Wednesday, February 28, 2024

රොනල්ඩ්ලාගේ සියවස


 'ලංකාවේ විවෘත ආර්ථිකයේ පියා' හැටියට රොනී ද මෙල් ගැන ජනප්‍රිය හැඳින්වීමක් තියෙනවා. මගේ අදහස මේක බරපතල වැරදි නම් කිරීමක්.

මගේ දැනුමේ හැටියට, 'විවෘත ආර්ථික සංකල්පය' ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින්.  ව්‍යවස්ථාදායකය තුළත්, ඉන් පිටත සමහර තැන්වලත්  ප්‍රමුඛ පෙළේ ලිබරල් ආර්ථික විද්‍යාඥයකු වන ගුනාර් මිර්ඩාල් උපුටා දක්වමින් ඔහු මේ අදහස ඉදිරිපත් කරනවා
.
1960 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ව්‍යවස්ථාදායකයට පත්වන ෆීලික්ස් මුදල් අමාත්‍ය ධූරයද ඒ කුළුඳුල් අවස්ථාවේ දී ම  ලබනවා.වසර තුනකින් මතභේදාත්මක තත්වයක් තුළ ඉල්ලා අස්වන්නට සිදුවූවත්, 1975 දී ආයෙමත් මුදල් අමාත්‍ය වගකීම බාරගන්නේ සමගි පෙරමුණ, දේශපාලන පෙරමුණක් සහ ආණ්ඩුවක් හැටියටත්, රටේ ආර්ථිකය සහ මුළු රටත් දැවැන්ත අර්බුදයකට පත්වෙමින් තිබුණු කාලයක. නිදහස් වෙළඳ කලාප පිළිබඳව මුල්ම සැලසුම් කිරීම් පවා ෆීලික්ස්ගෙන් ඉදිරිපත් වන්නේ මේ කාලයේ. මම අහලා තියෙනවා, 'මෝඩ ජනසතු කිරීම් තවදුරටත් නැති'  බවට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ඒ වෙලාවේ  ප්‍රකාශ කළ බවක්.

විවෘත ආර්ථික සංකල්පය' මේ විදිහට ස්ථාපිත කරන්නට උත්සාහ දරමින් සිටියදී, එහි 'පියා' ලෙස හඳුන්වන රොනී දමෙල් හිටියේ කොහේද? පුදුම සහගත කරුණ නම්, ඔහුත් එම වෙලාවේ, එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එම ව්‍යවස්ථාදායකයේ හිටියා. 

එකුන් සියවසක සිය ජීවිත කාලය නිමවා, ඊයේ (පෙබරවාරි 27) සන්ධ්‍යාවේ රොනී ද මෙල් මෙලොවින් සමුගන්නා විට, ඒ කිසිත් නොදත් මාත්, තව මිතුරෙකුත් කතා කරමින් හිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවූ මේ ප්‍රතිපත්තිමය පිල් මාරුව සාක්ෂාත් කරගන්නට ඔවුන් අසමත් වූයේ ඇයි යන්නයි.

සාපේක්ෂව ඊට අවශ්‍ය ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර් ජයවර්ධනලාට.

තියුණු උපහාසාත්මක දේශපාලන කථිකයෙකු වූ ඔසී අබේගුණසේකර විසින් 'පනී ද පිල්' නමින් නම  උච්ඡාරණය කරන ලද රොනී ද මෙල්, 1977 දී එ.ජා.ප. මන්ත්‍රීවරයකු ලෙස නව පාර්ලිමේන්තුවට පත්වී තිබුණා.  කෘතහස්ථ සිවිල් සේවකයකු ලෙස 1964 දී විශ්‍රාම ලැබූ ඔහු, 1964 දී බිබිල ආසනයෙන් පරාජයට පත් වූයේත්, 1970 දී දෙවිනුවර ආසනයෙන් ජය ගත්තෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්.  'රොනී, ජේ. ආර්. ගේ ප්‍රඩක්ට් එකක්' යයි කතාවක් තියෙනවා. තමන්ගේ පිළට අලුතෙන් පැමිණි මේ මන්ත්‍රීවරයාට බර වගකීම් සහිත මුදල් අමාත්‍ය ධූරය ලබා දී ජේ. ආර්. ගේ ජනාධිපති සමය 1988 දී අවසාන වෙන තුරු ම 'අඛණ්ඩ අයවැය 11ක් ඉදිරිපත් කළ මුදල් ඇමතිවරයා'  ලෙස රොනී ගොඩනගන්නේ ජේ ආර් විසින් බව මේ අය පෙන්වා දෙනවා. ඉහත කියපු 'පීතෘභාවය' රොනී ට පැවරෙන්නේත් මේ නිසා වෙන්න පුළුවන්.

මගේ පුද්ගලික තක්සේරුව, ලංකාවේ විවෘත ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ෆීලික්ස් මෙන්ම රොනී ද අසමත් බවයි.  ඒත් කිසිසේත්ම ඊට හේතුව වන්නේ ඔවුන්ගේ පුද්ගල අසමත්භාවය යයි නම් කරන්නට අසීරුයි. ආර්ථික වෙනස්කම් තුළින් විතරක් රට ගොඩනගන්නට ෆීලික්ස් ගත් අංශභාග උත්සාහය, සම්පූර්ණ කරන්නට අවම ලෙස හෝ රොනී සමත් වූයේ නව එ.ජා.ප. පාලනය මගින් ක්‍රියාවට නංවන ලද පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ද සමඟ ඒවා සම්බන්ධ කිරීමෙන්. හැත්තෑව දශකයේ රාජ්‍ය ප්‍රාග්ධනයට සම්බන්ධව ගොඩනැගුණු පුද්ගලික ධනපතියන් හරහා සමාජ සැකැස්ම තුළ ඇතිවුණු වෙනස්කම් මෙයට ගැඹුරින් බලපෑ බවක් මා අසා තිබෙනවා.

ලංකාවේ විවෘත ආර්ථිකය තුළ සැබැවින්ම කිසිසේත් 'නිදහස් වෙළඳපොලක්' බිහිවුනේ නෑ. දේශීය විදේශීය සියලු ව්‍යවසායකයන්ට ඊනියා සුභසාධක රාජ්‍යයේ පසුගාමී නිලධාරි යාන්ත්‍රණයක් ඇතුළතින් ගමන් කරන්නට එදා සිටම සිදුවුණා. ආණ්ඩුමය හයියෙන් වෙළඳපොළ හසුරුවන ගජ මිතුරන්ගේ මාෆියාවක් මේ තුළ තහවුරු වෙමින් තිබුණා.  ජේ. ආර්. විසින් උත්කෘෂ්ටයට නංවන ලද නවලිබරල් සිංහල බෞද්ධ රාජ්‍යය මේ විදියට එහි සීමාවන් සලකුණු  කෙරෙමින් තිබෙනවා.  ඒත්  ඊනියා 'ජාතික ආර්ථිකය' හෝ ආවෘත ආර්ථිකය කරා යළිත් පසුබැසීමක් මෙමඟින් කිසිසේත් යෝජනා කෙරෙන්නේ නෑ. අපි යා යුත්තේ ඉදිරියටයි. එකිනෙකට පසමිතුරු සේ පෙනුනත් රනිල් සහ NPP  ප්‍රවනතා අතරින් මේ සීමා අතික්‍රමණය කිරීමේ වෑයම් අඩු-වැඩි වශයෙන් දකින්න පුළුවන්.

රොනී ද මෙල් සිය දේශපාලන ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ, දැඩි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි දේශපාලනයක් මත පදනම් වූ මහින්ද රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය හා ආර්ථික උපදේශකයකු ලෙසයි.  එය ඉතිහාසයේ සරදමකට වඩා තාර්කික ඵලයක් කියලයි මට දැනෙන්නේ.

මෙල්වරු, මෙරට යටත් විජිත ආර්ථිකයේ, වයඹ පළාතේ ආරම්භක ධනපති පන්තියේ සාමාජිකයන් ලෙස ගොඩනැගුණු බවක් මා කියවා තිබෙනවා. රොනිලාචචට එහි ඇති සෘජු සම්බන්ධය ගැන මට ඒ තරම් තොරතුරු නැහැ. එසේ නමුත් රොනීලා සතුව බස්නාහිර සහ දකුණු පළාතේ ස්ථානගත වූ විශාල ව්‍යාපෘති ගැන මා අසා තිබෙනවා.

රොනීද මෙල්ගේ සියවසක තරම් ජීවිතය, ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය විස්තර කරගන්නට පුළුවන් හරි අපූරු ජීවිත කතන්දරයක් ලෙස අදටත් වැදගත්.