Monday, June 17, 2019

පාළු ය; හිස් ය; පුරවන්නට අකුරු නැත !



පැය කීපයකට කළින් රසිකා ගේ කඳුළු බර හඩින් දුරකථනයෙන් කියවුණ ඒ පුවත හදවතත්, මගේ හඬත් මොහොතකට ගොළු කළා.
“ප්‍රේමපාල අයියා නැති වෙලා ! “
60 දශකය මැද දි ජවිපෙ සමාරම්භකයෙක්; කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අංශය මෙහෙයවමින් 71 කැරැල්ල ට නායකත්වය දුන්නෙක්; සිරමැදිරි තුළ සිර කොට මරා දැමිය නොහැකි විප්ලවීය ජවයකින් යුතු ව කැරලිකාරීත්වය හරිහමන් විප්ලවවාදිත්වයක ට පෙරලා ගන්න ට අවශ්‍ය නිහතමානි ස්වයං විවේචනය සමඟ ‘ජනතා සංගමය‘ ගොඩනැගිමේ එක් පුරෝගාමියෙක්; ස්වයං විවේචනය තු්ළ වාම ඉදිරිමඟක් දැකිමත්, පිඩිත දමිළ ජාතියේ අරගලය සම්බන්ධයෙන් යුක්තිගරුක සිහිනයක් දැකිමත් හේතුවෙන් අප සමඟ, අපටත් ඉහළින් 88-89 ජවිපෙ ඝාතන ලැයිස්තුවේ අංකයක් වූවෙක්; කෘෂිකාර්මික රටක් වූ ලංකාවේ ගොවියන් නොතකා හරිමින් කළ හැකි සමාජ විප්ලවයක් නැතැයි එන්ජීඕ ආකෘතික සීමා පෞද්ගලිකව බිඳදමන හුදෙකලා කැරලිකරුවකු වෙමින් ජාතික ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගොඩනැගූ පුරෝගාමියෙක් !
කොයි අතින් බැලූවත් ‍‍ඔහු දැවැන්තයෙක්.එහෙත් ඔහු හුස්ම ගත්තේ අප වැනි පුංචි මිනිසුන් අතරයි. 
මාදිවෙල කුලි කටුමැටි නිවෙසට මම මුළින් ම ඇතුල් වුණේ අපේ කොළු නඩයක් අතර ඇති වූ සිනමාවේ ‘කලාත්මක-සම්භාව්‍ය‘ හුටපටයක් විසඳා ගන්න ! එදා මුණ ගැහුණ ‘ප්‍රේමපාල අංකල්‘ , ‘සහෝදරයා‘ වන්න ට වැඩි කාලයක් ගියේ නැහැ. ඊට පස්සේ ඒ මනුස්සයා ම මේ මනුස්සයා තුළ ‘ප්‍රේමපාල අයියා‘ වුනා. පැය ගණන් දිග පළල අපේ මාතෘකා දේශපාලනය, කලාව, ආගම, පරිසරය වගේ ඉමක් කොනක් නැති අනන්තයක ගලා ගිය ඒවා. 
ලේසියෙන් ඇඳක තියන්න බැරි මේ මනුස්සයා ඇඳට වැටුන වෙලාවක මම ගියා පොත් ටිකකුත් අරන් බලන්න. එදා දවස ම අපේ කතාව එකඟතාවලට වඩා සැර නොඑකඟතා එක්ක ! ඒත් අන්තිම ට අපි කවදත් වගේ හොඳ ම හොඳ ආදරණිය යාළුවෝ ! 
“ජවිපේ අධ්‍යාපන වැඩපිලිවෙල අහම්බයක් නෙවෙයිි. එහෙම එකක් බිහි වුනේ ඇයි කියන එක ගැන හොඳ සාකච්ඡාවක් තාම ඇවිත් නැහැ කියල මට හිතුනා. ඔයා මොකද හිතන්නේ ඒ ගැන යම් ලියවිල්ලක් කියවාගැනිමක් ගැන ?“ 
මම මේ වැඩේ ඉහලන් ම අගය කළා. 
“මම ලියන්න ගත්තා. පිළිවෙලක් නැහැ. තැන් තැන්වල. ඔයා ට පුළුවන් නේද මට උදව් වෙන්න මේක ලියන්න“ 
එදාත්- දවස් කීපයක්මත් ඔහු මේ ඉල්ලීම කළා. ඇත්තට ම මට ඕන වුණා මේ වැඩේ ට උදව් වෙන්න, මම ඒකට පොරක් නොවුණත්. ඒත් මම ගියේ නැහැ. මම ඕනකමින් ම මඟ හැරියා !
ප්‍රේමපාල අයියා දේශපාලනය වගේ ම සමාජ ක්‍රියාකාරිත්වය ‘රස්සාවක්‘ කරගන්න අකැමැති වුණ එක ටිකක් ආන්තික හැසිරිමක් වගෙත් කියලත් දැන් මට හිතෙනවා. ඔහු එවැනි රැැකියා ඔක්කොම ප්‍රතික්ෂේප කළා. ඒ කාලේ ඔහු ඇඳුම් මැසූ සන්නාලියෙක් (හිරගෙදර ඔහු ගේ වෘත්තීය පුහුණුවත් ඒක)මේ අන්තිම දවස්වල ඔහු විටින් විට සනීපාරක්ෂක කම්කරුවෙක්, රාත්‍රී මුරකරුවෙක්, සුරතල් මසුන් අළෙවි සේවකයෙක් ආදි සොයා ගත හැකි රස්සා ගණනාවක හිටියා. ඒ අතර දේශපාලන ක්‍රියාකාරකම් වල ට වෙන ම වෙලාව හා හයිය හොයා ගත්තා. අඟහිඟකම් ගැන ඔහු ගාව කන්කෙඳිරිගෑම් නැහැ. ඒත් බෙහෙත් ටික ගන්නවත් බැරි තරමට ඔහු වැටී සිටි අනන්ත මොහොතවල් රහසක් නො වුණ මා වැන්නන් ට ඒ වෙනුවෙන් ඔහු ගේ අත ට කීයක් ම හෝ දෙන්න ට බැරිනම් ඔහු හමුවෙන්න ට හිත හදා ගන්න අමාරු වුණා. 
ඉතින් ආයෙමත් කවදාවත්, කොහේදිවත් මට ප්‍රේමපාල අයියා මුණ ගැහෙන්නේ නැහැ ! ඔබ ට මුණ ගැහෙන්නෙත් නැහැ !
ඔහු එක්ක කරන්න හිටපු කිසිම වැඩක් ආයි කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. 
“ජීවිතය සුන්දර කරන්නේ එක පැත්තකින් මරණයයි“ මෙහෙම නිතර කියපු ප්‍රේමපාල අයියා පොඩි අතුල ගේ කතාවකුත් සමහර විට එකතු කරනවා ඒකට ම; “මරණය මඟ හැරිලා, මාත් මේ ගත කරන්නේ ජිවිතයේ ව්‍යතිරේකයක්“
දශක කීපෙකට කළින් නුගේගොඩ හංදියකදි මාව අල්ල ගත්ත ප්‍රෙමපාල අයියා මෙහෙම කිව්වා;“පොදු අරමුණක් වෙන්වෙන් වෙහෙස නොවෙන ජිවිතයක කිසිම තේරුමක් නැහැ. මම ඔයා ට ආදරේ ඒ නිසයි“
ඒ ආදරය සමඟින් ම ප්‍රේමපාල අය්යා නික්ම ගිහින්. මට ලොකු පාළුවක් දැනෙනවා. සමහර විට ප්‍රෙමපාල අයියා නැති ඔහු ගේ අවමඟල් උත්සවය ට වුුණත් මම යන එකක නැහැ. 
ප්‍රේමපාල අයියා, මට ඔයා ව ගොඩාක් මිස් වුණා ! මට මිස් වුණේ මනුස්සයෙක් විතරක් නෙවෙයි !