Sunday, March 17, 2024

නිවටකමේ චණ්ඩි ප්‍රකාශනයක්


 බාහු සහෝදරයාගේ අසූඑක් වෙනි උපන් දිනය වෙනුවෙන් මම ෆේස්බුක් සහ බ්ලොග් සටහනක් ලිව්වා,  මාර්තු 08 වෙනිදා.  අපි කවුරුත් දන්න විදියට බාහු සහෝදරා මේ වෙනකොට ඉන්නේ කිසිදා සුවපත් නොවන අසනීප තත්වයකින්.

"බාහුගෙ වැටීමෙන් පස්සේ බාහු ගැන මම දැකපු හොඳම විශ්ලේෂණය. මෙහෙම එකක් ලියන්න පුළුවන් දර්ශනටම විතරයි"  කියලා විදෙස්ගත වාමාංශික මිත්‍රයෙක් මට ඉතාම ඉහළ ප්‍රශංසාවක් ඒවා තිබුණා. "නැවතුන තැන සිට අපි නැවත පක්ෂය ගොඩනගමුද... මට සහෝදරයා සමග කතා කරන්නට ඕන"  ඔහු කියා තිබුණා.

පහුගිය කාලය තුළ මගේ අත්දැකීම වුණේ,  ජනප්‍රිය, මහා සම්මත කතිකාවට අනූව, තමන් 'සුපිරිසිදු වාමාංශිකයෙක්' බව අනෙකාට පෙන්වීම සඳහා ඔහු බොහෝ දේ කරමින් සිටි බවයි.  


ඔය අස්සේ මට තේරුණා ඔහු මගේ ලිපියත්  කොහෙන් හෝ පටලවාගෙන ඇති බව. 

මාක්ස්වාදය ⁣හෝ සමාජවාදය අප පිලිගත්තත් නැතත් ලංකාවෙ දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය ජාතික ප්‍රශ්නය කියන විශ්වාසය මට අදත් ඇත්තක් බව මම ආයෙමත් කීවා. ඒ වගේ ම ධනවාදය ගෝලීය යථාර්ථයක් බවත්, ඒකේ වාටිය නැත්නම් කුස්සි-කක්කුස්සි හරියට වෙන්න පිහිටල තියෙන ලංකාව වගේ සමාජයක දේශපාලනය තීන්දු වෙන අක්ෂ තියෙන්නේ පිටින් බවත් ආයේ ආයෙමත් කීවා.ඒ අනූව අවම ප්‍රජාතන්ත්‍රික තත්වයක්වත් නැති, ඒකට අත්‍යවශ්‍ය පුරවැසි බලයක් ගොඩනගන්නට ජාතික වශයෙන්වත් ඉඩ නොදෙන චීන අක්ෂයේ ප්‍රාග්ධන ඒකාධිකාරයට සාපේක්ෂව අපට ගැටෙමින් හෝ ගමන් ඇත්තේ ඉන්දු-ඇමරිකානු-යුරෝපා ප්‍රාග්ධනයන් එක්ක බව ආයේ වටයකින් ඒවා ලංකාවේ ජාතික ප්‍රශ්නයට සෙට් වෙන විදියත් එක්ක සම්බන්ධය පෙන්වමින් පැහැදිලි කළා.

කියන්න කියන්න, මේ මිත්‍රයා මාත් එක්ක වඩ වඩා එකඟවෙමින් "හරියටම හරි; හරියටම හරි. මාත් කියන්නේ ඒකයි" කියනවා. ඒ කියන ඒවට සාක්කි හැටියට එවන ඒවායේ තියෙන්නේ ඒ අදහස නොවෙන බව මට තේරෙනවා. 
මේක තේරුම් කරන්න ම මට දරුණු වෙහෙසක් දරන්න වුණා. ඇයි එහෙම වෙන්නේ ? අර කියපු අනන්‍යතා රෝගයට ගොදුුරු වෙන්නෙකුට බරපතල පැරනොයියා තත්වයක් හරහා නාසිස්මය ලක්ෂණ ඉස්මතු වෙන්නේ ඉතාම පහසුයි.  එහෙම කෙනෙකුට කාගෙන් වුණත් ඇහෙන්නේ තමන්ගේ හඬ ම විතරයි.
අපි දෙන්නගේ  කතා දෙකක් කියලා අමාරුවෙන් තේරුම් කරවීමත් එක්ක  අපේ මිත්‍රයගේ ඒ රෝගී තත්වය සුව අතට හැරුනේ නෑ. ඒ වෙනුවට එයා තවත් ඒකේ ගිලෙන්න ගත්තා.
දැන් පැය කිහිපයකට වතාවක් එයාගෙන්  මට අපහාසාත්මක පණිවිඩයක් එනවා.

පැය කීපයක් තුළ අපේ මිත්‍රයට මොකද වෙන්න ඇත්තේ ? මේකයි; මුලින් ම ඔහු දකින්නේ මම සහ මගේ ප්‍රකාශනය තුළ ඔහුවමයි.  ඒ දැකීමෙන් දැඩි අමන්දානන්දයකින්  උමතු බවට ළඟා වෙන ඔහු ප්‍රතිවිරුද්ධ තේරුම් ගැනීමේ නිමේෂයත් එක්ක ම කඩා වැටෙන්නේත් තමන් හැටියටමයි. ඔහු තමන් ව සලකුණු කරගත් තමන්ගේම යයි සිතා සිටි භුමි එසේ නොවන බවට ඇති කෙරෙන තේරුම් කිරීම මගින් යළි වටයකින් ඔහුව උමතු බවට තල්ලු කෙරෙනවා.
දැන් එන්නේ මුල කතාවල පරස්පර ප්‍රකාශනයන් අඩංගු විශාද ලක්ෂණවලට ආසන්න තරම් ක්ලමථකාරී ප්‍රකාශන; ඔන්න පහතින් ලියන්නම් දැනට ප්‍රකාශිත කීපයක්;

"රනිල් බාහුට මිලියන හයක් දීපු නිසා කඩේ ගියා.රනිල් ගුරුතුමාට කීයක් දුන්නද?"
"තමුසේ රනිල්ගේ සෙරෙප්පු සුප්කාරයෙක් නේද?" ,
" රනිල් රාජපක්ෂට කඩේ යන උන් එක්ක කතා කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැත" ,"සොරිඩොට්කොම්. බලමුකෝ තමුසෙලාගේ රනිල් කොච්චර දුර යයිද කියලා"
මේ මට විටින් විට දැන් ඔහුගෙන් එන පණිවිඩ.

දැන්  කෙනෙකුට පේන්න පුළුවන් අපේ මිත්‍රයා අනෙකාට (මෙතැනදී  මට) අම්බානට නෙලා ගෙන, නෙලා ගෙන යනව කියලා.  කවුරු හරි තව කෙනෙකුට දෙමළා හෝ තම්බියා හෝ ගෑණි හෝ පොන්නයා හෝ ඩෝබි හෝ ඔය වගේ මොකක් හරි අපහාසාත්මකව ආමන්ත්‍රණය කරද්දී ඒකෙන් එයා හඬ නගා කියන්න යන්නේ 'මමනම් එහෙම නෑ. එහෙම නැති නිසා මම තමයි ග්‍රේට්' කියන කතාව. එයා බය වෙන්නේ කාටද ? මම එහෙම නෙවෙයි; මම මෙහෙමයි කියල එයා ඔප්පු කරන්න යන්නේ කාට ද ? සමාජයේ මහා සම්මතය ඇතුලේ එයාට වැදගත්කමක් ලැබිල තියෙන 'මාර පොර' කියල පෙන්නන්නයි එයාට ඕන වෙන්නේ. ඒ පිලිගැනීම නැති වුණොත් එයා නතින්ග්. ඒ තත්වය එයාට හිතාගන්නවත් බෑ. ඉතින් මහා සම්මුතියක් එක්ක ඒකට බයේ සම්මුතිගත වෙන මේ හැබෑ නිවටයා එතනදී රැකගන්න ට්‍රයි කරන තත්වය සමහර විට 'මහා විප්ලවවාදියා' කියන පිලිගැනීම සමාජයෙන් හිඟාකාගන්න වෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙන තත්වයක් වෙන්නත් පුළුවන්. මහා සම්මුතික තත්වයන්ගෙන් ලැබෙන මේ සහතිකයට වහල් නොවී, ඒක හිඟාකන්නේ නැතිව, ඒ මත තමන්ගේ සම්මුතියක් ප්‍රතිගොඩනැංවීමක කරන්න පුළුවන් අයෙක් තමයි ඇත්තටම වාමාංශික/රැඩිකල්/විප්ලවවාදී වෙන්නේ.
ඒ තේරුමෙන් මම ආයෙමත් කියන්නේ රතු දේශපාලනය ඇතුලේ වික්‍රමබාහු කරුණාරත්නලත්, ඉන් පිටතින් රනිල් වික්‍රමසිංහත් සාපේක්ෂ හැබෑ විප්ලවවාදි භාවිතයක හොඳ ම නිදසුන් කියලා.

අපේ මිත්‍රයාගෙන් මේ ප්‍රකාශ වෙන්නේ මහා සම්මුතියක සුවචකීකරු, නිවට නියාලු පක්ෂපාතීත්වයක් ඇතුලේ 'මහා වාමාංශික පොරකගේ' අනන්‍යතාවය ඉල්ලා කරන අසරණ සිඟමන් යැදීමක්.
ඔහු මෙතැනදී පාවිච්චි කරන වෛරී අපහාසාත්මක ප්‍රකාශනයන් ඔහුගේ අසරණකමේ, දීනකමේ ප්‍රකාශනයන් මිස වෙන කිසිවක් නෙවෙයි. බාහු හෝ මම මේ මතය දැරීමට හේතුව අපට ඒ සඳහා මුදල් ලැබීමක් වගේ දෙකයිපනහේ සිල්ලර චෝදනා, අද ඔහු ගේ තැන එදත් සිටි අය විසින් ඔහු ගේ යුද විරෝධී ආස්ථානය තුළ ඔහු වෙතටත් එල්ල  කෙරුනක්.

මගේ මිත්‍රයාගේ වර්ගයේ අයට,  හුදු තමන්ව මතුකර ගැනීමේ අසරණ අභිලාශයෙන්, මේ කරන අපහාසයන් සඳහා වාක්‍යයෙන් වාක්‍යයට පිළිතුරු දීමේ උවමනාවක් මම දකින්නේ නෑ.  එසේ කිරීමෙන් සිය අදහසේ ඇති බලගතු වරද දැකගන්න පුළුවන් තත්වයක නෙවෙයි ඔවුන් ඉන්නේ.  දැන් මේ ලිවීමටත් ඔවුන් බොහෝ දෙනෙකුට කරන්නට සිදුවෙන්නේ(ඇත්තටම ඔවුන් තත්වයන්හී වහළුන් බැවින් සිදු කරන්නේ නොව සිදුවෙන්නේ) බක බක ඉමෝජියත්, අඩු වැඩි අපහාසාත්මක-වෛරී ප්‍රකාශනයන් පුනරුච්ඡාරණයත් විතරක් වෙන්න පුළුවන්.
මගේ අනන්‍යතාවය  ඔවුන්ට ඔප්පු කිරීමට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ ගැන මට අවබෝධයක් සහ විශ්වාසයක් ඇති නිසා ඒ ගැන තවත් අයගේ සහතික ඉල්ලා සිටින්නට මට අවශ්‍ය නැහැ. මගේ ඉල්ලීමක් නැතිවත් එසේ නිකුත් කෙරෙන සහතික ගැන මට බැඳීමකුත් නැහැ.  (තිබුණනම් අපේ මිත්‍රයාගේ මුල්වටයේ දී ඔහු සිටින ගොදුරුබවට මටත් කොන්දේසි විරහිතව ඇතුල් වෙන්න තිබුණා)

මේක මම සහ ඔය කී මිත්‍රයා අතර පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේකට නම්-ගම් නැති විවෘත පිළිතුරක් දෙන්නම් කියල මම කීවා. ඔන්න ඒක ලිව්වා.

මගේ මිත්‍රයා සහ ඒ වර්ගයේ අයට ඕනනම් මහා සම්මුතිය එක්ක තමන්ට ඇති වහල් සම්බන්ධය යළි ප්‍රශ්න කරගැනීමකට මේ ලිවීම උදව් වෙත්වා කියලයි මගේ ප්‍රාර්ථනාව. 
ඔය අනන්‍යතා අර්බුදයෙන් මගේ සුවපත් වීමත් අත්දැකීම් කොට මට ඒ උදව්ව කළ හැකිනම් ඒක අපි කාගේත් ජයග්‍රහනයක් වේවි.

No comments:

Post a Comment