Thursday, September 9, 2021

මට දෙශපාලනයක් ඕනෑම නැත කියන එකේ ඇත්ත තේරුම !


 ගුරු මිත්‍රයෙක් හිටියා. පොර කිසි ම යූනියන් වැඩකටවත් සෙට් වෙන්නේ නෑ.   "තනියෙන් කරගන්න වැඩක් තමයි. බොරු කතා නේ ඔය අරගල-උද්ඝෝෂණ"  එහෙමයි ඌ කිව්වේ. මේ අදහස මට හිතෙන්නේ අපේ කාලයේ ඇත්තක්. මේ පොර ගේ විතරක් නෙවෙයි. ගුරුවරුත්, අනිත් ජනතාවත් අති බහුතරය ඉන්නේ ඔය තැනමයි.

මේ කියන මිත්‍රයට විනය කේස් එකක් වැටුණා. මිනිහ දන්න නිලධාරීන්, යාළුවෝ හැමෝගෙන් ම උදව් ඉල්ලුවා. මටත් කිව්වා මගේ සම්බන්ධකම් තියෙන යූනියන් පොරවලට සෑහෙන ලොකු දෙයක් කරන්න පුළුවන්;මිනිහට යුක්තිය ඉෂ්ට කරල දෙන්න උදව් වෙන්න කියලා.
වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ යුනියන් හෝ පොදු අරගලය විශ්වාස කරන තැනකට මිනිහ මාරු වුණා කියල එහෙම නෙවෙයි. යූනියන්වල පොරවල් හරහා පෞද්ගලික මැදිහත්වීමක් තමයි ඒත් බලාපොරොත්තූ වුණේ.
දැන් මම මේ කතාව මැදට එක පාර ම ඇද ගෙන එනවා වසන්තා හදපාන්ගොඩ නෝනා ව. අර පොහොට්ටු ආණ්ඩුවේ හොරිකඩ යූනියන් එකේ ලොක්කී. (සංකේතයක් හැටියට ගේන්නේ; පුද්‍ගල වටිණාකමක් තියේ ද නැද්ද කියන එක ගැන අපි කරදරවෙන්න ඕන ම නෑ කියල හිතෙනවා)
මේ ලොක්කී මාස් මීඩියා ප්‍රෝගෑම් එකකදී කෙලින් ම කියල දැම්මා මෙහෙම කතාවක්; "දේශපාලනේ නැතිව මුකුත් ම කරන්න බෑ. බලේ තියෙන අයට තමයි වැඩක්‍ කරන්න පුළුවන්. අපිට යූනියන් එක හදන්න කීවෙත් බැසිල් ඇමතිතුමා. එතුමාගේ සිත් දිනා ගෙන හිටියොත් මුදල් ඇමති හැටියට එතුමා මේ අපේ ඉල්ලීම් ඔක්කොම දෙනවා. අපට විශ්වාසයි ඒක"
පටලව ගන්න එපා. ඔය කියන්නේ දේශපාලනයක් කරන බව නොවෙයි, නොකරන බවයි. ඒ කියන්නේ ඕක පට්ට ම අදේශපාලනික බවයි.  අර කියා ගෙන ආපු මිත්‍රයා සහ මේ හොරිකඩ ලොක්කී ඉන්නේ ගොඩක් කිට්ටු තැන් දෙකක; එක ම තැන තරම්.
මූලික වශයෙන් දෙන්න ම විශ්වාස කරන්නේ වැඩක් කරන්න පුළුවන් බලේ තියෙන එකෙකුට කියලා. ඒ නිසා ඒ බලේ  තියෙන ඇත්තන්ට, සම්ප්‍රදායයන්ට, ආයතනයන්ට යටත් පහත් වෙලා, අනුකම්පාව නැත්නම් හොද හිත දිනා ගැනීමෙන් ඒ තැන්වලින් විසි කරන යමක් අහුල ගැනීමේ මහාර්ඝ අවස්ථාව තමුන්ටත් හිමි වේවි කියලා. අර ලොක්කී ට වඩා මෙතැනදී අපේ මිත්‍රයා අඩු ම වශයෙන් ඌ ව විශ්වාස කරනවා. තමුන් විසින් තමුන් ගේ ගේම ප්ලේ කරන්න ඕන වගේ එකක්. අර ලොක්කී විශ්වාස කරන්නේ සහ අනෙකා ගේ විශ්වාසයත් දක්කා ගෙන යන්නේ බලේ තියෙන එකාගෙන් බැහැරව  වෙන කාටවත් ම, තමන්ටවත් එහෙම එකක් කරන්න බෑ කියන තැනට.
දැන් අපේ මිත්‍රයා මේ දවස්වල වැටුප් උද්ඝෝෂණයේ  ඉන්නවා !
තමන් ගේ පුද්ගලික කේස් එකකදී අර වගේ පුද්ගලික සම්බන්ධකම් පාවිච්චි කරල "සර්, මැඩම්, මගේ මේ වැඩේ කරල දෙන්න කෝ" කියා ගෙන යතෑකි. ඒත්‍ ඒ මිත්‍රයට වගේ ම ලක්ෂ ගානක ගුරුවරු කිසිම කෙනෙකුට සතවරුස කාලක කාලයක් තිස්සේ සිද්ධ කරපු රාජ්‍ය සේවයේ කුඩම්මා ගේ සැළකිල්ල විසදගන්න එහෙම තනි තනි සම්බන්ධකම් වලින් බෑ. පුළුවන් නම් දැනටත් කරගෙන නේ.
ඒත් මේ වගේ තැනකදීත් සමහර කුරුමිට්ටෝ ඉන්නවා මෙහෙම කියන; " අර හාමුදුරුවෝ ගිහින් නර්ස්ලට අරන් දුන්නේ. ඒ වගේ අපේ නායකයන්ටත් බැරි ඇයි ඉල්ලල දෙන්න" මෙහෙම කියන පොරවල්  ඉස්කෝලවලදීත් හමු වෙනවා, "සර්ලට බැරි ද අපේ ඉල්ලීම් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් වගේ කරන්න" වගේ යෝජනා එක්ක ! වැඩේ ගහල ගියොත් මැරෙන්නේ යූනියන්කාරයෝ නේ; ගොඩ ගියොත්‍ එයාලත් ! නායකයන්ට කෙල වෙලා හරි පොරවල් ගොඩ ගියොත් ඒත් ගොඩ නේ !!
මේ කස්ටියත් තමුන් ගේ හයියක් ගැන විශ්වාස නොකරන සෙට් එකක්.
දැන් පඩි ප්‍රශ්නය සීරියස්. ගුරුවරුන්ට මේ පඩිය ලැබිය යුතුයි කියන ගුරු නොවන සැළකිය යුතු සමාජ තීරුවකුත් දැන් ඉන්නවා.  ආණ්ඩුව පැත්තෙන් මොන තරම් හොරිකඩ බලමුළු පිට පිට මුදා හැරියත් අනිත් පැත්තෙනුත් ඒවට මුහුණ දෙන්න හයියක් තියෙන තත්වයක් දකින්න පුළුවන්.
ගුරුවරුන්ට ඒ තරම් හයියක්  කොහොමද ? එකක් පැහැදිලි අසාධාරණයක ගොදුරක් විතරක් නෙවෙයි, නින්දිත රැවටීමකට,කඩේ යැවීමකට තමන් ලක් වුණ බවට මේ ලක්ෂ ගානක් ගුරුවරුන්ට ඇස් පනා පිට පසක් වෙන ලැජ්ජකාරී තත්වයක් එනවා. දෙවැන්න ඒක විසදගන්න තනි තනි උත්සාහයන්ගෙන් තියා යූනියන් පොරවල් විතරක් ඉස්සරහට දාලවත් බෑ කියල තේරුමක් එනවා. (පැරදුනොත් ඒත් ඔක්කොම) තනි තනි හඩවල් ගොඩක් එකතු වුණා ම ටිකක් හොදින් ඇහෙන ලොකු හඩක් මතු වෙන බව තුන්වෙනුව තේරුම් ගන්නවා. ඒ එක්කම එහෙම හඩක් ඇහුනේ නෑ  වගේ ඉන්න බලේ ඇත්තන්ට අමාරු තැනක් එන බවක් පසක් වෙන්න ගන්නවා. (කවදත් කළා වගේ කෝවිඩ් නීති අවභාවිතා කරල ගේන්න ගිය මර්දනයට කණේ පාරක් ගහල ආපසු හරවන්න පුළුවන් වීමත් මේකට හොද ම රුකුලක් වුණා)


කෝවිඩ් තත්වයන් උඩ අරගලයට පෞද්ගලික දායකත්වය දෙන්න බලකෙරෙන ඩිජිටල් අරගල බිමක් මතු වීම වගේ තත්වයන් විසින් මේ තෙරපුම තවත් වැඩි කරනවා.
පාලකයන්, නායකයන් විතරක් නෙවෙයි තමන් එකිනෙකාත් බලවතුන් බව, ඒ බලය මතු වෙන්නේ ඒ ප්‍රශ්නය ඇති අය එක්සත්වීම මත බව පේන්න ගන්නවා.
අර හොරිකඩ ලොක්කී විරුද්ධ සහ අකැමැති දේ මෙන්න මේකයි.
ජනතාව විසින් තමන්ගේ බලය තේරුම් ගැනීම පීඩක පාලකයාට මාරාන්තිකයි. ඒ නිසා බලය එක්ක සම්බන්ධ හැම දෙයක් ම පාලකයාට විතරයි කියල දෘෂ්ටිවාදයක් හදනවා. දේශපාලනය ඒ ගොල්ලන් ගේ. අනිත් උන්ට දේශපාලනය අපිරිසිදුයි;පිළිකුල්; පාපකාරී; ඒ නිසා අනිත් අය  අත නොගැසිය යුතුයි කියල මතයක් හදනවා. එහෙම කිරීමෙන් ඇත්තටම කරන්නේ පවතින දේශපාලනය ඒ විදියට ම තියා ගෙන ඉන්න ඉඩ හදන එක.
ඒ වෙනුවට  ඒක වෙනස් කරන්න පුළුවන්කම ජනතාවට තනි තනි තීන්දුව මත වුණත් එකතු වීමෙන් පුළුවන් කියල දෘෂ්ටිවාදයක් හදන එක දේශපාලනිකයි. හොරිකඩ ලොක්කී විසින් දේශපාලනයේ නමින් අදේශපාලනික කිරීමක් කරද්දී, අපේ අර මිත්‍රයා වගේ අය තත්වයේ බලකිරීමක් නිසා හරි දේශපාලනික වෙලා තියෙනවා කියන්නේ අන්න ඒකයි.

දේශපාලනය මිස් කරන්න බෑ; ඕවර්ටේක් කරන්නත් බෑ.
ඇත්ත ම පාපකර්මය, දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමයි.

Saturday, August 14, 2021

මේ වහල් අධ්‍යාපනයේ කොහෙද 'නිදහස්'!


 "හතර වරක් හතර දාසයයි" ;"ලංකාවේ අගනුවර කොළඹය"  ශිෂ්‍යයා මෙම වාක්‍ය සටහන් කර ගනී; ධාරණය කර ගනී; පුනරුච්චාරණය කර ගනී. "හතර වරක් හතර දාසයයි" යන්නෙන් සැබැවින් අදහස් කරන්නේ කුමක්දැයි හෝ 'අගනුවරක්' යන්නෙහි අස්ත්‍යාර්ථකය හෝ අගනුවරක් වශයෙන් 'කොළඹ' වීම බලපෑමක් වශයෙන් ශ්‍රී ලංකාවට කොතරම් වැදගත් වේදැයි  හෝ නොසැලකේ.

ගුරුවරයා දේශකයකු වශයෙන් දෙන ව්‍යාඛ්‍යානය, දේශිත අර්ථය, යාන්ත්‍රික වශයෙන් කටපාඩම් කොට ගැනීමට ශිෂ්‍යයා ට බල කරයි. ඊටත් වඩා අහිතකර වන්නේ, ඒ මගින් ගුරුවරයා විසින් වක්කරනු ලබන දැණුම පිළිගන්නා භාජනයක් බවට ශිෂ්‍යයා පත් වීමයි. භාජනය පුරවන්නට හැකි තරමට, කෙනෙක් දක්ෂ ගුරුවරයෙක් වෙති. භාජන වශයෙන් දැනුම් පුරවා ගත හැකි තරමට කෙනෙක් දක්ෂ ශිෂ්‍යයෙක් වෙති.
අධ්‍යාපනය, මේ ආකාරයෙන් තැන්පත් කිරීමේ ක්‍රියාවක් බවට පත් වේ. ගුරුවරයා තැන්පත් කරන්නා ය. ශිෂ්‍යයා තැන්පතු පිලිගන්නා තැනැත්තා ය. ගුරුවරයා සන්නිවේදකයකු වශයෙන් තම උතුම් කාරිය අමතක කොට, නිවේදන නිකුත් කරයි; නිවේදන තැන්පත් කරයි. ශිෂ්‍යයෝ ඒවා ඉවසීමෙන් පිළි ගෙන,කටපාඩම්‍ කර ගෙන පුනරුච්චාරණය කරති. මෙය අධ්‍යාපනය පිළිබඳ 'බැංකු' සංකල්පයයි. ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වන එක ම සහභාගීත්වය, ද්‍රව්‍ය වශයෙන් ලැබෙන දැනුම පිළිගෙන, ලැයිස්තුගත කොට, සේප්පුවක මෙන් මොළේ තැන්පත් කොට ගැනීමේ ක්‍රියාවට සීමා වෙයි. තමන් 'ඉස්ටෝරු කර ගන්නා' දේ එකතු කොට, ලැයිස්තු ගත කර ගැනීමට පමණක් මෙයින් ඔවුන්ට අවස්ථාව ලැබේ. නිර්මාණාත්මක, විපර්යාසකරණීය ඥානයෙන් තොර වූ මෙම ක්‍රමය නිසා අන්තිමේ දී සිදු වන්නේ මනුෂ්‍යයා ම (ශිෂ්‍යයා වශයෙන්) ලැයිස්තුවක් හා වට්ටොරුවක් පමණක් බවට පත් වීම ය. විචාරණ ශක්තියෙන් හා ප්‍රයුක්තියෙන් තොර වූ මිනිසා සැබෑ මනුෂ්‍යත්වයෙන් ද තොර වෙයි. සැබෑ ඥානය ලැබිය හැක්කේ නැවත නැවත ද, අළුතින් එය හෙළිදරව් කොට ගැනීමෙනි. අන්‍යොන්‍ය වශයෙන් ද, ලෝකය සමග ද, ලෝකය පිළිබදව ද, නොසන්සුන්ව ද, නොඉවසිලිවන්තව ද, අනවරතව ද මිනිසා විසින් බලාපොරොත්තු සහගතව ගෙනයන්නා වූ  නිරන්තර විචාරයෙනි.
අධ්‍යාපනය පිළිබඳ බැංකු සංකල්පයෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද ? ඥානවන්ත යයි තමන් විසින් ම හදුන්වා ගනු ලබන්නා වූ අය විසින් අඥානයින් යයි ඔවුන්  හදුන්වනු ලබන්නා වූ පිරිසකට 'ඥානය' ත්‍යාගයක් සේ පිරිනැමීමයි. 'අවිද්‍යා අන්ධකාරයේ ගැලී සිටින්නා' යන අදහස, මෙහි දී අන්‍යයන් කෙරෙහි  ආරෝපණය කරනු ලැබේ.
සූරාකෑමේ මතවාදයේ ලක්ෂණය මෙයයි. 'අධ්‍යාපනය සහ ඥානය විචාරන ක්‍රියාදාමයකි' යන අදහස ප්‍රතික්ෂේප කෙරේ. ගුරුවරයා, ශිෂ්‍යයාට සහමුලින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිරූපයකින් නැගී සිටී. ශිෂ්‍යයාගේ අවිද්‍යාව ඒකාන්ත ය. ගුරුවරයා කියන්නේ මුකුත් ම නොදන්නා ශිෂ්‍යයන් නිසා පවතින්නෙකි. හේගලියානු දයලෙක්තික න්‍යායේදී අර්ථ දැක්වෙන වහලා ගේ වහල් මානසික පරාරෝපණ තත්වයට ඇද වැටෙන ශිෂ්‍යයන්, ගුරුවරයාගෙ පැවැත්ම උදෙසා තමන් ගේ අඥානභාවය පිළි ගත යුතුය. එසේ ම තවත් අතකින් ශිෂ්‍යයා, වහලාට ද වඩා අන්ත තත්වයකට ද වැටේ. මක් නිසා ද, තමන් ගුරුවරයාට ද අධ්‍යාපනයක් දෙන්නෙකු බව ඔහු කවදාවත් වටහා නොගන්නා හෙයිනි.
විමුක්තිදායක අධ්‍යාපනයේ සැබෑ අර්ථය නම් සංධානයයි. අධ්‍යාපනය, ප්‍රායෝගික හා මතවාදී සංධානයක් කරා මෙහෙයවනු ලැබීමේ ප්‍රවනතාවයයි. ගුරු- ශිෂ්‍ය ප්‍රතිවිරෝධය නිරාකරණය කිරීමයි. දෙඅන්තය සමෝධානය කිරීම තුළින්, ගුරුවරයා ද, ශිෂ්‍යයා  ද  යන දෙදෙනා ම, එක ම අවස්ථාවේ දී ම ගුරුවරයා මෙන් ම ශිෂ්‍යයා ද වීමයි"
මේ උපුටා ගැනීම පාවුලෝ ෆ්‍රෙයරේ ගේ 'Pedagogy of the oppressed' කෘතියේ සයිමන් නවගත්තේගම විසින් කරන ලද සිංහල පරිවර්තනයෙ 37-39 පිටුවලින්. ලංකාවේ මේ තියෙන, තිබුණ අධ්‍යාපන ක්‍රමවලත්, මුළු පද්ධතියේමත් පට්ට ම අවුලක් මම අත්දැක්කා.ශිෂ්‍යයෙක් හැටියටත්, ඊටත් වඩා ගුරුවරයෙක් හැටියටත්. ඒ අත්දැකීම් කතන්දර සටහන් එකතුවක් හැටියට 'A මොකටද?' කියන පොත ලියමින් තියෙනවා. එක අරමුණක් තමයි ලංකාවේ මේ ජරාජීර්ණ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගන්න ඕනකරන කතාබහක් හදාගන්න එක.  මේ ෆේස්බුක් පිටුව එහෙම සංවාදයකට ඉඩක් හදාගන්න ට්‍රයි එකක්. ඒකෙදී ඉහත උපුටයෙන් ලොකු ආලෝකයක් එල්ල වෙනවා කියල හිතෙනවා. සමහර වචන  නම් ටිකක් රළු  බව ඇත්ත. 'වචනවලට ආවේනික විපර්යාසකරණීය ශක්තිය'  කියල කතුවරයා පෙන්වා දෙන තත්වය මේ නිසා මේ කෘතියෙන් ම අහිමි කෙරෙනවාද කියල දුකකුත් දැනෙනවා. හැබැයි අපේ ඇත්ත අත්දැකීම් එක්ක ඉස්සරහට යද්දී ෆ්‍රෙයරේ කියවාගැනීම සංකීර්ණ වැඩක් නෙවෙයි. ඒ නිසා 'A මොකටද?' කියවගන්න ෆ්‍රෙයරේ හොද මුල පිරුමක් කියලා හිතුනා. 

Friday, July 23, 2021

තිස් අට වසරකට පෙර ඒ මතකය අමතමි

ආදරණිය සුබද්‍රන්,

අවුරුදු තිස්අටක් පරණ මතකයක ඈත කෙළවරේ අපැහැදිලි තිතක් වගේ උඹ. ඒ කාලේ අපි අවුරුදු දොළහක විතර කොළුගැටව්.  අපි හිටියේ ඉස්කෝලේ වාර විභාගය ලියමින්.  මොන මගුලක් වෙලා හරි ඉස්කෝලේ වැහෙනවනම් අපි හිත යටින් සතුටු වුණා; ඇත්තයි.  එදා කොළඹ ගිනි ගනිමින් තිබුණ දවසක්.  ඉස්කෝලේ වටේට ම අහසට නගින කළු දුම්රොටු අහස වහගනිමින් තිබුණා.  අළු ඇවිත් ඉස්කෝලේ වැලි මිදුලට එකතුවෙමින් තිබුණා.  අපි ඒ අළු මත උඩ පැන්නා.  සමාවෙයං; මේ මාත්.  මට හිතුනේ ඉන්දියාවයි, තව බලගතු රටවලයි සපෝට් එක එක්ක දෙමෙල්ලු අපේ සිංහලයට කෙලවනවා; අපේ රට අල්ල ගන්න යනවා.  වීරෝධාර සිංහලයෝ දැන් උන්ට රිටර්න් එක දීල අපේ ජීවිත රැකගෙන තියෙනවා කියලා.  සුබද්‍රන්, මට උඹව මතක් වුණේ නෑ.  මම දැන ගෙන හිටපු දෙමළාට වඩා මට විස්තර කරල තිබුණ දෙමළා ගැන කතාව ඇත්ත කියලා ඒ වෙලාවේ මට හිතුනේ. එදා ඉස්කෝලේ වේලාසනින් වැහුවා.  අම්ම මාවත් අර ගෙන ගේට්ටුවෙන් එළියට එන කොට ම මගේ මුණ ඇගට තියල තද කරගත්ත; වේගයෙන් මාත් එක්ක එතැන පහු කරන් දුවගෙන ආවා.  ඒත් මට එදා කෑම කන්නවත් බැරි තරම්. මම ඇස් කොණින් වගේ දැක්කා පාරේ වැටිල හිටපු ඇගේ සරමක් විතරක් තිබුණ මනුස්සයෙක් වට කර ගෙන තුන්හතර දෙනෙක්; “මූට තාම පණ තියෙනවා වගේ“ කියමින් එකෙක් දුම් දමන යකඩ කූරකින් අර මනුස්සයගේ යටිපතුල පුච්චනවා. මග දිගට කඩ සාප්පු ගොඩක් ගිණි අගුරු වෙමින් තිබුණා.  මොන දේකටද කියල හිතා ගන්න බැරි වුනත් ඒ ඉස්සරහ හමුදා සෙබලුන් අත්වල තුවක්කුත්, මුණුවල සිනාවනුත් එක්ක බලන් හිටියා. ඒ තුවක්කුවලින් මට ආරක්ෂාවක් ලැබෙනව වගේ දැනුණා.  මට හිතුනා ඉස්කෝලේ ඉස්සරහ මනුස්සයෙකුට කරදර කරනව කියල ඒ සෙබලෙකුට කියන්න.  ඒත් සුබද්‍රන්, උඹට ඒ තුවක්කුවලින් ඒ වගේ ආරක්ෂිත හැඟීමක් ආවේ නැති බව දැන් මට සහතිකයි.  ඊට හරියට ම අවුරුදු පහකට පස්සේ ඒ තුවක්කු නිසා සිංහල අපි නින්ද, නිස්කලංකය, මුළු ජිවිතයේ ම රහක් නැති පරපුරක් බවට පත් වෙද්දිනම් මට උඹලව මතක් වුණා.  ඒත් මම දන්නව අපේ ගොඩ දෙනෙකුට 83 මතක් වුණේ නෑ කියලා.  අපි 83 අමතක කරන්න ලොකු ට්‍රයි එකක් දෙමින් හිටියේ.  උඹ දන්නවනේ. 83 ඒ කාලෙත් මම වාමාංශිකයා.  හැබැයි අපි වාමාංශික කියල දැනන් හිටියේ ජේවිපී ය. ජේවිපි ය ගොඩක් කතා කළේ ම ‘රට‘ ගැන.  කව්ද කිව්වා, ජනාධිපති ජේ. ආර්. කිව්ව කියල මේ කලබල නිසා රට අවුරුදු දහයකින් පස්සට ගියා කියලා.  මම අහු වෙන හැම තැන ම ඔය කතාව හයිලයිට් කරල කිව්වා“පේනව නේ ද, ඒ කියන්නේ අවුරුදු දහයක් ම මුං කරල තියෙන්නේ දෙමෙල්ලුන්ට නේ“ කියලා.  (පස්සේ මම දැනගත්තේ ජේ. ආර්.ජනාධිපතිගේ හරි කතාවේ කියවෙන්නේ ‘දෙමළ අයට ගහන තරමට සිංහලයට සතුටුයි‘ කියලා කියපු එකක්)  දැන් ඇත්තටම ලැජ්ජයි සුබද්‍රන්.  මට අඩු ගානේ උඹ ගැනවත් මතක් වුණානම්...ඒ වෙද්දී අපි දෙන්නම අවුරුදු දොළහයි නේ.  අවුරුදු දහයක් තිස්සේ මට ලැබුණ දේවල්වත් උඹට ලැබිල තිබුණේ නෑ කියල මට එදා තේරුම් ගන්න පුළුවන් වුණානම්... පාඩම් පොත්වල අපට ඉගැන්නුවේ සිංහලයා මේ රටේ ආදිවාසියා;මේ රට ගොඩ නැගුවේ සිංහලයෝ. පරසතුරු උවදුරුවලින් රට බේරගත්තේ සිංහලයෝ; අනිත් ඔක්කොම උන් මේ රටට එළියෙන් ආපු, කපටිකමින්, හොරමැරකමින් මේ රට අස්සට රිංගගෙන,රටට හතුරුකම් කරන උන් කියලා.  සුබද්‍රන්, උඹට ඒක දැනෙනව ඇත්තේ, අපේ ම පංතියේ හිටපු මොහොමඩ්ලට,තෝමස්ලට ඒක දැනෙනව ඇත්තේ කොහොමද කියල මට ලාවට දැනුන වෙලාවක් මාත් ‘බෞද්ධ උරුමය පාවා දීලා, පෘතුගිසින්ට රට පාවා දෙන්න කතෝලික ආගමට ගිය පරම්පරාවකින් පැවතෙන දේශද්‍රෝහියෙක්‘ වගේ ඒ පාඩම්වලින් අපට උගන්වද්දී.  ‘සිංහල-බෞද්ධ රටට සපෝට් කරපු විජාතිකයොත් හිටිය ඕල්කට්තුමා, ටිබෙට් හාමුදුරුවෝ, සිද්දි ලෙබ්බේ, පොන්නම්බලම් රාමනාදන් වගේ.  මේ පස්සේ කියපු සමහරු ආයි සුළුජාතින් හැටියට මහජාතියෙන් වෙන් වෙලා වෙන ම ගමනක් යන්න ගත්තා.  නායක්කාර් වංශිකයෝ බුද්ධාගම වැළඳ ගෙන මෙහෙ බෞද්ධ රජවරුන්ටත් වඩා සේවයක් කරල තියෙන අයත් ඉන්නවා“ වගේ කොච්චරක්නම් පාඩම්වලින් අපේ පාඩම් පොත් අදටත් පිරිල ද...සුබද්‍රන්, අපි උඹව වගේ ම මොහොමඩ්ලවත්, තෝමස්ලවත් ලේසියෙන් අමතක කරල දැම්මා, මොනව වුණත් අපි ජාතියක් හැටියට මේ රටේ සාඩම්බර සිංහලයෝ නේද කියල හිතේ මවා ගෙන.  අපේ පල්ලිවලට ගහද්දී, අන්තිමට පාස්කුවකදි අපිව ඇමක් හැටියට පාව්ච්චි වෙද්දිත් තාමත් අපේ සමරුන්ට සුබද්‍රන් උඹලව තේරෙන්නේ නෑ.  ඊළඟට අපි අතර වලියක් ආපු හැම වෙලාවක ම උඹ ‘විදේශිකයෙක්‘ කියල මාක් කරන්න අපේ හැමෝම වගේ පුරුදු වෙලා හිටියා.  “පළ යාපනේට.  මෙහෙ ඔය පාට් තියාගන්න එපා“ ඔය වචන ටික එළියට පනින්නේ උපතේ ඉඳන් හුරුවට වගේ. 

ඉතින් එදා හිටිගමන් 83දි අතුරුදන් වුණ උඹ ජිවතුන් අතර ද නැද්ද කියල මම දන්නේ නෑ.  එදා උඹලගේ ගෙවල් දොරවල් අඟුරු, අළු- දූලි බවට පත් කරන්න ඇති කියල මට හිතාගන්න පුළුවන්.  සීටිබි බස්වලින් යකඩ පොළු, ගල්ඉනි, කඩු වගේ දේවල් අර ගත්ත මිනිස්සු (ආයෙමත් මම එහෙම එකක් දැක්කේ 2009 දී.  එතකොට උන්ගේ අතේ තිබුණේ සිංහ කොඩියි, කිරිබතුයි.  ආයුධවල කොටස මානුෂිකව කෙරිල තිබුණලු !) ඔල්වරසන් දෙමින් දෙමළ උඹලගේ විතරක් නෙවෙයි එහෙමයි කියල සැක කරපු ජා, මැලේ මිනිස්සුන්ගේ පවා ගෙවල් දොරවල් කඩල , බිඳලා, විනාශ කරලා, මංකොල්ල කාලා තිබුණා.  අපේ එහා පැත්තේ වයසක නිකුලස් අංකලුයි ඇන්ටියි සැකේ නිසා කොහේදෝ ගිහින් හැංගිලා තිබුණා.  ඒ ගේ වට කරපු අර වගේ ජය ගෝෂා නගා ගෙන ආපු පිරිසක් අහළ පහළ අපටත් බනිමින් “තොපිටත් ගහන්න ඕන. ජාතික කැක්කුමක් නැති හැතිකරේ “ කියමින් ඒ ගේ කඩලා ඉස්සරහින් ගිනි තිබ්බා අපි හැංගිලා බලා ගෙන.  පිටිපස්සෙන් ටිවි එකයි, තව තව බඩු වගේකුයි ආපු බස් එකට පටවා ගත්තා. එතකොට එතන හිටපු අපේ අසල්වැසියෙක් කීවේ “ඔන්න පේනවද ජාතික ආලේ.  ඕක තමයි අපේ උන් එක්ක කරන්න බැරි. හොරකමයි, මංකොල්ලෙයි.  ඉතින් මේ දෙමළ හැතිකරේ ඉවරයක් කරන්න බෑ නේ“ කියලා.

‘යුද්දේ තිස් අවුරුද්දක් තිස්සේ වවා ගෙන කෑවා‘ කියල කිව්වෙත් ඔය කතාවම නේද කියල මට පස්සේ තේරුණේ සුබද්‍රන්. කොහොම වුනත් මම ආසයි විශ්වාස කරන්න උඹ කොහේ හරි පන පිටින් ඇති කියලා.  එක ම රටක, එක පංති කාමරයක් ඇතුළේ උන් අපට උගන්නපු අකුරෙන් එහා වෙන ඇත්තක් අත්දකිමින් හිටපු උඹ මැරුනා කියලා විශ්වාස කරන්න මම කැමති නැහැ.  ඒත් සමහර විට ඒ නීරස කතාව ඇත්ත වෙන්න පුළුවන්.  

එදා පැනලා යන සමහර දෙමල පවුල් වාහනවලින් එළියට ඇදලා මරපු බවත්, සමහරු ඒ වාහන ඇතුළෙම අම්මල, තාත්තලා, උඹ වගේ සහ උඹටත් පුංචි ළමයි, වයසක සීයල, ආච්චිලා එක්ක ගිනි අගුරු බවට පත් කරපු බවත් මම පස්සේ දැනගත්තා.  සුබද්‍රන් එදා එහෙම අමු අමුවේ මරාදමපු හාරසියයත් තුන්දහසත් අතර හරියටම කියන්න බැරි ජීවිත ඇතුළේ උඹවත් ගණන් කෙරුනද ? රායප්පු ජෝෂප් හිටපු බිෂොප්තුමා ඇහුවා 2008 ඔක්තෝබර් වෙද්දී වන්නියේ හිටි බවට ලංකා ආණ්ඩුවේ ඉලක්කම් වලින් කියවෙන 4,29,059ක් මිනිස්සු, 2009 ජූලි 10 වෙන කොට ඒ ඉලක්කම් හැටියට ම 2,80, 380ක් වුණේ කොහොමද කියලා ! සුබද්‍රන්, ඒ සහතිකයක් නැති මිනිස් ජිවිත 1,46,679 ඇතුළේ උඹවත් ගණන් කෙරුනද ?  සුබද්‍රන්, මේ දැනුත් මගේ අතේ ඇඟිලි වෙව්ලනවා.  ඒත් මම අමාරුවෙන් හරි මේක ටයිප් කරන්න ඕන. 

අපි ඇස් වහගෙන හිටපු සුමානයක විතර ඒ කාලය ඇතුළේ උඹලගේ මිනිස්සු විසිපන්දහසකට වඩා යකඩඋල්වලින්, ගින්දරින්, පුපුරන ද්‍රව්‍යවලින්, පොලුවලින්,ගල්වලින් පහර දීල තුවාල කරල තිබුණලු.  සුබද්‍රන් උඹත් ඒ අතරේ හිටියද ?  සමහරු ඉන්දියාවට ගියා ලු පණ බේරගන්න. එහෙම වතුකරයෙන් ගිය පනස්අටදාහක් මිනිස්සු තාම එහෙ ඉන්නවලු ඉන්දියාවෙවත්, ලංකාවෙවත් පුරවැසියන් නොවෙන. සුබද්‍රන් උඹත් ඒ රටක් නැති මිනිස්සු අතර ඉලක්කමක් වෙලා ඉන්නවද තාමත් ?   

අර කොටුව ස්ටේෂන් එක ඇතුළේ සපත්තු මහන දෙමළ මනුස්සයාගේ ඇඳුම් ගලවල, පහර දෙමින්, සින්දු කියමින් ඒ මනුස්සයව මරා දමන පින්තූරය අපි හැමෝම වගේ දැකලා තියෙනවා.   සුබද්‍රන්, මම දන්න තරමින් උඹ දුප්පත් නෑ.  උඹලගේ තාත්තට කඩසාප්පු තිබුණා.  ඒත් 83 ජූලියේදී විනාශ කරපු කඩසාප්පු පන්දහකට වඩා අතර අනිවාර්යයෙන් ම මම දන්නවා උඹලගේ ඒ දේපලත් අඟුරු-අළු වෙන්න ඇති කියලා.  අවුරුදු කීයක මහන්සියද, පරම්පරා කීයක හීන ද කියලා හීල්ලෙන්න ඇති අම්මටයි අප්පටයි.  ගෙදර කියන්නේ කොයිතරම් සැනසිලිදායක තැනක් ද? ඒත් උඹලා කිදෙනෙක් ඒ තමන්ගෙම ගෙවල් දොරවල් ඇතුළේ අඟුරු වෙන්න ඇත්ද ඒ සතියේ විතරක්.  ඒකට බයේ කිදෙනෙක් ඒ ඔක්කොම අතෑරලා පණ බේරගන්න දුවද්දී හීල්ලුනේ නැත්නම් තමයි පුදුම.  එහෙම ගෙවල් අටදාහකට වඩා කොළඹ ගිනි අඟුරු කරල තියෙනවලු.

සමහරු කියනවා හැම දේ ම කොයි පැත්තෙත් දුප්පතුන්ට තමයි වෙන්නේ කියලා.  මාත් ඉස්සර එහෙම හිතුවා. ඒත් සුබද්‍රන්, මේ ඔක්කොම දැනගත්තටත් පස්සේ උඹ වගේ ඇත්ත මනුස්සයෙක්වත් අමතක කරල මට පොතක තියෙන කතාවක් ඇත්ත කරගන්න පුළුවන්ද ! දුප්පත්-පොහොසත් කියල වෙනසක්වත්, පිරිමි ද-ගැහැනුද කියල වෙනසක්වත්, පොඩි බබාලද- තරුණයොද-වයසක ඇත්තොද කියල වෙනසක්වත් එතැන තිබුණේ නෑ.  ඒක වුණේ උඹල දෙමළ වුණ නිසා. සුබද්‍රන් ඒ පාඩම අපට කියල දෙන්න උඹට ජිවිතය දෙන්න වුණා ද ? උඹ එහෙ ගියාට පස්සේ කොටි සංවිධානයට හරි ඒ වගේ වෙන එකකට හරි එකතු වුනා ද කියල මම දන්නේ නෑ.  ආණ්ඩුවේ ඉලක්කම් වලින් කියනවා 50-500 අතර වගේ හිටපු අරගලකරුවන් 83 ජුලියෙන් පස්සේ එක පාරටම පන්දාහ, දහදාහ වගේ වැඩි වෙන්න ගත්ත කියලා.  ඒ පාර හැර වෙන ඕන තරම් පාරවල් තියෙනව මනුස්සයෙක් වගේ අභිමානයෙන් ජීවත් වෙන්න කියල හිතන් හිටපු ගොඩ දෙනෙකුට ඊට පස්සේ පේන්න ගත්තලු ඒ පාර හැර වෙන කිසිම පාරක් නැහැ කියලා.  සුබද්‍රන් සමාවෙයන්; අපි කයිය ගැහුවට ඕක නෙවෙයි පාර කියලා, අපි හදපු පාරකුත් නැහැ.  ඉතින් උඹල එහෙම තේරුවනම්, ඒ තේරුවේ ජීවිතය උඹලට කියල දීපු දේ.  

සුබද්‍රන්, එදා උඹ විදපු අත්දැකීම මොකක් වුණත්, බෞද්ධ නොවන්නෙක් විදියට මාත් දැන් විඳවලා තියෙනවා. මුස්ලිම්වරුත් විඳවමින් ඉන්නවා.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යයන්තර සම්මුතිය පිළිබද(ඔව්; ඒ වගේ ‘හිමිකම්‘ පවා !) පනත වගේ නීතිවලිනුත්, නීතියට පිටතිනුත් අපි විඳවනවා. කොහොම වුණත් වෙනසක් නැහැ; අන්තිමට මේ රටේ ‘නීතිය‘ ඒක තමයි ! එදිනෙදා ජිවිතය ඇතුළේ පුංචි පුංචි වගේ පේන දහදාහක් දේවලින් අපි විඳවනවා.  83දි ඒ බියෙන් තැතිගැනුන, කටහඬ අහිමි කළ, තුවාල කෙරුනු, සමිපතමයන් අහිමි කෙරුණු. මරා දැමුණු, උන්හිටි තැන් අහිමි කරපු, අත්-පා-ඇස් උගුල්ලා දැමුනු ඒ ‘දෙමළා‘ බවට අපි ගොඩ දෙනෙකුට පත් වෙන්නට වෙලා තියෙනවා.  ඔව් සුබද්‍රන් උඹ බවට මට පත් වෙන්න වෙලා තියෙනවා.  ජීවිතය හරි ම ආදරණීයයි.  අවුරුදු ගණනාවකට පස්සේ හරි එදා මට නොතේරුන ජීවිතය,  අද උඹේ ආත්මය මගේ ඇතුලට කඩා වැදිලා තේරුම්ගන්න බල කරමින් තියෙනවා. 

සුබද්‍රන්, අදත් සමහරු අහනවා,“සිංහලයාට නැති දමිළ හෝ අනෙකෙකුට විතරක් ඇති ප්‍රශ්නය මොකක්ද “ කියලා.  හරි සරලයි. ඌ ‘සිංහල‘ නොවීම; තව ටිකක් ගැඹුරට ගිහින් කීවොත් ‘සිංහල-බෞද්ධ‘ නොවීම.  අන්න එහෙම ‘වෙන එකෙක්‘ වෙලා ඉඳලා බලන්න කෝ කියලයි මට කියන්න වෙන්නේ. හොඳටම තේරුම් යන වෙලාවකත් ආයි කියනවා ‘‘අපි ඔක්කොම මනුස්සයෝ“ කියලා. හැබැයි එහෙම කියන අය ඊළඟ මොහොතේ ‘පංති අරගලය‘ ගැන කතාකරද්දී අර මනුස්සයෝ අතර ඔක්කොම මනුස්සයෝ නෙවෙයි කියල එකකුත් එනවා ! සමහරු කියනවා,“ඕක හරි වුණාට කියන්න ඕන නැහැ. දැන් කොටිත් නෑ නේ. ඔන්න ඔය පුළුවන් විදියට ලොකු එකට සෙට් වෙලා ඉන්න කියමු“ කියල කතාවක්.    

මේක තේරුම් කරල මට වෙහෙසයි සුබද්‍රන්.         

 

 

 


Thursday, July 22, 2021

නිදහස් වෙළඳපොළට බැරිකේඩ දමන කොතලාවල මිලිටරි ප්ලෑන

‘පුස් ආණ්ඩු විරෝධය ඇත්ත අර්බුදය අත හැර දැමිමක්‘ කියලා ජූලි 13 වෙනිදා කුසල් පෙරේරා විසින් ලියවුණු ලිපියේ ගොඩක් කරුණු එක්ක මාත් ඉහළින් ම එකඟයි.  ඒත් එකඟ වෙන්න අමාරු කොටසතුත් නැතිව නෙවෙයි.    මාතෘකාව මට ආයෙමත් වර නගන්නට ලැබුණොත් ‘අත හැර දැමිමක්‘ වෙනුවට ‘මඟ හැර යාමක්‘ කියල ඒක  ලියන්න  මම කැමැතියි. 

කුසල් ගේ ලිපිය පදනම් වෙලා තියෙන්නේ ‘කොතලාවල පනත් විරෝධය‘ සම්බන්ධයෙන්.  මේක ‘ආණ්ඩු විරෝධය‘ මත සංවිධානය වන්නක් කියලා ලැබුණ තොරතුරු මූලාශ්‍රයනම් ලනුවක් වගෙයි පේන්නේ.  ජවිපෙ හා සජබ මේ අරගලයේ කොතනකවත් මූලික වෙලා නැති බව අරගලය ඇතුළේ ඉන්න අය දන්නවා.  එහෙම සම්බන්ධ වුණත් ඒකේ ඇති වරදක් මමනම් දකින්නේ නැහැ.  ඒත් ඇත්ත ඒක නෙවෙයි.  මෙහි සහභාගිත්වයේ අති හුතරය සමන්විත වනගුරුවරු අතරින් ඇත්තට ම අති බහුතරය පොහොට්ටු ආණ්ඩුව පිහිටුවන්න කඩේ ගිය ඇත්තෝ.  මේ කට්ටියත් දැන් අර ගැමි ගොවි ජනයා වගේ අනාථ අසරණ වෙලා ඉන්නේ.  නායකත්වය දෙන න්‍යෂ්ටියේ ලංකා ගුරු සංගමය ප්‍රමුඛ කණ්ඩායම් මේ පක්ෂවලින් ස්වාධින සෙට් එකක්.  ජෝෂප් ස්ටාලින් වැන්නෙක් හිටගන්නේ වෙනත් දේශපාලන සම්ප්‍රදායයක.  අනිත් අතින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්ක සමිප ව ඉන්නේ පෙරටුගාමි සමාජවාදි පක්ෂය මිස ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි.  ඔවුන් මේ අරගලය ඇතුළේ කල්යල් බලමින් පමා විමටත් මේකත් හේතුවක් වෙන්න පුළුවන්.  කොතලාවල පනත ගැන මේ කණ්ඩායම්වල උනන්දුව විවිධ සාධක උඩ වෙන්න පුළුවන්.  ආණ්ඩු විරෝධීන්ට ඇවිත් එතැනට සෙට් වෙන්න පුළුවන්. ඒත් මේ අර ගැමි ගොවි පළාත්වල වගේ ම පොහොට්ටු ගැත්තරභාවයේ පිපිරා යාමක් මිස ආණ්ඩු විරෝධින් විසින් සංවිධානය කරන ලද්දක් නොවෙයි.     

මේ ඇරුණාම ලිපියේ වැදගත් ම හරය වෙන්නේ කුසල් විසින් මතු කෙරෙන මේ ප්‍රශ්න ටික.  කොතලාවල පනත මගින් අධ්‍යාපනය පෞද්ගලීකරණයක් අමුතුවෙන් සිදු වෙනවා ද ? උතුරු-නැගෙනහිර දැනටත් සිදු වි ඇතිවාට වඩා අමුතුවෙන් මිලිටරිකරණයක් ඒ මගින් සිදු වෙනවා ද ?  සැබැවින් ම මේ පවතින අධ්‍යාපනය ‘නිදහස් අධ්‍යාපනයක්‘ ද ?  මේ ගැන කුසල් විසින් මතු කෙරෙන සාකච්ඡාව කිසිසේත් ම මග හැර යා නොහැකි, මග හැර යා නොයුතු එකක් බව මගේ අදහසයි.   

එහෙත් මේ නිසා ම කුසල් විසින් කොතලාවල පනත අහෝසි කරවා ගැනීම අත්‍යාවශ්‍ය නොවන්නක් සේ සළකනවානම් ඒකත්  බරපතල මග හැර යාමක් වෙනවා ඇති.

පනතට අදාල මේ ආයතනය සර් ජෝන් කොතලාවල ගේ කදවල වත්තේ 1981 දී ආරක්ෂක පුහුණු ඇකඩමියක් හැටියට මහජන මුදලින් ආරම්භ කරල තියෙන්නේ.  1988 අංක 72 පනතින් උපාධි හා පශ්චාත් උපාධි ලබා දෙන ආයතනයක් ලෙස ස්ථාපිත කරල තියෙන්නේ, ඒත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පිටතින්.  2007 අංක 50 පනතින් එය විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා.  ඒකත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ට පිටතින්.  කුසල් අපට මේ ඉතිහාස කතාව සිහිපත් කරනවා.ඒ කියන්නේ ‘කොතලාවල පනත‘ ඔය කියන තරම් අළුත් වැඩක් නෙවෙයි කියන්නත් එක්ක.  ඇත්ත.

  ඒ හැරත් ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම‘ පවා ඔය කියන තරම් ‘සිවිල්‘ ආයතනයක් නොවන බව යාපනය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රධානී ආචාර්ය කුමාරගුරුපරන් සමාජ සේවා නීති කටයුතු තහනම් කිරීමේ තින්දුව මෙහෙය වූ ඍජු මිලිටරි බලපෑම සිහිපත් කරමින්, තවත් සාධක ගනණාවක් එක්ක කුසල් විසින් පෙන්වා දෙනවා.  මෙකි ආයතනය හමුදා සේවයෙන් බැහැර සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විවෘත කරන ලද්දේ 2012 දි බව ඔහු විසින් පෙන්වා දෙනවා.  අධ්‍යාපන පෞද්ගලිකරණයට එරෙහි අරගලය ඒ අවස්ථාවේ දී නොදැක්කා වගේ හිටියා විතරක් නෙවෙයි,  ඒ උද්ඝෝෂකයන් ගේ ප්‍රහාරයේ ඉලක්කය බවට පත් වූ සයිටම් හී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිමට යොමු කෙරුවේත් මේ කියන කොතලාවල විශ්වවිද්‍යාලයට බව ඔහු මතක් කර දෙනවා.  තවදුරටත් ඔහු දක්වන්නේ මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පිටතින් විශ්වවිද්‍යාල මට්ටමින් වන උපාධි පිරිනමන ස්වාධින රජයේ ආයතන 05කුත්, කොමිසම විසින් නිල වශයෙන් පිලිගත් මුදල් අය කොට උපාධි පිරිනමන ආයතනත්, එවැනි පිළිගැනිමකින් තොර ව මුදලට විදේශ උපාධි ලබා දෙන ආයතන තවත් ගණනාවකුත් ඇති බවයි.  ඒ විතරක් නොවෙයි,  සියළු ම රජයේ විශ්වවිද්‍යාල ද මුදල් අය කොට ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි පිරිනමන පාඨමාලා පවත්වා ගෙන යන බවත් ඔහු පෙන්වා දෙනවා. විවෘත විශ්වවිද්‍යාලයේ 2018 වාර්ෂික වාර්තාවට අනුව රුපියල් මිලියන 812.51 උපයා ගෙන ඇත්තේ ඔවුන් සිය පාඨමාලා අළෙවි කිරීමෙන් බවත් පෙන්වා දෙනවා.

විශ්වවිද්‍යාල මට්ටමට පහළින් ඇති ජාත්‍යන්තර පාසල් පමණක් නොව ටියුෂන් ආයතන ද, විවිධ මට්ටමින් රජයේ පාසල් තුළ පළමු ශ්‍රේණියට බඳවා ගැනීමේ සිට ම පවතින මුදල් අයකිරිම් ගැන ද  සිහිපත් කරන කුසල් ‘අධ්‍යාපන පෞද්ගලීකරණයක්‘ ගැන මේ දේවල් අමතක කොට කතා කළ හැකිදැයි විමසනවා. 

 

මේ සියල්ල ම 100%කටත් වඩා ඇත්ත ය !

 

මගේ පෞද්ගලික පිළිගැනිම නම් ‘නිදහස් අධ්‍යාපනය‘ කියා දෙයක් ලංකාවේ ඇත්තේ නැති බවයි.  නොමිලේ අධ්‍යාපනය යන අරුතින් ද, ස්වභාෂා අධයාපනය යන අරුතින් ද, නිදහස පුබුදවන යන අරුතින් ද, සත්‍යය ගවේෂනය යන අරුතින් ද යනාදි මේ කුමන අරුතකින් හෝ මේ පවතින අධ්‍යාපනය ‘නිදහස්‘ යයි කීම විකාරයක්.  දෙන දේ අනුව ද, දෙන විදිය අනුව ද යන කිසි ම විදියකින් මෙය ‘නිදහස්‘ වෙන්නේ නැහැ.  රාජ්‍යයක් ලෙස ද අවවර්ධිත තත්වයේ ශ්‍රී ලංකාවක රාජ්‍ය ඒකාධිකාරය යටතේ මොන ම විදියක හෝ ‘නිදහස්‘ අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙන්න බැහැ.  ඒ වගේ සිහිනයක් දැකීමේ ඉඩ ප්‍රස්ථාව තහවුරු කර ගන්නනම් අනිවාර්යයෙන් ම  නිදහස් වෙළඳපොළ අවකාශය රැක ගන්න වෙනවා.  ඒ වගේ අවකාශයයක් ඇතුළේ විතරයි සමාජ ව්‍යවසායකත්වයක් වගේ උපායමාර්ග පාවිච්චි කරල වඩා හොඳ අධ්‍යාපනයක් ගැන සිහින පර්යේෂණාගාර මහපොළොවට ගෙන එන්න පුලුවන්කමක් හැදෙන්නේ.  ඒ මිස පසුගාමී රාජ්‍යයක ඒකාධිකාරයක් මගින් කිසි දවසක ඇත්ත ‘නිදහස් අධ්‍යාපනයක්‘ හදන්න බැරි වෙයි. 

 

හැබැයි කුසල් ගේ ලිපිය එක්ක මට තියෙන එක ම ප්‍රශ්නයත් තියෙන්නේ මෙන්න මෙතැන ම යි ! 

 

යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතෙන් යෝජනා කරන්නේ කිසිසේත් ම නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ වන විශ්වවිද්‍යාලයක් නොවේ.  ඒ කියන්නේ එතන තියෙන්නේ පෞද්ගලීකරණය කරන ලද ආයතනයක් නො වේ.  ඒ වෙනුවට අධ්‍යාපනයත්, ඒ හරහා මුළු සමාජයමත් රාජ්‍ය මිලිටරියේ වරප්‍රසාදිත කල්ලියක් අතට පූර්ණ රාජ්‍ය බලය ඇතිව පාවා දීමේ සැලැස්මක්;  නිදහස් වෙළඳපොළ ක්‍රමය, රාජ්‍ය මිලිටරි බලය යොදවලා අඩස්සි ගත කරන සැලැස්මක්;  මියන්මාරයේ, පාකිස්ථානයේ මෙන් මිලිටරි රාජ්‍යයක් ගොඩනැගීමෙ සැලැස්මක්.

තවත් විශ්වවිද්‍යාලවලට උපාධි ප්‍රදානක බලය පවරන්න, අනුබද්ධ ආයතන පිහිටුවන්න, පාසල් පිහිටුවන්න, විෂයමාලා සකසන්න, කොටින් ම වෙනත් අධ්‍යාපන පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරන්න පුළුවන් බලගතු ආයතනයක් බව ට මේ පනතින් කොතලාවල විශිවවිද්‍යාලය පත්කරනවා.  වෙන විදියකට කීවොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ආදේශක වෙන ම ආයතනයක් බවට කොතලාවල විශ්වවිද්‍යාලය පත්වෙනවා.  ඒ විතරක් නෙවෙයි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයන්ටත් ආදේශක ආයතනයක් බවට පත් වෙනවා.  ඊට පස්සේ එතැනින් ඒක එතැනින් නවතීද ?

දැනට තියෙන පොඩි මොඩල් උදාහරණයක් බලමු.  කෝවිඩ් පාලනය කරන්න කියල ‘බලකායක්‘ හැදුවනේ.  රාජ්‍යයක ප්‍රතිපත්ති තීන්දු ගන්න ඕන හැමවිට ම ඒ රටේ දේශපාලන විධායකය.  ඒක මඟ හැරිය නොහැකි වගකීමක්.  මේ රටේ දේශපාලන විධායකය කොටස් දෙකකින් සමන්විතයි. ජනාධිපතිවරයා එක පැත්තකින් ඍජු මහජන ඡන්දයෙන් පත් වෙනවා. අනිත් සෙට් එක පාර්ලිමේන්තුවේ වැඩි ආසන දිනා ගත්ත කණ්ඩායමේ නායකයා හෝ නායිකාව අගමැති වෙමින්, එයා ගේ මග පෙන්වීම යටතේ පත් වෙන ඇමති මණ්ඩලය.  එයාල ගන්න තින්දු ක්‍රියාත්මක වෙන්න ඕන අමාත්‍යාංශ ලේකම් හරහා.  දැන් මොකද වුණේ ?  මේ ඔක්කොම උඩින් පන්නල ගිහින් සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් අදාල ම නැති යුද හමුදාපතිට ‘කෝවිඩ් බලකාය‘ බාර දෙනවා ජනාධිපතිවරයා විසින්.  ඒ බලය සෞඛ්‍ය විතරක් නෙවෙයි, ගමනාගමන හා  ප්‍රවාහන, සන්නිවේදන වගේ හැම ක්ෂේත්‍රයක් ම වසා පැතිරෙනවා.  ඒ එක්ක ම අර්බුදයත් ඒ හැම ක්ෂේත්‍රයක් ම වසා පැතිරෙනවා.  ඒ යුදහමුදාපතිවරයාගේ පෞද්ගලික අදක්ෂතාවයකට වඩා කිසිසේත් ම අදාල නැති විදියේ පැතිරුණ බලතල ප්‍රමාණයක් මේකෙන් පැවරෙන නිසා.

දැන් අධ්‍යාපනය හරහා වෙන්න යන්නෙත් ඕකම නෙවෙයි ද ?

මේ බිහිසුනු මිලිටරිකරණය කොතලාවල පනතින් ආරම්භ වන්නක් නොවන බව ඇත්ත. ඒත් කොතලාවල පනත ඒ ගමනේ සන්ධිස්ථානයක්.  දැනටමත් උතුරු නැගෙනහිර මේ තත්වය ක්‍රියාවට නංවෙමින් පවතින නිසාවත්, දකුණේත් වෙන වෙන විදිවලින් මේ ක්‍රියාවලිය දියත් වී ඇති නිසාවත් අපි ඒක ඉවසිය යුතු ද ? තවමත් අපි කරවටක් වෙනතුරු ගිලිල නැහැ.  සමහරවිට කොතලාවල පනත කියන්නේ මේ මිලිටරිකරණ ව්‍යාපෘතියේ අවසන් විලාපය බවට පත් කරන්නට අපට පුළුවන් වෙනවා ඇති.            

    

 

Wednesday, July 14, 2021

අද ලංකාවේ ඉදන් එදා ප්‍රංශය ගැන කියවා ගනිමින්

 බැස්ටිල් බලකොටුව බිද දමන ලද්දේ මේ වගේ ජූලි 14 වැනිදාවක.  1789 ප්‍රංශ විප්ලවයේ ජයග්‍රාහි දවස හැටියට සැළකෙන්නේ මේ දවස.  ඒ කාලේ වැඩවසම් ප්‍රංශය පාලනය කරපු රාජාණ්ඩුවේ අවසානය මේ බිදවැටිම මගින් සලකුණු කෙරුනා. 

රජ්ජුරුවෝ රදලයන් හා පූජකයන් එක්ක හවුලේ ඒකාධිපති පාලනයක් අර ගෙන ගියා.  මධ්‍යම පංතිකයන් හා දිළිඳු මිනිසුන් මත විශාල බදු බරක් පැට වි තිබුණා.  ඒ බදුවලින් අර පාලක කල්ලි සුර සැප වින්දා.  ඒ මදිවට මේ පාලක කල්ලිවල තන්හාව පිරිමහන්න හතර වටේ ම යුද්ධ අවුලගෙන තිබුණා; ඒවාට ජිවිත දෙන්න වුණෙත්, ආබාධිත වුණෙත් අර දුගී දුප්පත් ජනතාවගේ පුතුන්.  ඔය හැම තැන ම වෙනව වගේ තමයි.  රණවිරුවගේ අං තට්ටු පැළඳ වීමුත් එහෙත් නොතිබුණා නොවෙයි.  ඒත් මූලික වශයෙන් මිනිස්සුන්ට ප්‍රංශයවුණේ රජ්ජුරුවෝ‘.  රාජ්‍යය නම් මමයිකියලා ලුවී රජ්ජුරුවෝ කීවා ම එදා ඒක මිනිස්සුන්ට අරුමයක් නොවුණේ ඔය නිසා.  ඒත් ලුවි ගේ රාජ්‍යයකට අනෙක් මිනිස්සු තමන්ගේ දේපළින්, ජිවිතවලින් වන්දා ගෙවන්නේ අහවල් කොං ගෙඩියකට ද කියල අහන්න කොන්ද පණ තිබුණ මිනිස්සු එහෙත් හිටියා.  ඒ වගේ අය තොග ගණනින් අත්අඩංගුවට අරන් හිර කරල දාපු ලොකුම කඳවුර මේ බැස්ටිල් බලකොටුව කියල හඳුන ගන්න පුළුවන්.  ඒක වටලල පහර දීල, යටත් කරන එක ප්‍රංශ ප්‍රජාතන්ත්‍රික විප්ලවයේ ජයසංකේතය කියල හඳුන ගන්නේ ඒ නිසා. 


 ප්‍රංශය
, ලෝකයේ මුල් මජාතික රාජ්‍යයහැටියට හඳුනා ගන්නවා.  මම මේ කියන්නේ නූතන දේශපාලන විද්‍යා තේරුමෙන්. ඒ නිසා අර දෙදාස් පන්සීය ජාතියේ සෙට් එකටත්, රාවණා-එනුමන්තා ජාතියේ සෙට් එකටත්, තව ඒ වගේ සෙට් ඉන්නවානම් උන්දැලාටත් මේ කතාව අදාල වෙන්නේ නෑ. 

මේ ජාතික රාජ්‍යයපදනම් වෙන්නේ ජාතියකියන අදහස මත.  ඒක ගොඩ නැගුනු විදිය අපුරු කතාවක්.  විප්ලවයෙන් රාජාණ්ඩුව එහි සියළු සාමාජිකයන් ද සමගින් නිර්දය ලෙසින් විනාශ කෙරුනා.  මේ තත්වය ය්රෝපයේ අනෙක් රාජාණ්ඩු බියෙන් වෙව්ලුම් කවන්නට හේතුවක් වුණු බව අමුතුවෙන් ආයි කියන්න දෙයක් යැ ! මේ එල්ල වුණ තර්ජනාංගුලිය හමුවේ රාජාණ්ඩු සෙට් එකක් ම එකට සෙට් වෙලා ළදරු ප්‍රංශ සමුහාණ්ඩුව විනාශ කරන්න ප්‍රංශය වටලෑවා.  ප්‍රංශ රට ඇතුළෙ මිනිස්සු හිටියේ අන්දුන් කුන්දුන් තුන් කුන්දුන් වෙලා.  එතෙක් එයාලා වෙන කවුරුවත් නෙවෙයි රදලයන් හරහා රජ්ජුරැවන්ගේ ගැත්තරයෝ.  ඉතින් ප්‍රංශයහෙවත් රජ්ජුරුවෝ, තමන්ට අනතුරක්නම් අදාල රදලයන් අතේ පණිවුඩ එව්වාම, ඒ රදලයා කරන්නේ තමන් ගේ වැයික්කියේ තමන්ගේ කියන ඉඩකඩම්වල, තමන් යටතේ නඩත්තු වෙමින් ඉන්න ගැත්තන් හෙවත් ප්‍රෙව්ණිදාසයන් සෙට් එකක් තෝරලා රජ්ජුරුවන්ගේ යුද සේවයට යවනවා.  ඔය අනිත් සේවාත් වුණේ එහෙමයි.  ලංකාවෙත් අර කියන අතීත ශ්‍රී විභූතිමත් කාලේ ඇත් කතාව දිව්වේ ඔය විදියට තමයි.  දැන් රදලයොත් නැත්නම්, රජ්ජුරුවොත් නැත්නම් අහවල් එකා බේරගන්නද යුද්ධයට යන්නේ ! ඉතින් විප්ලවවාදි සමුහාණ්ඩුවට සිද්ධ වුණා මිනිස්සුන්ට අළුත් හිතක් දෙන්න. ඒ තමයි ජාතිය ! ඒකෙන් කිව්වේ ප්‍රංශය කියල තියෙන මේ රටේ වාසය කරන ඕනැ ම මනුස්සයෙක් ඒ රාජ්‍යෙය් පොදු  උරුමක්කාරයෙක්, උරුමක්කාරියක් වෙනව කියන එක.  ගැහැණියක්ද- පිරිමියෙක්ද- වෙනත් ලිංගිකයෙක්ද කියන ඒවා අදාල නෑ.  කතා කරන භාෂාව අදාල නෑ.  අදහන- නොඅදහන ආගම් කතන්දර අදාල නෑ.  දුප්පත්ද-පොහොසත්ද අදාල නෑ.  මේ හැමෝම එතැන් සිට ප්‍රංශ ජාතිය‘.  යම් රාජයයක වාසය කරන කවුරුත් එක දේශපාලන සමූහයක් වශයෙන් ජාතිය වෙනව කියන අදහස ජාතිකවාදය‘(Nationalism) කියල හඳුන්වන්න ගත්තා.  මේක ජාතිවාදය, වර්ගවාදය යන අදහස දෙන (Racism) කියන එකෙන් වෙනස්. මේ දෙවනුව කී එක තියෙන්නේ යම් ජාතියක්තව එකකට වඩා අස් හෝ පහත් කියන අදහසින්.  සමහර විට ජාතික රාජ්‍යයන් ගොඩ නගන්නට බලහත්කාරයෙන් මේ වර්ගවාදි උපක්‍රම යොදාගන්නා නිසා ඒකට පටු ජාතිකවාදයකියන යෙදුමත් යොදා ගන්නව දැක ගන්න පුළුවන්.  ඉතින් මේ මුල් කාලින ජාතික රාජ්‍යය ගොඩ නැගීමේ දි සූත්‍රය වුණේ එක් ජාතියකට එක් රාජ්‍යයක්- එක් රාජ්‍යයකට එක් ජාතියක්කියන අදහස.  නොයෙක් හේතු නිසා සමහර රාජ්‍යයන් ජාතින් හැටියට ම අති විශාල විවිධත්වයකින් යුත්.නිසා පස්සේ කාලෙක මේක ප්‍රායෝගික කරගන්න ටිකක් වෙනස් හැඩ තල දෙන්න වුනා.  බහුත්ව රාජ්‍යය‘ (Pluralistic State) කියන සංවර්ධනය ඊට එකතු වෙන්නේ ඒ විදියට. 

ලංකාව වගේ රටවල් අද දවස වෙන කොටත් මේ ජාතියගොඩ නගා ගන්න අසමත් වීම ඇතුළේ ජාතික රාජ්‍යය ගොඩනගා ගන්න වැඩේ පට්ට ම අඤ්ඤකොරොස් තැනකට අරන් ගිහින් තියෙන්නේ.  ශ්‍රී ලංකාව කියන ජාතික රාජයය හදන්න නම් ශ්‍රී ලාංකිකකියල ජාතිය ගොඩනගන්න ඕන.  එත් මේ කියන ශ්‍රි ලාංකිකඑක සිංහල බෞද්ධඑකට හිවල් හමක් කියල තේරුම් ගත්ත ගමන් ඒ වැඩේ හබක් ! 

අනිත් අතින් නිර්වස්තරයෙන් ම සිංහල-බෞද්ධ රාජ්‍යයහදන්න දිවිමිහියෙන් ඇප කැප වී ඉන්න අය ඒකේ දේශසිමාව මුළු දුපත වටේ ම මාක් කරපු ගමන්අනිත් හැමෝටමත් වෙනවා තමතමන් ගේ ඒවත් මාක් කර ගන්න. ඉතින් මේ කපේදි ඕක හදන්න වෙන්නේ නෑ, මේ මහාජාතිකවාදය(මාක්ස්වාදි වහරින් ෂෝවිනිස්ට්වාදය) පරාජය කරනකම්.

ඉතින් ප්‍රංශ මහා විප්ලවය විසින් ලෝකයට බිහි කරපු තව ගොඩක් උරුමයන් තියෙනවා.  ඒ අතර ජාතියගැනත්, ‘ජාතික රාජ්‍යයගැනත් මෙම් පාඩම මේ දුප්වාසින්ට වඩාත් වැදගත් වේවි කියල මම හිතන්නේ.

ඉතින්, එන්න අපි ප්‍රංශ විප්ලවය අනුස්මරණය කරමු !           

 

Thursday, July 1, 2021

ප්‍රජා කෘෂි විප්ලවයකට බලාපොරොත්තු දල්වන තවත් කතාවක්

 https://fb.watch/6tyBtM8ZRs/

මුළින් ම මේ වීඩියෝ ක්ලිප් එකේ පොර ගේ කතාව ඇහුන ම මට WoW කියවුණා. පස්සේ ආයි බලා ගෙන යද්දී මට අනිත් පැත්තට හිතුනා මේක ටිකක් අතිශයෝක්ති ජනකයි වගේ. හැබැයි මේක නිකම් ම නිකම් විසි කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. මේ අත්දැකීමේ රහක් සහ ගුණයක් තියෙනවා වගේ.

මම බියොන්ඩ් ඩි ෆ්‍රේම් එක්ක සෙට් වෙමින් ඉන්න වැඩකටත් කිට්ටු නිසා මට හිතුණා මේක බෙදාගැනීමේ වෙන වටිණාකමකුත් තියෙන්න පුළුවන් කියලා.
මේ කතාවේ හැටියට මේ පොර කෑමෙන්, බීමෙන්, බෙහෙත්-හේත් වලින් ස්වයංපෝෂිතයි. ඒ හැම මගුලක් ම මිනිහ විසින් වගා කර ගෙන තියෙනවා. මීමැසි පාලනයකුත් කරනවා. ලුණුත් හදා ගනනවා. හැබැයි පොර ට කියල එහෙම ඉඩම් කඩමුත් නෑ ලු. අන්න ඒ කතාව ඉන්ටරෙස්ටින්. එයා ඒ ප්‍රශ්නය දිනල තියෙන්නේ වටේ කොමියුනිටි එක හෙවත් අහල පහළ ප්‍රජාව එක්ක සෙට් වෙලා; එයා කරන්නේ කාටත් වගා කරල දෙන එක. තමන්ගෙම ඉඩමක් නැතත් කරන්න පුළුවන් දේවල් ගොඩක් පොර යෝජනා කරනවා. අඩු ම ගානේ මිළ දී ගන්න කෑම බීම ඒ වගේ වගා කරන අයගෙන් කෙළින් ම ගන්න කියලයි එයා යෝජනා කරන්නේ.

මහා පරිමාණ කෘෂිකර්මාන්තයට එයා පට්ට ම විරුද්ධයි. "මට ඕනෑ ඔබේ ආහාර ගැන ඔබ ලවා ප්‍රශ්න කරවන්න. ඒවා එන්නේ කොහෙන්ද? ඒවා හැදෙන්නේ කොහොමද? ඔබට ඒවා ලැබෙන්නේ කොහොමද? මහපොළොවට, අනෙක් සත්ව විශේෂයන්ට සහ මනුෂ්‍යයන්ට ඒවා බලපාන්නේ කොහොමද? මේවාට ලැබෙන පිළිතුරු ඔබ කැමති ඒවා නොවේනම්, ඔබ කළ යුත්තේ මොනවාද? අවංකව ම  කීවොත්, මට න්‍යායපත්‍රයක් තියෙනවා;මට ඕන මේ පිළිතුරු වෙනස් කරන්න පුළුවන් විදියට ඔබව බලගන්වන්වන්න.."
ඉතින් එච්චරයි.
ක්ලිප් එක බලන්න.
ස්වයංපෝෂිත රටක් කියන්නේ කෙප්පයක්. ස්වයංපෝෂිත මිනිහෙක් ගැනත් මටනම් විශ්වාස කරන්න පුළුවන් බඩු නෑ. තිබ්බත් එතනට යන්නත් හොද නෑ. ඒත් මහා පරිමාණ නිෂ්පාදනය ගැන මේ විවේචනය සහ ඒකට මුහුණ දෙන්න මේ විදියේ ට්‍රයි එකක් දෙන එක වීරවික්‍රමාන්විත වැඩක් වගේ මටනම් දැනෙනවා.
බියොන්ඩ් ඩි ෆ්‍රේම් පුද්ගලික ආයතනයක්. සමාජ ව්‍යවසායකත්ය දිරිගැන්වීම අපේ එක අරමුණක්. අපටත් න්‍යාය පත්‍රයක් තියෙනවා. මේ හැම දේම පරිනත ලාංකික පුරවැසි සමාජයක් නිර්මාණය කරගන්න. 
අපේක්ෂා කරපු වැඩකට ගන්න කම් හිස් ඉඩම් තියෙනව නේ. අනිත් අතින් කෙටි කාලයකට හරි එහෙම ඉඩමක් හොයමින් ඉන්න අය ඉන්නව නේ  අපේ සමාජයේ මේ වගේ  ප්‍රශ්නයකටත් විසදුමක් ලැබෙන විදියේ ව්‍යාපාර වැඩක් ගැන ප්‍රෙජෙක්ට් එක්ක රස්තියාදු වෙමින්. අපි ට්‍රයි කරනව මේ දෙපිරිස එකතු කරන්න. ඒක ඇතුළේ එහෙම නිෂ්පාදනයක්, සේවාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් එකතු වෙන්න ඉඩක් හදන්න. ඒ රස වුණත් වස විස වෙනුවට කෑම බීම හොයන අය, යමක් කරන්න පුළුවන්කමත් තියලත් ඒකේ  පියවරක් තියාගන්න ඕන ආත්ම විශ්වාසය සොයමින් ඉන්න අය, ලෙඩරෝග වලට වඩා සුදුසු සහ පහසු ප්‍රතිකර්ම හොයමින් ඉන්න අය, පළතුරු, එළවළු නැත්නම් ඔසුපැල එකතු කරල වෙන නිෂ්පාදනයක් කරන්න,කරල සමාජගත කරන්න බලා ඉන්‍න අය ආදි වශයෙන් බොහෝ අය මේ හිස් ඉඩම් උස් වැඩට යොදවන වැඩෙන් බලසතු වෙයි කියල අපි හිතනවා.
ඒ වගේ ම මේ වගේ වැඩක් කරන එක ම කට්ටිය අපි වෙන්න ඕනත් නෑ. වැඩේ පැතිරෙන තරමට අපිත් සාර්ථකයි. ඒ අතින් වීඩියෝ ක්ලිප් එකේ පොර සහ අපි ටිකක් සෙට් !

Tuesday, June 29, 2021

ඔන්ලයින් යනු අර්බුදයේ හේතුව නොවේ;විභාග කේන්ද්‍රීයත්වයේ අර්බුදයේ හඩ පමණි.


 'ඔන්ලයින්' කියද්දිත් ඔක්කාරයට එන සයිස් ය. අති විශේෂයෙන්ම නරක ම අත්දැකීම් ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ය. මාස 15ක් පමණ දිගු කලක් වසා දමා ඇති ආණ්ඩුවේ ඉස්කෝලෙ 10,012 ක් ඇතුළු පාසල් පද්ධතිය කෝවිඩ් නිසා ඇරගන්නට බැරි ය. ඒ කියන්නේ ඉස්කෝල බිල්ඩින් ටිකට ගුරුන් සිසුන් ගාල් කර ගත නොහැක. එහෙම කරන්නට යාම නිසා දැනටමත් නිරපරාදේ මරණ ග‍ණනකි.

ආණ්ඩුවට මේ පාසල් පද්ධතිය සහ විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාම සදහා තිබූ එක ම විකල්පය ඔන්ලයින් අධ්‍යාපනය ලෙස හැදින්වූ අන්තර්ජාල ප්ලැට්ෆෝම් ය. ඒකත් ගුරුවරුන් හා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ස්වේච්ඡාවෙන්, තම තමන් ගේ වියදමෙන්,තම තමන් ගේ උපකරණවලින් ඒ වැඩේ පටන් ගත් පසු ය. ඒවා අධීක්ෂණය කරන්නට, නිල ඇදුම් ඇගලා ගෙන විකාරරූපි නාට්‍ය රගදක්වන්නට නිලධාරීන් ඒ මැදට පැන බලපෑම් එල්ල කරන්නට පටන් ගැනීමෙන්, ගුරුන් ගේ රතු කට්ට ද පැන්නේ ය. දිවයින පුරා ශක්තිමත් අන්තර්ජාල පහසුකම් පද්ධතියක් නැත; උපකරණ නැත; වියදම් කරන්නට සිදුවන්නේ අතිනි. ගුරුන් හා ශිෂ්‍යයන්ට ටැබ් ලබා දී, රට පුරාම අන්තර්ජාල කලාප ව්‍යාප්ත කොට පටන් ගන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගතකිරීම් ආපස්සට හරවද්දී අපේ ඊනියා ප්‍රගතිශීලී කියන බලවේග රග දැක් වූ ප්‍රතිගාමී කාර්යභාරයේ විපාක දැන් දැන් අපි භුක්ති විදිමින් සිටිමු. ඒ කාලේ ඔවුන් ඇසුවේ 'දැන් අධ්‍යාපනයට අඩු ටැබ් ද' කියා ය. 'ඡන්ද නැති කරගන්නා වැඩක්'යි කියමින් වත්මන් රෙජීමයේ ද ප්‍රධාන හවුල්කරුවකු වන එවකට සිටි ජනාධිපතිවරයා ඒ යෝජනාව හමස් පෙට්ටියට එබුවේ ය.
ඉතින් අන්තර්ජාල පහසුකම් ගැන කවර කතා ද ! රටේ ජාතික මට්ටමේ පරිගනක සාක්ෂරතාවය 32%කි. එය නාගරික වශයෙන් ද 43.5%කි;ගම්වල 30.7%කි;වතුකරයේ 12.1%කි. මේ ගණන් බලා ඇත්තේ අවුරුදු 5-69 අතර පිරිස අතර ගේම් ගහන්නට හෝ පරිඝනයක් හසුරුවා ගැනීමේ හැකියාව අනූව ය. අපි අත ඇති බොහෝ ස්මාර්ට් දුරකථන ඇතුළු උපකරණවලින් වැඩි ම දෙනෙකු ෆේස්බුක් ගොස් සුද්ද සිංහල කෙටීමට හා සකබර්ග්ලා විසින් දී ඇති මූණක්, අතක් ලකුණු කොට දීමට වඩා දෙයක් දන්නේ නැත. බොහෝ වැඩිහිටියන්, විශේෂයෙන් ම ගුරුවරුන් අන්තර්ජාලය සලකන්නේ යක්ෂයෙකු ලෙස ය. පාසල්වල ICT ලැබ් වල හොදම දේ වාරණය කර ඇත. ලෝකයේ sex සම්බන්ධයෙන් වැඩි ම අතෘප්තිමත් පාරිභෝජකයන් සිටින රටක් බවට ලංකාව පත්වන්නේ ඉහත සියල්ලේ අනිවාර්ය ප්‍රතිපලයක් ද ලෙස ය.
ඉතින් දැන් ඉස්කෝල බිල්ඩින් ටික ඇරගන්නට බැරි වූ කල මේ කවුරුත් zoom, meet,team, classroom ආදි අන්තර්ජාල ප්ලැට්ෆෝම් සොයා ගිය හ. අර පසුබිමේ මේ වැඩේ කරන්නට යාම අත්‍යවශ්‍ය හෝම්වර්ක් මග හැර මැද්දෙන් පැනීමකි. මේ වන විට ප්‍රතිඵල ලෙස දරුවන්ගෙන් 60%ක් අධ්‍යාපනයෙන් පිටුවහල් වී ඇතැයි ද, සිලබස්වලින් 5%-10%ට වඩා කවර් කර නැතැයි ද ගුරු සංගම් වලින් පෙන්වා දී ඇත.
පුළුල් අන්තර්ජාල ආවරණයන් ගැන අතේ පත්තු වෙන මාගල් සයිස් බේගල් දෙසා බෑම වෙනුවට ඇත්ත විකල්පයන් දෙසට හැරෙන ලෙස ගුරු සංගම් දැන් බලකරමින් සිටී. අධ්‍යපෙයේ අහිමි වන සම අවස්ථා ගැන මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමේ උද්ඝෝෂණයක් ද ඔවුහු දැන් ආරම්භ කර ඇත.
ආණ්ඩුව අධ්‍යාපනය පමණක් නො ව කිසිදු තීරණාත්මක ප්‍රශ්නයක් ගැන විකල්පයක් නිර්මාණය කරන්නට අසමත් ව සිටී. ඒ රට කරවන ඇත්තන් ගේ දෝෂයක් ම යයි මම නොසාතමි.ඔවුන් සැබැවින් ම අපේ සමාජයේ අන්ත පසුගාමී බලවේගවල මජර කොල්ලකාරි උවමනාවන් නියෝජනය කරමින්, ඒ තුළින් තමන් ගේ ලොකු කුට්ටිය කඩා ගනිමින් පමණක් සිටිති. ඒ මංකොල්ලයත්, හරස් වන්නන් මර්දනයත් යන දෙකට එහායින් මේ සමාජ බලවේගවලට කිසිදු වැඩපිළිවෙලක් ගැන  කල්පනා නො වේ.
ඉතින් දැන් යෝජිත අධ්‍යාපන විකල්ප මොනවාද ?
සියළු ගුරුන්  හා විදුහල්පතින් එන්නත් කර පාසල් විවෘත කිරීමත්, පුරුදු පරිදි වැඩ කර ගෙන යාමත් එක යෝජිත විකල්පයකි. මේ ජුනියේ මැද වන විට එන්නත් කර ඇත්තේ ජනගහනයෙන් 2.81%ක් පමණි. ඒ ද බරපතල ගැටළුකාරී දේශපාලන හා පරිපාලන ඇගිලි ගැසීම් මගින් ඇති කළ විකෘතතා සහිතව ය. අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය ලබා නොදීම මෙන් ම චීන එන්නත් හී ඵලදායිතාවය ගැන ද සැකමුසු චෝදනා එල්ල වෙමින් තිබේ. මේ තත්වයන් තුළ පාසල් ප්‍රජාව එන්නත් කර අවසන් කිරීම අතිශයින් අසාර්ථක විකල්පයක් වනු ඇත.  ඒ හැරත් රජයේ පාසල් 10,012කින් 2644ක වැසිකිලි පහසුකම් නැති, 1627ක ජල පහසුකම් නැති තත්වයක් යටතේ කෝවිඩ් වළක්වාගැනීම සිනා නැති විහිළුවක් පමණක් වනු ඇත.
මේ වන විට වඩා ඉහළින් ඔසවමින් ඇත්තේ රූපවාහිනිය තුළින් සිලබස් කවර් කිරීමේ යෝජනාව ය. ආණ්ඩුවට මෙය ක්‍රියාත්මක කළ හැක්කේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ එකගතාවය මත පමණි. ඕනෑනම් අනෙක් පෞද්ගලික රූපවාහිනි සේවා සමග ද එකගතා ඇති කර ගත හැක. එහෙත් මේ යෝජනාව ඔසවා තබන අය ට එක් අතෙකින් රූපවාහිනි චැනලයක වේලා තීරු වෙන් කිරීමේ කාර්යය ගැන අබ මල් රේනුවක දැනුමක් නැති බවක් පෙනේ. අනිත් අතින් රූපවාහිනි සේවා වුව ද මුළු දිවයින එක ලෙස ආවරණය කරන්නේ නැති බව ද, එසේ කිරීම සදහා අප රටේ භාවිතා කෙරෙන උපකරණ වල සිට තව බොහෝ දේ ප්‍රමාණවත් නොවන බව ද, අති විශේෂයෙන් ම කිසිදු ජනමාධ්‍යයක ක්ෂණික සහ සෘජු ප්‍රතිචාර දැක්වීමේ නොහැකියාව නිසා දුර්වල වන ප්‍රතිපෝෂණ හැකියා ගැටළුව ගැනද ආදි සුවහසක් ගැටළු අවධානයෙන් ගිලිහී ගොස් ඇති බව ද පෙනේ.
එහෙත් මේ යෝජනා ගෙන එන අය අවංක ලෙස ම ඒවා කරනුයේ පවතින විභාග ටික කර ගැනීම ම පමණක් ම සමස්ත අධ්‍යාපනය ලෙස සළකා ය. මේ ප්‍රශ්නය ගැන මුළු සාකච්ඡාව ම කැරකෙමින් ඇත්තේ විභාග කේන්ද්‍රීය මේ අධ්‍යාපන ව්‍යුහය කඩා වැටීම වළක්වන්නේ කෙසේ ද යන්න ගැන ය.
ඇත්ත ම අර්බුදය ඇත්තේ යල් පැන ගිය මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ ය.  දැන් ඉතින් මේ අවසරයෙන්වත් ඊට කුළු ගෙඩි පහරක් දිය යුතු නො වේ ද...?
අවශ්‍ය පහසුකම් සහ නිර්මාණාත්මක නිදහස තහවුරු කරන ලද ගුරු අධ්‍යාපනයක් තිබුණේනම්, ඇත්ත වශයෙන්ම රූපවාහිනී හෝ ඒ තරමටවත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේද අසාර්ථක නො වේ. ඇත්ත ම අසාර්ථකත්වය ඇත්තේ 'අහවල් විභාගයට අහවල් ප්‍රශ්නපත්‍රයේ අසන මේ විදියේ ප්‍රශ්නයට මේ විදියේ පිළිතුරක් දෙන්න' යයි කීමට සීමා වූ අධ්‍යාපන පද්ධතියේ ය; 'ටෝක් සහ චෝක්'  ක්‍රමවේදයේ ය.
මේ තව එක පැයක් වත්‍ පවත්වා ගැනීමට නුසුදුසු ක්‍රමයකි.
වහාම කළ යුතු ව ඇත්තේ මේ අසාර්ථක විභාග පද්ධතිය අහෝසි කර දැමීම ය.
විකල්ප ඇගයුම් ක්‍රමයක් ස්ථාපිත කිරීම හදිසි හා අත්‍යවශ්‍ය වේ. හැකිතාක් ස්වයං අධ්‍යයන ක්‍රම දිරිගැන්විය යුතු ය. ඉන්දියාවේ සෘෂිවැලි සහ ස්ථාන හයක ක්‍රිෂ්ණමුර්ති පදනමෙන් පවත්වා ගෙන යන පාසල්වල ඉගෙන ගන්නා දරුවෝ අවශ්‍යනම් පම‍ණක් ගුරුන් විමසති. තම ශ්‍රේණියට අදාල තත්වය අපැහැදිලිනම් පහළ ශ්‍රේණීන්ගේ සිට අදාල මූලධර්ම ඉහළට ඉගෙනගනිමින් එති. ඇත්තටම නායකත්වය ශිෂ්‍යයන්ට දී ගුරුවරු පසුපසින් සිට පහසුකම් සැපයිය යුතු තත්වයක් නිර්මාණය කර ගත යුතු වෙමු. යල් පැනගිය දිසාපාමොක්ලා ගෙන් අපි වහා වහා ම නිදහස් විය යුතු වෙමු.
අන්තර්ජාල තාක්ෂණය නිසා දරුවන් රෝගී බවට පත් ව ඇතැයි  වෛද්‍ය වාර්තා උපුටා දක්වයි. ඇත්ත ය. ඉතා දිගු කලක්, අකුරු කියවමින්, කුඩා තිර මත ඇස් රදවා ගෙන සිටින්නට බල කිරීම මගින් එය අනිවාර්යයෙන් ම සිදු වනු ඇත. 2017 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අඩු ම වශයෙන් අවුරුදු 17 වන තුරුවත් සිය‍ළුම විභාග අහෝසි කරන ලෙස ආණ්ඩුවට යෝජනා කළේ විභාග පාදක අධ්‍යාපන ක්‍රමය අපේ දරුවන් මානසික- කායික රෝගින් බවට පත් කරමින් ඇති බැවිනි. 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ ආරම්භක පියවර ම, ඒ වැදගත් වෙනසේ මුලපිරුම ම විනාශ කිරිමෙන් එය ද ආපස්සට හරවන ලදී. දැන් සනීප ය ! 
"අපි ප්‍රශ්න අසන්නෙමු.නුඹලා ඒවාට අප කැමති, අප අනුමත කරන පිළිතුරු දිය යුතු වේ. ඒවා එසේ ම දී ඇත්දැයි පරික්ෂා කිරීමට අප විසින් පත් කරන උත්තර පරීක්ෂකවරුන්ට මොඩල් උත්තර අප විසින් දී ඇති අතර ඒවා සමග ඇති ගැලපුම අනූව නුඹලාට ලකුණු හිමි වනු ඇත" යන්න පදනම් කර ගත් අධ්‍යාපන ක්‍රමයක් අපේ දරුවනුත්,අනාගතයත්,ශිෂ්ටාචාරයත් තවදුරටත් විනාශ කරනු ඇත. ඒ ඉදිරියේ බකං නිලා  සිටිනවා ද; නැතහොත් ඊළග පැයේදීම එය  වෙනස් කරනවා ද ? අඩු ම වශයෙන් ආරම්භක පියවර හෝ තැබීමට මේ සුදුසු ම මොහොත නො වේ ද ?
විකල්ප ඇගයුම් ක්‍රමයක මුල් ම පාදම විය යුත්තේ ශිෂ්‍යයා ගේ ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සහ ඊටත් වඩා ප්‍රතිචාර සටහන් කිරීමේ මාධ්‍යය සම්බන්ධයෙන් ඔහු ගේ, ඇයගේ නිදහස පූර්ණ ලෙස පිළිගැනීම ය. මාකින් ස්කීම් අවශ්‍ය නැත. ඔහු ට හෝ ඇයට, අදාල දෙය කොයි තරම් දක්ෂ ලෙස ඒත්තු ගැන්විය හැකිව තිබේ ද යන්න පමණක් ගණනය කළ යුතු ය. පිළිතුරකට මාර්ග බොහෝ තිබිය හැක.බොහෝ විට පිළිතුරු ද එකකට වඩා තිබිය හැක. ඒවා යේ හරි වැරදි ගැන අධිකාරීවාදි මතයක් පටවනු වෙනුවට අවශ්‍ය කරන්නේ අදාල ප්‍රකාශනය කොතෙක් හොදින් සංනිවේදනය කර ඇත් ද යන්න මැදිහත් ව විමසා බැලීමයි. එය අළුත් දැනුම නිෂ්පාදනයේ තෝතැන්නක් වනු ඇත; කුසලතා ගොඩනගනු ඇත;ආකල්ප සහ අධ්‍යාත්මයන් නිදහස් කරනු ඇත.
ඉතින් කෝවිඩ් තුළින් අධ්‍යාපනයේ අර්බුදයක් මතු වී ඇතැයි යන විකාර අදහස අතහරිමු. සිදු ව ඇත්තේ අධ්‍යාපනයේ අර්බුදය ප්‍රකාශ වෙමින් පොලා පැනීම ය. ප්‍රශ්නයේ හරය වන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වහා අහෝසි කරන්නට බල කරමු.

Friday, June 25, 2021

නොකළ වරදට සමාව දීම සහ කළ සාපරාධි වරදට තෑගි දීම



"මා නිදහස ලබා යන්නේ මා අත්අඩංගුවට පත් පරිසරයටම නම් නිදහස ලබන මා නැවතත් කරන්නේ පෙර දිනෙක මා අත්අඩංගුවට පත්වීමට කරන ලද දේ ම ය....එවිට ඔබ මම මෙම ගේට්ටුවෙන් පිටත් ව ගිය වහා ම නැවත අත්අඩංගුවට ගනු ඇත" (නිදහස සොයා ගිය ගමනක්:2 කාණ්ඩය, පිටුව 388-9)
නෙල්සන් මැන්ඩෙලා ගේ මේ ප්‍රකාශය මතක් කෙරෙනුයේ පොසොන් සදට මුවා වී රාජපක්ෂ රෙජීමය විසින් කරන ලද ඊනියා සිරකරු නිදහසේ සිද්ධිය සමග එහි ඇති සෘජු අදාලත්වය නිසා ය. එසේ නිදහස් කරන ලදැයි කියන 93 දෙනෙකු අතර නින්දිත 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත'  යටතේ සිර කොට සිටි 16 දෙනෙක් ද වූහ.
මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention from Terrorism Act)1979 යන්න යුක්තියේ,සාධාරණත්වයේ හා නීතියේ සමානත්මතාවය ආදි ශ්‍රේෂ්ට මූලධර්ම සියල්ල නටඹුන් කරන්නක් වන්නේ ඇයි?  එය සාමාන්‍ය‍ නීතියට පිටින් ක්‍රියාත්මක වන්නකි. එනම් සාමාන්‍ය නීතියේ වලංගුබව අභියෝග කරන්නකි. මේ යටතේ අත්අඩංගුවට පත් වන ඔබ,  18 මසක් පුරා විවෘත අධිකරණයකට ඉදිරිපත් නොකර, නිල රැදවුම් භාරයක් නොවන තැනක රදවා තබා ගත හැක. මුළුමහත් ලෝකයෙන් ම වසන්ගා ගෙන සිටින ඔබ විසින් කරනවා යයි ඔවුන් සදහන් කරන පාපෝච්චාරණයකට මේ කාලය තුළ ඔබගේ අත්සන තබන්නට ඔබට සිදු වෙයි.මොකක්....?ප්‍රතික්ෂේප කළහොත්....ඇගිලිවලින් එල්ලා කරන පහරදීම්, නිය ගැලවීම්, පෙට්‍රල් පිරවූ ෂොපින් බෑග් තුළ හුස්ම ගන්නට බලකිරීම්, ශිෂ්නයට යකඩ කූරු ඇතුළු වධක උපකරණ ඇතුල් කිරීම්, ආදි මෙකී නොකී හිංසක ක්‍රීඩා රැසක් ඔබේ කැමැත්ත පහසුවෙන් දිනා ගැනීමට අසමත් වෙතැයි ඔබට විශ්වාස ද? ඔබ පමණක් නොව ඔබගේ සමීපතමයන් වධබන්ධනයට ලක් කරවා ගැනීමේ, ජීවිතය අවසන් කරවීමේ තර්ජන විහිළු නොවන බව හොදටම තේරුම් ගන්නා ඔබ මේ වෘක රැළ කියන ඕනෑම දෙයක් නොකරනු ඇත් ද?
ඉතින් මෙසේ අත්සන් කරනු ලබන 'පාපෝච්ඡාරණයක්' අධිකරණය හමුවේ ඔබට ම එරෙහි සාක්ෂියක් ලෙස ඉදිරිපත් කෙරේ. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ගැන ඒ නිවස ඉදිරිපිට පිහිඹියා ගසක අත්තක් කපමින් සිටි තමිල් දුගී කුලීකරුවෙකු මෙසේ සිරදඩුවම් විදිමින් සිටියදී නැවත සිය දුගී දරුපවුල කිසිදා නොදැකම ජීවිතය අවසන් කළේ සිරගෙදර ය. ජනාධිපතිනි චන්ද්‍රිකා ඝාතනයට වැරදිකරු කොට අවුරුදු 293ක සිරදඩුවමක් නියම කළ මිනිසා මුල්වරට වව්නියාවෙන් පිටතට පැමිණ ඇත්තේ තමන් අත්අඩංගුවට ගත් පිරිස සමග ය ! මෙසේ  අධිකරණයට ඉදිරිපත් කළ පසු ද විවිධ වර්ගයේ සිරදඩුවම් වල සිට මරණීය දණ්ඩනය දක්වා දඩුවම් ඔබට නියම කිරීමේ අවස්ථා විනිසුරන් සතු ය.
මෙය මුළුමනින් ම යුක්තියේ හා සාධාරණත්වයේ මූලධර්ම සුන්බුන් කරන්නක් බව තේරුම් ගැනීමට වෘකයා ඔබ නිවසේ දොරට තට්ටු කරන මොහොත තෙක් පමා විය යුතුද යන්න සිතා බලන්න.
යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවේ ලංකාව මානව හිමිකම් උල්ලංඝනයන් අඛණ්ඩව සිදු වන රටක් ලෙස බහුතර එකගතාවයකට පත්වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මෙම නින්දිත පනත දිගින් දිගටම ක්‍රියාවේ යොදවමින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බව තහවුරු කිරීම ය. ඒ මගින් යුරෝපා වෙළදපොළේ තෝරාගත් විශේෂ සහන තත්වයන් සදහා ලංකාව නුසුදුසු රාජ්‍යයක් ලෙස 2010 දී ගත්, 2017දී ආපසු හරවන ලද තීන්දුව වෙත ආපසු ගමන් කිරීමක් සිදු වනු ඇත. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් ,යහපත් වෙළදපොළකට හේතු නොවන බව යුරෝපා සංගමය වැනි දියුණු ධනේෂ්වර කේන්ද්‍රයන් විසින් පිළිගනී. එම රාජ්‍යයන් හී විශ්වයීය පුරවැසි චින්තනයකින් යුතු
ශක්තිමත් සිවිල් සමාජයේ බලපෑම ප්‍රධාන හේතුවකි.
ලංකාවේ අපනයන වෙළදපොළ මූලික වශයෙන් යුරෝපය මත රදාපවතින්නකි.

මේ අනූව දෙකොන පූට්ටු වී සිටින රාජපක්ෂ රෙජීමය හිටි අඩියේ ම 'මෙත්මල් පිබිදේවා' ගීත ගායනා කරන්නට කැමරා ඉදිරියේ පෙනී සිටින්නට පටන් ගෙන ඇත. සිය රාජකාරිය අවංක ලෙස ඉටු කිරීමේ වගකීම හේතුවෙන් චෝදනා රහිතව වසර එකහමාරක් තිස්සේ අත්අඩංගුවේ තබා ගෙන සිටින පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසුන්දරට මුල් වරට ඇප හිමි වන්නේත්, අර කී නින්දිත පනත යටතේ සිර කොට සිටි අයගෙන් 16කට 'නිදහස' පිළාගැන්වීමත් පස්ස ගිනි ගත් රෙජීමයේ ගැලවිජ්ජාවන්ට වඩා දෙයකැයි කිව හැක්කේ කාටද !
අවම වශයෙන් ඔවුන් කළ යුතු ව තිබුණේ මේ නින්දිත පනත අහෝසි කරදැමීම ය. එවිට ඒ යටතේ සාපරාධී ලෙස සිර කොට සිටින සියළු දෙනා සාපේක්ෂක හෝ නිදහසක් ලබනු ඇත. ඇත්ත වශයෙන් ම ඔවුන්ට සමාව දීමක් කරන්නට රජයකට අයිතියක් නැත. ඇත්තටම සමාව ගත යුත්තේ රජයයි. දැන් මොවුන් කර ඇත්තේ නොකළ වරදකට ඊනියා සමාවක් දී තමන් ගේ දැහැමි වෙස් මුණු විකට ලෙසින් ප්‍රදර්ශනය කිරීමකි.
ඒ මදිවාට කිරි මූඩියකට ගොම කලයක් හලා ගත්තා සේ  ය; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද සැකයකින් තොරව තහවුරු කරන ලද මරණීය දණ්ඩනය හිමි ව සිටි රාජපක්ෂලාගේ කුප්‍රකට ගජයකු වන දුමින්ද සිල්වා ද මේ පොසොන් නිදහස් ලැයිස්තුවෙන් එළි බැස ඇත. මරණිය දණ්ඩනය හිමි වූවෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී ව්‍යවස්ථාවේ 34(1) උල්ලංඝනය කරමින් ලංකාව අරාජික රාජ්‍යයක් බවට පත් කෙරෙන තත්වයක් ජාතික හා ජාත්‍යන්තර ආයතන ගණනාවක් විසින් පෙන්වා දී තිබේ.
රාජපක්ෂ රෙජීමය විසින් සිය මරිමෝල් අනුචරයන් ද සමග ලංකාවේ එහි අදුරුතම අගාධයෙනුත් පහළට ගෙන යනු ඇත. ඊනියා යුද ජයග්‍රහනයක මිථ්‍යාවෙන් ඇස් නිලංකාර කර ගෙන සිටින මේ තක්කඩි මුග්ධයන්ට ජාතික ප්‍රශ්නය දේශපාලනික ව විසදා, ප්‍රජාතන්ත්‍රීය එක්සත් ලංකාවක් බිහි කළ හැකියයි විශ්වාස කරන්නේ කුමන පදනමකින් ද ?

Tuesday, June 8, 2021

අධිවේගී මුතුඇටේ ගැන අමුතු ඇටේ අමුතු කරුණාව.


 කොළඹ වරාය අද්දරින් ගිනි ජාලාවක් වී ජංජාලයක් වුණ  Express Pearl නැවේ සිද්ධිය මගින් ලංකාවේ සාගරය ට පිරිමැසිය නොහැකි වින්නැහියක් ඵල දී ඇති මොහොතකි; මේ ජුනි 8,ලෝක සාගර දිනයයි. 

Express Pearl හෙවත් 'සීඝ්‍රගාමී මුතුඇටේ'

Express Singapore සමාගමට අයත් නැවකි. එහි අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81 ඇතුළු කන්ටේනර් 1486ක් පටවා තිබී ඇත. 

විනාශය මගින් ද්‍රව්‍යමය වශයෙන් වූ පාඩුව නැවත පියවා ගත හැකි වනු ඇත. එහෙත් සාගර ජෛව පද්ධතියට වූ විනාශය අවුරුදු 20-50ක් තරම් කාලයක් යන තුරුවත් පියවා ගත නොහැක්කක් බව පරිසර විද්‍යාඥයන් විසින් තක්සේරු කෙරේ. 

"අහක යන වින්නැහියක් ගෙදරට කැදවා ගත්තේ මොන මගුලකටදැ"යි ප්‍රශ්න කරන්නෝ වෙති.මේ ප්‍රශ්නය සෑහෙන වලංගු එකෙකැයි මටත් සිතේ.එහෙත් ඒ දෘෂ්ටිකෝණයට මම  එතරම් නොකැමැත්තෙමි. උදව්වක් උපකාරයක් අවැසි ඕනෑ ම මොහොතක ඒ ඉටු කිර්‍රිමේ යහගුණය රාජ්‍යතාන්ත්‍රිකව ද තිබිය යුත්තකැයි මම අදහමි. ප්‍රශ්නය වනුයේ උදව්වක් කිරීමේ හැකියාවක් කොළඹ වරාය හෝ ලංකාව හැටියට තිබුණා ද යන්න ය. 

පෙනී යන හැටියට දැනුවත්වම ඒ හැකියාව ලංකාව සතු නො වේ. ගින්‍න නිවා දැමීම සදහා ලංකාව විසින්‍ මුළින් ම භාවිතා ක‍ළ උපක්‍රම වලට පින් සිදු වන්‍නට ගිනි ජාලා වැඩි වැඩියෙන් පැතිර යන්නට විය. ඒ හැකියාව තිබූ ඉන්දියානු නාවික සහාය ඉල්ලා සිටියේ  අවසාන මොහොතටත් පසුව තවත්‍ ටික වෙලාවකට පසුව ය. ජාත්‍යන්තර top list අනූව ලංකාවේ කොළඹ වරාය 24 වන ස්ථානයේ පිහිටා ඇති අතර ඉන්දීය හොද ම වරාය පිහිටා ඇත්තේ 29 වන ස්ථානයේ ය. වරාය අධිකාරියේ ඉලක්කම් අනූව ජුනි 8 දක්වා 2021 මුල සිට කොළඹ වරායට නැව් 1521ක් පැමිණ තිබේ. ලංකාව ආසන්නයෙන් ගමන් කරන නැව් 3000ක් පමණ වන අතර සාමාන්‍යයෙන් ඉන් 30%ක් පමණ මෙරට වරායට ඇතුල් වෙන බව පැවසේ. එහෙත් මෙරට නාවුක හමුදාව සූදානම් කොට ඇත්තේ තාමත් හූදු මිලිටරි යාන්ත්‍රණයක් ලෙස ය. නිරන්තරයෙන් ම ඇති වන මෙවැනි අනතුරුවලට මුහුණ දීමට සමත් නවීකාරක නාවික බලයක් ගැන සිතීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමකැයි තැති ගන්වන අමන තක්කඩියන් ට ඒ ගරුත්වය හිමි වෙත්වා!

තත්වය එසේයයි හොදින් ම දන්නා අතර ම මේ 'අධිවේගී මුතු ඇටේ' ගිනි ප්‍රශ්නය ලංකාවේ බලධාරීන් විසින් තනියම කරගසන්නට බාර ගැනීමේ වීර වික්‍රමාන්විත අභිලාශය පිටුපස ඇත්ත කුමක් විය හැකි ද ?

2020 ජූලියේ දී මුරුසි දිවයින ආශ්‍රිත වසර දහසකට වඩා ඉපැරණි කොරල් පරයක් හා ගැටීමෙන් ඊට සිදු වූ විනාශයට වන්දි ගෙවීමට නැව් සමාගමට සිදු වූ අතර එම වන්දිය එරට වාර්ෂික දල ජාතික ආදායමට ද වැඩි විය. ලංකාව ද මෙවැනි කුඩා හෝ වන්දි අය කරගැනීමක් මාසයකට පෙර සිදු කළ බව ආරංචි ය.

'අධිවේගී මුතුඇටේ' සම්බන්ධයෙන් 'ඉන්දියන් සයුරේ අමුතු ඇටේ'දැක් වූ කරුණාව අන් කිසිවක් නො ව මේ වන්දි මුදල් වාසනාව ගැන කළ මලපෙරේත කෙල හැලීමක් මිස අන් කිසිවක් නොවන බව දැන් අපට පැහැදිලි ය. තනියෙන් බදා ගෙන කන්නට ගොසින් වෙච්ච අලකලංචිය ගැන හෝ තාමත් රෙජීමයට වගේ වගක් නැත.  

එහෙත් අනෙක් පැත්තෙන් වන්දි ලබා ගැනීම ගැන ද සැක කටයුතු තත්වයක් මතු වී තිබේ. ඒ මේ සම්බන්ධ ජාත්‍යන්තර හැම්බර්ග් සම්මුතිය තවමත් ලංකාණ්ඩුව විසින් අත්සන්‍ තබා නැති බැවිනි. ක්ෂණික සල්ලි කුට්ටි කඩාගන්‍නා අවස්ථා ලෙස මිස ජාත්‍යන්තර සම්මුති මගින් බැදෙන සීලාචාර අන්තර්ජාතික දේශපාලනයක් ද මේ මුග්ධ රට ට අකැප ය. 'අහවල් සම්මුතියට අත්සන් තබා රට අනතුරේ හෙලුවේ අප නොවේ, අන්න අරුන්' යනුවෙන් නැගෙන නර්මාලාප අපට හොදින් හුරුපුරුදු ය. 

සුනාමි ව්‍යවසනය මෙන් ම මේ සිය‍ළු ව්‍යවසන වෙස් වලාගත් ආශිර්වාද බවට පත් කරගන්නා බල හවුලක් ලබන්නට ලංකා දිවයින වාසනාවන්ත වී තිබේ. ඒ කිසිදු විටෙක ඉන් විපතට පත් වූවන් ට ඒ ආසිරි හිමි නො වූ බව අපි අත්‍දකිමින් නොසිටිමු ද ? 

නයිට්‍රික් අම්ල ඇතුළු කාන්දු වූ විෂ රසායන මගින් මසුන් ඇතුළු ජලජ ජීවීන්ගේ පිට කටු, ඇට කටු දිය කර හරිමින් තිබේ; කොරල් පර විනාශ කරමින් තිබේ. ධීවර කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත් මේ අනූව සැලකිය යුතු අභියෝගයකට මුහුණ පානු ඇත. "නැත;.පෑරලිය පෙන්වා වික‍නුවා සේඅපට මේ වින්නැහිය ද සුද්දන්ට විකුණා ගානක් කඩා ගත හැකිය" යනුවෙන් කියන කේවට්ටයකු මතු වුවහොත් ඒ ගැන පුදුම විය  යුතු නො වේ. 

කොරල් පරයක් වූ කලී ජෛව විවිධත්වයෙන් ඉහළ ම පද්ධතියකි. නිදසුනක් ලෙස කොරල් විශේෂ 400කට අධික ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්  පරය, මාළු විශේෂ 1500කටත්, බෙල්ලන් විශේෂ 4000කටත් වාසස්ථාන සපයන අතර කැස්බෑ විශේෂ හතෙන් හයක් ම එහි සිටිති. කොරල් පරයක විනාශය, මේ සියල්ල ම විනාශ මුඛයට ඇද දමයි. අවසාන අර්ථයෙන් මේ ඕනෑම පරිසර පද්ධතියක විනාශය මනුෂ්‍ය අපේ විනාශය සහතික කරන්නකි. අපේ පැවැත්ම, මේ සියල්ලේ එකතුවකින් රදා පවතින්නකි. 

එහෙත් ඔක්සිජන් කන්නදැයි අසන රෙජීමයක් මේ කිසිවක් ගැඹුරින් අවබෝධ කර ගනී ද ? එහි මූලික ආර්ථික මූලෝපාය බවට පත් ව ඇත්තේ වින්නැහි ලාබ ය ! ඒ ලාබ අත්පත් කරගන්නට රොද බැද සිටින ඉහළ සිට පහළ දක්වා හරස් තීරුවක් දැන් මේ දිවයිනේ නිර්මාණය වී තිබේ. ඒ උන්දැලා අපත් ඇද ගෙන විනාශයෙන් විනාශය කරා තවත් ඉදිරියට යනු ඇත. ඒ ගැන පාලක පුටු හොබවන්නන්ට පමණක් දොස් කියා අපේ අත් සෝදාගැනීමට ඉතිහාසය අපට අවසර නොදෙනු ඇත.

Thursday, May 27, 2021

පරිසරය සුරැකුම යනු මානව පැවැත්ම සඳහා විවිධත්වයේ අයිතිය රැකුම ය

 ජුනි 5,


විශ්ව පරිසර දිනය......

2002 අග හරියේ දී වගේ විසුරුවා හරින ලද 'ශ්‍රී ලංකා පරිසර සංරක්ෂකයෝ' (SLECO) වෙනුවෙන් ලියවුණ ලිපියක් බෙදාගන්න මට හිතුනා. 


අළුතෙන් ටයිප් කරන්නේ පරණ නොවන ඒ අදහස එක්ක පැරණි ලිපියමයි; 


පරිසරය සුරැකුම යනු මානව පැවැත්ම සඳහා විවිධත්වයේ අයිතිය රැකුම ය 

        --------------------------------------------

අපි හැම කෙනෙක් ම, හැම දෙයක් ම, හැම තැනක් ම වෙනස්.....

සමහරක් ඉබේ ඇති වුණ වෙනස්කම්. තවත් සමහරක් අපි ම හදාගත්ත වෙනස්කම්...

මේ වෙනස්කම් ඇතුළෙත් වෙනස්වීම් තියෙනවා. මනුෂ්‍යයා ට විතරක් වෙනස් කිරීම් කරන්නත් පුළුවන්. 

මේ 'වෙනස' ගැන තියෙන අපූර්වතම කතාව තමයි, ඒක නැත්නම් එකතුවක්-පැවැත්මක් නැහැ කියන එක.

අපි හැම කෙනෙක් ම අසම්පූර්ණයි. අපි සම්පූර්ණ වෙන්නේ තව ගොඩක් අය එක්ක, දේවල් එක්ක, තැන් එක්ක එකතුු වෙලා. 

'ජෛව විවිධත්වය' හෙවත් ජීවීන් එකිනෙකා අතර ඇති වෙනස්කම්  දෙස බලන්න. ඒ වෙනස්කම් පවතින්න වෘක්ෂලතා, මහපොළොව, ජලාශ,..ඒ ඒ දේවල්, තැන්වල වෙනස්කම් වලින් කොතෙක් උදව් වෙලා ද.... ! ඔය හැම දේකම ප්‍රතිපලය හැටියට මනුෂ්‍ය ජීවිතය නිර්මාණය වෙනවා. මනුෂ්‍ය අපට පුළුවන්, අපිවමත්, අනෙක් දේවලුත් වෙනස් කරන්න(මේ බලය ලැබුණ සොබාදහමේ මූලික රීතින් හැර) 

මනුෂ්‍යයෝ හැටියට අපට ලැබුණ මේ බලය පාවිච්චි කරල, අපි අප අතර ම සමහර වෙනස්කම් හදා ගෙන තියෙනවා. ඒවා එක්ක පවතින්න බැරි වෙන කොට අපි අතරින් ම කොටසක් ඉදිරිපත් වෙලා ඒවා වෙනස් කරගන්නවා. ඒ කියන්⁣නේ අපි අළුත් 'පරිසරයක්' හදාගන්නවා. 

සොබාදහමෙන් ඇති වුණ සමහර සීමා පවා වෙනස් කර ගන්න මනුෂ්‍යයා ට පුළුවන්. උදාහරණයක් හැටියට  මරණය නවත්වන්න බැහැ. ඒත් කල් දාන්න පුළුවන්. ස්වභාවික ව ලැබිල තිබුණ කෑම බීම හිඟ වෙද්දී ස්වභාවික බඩගින්න නිවා ගන්න ස්වභාවිකව ම නිර්මාණාත්මකබවත් මනුෂ්‍යයා ට ලැබුණා. ඔන්න ඔය වගේ. එතකොටත් අපි කියනවා, 'අපට සුදුසු විදියට පරිසරයක් අපි හදාගත්තා' කියලා. 

මේ විදියට මනුෂ්‍ය අපට ජීවත් වෙන්න උවමනා සියළු ම දේවල් තමයි 'පරිසරය' කියල කියන්නේ. එතකොට 'පරිසරය ආරක්ෂා කරගන්නව කියන්නේ ඒ ඇතුළේ තියෙන විවිධත්වයන් අපේ පැවැත්ම ට හරි යන විදියට ගලප ගන්න එක. 

ඔය විදියට අපට තේරුම් ගත හැකියි ජීවිතය ගැන; 'යහපත් ජීවිතයක්' ගැන අපේ සිහින පවතින්නේ මේ විවිධත්වය මත කියලා. 

විවිධත්වයේ අයිතිය මහපොළොව මත ස්ථාපිත කරගන්න නම් අපි එය ගැඹුරින් වටහා ගන්න වෙනවා. 

සියළු ම වෙනස්කම්, වෙනස්වීම් හා වෙනස් කිරීම් ගැන සියළු ම මනුෂ්‍යයන්ට එකඟ වෙන්න බැරි බව ඇත්ත. මේ එකඟතාවය එන්නේ ඒ ඒ මනුෂ්‍යයන් ගේ පහසුව හා අවසාන වශයෙන් පැවැත්ම කියන තැනින්. ඉතින් ඒ ඒ මනුෂ්‍යයා ඉන්න තැන අනූව ඒවා වෙනස් වෙනවා. එහෙම වෙද්දී අවසාන වශයෙන් ඒක තීරණය වෙන්නේ පොදු මානව පැවැත්ම මතින්.

සමහර වර්ගයේ වෙනසක් පොදු මානව පැවැත්ම ට හානිකරයි. එතකොට ඒක අහෝසි වෙලා යා යුතුයි. සමහර වර්ගයක වෙනසක් මීට වෙනස්; නැති වෙලා ගියොත් මානව පැවැත්මට හානිකරයි. ඒ නිසා ඒවා රැකගත යුතුයි. තවත් සමහර වර්ගයක වෙනසක් වැඩි වර්ධනය කරගත යුතුයි. එතකොට තමයි පැවැත්ම වඩා යහපත් වන්නේ.

විවිධත්වයේ අයිතිය ගැන තවත් විදියක වැරදි අදහසක් තියෙනවා. ඒ තමයි සියළු ම වෙනස්කම් එක සමානයි කියන එක නිදසුනක් හැටියට වෙනස් වෙනස් ලිංගිකත්වයන් ගැන හිතා බලමු. 'මේ කාගේත් ප්‍රශ්න එක සමාන ය' කියන එක මිථ්‍යාවක්. එතකොට ඇත්ත සමානත්මතාවයක්  ඇති කළ හැකි වන්නේ, ඒ ඒ තත්වයන් හී දී දුර්වල,  පීඩිත කණ්ඩායම වඩාත් බලය සහිතව සංවිධානය වීමෙන්. එවැනි සංවිධානය වීමකට එරෙහි වීම , ඇත්තෙන් ම විවිධත්වයේ අයිතියට එරෙහි වීමක්. 

මේ විදියට මනුෂ්‍ය පැවැත්මට අදාල ව තම තමන් ගේ අනන්‍යතාවයන් පවත්වා ගැනීම, වර්ධනය කරගැනීම, කළමනාකරණය 'විවිධත්වයේ අයිතිය රැකගැනීම ' නැත්නම් 'පරිසරය රැකගැනීම' හැටියට හඳුනාගත  හැක්කේ. 


        SLECO

Saturday, April 3, 2021

සැබෑ එඬේරික රායප්පු ජෝෂප් රදගුරු සිය අධ්‍යාත්මය අප අතර තබා නික්ම යයි


 රදගුරු රායප්පු ජෝෂප් ගැන පට්ට ම වෛරයකින් තමන් ම පිච්චෙමින් ඉන්නා කීපදෙනෙක් ද නැතුවා නො වේ.  කොහොමටත් උන්නාන්සේ උතුරේ පූජනීය උත්තමාචාරයට ලක් වන තරමට දකුණේ එසේ නො වීම තේරුම් ගන්න ඒ තරම් අමාරු දෙයක් නො වේ.  


ඒත් මේ වෛරී ප්‍රකාශනවලින් උන්වහන්සේ ට නැනෝවක් සයිස් අවුලක්වත් නොවුණ එකත් තේරුම් ගන්න අමාරු දෙයක් නොවෙයි.  සැකයක් නැතිව ම උන්වහන්සේ හිටියේ තමන්ගේ හෘදය සාක්ෂ්‍යය තුළින් අමතන දෙවියන් වහන්සේ එක්ක වීම බව ඒකට හේතුව හෙව්වොත් පැහැදිලි ව පෙනේවි.  


තවත් සාමාජිකයන් තුන් දෙනෙක් එක්ක දූත කණ්ඩායමක සාමාජිකයෙක් විදියට අවුරුදු කීපයකට පෙර උන්වහන්සේ එක්ක විනාඩි 15ක කාලයකට මුණ ගැසෙන්නට මටත් අවස්ථාවක් ලැබුණා.  අපේ සාකච්ඡාව පටන් ගන්න ටිකට කළින් අපි ගිහින් හිටපු නිසා වේලාසන තේ පැන් සැදයත් අපට භුක්ති විඳින්න ට ලැබුණා.  ඒ අතර එතන සෙමනේරියේ ඉගෙන ගන්නා පොඩි අන් දෙන්නෙක් ගේ වලියක්.  ඒ දෙන්නාම කැඳවා, දෙන්නාගෙන් ම කෙටියෙන් කරුණු අසා, දෙන්නාටම සැර වේවැල් පාරවල් දෙක ගැනේ දීලා පිටත් කරද්දී පොඩි අන් දෙන්නගෙම ඇස් කඳුළින් බර වෙලා.  මට ඒ වෙලාවේනම් රදගුරුතුමා ගැන ඇති වුණේ එතරම් ප්‍රසන්න හැඟීමක් නෙවෙයි.  “ඇයි ඒ පොඩි එවුන්ට ගහන්නේ ?“ මට අහන්න ඕන වුණා.  ඒත් න්‍යායපත්‍රෙය් ඒකට ඉඩක් නෑ.  “ඔහොම කළාට, නපුරුයි වගේ පෙන්නුවට කෑම බිම ටිකද, බොහෙත් පෙත්තක්ද, මුකුත් අඩුවෙන්න උන්නාන්සේ ඉඩ දෙන්නේ නෑ“  පස්සේ ඒ ගැන වෙන කෙනෙක් පැහැදිලි කළේ එහෙමයි.  ඒත් ශිෂ්‍යයෙක්.  හරි දේ කියල තමන්ට තේරුන දේ වෙනුවෙන් පට්ට දැඩි විදියට පෙනි ඉන්න එක, මොන ම කොන්දේසියක් යටතේවත් ඒක අතාරින්න සූදානමක් නැතිකම ඒ ටික වෙලාව ඇතුළේ මම අත්දැකපු දෙයක්.  අනිත් කෙනා තේරුම්ගන්න උන්වහන්සේ මහ ලොකු වෙලාවක් ගත කරන්නේ නැහැ.  අපි හැමෝටම ලැබෙන්නේ කෙටි වෙලාවක්.  ඒ වගේම උන්වහන්සේ ගන්නෙත් ඊටත් වඩා කෙටි වෙලාවක්.  ඒ කියන දේ ඉතා පැහැදිලියි.  ආයි තුන් තේරුම් කර ගන්න දෙයක් නැහැ.  අපට කළින් අනිත් එපොයින්මන්ට් එක ඒ ප්‍රදේශය පාලනය කරපු එල්ටීටීඊ අධිකාරියේ නායකයන් දෙන්නෙක් එක්ක.  එක්කෙනෙක් දයා මාස්ටර්.  හිනාවකින් පිළිගත්තත් එතනත් පොඩි වලියක් වගේ දැනුනු නිසා මම අපේ පරිවර්තක මිත්‍රයගෙන් ඇහුවා, ‘ මොකක්ද මේ කේස් එක?“ කියල.  ඒ දවස්වල ශ්‍රීලංකා රාජ්‍යය මේ ප්‍රදේශ පැනඩෝල් පෙත්තක්වත් එන්න නොදී හිර කර ගෙන හිටියේ.  පෙට්‍රල්, ඩිසල්, ලාම්පුතෙල් වගේ දේවලුත් ලොකු සීමාවක් යටතේ තුන් හතර පොළකින් අවසර අනුමැති අරන් ගේන්න ලැබුණේ. (අර දරුවන් ගැන අර විදියේ බලාගැනීමක් ගැන තවත් දරුවෙක් ඒ කතාව කියන්නේ මේ පසුබිමත් එක්ක) කරන්ට් එක අත්‍යවශ්‍ය තැන්වලට ලැබුණේ එල්ටීටීඊ පාලනාධිකාරියෙන් ඉතාම සීමිත සම්පත් යටතේ ක්‍රියාත්මක කරපු ජෙනරේටර් වලින්.  දැන් අර වලිය ඒ වගේ දෙයක් ගැන.  දයා මාස්ටර්ලට සිදු වුණ බවක් පෙනුනා විනාඩි පහක්-හයක් යනන් කලින් රදගුරුතුමාට එකඟ වෙන්න.  එල්ටීටීඊයට සම්බන්ධ කරමින් රදගුරු රායප්පු ජෝෂප් ගැන තිත්ත රස කතා පොට්ටනි ගණන් බෝල ගහන කට්ටිය ඒ ගැන දන්න ඇටයක් නැති බව ඒ විනාඩ් කීපය ඇතුළේ අපට පෙනී ගියා.  හැබැයි දෙගොල්ලම දෙගොල්ලන්ට ඇත්ත වශයෙන් ම ගරු කර ගන්නා බවක් පෙනුනා. 

ඊට පස්සේ අපේ වෙලාව.  අපේ තේ කෝප්ප මණ්ඩි හරියේ එතකොටත්.  හැබැයි වෙලාවේ ප්‍රමාදයක් නැහැ.  විනාඩි එකහමාරක් වගේ ඇතුළත අපේ පුද්ගලික නම්-ගම් ඇතුළු හඳනාගැනීම්.  ඉවර වෙනවත් එකක් ම උන්නාන්සේ මේ සාක්ච්ඡාව ගැන දැනුවත් කරල කොළඹින් අපේ කට්ටිය එවල තිබුණ ලියුම අර ගෙන ඒකේ වැඩේ කෙරෙන්න ඕන කොහොමද කියල උන්නාන්සේගේ අදහස කීවා.  ඒ කියන්නේ උන්නාන්සේ මේ හැම දේට ම හෝම්වර්ක් කරල, සූදානමින් ඉන්නේ.  ඒ සංවිධානාත්මකබව පට්ට ! අපි ගාව තිබුණ සැලසුම හැබැයි වෙනස් ටිකක් විතර.  අපි ඒක කීවා ම උන්වහන්සේ අංක එක, දෙක, තුන කියමින් ඒකේ තියෙන අවුල් ටික කියන්න ගත්තා.  ඊට පස්සේ ඇහුවා ඒ තත්වයන් ඇතුලේ අපි හිතනවද කියල එහෙම කරන එකෙන් මේ වැඩේ හරි යයි කියල.  ඉතින් ඔක්කොම හරි; එකඟ වෙනව හැරෙන්න අපට කරන්න වෙන දෙයක් නැහැ.  කොලඹ ඉඳන් හදන ප්ලෑනකට වඩා පට්ට ප්‍රැක්ටිකල් ප්ලෑන් එකක් එක්ක රදගුරු තුමා  හැබෑම සූදානමකින් හිටියේ.

දළදාව වගේ දේශපාලන බල මෙවලමක් හැටියට මඩු මාතා සුරුවමත් පාවිච්චි කරන්න නිල්-කොල-රතු වෛවාරණ පාලක රැළ ටුයි එකක් දෙමින් ඉන්නේ අද ඊයෙක ඉඳුන් නෙවෙයි.  සංහල-දමිළ ජනයා එකතු කරන සාමයේ සහ සහජීවනයේ පරාදිසයක් වුණ මඩු දේවස්ථානය, මේ ජනයා වෙන් කිරීම, එකාට එකා කා කොටා ගන්නා තත්වයකට පත් කිරිම සඳහා කාලෙක ඉඳන් ම ව්‍යාපෘති තිබුණා.  ශ්‍රී ලංකා රාජය හමුදා මඩු පුදබිම යටත් කරගන්නා විට ඒ පළාතේ මිනිස්සු ආරක්ෂිත ප්‍රදේශ දිහාට පළායන්න ගත්තා.  රදගුරුතුමා ඇතුළු පිරිසත් මඩු සුරුවමත් අර ගෙන ඔවුන් සමඟ ගියා.   ඔන්න ඉතින් චෝදනාවක් ! රදගුරු රායප්පු ජෝෂප් කොටි පාලන ප්‍රදේශයට මඩු මාතාව පාවා දෙයි කියලා යෝධ පෝස්ටර් දකුනේ වදින්න ගත්තා.  මුඩු මාතාව කොට්න්ගෙන් බේරා ගනිමු කියල මේ මහා බැතිමත් වයාපාරය ගෙන ගියේ පල්ලිවලට පහර දීල, පෙට්රල් බෝම්බ-ග්‍රෙනේඩ් ගහලා, බැතිමතුන් පිටින් ම පල්ලිවලට ගිණි අවුලවන්න ගිය ඇත්තොම වෙච්ච එක ඓතිහාසික සරදමක් වගෙයි. 

රදගුරුතුමා මේ ගැන ඇහුවම කිව්වේ මෙච්චරයිි;

“මගේ ජනතාව ගමන් කරන දිහාට යනව හැර මම වෙන කොහේ යන්න ද ?“

ඇත්ත ! උන්වහන්සේ ජනතාවට බොරු එඩ්‍රස් දෙන්න පාලකයෝ එක්ක ඩීල් ගැහුවේ නැහැ.  පාලකයන් කොයි පාටද, කොයි ජාතියෙද, උතුරෙම අය ද, දකුණෙන් ද වගේ කිසි දෙයක් අදාල කර ගත්තෙත් නැහැ.  2009න් පස්සේ තනිකර දකුණෙන් ගෙන ආ මිලිටරි පාලනයකට උතුර යටත් කරල තියෙන වෙලාවෙදීත් උන්වහන්සේ ඒ අධිකාරින්ට සම්පූර්ණ සහයෝගය දෙමින් දකුණේ පාලකයන් ට කීවේ දැන් දැන් ම , වහාම සිවිල් පාලනයකට ඉඩ හදා, පිඩිත ජාතීන් ගේ ප්‍රශ්න විසඳිය යුතු බවයි.  

2011 අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා උන්වහන්සේ LLRC හෙවත් ‘උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය සඳහා කොමිසම‘ හමුවට යනවා.  එතන දී උන්වහන්සේ මෙන්න මේ ප්‍රශ්නය අහනවා.  

“2008 ඔක්කෝබර් මාසය වෙද්දී ශ්‍රී ලංකා රජයේ පරිපාලන සංඛ්‍යාෙල්ඛණ අනුව වන්නි ප්‍රදේශවල ජීවත් වුණ 4,29,059 ජනතාව 2009 ජූලි 10 ශ්‍රී ලංකා රජය එක්සත් ජාතින් ගේ සංවිධානයේ උදව් ඇතිව කරන සංගණනයේදී 2,82,380ක් වුණේ කොහොමද ? 1,46,679ක් මනුස්සයන්ට වුනේ මොකක්ද කියල කරුණාකර පැහැදිලි කිරිමක් කරන්න“

මේ ලියවිල්ලේ තවත් දේවල් තිබුණා.  ඒ හැම දේමත්, ඔක්කෝටමත් වඩා මෙන්න මේ ප්‍රශ්නය නයාට අඳුකොල වගේ ප්‍රහ්නයක් වුණා.  ඇයි ඒ ? මේ සංඛ්‍යාෙල්ඛන කාගේ ද ? ඒවා සම්පූර්ණයෙන් ම ශ්‍රි ලංකා රජයේ නිල සංඛ්‍යාෙල්ඛණ.  ඒ හැර තමන්ගේ ගම්වල්, තමන්ගේ වැඩපොලවල, තමන්ගේ විශ්වවිද්‍යාලවල, තමන්ගේ පවුල් වල මේ නැති වුණ මිනිස්සුන්ගේ දන්න කියන අය ඒ නැති වුණ අය කෝ කියමින් හොයමින් ඉන්නවා.  ඒක වැරදි ද ? නිකමට හිතන්න; තම තමන් ගේ සමීපතමයා, එක පාරට ම හොයාගන්න නැති තත්වයක් ආවොත් තමුන්ට ඒක දැනෙන්නේ කොහොමද කියලා.  හැම පැත්තෙන් ම බැට කාලා, පීඩිත ව, වහල්භාවයට පත් කොට, බෙලහින ව ඉන්න මේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නය හඬ නගා අහගන්න බැරි වෙන එක තේරුම් ගන්න පුළුවන් නේ ද ? අන්න එතනදි තමයි මන්නාරමේ සහ උතුරේ මුලු කතෝලික සංඝය එක්ක එකතු වෙලා මේ අසරණ, පීඩිත මිනිස්සුන්ගේ හඬ බවට රදගුරු රායප්පු ජෝෂප් පත් වෙන්නේ.  

ඒක තමයි කිතුනුකම ! ඒක තමයි යහපත් එඬේරකම ! ඒක තමයි මනුස්සකම ! 

අමනුස්ස සමාජයක දී ඒ වගේ මනුස්සකමක් ‘ත්‍රස්තවාදය‘ හෝ වෙනයම් ‘සාපරාධයක‘ නමින් හඳුනාගැනිම පුදුමයක් නෙවෙයි.  ඒත් ඒ අමනුස්ස සමාජය, අපි වටේ තියෙන අන්තිම මනුස්ස ශිෂ්ටාචාරයත් විනාශ කරල දාන්න කළින්, ඔය අමනුස්සකමටම රට,ජාතිය, ආගම කිය කිය කඩේ ගිහින් අනිත් හැමෝටමත්, හැමදේකටමත් කෙලෝ ගෙන තමනුත් නැති භංගස්ථාන වෙන්න කළින් මේ විදියේ ඉන්ජෙක්ෂන් එකක් හරි ඔළුවට දෙන්න ඕනමයි කියල හිතුනා; ලිව්වා.

සැබෑ එඬේරික රායප්පු ජෝෂප් රදගුරු තුමනි, දෙවියන්වහන්සේ අභිමුව අප වෙනුවෙන් යාඥා කරනු මැන ! 

    


      

Wednesday, March 31, 2021

පැට්‍රික් අයියා තුළින් බහුජන-දේශපාලන අරගලය කියවාගැනීමට ට්‍රයි එකක්



“මගේ වයස දැන් වසර හැත්තෑ තුනකි.  මෙම වසර හැත්තෑ තුනෙන් වසර පනහකට වඩා අධික කාලයක් පුරා ම මා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙමින් වැඩ කටයුතු කර තිබේ........“ 

‘නව මාවතක නව මාවතක් සෙවූ සටන්කාමියා‘ පොත පටන් ගන්නේ එහෙමයි.  පොත ලියන්නෙත්, පොතෙන් කියන්නෙත් ‘පැට්‍රික් අයියා‘ නැත්නම් ‘පැට්‍රික් සහෝදරයා‘; ඒ කියන්නේ පැට්‍රික් ප්‍රනාන්දු ගැන.  

“...අවසාන වහයෙන් කිව යුත්තේ මා දැනට ඇවිදීම අපහසු කරන යම් රෝගි තත්වයකට පත් ව ඇති හෙයින් පෙර සේ ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වීමට එකී තත්වය මට  ඉඩ නොසලසන බව ය.  එහෙත් මගේ දේශපාලන අධිෂ්ටානය අකර්මන්‍ය කරන්නට එය තවමත් සමත් ව නැති බව පවසන්නේ ආඩම්බරයකින් යුතුව ය“  

160 වෙනි පිටුවෙන් පොත ඉවර වෙන්නේ ඔන්න ඔය කතාවෙන්.

ඔය කොටස කියවන්නත් කලින් ඉඳල ම පැට්‍රික් සහෝදරයා වගේ කෙනෙක් මගේ හිත ඇතුළේ චිත්‍රණය වෙන්නේ බොහෝ විට ‘වානේ පන්නරය ලැබූ හැටි‘ පොතේ ‘පාවෙල් කොර්චාගින්‘ වගේ චරිතයක් හැටියට.  පාවෙල්, ඒ පොත ලියපු කිකෝලායි ඔස්ත්‍රනොෆ් ගේ ප්‍රතිමුර්තියක් හැටියට සැළකෙනවා.  මුළු ජීවිතය ම අති මහත් කැපවීමෙන් සෝවියට් විප්ලවය දිනවන්න වැඩ කරන මේ චරිතය අන්තිමට පූර්ණ අන්ධභාවය ට පත් වෙනවා.  එවිට ඔහු තෝරා ගන්නේ එක තැනක ඉඳන් ලිවීම ! 

පැට්‍රික් සහෝදරයා මේ වෙලාවේ මේ පොත ලියල ජනතාවට පිළිගන්නවන කොට සමු නොගන්නා, විශ්‍රාම නොගන්නා අරගල ගමනක මේ මොහොතේ ස්වරූපය හැටියට ලිවීම තෝර ගෙන ඇති කියලත් හිතෙනවා.  ඒත්  ඔහු අනිත් විදිත් අතෑරල ම නෑ.    

සමසමාජ ආභාෂයක් ඇති පවුලකින් පැට්‍රික් සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී දේශපාලන ක්‍රියාධරයෙක් බවට පත් වෙලා 1971 කැරැල්ලේ නායකත්ව මට්ටමේ කාර්යභාරයක් ඉටු කරනවා.  සිර ගෙදරට පුළුවන් වෙන්නේ නැහැ ඔහු වගේ කෙනෙක් හිරකාරයෙක් කරන්න.  පැට්‍රික් සහෝදරයා එලියට එන්නෙත් ලේ වැකි පරාජයක අඳුර අතරින් අරුණෝදයක ආලෝක ධාරා දකිමින් .  ජනතා සංගමය ගොඩ නගා ගනිමින්, වැඩි බරක් බහුජන අරගල බිමේ අරගලයන් එක්ක හදාරමින් ‘විප්ලවවාදී පක්ෂයේ‘ තවාන හදා වඩා ගන්න ඔවුන් උත්සාහ කරනවා.  ගොවි සම්මේලනයේ නායකත්ව වැඩ කොටසක් බාරගනිමින් ඒ වැඩ කොටස ඉවර වෙන්නේ.  ඉන් පස්සේ මරණය දෙපැත්තකින් කඩා පනින බිහිසුනු සමයක අමාරු ම කාලයෙත් උතුරේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනයට පවා අවංක වෙමින්, හෘදය සාක්ෂ්‍යය පාවා නොදෙමින් යන ගමන වැඩ ස්වරූපයන්ගෙත් ලොකු වෙනස්කම් ඇති කරවන බවක් පේනවා.  දියැස අධ්‍යයන කවය හරහා න්‍යායික හැදෑරීමේ වැඩබිමක් හදා ගන්නා පැට්‍රික් සහෝදරයලා, ඒ හැදෑරීම පොත් ගුල්වල ට සීමා කරගන්න බැරිකමේ අභියෝගය එක්ක එළියේ වැඩබිම් නිර්මානය කරගන්න ගන්නවා.  ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය ඒ අතරින් මුල් ම එක හැටියට මතක් වුණා මට. 

දැන් අපේ කතාවට ආයෙමත් හැරෙමු.
පොත....................!

පැට්‍රික් සහෝදරයා මේ මුද්‍රිත අකුරු අතරින් දොඩමලු වෙන්නේ තමන් ගේ ජීවිත මතකයන් එක්ක.  මුල ඉඳල ම ඒ මතකයන් හැම එකක් ම වගේ සමාජ අරගලයන් එක්ක බැඳිලා.  ඒ නිසා එයා ගැන කතා කරන්න ගත්ත ම නිකම් ම ඒක ලංකාවේ සමාජ අරගලයන් ගැනත් කතාවක් බව ට පත් වෙනවා.  

පැට්‍රික් සහෝදරයගේ ජිවිතය අදටත් පර්යේෂණ වැඩබිමක් වගේ.  

“ඉකුත් පරිච්ඡේදයේ සාකච්ඡා කෙරුනේ ප්‍රධාන කොට ම ජනතා සංගමයේ බහුජන ක්ෂේත්‍රයේ වැඩ ය. ..අපි ජනතා සංගමය ගොඩ නැගුවේ සැබෑ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම සඳහා ක්‍රියා කරන විප්ලවීය පූර්ව පක්ෂ සංවිධානයක් වශයෙනි.  ප්‍රවණතා දෙක(ජනතා සංගමය තුළ) පැවතියේ මෙය ගොඩනැගීම සම්බන්ධයෙනි. එක ප්‍රවණතාවයක් වූයේ වැඩපිළිවෙලක් සහිත විනයගත විප්ලවීය සංවිධානයක් ගොඩ නගමින් එහි මඟපෙන්වීම යටතේ බහුජන වැඩවලට හා බහුජන අරගලයට සම්බන්ධ විය යුතු බව ය.  අනෙක් ප්‍රවණතාවය වූයේ අප සරල සංවිධානයක් ගොඩ නගා එහි මෙහෙයවීම යටතේ බහුජන වැඩවලට හා අරගලයට සම්බන්ධ වෙමින් ඒ ඔස්සේ විප්ලවීය සංවිධානයක් ලෙස ගොඩනැගිය යුතු බව හා වැඩපිළිවෙලවල් සම්පාදනය කළ යුත්තේ බහුජන වැඩ හා බහුජන අරගලය  නැතහොත් පංති අරගලය තුළ බව ය....“ (116 පිටුව)

“ඒ අනුව බහුජන ක්ෂේත්‍රෙය් වැඩ ප්‍රමුඛ තැනේ තබා ගෙන අපි වැඩකටයුතු කර ගෙන ගියෙමු...එසේ වුව ද, එක් අතකින් සංවිධානය ගොඩ නැගීම සම්බන්ධයෙන් අප සිටි දෘෂ්ටිමය ප්‍රවේශය හේතු කොට ගෙන සංවිධානය ස්ථිරසාර හා විනයගත සංවිධානයක් වශයෙන් පවත්වා ගැනිමට ද, අනෙක් අතින් අවශ්‍ය කරන න්‍යාය හා වැඩපිළිවෙලවල් ගොඩ නැගෙන්නේ බහුජන වැඩ හරහාය යන දෘෂ්ටිමය ප්‍රවේශය හේතු කොට ගෙන නිසි න්‍යායික මඟපෙන්විමකින් හා නිශ්චිත වැඩපිළිවෙලකින් යුත් සංවිධානයක් බවට පත් වීමට ද අපට මේ වකවානුවේ හැකි නො වී ය....“(117 පිටුව)

‘බහුජන වැඩ‘ කියන්නේ මොනවාද ?  

ශිෂ්‍යයෝ අධ්‍යාපන ප්‍රශ්න විසඳගන්න අරගල කරනවා.  ගොවීයෝ ඉඩම්, වතුර වගේ තමන් ගේ ගැටළු විසඳගන්න අරගල කරනවා.  වෘත්තීය සමිති වැටුප්, සේවා කොන්දේසි, වැඩ කාලය වගේ  තමුන් ගේ වෘත්තීය ප්‍රශ්න විසඳ ගන්න අරගල කරනවා.  මේ හැම අරගලයකට ම පදනම් වෙන්නේ පොදු ප්‍රශ්නයක ඒ ඒ කොටස්.  කට්ටිය ඒකෙත් තමන් ගේ කොටස විසඳ ගන්න තනියෙන් අරගල කරනවා වෙනුවට ඒ ඒ ක්ෂේත්‍රවල අය එකතු වෙලා අරගල කරනවා.  ඉතින් ඕක තමයි බහුජන අරගලය.  මේ අරගල ඇතුළේ පොදුබවක් තිබුණට ඒවා ඒ ඒ මුහුණ දෙන ප්‍රශ්නවල ගැඹුරු හේතු සාධක හොයා ගෙන යන්නේ නැහැ.  ඒ මොහොතේ ප්‍රශ්නය විසඳා ගැනීමෙන් නතර වෙනවා.  අතර මැද සම්මුතිවලට ගිහින් මගින් නතර වෙන්නත් පුළුවන්.  ගොවි අරගලය ඇතුළේ පැට්‍රික් සහෝදරයා මේ ගැන කදිම විස්තරයක් ගේනවා.  ඉඩම් අහිමි දුප්පත් ගොවින් සහ ඉඩම් හිමි පෝසත් ගොවීන්, භික්ෂූන් වගේ වැඩවසම් නින්දගම් හිමියන් පොදුවේ ජල බදුවලට එරෙහිව නැගි සිටියාට ඒ මුළු ගමන ම අන්තිම දක්වා එකට යන්නේ නැහැ.  
අන්තිම දක්වා යන අයත් සමාජ ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලන අරගලය දිහාට ගොඩනැගෙනව කියල කතාවක් නැහැ.  
ඒත් දේශපාලන අරගලය ගොඩනැගීම බහුජන අරගල වැඩබිමේ හැදෑරීම් නැතිව කරන්නත් බැහැ.  

දැන් අද මේ මොහොත දක්වාම පැට්‍රික් සහෝදරයා ගේ ජීවිතය මේ දෙක අතර දෝලනය වෙන අත්හදා බැලීම් මාලාවක වැඩබිමක්.  මට දැනෙන්නේ හරියට වරහන් දෙකක් අතර යන එන ගමනක් වගේ.  බහුජන අරගල වරහනේ එක පැත්තකින් යමින් ආයෙමත් දේශපාලන අරගල වරහනේ ගමන් කරනවා.  මේ වගේ වරහන් ගොඩයි.  ඒ වරහන් අතර කතා ගොඩයි.  

මේ වැඩබිම ගැන කල්පනා කරද්දී එදා පොත ජනගත කිරීමේ හමුව අමතපු වමා හෙවත් ආචාර්ය නිර්මාල් රංජිත් ඒකට සමපාතව ඇයි X එකේ අත්දැකීම (X කණ්ඩායම කැඩී යාමේ දී එක් අතකින් පෙරටුගාමී පක්ෂය සහ අනෙක් අතින් කණ්ඩායම්, ප්‍රවණතා රැසක් විදියට ක්‍රියාකාරිත්වයන් බෙදී යාම ගැන) කතා නොකළේ කියලත් වෙලාවක මට හිතුනා.  මෑත කාලයේ ජවිපේ බිඳිම ඇතුළේ පෙරටුගාමී සමාජවාදි පක්ෂය ගොඩ නැගෙන එකත් මේ වගේ දෝලනයන් ගණනාවක් හරහා එන්නක්.  නව සමසමාජ අත්දැකීම් ඇතුළේ ‘ජන අරගල න්‍යාය‘ ගැන කතා කළත් මේ අත්දැකීම මුණ ගැහෙනවා.  පැට්‍රික් සහෝදරයා සහ මම එකට මුණ ගැසුන ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරයේ‘ අවසාන අත්දැකීමත් මේ වගේ.  ඒකේ මූලික පදනම දේශපාලන බහුජන සංවිධානයක්.  කෙළින් ම දේශපාලන පක්ෂ සංධානයක් හැටියට නව වාමාංශික පෙරමුණ ගොඩ නැගෙද්දී පැට්‍රික් සහෝදරයා නියෝජනය කළ බහුතර කණ්ඩායම එහි සාමාජික සංවිධානයක් හැටියට එකතු වෙන්න තීරණය කළා.  විරුද්ධ වුණ සුළුතරයේ වැඩි දෙනා ට තිබුණේ නව සමසමාජ පක්ෂය වගේ එකක් මේ සන්ධානයේ අරමුණු කොහාට පාව්ච්චි කරාවිද වගේ සැකයක්.  ඒත් මම සහ රසිකා සහෝදරිය පෙනි සිටියේ නව වාමාංශික පෙරමුණේ දේශපාලන වැඩබිමට අපට කළ හැකි ඉහළ ම දායකත්වය ඉන් පිටත ඉඳ ගෙන බහුජන අරගලය සංවර්ධනය කිරීම නිසා එහි සාමාජික සංවිධානයක් නොවිය යුතුයි කියන එකයි.   
පරම්පරා ගණනක් අතර, මඟ හැරිය නොහැකි විදියට මුණගැසෙමින් තියෙන මේ ප්‍රශ්නය පැට්‍රික් ගේ ජීවිතය ගැන කරන කතාවක දී අපට අධ්‍යයනාගාරයක් සපයනව කියල මට හිතෙනවා.

පොතට ඉතා කදිම පසුවදනක් සපයන යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ට කථිකාචාර්ය සාමිනාදන් විමල් පැට්‍රික් සහෝදරයා ගේ ජීවිතය මේ වැඩබිම ඔස්සේ කියවා ගැනීමේ වැදගත්කම මේ විදියට ලියල තිබුණා. 
“...මෙම කෘතියෙහි ආරම්භයේ සිට අවසානය දක්වා ඇදෙන හූයක් වෙයි.  එය නම් අනෙකාගේ ප්‍රශ්නය ගැන දැක්වෙන උනන්දුව තුළින් ප්‍රකට කෙරෙන විමුක්තිවාදි ප්‍රවේශයයි...“  ඔහු කදිම රූපකමය බසකින් මෙහෙම කියනවා.  “...කෑගලු නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරවා ගෙන සිය වෙදකම කර ගෙන ගිය පියෙකුගේ පුතෙක් රාජගිරිය බන්ඩරනායකපුර පර්චස් දෙකහමාරක වපසරියක තනන දෙමහල් නිවෙසක පදිංචි වෙයි...පළමුවැන්න පාරම්පරික උරුමයයි.  දෙවැන්න තම ක්‍රියාකාරිත්වය තුළ සිටි සහ එයට ආධාර වු සහෝදරත්වයේ තිළිනයයි. දෙවැන්න ඉතාමත් අසීරු  ය.  එයට හේතුව එය ඔහු දිනා ගත් දේශපාලනයෙහි හෘදය සාක්ෂිය පිළිඹිඹු කරන්නක් වීමයි...“  

පැට්‍රික් සහෝදරයා මේ වන විට සම්බන්ධ වී සිටින ‘විප්ලවීය සමාජවාදි කේන්ද්‍රය‘ එහි අරමුනු හැටියට කියවෙන විප්ලවීය න්‍යයක් ගොඩ නැගීම, කැප වුණ ප්‍රාරම්භක ක්‍රියාකාරින් සමූහයක් ගොඩ නගා ගැනීම, බහුජන ක්‍රියාකාරීත්වයක් සංවර්ධනය කරන හා පක්ෂයට අවශ්‍ය ක්‍රියාකාරින් සපයන, අරගලය තුළ ඔවුන් පුහුණු කරන, පන්නරගත කරන හා පොදු ජනයාට පක්ෂයක අවශ්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරවන මහජන ව්‍යාපාරයක් පණ ගැන්වීම වගේ කාරණා සම්බන්ධයෙන් සාර්ථක වෙවි ද ?  බහුජන අරගලය සඳහා වඩා සුදුසු ම මධ්‍යස්ථානය හැටියට ජවිපෙ කේන්ද්‍ර කර ගත් ජාතික ජන බලවේගය තෝරා ගැනීම සාර්ථක වේවි ද ?  පැට්‍රික් කියන බහුජන දේශපාලන අධ්‍යයනාගාරය මේ මොහොතේ මේ ලියමින් කරන්නේ ඒ හැදෑරීමට අපේ සමාජය කැඳවීමක්. 

එතැන දි පැට්‍රික් ගොඩනැගුනේ, පවතින්නේ කොහොමද කියන ප්‍රශ්න එක්ක පෙර බැදීම පට්ට ම වැදගත්කියල මම හිතනවා. 
 පොතේ කියවෙන විදියට ඒකට සමසමාජ තාත්තා බලපෑවානම් පැට්‍රික් සහෝදරයගේ දුවල දෙන්න එහෙම නොවෙන්නේ ඇයි ?  තවත් සමහර සහෝදරවරුන් ගේ දරුවන් තමන් ගේ පියවරුන් ට, මව්වරුන්ට සාප කරන්නන් බවට පත් වූයේ ඇයි ? පැට්‍රික් සහෝදරයා ගේ ටර්නින් පොයින්ට් එකක් හැටියට සරත් විජේසිංහ ගේ බලපෑම දක්වනවානම් පැට්‍රික් කියන පුද්ගල මිතුරා අනෙක් මිතුරන් වෙත එහෙම නොවන්නේ ඇයි ?  

මට හිතෙන්නේ ලංකාවේ වාම සාහිත්‍යය ඇතුළේ , විශේෂයෙන් ම මාවෝවාදි බලපෑම ඇතුළත් සාහිත්‍යය ඇතුළේ තියෙන බර අඩුවක් මේ කාරණා සම්බන්ධයෙන් පැට්‍රික් සහෝදරයා ගේ පොතෙනුත් මතු වෙනවා.  පැට්‍රික්, ‘පැට්‍රික්‘ විදියට නැත්නම් වාම බහුජන දේශපාලන ක්‍රියාධරයා විදියට බිහි වුණ විදිය, හැදුනු වැඩුනු විදිය, ඒ පුද්ගල වීර චරිත තුලින් පැහැදිලි කරනන් බැහැ.  ඒවාට බලපාපු, ඒ චරිතවලට පවා බලපාපු සන්දර්භයන් තියෙනවා.  මේ දිහාට මේ පොතෙන් මතු කරන සංවාදය ගෙන යන එක පට්ටම වැදගත් කියල මට ආයේ ආයෙමත් හිතෙනවා.  ඒක ඇතුළේ සරත් විජේසිංහලා ගැන වගේ ම බන්ධනාගාර අධිකාරි ව සිටි ජෝර්ඩන් වගේ චරිත ගැනත්, ඒ චරිත මතු කෙරෙන පොළොවවල් ගැන තව මහා කෘතියක් කරන්න වේවි.  

ඒකට හොඳ මුලපිරුමක් දුන්නාට ස්තූතියි පැට්‍රික් සහෝදරයා !