Sunday, March 17, 2024

නිවටකමේ චණ්ඩි ප්‍රකාශනයක්


 බාහු සහෝදරයාගේ අසූඑක් වෙනි උපන් දිනය වෙනුවෙන් මම ෆේස්බුක් සහ බ්ලොග් සටහනක් ලිව්වා,  මාර්තු 08 වෙනිදා.  අපි කවුරුත් දන්න විදියට බාහු සහෝදරා මේ වෙනකොට ඉන්නේ කිසිදා සුවපත් නොවන අසනීප තත්වයකින්.

"බාහුගෙ වැටීමෙන් පස්සේ බාහු ගැන මම දැකපු හොඳම විශ්ලේෂණය. මෙහෙම එකක් ලියන්න පුළුවන් දර්ශනටම විතරයි"  කියලා විදෙස්ගත වාමාංශික මිත්‍රයෙක් මට ඉතාම ඉහළ ප්‍රශංසාවක් ඒවා තිබුණා. "නැවතුන තැන සිට අපි නැවත පක්ෂය ගොඩනගමුද... මට සහෝදරයා සමග කතා කරන්නට ඕන"  ඔහු කියා තිබුණා.

පහුගිය කාලය තුළ මගේ අත්දැකීම වුණේ,  ජනප්‍රිය, මහා සම්මත කතිකාවට අනූව, තමන් 'සුපිරිසිදු වාමාංශිකයෙක්' බව අනෙකාට පෙන්වීම සඳහා ඔහු බොහෝ දේ කරමින් සිටි බවයි.  


ඔය අස්සේ මට තේරුණා ඔහු මගේ ලිපියත්  කොහෙන් හෝ පටලවාගෙන ඇති බව. 

මාක්ස්වාදය ⁣හෝ සමාජවාදය අප පිලිගත්තත් නැතත් ලංකාවෙ දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය ජාතික ප්‍රශ්නය කියන විශ්වාසය මට අදත් ඇත්තක් බව මම ආයෙමත් කීවා. ඒ වගේ ම ධනවාදය ගෝලීය යථාර්ථයක් බවත්, ඒකේ වාටිය නැත්නම් කුස්සි-කක්කුස්සි හරියට වෙන්න පිහිටල තියෙන ලංකාව වගේ සමාජයක දේශපාලනය තීන්දු වෙන අක්ෂ තියෙන්නේ පිටින් බවත් ආයේ ආයෙමත් කීවා.ඒ අනූව අවම ප්‍රජාතන්ත්‍රික තත්වයක්වත් නැති, ඒකට අත්‍යවශ්‍ය පුරවැසි බලයක් ගොඩනගන්නට ජාතික වශයෙන්වත් ඉඩ නොදෙන චීන අක්ෂයේ ප්‍රාග්ධන ඒකාධිකාරයට සාපේක්ෂව අපට ගැටෙමින් හෝ ගමන් ඇත්තේ ඉන්දු-ඇමරිකානු-යුරෝපා ප්‍රාග්ධනයන් එක්ක බව ආයේ වටයකින් ඒවා ලංකාවේ ජාතික ප්‍රශ්නයට සෙට් වෙන විදියත් එක්ක සම්බන්ධය පෙන්වමින් පැහැදිලි කළා.

කියන්න කියන්න, මේ මිත්‍රයා මාත් එක්ක වඩ වඩා එකඟවෙමින් "හරියටම හරි; හරියටම හරි. මාත් කියන්නේ ඒකයි" කියනවා. ඒ කියන ඒවට සාක්කි හැටියට එවන ඒවායේ තියෙන්නේ ඒ අදහස නොවෙන බව මට තේරෙනවා. 
මේක තේරුම් කරන්න ම මට දරුණු වෙහෙසක් දරන්න වුණා. ඇයි එහෙම වෙන්නේ ? අර කියපු අනන්‍යතා රෝගයට ගොදුුරු වෙන්නෙකුට බරපතල පැරනොයියා තත්වයක් හරහා නාසිස්මය ලක්ෂණ ඉස්මතු වෙන්නේ ඉතාම පහසුයි.  එහෙම කෙනෙකුට කාගෙන් වුණත් ඇහෙන්නේ තමන්ගේ හඬ ම විතරයි.
අපි දෙන්නගේ  කතා දෙකක් කියලා අමාරුවෙන් තේරුම් කරවීමත් එක්ක  අපේ මිත්‍රයගේ ඒ රෝගී තත්වය සුව අතට හැරුනේ නෑ. ඒ වෙනුවට එයා තවත් ඒකේ ගිලෙන්න ගත්තා.
දැන් පැය කිහිපයකට වතාවක් එයාගෙන්  මට අපහාසාත්මක පණිවිඩයක් එනවා.

පැය කීපයක් තුළ අපේ මිත්‍රයට මොකද වෙන්න ඇත්තේ ? මේකයි; මුලින් ම ඔහු දකින්නේ මම සහ මගේ ප්‍රකාශනය තුළ ඔහුවමයි.  ඒ දැකීමෙන් දැඩි අමන්දානන්දයකින්  උමතු බවට ළඟා වෙන ඔහු ප්‍රතිවිරුද්ධ තේරුම් ගැනීමේ නිමේෂයත් එක්ක ම කඩා වැටෙන්නේත් තමන් හැටියටමයි. ඔහු තමන් ව සලකුණු කරගත් තමන්ගේම යයි සිතා සිටි භුමි එසේ නොවන බවට ඇති කෙරෙන තේරුම් කිරීම මගින් යළි වටයකින් ඔහුව උමතු බවට තල්ලු කෙරෙනවා.
දැන් එන්නේ මුල කතාවල පරස්පර ප්‍රකාශනයන් අඩංගු විශාද ලක්ෂණවලට ආසන්න තරම් ක්ලමථකාරී ප්‍රකාශන; ඔන්න පහතින් ලියන්නම් දැනට ප්‍රකාශිත කීපයක්;

"රනිල් බාහුට මිලියන හයක් දීපු නිසා කඩේ ගියා.රනිල් ගුරුතුමාට කීයක් දුන්නද?"
"තමුසේ රනිල්ගේ සෙරෙප්පු සුප්කාරයෙක් නේද?" ,
" රනිල් රාජපක්ෂට කඩේ යන උන් එක්ක කතා කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැත" ,"සොරිඩොට්කොම්. බලමුකෝ තමුසෙලාගේ රනිල් කොච්චර දුර යයිද කියලා"
මේ මට විටින් විට දැන් ඔහුගෙන් එන පණිවිඩ.

දැන්  කෙනෙකුට පේන්න පුළුවන් අපේ මිත්‍රයා අනෙකාට (මෙතැනදී  මට) අම්බානට නෙලා ගෙන, නෙලා ගෙන යනව කියලා.  කවුරු හරි තව කෙනෙකුට දෙමළා හෝ තම්බියා හෝ ගෑණි හෝ පොන්නයා හෝ ඩෝබි හෝ ඔය වගේ මොකක් හරි අපහාසාත්මකව ආමන්ත්‍රණය කරද්දී ඒකෙන් එයා හඬ නගා කියන්න යන්නේ 'මමනම් එහෙම නෑ. එහෙම නැති නිසා මම තමයි ග්‍රේට්' කියන කතාව. එයා බය වෙන්නේ කාටද ? මම එහෙම නෙවෙයි; මම මෙහෙමයි කියල එයා ඔප්පු කරන්න යන්නේ කාට ද ? සමාජයේ මහා සම්මතය ඇතුලේ එයාට වැදගත්කමක් ලැබිල තියෙන 'මාර පොර' කියල පෙන්නන්නයි එයාට ඕන වෙන්නේ. ඒ පිලිගැනීම නැති වුණොත් එයා නතින්ග්. ඒ තත්වය එයාට හිතාගන්නවත් බෑ. ඉතින් මහා සම්මුතියක් එක්ක ඒකට බයේ සම්මුතිගත වෙන මේ හැබෑ නිවටයා එතනදී රැකගන්න ට්‍රයි කරන තත්වය සමහර විට 'මහා විප්ලවවාදියා' කියන පිලිගැනීම සමාජයෙන් හිඟාකාගන්න වෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙන තත්වයක් වෙන්නත් පුළුවන්. මහා සම්මුතික තත්වයන්ගෙන් ලැබෙන මේ සහතිකයට වහල් නොවී, ඒක හිඟාකන්නේ නැතිව, ඒ මත තමන්ගේ සම්මුතියක් ප්‍රතිගොඩනැංවීමක කරන්න පුළුවන් අයෙක් තමයි ඇත්තටම වාමාංශික/රැඩිකල්/විප්ලවවාදී වෙන්නේ.
ඒ තේරුමෙන් මම ආයෙමත් කියන්නේ රතු දේශපාලනය ඇතුලේ වික්‍රමබාහු කරුණාරත්නලත්, ඉන් පිටතින් රනිල් වික්‍රමසිංහත් සාපේක්ෂ හැබෑ විප්ලවවාදි භාවිතයක හොඳ ම නිදසුන් කියලා.

අපේ මිත්‍රයාගෙන් මේ ප්‍රකාශ වෙන්නේ මහා සම්මුතියක සුවචකීකරු, නිවට නියාලු පක්ෂපාතීත්වයක් ඇතුලේ 'මහා වාමාංශික පොරකගේ' අනන්‍යතාවය ඉල්ලා කරන අසරණ සිඟමන් යැදීමක්.
ඔහු මෙතැනදී පාවිච්චි කරන වෛරී අපහාසාත්මක ප්‍රකාශනයන් ඔහුගේ අසරණකමේ, දීනකමේ ප්‍රකාශනයන් මිස වෙන කිසිවක් නෙවෙයි. බාහු හෝ මම මේ මතය දැරීමට හේතුව අපට ඒ සඳහා මුදල් ලැබීමක් වගේ දෙකයිපනහේ සිල්ලර චෝදනා, අද ඔහු ගේ තැන එදත් සිටි අය විසින් ඔහු ගේ යුද විරෝධී ආස්ථානය තුළ ඔහු වෙතටත් එල්ල  කෙරුනක්.

මගේ මිත්‍රයාගේ වර්ගයේ අයට,  හුදු තමන්ව මතුකර ගැනීමේ අසරණ අභිලාශයෙන්, මේ කරන අපහාසයන් සඳහා වාක්‍යයෙන් වාක්‍යයට පිළිතුරු දීමේ උවමනාවක් මම දකින්නේ නෑ.  එසේ කිරීමෙන් සිය අදහසේ ඇති බලගතු වරද දැකගන්න පුළුවන් තත්වයක නෙවෙයි ඔවුන් ඉන්නේ.  දැන් මේ ලිවීමටත් ඔවුන් බොහෝ දෙනෙකුට කරන්නට සිදුවෙන්නේ(ඇත්තටම ඔවුන් තත්වයන්හී වහළුන් බැවින් සිදු කරන්නේ නොව සිදුවෙන්නේ) බක බක ඉමෝජියත්, අඩු වැඩි අපහාසාත්මක-වෛරී ප්‍රකාශනයන් පුනරුච්ඡාරණයත් විතරක් වෙන්න පුළුවන්.
මගේ අනන්‍යතාවය  ඔවුන්ට ඔප්පු කිරීමට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ ගැන මට අවබෝධයක් සහ විශ්වාසයක් ඇති නිසා ඒ ගැන තවත් අයගේ සහතික ඉල්ලා සිටින්නට මට අවශ්‍ය නැහැ. මගේ ඉල්ලීමක් නැතිවත් එසේ නිකුත් කෙරෙන සහතික ගැන මට බැඳීමකුත් නැහැ.  (තිබුණනම් අපේ මිත්‍රයාගේ මුල්වටයේ දී ඔහු සිටින ගොදුරුබවට මටත් කොන්දේසි විරහිතව ඇතුල් වෙන්න තිබුණා)

මේක මම සහ ඔය කී මිත්‍රයා අතර පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේකට නම්-ගම් නැති විවෘත පිළිතුරක් දෙන්නම් කියල මම කීවා. ඔන්න ඒක ලිව්වා.

මගේ මිත්‍රයා සහ ඒ වර්ගයේ අයට ඕනනම් මහා සම්මුතිය එක්ක තමන්ට ඇති වහල් සම්බන්ධය යළි ප්‍රශ්න කරගැනීමකට මේ ලිවීම උදව් වෙත්වා කියලයි මගේ ප්‍රාර්ථනාව. 
ඔය අනන්‍යතා අර්බුදයෙන් මගේ සුවපත් වීමත් අත්දැකීම් කොට මට ඒ උදව්ව කළ හැකිනම් ඒක අපි කාගේත් ජයග්‍රහනයක් වේවි.

Friday, March 8, 2024

වමේ නොසැලෙන, අව්‍යාජ සංකේතයට අවුරුදු 81ක් !


 අද බාහු සහෝදරයාගේ උපන්දිනය...


මේ සටහනෙන් බොහෝ විට බාහු සහෝදරයාට කිසිවක් දැනෙන එකක්වත්, සිදුවෙන එකක්වත් නැති බව මම දන්නවා. ඒ නිසා මේ බාහුට ලියවෙන්නක් නෙවෙයි.

පුද්ගලයෙක් හැටියට බාහු ගැන අපි කාටත් වගේ ම ඔහුටමත් විවේචන තියෙන්න පුළුවන්. හැබැයි බාහු කියන්නේ අපේ කාලයේ මහා ජීවිතයක්.

බාහුට ඩිමෙන්ෂියා තමයි. හැබැයි සාමුහික ඩ්මෙන්ෂියාවක ගිලුනු සමාජයක් තුළ බාහු පට්ට ම නිරෝගී චරිතයක්;ඒ සමාජය සුවපත් කරවන්නට කැප වුණ, වැය වුණ වීරයෙක්.

'වික්‍රමබාහු නියත වශයෙන් ම වික්‍රමබාහු ම විය' කියලා නව සමසමාජ පක්ෂයෙන් පොතක් (ඒකනම් අමු පිස්සු පොතක්)  ප්‍රකාශයට පත්කරපු දවසේ නිර්මාල් රංජිත් කීවා මෙහෙම කතාවක්. "බාහු සුවිශේෂ වෙන්නේ වමට ඉතා ම අවාසිදායක කොන්දේසි යටතේ පවතින්න වෙලා තියෙන කාලයකත් වාමාංශිකයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්කම නිසයි"

කෙනෙක් කියන්න පුළුවන්, "යූඑන්පීයෙන් ඡන්දෙත් ඉල්ලපු බාහු මොන වාමාංශිකයෙක්ද" කියලා.

අන්න ඒ තැන තමයි බාහු හැබෑවට ම වාමාංශිකයෙක් වෙන්නේ.

"අපි සමසමාජකාරයෝ. අපි මේ යූඑන්පී එකත් එක්ක වේදිකාවල මොකද කරන්නේ කියල සමහරු අහන්න පුළුවන්" බාහු ම මේ ප්‍රශ්නයට අභිමුඛ වෙලා උත්තර දෙනව මම අනන්ත අහල තියෙනවා. ඒක බාහුල මඟමැරිය ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඔය ප්‍රශ්නය ඉතිරි කරගත් ඇත්තෝ ඒ පිළිතුර මඟ හැරල ගිය අයයි.
අද පෙසපෙ කට්ටිය එදා ජවිපෙන් කැඩෙද්දී ඒ ⁣ගොල්ලන්ට වාම අනන්‍යතාවයක් මත තහවුුරු වෙන්න උදව් වෙන්න බාහු ලොකු මහන්සියක් කැප කළා.  ජාතික ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් දීම වාම දේශපාලනය ඇතුළේ කිසිසේත් ම මඟහරින්න බැරි පදනම කියල පැහැදිලි කරමින් රට පුරා ම ගියා. ඒත් මුල් හමුවීම් කීපයකට පස්සේ ⁣මේ කණ්ඩායම බාහු මඟහරින්න ගත්තා. බාහු ගේ මැදිහත්වීම නිසාවෙන් ස්වෝත්තමවාදි ජවිපෙ ගර්භාෂය තුළ තමුන්ව ගබ්සා ⁣වීමේ අනතුරක් ඔවුන්ට දැනෙන්න ගත්තා.  එතකොට වාම පුනරුප්පත්තියක හීන, මේ ජානවලට අප්සෙට් බව දැනුනා වෙන්න ඇති.  

2020 අප්‍රේල් 17 වෙනිදා 'මඟ හැරුනු සහෝදරයෙක්' කියල බාහු ලීනස් ගැන හරය පත්තරයට ලිපියක් ලිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ලංකාව වගේ සමාජයක මූලික ම ප්‍රශ්නය හැටියට බාහු විසින් විස්තර කරල තියෙනවා. පටලවගන්න ඕන නෑ; ඒ කියන්නේ ඡන්දේ තියනවද, කල්දානවද වගේ ප්‍රශ්නනම් නෙවෙයි. බාහු පෙන්නල දීල තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලංකාවේ ප්‍රශ්නය,  මේ භූමිය මත ජීවත්වෙන හැම ප්‍රජාවක් ම, විශේෂයෙන්ම ජාතීන් මේ බිමේ හැබෑ උරුමක්කාරයන් විදියට, ලාංකේය ජාතිය විදියට සංවිධානය කරගන්න ප්‍රශ්නයයි ඒ කියලා. ඒ නිසා ප්‍රධාන ගැටුම තියෙන්නේ කොතන ද ? එක පැත්තකින් එක්සත් ජාතියක් වෙනුවෙන් විවිධ හේතු නිසා පෙනී හිටින්න සිදු වුණ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ අනෙක් පැත්තෙන් ජාතික සමාජවාදීන් හැටියට සිංහලකමට අනිත් අය යට කරගැනීම වෙනුවෙන් එක එක ස්වරූපවලින් පෙනී හිටින ජාතික සමාජවාදීන්. බණ්ඩාරනායකලගෙන් පටන්ගත් මේ ජාතික සමාජවාදී ව්‍යාපෘතීන් එක්ක සිංහල-බෞද්ධ සුබසාධක රාජ්‍යයට තිබුණ සම්බන්ධය ගැනත් ⁣බාහු මෙතැනදී ඉඟිකරනවා.

මහා සම්ප්‍රදාය ඇතුළේ ඊනියා 'ප්‍රගතිශීලීන්' ස්ථානගත කරගත්තේ 'යූඑන්පී විරෝධීන්' හැටියට. යූඑන්පීය සැලකුනේ 'පොදු හතුරා' හැටියට.  බාහුලා අහන ප්‍රශ්නය පැහැදිලියි. එක්සත් ජාතික ප්‍රජතන්ත්‍රවාදයයි, ජාතික සමාජවාදී සිංහල රාජ්‍යයයි අතරදී 'පොදු හතුරා' කව්ද ? එක්සත් හෝ සමඟියක් හෝ  ඕන කා එක්ක ද?
ඉතිහාසයේ තීරණාත්මක මොහොතවලදී අපට අපේ ම අනන්‍යතා පවා අතාරින්න වෙනවා. ඒක තමයි විප්ලවවාදී භාවිතාව. ඒ වගේ වෙලාවක දී ඔබ කරන දේට කවුරුවත් ප්‍රශංසා කරන එකක් නෑ. ඔබට හිමිවෙන්නේ ද්‍රෝහියෙකුගේ, පාවාදෙන්නෙකුගේ, කුළියට විකුණුනෙකුගේ අනන්‍යතාවයක් වෙන්න පුළුවන්. අපි සාමය හා ජාතික සමඟිය වෙනුවෙන් පෙනී හිටින කොට මහා සම්ප්‍රදාය තුළ අපිව හැඳින්වෙන්න ඉඩ තියෙන්නේ සාම වෙ⁣ළෙන්දන්, රට-ජාතිය පාවාදෙන්නවුන්, ඩොලර් කාක්කන් ආදි 'ගරු නම්බු නාම' වලින්. කවුරුවත් කැමති වෙන එකක් නෑ එහෙම හැඳින්වීමක් බාරගන්න. සාමාන්‍ය මිනිස්සුන්ට එවැන්නක් කරන්න බෑ. ඒක කරන්න පුළුවන්කම, විප්ලවවාදී භාවිතයක් වෙන්නේ අන්න ඒකයි.

බාහු, අපේ කාලයේ අන්න ඒ විදියේ ඇත්ත විප්ලවීය භාවිතයේ දීප්තිමත් ම සංකේතය නෙවෙයි නම් අඩු ගානේ එක්කෙනෙක්.

අසූඑක් අවුරුද්දක් පුරා ඔහු වැය වූණේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වැයවෙන්න බැරි තරම් භාවිතයකට. ඒ වෙහෙස විසින් ඔහුව ඩිමෙන්ෂියා රෝගියෙක් කරවන්නට ඇති. සමහර විට අපේ ශරීරයන් අපට නියෝග කරනවා, 'විවේකයක් ගනින්' කියලා. බාහුට දැන් ඒ වගේ කාලයක් වෙන්න පුළුවන්.  ඔහු ලියූ, කියූ දෑත්, අපේ මතකයනුත්, වාම ප්‍රජාතාන්ත්‍රික අරගල භාවිතයේ අඛණ්ඩ මොහොතවලුත් විසින් පුළුවන් විදියට මේ හිස්තැන් පුරවාවි.
පුද්ගලිකව වගේ ම දේශපාලනිකවත් මට වුණත් බාහු එක්ක ඇති නොඑකඟතා තිබියදී ඔහු විසින් අපට දුන් අති දැවැන්ත අනුප්‍රාණය ගැන අකෘතඥ වෙන්න බැහැ.

සුව-පහසු විවේක කාලයක් ඔහුට හිමි වේවා !  ආනන්දනීය උපන්දිනයක් වේවා ! 



ගැහැනුන්ට එරෙහි ව ගැහැණු

 අද මාර්තු 08; ජාත්‍යන්තර ස්ත්‍රී දිනය...


සමහරු අහනවා ඇයි ස්ත්‍රීන්ට එක දවසක් කියලා. තවත් සමහරු අහනවා පුරුෂයන්ට ඇයි දවසක් නැත්තේ කියලා.
ඔය අනිත් ලිංගිකයන් ගැන අහුමුල්ලකින්වත් කතාවක් නැති තරම්. ඒ වුණත් ඒ අයටත් වෙන් වුණ දවස් ජාත්‍යන්තර කැලැන්ඩරේ තියෙනවා.

එහෙම දවසක් තියෙන්නේ අනිත් දවස් විසින් අමතක කෙරෙන කොටස් ගැන, උරහිසින් අල්ලල, හොලවල, මතක් කිරීමක් කරල දෙන්නයි. සමහර විට ඒ ස්ත්‍රීන් වගේ මනුෂ්‍ය කොටස් ගැන විතරක් නෙවෙයි, ස්වභාවික පරිසරය ගැන නැත්නම් ආදරය වගේ සංකල්පීය දෙයක් ගැන වුණත් වෙන්න පුළුවන්.

"රස්සාවකට ඕනවට වඩා ඇඩික්ට් වෙන්න එපා; ඊට වඩා ජීවිතයක් තියෙන බව මතක තියාගන්න" කියලා වර්ගයේ සෑහෙන්න අවවාද අනුශාසනා හතරවටින් ම ඇහිල ඇති නේ.
මම දැන් ටිකක් වෙන තැනකින් ආයේ කතාව පටන්ගන්නවා. (මුල-මැද-අග රීතියෙන් වගේ ම එහෙ මෙහෙ විසි වෙන ගමන් මාව කියවගන්න එන අයට සොරි)

දරාගන්න බැරි තරමට පෲෆ් අවුල් තිබුණ ලස්සන පොතක් ගැන තද විවේචකයෙක් වීම හැර වෙන කිසිම හේතුවක් නැතිව මට සිංහල පෲෆ් රීඩර් කෙනෙක් වෙන්න වුණා පොත් ප්‍රකාශක මිත්‍රයෙකුට. අපි දෙන්න අතර වාදයක් ඇති වුණා 'ගැහැනු' ණයන්න ගැන ! ගෘහ+අණි =ගෘහණි (ගෙදර ඇත්තී) කියල මම ඉගෙන ගෙන තිබුණ ව්‍යාකරණ පෙරලගෙන 'ණ'  වෙනුවෙන් මම ෆයිට් කළා. "ඉතින් අපි ඕක පිළිගන්න ඕනද, ගැහැනු කියන්නේ ගෙදරට සීමා වෙන්න ඕන කට්ටියක් කියලා?" මිත්‍රයා ඇහුවා. මම ප්‍රතිතර්කය පිළිගත්තා. දැන් ලියන්න ඕන වුණා ම මම 'ගැහැනු' කියලා ලියන අතරේ අපහාසාත්මක යෙදුමක් හැටියටයි 'ගැහැණු' කියල යොදාගන්නේ.
ඉතින් හැම මනුස්සයෙක් තුළ ම තියෙන්න පුළුවන් ස්ත්‍රීත්වය අමතලා මම ඉල්ලන්නේ 'ප්ලීස්, ගෑණු වෙන්න එපා' කියලා.
ස්ත්‍රියකට ජීවිතයේ වෙන්න පුළුවන් බරපතල ම අකරතැබ්බය 'අම්මා' කෙනෙක් වීමයි.  මොකද, එතැන සෙන්ටර් කරන් තමයි ස්ත්‍රී ජීවිතය ගේ අස්සට කොටු කිරීමේ සියළු ම ව්‍යාපෘති හැසිරවෙන්නේ.
දැන් අර මැද නතර වුණ තැනට ආයේ යමු.
අම්මා පදවිය කියන්නේ ලෝකයේ තියෙන උසස්තම පදවිය වගේ (ඕකේම පූට්ටු සංකල්පය තාත්තාකම ගැන) ලෝක තක්කඩි උස්සන් එන ලනු කන්න එපා. ඒක තනතුරක්නම්, ඒක රස්සාවක්නම්, ජීවිතය කියන්නේ ඊට වඩා ගොඩක් ලොකු එකක් කියලා මතක් කරගන්න. කැමතිනම් අම්මා කෙනෙක් වෙන්න. ඒත් අම්මාකමින් ඇදගන්න එපා.
අද දවසේ ලංකාවේ පැවැත්වුණ 'කාන්තා' (පිරිමින් ඇදගන්නා කියන අරුතින් එන සිංහල වචනය) දින සමරු කීපයක් දුරස්ථව හරි නිරීක්ෂණය කරන්න මට පුළුවන් වුණා. හැම එකක් ම වගේ මේ මැතිවරණ අවුරුද්දක් කියන එක සිහියේ තියාගෙන ඩිසයින් කරපු බවකුයි මට දැනුනේ. නිදසුනක් හැටියට ප්‍රධාන කණ්ඩායම් දෙකතුනකින් ම මේ තේමාවන්ට ගෙනැත් තිබුණේ බඩු මිල, බදු බර, ජීවන වියදම වගේ දේවල්. ළමයි නඩත්තු කරගන්න, කුස්සිය කළමනාකරණය කරගන්න කොටින්ම කියතොත් අර අම්මා රෝල් එකේ ගෑණුන්ට තියෙන්න ඕන ප්‍රශ්න ටික තොරොම්බල් කරනවා හැරෙන්න මේවාට ඔය ගෑණුකමේ සීමාවෙන් නිදහස් ස්ත්‍රී මනුස්සයෙක් ගොඩනගා ගන්න එක ගැන තුන්හිතකවත් අදහසක් නැති බවයි පෙනුනේ. "ගෑණු කියන්නේ අම්මලාට. අම්මලාට පුළුවන් තමන්ගේ ළමයින්ට කියලා දෙන්න. ළමයින්ගේ අම්මලාට පුළුවන් තාත්තලාට කියල දෙන්න. ජාතියක අනාගතය තියෙන්නේ මේ අම්මලා අතේ..." ඉතින් මැතිවරණ සිතියම අස්සේ ගෑණු වාහන වෙන්නේ ඔන්න ඔහොමයි.
ඉතින් මම ට්‍රයි කළේ මට අහුවුණ  සීමාව පෙන්නල දෙන්න. ඒ සීමාවන් මම හදපුව නෙවෙයි. එහෙම හිතල මගේ ඇඟට ගොඩවෙන්න එපා ප්ලීස්.
ඕන්, පුළුවන්නම් ගෑණු නොවී මනුස්සයන් වෙයල්ලා !





Thursday, March 7, 2024

ආපු කතාව හංගන යවපු කතාවේ ඇත්ත

 ගෝඨාභය රාජපක්ෂ එලෙව්වේ 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින්' ලු !


'ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය' කියල ඕක 'හෙලිදරව්' කරන පොතක් හෙට ගෝඨාභය රාජපක්ෂ විසින් ජනගත කරනවාලු.

සමහර විට ඔය 'හෙලිදරව්ව' ඊට කලින් '9;සැඟවුන ඇත්ත' කියල විමල් වීරවංශ කරපු එකේ ම ගෝඨාභය වර්ෂන් එක වෙන්නත් පුළුවන්.

අද ගෝලීය දේශපාලනය, ඒක ඇතුලේ භූ-දේශපාලනික යථාර්ථයන් ගැන මතුපිට හරි තේරුම්ගැනීමක් තියෙන කෙනෙකුට මේවා 'මාර හෙලිදරව්වන්' වෙන්නේ නෑ.  ඒ නිසා මෙයාලා කියන කතා අපටනම් 'මාර' වෙන්නෙත් නෑ; 'ඊයියියා...විදේශික බලවේග' වගේ කැතක් හිතට එන්නෙත් නෑ.

හැබැයි, ඔය 'හෙලිදරව්වන්' කරන්නෙම ඒකෙම තව කොටසක්, සමහර විට වඩාත් ම වැදගත් කොටස යටගහන්න කියන එක තමයි සිරා ම හෙලිදරව්ව !

පුළුවන්නම්,  හෙට එළියට එන ඔය කියන පොත වර්ගයේ 'හෙලිදරව් පොත්වලින්' යවපු විදිය එක්ක ම ආපු විදියත් කියන්න කෝ බලන්න.  මෙයාල රකින්න සපථ කරන 'ජාතික රාජ්‍යයේ' එක්ටැම් ගේ ගහපු පදනම් සැකිලිවල හෙළුව ඔන්න එතකොට බලාගතෑකි කාටත් !

Saturday, March 2, 2024

අපි Vs අපි


 පෙර කතාව:

අපි ජීවත් වෙන්නේ සමූහයක් හැටියට. මේ නිසා තනි පුද්ගලයෙකුගේ නිදහස සමූහය එක්ක බැඳුණු එකක්. 
දැන් මම මෙහෙම එකක් ලියන්නෙම, එතැනින් නතර නොවී මේක මේ වගේ අවකාශයක බෙදන්නෙම ඔයාට කියවන්න. ඒක වීඩියෝ ක්ලිප් එකක් ගැන, හඬපටයක් ගැන, පින්තූරයක් ගැන, ඔය ඕනම දෙයක් ගැන අදාල කතාවක්. මේක ඔයාගේ ඇහැ-කණ ගැටුන ගමන් ඔයාට යම් දෙයක් වෙනවා. එක්කෝ සතුටක් ⁣ඇති වේවි. නැත්නම් යකා නගින්නත් පුළුවන්. ඇඬෙන්න, උගුර කට පිච්චිල යන තරම් දුක හිතෙන්න පුළුවන්. බිම පෙරලි පෙරලී හිනායන්න පුළුවන්. ඒ එක්ක ඔයා තව අය එක්ක මේකට අදාලව ප්‍රතිචාර දක්වනවා. එතකොට තව තව අයට බලපානවා.
මට ඕන දෙයක් මට කියතෑකි. කට මගේ. මට ඕන දෙයක් මට අහතෑකි; කණ මගේ. ඒක මගේ අයිතිය සහ නිදහස. ඉතින් මට ඕන දෙයක්, ඔයා ගැන වුණත්, ඔයාගේ අහවලා ගැන වුණත්, වෙන කවුරු හරි ගැන වුණත් මට ඕන දෙයක් කියතෑකි.
මේ තරමට යද්දී මේ 'නිදහස' ඇතුළේ ඔයාගෙත් නිදහස තියාගන්න එක ගැන ප්‍රශ්නයක් වගේ දැනෙනව ද ? ඒක පුදුමයට හේතුවක් නෙවෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් තමයි.
ඔන්න ඕකයි එක්කෙනෙකුගේ නිදහස තව කෙනෙකුගේ නිදහස එක්ක එකට බැඳිල තියෙන්නේ කියල අපට තේරුම් ගන්න වෙන්නේ.

සන්නිවේදනයට අපි අතර වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ ජනමාධ්‍යයයයි, සමාජ මාධ්‍යයි.  එතැනිනුත් සමාජ මාධ්‍යයන් ගත්තාම අපි හැමෝම වගේ අපේ ම කියල මාධ්‍ය ආයතනයක් අයිතියේ තියන්, මෙහෙයවීම කරන අය බවට පත් වෙලා තියෙනවා.
මේ නිදහස සහ ඉඩකඩ අපි එකිනෙකා පාවිච්චි කරන්නේ එක එක විදියට.

ඉතින් අපේ නිදහස ඇත්තටම රැකෙන්නනම් අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙන විදියට විදි යොදාගන්න වෙනවා. ඒ වගේ ම එහෙම පාලනයක මුවාවෙන් නිදහස උදුරගන්නත් අනතුරක් තියෙනවා.

ලෝකයේ තවත් රටවල වගේ ලංකාවටත් සමාජ මාධ්‍ය නියාමන පනතක් ඕන කරන්නේ ඒකටයි.
දැන් ප්‍රශ්නය ලංකාවේ ඉතාම දිගුකාලෙකට පස්සේ වුණත් කඩිමුඩියේ සම්මත වුණ පනත ඒ ඕනකමට කොයි තරම් ගැලපෙනවද කියන එක.

පනත යෝජනා කරපු පොලිස් ඇමති ටිරාන් අලස් කියනවා, 2023 අවුරුද්දේ විතරක් සමාජ මාධ්‍ය ජාලාවලට සම්බන්ධ පැමිණිලි 8000ක් කියල. ලිංගික හිරිහැර ගැන 669යි. නිරුවත් පින්තූර ගැන 506යි. ඒත් විපක්ෂය කියන්නේ මේ පනතේ වගන්ති 57කින් 55ක් ම සමාජ ආරක්ෂාවට අදාල නොවෙන බවයි.
පනත දේශීය වගේ ම ජාත්‍යන්තරවත් පුළුල් විරොධතා මැද පාර්ලිමේන්තුව තුළ සම්මත වුණා. ඒත් ආයෙමත් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කෙරිල තියෙනවා වගන්ති 57න් 47ක් ම සංශෝධනය කිරීම සම්බන්ධයෙන්.



වර්තමාන කතාව:
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online safety Act)  පාර්ලිමේන්තුවේ සම්මත වුණා.
ඒ සම්මත වූ බවට කතානායක අත්සන යෙදුනා.

⁣ පාර්ලිමේන්තු මංත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුණ පනත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතකා කරපු එකක් කියන චෝදනාව කතානායකට සහ නීතිපතිට ඉදිරිපත් කෙරුනා.
ඒත්, දින තුනකට කළින්, පෙබරවාරි 29දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම නිශ්ප්‍රබා කළා.

ඒකට හේතුව තමයි ලංකාවේ අධිකරණ සමාලෝචන බලය(Power of Judicial Review) කියන එක නැහැ. ඒ බලය සන්ධීය ආකෘතිය (Federal)  ඇතුළේ අනිවාරනීය වුණත් ඒකීය රාජ්‍ය ආකෘති ඇතුලේ වැඩිපුර වෙන්න ඉඩ ඇත්තේ නැති වෙන්නයි. ගොඩක් වෙලාවට ඒකීය රාජ්‍ය ආකෘතිය ඇතුලේ ව්‍යවස්ථාදායකයට හෝ පාලනයේ මධ්‍ය කේන්ද්‍රයට බලයේ වැඩි බරක් ලැබෙන නිසා අධිකරණයට ඊට ඉහළින් කොයි අවස්ථාවකවත් පවතින්න අමාරුයි. ලංකාවෙත් මේ තත්වය ඇතුළේ සම්මත කරපු පනතක් ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ.

පරම බලය තියෙන්නේ ජනතාවට. පුදුමෙන් කටඇරන් බලන් ඉන්න ඕන නෑ. ඔව්; ඒ කියන්නේ මේ අපි 'ජනතාව' තමයි ලු. ඉතින් අපි තෝරල යවපු අපේ නියෝජිතයන් හැටියට ව්‍යවස්ථාදායකයට පරම බලය මාරු වෙනවා. එතැන බහුතරයේ බලයට කාටත් යටත් වෙන්න වෙනවා. ඒක තමයි ඒකීය රාජ්‍ය ආකෘතිය.

දැන් වෙන විදියකින් අර්බුදයක් මතු වෙලා තියෙනවා.
යම් නීතියක් එහෙම සම්මත වෙන්න කලින් කෝකටත් මහජනතාවට පුළුවන්කමක් ලැබෙනවා  ඒක රටේ මූලික නීතිය, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණය ලවා පරීක්ෂා කරවගන්න. එහෙම වෙලාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයට දන්වල එවනවා තමන්ගේ නිර්දේශ. ඊටපස්සේ වෙන්න ඕන දේ තමයි ඒ නිර්දේශ අනූව අදාල සම්මත කිරීමේ ක්‍රියාවලිය යන එක.

හැබැයි මේවා පැත්තකට දාලා,  පාර්ලිමේන්තුව ඒක සම්මත කළොත්, ඒ ගැන කාටවත් ම කරන්න දෙයක් නැති වෙනවා.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ,තව විදියකින් කීවොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන විදියෙ පනතක් නීතියක් බවට පත්වෙන තත්වයක් මැද මෙතැන වෙලා තියෙන්නෙත් ඒකයි කියලා කෙනෙක් දකින්න පුළුවන්.

එහෙමනම් මේ තත්වය එක වාක්‍යයකින් මෙහෙම කියන්න පුළුවන්;
"අපි වෙනුවෙන් අපි සමග අපට එරෙහිව අපි"