Thursday, March 31, 2022

දේශපාලනය ඇලජික් වීම ද රෝගයකි.

 රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒම බර ඓතිහාසික වරදකි. විශේෂයෙන් ම සිවිල් සමාජයකට ඇති ඉඩ හකුලා, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අව්‍යජ ඉලක්ක සහ වැඩපිළිවෙළක් ඇති ක්‍රමයක් ලෙස තේරුම් ගත් විටද එය බර වරදකි. මේ නිසා වුව ද රාජපක්ෂලා එළවා දැමිය  යුතු ය. ඒත් ඒ එක් රාජපක්ෂ කෙනෙකු වෙනුවට වෙනත් රාජපක්ෂ කෙනෙකු සිංහාසනාරූඪ කරවීමට ද ? (නම වෙනස් වුණත් කුමන විදියකින් හෝ රාජපක්ෂ කෙනෙක්?)

ඉතින් මේ 03 වෙනිදා හෝ යම් දවසක රාජපක්ෂ පළවා හැරියොත්, එකී දවසට පසු දින සිට ආණ්ඩුව කාගේ ද ? එහි බලය හොබවන්නේ කවුරුන් ද ? අදත්, එදාටත් 'ආණ්ඩුව' නොවන අප වැනි අයට(කෙනෙක් මේ පිරිස 'සිවිල් සමාජය' ලෙස ද හදුන්වාගන්නට කැමති ඇති) මේ ප්‍රශ්නය අති වැදගත් නො වේ ද ? ඒ මානව හිමිකම්, විවෘතභාවය, වගකීම හා වගවීම, ජාතින්-ජනවර්ග, ලිංගික සමාජභාවි ආදි සියළු ජනකොටස් සම්බන්ධයෙන් සමානාත්මතාවය, වින්දිතයන්ට යුක්තිය, පෞද්ගලික නිදහස ආදිය පිළිගන්නා, භාවිත යාන්ත්‍රණ තනන ආණ්ඩුවක් වීම අපේ අවශ්‍යතාවයක් නො වේ ද ?
ආණ්ඩු කිරීම මේ කියන 'සිවිල් සමාජයේ' කටයුත්තක් නොවන  බව ඇත්ත ය. ඒත් ඒ නිසාවෙන් මේ කාර්යභාරයන් දෙක එකිනෙකින් මුළුමනින් ම වෙන් කර සැළකීම ද බර වරදක් නො වේ ද?
ඉතින් දේශපාලනයත්, දේශපාලන පක්ෂ හා කණ්ඩායමුත් බහුජන ව්‍යාපාර නැත්නම් සිවිල් සමාජය නැත්නම් ඒ මොකක් හෝ ආණ්ඩුව නොවන එකක් හැදීමේ දී නොතකා වැඩ කළ හැකි හෝ කළ යුතු එකක් නො වේ. එක ම දේ දේශපාලන පක්ෂය  ආණ්ඩුව අත් කර ගත් විට ද එහි නිරෝගී හැඩයක් වෙනුවෙන් එළියේ සමාජයේ බලපෑම් කිරීමේ හැකියාව ශක්තිමත් ව පවත්වා ගැනීමයි.
ඒ අනූව එවැනි සමාජයක් අපට අවශ්‍ය ය. ඒ සමාජයේ අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ස්වාධින තනි තනි පුද්ගලයන් බව ඇත්ත නමුත් ඒ තනි තනි පුද්ගලයා එකී සමාජය වෙන්නේ ද නැති බවත් ඇත්ත ය. ඒ නිසා පුද්ගලයන් ආණ්ඩුව තුළට යනවාද නැද්ද යන්නත් මේකට ඒ තරමට අදාල නැත. කවුරු ගියත්, ආවත් සමාජය, ආණ්ඩුව බවට පත් නො වී, එහි අනෙකා ලෙස සිටිය යුතු වේ. 

සිවිල් සමාජයක් මොකටදැයි ඇතැමෙක් අසති. ඕකට මගේ පිළිතුර නම් ඕක ය.

මේ නිසා අප්‍රේල් 03 වැනිදා යෝජිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් පවතින අවුල් වියවුල් මොනවා වුණත්, දේශපාලන පක්ෂ මැදිහත්වීම වැළැක්විය යුතු හෝ කළ හැකි දෙයක් නො වේ. NGO සම්බන්ධයෙන් ද කතාව මේකම ය. ඒ කවුරුත් සිය අනන්‍යතා සහිත ව යා හැකි තරම් දුරකට පමණක් සම්බන්ධ වීම කළ යුත්තකි.  ඒ ඒ අය ගේ දුර ඉවර වී, වෙන ම ගමන් පටන් ගන්නා කළ, අනාථ ව-අසරණ ව  "අන්න අපිව තනි කරල යනෝ; අපටත් බැරියෝ" කියා ලතෝනි නො දෙන සමාජයක් ගොඩ නගා ගැනීම අප හමුවේ ඇති ඇත්ත අභියෝගයයි.
"වෙනස් කළ යුත්තේ පාලකයන් නො ව ජනතාව ය" යයි කියන බර්ටෝල්ට් බ්‍රෙශ්ට් ගේ කතාව මට හොදට ම තේරෙන්නේ  ඒ අරුතිනි.