්ගෙන් මට අහන්න තියෙන්නේ ඒ කියන විදියට නොමැරී කන්න-බොන්න සහතික කරල කියන්න පුළුවන් දේවල් මට හොයල දීපල්ලා කියලා. 
හැබැයි, කෝකටත් කියල මම දන්න කියන උන්ට පනිවුඩ යැව්වා, මෙහෙම නරක ආරංචියක් කෝක් ගැන යනවා; කෝකටත් කෝක් නිෂ්පාදනවලින් මේ දවස්වල පරිස්සම් වෙයල්ලා කියලා.  වතුර වුණත් උණු කරල ම බොන්න කියලත් කීවේ වතුරටත් බඩු මිශ්‍ර වෙලා කියන නිසා.
“උණු කළා ම ඩීසල් හරි, භූමිතෙල් හරි අයින් වෙනවා කියලා ෂුවර් ද?“ සමහර පණ්ඩිත උන් ඇහුවා.

“ඔව්; එහෙම විශ්වාස කරපල්ලා. නැත්නම් වතුරත් නො බී ඉන්නයැ !“ මට ඒ බක පණ්ඩිතයන් ට කියල දාන්න වුණා !!           

Monday, August 31, 2015

ශාන්ති අම්මා , පොයිට්ටු වාරෙන්

මෑතක දී අපි නිතර මුණගැහුනේ නැහැ.  ඒත් ඉඳ හිට මුණුපොතෙන් හරි මුණගැහුනොත් වචනයක් හරි කතා නොකර හිටියෙත් නැහැ.  ඒ දයාන්විත, කාරුණික මිතුරිය හෙට දිනයේ දී ආයෙමත් මුණ නොගැසෙනු ඇතැයි මතකයට එන විට හදවතේ අවුලක් දැනෙන්න ගන්නවා.  

ශාන්ති.........ආයෙමත් “පොයිට්ටු වාංගෝ“ කියන්නට අවස්ථාවක් නො දීම සදාකාලයට ම නික් ම ගිහින්. 

ශාන්ති සච්චිතානන්දන්..........

ඊයේ උදේ මම ඇය ගේ නිවස ට ගියා.  මා දන්නා හඳනන එකම එක අය ශාන්ති.  ඒත් ඊයේ ඇය ගේ ප්‍රාණයෙන් නිරුද්ධ සිරුරත් අපෙන් සමු ගන්නා දවස ! මම පැයකටත් වඩා එතැන රැඳී හිටියා.  මට මහා තනිකමක් දැනෙමින් තිබුණා.  කොහොමටත් මා පෙළමින් තිබෙන තනිකම අස්සෙන් ඒ බව අමුතුවෙන් ම දැනෙමින් තිබුණා.  

මට දැණුන ශාන්ති සුවිශේෂ චරිතයක්.  පීඩිතයා, ස්ත්‍රිය ශක්තිමත් කිරීම ඇය මුළු කාලවකවානුව පුරා ම පෙනි හිටි අරගලයක්.  ‘අධ්‍යයන කව‘ ගැන අපි සුමාන ගණන් වාද විවාද කරගනිමින්, ඒවා භාවිතයට දාන්නේ කොහොමදැයි කිරා මැන බැලුවා.  “තමන්ගේ මතය පටවන්න එක වැඩක් නෑ.  හොඳට ම අහුම්කන් දීමේ පුරුද්දක් තියෙන, හැම මනුස්සයා තුළ ම තියෙන අවබෝධය මතු කරල අරන් දියුණු කරගන්න උදව් වෙන්න පුළුවන් නායකත්වයක් හදන්න ඕන. නැත්නම් අපි විශ්වාස කරන, හින දකින අළුත් සමාජය කරා මේ සමාජය ඇතුළෙන් ම වෙනස් කරගන්න කවදාවත් බැරි වේවි“  ඇය දිගින් දිගට ම පෙනී හිටිමින් අරගල කළේ ජනතාවගේ ශක්තිය ගැන අත්‍යවශ්‍ය වූ විශ්වාසයක් තියා ගනිමින්.  විලිඳු මධ්‍යස්ථානය හරහා පුංචි ප්‍රකාශනයන් කරමින්, ඒ ශක්තිය මතු කරවන සාකච්ඡාවන් ට ඇය පුංචි පුංචි මුලාශ්‍ර ගොඩ නැගුවා.  ඒ සංවාදය ගොඩනගන්න පුළුවන් ප්‍රජා මධ්‍යස්ථාන ගැන ඇය ට යෝධ සිහිනයක් තිබුණා. ඒත් ඒවාට ඕන වියදම් හොයා ගන්න දරපු උත්සාහයේ දී ඒ වගේ අවංක උත්සාහයන් දරපු බොහොමයක් දෙනෙක් ට වගේ ම ශාන්තිටත් සාර්ථක වෙන්න බැරි වුණා.  කණගාටුවෙන්, කලකිරීමෙන් ඇය අකුලා ගත්තේ නැහැ.  අපිට ඒ ගමන් ඉස්සරහට යන්න බැරි ව අපි පවා ඇද වැටෙමින් යද්දී ඇය මේ ‘සොක්‍රටීස්‘ මොඩලය වෙනුවෙන් ඇයගේ ජිවිතයෙන් කැප වුණා.  ඇය තනියෙන්  ඒ යොධ ගමන ගැන දැවැන්ත සිහිනය වෙනුවෙන් ඇයගේ දෙපයින් යා හැකි තරමින්, ඒත් උපරිම ජවයෙන් දිව ගියා.  

අපි නැතත්, කවුරු නැතත් ඒ විදියට දිව ගිය, ඒ දිව යන අතරතුර පොඩ්ඩක් නතර වී අපි ගැනත් හොයා බලපු, හමු වුණා ම දයාන්විත සිනහවෙන් කවදත් පිළිගත්තු ශාන්ති වගේ ආදරණිය කැරලිකාරිනියන් සමුගනිද්දී දැනෙන හිස් තැන ගොඩක් ලොකුයි.  ඒ තැන් පුරව ගන්න අමාරුයි.  

මිනිස්සු මැරුණා ම ජිවත් වෙන අයට වඩා හරි ම අමුතුයි.  ඒ හිස්බව තුරුලු කරන් මම එළියට බැස්සා.

Saturday, August 29, 2015

ඕන්න මම ඔට්ටුව දිණුම් දරූ............!


එක දිගටම ලිවීමේ අදහසක් ඇති ව මම ආයෙමත් ලියන්න ගත්තා.

මම එක දිගටම ම එකම වැඩක්වත් කරගෙන ගිය මතකයක් මට මතක ඇති කාලයක නෑ.  දැන් මෙහෙම අදහසක් ඇති ව ලියන්න ගන්නෙත් සෑහෙන කාලෙකින්.
මට මෙහෙම පුරුද්දක් නැත්තේ ඇයි කියලා වැඩේ පටන් ගන්න යන මොහොතේ ආයෙමත් මම ටිකක් සීරියස් හිතුවා.  නිමක් නෑ වගේ පෙනෙන සයිබර් ආකාසය වුණත්, මෙහෙම කුනුකන්දල් වලින් පුරවලා දාන එක හොඳ වැඩක් නෙවෙයි නේ...
ඇත්තට ම ඇයි මම ලියන්නේ ? ඒ වගේ වෙන වැඩ කරන්නේ ?
මට මා ව ජිවත් කරවගන්න පුළුවන් වෙන්නේ මගෙන් එළියට මා ව ඇදලා දාගත්තොත් විතරයි.  මට හිතෙන්නේ ඔන්න ඔය වගේ පණ්ඩිත කතාවක්. 
මනුස්සයා කියන්නේ ‘සමාජ සත්වයෙක්‘ කියල තවත් කව්ද පණ්ඩිත කතාවක් කියල තියෙන්නෙත් ඔන්න ඔය ගැන ම වෙන්න ඇති.
ඉතින් මම ලිවීම ඇතුළු මේ හැම වැඩේ ම කරන්නේ ඒ තේරුමෙන් මගේ ජීවිතය පවත්ව ගෙනයන්න.
ඉතින්, මගේ වැඩ හැම තිස්සේ ම ලෝකයේ තවත් අය එක්ක සම්බන්ධයි.  මගේ යෝජනා අනෙක් අය භාරගනිවි කියලා බලන් ඉන්න පුරුද්දක් හොඳට හරි නරකට හරි මටත් තියෙනවා.
ඒත්, මම ජිවත් වෙන සමාජය, හැම තිස්සෙ ම වගේ මොකක්දෝ මිථ්‍යාමතික සමාජයක් මවා ගෙන, ඒ වගේ ‘සමාජයක‘ මම හිතන-කියන දේවල් කරන්න බෑ කියලා, මා ව පැත්තකින් තියනවා; නැතිව එයාල අකමැතිව හෙම නෙවෙයි !  එහෙම නැත්නම් ‘කරමු‘ කියල ලනු දීලා මාරු වෙනවා. 
ඉතින් නිතර අත්විඳින දරුණු හුදෙකලාභාවය ඇතුළේ මගේඅළුත් ම වැඩෙත් ආය කල් යනවා.  ඒ කියන්නේ ඉතින් ඒක ආයි කෙරෙන් නෑ කියන එක ම තමයි. 
වාසනාවට වගේ මේ ජාතියේ සත්වයෙකුට ලෝකයේ ඉන්නේ මේ මම විතරක් නොවෙන බව මට හොයාගන්න ලැබුණා, ගොඩාක් දරුණු පරීක්ෂණවලට යොමු වෙන්නේ නැතිව ම !ඉතින් එහෙම කෙනෙක් මට උපදෙස් දුන්නේ අමාරුවෙන් හරි අපි ‘රොබින්සන් කෘෘසෝ‘ ලා වගේ වගේ වැඩ කරන්න පුරුදු වෙමු කියලා.  ඒත් ඕක මට මිනිස්සු- ජිවමාන මිනිස්සු අතරේ ඉඳ ගෙන කරන්න අමාරු ම වැඩක්.  ඒක මේ විදියට විස්තර කරන්න බැහැ; ඒත් අත්විඳලා තියෙනම් අමුතුවෙන් විස්තර කරන්න දේකුත් නැහැ.  කසාය බීපු ගොළුවෝ වගේ වෙන වෙන කතා කිය කියා හිටියට මට විශ්වාසයි අපි අතරේ ගොඩ දෙනෙක් ඒ අත්දැකීම් විඳගෙන ඇති කියලා !
ඉතින් ඒක ටිකක් හරි ට්‍රයි කරල බලන්න වටිණ-සුදුසු තැනක් මට හිතෙන හැටියට මේ සයිබර් අවකාශය. 
මම මේකටත් මාස ගණනාවක් ඉඳ ගෙන කල් බලමින් හිටියා.  අන්තිමට ම එක් කෙනෙක් - ජීවිතය තරම් ම වෙන කෙනෙක්- මාත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා; අද මම ඔන්න ඒක දිනනවා මේ විදියට ! එයා ව පරාද කරන්න වටින්නේ නෑ.  මගේ ඔට්ටුව මට ලැබෙන එකකුත්නෑ සමහර විට.  ඒ, එයා ඒක නොදෙන නිසා නොවෙයි.  ඒ ජයග්‍රහණය අපිට පාලනය කරගන්න අමාරු, ඒත් අපි ව ට කර ගෙන පාලනය කරනඅපෙන් එළියේ සාධකවලින් බැරි තරමට ම බාධා කෙරෙන නිසා.  එහෙම ඔට්ටුවකින් මම මේ වැඩේ ට දිරි ගැන්වුනේ කොහොමද ?
මෙන්න මෙහෙම දෙයක් මගේ ඔට්ටු සඟයා කීව; “ඔයා දිනනවාටත් ආසයි, ඔයාගේ ආසාවක් ඉටු වෙන නිසා. මම දිනුවොත් මට ලැබෙන දේ නිසා මම දිනනවටත් ආසයි. ඒත් ඔක්කෝට ම වඩා ආසයි ඔයා මේ වැඩේ පටන් ගන්න එකට“
ඇත්තමයි; සමහර විට වැඩ කරන්න තරමට බලාපොරොත්තු හදන්නේ, ගොඩාක් පුංචි වගේ පෙනෙන දේවල්වලින්: ඒත් ඒවා පෙනෙනවට වඩා මහ දැවැන්තයි කියල මට මේ වෙලාවට හිතෙනවා.
ඉතින්, මගේ ‘හුදෙකලාභාවය‘ කියන මරණීය අසනීපය, මට විතරක් සීමා වුන එකක් නොවෙන බව දැන ගෙන, මම හැර අනෙක් ‘මම‘ලගෙන් ලොකු දේකුත් බලාපොරොත්තු වෙන්නෙත් නැති ව ඔන්න මේ පාර මම ටිකක් දිගට ලියන්න හිතන් පටන් ගන්නවා.