Wednesday, March 31, 2021

පැට්‍රික් අයියා තුළින් බහුජන-දේශපාලන අරගලය කියවාගැනීමට ට්‍රයි එකක්



“මගේ වයස දැන් වසර හැත්තෑ තුනකි.  මෙම වසර හැත්තෑ තුනෙන් වසර පනහකට වඩා අධික කාලයක් පුරා ම මා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙමින් වැඩ කටයුතු කර තිබේ........“ 

‘නව මාවතක නව මාවතක් සෙවූ සටන්කාමියා‘ පොත පටන් ගන්නේ එහෙමයි.  පොත ලියන්නෙත්, පොතෙන් කියන්නෙත් ‘පැට්‍රික් අයියා‘ නැත්නම් ‘පැට්‍රික් සහෝදරයා‘; ඒ කියන්නේ පැට්‍රික් ප්‍රනාන්දු ගැන.  

“...අවසාන වහයෙන් කිව යුත්තේ මා දැනට ඇවිදීම අපහසු කරන යම් රෝගි තත්වයකට පත් ව ඇති හෙයින් පෙර සේ ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වීමට එකී තත්වය මට  ඉඩ නොසලසන බව ය.  එහෙත් මගේ දේශපාලන අධිෂ්ටානය අකර්මන්‍ය කරන්නට එය තවමත් සමත් ව නැති බව පවසන්නේ ආඩම්බරයකින් යුතුව ය“  

160 වෙනි පිටුවෙන් පොත ඉවර වෙන්නේ ඔන්න ඔය කතාවෙන්.

ඔය කොටස කියවන්නත් කලින් ඉඳල ම පැට්‍රික් සහෝදරයා වගේ කෙනෙක් මගේ හිත ඇතුළේ චිත්‍රණය වෙන්නේ බොහෝ විට ‘වානේ පන්නරය ලැබූ හැටි‘ පොතේ ‘පාවෙල් කොර්චාගින්‘ වගේ චරිතයක් හැටියට.  පාවෙල්, ඒ පොත ලියපු කිකෝලායි ඔස්ත්‍රනොෆ් ගේ ප්‍රතිමුර්තියක් හැටියට සැළකෙනවා.  මුළු ජීවිතය ම අති මහත් කැපවීමෙන් සෝවියට් විප්ලවය දිනවන්න වැඩ කරන මේ චරිතය අන්තිමට පූර්ණ අන්ධභාවය ට පත් වෙනවා.  එවිට ඔහු තෝරා ගන්නේ එක තැනක ඉඳන් ලිවීම ! 

පැට්‍රික් සහෝදරයා මේ වෙලාවේ මේ පොත ලියල ජනතාවට පිළිගන්නවන කොට සමු නොගන්නා, විශ්‍රාම නොගන්නා අරගල ගමනක මේ මොහොතේ ස්වරූපය හැටියට ලිවීම තෝර ගෙන ඇති කියලත් හිතෙනවා.  ඒත්  ඔහු අනිත් විදිත් අතෑරල ම නෑ.    

සමසමාජ ආභාෂයක් ඇති පවුලකින් පැට්‍රික් සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී දේශපාලන ක්‍රියාධරයෙක් බවට පත් වෙලා 1971 කැරැල්ලේ නායකත්ව මට්ටමේ කාර්යභාරයක් ඉටු කරනවා.  සිර ගෙදරට පුළුවන් වෙන්නේ නැහැ ඔහු වගේ කෙනෙක් හිරකාරයෙක් කරන්න.  පැට්‍රික් සහෝදරයා එලියට එන්නෙත් ලේ වැකි පරාජයක අඳුර අතරින් අරුණෝදයක ආලෝක ධාරා දකිමින් .  ජනතා සංගමය ගොඩ නගා ගනිමින්, වැඩි බරක් බහුජන අරගල බිමේ අරගලයන් එක්ක හදාරමින් ‘විප්ලවවාදී පක්ෂයේ‘ තවාන හදා වඩා ගන්න ඔවුන් උත්සාහ කරනවා.  ගොවි සම්මේලනයේ නායකත්ව වැඩ කොටසක් බාරගනිමින් ඒ වැඩ කොටස ඉවර වෙන්නේ.  ඉන් පස්සේ මරණය දෙපැත්තකින් කඩා පනින බිහිසුනු සමයක අමාරු ම කාලයෙත් උතුරේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනයට පවා අවංක වෙමින්, හෘදය සාක්ෂ්‍යය පාවා නොදෙමින් යන ගමන වැඩ ස්වරූපයන්ගෙත් ලොකු වෙනස්කම් ඇති කරවන බවක් පේනවා.  දියැස අධ්‍යයන කවය හරහා න්‍යායික හැදෑරීමේ වැඩබිමක් හදා ගන්නා පැට්‍රික් සහෝදරයලා, ඒ හැදෑරීම පොත් ගුල්වල ට සීමා කරගන්න බැරිකමේ අභියෝගය එක්ක එළියේ වැඩබිම් නිර්මානය කරගන්න ගන්නවා.  ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය ඒ අතරින් මුල් ම එක හැටියට මතක් වුණා මට. 

දැන් අපේ කතාවට ආයෙමත් හැරෙමු.
පොත....................!

පැට්‍රික් සහෝදරයා මේ මුද්‍රිත අකුරු අතරින් දොඩමලු වෙන්නේ තමන් ගේ ජීවිත මතකයන් එක්ක.  මුල ඉඳල ම ඒ මතකයන් හැම එකක් ම වගේ සමාජ අරගලයන් එක්ක බැඳිලා.  ඒ නිසා එයා ගැන කතා කරන්න ගත්ත ම නිකම් ම ඒක ලංකාවේ සමාජ අරගලයන් ගැනත් කතාවක් බව ට පත් වෙනවා.  

පැට්‍රික් සහෝදරයගේ ජිවිතය අදටත් පර්යේෂණ වැඩබිමක් වගේ.  

“ඉකුත් පරිච්ඡේදයේ සාකච්ඡා කෙරුනේ ප්‍රධාන කොට ම ජනතා සංගමයේ බහුජන ක්ෂේත්‍රයේ වැඩ ය. ..අපි ජනතා සංගමය ගොඩ නැගුවේ සැබෑ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම සඳහා ක්‍රියා කරන විප්ලවීය පූර්ව පක්ෂ සංවිධානයක් වශයෙනි.  ප්‍රවණතා දෙක(ජනතා සංගමය තුළ) පැවතියේ මෙය ගොඩනැගීම සම්බන්ධයෙනි. එක ප්‍රවණතාවයක් වූයේ වැඩපිළිවෙලක් සහිත විනයගත විප්ලවීය සංවිධානයක් ගොඩ නගමින් එහි මඟපෙන්වීම යටතේ බහුජන වැඩවලට හා බහුජන අරගලයට සම්බන්ධ විය යුතු බව ය.  අනෙක් ප්‍රවණතාවය වූයේ අප සරල සංවිධානයක් ගොඩ නගා එහි මෙහෙයවීම යටතේ බහුජන වැඩවලට හා අරගලයට සම්බන්ධ වෙමින් ඒ ඔස්සේ විප්ලවීය සංවිධානයක් ලෙස ගොඩනැගිය යුතු බව හා වැඩපිළිවෙලවල් සම්පාදනය කළ යුත්තේ බහුජන වැඩ හා බහුජන අරගලය  නැතහොත් පංති අරගලය තුළ බව ය....“ (116 පිටුව)

“ඒ අනුව බහුජන ක්ෂේත්‍රෙය් වැඩ ප්‍රමුඛ තැනේ තබා ගෙන අපි වැඩකටයුතු කර ගෙන ගියෙමු...එසේ වුව ද, එක් අතකින් සංවිධානය ගොඩ නැගීම සම්බන්ධයෙන් අප සිටි දෘෂ්ටිමය ප්‍රවේශය හේතු කොට ගෙන සංවිධානය ස්ථිරසාර හා විනයගත සංවිධානයක් වශයෙන් පවත්වා ගැනිමට ද, අනෙක් අතින් අවශ්‍ය කරන න්‍යාය හා වැඩපිළිවෙලවල් ගොඩ නැගෙන්නේ බහුජන වැඩ හරහාය යන දෘෂ්ටිමය ප්‍රවේශය හේතු කොට ගෙන නිසි න්‍යායික මඟපෙන්විමකින් හා නිශ්චිත වැඩපිළිවෙලකින් යුත් සංවිධානයක් බවට පත් වීමට ද අපට මේ වකවානුවේ හැකි නො වී ය....“(117 පිටුව)

‘බහුජන වැඩ‘ කියන්නේ මොනවාද ?  

ශිෂ්‍යයෝ අධ්‍යාපන ප්‍රශ්න විසඳගන්න අරගල කරනවා.  ගොවීයෝ ඉඩම්, වතුර වගේ තමන් ගේ ගැටළු විසඳගන්න අරගල කරනවා.  වෘත්තීය සමිති වැටුප්, සේවා කොන්දේසි, වැඩ කාලය වගේ  තමුන් ගේ වෘත්තීය ප්‍රශ්න විසඳ ගන්න අරගල කරනවා.  මේ හැම අරගලයකට ම පදනම් වෙන්නේ පොදු ප්‍රශ්නයක ඒ ඒ කොටස්.  කට්ටිය ඒකෙත් තමන් ගේ කොටස විසඳ ගන්න තනියෙන් අරගල කරනවා වෙනුවට ඒ ඒ ක්ෂේත්‍රවල අය එකතු වෙලා අරගල කරනවා.  ඉතින් ඕක තමයි බහුජන අරගලය.  මේ අරගල ඇතුළේ පොදුබවක් තිබුණට ඒවා ඒ ඒ මුහුණ දෙන ප්‍රශ්නවල ගැඹුරු හේතු සාධක හොයා ගෙන යන්නේ නැහැ.  ඒ මොහොතේ ප්‍රශ්නය විසඳා ගැනීමෙන් නතර වෙනවා.  අතර මැද සම්මුතිවලට ගිහින් මගින් නතර වෙන්නත් පුළුවන්.  ගොවි අරගලය ඇතුළේ පැට්‍රික් සහෝදරයා මේ ගැන කදිම විස්තරයක් ගේනවා.  ඉඩම් අහිමි දුප්පත් ගොවින් සහ ඉඩම් හිමි පෝසත් ගොවීන්, භික්ෂූන් වගේ වැඩවසම් නින්දගම් හිමියන් පොදුවේ ජල බදුවලට එරෙහිව නැගි සිටියාට ඒ මුළු ගමන ම අන්තිම දක්වා එකට යන්නේ නැහැ.  
අන්තිම දක්වා යන අයත් සමාජ ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලන අරගලය දිහාට ගොඩනැගෙනව කියල කතාවක් නැහැ.  
ඒත් දේශපාලන අරගලය ගොඩනැගීම බහුජන අරගල වැඩබිමේ හැදෑරීම් නැතිව කරන්නත් බැහැ.  

දැන් අද මේ මොහොත දක්වාම පැට්‍රික් සහෝදරයා ගේ ජීවිතය මේ දෙක අතර දෝලනය වෙන අත්හදා බැලීම් මාලාවක වැඩබිමක්.  මට දැනෙන්නේ හරියට වරහන් දෙකක් අතර යන එන ගමනක් වගේ.  බහුජන අරගල වරහනේ එක පැත්තකින් යමින් ආයෙමත් දේශපාලන අරගල වරහනේ ගමන් කරනවා.  මේ වගේ වරහන් ගොඩයි.  ඒ වරහන් අතර කතා ගොඩයි.  

මේ වැඩබිම ගැන කල්පනා කරද්දී එදා පොත ජනගත කිරීමේ හමුව අමතපු වමා හෙවත් ආචාර්ය නිර්මාල් රංජිත් ඒකට සමපාතව ඇයි X එකේ අත්දැකීම (X කණ්ඩායම කැඩී යාමේ දී එක් අතකින් පෙරටුගාමී පක්ෂය සහ අනෙක් අතින් කණ්ඩායම්, ප්‍රවණතා රැසක් විදියට ක්‍රියාකාරිත්වයන් බෙදී යාම ගැන) කතා නොකළේ කියලත් වෙලාවක මට හිතුනා.  මෑත කාලයේ ජවිපේ බිඳිම ඇතුළේ පෙරටුගාමී සමාජවාදි පක්ෂය ගොඩ නැගෙන එකත් මේ වගේ දෝලනයන් ගණනාවක් හරහා එන්නක්.  නව සමසමාජ අත්දැකීම් ඇතුළේ ‘ජන අරගල න්‍යාය‘ ගැන කතා කළත් මේ අත්දැකීම මුණ ගැහෙනවා.  පැට්‍රික් සහෝදරයා සහ මම එකට මුණ ගැසුන ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරයේ‘ අවසාන අත්දැකීමත් මේ වගේ.  ඒකේ මූලික පදනම දේශපාලන බහුජන සංවිධානයක්.  කෙළින් ම දේශපාලන පක්ෂ සංධානයක් හැටියට නව වාමාංශික පෙරමුණ ගොඩ නැගෙද්දී පැට්‍රික් සහෝදරයා නියෝජනය කළ බහුතර කණ්ඩායම එහි සාමාජික සංවිධානයක් හැටියට එකතු වෙන්න තීරණය කළා.  විරුද්ධ වුණ සුළුතරයේ වැඩි දෙනා ට තිබුණේ නව සමසමාජ පක්ෂය වගේ එකක් මේ සන්ධානයේ අරමුණු කොහාට පාව්ච්චි කරාවිද වගේ සැකයක්.  ඒත් මම සහ රසිකා සහෝදරිය පෙනි සිටියේ නව වාමාංශික පෙරමුණේ දේශපාලන වැඩබිමට අපට කළ හැකි ඉහළ ම දායකත්වය ඉන් පිටත ඉඳ ගෙන බහුජන අරගලය සංවර්ධනය කිරීම නිසා එහි සාමාජික සංවිධානයක් නොවිය යුතුයි කියන එකයි.   
පරම්පරා ගණනක් අතර, මඟ හැරිය නොහැකි විදියට මුණගැසෙමින් තියෙන මේ ප්‍රශ්නය පැට්‍රික් ගේ ජීවිතය ගැන කරන කතාවක දී අපට අධ්‍යයනාගාරයක් සපයනව කියල මට හිතෙනවා.

පොතට ඉතා කදිම පසුවදනක් සපයන යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ට කථිකාචාර්ය සාමිනාදන් විමල් පැට්‍රික් සහෝදරයා ගේ ජීවිතය මේ වැඩබිම ඔස්සේ කියවා ගැනීමේ වැදගත්කම මේ විදියට ලියල තිබුණා. 
“...මෙම කෘතියෙහි ආරම්භයේ සිට අවසානය දක්වා ඇදෙන හූයක් වෙයි.  එය නම් අනෙකාගේ ප්‍රශ්නය ගැන දැක්වෙන උනන්දුව තුළින් ප්‍රකට කෙරෙන විමුක්තිවාදි ප්‍රවේශයයි...“  ඔහු කදිම රූපකමය බසකින් මෙහෙම කියනවා.  “...කෑගලු නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරවා ගෙන සිය වෙදකම කර ගෙන ගිය පියෙකුගේ පුතෙක් රාජගිරිය බන්ඩරනායකපුර පර්චස් දෙකහමාරක වපසරියක තනන දෙමහල් නිවෙසක පදිංචි වෙයි...පළමුවැන්න පාරම්පරික උරුමයයි.  දෙවැන්න තම ක්‍රියාකාරිත්වය තුළ සිටි සහ එයට ආධාර වු සහෝදරත්වයේ තිළිනයයි. දෙවැන්න ඉතාමත් අසීරු  ය.  එයට හේතුව එය ඔහු දිනා ගත් දේශපාලනයෙහි හෘදය සාක්ෂිය පිළිඹිඹු කරන්නක් වීමයි...“  

පැට්‍රික් සහෝදරයා මේ වන විට සම්බන්ධ වී සිටින ‘විප්ලවීය සමාජවාදි කේන්ද්‍රය‘ එහි අරමුනු හැටියට කියවෙන විප්ලවීය න්‍යයක් ගොඩ නැගීම, කැප වුණ ප්‍රාරම්භක ක්‍රියාකාරින් සමූහයක් ගොඩ නගා ගැනීම, බහුජන ක්‍රියාකාරීත්වයක් සංවර්ධනය කරන හා පක්ෂයට අවශ්‍ය ක්‍රියාකාරින් සපයන, අරගලය තුළ ඔවුන් පුහුණු කරන, පන්නරගත කරන හා පොදු ජනයාට පක්ෂයක අවශ්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරවන මහජන ව්‍යාපාරයක් පණ ගැන්වීම වගේ කාරණා සම්බන්ධයෙන් සාර්ථක වෙවි ද ?  බහුජන අරගලය සඳහා වඩා සුදුසු ම මධ්‍යස්ථානය හැටියට ජවිපෙ කේන්ද්‍ර කර ගත් ජාතික ජන බලවේගය තෝරා ගැනීම සාර්ථක වේවි ද ?  පැට්‍රික් කියන බහුජන දේශපාලන අධ්‍යයනාගාරය මේ මොහොතේ මේ ලියමින් කරන්නේ ඒ හැදෑරීමට අපේ සමාජය කැඳවීමක්. 

එතැන දි පැට්‍රික් ගොඩනැගුනේ, පවතින්නේ කොහොමද කියන ප්‍රශ්න එක්ක පෙර බැදීම පට්ට ම වැදගත්කියල මම හිතනවා. 
 පොතේ කියවෙන විදියට ඒකට සමසමාජ තාත්තා බලපෑවානම් පැට්‍රික් සහෝදරයගේ දුවල දෙන්න එහෙම නොවෙන්නේ ඇයි ?  තවත් සමහර සහෝදරවරුන් ගේ දරුවන් තමන් ගේ පියවරුන් ට, මව්වරුන්ට සාප කරන්නන් බවට පත් වූයේ ඇයි ? පැට්‍රික් සහෝදරයා ගේ ටර්නින් පොයින්ට් එකක් හැටියට සරත් විජේසිංහ ගේ බලපෑම දක්වනවානම් පැට්‍රික් කියන පුද්ගල මිතුරා අනෙක් මිතුරන් වෙත එහෙම නොවන්නේ ඇයි ?  

මට හිතෙන්නේ ලංකාවේ වාම සාහිත්‍යය ඇතුළේ , විශේෂයෙන් ම මාවෝවාදි බලපෑම ඇතුළත් සාහිත්‍යය ඇතුළේ තියෙන බර අඩුවක් මේ කාරණා සම්බන්ධයෙන් පැට්‍රික් සහෝදරයා ගේ පොතෙනුත් මතු වෙනවා.  පැට්‍රික්, ‘පැට්‍රික්‘ විදියට නැත්නම් වාම බහුජන දේශපාලන ක්‍රියාධරයා විදියට බිහි වුණ විදිය, හැදුනු වැඩුනු විදිය, ඒ පුද්ගල වීර චරිත තුලින් පැහැදිලි කරනන් බැහැ.  ඒවාට බලපාපු, ඒ චරිතවලට පවා බලපාපු සන්දර්භයන් තියෙනවා.  මේ දිහාට මේ පොතෙන් මතු කරන සංවාදය ගෙන යන එක පට්ටම වැදගත් කියල මට ආයේ ආයෙමත් හිතෙනවා.  ඒක ඇතුළේ සරත් විජේසිංහලා ගැන වගේ ම බන්ධනාගාර අධිකාරි ව සිටි ජෝර්ඩන් වගේ චරිත ගැනත්, ඒ චරිත මතු කෙරෙන පොළොවවල් ගැන තව මහා කෘතියක් කරන්න වේවි.  

ඒකට හොඳ මුලපිරුමක් දුන්නාට ස්තූතියි පැට්‍රික් සහෝදරයා !     

  


  
      

  




     


   
 

Sunday, March 7, 2021

පාස්කුවේ බූමරැංගය


 ඉතිහාසය වෙලාවකට වංගු ගගහ යනව;තව වෙලාවක එක පාර ලොකු ටර්න් එකක් ගන්නවා. 

අවුරුදු දෙකකට කිට්ටු ලංකාවේ  පාස්කු ප්‍රහාරයත් ඒ වගේ; හරියට ම කීවොත් මේ වෙද්දීී ලංකා දේශපාලනයේ ප්‍රධාන ම ටර්නින් පොයින්ට් එක නැත්නම් හැරවුම් ලක්ෂය වෙන්නේ මේ පාස්කු ප්‍රහාර සිද්ධිය. 

එතෙක් දේශපාලනයේ තිබුණ බලතුලනය උඩුයටිකුරු කරන්න, නැත්නම් එහෙම වුණා කියල විශ්වාසයක් ජනිත කරන්න ප්‍රධානතම සාධකය හැදුනේ පාස්කු ප්‍රහාර⁣ සිද්ධියෙන්.   

එක පාරට ම හිතාගන්න බැරි වෙලාවක, හිතාගන්න බැරි විදියට පාස්කු පූජාවන් මැද පල්ලි වල සහ සමාන්තරව තරු පහේ හෝටල් වල මරාගෙන මැ⁣රෙන බෝම්බ පිපිරුම් මාලාවක් වෙනවා. ලෝකය පුරා ම හයිලයිට් වෙන පාස්කු උත්සව දවසේ  ලංකාවේ සංචාරක ව්‍යාපාරය මරණීය අත්දැකීමක් වෙන්න පුළුවන් කියන ෂොක්ෆුල් පණිවුඩය සමාජගත වෙන්නේ මෙහෙ ප්‍රධාන ම ආදායම් මාර්ගයේ මුදුන් මුල ට එල්ල කෙරෙන පොරෝ පාරත් එක්ක. කවදත් අනාාරක්ෂිත ව හිටපු මිනිස්සු අතර 'අනාරක්ෂිතබවේ භීතිකාවක්' වෛරසයක් වගේ පැතිර යනවා. පැවතුන ආණ්ඩුවට ඒක කරන්න බෑ; ඊටත් පරණ කට්ටිය ආයි ඕන කියන මතයත් අවධාරණය කරමින් තමයි මේ භීතිකාව සමාජගත කෙරෙන්නේ කියන එක පරිස්සමින් බලද්දී පේන්න ගන්නවා. 

දැන් පාස්කු කොමිෂන් වාර්තාවේ කෑලි කෑලි සමාජගත කර ගෙන යද්දී පේන්නෙත් පට්ට සැකසහිත තත්වය අඛණඩව පැවතීමක් වගේ. කිසිම කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇහුවේ නෑ. උදේ 8.45ට වගේ මුල් ම බෝම්බය පුපුරල මුල් විනාඩි කීපය තුළ මුණුපොත්වාසීන්ගේ දැනගැනීමට RAW රිපෝට් එකක් සංසරණය වෙන්න ගන්නේ කොහොමද ? මුල් පැය ඇතුලත හිටපු ජනාධිපතිවරයා කොච්චිකඩේ පල්ලියේ  ඉස්සරහ රටේ අනාරක්ෂිතබව ගැන සැබෑ වූ පුරෝකථනයක් එක්ක මීඩියා ෂෝ එකක් දාන්නේ කොහොමද ? එදා ම, ඒ වෙද්දී 'කවුරුවත් ම නොවුණ' වර්තමාන ජනාධිපතිවරයා කොළඹ කාදිනල්ගේ නිල කාර්යාලයේ ඉඳල එළියට ඇවිත් 'ආරක්ෂක වගකීම බාරගන්න' සූදානම ප්‍රකාශයට පත් කිරීමේ පසුබිම මොකක්ද ? එදා දවල් දෙහිවල දී සිිිිදුවුණ පුපුරාගැනීමකට කලින් පිපිරුම්කරු මුණගැසුන රාජ්‍ය බුද්ධි අංශ නියෝජිතයා කව්ද?ඇය් ඒ ? 

නවසීලන්තයේ කේස් එකකට පලි ගැනීමක් සඳහා ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකිිිින් මේ ප්‍රහාරක මෙහෙයුම කළ බව දවස් දෙකකට පස්සේ අදාල සංවිධානය 'ඉල්ලීමක් අනූව' පිළිගත් බව BBCයෙන් වාර්තා වුණා.    

කාලාන්තරයක් තිස්සේ ඉස්ලාමීය ආන්තික සංවිධාන ලංකාවේ වැඩ කරමින් හිටි බවට අනාවැකි දැක් වූ බව, ඒ තාලයේ ම බෞද්ධ ආන්තික සංවිධාන කියාපාමින් මතක් කළා. පරිස්සමින් බලපුවාම මේ කියන ඉස්ලාමික ආන්තික සංවිධාන වලට න්‍යායික පෝෂණයක් ලැබෙන්නේ ඒ කියන බෞද්ධ ආන්තික සංවිධානවලිිිින් තමයි. මේ ප්‍රහාරයේ ප්‍රහාරක නායකයා වගේ පෙනී යන සහ්රාන් හෂීම් තමන්ගේ කණ්ඩායම මෝටිව් කරන්න පාවිච්චි කරල තියෙන්නේ බොදු බල සේනා ලොක්කා ඤානසාර හාමුදුරුවන් ගේ දර්ගා ප්‍රකාශය ප්‍රමුක ප්‍රකාශ හා ක්‍රියාකාරකම්.  ඉස්ලාමය දේශපාලනික අවියක් හැටියට පාවිච්චි වීමේ සංවිධානමය මුල උතුරු නැගෙනහිර යුද කාලය දක්වාවත් පැරණි එකක්. විශේෂයෙන් ම ඒ කාලයේ පටන් තමිල් සංවිධිනවලට මුහුණ දෙන්න පැරා මිලිටරි කල්ලි හැටියට මෙවැනි අය මෝටිව් කරල පුහුණු කිරීම්, සන්නද්ධ කිරීම් නැගෙනහිර පළාතේ කාලයක් තිස්සේ කර ගෙන ගිහින් තියෙනවා. 

මේ විදියට කාලයක් එක ව්‍යාපෘතියකට හදපු සංවිධාන, වෙනස් ව්‍යාපෘතියකට පාව්ච්චි කරගන්න බැරි වුණා ම, ඒවා සුද්ද-බුද්ද කරල දාන්න වෙන ම ව්‍යාපෘතියක් හදන එක ලෝකේ කොහෙත් කෙරෙන පාලක සම්ප්‍රදායක්.    

අවුරුදු දෙකක් වෙන්නත් ආවා. පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන පත්කරපු ජනාධිපති පරීක්ෂණ කොමිසමෙත් හුලං ගියා වගේ වැඩක් දැන් පේන්න තියෙන්නේ. නාට්‍යය ඉවර කරන්න හිතා ගෙන මුළින් ගහපු ප්ලෑනක් තියේනම්, මේ හුලං බැහිල්ලත් එක්ක දැන් ආයේ පොඩි එඩිට් එකක් දාලා ඉස්සරහට යන්න වෙන පාටයි. 

කළු ඉරිදාව ප්‍රකාශයට පත්වෙන්නේ පිලාත් කෙනෙක්ගගෙන් වෙන්න පුළුවන්. ඒත් ඒ මට්ටමිි්න අත හෝද ගෙන අයින් වෙන්න පුළුවන් තැනකට වඩා දැන් මේ ව්‍යාපෘතිය ලොකු වෙලා වගේ. 

කළු පාට, කිතුනුවන්ගේ සම්ප්‍රදායික සංකේතය හැටියට ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ ඒ හැඟීම්-දැනීම් ප්‍රකාශනයන් ට එඩ්‍රස් හැදෙන  විදිය මේ වෙලාවේ දේශපාලනය ගැන තියුණු  සහ රසවත් අධ්‍යයනයක් වේවි.