Monday, October 21, 2019

උපරිම නොසුදුස්සා වැළැක්වීම සඳහා අඩු නොසුදුස්සා තෝරාගැනීම ට සිදු වීම...

2020න් පටන් ගන්නා අවුරුදු පහකට නැත්නම් තව කාලයකට ලංකා දූපතේ ජනාධිපති ජොබ් එක ට තිස්තුන්දෙනෙක් අතරින් එ⁣ක් කෙනෙක් පත්කරගැනීමේ අවසන් මහා පරීක්ෂණය අත ළඟ ය; නොවැම්බර් 16 ය. දෙකෝටියකට වැඩි නරපනුවන් වෙනුවෙන් එක්කෝටි හැටලක්ෂයක තරම් පරීක්ෂණ මණ්ඩලය ට සුදුසුකම් ලබා ඇත. එසේ නමුත් ඒ හැමෝ ම මේ වැඩේ ට සහභාගී වන්නේ නැති බව හැමෝ ම වාගේ දනිති. පෙරපුරුදු අනූව මින් එක්කෝටි විසිලක්ෂයක් මේ ඉන්ටවීව් බෝඩ් එකට වාඩි වුණොත්, නීතියේ හැටියට 50%කුත් තව එකකුත් ජොබ් එක සඳහා අවශ්‍ය බැවින් තිස්තුනෙන් කවුරු හෝ හැටලක්ෂයක් පමණ ඡන්ද ලැබිය යුතු ය. තිස්තුනක් ම ඉල්ලනවා වගේ පෙනුනාට ජොබ් එක ගැන ඇත්ත ම ඕනෑකමකින් ඇත්තේ දෙන්නෙක් පමණි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් සහ පොදුජන පෙරමුණේ ගෝඨාබය ය. තුන්වැන්නා ජාතික ජනතා බලවේගයේ නමින් එන ජවිපෙ හි අනුර ය. හිටපු හමුදාපති මහේෂ් ලා ගේ කණ්ඩායම ද සැලකිය යුතු සටනක් දෙනු ඇත. පෙනී යන විදියට අනුරලා ගේ පැහැදිලි වර්ධනයකි. එහෙයින් මේ වතාවේ එක වටයෙන් 50% පැන්නීමට කිසිවෙක් සමත් නො විය හැක. එවැනිපවිටක දී ලංකාවේ නීතිමය ප්‍රතිපාදනය ඇත්තේ අන් සියළු අපේක්ෂකයන් ගේ ඡන්දදායකයන් පළ කර ඇති දෙවැනි මනාප ඇත්නම් ඒවා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හරිමින් යළි ගණන් කිරීම ය.
මගේ තක්සේරුව මේ වර ඒ දෙවන වටය අවශ්‍ය වනු ඇත යන්න ය. දන්නා සෙල්ලම් සියල්ල දමාත් තනි බහුතරය දිනාගන්නට සමත් එකෙකුවත් මෙතැන හෝ කොතැනවත් නැති වනු ඇත !
දැන් මේ 'පරීක්ෂණ මණ්ඩලයේ' ගරු සාමාජිකයකු වන මේ මම ද යළිත්, යළි යලිත් උභතෝකෝටික ගැටළුවක ට මුහුණ පාමින් සිටිමි.
තිස්තුනක් තබා තිස්තුන්දාහක් අතරිනුදු ඇත්ත මා නියෝජනය කරන්නේ කවුදැයි මට සොයා ගත නො හැක !
ඒ අනූව මට ඇත්තේ සුදුස්සන් තේරීම පිළිබඳ ගැටළුවක ට වඩා නුසුදුස්සන් අතරින් අඩු ම නුසුදුස්සා තෝරාගැනීමේ ගැටළුවයි !
වැඩි ම නුසුදුස්සා ගෝඨාභය ය ! ඒ හැර වෙන ඕනෑ එකෙක් මට ඒ හැටි ගැටළුවක් නො වේ. ඒ බෙදුම් රේඛාව මට පරිපූර්ණ ලෙස ම පැහැදිලි ය. ගෝටා ගේ පරාජය යුක්තිය, සාධාරණත්වය, නිදහස උදෙසා අත්‍යාවශ්‍ය කොන්දේසියකි. කාට හෝ පැහැදිලි මදිනම්,අවංක කතාබහක් අපේක්ෂා කරන්නේනම් ඒ වෙන ම කතා කරන්න ට මම කැමැත්තෙමි. දැන් මගේ දෙවන ගැටළුව ඇත්තේ ගෝටා පරාජය කළ හැක්කේ කොතැනින් ද, නැතහොත් කා මගින් ද යන්නයි. මෙතැන දී සජිත් යනු එජාපය තුළ කරූ, චම්පික තරම් ම ඒ සඳහා නුසුදුස්සෙකි. මේ වන විට ද ජනාධිපතිවරයා ට අයත් නොවන බලතල (ඇමති පත්කිරීම් වැනි) අතට ගන්නට ගෝටා මෙන් ම සජිත් ද වැැඩ කර ඇත. එහෙත් එක ම සැනසීම ප්‍රමාණවත් ව භාවිතා නො වූව ද, පොදුජන පක්ෂය හෝ ශ්‍රීලනිප හෝ නාමමාත්‍රික පක්ෂයක ට වඩා එජාප ය තවමත් සාපේක්ෂ සංවිධාන විනයක් රැතගැනීම ට සමත් වීමයි. එහෙත් එය ප්‍රමාණවත් නැත ! ඒ අතින් ඉහළ ම පක්ෂ විනයක් ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරය නමින් දැන ට පෙනී සිටින ජවිපෙ ය. ඒ සංවිධාන විනය ඇත්ත වශයෙන් ම භාවිතා වන්නේ ගෝටා,සජිත් විසින් ඔසවා තබන සම්ප්‍රදායයන් ම රැකීම ට මිස අභියෝග කිරීම ට නො වන බව දනිමි. ඉතින් ඒ විනය කුමට ද !
මට මේ මහබලවතුන් තිදෙනා ම මගේ නියෝජිතයා ලෙස පිළිගැනීම ට තරම් සුදුසු නො වේ. එහෙත් මට නියෝජිතයකු නැත. මා වැන්නකු මේ දූපත මත කිසිසේත් ම 'නියෝංනය' වන්නෙකු නොවෙයි.
මම 'දේශපාලන' විරෝධයකු නො වෙමි. එය මට ජීවිතය තරම් ම ය. ඒ තරම් සීරියස් වන නිසා ම මම මෙ වැනි උභතෝකෝටිකයක සිර වූවා විය හැක.
ඉතින් මේ ජනාධිපතිවරණයේ දී මගේ නොතේරීම විය හැක්කේ කුමක් ද ?
මගේ ඡන්දය හෘදය සාක්ෂ්‍යය වෙනුවෙන් ද, දෙවැනි මනාපය උපක්‍රමික ඕනෑකම වෙනුවෙන් ද භාවිතා කිරීම ට මම තීරනය කළෙමි. එය අතිශය  සුළුතර ඡන්දයක් වනු ඇත.
මට එකඟ විය හැකි, ලංකාවේ වඩාත් ම තීරණාත්මක ගැටළු වෙනුවෙන් පරාජය පෙනී පෙනීත්, පෙනී සිටීම සඳහා අතිශය මෝඩ වූත්, අභීත වූත්, හිතුවක්කාර වූත් තීන්දුවක් ගත් සිවාජි ට මගේ ඡන්දය ප්‍රකාශ කරනු ඇත. එය බහුතර ඡන්ද සංඛ්‍යාවක් කරවීම සඳහා මට කළ හැකි අලයක් නැත. බහුතරය තීන්දු වන්නේ වෙනත් කොන්දේසි මත ය. ඒවා තීන්දු කරන්න ට තරම් ලංකාව මා වැන්නන් වැදගතුන් සේ නොසළකයි. ඉතින් මට උපක්‍රමිකව සමාන්තර තීන්දුවක් ගැනීම ට සිදු වේ. එනම් ලාංකිකයන් ගේ ⁣මුගිධ තේරීම් දෙක වන ගෝටා සහ සජිත් අතරින්, අතිබිහිසුනු ගෝටාගමනය වලක්වා ගැනිම සඳහා සජිත් ට දෙවන මනාපය සළකුනු කිරීම ය. එතැන සිටින්නේ අනුරනම් දෙවැනි මනාපය සඳහා ඔහු සුදුස්සා වනු ඇත.
මා  ඉදිරියේ ඇති ලාංකීය දේශපාලනයේ දෙබෙදුම මට ⁣විහිලුවක් හෝ සෙල්ලමක් නො වේ. උපරිම නුසුදුස්සා ඉවත් කිරීම වෙනුවෙන් ඊට අඩු නුසුදුස්සකු තෝරාගැනීම ට සිදු වීම මගේ කාලයේ යථාර්තයකි. ඒ ගැන තනි පුද්ගලික මට කළ හැකි දෙයක් නැත.

Tuesday, October 1, 2019

පඔයෙක් වෙන්නට පඹගාලක ට පනින පොරවල් !

ඕන්න, නොවැම්බර් 16, ජනාධිපතිවරණය ! 
ඒත්, කව්ද දන්නේ; අන්තිම වෙනකම් ඉඳල හරි දැන් ඉන්න ජනාධිපති මහ උසාවියෙන් ඇහුවොත් 'මාත් යන්න ඕන පහෙන් ද? ඕක අළුත් උන් ට විතරක් තියෙන එකක් නොවේද හිටං?" කියල, උසාවියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොත බලල අහකලා, "ඔව් නේන්නං" වගේ උත්තරයක් දුන්නොත් එහෙම !
(එහෙව් උත්තරයක් බලාපොරොත්තුවෙන් මඟ බලාන ඉන්න තවත් හිටපු ජනාධිපතියෙකුත් ඉන්නවා තිරය පිටුපස්සේ,"එහෙමනම් මටත් 'දෙපාරයි' කියන සීමාව අදාල නෑ" කියාගන්න)
මේ ඔක්කොම එහෙම හරි මෙහෙම හරි වෙන්නේ,'විධායක ජනාධිපති'  ක්‍රමය අයින් කරනවා- අයින් කරනවා කියන ටොම් පචේ 
මේ පාරත් යාවත්කාලීන කරන ගමන් කියල මේ පාරත් සැකයක් නැහැ ! 
මේක කවදාවත් වෙන්නේ නැහැ; හේතු දෙකක්.
එකක් තමයි, ඒ කියන විධායක ජනාධිපති කමෙන් ඇහිරෙනවා කියන 'ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය' ගැන හාල් කෑල්ලක තරම් හැඟීමක් අතිබහුතරයකට නැති එකයි; ඒක මේ අපේක්ෂක ප්‍රභූතන්ත්‍රය අවුලකින් තොරව දන්න එකයි. දෙවැන්න තමයි, ඇත්ත වශ⁣යෙන් ම 'විධායක ජනාධිපති ක්‍රමයක්' ලංකාවේ නැති එක ! 
(විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා කියන්න නමි වෙන ම ඡන්දයකින් පත් කරගන්න 'ජනාධිපතියෙක්: ඉඳල විතරකි බැහැ. ඇමති/කැබිනට් මණ්ඩලයක්, අගමැතියෙක් ඉන්න බැහැ.ඒ කියන්නේ විධායක බලය එහෙ මෙහෙ බෙදෙන්න බැහැ. ඕන්න හරි ම උදාහරණයක් ඇමරිකානු එක්සත් ජනපදය ) 
ලංකාවේ දැනුත් විරාජමාන වෙන 1978 ව්‍යවස්ථාව අනූව විධායක හෙවත් නීතිය ක්‍රියාත්මක කෙරෙන බලය තැන් දෙකකට බෙදල තියෙන්නේ. ඒ බෙදීම නාමමාත්‍රිකයි වගේ තමයි; ඒත් හයිය ඇති දෙගොල්ලක් අතරේ පාර්ලිමේන්තුවයි, ජනාධිපතිකමයි බෙදිල ගිය වෙලාව ට තමයි මේකේ ඇත්ත අවුල මතු වෙන්නේ ! ඒත් ඒකටත් හේතුව මෙහෙම විධායක බලය දෙපැත්ත ට බෙදීම ම නෙවෙයි. ඒ විදිය ට බෙදීම හෝ තනි බලයක් පිහිටුවීම කියන දෙකෙන් එකක්වත් හරියට නොකර ගේමක් ගහන්න ඉඩ තියපු එක !
මේ විදියට විධායක බලය තැන් දෙකක ස්ථාපිත කරන 'මිශ්‍ර විධායක' මොඩලය ට හොඳ ම නිදසුන ප්‍රංශයේ දැන් තියෙන ඩිගෝලියානු ව්‍යවස්ථාව. ලංකාවත් ගුරු කොට ගත්ත⁣ කියන මේ ඩිගෝලියානු ව්‍යවස්ථාව එක්කත් ගහපු ගේම තියෙන්නේ විධායකයේ කොටසක් වෙන අගමැති ඇතුළු ඇමති මණ්ඩලය විධායකයේ ඉන්න ගමන් ම ව්‍යවස්ථාදායකයෙත් ඉන්න එක(ප්‍රංශ මොඩලයේ දී විධායකය ට පත් වුණ ගමන් ව්‍යවස්ථාදායකයෙන් ඉවත් වෙනවා) මේක උපාවිච්චියෙන්(අවභාවිතයෙන්) තමයි 'මහරජු' ට ඇඳගත්ත මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ  අඳුරුතම අවධියක් නීත්‍යානුකූල කරගත්තේ.
යහපාලනයේ කානුව ට එහා අඩියක්වත් තියාගන්න අසමත් වුණ මේ ඩීල්පාල ආණ්ඩුව කාලේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් දිනා ගත් ලොකු ම ජයග්‍රහනය වෙන්⁣නේ (අර 'කානුව' ඉසව්ව) 19 වන සංශෝධනය. අවුල් ඇතිව හරි මේකෙන් අර ජනාධිපති ධූරය ට තියෙන ඒකාධිපති මට්ටමේ බලතල ඔළුව ට, ඇඟ ට ටිකක් දැනෙන තරමින් අඩු කළා. අර දවස් 51 විගඩම් කුමන්ත්‍රණය ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉවරයක් (?) කරගන්න පුළුවන් වුනේ ඔන්න ඕක උදව් කරගෙන. එතැන ඉඳන් 19 කීව ගමන් රජ හීනෙන් පෙළෙන ඕන ම සර්පයෙක් අඳු⁣කොල දැක්ක සයිස් එකෙන් පරල වෙන්නේ ඔන්න ඕකයි ! 
දැන් ඉතින් මේ ලියමන ඉවර කරගන්න උඩ ට ආයි කිට්ටු කරමු.  ඉවරයක් කරනව කීව ජනාධිපතිකම ඔන්න ඔහේ තවත් එකෙකුටත් දීල ම බලමු වගේ එකකින් එන නොවැම්බර් 16ත් ඡන්ද කෙළියක් කරගත්තොත්, ඒකෙන් වින් කරන සර්පයා ට ලැබෙන්නේ කොයි විදියේ බල විමානයක් ද ?
 නිල කාලය අවුරුදු පහයි; උපරිම දෙපාරයි.
පාර්ලිමේන්තුවේ එකඟතාවයක් නැතිව අන්තිම මාස 6 වෙනතුරු ඒක විසුරුවා හරින්න බැහැ.
අගමැති පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්. ඇමතිවරු නිර්දේශ කෙරෙන්නේ අගමැති මගින්. විෂයයන් බෙදද්දී අගමැති විමසිය යුතුයි. 
රාජ්‍ය සේවය, අධිකරණය ආදි විධායක- පරිපාලන- අධිකරණ ක්ෂෙත්‍රවල පාලනය ස්වාධීන කොමිෂන් හරහා. ජනාධිපති ට තියෙන පත්වීම් ලියුමට අත්සන තියන්න සිදු වෙන බලය විතරයි. 
මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට නීතිපති මගින් කැඳවිය හැකියි. 
ඔහොම ⁣ඔහොම බලා ගෙන යද්දී දැන් පත් වෙන ජනාධිපති කියන්නේ අර 'රජ' මේනියාවෙන් පෙළෙන උඩහ- පහළ කොයි උන්දෑටත් අනුව 'පඹ තනතුරක්' !!!
දැන් මගේ ප්‍රශ්නය මේකයි;
අර රාජකීය මානසිකත්වයක ඉන්න පට්ට පොරවල් මේ වගේ පඹයෙක් වෙන්න මේ තරම් පොරකන්නේ ඇයි ?
මේක