Saturday, December 10, 2022

ලංකාවේ මානව හිමිකම් ගැටළුවේ කේන්ද්‍රය පීඩක ජාතිවාදයයි.


අද දෙසැම්බර් 10; ජාත්‍යන්තර මානව හිමිකම් දිනය.

ඔබත්-මාත් අයිති වෙන හෝමෝසේෆියන් නමින් හදුන්වන මානව වර්ගයා මේ පොළොව මත්තේ බිහි වෙලා දැන් වෙද්දී අවුරුදු දෙලක්ෂයකුත්-තුන්ලක්ෂයකුත් අතර වගේ කාලයක් ලු. හැබැයි මානව විද්‍යාව ඔය කතාව කියන්නේ මේ අපේ ශරීර කූඩු සම්බන්ධයෙන් හොයල බලල.
ඒත්, මානවයා නැත්නම් මනුෂ්‍යයා කියන්නේ ශරීර කූඩුවක් විතරක් නෙවෙයි නේ.
අද ඔය අනුස්මරණය කෙරෙන මානව හිමිකම් දිනයට පදනම විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය සම්මත කරගැනීම;අද වගේ දවසක ලු, ලෝකයේ ඔක්කොම වගේ රාජ්‍ය එකතු වුණ එක්සත් ජාතින්ගේ මහා සම්මේලනයකදී මේ නිල එකගතාවයට ආවේ. 
මනුෂ්‍යයෙක් හැටියට පිළි ගත හැක්කේ හිමිකම් භුක්ති විදීමේ තත්වයක් ඇති අයෙක් බවට මේ ප්‍රඥප්තියෙන් රාජ්‍යයන් පිළිගත්තා.  එක් අතෙකින් මානව හිමිකම් කියන්නේ රාජ්‍ය වගකීමක් බවට පත්වීමකුත් එක්ක ම අනිත් අතින් රාජ්‍යය එ තැනට ගෙන ඒමේ පුරවැසි සමාජ වගකීමකුත් ඒ හරහා අවධාරණය කෙරෙන බව තේරුම් ගතෑකි.
මේ එකගතාවයට එන ගමන වැටිල තියෙන්නේ 'අපිත් මනුෂ්‍යයෝ' කියල පිළිගන්න බලකරපු දීර්ඝ අරගල ඉතිහාසයකින්. ක්‍රි.පූ. හැත්තෑ ගණන්වල ස්පාර්ටකස්ලා මෙහෙයවපු වහල් කැරලි අපි දන්න ඉතිහාසයේ මුල් සිද්ධි. ඊට පස්සේ එංගලන්තයේ,  ප්‍රංශයේ, රුසියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි පිමි ගණනාවක් සලකුණු කළ නැගිටීම්.
මේ හැම දේ ම හරහා නූතන මනුෂ්‍යයා ගැන කියවාගැනීම මූලික වශයෙන් බටහිර ශිෂ්ටාචාරයෙන් මතු වුණ බව ඇත්ත.  ඒක පිළිගන්න නිහතමානි වීම, මනුෂ්‍යත්වය අහිමි වීමක් නෙවෙයි. "ඕවා බටහිර සංකල්ප" කියලා මොට්ට මෝල්‍ කතා කියන පොරවලට උත්තර දෙන්න ඕන, නැති ඉතිහාසයක් පෙරදිග වෙනුවෙන් ලිවීමෙන් නෙවෙයි; කොන්ද පන ඇතිව 'ඉතින් මොකෝ' කියා ආපස්‍සට ඇසීමෙන්. මනුෂ්‍යත්වය දිනා ගත හැක්කේ ඒ විදියෙන්.


මානව හිමිකම් දින සටහන්-2:
______________________________

මනුෂ්‍යාත්මභාවයක්, මනුස්ස ශරීර කූඩුවකට හිමිවෙන්නේ හිමිකම් භුක්ති විදිමේ පුළුවන්කමත් එක්කනම්, ඒක රාජ්‍යයේත්, ඒ රාජ්‍යය කරවන ආණ්ඩුවේත්, ඒ තුළ වාසය කරන වැසියාගේත් ප්‍රධාන වගකීමකුත් වෙනවා, එවැනි ජීවිතයක් නිර්මාණය කිරීම.
රාජ්‍යය කරවන ආණ්ඩුව එතැනට මෙහෙයවාගන්න එකත් වැසියාගේ ම වැඩක්. ඒක කවුරුවත් උඩින් ඇවිත් කරල දෙන එකක් නෑ. රටක්-රාජ්‍යයක් හැටියට ගත්තොත් උඩින් එහෙම දෙයක් කඩා පාත් වුණත්, ඒ ඔය කියන එක ම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සංකල්පේ මූලික ම බටහිර වුණත්, ඕක අපේ දේකුත් වෙනකම් අපට අත් කර ගන්න බැරි වෙනවා.
දැන් ලංකාවේ යථාර්ථය ඔන්න ඕකයි.
මුළින් ම ආණ්ඩුවක් විසින් ශ්‍රීලංකාව කියන රාජ්‍යය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් කියල පිළිගැනීමක් කරන්නේ 1972 ව්‍යවස්ථාවෙන්. ඇත්තම කීවොත් ඒකෙන් මානව හිමිකම් තහවුරු වෙන්න වෙච්ච අලයක් නෑ. කඩ වුණොත් සොරි කියන්නවත් බැදීමක් නෑ! හරියට ම කියතොත් මේ ඉමිටේෂන් කරාබුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටල දැම්මේ සුළුජාතීන්ට එරෙහි පීඩනයට බාධාවන් ඇති කරපු, කලින් ව්‍යවස්ථාවේ 29(2) වගේ කොන්දේසිවලට කෙලවල දාන්න !  ඒ කියන්නේ ඔය මුල් ම මූලික හිමිකම් කියන්නෙම හිමිකම් විරෝධි විගඩමක්!
78 ව්‍යවස්ථාවෙන් මේ මූලික හිමිකම්වලට ක්‍රියාත්මක තේරුමක් දුන්නා. ඒක එක්තරා ඉදිරි පියවරක්. ඒ පිටිපස්සේ තිබුණේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඕනකම. ජීවිතයට ඇති අයිතියවත්, සමාජ-ආර්ථික අයිතීන්වත් තවදුරටත් මූලික හිමිකම් වුණේ නෑ. පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම දේකට බලකරන්න තරමට ලංකාවේ ඒ ඕනකම තියෙන බලවේගයක් නිර්මාණය වෙලා නෑ.  ඒක කරන්න ඕන අය ඒකත් ආණ්ඩුවකින් කරන්න ඕන කියන ට්‍රැජඩිමය කොමඩියේ බවයි තාමත් පේන්නේ.
අනිත් අතින් මානව හිමිකම් ගැන අදත් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය සලකුණු වෙන්නේ ජාතික ප්‍රශ්නයෙන්. මානව හිමිකම් හී පදනම් හැටියට සැළකෙන පුරවැසි සමානාත්මතාවයත්, ගරුත්වයත් ගැන සියළු ප්‍රශ්න, මේ නිශ්චිත ප්‍රශ්නය මග හැර ගිහින් කතා කිරීම අර කී ට්‍රැජඩිමය කොමඩියේ ම කොටසක්.
ලංකාවේ මහජාතික පදනමේ වැඩකරන කට්ටියට ආර්ථික අර්බුදයක් හැටියට දැනෙන්නේ ශ්‍රීලංකාව නමින් ගොඩ නැගූ වර්ගතාන්ත්‍රික රාජ්‍යයේ දේශපාලන අර්බුදය බව තේරුම් ගන්නා තාක් ඔය කොමඩිය ඉහළින් ම රග දැක්වේවි.
සටහන අවසන් කරන්න කළින් තව එක දෙයක් විතරක් සළකුනු කරන්නම්; අවසන් වතාවට උසස්පෙළ දේශපාලන විද්‍යා පිළිතුරු ගැන විවරණයක් දක්වා ඇති 2016දී විද්‍යාර්ථීන්ගේ අඩු ම හා ව්‍යාකූලතම දැනුම සහිත කළාපයක් හැටියට සළකුනු වෙන්නේ 'මානව හිමිකම්'! ඒ දේශපාලන විද්‍යාව හදාරපු හාදයන් ගේ තත්වය!!
අද උදේ මට යන්න සිදු වුණා, අපේ මිත්‍රයන් කණ්ඩායමක් විසින් කැදවපු මානව හිමිකම් දින සමරුවකට, කොළඹ පදනම් ආයතනයට. එස්. සිවගුරුනාදන්, නීතිඥ ස්වස්තිකා ආරුමුගම්, ජේ. ජෙගන්, මහාචාර්ය, අර්ජුන පරාක්‍රම, නීතිඥ සාලිය පීරිස්, ජෝෂප් ස්ටාලින්ගේ කතා වල (අතරින් පතර එකතු කරපු ජාත්‍යන්තර සුබපැතුම් වීඩියෝ පණිවුඩ එක්ක) ශ්‍රාවකයකු හැටියට පැය ගානක් ගෙවා දමන්නට මටත් සිදු වුණා. එහි සිටි තවත් මා දන්නා සහ නොදන්නා පන්සියයකට අඩු ඉතිරි ශ්‍රාවක පිරිසට කොහොම දැනුනාදැයි මම දන්නේ නෑ. හැබැයි ඒ කිසිවෙක් හෝ ඔවුන් ඇමතූ මේ කතා කිසිවකින් මහපොළොවේ සම්මුතියක් ගොඩනැගීම ගැන කථිකාවට ඉඩක් ලැබුණේනම් නෑ. ඒක අනිත් අයට මට තරම් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ.
මට සමහර විට දැනෙන්නේ මේ වගේ 'වැඩ' ඒ වැනි ඇත්ත කථිකාවක් මගහැරීම සදහා ම ඇටවෙන ඒවා ද කියන ප්‍රශ්නයයි. සමාවෙන්න;ඔය නම් කියවුණ අය හෝ කිසිම කණ්ඩායමක් ඉලක්ක කරපු චෝදනාවක් නෙවෙයි. සමහර විට ඔවුනුත් ඒ ඒ අයට සෙට්‍ වෙන ෆැන්ටසිවල ගිලී යාම නිසා නොදැන ම මිස් වෙනවා වෙන්නත් පුළුවන්.
















Saturday, July 16, 2022

හුදු රනිල් විරෝධයේ ඝෝෂකයන්ට ප්‍රතිපිළිතුරක්

රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක්

--------------------------------------------------------------

'රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්' මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින සුනන්ද දේශප්‍රිය ගේ SriLanka Brief හී පළ කර තිබෙනවා.
ලංකා පොළොවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා දිගුකල් අරගලයක පරිනත අත්දැකීම්ධාරියකු විසින් මෙවැනි නර්මාලාප සහිත ලිපියක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක්.
මුළු ලිපිය ම පදනම්‍ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයේ සිට ම අගමැති, වැඩ බලන ජනාධිපති හා 20 දින අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු නිලවරණයේ දී අපේක්ෂකයකු වීම පවා ව්‍යවස්ථානුකූල නැති බව එක අතකින් කියන ගමන් අනිත් අතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීම 'ව්‍යවස්ථාවට පිටින් වූවක්' බැවින් ව්‍යවස්ථාව අනූව ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් අවශ්‍ය නොවන බව පෙන්වා දීමටයි. මේ පදනම විතරක් සැළකිල්ලට ගත්තත් මේ ලිපිය ව්‍යවස්ථාව පදනම් කර ගත් එකිනෙකට පරස්පර ප්‍රකාශනයන්ගෙන් නිශේධ වී
යන්නක් බව පැහැදිලි යි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පත්වීම් ද ?
---------------------------------------------------
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස පත් වීම කිසිදු ජනවරමකින් බැහැර ව සිදු වූවක් බව මෙහි එන එක් තර්කයක්. මෙහි දී රංජිත් 2019 විවාදාත්මක ඡන්ද ප්‍රතිඵලය ඇත්තක් ලෙස අවිවාදයෙන් බාර අරන්. ඉතින් එදා ප්‍රකාශ වුණා කියන 'ජනමතය' අනූව රනිල් මංත්‍රීධූරය ලබන්නේ ජාතික ලැයිස්තුවෙන් එම පක්ෂයට ලැබෙන එක ම එක ආසනය මගින්. ජාතික ලැයිස්තුව යනු ජනවරමක් නෙවෙයි ද ? ඒ විවාදාත්මක ඡන්ද ප්‍රතිඵලය තුළ වුව ද, රට පුරා ම එම පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ වූ ඡන්ද නියෝජනයෙන් බැහැර විය යුතු යයි රංජිත් වැන්නෝ කල්පනා කරතියි අදහාගත නොහැක්කක්.
ජාතික ලැයිස්තුවේ රනිල් ගේ නම නැතැයි ද, රනිල් ඡන්දයෙන් පරාජිත වූවෙක්යැයි ද තවත් ඤරුඤුරුවක්. කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට විශිෂ්ට සේවයක් කරපු සුනිල් හදුන්නෙත්ති කියන්නෙත් ඒ වගේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ පරාජිත මංත්‍රීවරයෙක්. ජාතික ලැයිස්තුවේ අරමුණ වෙන ජනප්‍රියතාවයෙන් අසමත් වෙන, එහෙත් පාර්ලිමේන්තු මංත්‍රීවරයකු හැටියට වැදගත් සේවයක් සැලසිය හැකි අය ඊට පත්කිරීමයි. (කෝප් හිටපු සභාපතිවරයකු වන ඩිව් ගුණසේකර පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය, ජනතාව නියෝජනය කිරීම සදහා හැකියාව, පාර්ලිමේන්තු මංත්‍රීවරයකු සතු විය යුතු සුදුසුකම් බවයි)ඉතින් රනිල්-සුනිල් අවස්ථා දෙකේ දී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය ගැන ලියුම්කරුට ඇත්තේ සමාන නොඑකගතාවයක් ද ? නැත්නම් වෙනස් තේරුම් කිරීමක් ද ?

අගමැති වෙනස රාජපක්ෂවරු විසින් පරිත්‍යාග කිරීමක් ද;අරගලය තුළ දිනාගැනීමක් ද ?
---------------------------------------------------
රනිල් අගමැති ධූරයට පත් වෙන්නේ 'බලහත්කාරයෙනැ' යි රංජිත් කියයි. මෙකී අරගල තත්වය ආරම්භ වීමට පෙරාතුවම ලංකාවේ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයන් මෝරා යන, පිපුරුම් සහගත කාලයේ දෙවරක් ම රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ අගමැති යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත්, ගෝල්ෆේස් ඇතුළු වීදි අත්‍පත්කරගැනීම් අතර ඉදිරිපත් වූ මුල් යෝජනාව ද ප්‍රතික්ෂේප කළ බවත් එක්කෝ රංජිත්ලා විසින් අමතක කරනවා; නැත්නම් වසන් කරනවා.  අන්තිමේ දී මැයි 09 වෙනිදා ආණ්ඩුවේ ප්‍රහාර හමුවේ මතු වූ අස්ථාවරත්වය යොදා ගනිමින් මිලිටරි ජුන්ටාවක් ඇටවීමේ අනතුර එළැඹෙමින් තිබෙද්දී, විපක්ෂ නායක සජිත් හා ජාතික ජනතා බලවේගය ලෙස පෙනී සිටින අනුර කුමාර යන දෙදෙනා ම නොකෙරෙන කොන්දේසි දමමින් මග හරින තත්වය තුළදිත්, රනිල් මෙය  බාර ගත්තා. නැත්නම් ඇමති මණ්ඩලයම නැතිව වුණත් ගෝටා ට ජුන්ටාවක් පිහිටුවා ගැනීමේ ඉඩ විවර වෙමින් තිබුණේ. ඔහුට කියන්නට ඇත්තේ මෙපමණයි;"පාර්ලිමේන්තුව විකල්ප නායකත්වයක් පත් කිරීමට අසමත්; අස්ථාවරත්වය වළක්වනු වස් පාලන බලතල  ව්‍යවස්ථානුකූලව මා අතට ගන්නවා". (සමහරුන් 'විධායක ජනාධිපති ක්‍රමය' යයි පටලවා ගෙන සිටින 'දෙමුහුන් ක්‍රමයේ' ලක්ෂණය හා අවශ්‍යතාවය ද ඒකයි)

එයාලගේ කොන්දේසි සහ මෙයාලගේ කොන්දේසි
---------------------------------------------------
රනිල් මේ බාරගැනීම කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය අසීරු ම අභියෝගයකට ලක් ව තිබිය දී  බව මෙතැන දී ලියුම්කරු ට අමතක වීමක් ද;නැතහොත් කුහක වසන් කිරීමක් ද ? රනිල් කිසිම කොන්දේසියකින් තොර ව අගමැති ධූරය බාර ගත් බව මීට  කීපවිටක් ම මෙකී ලියුම්කරු පවසා තියෙනවා. ඒත් ඇත්ත වෙන්නේ, රනිල් විසින් ඉදිරිපත් කළ කොන්දේසි ද ඇති අතර, ඒවා අතර තිබුණේ ගෝටාගෝගම සාමකාමි රැස්වීමේ හා සමාගමයේ අයිතිය යටතේ ආරක්ෂා කළ යුතු බවත්, 19 සංශෝධනය යළි ව්‍යවස්ථාවට ගෙනෙමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 සංශෝධනය අහෝසි කළ යුතු බවත් යනාදි ඒවා බවයි.  මානව අයිතීන් රැකෙන, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කෙරෙන පරිදි ක්‍රමක්‍රමයෙන් ජනාධිපති විධායක බලතල අඩු කෙරෙන වැඩපිළිවෙල සැබැවින් ම අරගල බිමේ ඇත්ත අරගලය ඉදිරියට ගෙන යාමක් නො වේ ද ? ඉඩම් අල්ලා ගෙන සිටීමෙන් හෝ පිකට් බෝඩ් අල්ලා සිටීමෙන් හෝ මග හරස් කිරීමෙන් හෝ පමණක් මේ අරගලය දිනිය නොහැකි අතර අනිවාර්යයෙන් ම එය ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාදායකය තුළට ද ගෙන යා යුතු ව තිබුණා. වීදි අත්පත් කරගැනීම් වලට බොහෝ කලකට පෙර රනිල් වික්‍රමසිංහ සිය ප්‍රථම පාර්ලිමේන්තු කතාවේදී ම පෙන්නා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ව්‍යවස්ථාපිත නොවන රෙජීමයකින්, විශේෂයෙන් ම මිලිටරි රෙජීමයකින් යට කෙරෙමින් ඇති බවයි; ඒ  ගලවා, ස්වාධීන කර ගැනීමේ අවශ්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජන අරගලයේ පාර්ලිමේන්තුව තුළ අවම වශයෙන් එක් ප්‍රමුඛ මට්ටමේ ප්‍රකාශකයෙකු වුණා. ආඥාදායකත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටි ආණ්ඩුවේ බල කළමනාකරණ උපක්‍රමයක් ලෙස අගමැති ධූරය හිස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ අන් සියළු ම නායකයන් කර හැරි වගකීම බාරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම 'බලහත්කාරයක්' වන්නේ කොහොමද ? කාවද 'බලහත්කාරය' ට ගොදුරු වුණේ ?

ජනාධිපති පදවිය මංකොල්ල කෑවා ද;ව්‍යවස්ථානූකූල ජන අරගලයෙන් දිනා ගත්තා ද ?
---------------------------------------------------

මීළගට වැඩබලන ජනාධිපති පදවිය බලහත්කාරයකින් උදුරා ගත්තක් ද ? නැහැ; ඒ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූලව සිදු වූවක්‍. ජනාධිපතිවරයා විදෙස්ගත වීමක් ඒ වන විට සිදු ව තිබුණු අතර 37:1 ව්‍යවස්ථාව අනූව ඒ වන විට සිටි අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ධූරයේ වැඩ බැලීම සදහා පත් කළ යුතු වෙනවා.ඉතින් සිදු වුණේ ඒක මිස වෙන කිසිවක් නෙවෙයි. එතැන ඇති 'බලහත්කාරය' මොකක්ද ? කාට වූවක් ද ?
40:1 ව්‍යවස්ථාව අනූව පාර්ලිමේන්තුව විසින් එහි මංත්‍රීවරු අතරින් අයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා ගත යුතු වෙනවා. එහිදී තරග වැදීම ව්‍යවස්ථාවටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් මුළුමනින් ම එකගයි. ඒ ඡන්දයට ඉදිරිපත් නොවන ලෙස පවා ඉහත පිරිස රනිල් වික්‍රමසිංහ ට බලපෑම් කරමින් ඉන්නවා. ඉහත සියළු නර්මාලාප නිශේධ වීමෙන් පසුවත් මේ කල්ලි විසින් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සාපරාධී  බලහත්කාරයක් ද නොවන්නේ කොහොමද ? 

ව්‍යවස්ථාව එක්ක ඩබල් ගේම් කාගේ ද ?
---------------------------------------------------
එක් අතකින් රනිල් වික්‍රමසිංහ ගේ සියළු ම පත්වීම් නීතියට පිටින් බව පෙන්වීමට ව්‍යවස්ථාව පෙන්වන රංජිත්, අනෙක් අතින් ජනාධිපතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථාවට බැහැරින් කරන ලද්දක් බව පෙන්වමින් ව්‍යවස්ථාවට අනූව කටයුතු කිරීමේ හෝ යුක්තියුක්තභාවය සෙවීමේ අවශ්‍යතාවයක් නැති බව කියනවා. මේ පරස්පර කතාව ගැන කරදර වීමත් අනවශ්‍ය දෙයක් වෙන නමුත් සරල පැහැදිලි කිරීමක් ලියා තියන්නම්. මෙපමණයි; ජනාධිපතිවරයකු ඉවත් කළ හැකි සෘජු ක්‍රියාමාර්ග ලෙස ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ දෝෂාභියෝග සම්මතයත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කිරීමත් විතරක් බව ඇත්ත නමුත් අදහස් පළ කිරීමට ද, සාමකාමී  රැස්වීමේ අයිතිය ද මූලික අයිතිවාසිකම් හැටියට ව්‍යවස්ථාවෙන් තහවුරු වී තියෙනවා. රංජිත් අමතක කරන්නේ හො සගවාලන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන හැටියට බල කළ මුළු ජන නැගිටීම විසින් ම යොදා ගත්තේ මේ ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන බවයි. ඒ අනූව මේ මුළුමනින් ම ව්‍යවස්ථානූල තත්වයක්.

'අරගලය', හයිජැක් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ එඩ්‍රස් මාරුව
---------------------------------------------------
එහෙත් අරගලය තුළ තිබුණු බහුපාක්ෂික ස්වරූපය ඊට හයියක් වගේ ම සමහර විට ව්‍යාකූලත්වයක් සහ විනාශකාරීත්වයක් ද ගෙන ආ බව දකින්න පුළුවන්. මේ හිඩැස යොදා ගනිමින් 'ගෝටාගෝහෝම්' තේමාවට 'ගෝටා-රනිල් ආණ්ඩුව ගෙදර පල' ලෙස තේමාවක් උඩින් පටවනු ලැබීම අරගලයේ දිශානතිය වියවුල්‍ කරන්නක් වුණා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජවිපෙ යටතේදීත් ,අද පෙසප යටතේදීත් කුමනාකාර 'ප්‍රජාතන්ත්‍රවාදී' සංවිධානයක් ද යන්න නොදන්නා අයත් ඇති. සාමාන්‍ය සරසවි ශිෂ්‍යයන් විමසා බලන්න. ඒ කරුණ මෙහි මතු කළේ අළුත් බලලත් හිමිකාර කණ්ඩායමේ ලොකු ම හයිය වෙන්නේ මේ අවිශිබම නිසා. 'සිස්ටම් චේන්ජ්' යනුවෙන් පුළුල් සටන්පාඨයක් ඔවුන් විසින්, ඔවුන් ගේ අයිතිකාරීත්වය යටතේ ගෝල්ෆේස් පිටියට ගේනවා. අපි එක් එක් අය හිතා ඉන්නේ එක එක සිස්ටම් චේන්ජ් ගැන. ඒ ගැන කිසිම මොහොතක අභිමුඛ වීම වළක්වාගනිමින් කවුරුත් වැඩ කළේ ඊනියා 'නිර්පාක්‍ෂික' ලේබලයට මුවා වෙලා. හිත් යට, මේස යට ඇත්ත බල ව්‍යාපෘති තිබුණා. ජූලි 05 වෙනිදා යම් පිරිසක් විසින් 'ගෝල්ෆේස් අරගලකරුවෝ' ලෙස තමන් හදුන්වා ගනිමින් 'සම්මුතිය' නම් ලියවිල්ලක් ප්‍රකාශයට පත් කරනවා. දසදහස්  ගණනින් ඒ පත්‍රිකා බෙදා හැරෙනවා.(සම්පත් ලැබෙන විදිය මම අහන්නේ නෑ) මේ ගැන මේ ලියුම්කරු ගෝල්ෆේස් අරගල භූමියේ පැලපදියම් වෙලා හිටපු කණ්ඩායම් කීපයකගෙන් විමසුවාම ඔවුන් ගෙන් බහුතරය කීවේ "ඔහොම ලියවිලි කීපයක් තියෙනවා. අපි ඕක කතා කරල නෑ. අපි දැනුවත්ව නිකුත් කරන ලද එකක් නෙවෙයි" යනුවෙන්. 'පුරවැසි මහා සභාව' තුළ මේ අවුල සාකච්ඡා කරන බවක් කී එක් පිරිසක් මටත් ඊට ඇරයුම් කළා. තත්වය මෙහෙම වෙද්දී නිරීක්ෂණය කරන්න ලැබුණේ 'දැන් රටේ බලපවත්වන්නේ 78 ව්‍යවස්ථාව නොව ,මෙකී සම්මුතිය බව'  විශේෂයෙන් ම පෙසප සම්බන්ධ පිරිස් විසින් තැනින් තැන ප්‍රකාශයට පත් කිරීමයි. ජවිපෙ සහ ඔවුන් අතර බලඅරගලය කුමන්ත්‍රණකාරී වගේ ම එළිපිට මතු වෙන තත්වයකුත් ඒ අතර තැනින් තැන මතු වුණා. 'කල්ලි හයක් අතර ගෝල්ෆේස් අරගලය බෙදී ගොස් ඇති බවත්, කොතැනක හෝ වැරදීමක් සිදුවෙමින් පවතින බවත්' අවසන් මොහොතේදී ගෝල්ෆේස් අතැර යමින් සිටි අයෙක් මේ ලියුම්කරුට පැවසුවා. 

ත්‍රස්තෝන්මාදවාදී ක්‍රියා ගැන දිව දෙකේ කතා
---------------------------------------------------
මේ අතරතුර වාරයේ විනාශකාරී ක්‍රියා, විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ ගේ නිවස ට එල්ල කළ ත්‍රාසෝන්මාදවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් 'අරගලකරුවන්' යයි කියා ගන්නා පිරිස ප්‍රතිචාර දක්වමින් සිටින්නේ කොහොමද ? "එය අරගලයට මඩ ගැසීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් ම ගිනි තබා ගත්තක් වන අතර රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි තැබිය යුත්තකි!"
මේ සිහිගන්වන්නේ 'යාපනය පුස්තකාලය කොටි පොත්පත් රැකි නිසා ගිනි තැබිය යුත්තක් වන අතර එය ගිනි තැබුවේ සිංහල ආණ්ඩුව අපකීර්තියට ලක් කරනු වස් කොටි විසින්' යැයි කීමට නො වේ ද ?  තවදුරටත් 'සිරස ට ගිනි තබා ගන්නා ලද්දේ සිරස විසිනැ'යි කී 'හෙළිදරව්ව' වැන්නක් නො වේ ද ? ප්‍රහාරකයන් මොකුන් වූවත් ඔවුනගේ 'වීරවික්‍රමාන්විත ක්‍රියාව' ගැන රංජිත් විසින් නරඹා ඇත්තේ බාගෙට වීඩියෝ පටයකි. යකඩ පොලුවලින් ගසමින් ආරක්ෂක කුටි බිද හෙලන අතර පිටේ එල්ලා ගත් බූලි වැනි උපකරණ සහිතව ඇතුළට පනින ප්‍රහාරකයන් ද, "ගල් ගහන්න එපා; අපේ උන් ඇතුළේ " යයි පිටත සිට ගල්මුල් ප්‍රහාර එල්ල කරන පිරිසට නියෝග දෙන අය ද සහිත වීඩියෝ පට ඔහු විසින් නිරීක්ෂණය කර නැති හැඩයි. ඇතුලට ගිය පිරිස ඇතුලත ආරක්ෂක නවාතැන්වලට ගිනි ලෑමට පෙර ඔවුන් විසින් ම කරන ලද වීඩියෝ ඇති අතර හදුනාගැනීමට අවශ්‍යනම් ඒවායෙන් මූණු කීපයක් ද සොයා ගත හැකි වනු ඇති.

ගිනිලෑමෙන් පසු ඊනියා අරගලකරුවන් හැසිරුන පිලස්තීනු ආකාරයත්, ඉහත සමස්ත ප්‍රතිචාරත් කුමන වර්ගයේ ප්‍රජාතන්ත්‍රික භාවිතයක්දැයි කරුණාකර පැහැදිලි කරනු මැනවි. එවැනි 'ප්‍රජාතන්ත්‍රික' භාවිතයන් මා නම් නිරීක්ෂණය කර ඇත්තේ පැසිස්ට් සහ පැසිස්ට් පන්නයේ කල්ලි අතරයි. 

හැබෑ ම බබාඋක්කුං ලා, කෛරාටික හිවළුන් සහ හිස් පුරවැසි අවකාශය
---------------------------------------------------
අදාල ලියුම්කරු විසින් මතක් කර ඇති 'බබාඋක්කුං'භාවය ගැනත් සුළු තේරුම් කිරීමකින් මේ ලිපිය ඉවර කරන්නට කැමතියි.
19 සියවසේ සම්භාව්‍ය මාක්ස්වාදී හෙලිදරව් කරගැනීම් පවා දැන සිටි, ප්‍රකාශ කළ සත්‍යයන් වූ සමාජවාදය ගොඩ නැගිය හැක්කේ ද්‍රව්‍යමය වූ නිෂ්පාදන සම්බන්ධතා ඒ කරා සංවර්ධනය වූ තත්වයක් යටතේ මිස කාගේවත් හිතේ පහළ වන ආසාවක්, අවංකකමක්, ඊනියා කැපවීමක් අවම ලෙස සෞන්දර්යයට නැංවීමෙන්වත් නො වේ යන්න වැනි අතිමූලික රීතීන් පවා යට ගසා දමා ඇත්තේ ඇයි ? අමනකමද ? තක්කඩිකම ද ? මේ බව අහන්නට වෙන්නේ 'සිස්ටම් චේන්ජ්' යනුවෙන් සමාජවාදයට යන්නට තතනන බබා උක්කුන්ලා සෙට් එක ගැන මතය පැහැදිලි කර ගනු උදෙසා ය.
භූ දේශපාලනික යථාර්ථයන් නොදැන ළදරු වලිප්පු වලින් මුසපත් වීම විසින් ඇද ගෙන යන්නේ මහා ජයග්‍රහණයකට නො ව මහා සංහාරාත්මක විනාශයකටයි. මේ වෙලාවේ ලංකාව, එක් අතෙකින් චීන න්‍යායපත්‍රත්, අනිත් අතින් ඉන්දු-ඇමරිකානු  න්‍යායපත්‍රත් අතර ගැටුමක. ඉන්දු-ඇමරිකානු න්‍යායපත්‍රය අනිත් එකත් එක්ක යම් කලමනාකරණ සංහිදියාවකට යමින් ජයග්‍රාහි තැනක.  අප සියළු දෙනාමත්, සියළු දේමත්,ඒ  ගේම ඇතුළේ ඉත්තන් බව අවබෝධ කර නොගන්නා කිසිවෙක් අදට ඔබින නවීකාරක දේශපාලනයකට තියා මරණාධාර සමිතියකටවත් සුදුසු වෙන එකක් නෑ. ඔවුන්‍ කාටවත් ම ඔය දාම් ලෑල්ලෙන් එහා ජීවිතයක් හෝ ගමනක් නැහැ. අන්න ඔවුන් තමයි නියම බබා උක්කුං ලා.

තව එක ම එක දෙයක් එකතු කළ යුතුයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ගොඩ නගා ඇත්තේ ගැඹුරු සහ හයිය සමාජ සම්මුතියක් මත නොවෙයි. එහෙම සමාජ සම්මුතියක් හදාගන්න අත්‍යවශ්‍ය 'පුරවැසියා' නිකම් ම නිකම් වයස පිරුණ පලියට, ඡන්දදායකයෙක් වුණ පලියට හැදෙන්නේ නෑ. එහෙම පුරවැසි සමාජයක් නැතිව දියුණු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක් හැදෙන්නේ නෑ. එතැන තියෙන්නේ අනුපූරක සම්බන්ධයක්.
මේ බව තේරුම් නොගෙන 'බබා උක්කුං' වෙන අය ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නේ පට්ට ම හානියක්. 
ඒ මෙහෙමයි;
රනිල් සාධකය එක්ක සම්බන්ධිත ලිබරල් ප්‍රතිසංස්කරණ එක අතකින් ඉන්දු-ඇමරිකන්-යුරෝ-ජපන් න්‍යාය පත්‍ර එක්ක සමපාතයි. අනිත් පැත්තෙන් සුබසාධක රාජ්‍යය මත්තේ ගොඩ නැගුනු, රාජ්‍ය ප්‍රාග්ධන හා දේශපාලන බලය මත්තේ ගොඩනැගුනු ස්වදේශික ව්‍යාපාරික ජාලයක ආපස්සට ඇදීමේ පීඩනය එක්ක සමපාතයි. මේකට අපේ කැමැත්ත-අකැමැත්ත අදාල නෑ. මේ දෙපැත්තට ඇදීමක් ඇතුළේ තියෙන හිස්‍ අවකාශයක් තුළ තමයි 'පුරවැසියා' සතු ගැබ තියෙන්නේ. රනිල් සාධකය විසින් හැමවිට ම විවර කරන්නේ ඒ ඉඩ. 
නවීකාරක, ප්‍රායෝගික දේශපාලනය සදාචාරවාදී ද;උපායමාර්ගික ද ?
---------------------------------------------------
එතැනදී සදාචාරයක් ගැන දේශනා වල එල්ලී ඉදීම, පසුගාමී සදාචාරවාදීන් ගේ කදවුර ශක්තිමත් කිරීමක් හැර වෙන කිසිවක් නොවෙයි. සදාචාරය අපේක්ෂා කළ හැකි සමාජයක්, පුරවැසි සමාජයක් ඉස්සෙල්ල ගොඩනගල ඉමු. ඒ තැනදී වඩා වැදගත් වෙන්නේ උපක්‍රමික අරගලය මිස ඔය අපි උඩ තර්ක කරපු සදාචාරාත්මක පදනම නෙවෙයි. අර දාම් ලෑල්ලෙන් එහාට වගේ ම රනිල් සාධකයෙනුත් එහාට යන්න පුළුවන්‍කම ලැබෙන්නේ ජනප්‍රියවාදී රනිල් විරෝධයේ අශුද්ධ සංධානය පරාජය කිරීම හරහා විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ලාංකික අරගල භූමිය දැන් ඇත්තේ හරියට ම මෙන්න මෙතැනයි.




Sunday, May 22, 2022

2020 අවතාරයෙන් ගැලවෙනු වස් 21 !


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21  වන සංශෝධනය, හෙට, 23 සදුදා, ඇමති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බව ඇමති විජේදාස රාජපක්ෂ කියනවා. ඇමති මණ්ඩල අනුමැතිය ලබපු  වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කියනවා. 

මේ එක්ක සිග්සැග් සංශෝධන රටාවක් පේන්න තියෙනවා. 

'78 ව්‍යවස්ථාව මිශ්‍ර විධායක ක්‍රමයක් පදනම් කර ගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ඒක විධායක ජනාධිපති ක්‍රමයක් කියන ජනප්‍රිය බේගලය බොහෝ දෙනා දරා ඉන්නේ, පත් වෙන ජනාධිපතිවරයාට අතිවිශාල බලතල ප්‍රමාණයක් මදිවට කොහේවත් නැති මුක්තියේ (නඩු පැවරීමෙන් නිදහස්) තත්වයකුත් ඇති කරල තියෙන නිසා වෙන්න පුළුවන්. 17 වන සංශෝධනයෙන් මේ බලතල වල විශාල අඩු කිරීමක් වගේ ම පාලනය කිරීමක් කළා. නැවත 18 සංශෝධනය මගින් තිබුණටත් වඩා නරක විදියේ බලතල අත්කර ගැනීමක් කළා. නැවත 19න් අඩු කරලා,  පාලනය කිරීමකුත් කළා. නැවත 20න් ඉතිහාසයේ නරක ම සංශෝධනය වන 18ත් ඉක්මවා වන පවරා ගැනීමක් කළා. ඒක දිරව ගන්න බැරි තරම් බලයක්. මේ වෙද්දී ඒ පවරපු පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි, ඒ ලබපු ජනාධිපතිවරයත් ඒක අතාරින්න එකග වෙලා ලු !

යහපාලන ආණ්ඩුව ඇතුළට රිංගලා, රාජපක්ෂ මාෆියාවේ නඩු ෆයිල් යට ගහල, මේ සිංහල-බෞද්ධ මහාරාජෝත්තම පාලනය පිහිටුවන්න බොක්කෙන් ම ඇප කැප වුණ විජේදාස රාජපක්ෂ අතින් තමයි දැන් මේ 21 හරහා වෙන අත්හැරීමත් යෝජනා වෙන්න යන්නේ ! 

එයා ද ඇතුළු ව පොදුජන පෙරමුණේ 'ස්වාධීන' යයි කියාගන්නා කණ්ඩායමත්,පක්ෂ දහයේ කණ්ඩායම කියන හාදයොත්, ශ්‍රීලනිපයත්(වෙනස මගෙන් අහන්න එපා. මම දන්නෙත් නෑ. ඒ එයාල හදුන්වගන්න විදි) අප්‍රේල් 22 කතානායකට යෝජනාවලියක් දීල තියෙනවා. 19 සංශෝධනයේ තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාවන් ආයෙමත් බලාත්මක කරන්න ඒකෙන් යෝජනා වෙනවලු.  ඒ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් මිස කිසිම කොමිෂන් සභාවක පත් කිරිමක් කරන්නවත්, ඒ ඒ කොමිෂන් සභාවල අනුමැතියකින් මිස ඒවායෙන් කෙරෙන ඉහළ නිලධාරීන් පත් කිරීම් කරන්නවත් ජනාධිපතිවරයාට බැහැ. සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු යෝජනාවලියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැනත්, සංවරණ හා තුලන (Check & Balance) ක්‍රමයක් එක්ක ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල ඒ ඒ ආයතනවලට පැහැදිලිව වෙන් කිරීමකුත් යෝජනා වෙලා තියෙනවලු. 

මේක සුබ සිහිනයක් ! 

හැබැයි අමතක කරන්න එපා, 19ත් මදි තත්වයක රට තිබුණේ. තවදුරටත් මේ වෙනස්‍කම් කරන්න යන්නේ මේ විනාශකාරී  ආඥාදායකත්වයට රට ඇද ගෙන ගිය බහුතර පොහොට්ටුවාදී පාලනයක් එක්ක. 

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගැන අපට ඇති බරපතල ම අභියෝගය වන ජාතික ප්‍රශ්නය විසදන නැනෝවක් තරම් දෙයක් මේවා තුළ නෑ. 

ඒ නිසා ම ලත් තැන ම ලොප් වෙන්නත් ඉඩ  වැඩියි. 

මේ අභියෝග ජයගන්න නම් එළියේ ශක්තිමත් සිවිල් සමාජ ව්‍යාපාරයක් තියෙන එක අත්‍යාවශ්‍යයි. ඒත් එහෙම එකකුත් ලංකාවේ නෑ. ඒ වෙනුවට අතරමැද මට්ටමේ පොරවල් ටිකක් හදුනගන්න පුළුවන් සිවිල් සමාජ හැටියට පෙනී ඉන්න. මේ අය පාව්චිචි කරල හරි මේ වෙලාවේ එළියෙන් බලපෑමක් ගොඩනැගුවේ නැත්නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ තනියෙන් ගහන ගේමටත් කෙල වෙන්න ඇරලා, 'ඕක තමයි අපි කිව්වේ රනිල් ට බෑ;රනිල් පාවා දෙන්නා" කියලා හාන්සි වෙලා, කෙල වීමේ සතුට විදගන්න ඇති තරම් 'නිදහස' දිනා ගතෑකි. 

රට පුරා අයාලේ යමින් තියෙන කලහකාරී විරෝධතාවලට ඔළුවක් හයි කරගන්න වෙනවා. 

පළාත් මට්ටමේ දැනට තියෙන පරිපාලන ඒකක වෙන පළාත් සභාවලට දේශපාලන බලය පැවරෙන පුළුල්‍ කිරීමක්, සියළු ම පාලන ආයතන, ඒ ඒ පාලන ආයතන හරහා විතරක් නෙවෙයි සෘජුව ම ජනතාව හරහාත් තුලනය හා සංවරණය වෙන ක්‍රමයක් ඇතුලත් කිරීමත්, තොරතුරු අයිතිය වගේ ඒවා වඩා ගැඹුරු හා බලගතු කිරීමත්, ආගම රාජ්‍යයෙන් නිදහස් කිරීමත් වගේ සංශෝධන දිහාට තල්ලු කරගන්න පුළුවන් නම් මම කැමතියි. තව එකක්;ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළේ පාර්ලිමේන්තුවෙන් පිටත නියෝජිතයන් ප්‍රමාණය වැඩි කිරීමත් වැදගත් වේවි. ඒක 19 ගෙනෙද්දිත් ඇමති මණ්ඩල කෙටුම්පතේ තියලා, පස්සේ පොදු පෙරමුණු වැඩි බලය ඇති පාර්ලිමේන්තුව විසින් කප්පාදු කරපු ඉදිරිගාමී යෝජනාවක්. 

'ගෝටාගෝහෝම්' වගේ පට්ට සීමිත, අදේශපාලනික සටන්පාඨයක් පිටුපස තියෙන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පාර මේ දිහාවෙන් විවෘත වේගෙන එන බවයි මගේ විශ්වාසය.

Monday, May 2, 2022

සැමට ලැබෙන, සැමට කෙලවෙන රාජපක්ෂ මාෆියා රාජ්‍යය


රාජපක්ෂලා ගේ කළු සල්ලි සුදු කරන ඕස්ට්‍රේලියානු මූලයක් වෙන කේස් වගේකට අහු වෙලා ! ඒ පරීක්ෂණ අස්සේ මේ කුණුත් මාට්ටු වෙමින් යන හැඩයි.
ඕස්ට්‍රේලියානු ABC මාධ්‍ය ජාලයේ Four Corners වැඩසටහනෙන් එළියට දාපු තොරතුරු එන වීඩියෝවේ 30.57 ඉදලා අවසානය (43.35) දක්වා ම තියෙන්නේ ලංකාව ගැන. මට ඒකත් එක්ක LankaENews හෙළිදරව්වකුත්, තවත් මූලාශ්‍ර කීපයකින් ආපු තොරතුරුත් එක්ක ලොකු කතාවක් දැනෙන්න ගත්තා. සමහර තොරතුරු තහවුරු කරගත්තට පස්සේ ලියන්න තියලා, දැනට මේ ප්‍රසිද්ධ මාධ්‍යයන්වල හෙළිදරව් ගැන විතරක් ලියන්න හිතුවා.
ඊනිව්ස් හෙළිදරව්ව කියනවා ලංකාවේ රාජපක්ෂ බැංකු කටයුත්ත කරන්නේ නිමල් පෙරේරා සහ ධම්මික පෙරේරා කියලා. දැන් වෙද්දි ඒ පෝලිමේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ ඉෂාර නානායක්කාර කියල තවදුරටත් ඒ වාර්තාව කියනවා.
Venture Capital සමාගම හැටියට පෙනී ඉන්න නිමල් පෙරේරා නාමල් රාජපක්ෂ වෙනුවෙන් කොළඹ කොටස් වෙළදපොළේ ගිණුමක් ඇරලා රුපියල් ලක්ෂ පහළොවක කොටස් මිළට අරන් තෑගි කිරීමෙන් මේ වැඩපිළිවෙලට ඇතුල් වෙන හැටිත්, ඉන් පස්සේ නාමල් සම්බන්ධය හරහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු නිලධර තන්ත්‍රයේ උදව්වෙන් කොළඹ කොටස් වෙළදපොළ තමන්ගේ ග්‍රහණයට ගන්න විදියත් මේ වාර්තාව සවිස්තරාත්මකව පෙන්නල දෙනවා. නාමල් අන්තර්ජාල මුදල් ගිණුමකට මාරු වුණාට පස්සේ එතෙක් නාමල් ගේ ක්‍රමයට වෙනස් ව බිස්නස් මිත්‍රයෝ හරහා හැන්ඩ්ල් කරමින් හිටපු අප්පච්චි, මහින්ද ගේ සල්ලිත් ක්‍රිප්ටෝ කරන්සි හැටියට එතැන ගොනු වුණා ලු.
ඩොලර් කොල හැටියට ඒ නිසා මළාට අල්ලන්න බැරි නිධානයක් මේ දැන් තියෙන්නේ.
අර්ථසාධක අරමුදල වගේ රජයේ අරමුදල් සල්ලි සහ පහසුකම් රාජපක්ෂලා විසින් මේ විදියට ආයෝජනය කරවීම හරහා බිහි වුණ මාෆියා බිස්නස් කල්ලියක් මේ දේශපාලනය යටින් මෙහෙයවමින් ඉන්න බව පැහැදිලියි. මේ කල්ලිය විසින් නිදහස් වෙළදපොළ සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය කරවලා, රට-දැය-සමය ගැන අතොරක් නැතිව මතුරන දෘෂ්ටිවාදයකින් තමන් ගේ මාෆියා ව්‍යාපෘතිය තහවුරු කර ගෙන තියෙන ලකුණු දැන් වැඩි වැඩියෙන් එළිදරව් වෙන්න අරන්.
ඕස්ට්‍රේලියාවේ Aspen Medical නමින් තියෙන සමාගමත් මේ විදියේ ගේමක් ගහපු සමාගමක් බව දැන් එන මේ තොරතුරුවලින් පේනවා. (පේන විදියට ඒ වැඩෙත් ගුරූ මේ පැත්තේ වෙන්නත් පුළුවන් !) දක්ෂිණාංශික වර්ගවාදී ලිබරල් පක්ෂයේ සෞඛ්‍ය ඇමතිවරයා වුණ මයිකල් වූල්ඩ්‍රිච් මේ ගේමේ මහ මොළකරු හැටියට සැක කරනවා. සාමාන්‍ය පිළිවෙල නඩත්තු කරන්න අමාරු වෙන කෝවිඩ් වගේ තත්වයන් අවභාවිත කරල ඇස්පන් කොම්පැනියට රත්තරන් ආයෝජන අවස්ථා උදාකරලා, අනුන්ගේ සල්ලිවලින් ඩොලර් මිලියන් ගණන් ලාබ අත් කරගන්න පාර හැදෙන්නේ එතැනින්. ඒ මංකොල්ලකාරී සම්බන්ධතා සමාජ-ප්‍රජාතන්ත්‍රික ලේබර් පක්ෂය හරහාත් ගිහින් තියෙන බව Four Corners  වැඩසටහන පෙන්වා දෙනවා.
හැබැයි, මේවා ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය, නීතිඥයන්, සිවිල් ක්‍රියාකාරින් වගේ ම වින්දිතයන් බවට පත් වුණ  ඉතා ම සාමාන්‍ය මිනිසුන්ගෙන් යුත් සිවිල් සමාජය හරහා දැන් අභියෝගයට ලක් වෙමින් තියෙනවා. ලංකාවට ඒක ටිකක් දුර ඈත හීනයක් වුණත්, ඕස්ට්‍රේලියානු බලපෑම කාන්දු වීමේ ප්‍රතිඵලයක් නැති ම වෙන එකක් නෑ.
2012 දී හම්බන්තොට ඇදන් 900ක් ඇති දිස්ත්‍රික් මහ රෝහල ගොඩනගන්න උපකරණ, බෙහෙත් සහ වෙනත් සේවා සැපයීම සදහා ඇස්පන් සමාගම ඕස්ට්‍රේලියානු රජයේ මේ චෞර රැළ හරහා නිර්දේශ වෙනවා. Four Corners වැඩසටහනේ දී එළිදරව් කෙරෙන විදියට ඒ සතයක් වත් ඉස්පිරිතාලෙට ඇවිත් නෑ. ඒ වෙනුවට වෙන්නේ යුරෝ මිලියන 1.4ක(1,428,090.75) මුදලක් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හී ලියාපදිංචි Sabre Vision Holdings වෙතට 'උප කොන්ත්‍රාත්තුවක' හැඩයෙන් එන එක. මේ සමාගමේ හිමිකරු හැටියට ලියාපදිංචි අර කියන නිමල් පෙරේරා. එයා මේ ගැන රූපවාහිනී වැඩසටහනට සහ FCIDයට කියන්නේ කතා දෙකක්. මේ අතරේ ඇස්පන් සමාගමේ ලේඛණ අනූව ඔවුන් මේ ඉස්පිරිතාල ව්‍යාපෘතියේ කරල තියෙන්නේ 'කොහෙන්දෝ' ආපු මුදලක් 4% කොමිෂන් එකකට සැබ්රේ විෂන් හෝල්ඩින්ග්ස් වෙතට මාරු කරන එක ! සල්ලි කාගෙද කියල දැන් චිත්‍රය පැහැදිලි ඇති.
මේ මාෆියා බිස්නස් රටාව පදනම් වෙලා තියෙන්නේ දැවැන්ත රාජ්‍ය අංශයක් ඇති සුබසාධක රාජ්‍යයක් මත. ඒකෙන් තමයි ආයෝජනයට උවමනා ප්‍රාග්ධනය මංකොල්ල කන්නේ. කරදරයක් නැතිව ඒක කර ගෙන යන්න ඕන කරන 'ආරක්ෂක යාන්ත්‍රණය' ඒකෙම කොටසක් විදියට ශක්තිමත් කෙරෙනවා. අදටත් අපේ වැය ශීර්ෂයේ උඩ ම තැන් වෙන් වෙන්නේ ආරක්ෂක වියදම්වලට. මේ වැඩේ කරන් යන්න හිට්ලර් පන්නයේ ඒකාධිපතිත්වයක් තිබ්බනම් ලේසියි කියල සිතුවිලි පහළ වෙනවා. කට්ටිය හිට්ලර් කෙනෙක් හීනෙනුත් ඉල්ලනවා. ඒ අතර 'දේශීයත්වය' ගැන, ලෝක බැංකු ප්ලග් ගලවන 'අධිරාජ්‍ය විරෝධය' ගැන කයිවාරු දෝරේ ගලනවා. මේවා මතුරන ගොඩ දෙනෙක් දන්නේ නැතිව ඇති ඒවා සේවය කරන්නේ අර මාෆියා කල්ලියේ අභිලාශයන්ට කියලා.
දැන් ඔය වැඩේ ආයුෂ එච්චර දිග නෑ. 

දැන් අපි ඇවිත් තියෙන්නේ ඒ කෙලවරට.
කෙළවර ආර්ථික අර්බුදයෙන් අල්ල ගෙන හිටියොත් සර්පයාගේ නැට්ට පැත්තෙන් අල්ලගත්ත හාදයාට වෙච්ච දේ ආයිමත් වේවි.
ඔළුව....ඉතා ම පරිස්සමින් සර්පයා ගේ වගේ ම අපෙත් ඔළුව ගැන ඔළුව යොමු කරමු.
(Four Corners හෙළිදරව්ව;
https://youtu.be/FoQKMfA3zPA )

Thursday, April 28, 2022

නිමූලර් සහ කුට්ටමනී දඹුල්ලේ දී ඔබ අමතයි

 මේක ලියන්න ගන්න කොට ජීවිතයක්; ඊළග පැය කීපයකදී තව කී දෙනෙක් ද කියන්න බෑ. මරණ, තුවාල, අහිමිවීම්, අනාථවීම්...රඹුක්කන පොලිස් හමුදා ප්‍රහාරයේ ශේෂපත්‍රය ගණන් හැදෙන මොහොතක්.

යාළුවෙක් කියල තිබුණා, මේ අය පාර හරස් කර ගෙන, උදේ ඉදන්, තෙල් බෙදාහැරීමටත්, අනිත් ගමනාගමනයටත් බාධා කළා කියලා. ඊයේ තෙල් මිළ ආයි වැඩි වුණා. මෙහෙම යද්දී ,තව වැඩි දවසක් මේ ප්‍රවාහනයවත් දුවවන්න වෙන්නේ නෑ. උඹල-අපි ඔක්කොම වෙනුවෙන් ඒ කතාව ඇහෙන්න කියන්න මේ කොල්ලන්ට ජීවිත දෙන්න වුණා.  

තවත් යාළුවෙක් අහල තිබුණේ, "ඒ මිනිස්සුන්ට හඩක් ලැබෙන්නේ එහෙම කිරීමෙන් විතරක්නම්, ඒකට මොකද කරන්නේ " කියලා. රතුපස්වල මිනිස්සුන්ට වතුර ප්‍රශ්නය විසදගන්න සතියක් පුරා පිට්ටනියක කැම්පේන් කරල, යුක්තියක්-සාධාරණයක් තියා හඩක්වත් නැති තැන පාරට එන්න වුණ බව ඒ යාළුව මතක් කරල තිබුණා. 

නිදහස් වෙළද කළාපයේ සේවකයන් තමන් ගේ අර්ථසාධකේ බේරගන්න මේ විදියට පාරට ආපු වෙලාවේ රොෂේන් චානක ට අමුඅමුවේ වෙඩි තියල මරල දැම්මා. මම ඒ මළගෙදර ගියා. අද පොලිස් ඇමතියා, එදා බස්නාහිර මහ ඇමතියා, පුටු දෙකක විතර ඉඩක් අවුරගෙන මළගෙදර වාඩි ලාගෙන හිටියා. යන එන පාර පටන් ගන්න තැන ඉදන් ම මිලිටරිය. "දරුවගේ මිනිය තියන තැනත්, අවසන් කටයුතු කෙරෙන විදියත් හමුදාවෙන් තීරණය කළේ. දරුවව මරාගත්තා මදිවට දැන් මේ අපේම ගෙදර අපිව හිරකාරයෝ කරලා" තාත්තා ගේ ඒ වචනවල තිබුණ දුක විතරක් නෙවෙයි කේන්තියත් අද මේ උදුරගැනීම් දැනෙන හැම කෙනෙකුටම දැනෙන බව මම දන්නවා.  

මේ වගේ ම තෙල් ප්‍රශ්නයකට හලාවත තිබුණ කැම්පේන් එකකට මිලිටරි ප්‍රහාර එල්ල කරල මරා දාපු ධීවර තාත්තව මට මතක් වෙනවා. 

මේ හැම මනුස්සයෙක් ම ඉල්ලුවේ ජීවිතයට ඉඩක්. මරා දැමුණු ඒ හැම ජීවිතයක් ම, ඒ එක්ක ජීවත් වුණ, අද ජීවත් වෙන මගෙත්, උඹලගෙත් ජීවිත වෙනුවෙන් කරපු පූජාවක්.  උන් මළේ අපට හොද ජීවිතයක් සහතික කරන්න. 

විමුක්ති කොටින්ගේ මරා ගෙන මැරෙන බ්‍රිගේඩ් එක, නැත්නම් කළුකොටි බලකායේ ගීතයක මෙහෙම කියවෙන බව මළවුන්ගේ දා හමු වුණ මිත්‍රයෙක් කීවා. "අපේ ජනතාවට නිදහසේ ජීවත්වන්නට බිමක් උදෙසා අපේ දිවි පුදන්නෙමු; එහෙත් ඇවැසි නැත අපේ මළකදටවත් බිම් අගලක්වත්" ඒත් ඔවුන් වෙනුවෙනුත් සිහිවටනයක්, 'මහවිරුවන් නිදනා බිම' නම් සුසානයේ වෙන් කර තිබුණා. සිමෙන්ති හිග නිසා ලැබෙන විදියට ඒවා හදන තුරු ලී වලින් ඒ තැන් වෙන් කොට තිබුණා. සටන් කොට මිය ගිය සාමාන්‍ය වැසියා වෙනුවෙන් පවා ඒ තැන්වල ඉඩක් වෙන් කර තිබුණා. ඒ සිහිවටන සියල්ල ඩෝසර් කර, ඒවා මත හෝටල්, සෙල්ලම් පිට්ටනි හදා, මිලිටරිය විසින් ඒවා ආදායමක් ලබමින් අද පවත්වා ගෙන යනවා. ඒ තැන්වල තිබූ සිහිවටන ඒ පොළොව පුරාමත් විසිරී, ඉමක් කොනක් නැති සිත් අවකාශයේ තැන්පත් වෙලා. දීපචෙල්වම් ලියනවා, 'ස්මාරක ශිලාවත' නමින් සිංහලට පරිවර්තනය කෙරුන 'මාදගල්' පොත. මරා දැමුණු ජීවිත විතරක් නෙවෙයි, මතකයත් විනාශ කරන්න පින්තූර ඇල්බම් හොයා ගෙන එන මිලිටරිය ගැන, ඒ මහා මර්දනය මැද, පොඩි කළුගලක් තියල, එතැනට පානක් පත්තු කරල රැකගන්න තැත් කරන ඒ මතකය ගැන මාදගල් පොත ජීවමාන සාක්ෂියක් දෙනවා. 

උතුරට කරන්ට් එක, බෙහෙත්, සෙල්ලම් බඩු පවා තහනම් කරපු මර්දනයක් ගැන මතකය අදටත් අත්දැකීමක් තරම්. 

අද රඹුක්කන දී වුණ දේ ම උතුරේ දී වුණා. ඇත්තටම ඒකටත් වඩා එහා දේවල්.  ඒකට පින්තූරයක් ගැනීම වගේ සරල පුංචි ක්‍රියාවක් ඇති. ඉස්කෝලේ විභාගේ ලියන්න ගිය ක්‍රිශාන්ති කුමාරස්වාමි වගේ පුංචි කෙල්ලෙක්ට වධහිංසා කරල මරල දාන්නේ ඔය මොන මගුලක්වත් කරල නෙවෙයි. එක අපරාධයක් ගැන බේරෙන්න බැරි තැන වැරදිකරු කෙරුන මිලිටරි සොල්දාදුවෙක්, සමූහ මිනීවළක් පෙන්නල කියනවා, "මම විතරක් නෙවෙයි ඔහොම දේවල් කළේ" කියල. 

2009 දී මානුෂික මෙහෙයුම කියල නම් දීපු මිලිටරි ප්‍රහාර මාලාවේදී තොරතුරක් නැති ලක්ෂ දෙකකට කිට්ටු මිනිස් ජීවිත ගැන රායප්පු ජෝෂප් හිටපු අගරදගුරු ප්‍රශ්න කරනවා. අපේ කට්ටිය කීව නේද එතකොට උන්නාන්සේ 'කොටියෙක්' කියලා. ඒ මරා දාපු, නැති වුණ හැමෝමත් කොටි; නැත්නම් කොටි සහායකයෝ කීව නේ. 

"යුක්තිය වෙනුවෙන් පෙනීහිටින්නේ කොටි නම්, අපි කොටි තමයි" කියල නුගේගොඩ දී බාහු සහෝ (වික්‍රමබාහු කරුණාරත්න) කියපු කතාව මට අදටත් ආදරණීය කතාවක්. මේ මහා සමාජය අස්සේ ඒක කියාගන්න කොන්දක් තිබුණේ අතලොස්සකට විතරයි. 

අද රඹුක්කන දී මරා දමපු මේ තරුණයෝ අන්තවාදීන් කියල රාජ්‍යයෙන් නම් කරාවි. ජීවන වියදම,බඩගින්න, බෙහෙත් ටික, ගෑස්,...මේ වගේ ජීවිතයේ ප්‍රාථමික ඕනඑපාකම් වෙනුවෙන් සෙල්ෆියක් ගහල හරි උද්ඝෝෂණයට එකතු වෙන  හැම එකාමත්, එකීමත් අන්තවාදියෝ කියල ආණ්ඩුවන් දැනටමත්  නම් කරල තියෙන්නේ. මේ අත්දැකීම උතුරටනම් අමුතු නෑ. 'ත්‍රස්තවාදීන්' කියල නම් කෙරුවේ කව්ද, කාටද, ඇයි කියන එක උතුර හොදින් ම දන්න දෙයක්. 

නිදහස,ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් හැම අහිංසාවාදී හඩක් ම යට කරල, පාගල,පොඩි කරල දාද්දී උතුරට බලකෙරුනා මරාගෙන මැරෙන්න. දකුණට බලකෙරුනා ප්‍රාථමික ඕනෑඑපාකම් වෙනුවෙන්,ජීවිතයේ පුංචිම දේවල් වෙනුවෙන් පවා මරන්න. ඒකට බදවගත්ත දකුණේ උන්ට අංතට්ටු පැළදෙව්වා 'රණවිරුවෝ' කියලා. ඇඩ්වටයිසින් කොම්පැනිවලින් උඹලගේ අපේ ඔළු හෝදගෙන ගියා, 'ඒ තවත් අසරණයෝ නෙවෙයි රට-දැය-සමය වෙනුවෙන් දිවි දෙන වීරයෝ' කියලා. උඹලා ඒක ඇදගෙන,උස්සගෙන ගියා. 

උතුරේ මැරීවැටුනු 'ත්‍රස්තවාදීන්' ගැන සතුටින් කිරිබත් බෙදුවා උඹලා; උඹලට ඒක වෙද්දී, උතුර ඒක කෙරුවෙත් නෑ; කරන්නෙත් නෑ. ඒ අතින් උන් දකුණේ උඹලට වඩා පට්ට ඇඩ්වාන්ස්. 


ඒ පරිනතකම, අත්දැකීම් එක්ක. 


දැන් මේ අමාරු මොහොතේ ඒ අත්දැකීම ආයේමත් අපේ දොරට තට්ටු කරන් අරන්.

දකුණේ සමාජයට ආයෙමත් කියන්නේ පරිනත වෙයල්ලා ! රට වෙනුවෙන් කියලා,රාජ්‍යය පැත්තේ හිටගන්න කලින් තමන් එක්ක ඉන්න මනුස්සයා එක්ක හිටගන්න පුරුදු වෙයල්ලා! රාජ්‍යයේ හයිය පෙන්වන්න, මේ තවත් විදේශ රාජ්‍යයක් එක්ක ෆයිට්  එකක් නෙවෙයි; මර්දනීය රාජ්‍යයේ සංකේත පැත්තකට විසි කරලා, පීඩිතයන් එක්සත් කරගන්න එක සංකේතයක් බැරිනම් තම තමන්ගේ මට්ටමින් තමන්ගේ හැබෑ සංකේත ඔසවපල්ලා! රාජ්‍යය කියන්නේ මර්දනකාරී උපකරණයක් කියන ඇත්ත හංගන අයිසින් තට්ටුවලින් පංචේන්ද්‍රියන් මුදවගනිල්ලා! බෙහෙත් ගේන්න, තෙල් ගහන්න, කෑම-බීම- පෝර  ටික ගේන්න සල්ලි නැති වුණාට කදුළුගෑස්, පතරොම් එක්ක අවි ගේන්න, උඹලගේ-අපේ ෆෝන් ටැප් කරන්න, මීඩියා බ්ලොක් කරන්න මුං සල්ලි වෙන් කර ගෙන  බවත්, ඒකට 'ජාතික ආරක්ෂාවේ' නාමයෙන් උඹලා ඔක්කොම වගේ අත උස්සලා, සපෝට් එක දීල තියෙන නිසාත්, දැන් ඒවා පත්තු වෙන්න පටන්ගන්න වෙලාවේ පරිස්සම් වෙයල්ලා !




Wednesday, April 27, 2022

උතුර දන්න, දකුණට මිස් වෙන පොයින්ට් එක


 'රණවිරුගම' ද, ගෝටාගෝගමේ ම ය. 88 දී අතුරුදන් වූ දරුවා ගැන මතකය ගුලි කර ගත් අම්මා ද ගෝටාගෝගමේ ය. 


ගෝටාගෝගම මේ එකිනෙකා මුණගස්වන ගමක් නොවන්නේ ඇයි ? 


'රණවිරුවෝ' ද මනුෂ්‍යයෝ ය. ඔවුන් විශේෂ 'විරුවන්' බවට පත් කර ඇත්තේ පාලක කල්ලිවල මර්දනයට පෙරමුණේ සේවය නිසාවෙනි. මට නම් ඔවුන්, ඒ මෙහෙයට යොදවන ලද අසරණයන් පිරිසකි. 


ඒ මර්දනයේ දී මේ 'විරුවන්'  කවදත් කළේ දී තිබූ අවි සහ පුහුණුව, ලද ඕඩරයට ක්‍රියාවට  නැංවීම ය. 


එක ම දූපතක වුණත්, මේ අරුත, උතුරු කෙලවර පැත්තේ ජනසමූහයට වැඩියෙන් තේරෙද්දී, දකුණු පැත්තේ ජනසමූහයට වැඩිපුර මිස් වෙන්නේ ඇයි ? 


මිලිටරියේ මර්දනකාරී වීරත්වය උඩට ඉස්සෙන්නේ 2009 දී මිස 88-89 හෝ 71දී නො වේ. 

"හමුදාවත් අපේ තමයි;පොලීසියත් අපේ තමයි" යනුවෙන් ගයන අරගලයේ මිත්‍රයන්ට රඹුක්කන පාඩම පවා නොදැනෙන තරම් සුළු වූවකි. 

ඉතින් යළිත් අසමි; දකුණට මේ මිස් වීම සිදුවන්නේ කොතනින් ද ? 

71 දීත්, ඊට වඩා අතිදැවැන්ත ලෙස 88-89දීත් දකුණේ කැරලිකාර අභිලාශයන්, මර්දනීය රාජ්‍යය එක්ක පෙළ ගැසුනා නො වේ ද ? මේ දෙකේදී ම 'මව්බිම බේරාගැනීම' නමින් පෙරමුණට ආවේ කාගේ 'මව්බිම' දැයි උන් විමසිලිමත් වූවා නම්....

අද යළිත්, 2022දීත් අපට මිස් වෙමින් තියෙන්නේ මේ පොයින්ට් එක නො වේ ද ? හරියට ම කියතොත්, 'රාජපක්ෂ ක්‍රමය' කියන්නෙත්, උත්කර්ෂයට නැං වූ ඔන්න ඕක ම ය. 

'රාජපක්ෂ' හැබෑ ලෙස ම පරාජය කරන්නටනම්, අපේ දෑස් බැද ඇති මේ වානේ වෙස් මුහුණෙන් ගැලවීම අනිවාර්ය බව තේරුම් ගනිමු. 


Tuesday, April 19, 2022

එක්කෝ එක්සත් ව දිනමු! නැත්නම් තනි වී ආයෙමත් පසුබසිමු !

"ගෝල්ෆේස් පිටියෙන් කොන්ඩම් තොගයක් හමු වේ. තාත්තලා නැති දරුවන් බිහිවීමේ අවදානමක්" කියලා මඤ්ඤං නිව්ස් එකක් ගැහුවා නේ. "ඉතින් මෝලෝ, කොන්ඩම් පාවිච්චි කරන්න දන්නවනම් කොහෙන්ද අවදානමක්" කියල හැරෙන තැපෑලෙන් ප්‍රබුද්ධ උත්තරයක් දුන්න නේ. "අපි වද කොත්තු කාල  ඉන්නේ ඕයි" කියල සරදම්කාරි උත්තරේකුත් ලැබුණා නේ.  

හොද වෙලාවට, අරගලය ඇතුළේ රාජපක්ෂ මොඩල් දහම්පාසලක් එහෙම නොතිබුණේ ! 


ප්‍රජාතන්ත්‍රවාදය ගැනත්, ලංකාව කියන රට ගැනත් තීරණාත්මක, මූලිකතම ප්‍රශ්නය වෙන ජාතික ප්‍රශ්නය ගැනත් මේ ප්‍රබුද්ධත්වය පේන්න තියෙනව ද ? 


දැන් අර කියන පච මෝල්ලු දිගට හරහට "මේ අරගල නිසා කොටි නැගිටිනවා; මේක කොටි ඕනකමට කරන එකක්" කියල කියා ගෙන යන කොට, ඇයි මේ අරගලයේ ඉන්න බ්‍රෝලා, සිස් ලා ඇඹරෙන්න ගන්නේ ? "අපි ඒම නෑ" කියල ඔප්පු කරන්න මාර අමාරුවක් එන්නේ ? 

ඇයි අහන්න බැරි "ඉතින් මොකද ඕයි" කියලා ? ඇයි, සුපුරුදු සරදමෙන් අහන්න බැරි "2009 කොටි සදාකාලිකවම ඉවර කළා කියල තොපිම නේ කීවේ ඕයි"  කියලා? (විමුක්ති කොටින්ගෙන් නියෝජනය වුණ පීඩිත තමිල් ජාතියේ අභිලාශ එහෙම ඉවර කළා කියන්නෙම මඤ්ඤං මෝල් කතාවක් බව වෙන ම කතාවක්;අර කතාව කියල නේ දකුණ අන්දවන් හිටියේ) 

දැන් අර කතාව උස්සන්න උස්සන්න ගෝල්ෆේස් අරගලයේ බුවාලා ඇඹරෙන්න, නැවෙන්න, හති දාන්න ගන්නවා අපට පේනවා. එතකොට එයාල වැඩි වැඩියෙන් සිංහල-බෞද්ධ වෙන්න පොරකන්න ගන්නවා. නැත්නම් එයාල තුළ තියෙන 'හෙල ජාන' හෙනට වැඩ කරන්න ගන්නවා. 

අනිත් අයට පාරවල් දෙකක් තියෙනවා. එක්කෝ මෙතැනින් අයින් වෙන එක. නැත්නම් තමන්ගේ යටහත්පහත්භාවය බාර අර ගෙන, අර සංදර්ශනාත්මක ජාතික සමගියේ නළු-නිළියන් වෙන එක. (අලී සබ්රි, 2019 දී සිංහල-බෞද්ධ පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද එකතු කළේ අන්න එහෙම තර්කයකින්) 

මේ තැනට පත්වීමත් එක්ක ම මේ අරගලයට පුළුල් ජාතික එක්සත්කමක් දිනාගන්න බැරි වෙනවා. ඒ බෙදීම ඇතුළේ තමයි රාජපක්ෂ රෙජීමය දුවන්නේ. ඒ කියන්නේ, එයාල 'කොටි' කියල මතුරපු ගමන්, මේක ඇතුළෙම තියෙන එයාලගේ පරණ සෛල වැඩ කරන්න අරන්, ඇතුළතින් අරගලය පරාජයට, විනාශයට අරන් යනවා. 

ඒ නිසා මහින්ද පතිරණලා හරහා එන මේ ප්‍රහාරය, කොන්ඩම් ප්‍රහාරයට වඩා ලක්ෂවාරයක් බලගතුයි. 

එක්කෝ ඒකෙන් රාජපක්ෂ ක්‍රමයේ ගෝඨා-මහින්ද සෙට් එකේ බලය තහවුරු වෙයි; බැරිවුණොත් එතැනින් කාව හරි බිල්ලට දීලා, වෙන වෙන නමකින් හරි ඉන්න 'රාජපක්ෂ' වරයෙක් බලයට එයි. 


කෝක වුණත් අරගලය හබක්. 


දැනටමත් අසීරු අඩියක ඉන්න ගෝල්ෆේස් අරගලකරුවන් ගේ ඉරණම සුබවාදීව විසදෙනවා ඇත්තේ P2P අරගලකරුවන් එක්ක ඇති වන සම්මුතියේ ශක්තිය මත විතරයි. 


ඒ ප්‍රඥාවත්, හදවතත්, කොන්දත් එතැනට පහළ වේවා !

Monday, April 18, 2022

සිංහ ලෙසින් ට්‍රෝජන් අශ්වයා

 "ගෝටා ගෝ" කීවා ම, උත්තර ලැබෙන්නේ 'සිංහල-බෞද්ධ රාජ්‍යය' ගැන ය !

වැරදිලා ද ? 

ටැපලිලා ද ? 

එහෙම හිතුවොත් වැරදීමත්, පැටලීමත් එතැන ය. හරි ම ප්‍රශ්නයත්, උත්තරෙත් එතැන ය. 

'රාජපක්ෂ' කියන්නේ මිනිහෙකුට නො ව ක්‍රමයකටැයි කියන්නේ ඒක ය. 

රාජපක්ෂ ක්‍රමය නම් මේ 'සිංහල-බෞද්ධ රාජ්‍යය' ය. (ඩෑන් ඒක හරියට ම සහ කෙළින් ම කීවේ මෙසේ ය; "ගෝටා ගෝ හෝම් කියල නෙවෙයි මේ කියන්නේ, සිංහලයට ගෝ හෝම් කියල") ඉතින් ඕකට පැටලෙන, පටලවන සිංහල ජාතියත්, ගෞතම විසින් ප්‍රකාශිත බෞද්ධාගමත් ගලවාගැනීම ඇතුළතින් ම මිස පිටතින් කළ හැකි දෙයක් නො වේ. ඒ ගේම බේරාගත යුත්තේ අනිත් ජාතීන්, වාර්ගිකයන් එක්ක නො ව ඩෑන් ලා සමග බව විතරක් අමතක නොකළ යුත්තකි. 

12 වෙනිදා ගෝල්ෆේස් වැටලීම කව  දෙකකින් යුක්ත ය.  එකක, ඉත්තැපානෙ සද්ධාතිස්ස ය; ඩෑන් ප්‍රියසාද් ය; වටිණාපහේ සෝමානන්ද ය;මාගල්කන්දේ  සුදත්ත ය; ඉරාජ් වීරරත්න ය. තේමාව ' ව්‍යාජ අරගලයට මුවා වී සිංහල-බෞද්ධ ජනමතයට අත නොතබනු' ය. අනිත් පෙරමුණේ ඕමල්පේ සෝභිත ය; රජවත්තෙ වප්ප ය; අගලකඩ සිරිසුමන ය; ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ය; එලමල්දෙනියේ සාරානන්ද ය; කැම්පේන් එක ඇතුළේ ඉන්න ගමන් ම 'දෑ හිතකාමී භික්ෂූන්' කියමින් ඉඹලා-වැදලා පිළිගත්තෝ ය. තේමාව, 'රාජපක්ෂලාට බැරි වුණ සිංහල-බෞද්ධ රාජ්‍යය අපි ගොඩනගමු' යන්න ය. 

මේ දෙකක් වගේ පෙනෙන එක ම පෙරමුණකි. 

'සිරි ලංකාව නම් මේ රට මුල පටන් ම සිංහල-බෞද්ධයා ගේ ය. රටට පිටින් මෙන් ම ඇතුළතින ද දස අතේ ඇත්තේ මේ සිංහල-බෞද්ධ පදනමට පහර දෙන දේශද්‍රෝහී-ජාතිද්‍රෝහී කුමන්ත්‍රණ ය. ඒ ආකාරයේ විශාල ත ම සතුරා වූ කොටි  පරාජය කළෙමු. (එහෙත් එහි බියකරු අවතාර අපරාජිත බැවින්, ඒ ගැන සැක බිය සහිත සූදානම තියාගත යුතු ව තිබේ) දැන් ඉස්ලාම් බිල්ලා  සහ බටහිර බිල්ලා මතු වී තිබේ.  යුද්ධයත්, යුද විරුවනුත් අපේ ඉහළ ම වටිනාකම් නිර්මාණය කරන්නේ ඒක ය. එසේ කරන්නන්ට අපේ මහා කැපවීම හා ඉවසීම මගින් යුතුකම ඉටු කළ යුතු ය. ඔවුන් ට හැම වරප්‍රසාදයක් ම හිමි විය යුතු ය. බලය හා නායකත්වය හිමි විය යුතු ය. සියල්ල රට, ජාතිය හා ආගම වෙනුවෙනි'

ඉතින් මේ කියන සිංහල-බෞද්ධ රාජ්‍යයේ සංකේතීය පීතෘවරයා 'රාජපක්ෂ' ය. ඒ ගෝටා, මහින්ද, බැසිල්, නාමල් හෝ  ෆොන්සේකා, සජිත්, චම්පික, රනිල්, චන්ද්‍රිකා හෝ වෙන කවුරුන් හෝ පැතුම් කෙනෙකු හෝ  වුව ද, වැරදීමකින් හෝ කරුණා අම්මාන් හෝ අලී සබ්රි වුව ද, මේ විදියේ 'රාජපක්ෂ' කෙනෙකු විය යුතු ම ය.  


'සිස්ටම් චේන්ජ්' එකක් ඕනා' යයි කියන ඇත්තෝ සමග අත් දෙක ම ඔසවා පක්ෂ වෙමි. කළ යුතු චේන්ජ් එක මෙන්න මෙතැන බව, ඒ හැර වෙන තැනක නො වන බව විතරක් තේරුම් ගන්නා ලෙස ඉල්ලමි.

Sunday, April 10, 2022

කාටත් හොඳට ම ඇතිවෙන තැනට යන විදිය

ක්ලෝඩිට් කොල්වින්, පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.  ඇයව අත්අඩංගුවට ගැනුනේ ඇය කළු ජාතිකයකු නිසාත්, සුදු ජාතිකයකුට බස් එකේ සීට් එක දිල හිට ගෙන යන එක ප්‍රතික්ෂේප කළ නිසාත්.  මොන්ට්ගෝමරියේ මෙතෝදිස්ත පල්ලියක තරුණ දේවගැතිවරයෙක් වුණ, මාටින් ලූතර් කිං තමන්ගේ සංඝයත් එක්ක කතා කළා, මේ වෙමින් තියෙන තත්වයේ ඇති අසාධාරණය ගැන. ඒත් ඔවුන්ට ඉවසන්න වුණා, ක්ලෝඩිට් බාලවයස්කාරියක් නිසා.  ඒත් එක ම සිදුවීම ඒක නොවෙයි.  මේ තත්වයට හේතු වුණේ ඇලබාමා ප්‍රාන්තය් වර්ගවාදී නීතිය.  ඒකේ හැටියට බස්පො එකේ ඉස්දුසරහ සිට් සුදු  ජාතිකයන්ට;ඒවා පිරිල තියෙද්දී සුදු ජාතිකයෙක් බස් එකට නැග්ගොත් පිටිපස්සේ සීට් එකක් හරි දිය යුතුයි. ප්‍රවාහනයේ දි මේ අයුක්ති සහගත, අශිෂ්ට තත්වය දිගින් දිගටම මතු වුනා.  

‘ස්ත්‍රී දේශපාලන සභාව‘ මේ වගේ තත්වයන්ට එරෙහිව 1946 තරම් කාලෙක ඉඳන් ම වැඩ කරමින් හිටපු සිවිල් ආයතනයක්.  ‘වර්ණ ජනයාගේ ප්‍රවර්ධනය සඳහා වන ජාතික සංගමය‘ (NAACP) මේ තත්වය වෙනස් කරගන්න දිග කාලයක් තිස්සේ වැඩ කරන තවත්  සිවිල් සංවිධානයක්.  ඒකේ ශාඛා ලේකම්වරිය වුණ රෝසා පාර්ක්ස්. ක්ලෝඩිට් ගේ සිද්ධිය වෙලා මාස නවයකින් ඇයගෙත් වෙලාව පැමිණුනා.  ඇය සහ සෙනඟ තින්දු කළා නොනැවති අභියෝග කරන්න.  

“මේ තත්වය වෙනස් විය යුතුයි නේ ද...?“ දේවගැති මාටින් ලූතර් කිං සෙනඟ රැස් කොට විමසුවා.  

“ඔව්; දැන් හොඳට ම ඇති“ ඔවුන් තම කෝපය,පිළිකුල එක්ක අරගලයේ මොහොතට එකඟතාවය පළ කළා.

“ අපි මේ තත්වය වෙනස් කළ යුතුයි.අපි වැරදිනම් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයත් වැරදි විය යුතුයි.  අපි වැරදිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වැරදි විය යුතුයි.  අපි වැරදිනම් දෙවියන් වහන්සේත් වැරදි විය යුතුයි“  

ඔවුන් විසින් පිහිටුවා ගත් ‘යහපත් මොන්ට්ගෝමරියක් උදෙසා වූ සංගමය‘ (MIA) සිය නායකයා ලෙස දේවගැති මාටින් ලූතර් කිං තෝරා ගත්තා.  නැහැ; හරියට ම කීවොත් ඒක ජනතාවගේ නියකත්වයක්.  එහි ප්‍රධාන නියෝජිතයා ඔහු.  

ඒ, 1955 දෙසැම්බර් 05.      

රෝසා සිද්ධිය වෙලා පස් වෙනි දවස.  

මේකයි තීරණය;

“වර්ගවාදි නීතිය වෙනස් වෙනතුරු අපි බස්වල යන්නේ නෑ“

ලංකාවේ බොදුබලසේනා, රාවනා බලය, වීර විදහන, ජයග්‍රහණය,මහසෝන් බලකාය, විසුරුවා හැරි බව කියන ත්‍රස්තවිරෝධි ජාතික ව්‍යාපාරය වගේ බෝඩ් ලෑලි තොගයක් අස්සේ ඉන්න වර්ගවාදී ත්‍රස්ත සංවිධාන වගේ ම එක්සත් ජනපදයේ අදටත් වැඩ කරන ප්‍රධාන ම සංවිධානය ක්ලු කුලුක්ස් ක්ලෑන් (KKK) අරගලය විනාශ කරදමන්නට ප්‍රාන්ත පාලනයට උපරිම හයිය ලැබෙන්නේ ඔවුන්ගෙන්. දේවගැති මාටින් ලූතර් ගේ පල්ලිය ඇතුළු මුල් පෙළේ ක‘ියාකාරීන් නව දෙනෙකු බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලට ලක් වෙනවා.  එක් ගර්භනී අම්ම කෙනෙතුගේ කකුල් කඩල බිඳලා දාලා තිබුණා.  ‘නීත්‍යානූකූල ව්‍යාපාර කර ගෙන යන්න බාධා කළා‘ කියලා දේවගැති මාටින් ලූතර් අත්අඩංගුවට ගන්නවා. සමහරු රස්සාවලින් දොට්ට දාලා තිබුණා.  නිවාඩු කපලා, දඩ ගහලා, නොයෙක් විදියට වර්ජනයට සම්බන්ධ වීම අධෛර්යමත් කරන්න වැඩ කරල තිබුණා. 

“ගල් කැටයකින්වත් ප්‍රතිප්‍රහාරයට යන්න එපා“ ඒක තමයි අරගලයේ නායකත්වය ජනතාවට දීපු උපදෙස.

නීතිඤයන් නඩු වලට පෙනි හිටියා.  ටැක්සි රියදුරන් නොමිළේ ම වගේ වර්ජක මිනිසුන් ප්‍රවාහනය කළා.  පුළු-



පුළුවන් හැම කෙනෙක් ම තමන් ට පුළුවන් තැනින් අරගලයට දායක වුණා. ටික දෙනෙක් වුණත්, සුදු ජාතිකයොත්.

එක්සත් ජනපද ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය, ඇලබාමා දිස්ත්‍රික් උසාවිය දුන් තීන්දුව තහවුරු කරමින්, වර්ගවාදි නිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තහවුරු කළා.  

දවස් 381ක් පුරා ඇදි ගිය බස් වර්ජන ව්‍යාපාරය 1956 දෙසැම්බර් 21 ජයග්‍රාහී ව අවසන් වුණා. 

මේ නිති අකුලා ගැනීමේ තැනට බලගතු පාලකයන්, කොම්පැනි හිමියන් සහ අනෙකුත් බලවේග ඇද ගෙන ආවේ උසාවි තීන්දු වලින් නැත්නම් හිත උනු වීමකින් කියල හිතුවොත් ඒක ඉතිහාසය ගැන පට්ට අදේශපාලනික පටලවා ගැනිමක් වේවි.  

ඇත්ත ම සහ ලොකු ම හේතුව දේශපාලන-ආර්ථිකයි. 

ඒ බස් මගින්ගෙන් 75%ක් කළු ජාතිකයන්; ඔවුන්ගෙන් 90%කට වඩා වර්ජන ව්‍යාපාරයට සම්බන්ධ වුණා.  මේ පාඩුව එක්ක අවුරුද්දකට  වැඩි කාලයක් හති වැටුණ තත්වයක බස් කොම්පැනි සහ ඊට සම්බන්ධ තවත් අය හිටියේ.  ඔවුනුත් කියමින් හිටියේ “හපොයි! දැන්නම් ඇති!!“ කියමින්.  අනිත් අතින් අරගලයට දායක වුණ කළු හෝ සුදු හැම අයෙකුට ම ඒ කැපකිරිම හෙට දවසට වටිණාකමක් එකතු කරන ආයෝජනයක් වුණා. 

මෑතක ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය වගේ සිද්ධියක් වාර්තා වෙද්දී සුදු ජාතිකයෝ අතිබහුතරයක් එක්ක මුළු ලෝකයක් ප්‍රතිවිරෝධය පැත්තෙන් හිටගන්නවා.  එක්සත් ජනපද සමාජය එතැනට වර්ධනය වුණේ නිකම් නෙවෙයි.  අධිෂ්ඨානයේ, වීර්යයේ, යහසිතුවිලි කියන අධ්‍යාත්මික-පෞරුෂ ගුණාංග නිසා විතරකුත් නෙවෙයි. 

ලංකාවේ මේ වෙලාවේ දියත් වෙමින් ඇති බහුජන අරගලයේ තීරණාත්මක දේශපාලන නිමේෂයත් මේ පාඩම් ඔස්සේ හොයා ගෙන යන්න පුළුවන් වේවි.  

චෞර රැළේ මහා ඒජන්තයා වන රාජපක්ෂ පවුලත්, ඒ එක්ක බැඳි ඇති පක්ෂ-විපක්ෂ-නිර්පක්ෂ මුණු අස්සේ සිටින සියළු බලවේගවලත් ආර්තික මර්මස්ථාන ඉලක්ක කරගැනීම අත්‍යවශ්‍ය දිගුකාලින වගේ ම හදිසි කටයුත්තක්. මේ වෙලාවේ ඒ චේර රැළ සිරුමාරුවෙන් සූදානමක වගේ පේන්නත් තියෙනවා. තාම සිය නොසෙල්වෙන පක්ෂපාතීත්වය වගේ තැනක ඉන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා, මිලිටරි නායක ශවේන්ද්‍ර, තවත් භික්ෂූන් ඇතුළු කිහිප දෙනෙක් විතරයි.  

වෘක දත් දකින්නට තරමට ඇස් තියුණු කර ගනිමු.  ඇතැම් විට ඒවා ඇත්තේ බැටළු හම්වලට යටින්.    


 

Saturday, April 9, 2022

අරගලයේ අවියක් ලෙස අවිහිංසාවේ දිග පළල


 'අහිංසාව' කියන්නේ අරගලයේ දී එක්තරා ප්‍රබල අවියක්. හරියට ම පාවිච්චි කරපු වෙලාවක සතුරා නැත්නම් අනෙකා අපහසුවට පත් වේවි; ලැජ්ජාවට පත් වේවි; කිසි ම කායික හිංසනයක් නැතිව තමන්ට වඩාත් අවාසිදායක තත්වයක් උදා වීම ගැන තේරුම් ගැනීමෙන් වෙනස් වේවි. 

ප්‍රචණ්ඩ, සන්නද්ධ ගැටුමක දී ඕනෑ ම කෙනෙකුට හානි වෙන්න පුළුවන්. පහර දීමට, මරා දැමීමට, තුවාල වීමකට, සිරගත වීමකට...මේ ඕනෑ ම හානියක්. අහිංසාවාදී ප්‍රතිචාරකයෙකුටත් ඒ ඕනෑ ම දෙයක් වෙන්න පුළුවන්. ඒ විදියට බැලුවා ම දෙවිදියේ වෙනසක් නැති තරම්. ගැඹුරින් බැලුවා ම අහිංසා ප්‍රතිචාරකයා විසින් එකටෙක කිරීමට අනෙකා තුළ  පෙළඹවීමක්  නොකරන නිසා අනෙක් පැත්ත නිශ්ක්‍රීය කිරීමකට වගේ ම අසරණ කිරීමකට ලක් කරනවා. 

මේ උපායමාර්ගයේ ශාස්තෘවරයා ලෙස හදුනාගැනීමට තරම් ම ඒක භාවිතයේ යොදවපු කෙනෙක් මොහන්දාස් කරමචාන්ද් ගාන්ධි.  

නිදහස, අභ්‍යන්තරික අත්විදිය යුතු දෙයක් බවයි මේ භාවිතය තුළින් ඔහු පෙන්වා දුන්නේ. නිදසුනක් හැටියට කුලපීඩනය, වර්ගවාදය වගේ තත්වයන් කතා දෙකක් නැතිව හිංසනයන්. තමන් මත පටවන ලද හිංසනය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් වෙන්නේ තමන් විසින් පටවන ලද හිංසනය ප්‍රතික්ෂේප කරන්නට ගටක් තියෙන අයෙකුට විතරයි.  

තමන් තුළ මතු වූ විමුක්තිකාමියා, හැම ඉන්දියානුවකු තුළින්මත් මතු වී, බ්‍රිතාන්‍යයන් තුළින් ද එසේ විය යුතු යයි ඔහු විශ්වාස කළා. මේ නිසාමත් ගාන්ධි කියන්නේ පට්ට ම ආකාස්මික ( Charismatic ) පෞරුෂයක්. 

ගාන්ධි මූලික වෙන ඉන්දියානු අහිංසාවාදී භාවිතාව තේරුම් ගැනීමේ දී මේ ද්විලක්ෂණය එකට තේරුම් ගන්න එක වැදගත්. 

ලුවී ෆිෂර් විසින් ලියපු ගාන්ධි චරිතාපදානය මේ ගැන ප්‍රාමාණික හැදෑරීමක් ඇති පොතක් කියල හදුනගන්න පුළුවන්. 

මේ එහි කොටසක්;

"මම මරණය දක්වා උපවාස කරමි" 

ඒ තීරණය, තමා ඔවුන්ගේ සිරකාරයකුව සිටිය දී බලධාරීන් අසීරුවට පත් කරන කාරණයකැයි ඔහු දැන සිටියේ ය.(578)

පූනා ගිවිසුමේ මැදිහත්කරුවන්ගෙන් එක් තැනැත්තකු, පසුව මා සමග තියා සිටියේ, තමා ගාන්ධි ගේ ප්‍රතිපත්ති වලට හැමවිටම විරුද්ධව සිටි බව ය. නමුත් ගාන්ධි මහපොළොව මතට බැස සිටින දෙවියෝ ය. ස්වර්ගයේ දොරටු ඔහු පිළිගන්නට බලා සිටියේ ය. හින්දු නායකයින් ගාන්ධි ගේ ප්‍රතිපත්ති වලට එකග වූයේ, ගාන්ධි ගේ මරණය පිළිබද තර්ජනය නිසාවෙනි.....එහෙත් ඉන්දියානු ජනතාව සමග ගාන්ධි ගේ පැවති සම්බන්ධය ගොඩනැගී තිබුණේ, හුදු තර්කනයත් නීතිකවාදයත් මත ම වෙයි. ඒ වූ කලී අතිශයින් භාවාත්මක වූ සම්බන්ධතාවකි.  හින්දුවරුන් ට ගාන්ධි වූ කලී, මහත්මා ය. දෙවියන්ගෙන් බිදක් වූ මහා ආත්මය ය. ඔවුන්ට ඔහු මරණය ට පත් කරන්ටත් පුළුවන් ද ?   ඔහු උපවාසය ආරම්භ කළ මොහොතේ දී ම පාඨ ග්‍රන්ථ, ගුරු පොත්, ව්‍යවස්ථා, ප්‍රදාන, මැතිවරණ ඇතුළු සෙසු දේවල් සියල්ල නොවැදගත් දේ බවට පත් වන්නේ ය. වැදගත් ම කාරණය මෙයයි. ගාන්ධි ගේ ජීවිතය බේරා ගත යුතු ය"(597)

අහිංසාවාදයේ උපායමාර්ගය, අභ්‍යන්තරික නායකත්වයක් සහිත තනි තනි පුද්ගලයන්ට වඩා ආකස්මිකත්වයක් විසින් හැසිරවෙන මිලියන-බිලියන ගණනක් ජනතාව මත පදනම් වන්නක් නො වේ ද ? 

අහිංසා මාර්ගය ඵල දැරීම පිටුපස තීරණාත්මක සාධකයක් වුණේ ගාන්ධි සංකේතවත් කළ චරකය බව කීවොත් අතිශයෝක්තියක් නෙවෙයි. ජීවනෝපායයක්, විමුක්ති අධ්‍යාත්මිකත්වයක්, සමාජ එක්සත්භාවයක් හදනවත්  එක්ක ම අනිත් අතින් එය යටත්විජිත ආර්ථිකයට මරු පහරක් එල්ල කළා. කොංග්‍රසයේ පංචවිධ පිළිවෙත් අතර 'ස්වදේශී' සහ 'විදේශීය දේ වර්ජනය' කියන දෙක අහිංසා පිළිවෙතේ හරය බවට පත්වෙන තැන ඒක මහා බලයක් වෙනවා. 

ඇතැම් විටෙක එය ඵල දරන්නේ, තිරයට පිටුපසින් ඇති ප්‍රචණ්ඩ ප්‍රතිප්‍රහාර මතිනි. "ගාන්ධි ඇතුළට දමා බන්ධනාගාර දොරටු වැසුනු මොහොතේ ම, ප්‍රචණ්ඩත්වයේ සොරොව් දොරටු සියල්ල ද ඇරුණේ ය" (725 පිටුව) යන්නෙන් නිරුවත් ව කියාපාන්නේ ඒ නො වේ ද ? ඒ ගාන්ධි ගේ අනුදැනුම හෝ මෙහෙයවීමක් යටතේ නො වේ. ඇත්තෙන් ම ඔහු ඊට එකග නෑ. ඒත් අහිංසා අරගල වල සාර්ථකත්වයට එහි තිරය එහා පැත්තේ මේ කොටසේ බලපෑම අවතක්සේරු කළ හැකි ද ? ගාන්ධි ම පවා ඇතැම් එවැනි ප්‍රතිඵල බාරඅරන් තියෙනවා.

උපායමාර්ගයක් ලෙස අහිංසාවේ සීමා ගාන්ධි නොදැන සිටියා නො වේ. එවැනි නිදසුන් රැසක් මේ පොතෙන් ම හොයා ගන්න පුළුවන්.  මේ, එහෙම දෙකක්; 

"ඔහු අත වන්  සිවිල්  නීති කැඩීම නමැති විශේෂ ආයුධය ගිලිහී ගොස්, හැමතැන ම ප්‍රචණ්ඩත්වය පැතිරෙන්නට වන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ගාන්ධි ගේ එක ම විකල්පය බවට පත් විණි" (821) 


"නේරු විසින් මෙම අර්බුදය එක්සත් ජාතීන් වෙත පවරනු ලැබීම ගැන ගාන්ධි දුක් වුණේ ය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී ඔහු, බ්‍රිතාන්‍ය ශාන්තිවාදියකු වූ හොරස් ඇලෙක්සන්ඩර් ට පැවසූවේ, කාෂ්මීර ප්‍රශ්නය පිළිබඳ ජාතීන්ගේ ආකල්පය තීරණය වනුයේ, ප්‍රශ්නයේ හොද නරක ගැන සළකා නො ව, ජාත්‍යන්තර දේශපාලනයේ බල අරගලය අනූව බව ය.  (929)

එහෙම වෙලාවන්, ඒ ඒ වෙලාවල තීරණාත්මක සාධක ආදිය තක්සේරු කර ගෙන, ආදේශක විසදුමකට එන්නට ගාන්ධි ට අහිංසාවාදී උපායමාර්ගය බාධකයක් වුණේ නැති බවයි පේන්නේ. 

වැදගත් ම දේ 'අහිංසාව' , අරගල ක්‍රමෝපායයක් හැටියට ම හිත ඇතුළේ විතරක් තියෙන දෙයක් හෝ එළියට පේන්නට තියෙන දෙයක් හැටියට ගත්තොත් පුස්සක් වෙන බව තේරුම් ගැනීමයි. 

ලංකාවේ දකුණේ සමාජයේ එවැනි සාර්ථකත්වයක් මෙතෙක් කිසිදිනෙක වාර්තා වෙලා නෑ. මේ අප්‍රියලයේ බහුජන අරගලය තුළ අපි දැන් ඉන්නේ මේ ක්‍රමෝපාය ගැන භාවිත පරීක්ෂණයකට මුහුණ දෙමින් නේ ද ?

1905 රුසියාවෙන් 2025 ලංකාවට


1917 ඔක්තෝබර් විප්ලවයේ අංකුරය හැටියට සැළකෙන්නේ 1905 ජනවාරි 'ලේ වැකි ඉරිදා'වයි. 

රුසියාවේ ළදරු කම්කරු පංතියේ තත්වය අතිදුෂ්කර වුණා. අඩු කරන ලද සේවා කාලයත් පැය 11ක්. ඒක පවා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. ලැබුණේ සොච්චම් වැටුපක්. සුළු වරදකටත් විශාල දඩ ගැසීම්; සමූහ දොට්ට දැමීම්.පහත් ම ජීවන තත්වයන්. අදහස් ප්‍රකාශනයේ නිදහස ගැන අදහසක් ගන්න හිතන්නවත් එපා. 

කාර්මික නගර කීපයෙන් වඩාත් ම ශක්තිමත් නගරයක් වුණේ ශාන්ත පීටර්ස්බර්ග්. පූජක ජෝර්ජි ගැපොන්, මේ නගරයේ ජනප්‍රිය දේශකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්. 

1905 ලේ වැකි ඉරිදාවේ නියමුවා මේ ගැපොන් පූජකයා.

ඔහු ජනවාරි 06 වෙනිදා ඔහු ගේ ශ්‍රාවක කම්කරු සංඝය ඇමතුවා. 

"සාර්(රජු) සහ මේ කම්කරුවන් අතරමැද ලේ උරාබොන්නන් හැටියට ඇතැම් කම්හල් හිමියන්, නිලධාරීන් සහ තවත් අය ඉන්නවා. අපි මේ බව කෙළින් ම සාර් අප්පච්චීට කියමු. එතුමාගේ දරුවන් වන ඔබ දුප්පත්කමෙන්, නූගත්කමෙන් සහ නිලධාරී පීඩනයෙන් ගලවා ගන්නා හැටියට ඉල්ලා හිටිමු" 

ගැපොන් පූජකයා විසින් පෙත්සමක් හදා දුන්නා. ඒක බාර දෙන්න අඹුදරුවොත් එක්ක සාර් ගේ මාලිගයට පාගමනින් යන්න ඔහු යෝජනා කළා.

ජනවාරි 09 වෙනි ඉරිදා, 1,40,000ක් කම්කරුවෝ, ගැහැණු හා දරුවෝ ගැපොන් පූජක පෙරටු කර ගෙන මාළිගාව වෙතට ගමන් ගත්තා. 

සම්පූර්ණයෙන් ම අහිංසාවාදී ක්‍රියාවක් හැටියට සංවිධානය කරල තිබුණ මේ ගමන ගැන රජු දැනුවත් කරල තිබුණා.  ප්‍රතිඵලය වුණේ, මාළිගාවෙන් පිටත රැදී සිටි රජු ගැපොන් පූජක අත්අඩංගුවට ගන්නට නියෝග කිරීමයි. ඒත් කම්කරුවන් විසින් ආරක්ෂිතව වට කර ගෙන සිටි පූජකයා අත්අඩංගුවට ගන්න, අඩු ම ගානේ පොලිස් හමුදාවේ ජීවිත දහයක්වත් දෙන්න වෙනවා කියල රජුට වාර්තා වුණා. ඊළග පියවර හැටියට සාර් අප්පච්චි ට දුක්ගැනවිලි ලියුමක් දෙන්න එන නිරායුධ දිළිදු දරුවන්ට වෙඩි තබා, මර්දනය කරන්න නියෝගයක් ලැබුණා. 


මේ තත්වයන් ගැන කිසි ම සූදානමක නොසිටි ජනතාව ලක්ෂ ගණනින් මරා දමනු ලැබූ බව කියවෙනවා. අතිශයෝක්තියෙන් තොර ඉලක්කම්වලින් කීවොත් දහසක් පමණ මරා දමා, දෙදහසක් පමණ තුවාල කොට තිබෙනවා. ගැපොන් පූජක ද තුවාල ලබා, මක්සිම් ගෝර්කි ගේ නවාතැනේ ආරක්ෂිතව නවතා ප්‍රතිකාර කළ බවක් ඇතැම් වාර්තා වල කියවෙනවා. කාලෙකට පස්සේ ඔහු යළි නගරයට ඇවිත් කම්කරු ජනයා අතර වැඩ පටන්ගන්න බවත්, ආරක්ෂාව සැපයීමේ මුවාවෙන් ඔහු කැටිව යන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් විසින් වධහිංසා කොට ඔහු මරා සගවන බවත් වාර්තා  වෙනවා. මේ පුද්ගලයා සමාජවාදී විප්ලවවාදී (එස්එර්) කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු හා සාර් ගේ ඔත්තුකරුවෙක් හැටියට  කියවෙන අතර ගැපොන් පූජක ගැනත් එවැනි කියවීම් තියෙනවා.

1905 මහා සංහාරය 1917ට ඉතා වැදගත් පාඩම් කියා දුන්නා. ඒ නිසයි ඒක ඔක්තොම්බර් විප්ලවයේ මුල් අංකුරය කියා හැදිනගන්නේ. 

එක පාඩමක් තමයි අරගල ක්‍රමයක් හැටියට අහිංසාවාදයේ සීමාවන් ගැන කියවාගැනීමක් නැති වීම බරපතල හිංසාකාරී තත්වයක් නිර්මාණය කර දෙන බව.  මේ නිසා අඩු ම ගානේ ගැපොන් පූජකයාට හෝ බලය අත්පත් කරගැනීමේ සැලසුමක් තිබුණේ නෑ. තිබුණද නැද්ද කියල ඒ පස්සේ ගිය ලක්ෂ ගණනක් ජනයා තියා අදටත් අපිවත් දන්නේ නෑ. ඉතින් පවතින බලතන්ත්‍රයට ඉලක්කම් ටිකක් පෙන්නුවාම, රත් වෙලා, වහා ම ජනහඩට කන් දේවි වගේ අදේශපාලනික මිථ්‍යාවක් මවා ගෙන මේ සෙනග යන්නේ. අඩු ම වශයෙන් ඔවුන් අභිමුඛ වෙන්නේ සන්නාහ සන්නද්ධ දැවැන්ත යාන්ත්‍රණයක් අනෙකා කරගනිමින් කියන එකවත් මේ අයට කියවාගන්න බැරි වුණා. ඒ වගේ ම සාර් සහ කම්හල් හිමියන්, නිලධාරීන්, හමුදාව ආදි මර්දන ඒකක අතර තියෙන සංධානය ගැන මෙලෝ මලහත්තිලව්වක් ගැන අදහසක් මේ අදේශපාලනිකත්වය ඇතුළේ ඔවුන්ට පෙනුනේ නෑ. 

මේ පාඩම් 2022ට වුණත්, ලංකාව වගේ සමාජයකට වුණත් තාමත් අදාල ඇති.

Friday, April 8, 2022

පරමාධිපතිවරු දොට්ට දමා ස්වාධිපති වෙතෑකි ද ???

 "චූදිතයා, මිනීමැරුම් චෝදනාවට වැරදිකරු බව ඔප්පු වී ඇති නිසා මරණීය දණ්ඩනය නියම කරමි" කියල නඩුකාරයා තීන්දුව දුන්නා. 

"මිනීමැරීම වරදක්නම් මාව මරාදැමීම ගැන ඔබතුමාටත් මරණීය දණ්ඩනය හිමිවෙනවා නේද" කියල ඒ චූදිතයා ඇහුව ලු. 

චූදිතයා මේ මිනීමැරීම කරන්නේ එයා ගේ අභිමතයක්-අදහසක් මත්තේ. නඩුකාරයා මේ විමසීම සහ තීන්දුව දෙන්නේ එයා ගේ පුද්ගලික ආසාවක්-කැමැත්තක්-අදහසක් අනූව නෙවෙයි. එයා වැඩ කරන්න ඕන පටිපාටියක් තියෙනවා.  එයා විශාල සාමුහික මැෂිමක එක පුංචි දැතිරෝදයක් විතරක් තරම්. 

ඒ පටිපාටිය තීර‍ණය කරන්න මේ චූදිතයා පවා දායක වෙලා තියෙන බව සමහර විට එයා දන්නෙත් නැතිව ඇති. ලංකාවේ ව්‍යවස්ථාවෙන් කියනවනම්,  එහෙම වෙන්නේ මේ චූදිතයත් 'පරමාධිපති' කෙනෙක් වෙන නිසා.  

ව්‍යවස්ථාව තවදුරටත් කියනවා, ජනතාව තමන් ගේ පරමාධිපත්‍ය‍ බලය, සර්වජන ඡන්ද බලය මගින් ක්‍රියාත්මක කරනවාය කියලා.

මේ වෙන කිසි අමුතු දෙයක් නෙවෙයි;'ස්වාධිපති බලයේ හිමිකරුවෝ මහජනතාවමය" කියන විශ්ව මූලධර්මය මිසක.

මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වෙලා, මරණීය දණ්ඩනයට ලක් වෙන අපේ කතාවේ මිත්‍රයත් මේ පරමාධිපතියෙක්. දැන් එයා මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්. 

"පොතේ හැටියට මට එහෙම බලයක් තියෙන්න ඕන තමයි. ඒත් මට ඒක ලැබිල තිබුණේ නෑ. ඒ නිසා මගෙ සහභාගීත්වය නැතිවයි මේ නීතිය මම මත ක්‍රියාත්මක වෙන්නේ" 

දැන් මේ තර්කය ජෝක් එකක් නෙවෙයි. 

1848 කැරැල්ලේ නායකත්වය දරපු, රජ්ජුරුවෝ කියල අභිෂේක කරවපු  විල්බාවේ උන්නැහේ අත්අඩංගුවට අරන් උසාවි ගෙනාවම, එංගලන්ත ආණ්ඩුවෙන් උන්නැහේ වෙනුවෙන් පත් කරපු පෙරකදෝරුවා මෙහෙම තර්කයක් ගේනවා. "මේ චූදිතයා උඩරට වැසියෙක්. ඔහු පිළිබද චෝදනා පහතරට ඉංග්‍රීසි නීතියෙන් විභාග කරන්න බෑ" නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථානුකූලවාදය ගැන ශිෂ්ට ලෝකයේ සම්ප්‍රදාය ගැන අමතක නොකළ යුතු පාඩමක් කියා දෙමින්, උසාවිය විල්බාවේ නිදහස් බව ප්‍රකාශ කරනවා. මරනෙට හිත හදන් උන්න විල්බාවේ කට ඇරන් බලා ඉදලා, ගෙදර ගිහින්, ඉතිරි ජීවිත කාලෙ කුඹුරක් කොටන් ඉන්නවා. 

ආණ්ඩුව තමයි රාජ්‍යයට හැඩයක් දෙන්නේ. ලංකාවේ ආණ්ඩු හදල තියෙන කිසිම හැඩයකින්, සමාන තත්වයක් යටතේ හැම පරමාධිපතියෙකුගෙම පුද්ගලිකත්වය නියෝජනය වෙලා තියෙනවද ? 

සාම ගිවිසුම කාලේ තමිල් ඊලම් පාලන ප්‍රදේශයේ ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. ඒකෙදී ඇන්ටන් බාලසිංහම් හිටපු උපදේශක කියනවා "දකුණේ අගමැති රනිල් වික්‍රමසිංහ;අපේ අගමැති ප්‍රභාකරන්" කියලා. මේකේ තාර්කික පදනම තමිල් ජනතාවගේ සහභාගීත්වයක් නැතිවයි මේ ඡන්ද ප්‍රතිඵලය ආවේ කියන එක. ඡන්ද වර්ජන ව්‍යපාර හරහා එයාල මේ චිත්‍රය වඩා හොදින් පැහැදිලි කළා. තමිල් ජනතාව ඡන්දය දුන්නාමත්, ඒ ඡන්ද බලරහිතයි. හැමදාම සිංහල-බෞද්ධ බහුතර ආධිපත්‍යයේ ආණ්ඩුවක් ඇතුළේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු වෙස්මූණක් සරසන්න බලරහිත නියෝජිතයෝ ටිකක් ඉන්නවා. මුළු තමිල් ප්‍රදේශයම මුළු හයිය දාල සියළු නියෝජිතයෝ තෝරල එව්වත් ඒ අය නොතකා තීන්දු ගන්න මේ පාර්ලිමේන්තුවට කවදත් පුළුවන් වුණා. සිංහල විතරක් රාජ්‍ය භාෂාව කළේ එහෙමයි. බුද්ධාගම රාජ්‍යාගම කළේ එහෙමයි. තමිල් ප්‍රදේශවල නියෝජිතයෝ හැමෝම විරුද්ධ වෙද්දී ඒ ප්‍රදේශ පාලනය කරන්න සාමාන්‍ය නීතිය අකුලලා හදිසි නීතිය තීන්දු කළේ එහෙමයි. පස්සේ මේ වෙද්දී දකුණට ම පාරා වලල්ලක් වුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ බිහිසුනු අසික්කිත පනත් සම්මත කරගත්තේ එහෙමයි. ප්‍රධාන විපක්ෂය හැටියට බහුතර බලයක් ඇතිව හිටපු වෙලාවේ 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැත් පාර්ලිමේන්තුවේ නියෝජිතත්වය අහිමි කළේ එහෙමයි. ඉතින් මේ නියෝජිතත්වය බොරු. ඒ බව එයාලා ඡන්දවලින්, ඊටත් වඩා ඡන්ද වර්ජනයෙන් ඔප්පු කරල පෙන්නුවා. 

මේ කතාව මුස්ලිම්  ජනතාව ගැනත් ඇත්ත. කතෝලික ඇතුළු කිතුනු ජනකොටස් ගැනත් ඇත්ත. 52%ක් වන ගැහැණු ජනගහනය ගැනත් ඇත්ත. LGBTQ+ප්‍රජාව ගැනත් ඇත්ත. නිරාගමික ප්‍රජාව ගැනත් ඇත්ත. තව තව බොහෝ දෙනෙක් ගැනත් ඇත්ත. 

මෙහෙම බැලුවා ම මේ හදල තියෙන ආණ්ඩු ආකෘති ඇතුළේ මේ නීති හැදීමේ වැඩේ, මුදල් ඇතුළු ආර්ථිකය පාලනය කිරීමේ වැඩේ, නීති ක්‍රියාත්මක කිරීමේ වැඩේ, යුක්තිය පසිදලීමේ උසාවි වැඩේ වගේ හැම දෙයක් ම පරමාධිපතිල සැළකිය යුතු ප්‍රමාණයක් එළියෙන් තියලා කරන ක්‍රමයක් තියෙන්නේ. එහෙමනම් ලංකාවෙන් අපි බැහැර කරල, රටක් නැති වැස්සෝ බවට හොර රහසේ පත් කරලා. ඇත්තටම රට අයිතිකාරයන්ට ඒක මෙහෙයවගන්න පහසු වෙන්න අපි අතර කොටසක්, වැඩි කොටසක් 'මේ රටේ අයිතිකරුවෝ' කියල අන්දවලා තියෙන්නේ.  ඒ උන්නැහෙලත් ඇදගත්ත එක හරියටම කරලා!!

සරලවම කීවොත් තමන් ගේ පරමාධිපතිවරුන් විසින් සුජාත විදියට දීපු නැති බලයක් මේ වැඩ කරන්නේ. 


ඒ නිසා ඒ ආණ්ඩු ආකෘතියම වෙනස් කරලා, අළුත් රාජ්‍යයක් හදන අභියෝගය දිනාගත්තේ නැත්නම් ලංකාව කියන්නේ තවදුරටත් මිථ්‍යාවක් කියන එක වැඩිකලක් හංගගෙන ඉන්න වෙන්නේ නෑ. 


පටන්ගන්නවනම්, ෆෙඩරල්-අනාගමික ලංකාවක්...ඊට මිලිමීටරයක්වත් මෙහායින් තේරුමක් නෑ 


Thursday, April 7, 2022

රාජ්‍ය ද්‍රෝහීන් වන්නෝ ජනතා ද්‍රෝහීයෝ ම ය !

 1794 දී ප්‍රංශ සමූහාණ්ඩුවේ සහාය ඇතිව ඕලන්ද සමූහාණ්ඩුවාදීන් එරට රාජාණ්ඩුව පෙරලා දැම්මා. මේ වෙලාවේ ඕලන්ද පාලකයා ව හිටපු 5 වැනි විලියම් කුමාරයා එංගලන්තයේ කියු මාළිගාවේ රැකවරණය ලබමින් සංදේශයකින් නියෝග කළා, ලංකාවේ ලංදේසි පාලන ප්‍රදේශවල ආරක්ෂාවත් බ්‍රිතාන්‍යයට බාර දෙන්න කියලා.  ෆන්එංගල්බෙක් ආණ්ඩුකාරයා ඇතුළු ලංකාවේ ලංදේසි පාලනය උභතෝකෝටිකයකට මූණ දුන්නා, දැන් කොයි ආණ්ඩුව ද ඕලන්ද රාජ්‍යය හැටියට බාරගන්නේ කියලා. තීන්දුව වුණේ රාජාණ්ඩුව ප්‍රතික්ෂේප කරල සමූහාණ්ඩුව පිළිගන්න. 


ෆන්එංගල්බෙක් මූණ දීපු ප්‍රශ්නය ම නොවුණත් සමාන ප්‍රශ්න විටින් විට අපි කාටත් මතු වෙනවා. හේතුව වෙන්නේ රාජ්‍යයක් සහ ජනතාවක් අතර සම්බන්ධය ගැන නොදන්නාකම නැත්නම් ඒක හංගන තක්කඩිකම ! 


රාජ්‍යය කියන්නේ එකක්; රජය හෙවත් ආණ්ඩුව කියන්නේ තව එකක්.

සාමාන්‍ය කටවහරින් 'රජයේ සේවකයා' කියා කියන්නේ 'රාජ්‍ය සේවකයා' ට මිස 'ආණ්ඩුවේ සේවකයා' කියල කෙනෙකුට නෙවෙයි. 

රාජ්‍යයට තියෙනවා අති දැවැන්ත බලයක්. ඕකට කියන්නේ 'ස්වාධිපත්‍යය' බලය කියලා. 

ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ යම් දේශසීමාවක් ඇතුළේ ඉන්න ජනතාවක් නැත්නම් සමාජයක් මත. ඒ වගේ ම ඒ බලයේ හිමිකරුවෝ වෙන්නෙත් ඒ අයමයි. 

මේ නිසයි අපි කියන්නේ ජනතාවට 'පරමාධිපත්‍ය' බලය තියෙන බවක්. 

දැන්, අර රාජ්‍යයට තියෙනව කියල අපි දැනගත්ත මාර බලය, ඒ කියන්නේ ස්වාධිපත්‍ය බලය, ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුවක් පත් කරගන්නේ. ආණ්ඩුව ඒක කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් ව. ඒ වගේ ම ආණ්ඩු තාවකාලිකයි. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ඒකත් එක්ක බලද්දී සදාකාලිකයි. 

මේ නිසා යම් ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ නම්, ජනතා පරමාධිපත්‍යයට එකග ව වැඩ නොකරනවනම්, තව දුරටත් ඒ ආණ්ඩුවේ වලංගුභාවයක් ඇති වෙන්නේ නෑ.  

එහෙම ආණ්ඩුවක නියෝග තවදුරටත් පිළිපදින රාජ්‍ය සේවකයකු එහෙම කිරීමෙන් රාජ්‍ය විරෝධියකු බවට පත් වෙනවා කියන එකයි මේකේ තේරුම. ඒ තේරුමෙන් ම ඒ තැනැත්තා ජනතා ද්‍රෝහියකු ද වෙනවා. 

හැබෑ රාජ්‍ය සේවකයා, මොන හේතුවක් නිසාවත් ජනතා පරමාධිපත්‍යයට පිටු නොපෑ යුතු බව මේ කාලයේ සිහියට නගා ගත යුතු පාඩමක්.

Thursday, March 31, 2022

දේශපාලනය ඇලජික් වීම ද රෝගයකි.

 රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒම බර ඓතිහාසික වරදකි. විශේෂයෙන් ම සිවිල් සමාජයකට ඇති ඉඩ හකුලා, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අව්‍යජ ඉලක්ක සහ වැඩපිළිවෙළක් ඇති ක්‍රමයක් ලෙස තේරුම් ගත් විටද එය බර වරදකි. මේ නිසා වුව ද රාජපක්ෂලා එළවා දැමිය  යුතු ය. ඒත් ඒ එක් රාජපක්ෂ කෙනෙකු වෙනුවට වෙනත් රාජපක්ෂ කෙනෙකු සිංහාසනාරූඪ කරවීමට ද ? (නම වෙනස් වුණත් කුමන විදියකින් හෝ රාජපක්ෂ කෙනෙක්?)

ඉතින් මේ 03 වෙනිදා හෝ යම් දවසක රාජපක්ෂ පළවා හැරියොත්, එකී දවසට පසු දින සිට ආණ්ඩුව කාගේ ද ? එහි බලය හොබවන්නේ කවුරුන් ද ? අදත්, එදාටත් 'ආණ්ඩුව' නොවන අප වැනි අයට(කෙනෙක් මේ පිරිස 'සිවිල් සමාජය' ලෙස ද හදුන්වාගන්නට කැමති ඇති) මේ ප්‍රශ්නය අති වැදගත් නො වේ ද ? ඒ මානව හිමිකම්, විවෘතභාවය, වගකීම හා වගවීම, ජාතින්-ජනවර්ග, ලිංගික සමාජභාවි ආදි සියළු ජනකොටස් සම්බන්ධයෙන් සමානාත්මතාවය, වින්දිතයන්ට යුක්තිය, පෞද්ගලික නිදහස ආදිය පිළිගන්නා, භාවිත යාන්ත්‍රණ තනන ආණ්ඩුවක් වීම අපේ අවශ්‍යතාවයක් නො වේ ද ?
ආණ්ඩු කිරීම මේ කියන 'සිවිල් සමාජයේ' කටයුත්තක් නොවන  බව ඇත්ත ය. ඒත් ඒ නිසාවෙන් මේ කාර්යභාරයන් දෙක එකිනෙකින් මුළුමනින් ම වෙන් කර සැළකීම ද බර වරදක් නො වේ ද?
ඉතින් දේශපාලනයත්, දේශපාලන පක්ෂ හා කණ්ඩායමුත් බහුජන ව්‍යාපාර නැත්නම් සිවිල් සමාජය නැත්නම් ඒ මොකක් හෝ ආණ්ඩුව නොවන එකක් හැදීමේ දී නොතකා වැඩ කළ හැකි හෝ කළ යුතු එකක් නො වේ. එක ම දේ දේශපාලන පක්ෂය  ආණ්ඩුව අත් කර ගත් විට ද එහි නිරෝගී හැඩයක් වෙනුවෙන් එළියේ සමාජයේ බලපෑම් කිරීමේ හැකියාව ශක්තිමත් ව පවත්වා ගැනීමයි.
ඒ අනූව එවැනි සමාජයක් අපට අවශ්‍ය ය. ඒ සමාජයේ අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ස්වාධින තනි තනි පුද්ගලයන් බව ඇත්ත නමුත් ඒ තනි තනි පුද්ගලයා එකී සමාජය වෙන්නේ ද නැති බවත් ඇත්ත ය. ඒ නිසා පුද්ගලයන් ආණ්ඩුව තුළට යනවාද නැද්ද යන්නත් මේකට ඒ තරමට අදාල නැත. කවුරු ගියත්, ආවත් සමාජය, ආණ්ඩුව බවට පත් නො වී, එහි අනෙකා ලෙස සිටිය යුතු වේ. 

සිවිල් සමාජයක් මොකටදැයි ඇතැමෙක් අසති. ඕකට මගේ පිළිතුර නම් ඕක ය.

මේ නිසා අප්‍රේල් 03 වැනිදා යෝජිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් පවතින අවුල් වියවුල් මොනවා වුණත්, දේශපාලන පක්ෂ මැදිහත්වීම වැළැක්විය යුතු හෝ කළ හැකි දෙයක් නො වේ. NGO සම්බන්ධයෙන් ද කතාව මේකම ය. ඒ කවුරුත් සිය අනන්‍යතා සහිත ව යා හැකි තරම් දුරකට පමණක් සම්බන්ධ වීම කළ යුත්තකි.  ඒ ඒ අය ගේ දුර ඉවර වී, වෙන ම ගමන් පටන් ගන්නා කළ, අනාථ ව-අසරණ ව  "අන්න අපිව තනි කරල යනෝ; අපටත් බැරියෝ" කියා ලතෝනි නො දෙන සමාජයක් ගොඩ නගා ගැනීම අප හමුවේ ඇති ඇත්ත අභියෝගයයි.
"වෙනස් කළ යුත්තේ පාලකයන් නො ව ජනතාව ය" යයි කියන බර්ටෝල්ට් බ්‍රෙශ්ට් ගේ කතාව මට හොදට ම තේරෙන්නේ  ඒ අරුතිනි. 

Thursday, February 3, 2022

විසි නවේ දෙක එච්චර ම ඇලජික් වෙන්න ඇත්තේ ඇයි ?

 


29(2) ඒ තරම් ඇලජික් වෙන්න ඇත්තේ ඇයි ?
පෙබරවාරි 04 කියන්නේ ලංකාවේ ඉන්නවනම් ඒක හිතන්න පට්ට දවසක් !
1947 සොල්බරි ව්‍යවස්ථාවේ 29(2) අනුව්‍යවස්ථාව ගැන එක එක විදියේ අර්ථකථන හමු වෙලා තියෙනවා. එක එක විදිය කියල කිව්වට ගොඩක් වෙලාවට එක ම විදියක තමයි. ඒ ඔක්කොම වගේ හැබෑ විදිය හැර අනිත් ඒවා !
මෙන්න මෙහෙමයි ඔරිජිනල් කතාව..

29(2)No such law shall,
(a) prohibit or restrict the free exercise of any religion; or
(b) make persons or any community or religion liable to disabilities or restrictions to which persons of other communities or religions are not made liable;or
(c) confer on persons of any community or religion any privilege or advantage which is not conferred on persons of other communities or religions; or
(d) alter the constitution of any religious body except with the consent of the governing authority of that body
දැන් මේක සරල සිංහලට දැම්මොත් මම කියවගන්නේ මෙහෙමයි.
'යම් ජනකණ්ඩායමකට හෝ ආගමකට, අනිත් ඒවාට නැති විශේෂ තත්වයක් හෝ වරප්‍රසාදයක් දෙන, නැත්නම් අනිත් අයට ඇති අයිතිවාසිකමක් අහිමි කරන ආකාරයේ නීතියක්වත්, යම් ආගමික ආයතනයක පිළිගත් නායකත්වයේ එකගතාවයෙන් බැහැර ව ඒ ආගමික සංවිධාන ව්‍යුහ වෙනස් කරන නීතියක්වත් පැනවිය නොහැක'
මේ ගැන එල්ල වුණ බරපතල ම විවේචනය තමයි මේකෙන් අපේ 'නිදහස' ට විලංගුවක් දාල කියන එක. මේ ටික කියව ගන්න කොට ම තේරෙනව නේ මොන වගේ කර්තව්‍යයකට ඇති 'නිදහසක්' ගැන ද මේ ප්‍රශ්නය ආවේ කියලා !
ඕන්න තවත් තර්කයක් තිබුණා, මේක අපේ පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමක්, අඩු කිරීමට පනෝපු සීමාවක් කියලා. ඒ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක් කියලා. ඒ කියන්නේ ඒ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' හැටිත් එහෙමයි කියල තේරුම් ගතෑකි නේ !
තවත් තර්කයක් තමයි මේකෙන් රැකවරණයක් දෙන්නේ සුළුජාතීන්ට විතරක් නිසා ජාතිවාදී හැඩයක් ගන්නවය කියන එක. ඔන්න ඔහොමයි ලු 'ජාතිවාදය'! මේ නිසා 'මූලික හිමිකම්' වගේ පොදු රැකවරණයකින් මේක හෝදල දාන්න ඕන කියල මේ කට්ටිය අළුත් ව්‍යවස්ථාවක් ගෙනාවා. 1972 ගෙනාපු මේ ව්‍යවස්ථාවේ 'මූලික අයිතිවාසිකම්' (වලින් කොටසක් ලස්සන බෝල බෝල අකුරෙන්) අච්චු ගහල තිබුණා. ආතල් ම කතාව කියන්නේ පොදුවේ ඒ ඔක්කොම කඩ වෙලා ගියත් කරන්න දෙයක් නෑ!!
දැන් ඔය සුළු ජාතීන්ට විතරයි මේකේ වාසිය කියන තර්කයට පදනම් වුණ වචනයක් හොයාගන්න මම මේක උඩ-යට මාරු කර කර කියවල බැලුවා. ම්හු! හොයාගන්න නෑ.
මහජාතියෙන් සුළු ජාතියට මිසක සුළු ජාතියෙන් මහා ජාතියට මේ වගේ හිමිකම් උදුරගැනීමක්, අවස්ථා නැති කිරීමක් වගේ ම විශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබාගැනීමක් කියන එක ප්‍රායෝගිකව ඇත්ත නොවන බව දන්න නිසා වෙන්න පුළුවන් ඒ කට්ටිය ඕව ඔහොම තේරුම් අරන් තියෙන්නේ.
ඉතින් ඔය වගේ හේතු ඉදිරිපත් කරල, අවස්ථාවක් ලැබුණ මුල් ම වෙලාවේ දී ම 29(2) එක්ක සොල්බරි ව්‍යවස්ථාව කුණු බාල්දියට දැම්මා කියමු කෝ.
නෑ; ඇත්ත ම කතාව ඊටත් කලින් ම මේ 29(2) ට කෙලවල තිබුණේ මෙහෙ උන්දැල වගේ ම එහෙ උන්දැලත්.
හ පුරා කියලා නිදහස් ලංකාවේ මුල් ම පනත 1948(18) පුරවැසි පනත. කොඩක්කන්පිල්ලෛ එදිරිව මුදන්නායක නඩුව එංගලන්තයේ ප්‍රිවී කවුන්සිලය දක්වා ම යනවා. ඒත් ඒ ඉහළ ම තැන තීරණය වෙන්නේ 'තමන්ගේ පුරවැසියෝ වෙන්නේ කව්ද නැත්තේ කව්ද කියල තීරණය කරන්න මේ රටේ පාර්ලිමේන්තුවට බලේ තියෙනව' කියල. කේස් ක්ලෝස්. නිදහසේ මුල් ම පනතින් ම
ලක්ෂ ගානක් වතුකර තමිල් ප්‍රජාවට තමන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වුණ බිමේ පුරවැසිභාවය නැති කරල දානවා, 29(2) ජෝක් කරලා ! ඊළගට 1956 (33) රාජ්‍ය භාෂා පනත. සිංහල විතරක් තනිකර රාජ්‍ය භාෂාව කිරීමෙන් විශේෂ තත්වයක් ලබා දීමකුත්, අයිතීන් උල්ලංඝනයකුත් දෙක ම වෙන බව කියා ගෙන කේතීස්වරන් යනව නීතිපති ට නඩුවක් දා ගෙන, ප්‍රිවි කවුන්සිලේ වෙනකම්. එතැනදී කෑගල්ලේ කේතීස්වරන් ගේ කතාව මේ ඉහළ ම උසාවිය පිළිගන්නවා. ඒත් මොකද වෙන්නේ ? මුකුත් ම නෑ. ලංකාව දන්නේ නෑ වගේ ඉන්නවා. එංගලන්තේ..? උන්දැලත් දන්නෙ නෑ වගේ ඉන්නවා.
ඕං ඔහොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුණත් නිදහස් ලංකාවට මහ කජුපුහුලමක් නොවෙන බව ඔප්පු කරනවා මුල් ම මොහොතේ ඉදන්.
සොල්බරි ව්‍යවස්ථා සම්පාදකයෝ ඔය 29(2) ඇතුල් කරන්නේ ඒ වෙලාවේ තමිල් මහා සංගමය කියල එකතු වෙලා හිටපු තමිල්-මුස්ලිම් එකතුව ගෙනාපු යෝජනා කුණු කූඩෙට දාලා. එයාල ඉදිරිපත් කළා 50:50 කියල යෝජනාවක්. පාර්ලිමේන්තුවේ මහජාතියෙන් බාගයයි;සුළු ජාතීන් ඔක්කොමත් බාගයයි. ඕනෑම සාමාන්‍ය පනතක් සම්මත කරගන්න දෙගොල්ලන්ගෙන් ඕන කෙනෙකුට අනිත් පැත්තෙන් එක්කෙනෙක් හරි ඕනමයි. ව්‍යවස්ථාවක් වගේ එකකට අදාලනම් 2/3ක් එකග කරගන්න ඕන. ඕකට ගැහැව්වා 'ජාතිවාදි' කියල.සොල්බරි කොමිසම කිව්වා, 'අපි ඒ වෙනුවට පට්ට විසදුම් මල්ලක්ම දානවා' කියලා. ඔන්න ඒකේ උඩින් ම තිබුණේ මේ 29(2) !!
ඊට පස්සේ තව තිබුණා, නාමකරණයෙන් පත්කිරීම්. සෙනෙට් සභාවේ 30 දෙනාගෙන් 15 දෙනෙක්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 06 දෙනෙක් ආදි වශයෙන්. ඒ අය පත් කරන්නේ කිරීටය නියෝජනය කරපු, රාජ්‍ය නායකයා වුණ අග්‍රාණ්ඩුකාරවරයා. උන්නැහේ පත් කරන්නේ එංගලනතේ කිරීටයෙන් වුණාට මෙහෙ අගමැතිගෙන් අහලා. මෙහෙ පාර්ලිමේන්තුවට පුළුවන් උන්නැහේ අයින් කරන්න යෝජනවක් සම්මත කරන්න. ඉතින් මෙතැනදීත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩකෙරුවේ මහජාතියේ ඒකාධිපතිවාදයක් ඇතුළේ. අග්‍රාණ්ඩුකාරට අගමැති ගේ හොද හිත ඕන. අගමැතිට බහුතර ජනයාගේ හොද හිත ඕන. බහුතර ජනයා වැඩියෙන් ම කරදරයක් නැතිව අන්දගන්න පුළුවන් ඒ බහුතරයේ ජාතිවාදී සූට් එකට බස්සවලා.
ඉතින් නාමකරණයෙන් පත්වුණ උන්දැල ඔය මේ කාලේ ඉන්න ඩග්ලස් දේවානන්ද, කරුණා අම්මාන්,පිල්ලෙයාන්, අලි සබ්රි වගෙ පොරවල් හැටියට කදිමෙට ඒ ජනප්‍රජාවන් අද වගේ ම නියෝජනය කරන්නැති නේ !
උතුරු නැගෙනහිර වගේ ම වතුකරයටත් සංවර්ධන ව්‍යාපෘති ගලා ගියේ නෑ. උතුරේ විතරක්වත් අඩු ම ගානේ ලොකු ම බලාපොරොත්තු තිබුණේ අධ්‍යාපනය හරහා රාජ්‍ය සේවයට එන එක. සිංහල බහුතර පාලනය යටතේ රාජ්‍ය සේවයට මොනව වෙයි ද කියන සැකයට සොල්බරි ලා දීපු උත්තරයක් රාජ්‍ය සේවා කොමිසම. ඒකටනම් කෙළින් ම අග්‍රාණ්ඩුකාර ට පුළුවන් තුන්දෙනෙක් පත් කරන්න, සුදුසුකම් අනූව. ඒත් අර හොදහිත කේස් එක එතනත් වැඩ නොකරන්නේ කොහොමද !
අධිකරණ සේවා කොමිසම දාලා අධිකරණයේ ස්වාධීනත්වයක් ඇති කරන්න දීපු පොරොන්දුවත් ඔය කේන්දරේ ම ලියාගෙනයි ඇවිත් තිබුණේ.
විසදුම් මල්ලේ තවත් එකක් බහුමන්ත්‍රී කොට්ඨාස. මැදකොළඹ වගේ තැනක සිංහල, තමිල්, මුස්ලිම් වගේ ජනවර්ග තුනෙන් ම නියෝජතයෝ 1,2,3 කියල පත්වෙයි කියල කොමිසම බලාපොරොත්තු දුන්නා. ඒ වගේ දෙන්නෙක් පත් කරගන්න කොට්ඨාසත් තිබුණා. පත් වෙලා බලන කොට එක ම වර්ගයේ දෙන්න තුන්දෙනා !
50:50 සමච්චලයෙන් විසි කරපු සොල්බරි කොමිසම තක්කඩිකමක් නෙවෙයිනම් ඒ කළේ පට්ට ම පට්ට නාගැනිල්ලක් බව පස්සේ තේරුම් ගන්න ඇති. බ්‍රෙස්ගර්ඩල් චරිතාපදානයට පස්සේ කාලෙක පසුවදනක් ලියන සොල්බරි සාමි පාපෝච්චාරණයක් කරන්නේ ඔය තත්වය උඩ වෙන්නැති. ඒත් ලංකාවේ යථාර්ථය වෙන්නෙ පාපෝච්චාරණ නෙවෙයි පාප අඛණ්ඩතාවය !
1972 දී සිංහල භාෂාව තනිකර රාජ්‍ය භාෂාව විතරක් නෙවෙයි රාජ්‍යයට නිල ආගමක් හැටියට බුද්ධාගම ඇතුල් කරවලා, (බුදුදහමේ දාර්ශනික ආගමික හරයක් ඉතිරි වෙලා තිබුණනම්, අන්තිම ටිකත් ෆ්ලෂ් කරල දාල)  ව්‍යවස්ථාවෙන් ම සිංහල බෞද්ධ රාජ්‍යයක් හදා ගන්නවා.'එක බසක් නම් රටවල් දෙකයි' කියපු කට්ටියම තමයි මේ ව්‍යවස්ථාව ලියන්නෙත්! ඒ අනූව එයාල ලංකාවේ පරම්පරා ගානකට ඉතිහාසයත් ඉදිරියට ලියල දානවා. ජාතික රාජ්‍ය සභාව කියපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් හා ඔවුන් අතරින් පත් වුණ අගමැති ප්‍රමුඛ ඇමැත්තන් නැවත ලොකු පොඩි රජවරු බවට පත්වෙනවා. ඒකට විරුද්ධව කැරලි ගහපු ජවිපෙ ඊටත් ඉහළින් නියෝජනය කරන්නේ ඔය සිංහල බෞද්ධ රාජ්‍යය ම තමයි. 1977 ජේආර් යුගයෙදී 83 කළු ජූලිය නිර්මාණය කරල එළිබස්සද්දී, ජවිපෙත් 'දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය' හැටියට තමන් ගේ ඉදිරිමග තනා ගන්නේ ඔය පාරෙම ඉස්සරහට යමින්.
දැන් මේ හැමෝම අඩු වැඩි වශයෙන් පෙන්නන්න ට්‍රයි කරනවා 2009 දී අළුත් යුගයක් හැදුව කියලා.
සමහර විට ප්‍රශ්නය තියෙන්නේ කව්ද ඒකේ සුජාත තාත්ත කියලා!
ඉතිහාසය පුරා ම මේ ලංකා පොළොව මත්තේ ජීවත් වෙන අපි, ලංකාව කියල එක රාජ්‍යයක් හදාගන්න අද වෙන කොටත් ගිය ගමන් ඔක්කොම ෆේල් නැද්ද ? සිංහල-බෞද්ධ රාජ්‍යයක් හැටියට ලංකාව රීකන්ඩිෂන් කරන්න යන ප්‍රොජෙක්ට් එක නිසා ම මේ භූමිය මත්තේ වාසය කරන, මේක පෝෂණය කරන සියළු මිනිස්සු එකතු කර ගෙන ගොඩ නගන ඇත්ත ලාංකීය ජාතිය ගොඩ නගා ගන්න අපි අදටත්, හැමදාටමත් ෆේල් වෙන බව තේරුම් ගන්නේ කවදා ද ? එතෙක් ලංකාව කියල රාජ්‍යයක්වත් සාර්ථක ව හැදෙන්නේ නෑ කියල තේරුම් ගන්නේ කවදද ? 
අපි අතර ජීවත් වෙන තමිලා ගේ, මුසල්මානුවාගේ විතරක් නෙවෙයි, බර්ගර් වාර්ගිකයාගේත්, චීනාගේත්, වැදි ගෝත්‍රිකයාගේත් සමානත්මතාවය තහවුරු කිරීම මග හරින තුරු අර කියන හැම වර්ගයක ම අනිත් අර්බුදත් අපි අතර ම පවතීවි.