Tuesday, June 29, 2021

ඔන්ලයින් යනු අර්බුදයේ හේතුව නොවේ;විභාග කේන්ද්‍රීයත්වයේ අර්බුදයේ හඩ පමණි.


 'ඔන්ලයින්' කියද්දිත් ඔක්කාරයට එන සයිස් ය. අති විශේෂයෙන්ම නරක ම අත්දැකීම් ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ය. මාස 15ක් පමණ දිගු කලක් වසා දමා ඇති ආණ්ඩුවේ ඉස්කෝලෙ 10,012 ක් ඇතුළු පාසල් පද්ධතිය කෝවිඩ් නිසා ඇරගන්නට බැරි ය. ඒ කියන්නේ ඉස්කෝල බිල්ඩින් ටිකට ගුරුන් සිසුන් ගාල් කර ගත නොහැක. එහෙම කරන්නට යාම නිසා දැනටමත් නිරපරාදේ මරණ ග‍ණනකි.

ආණ්ඩුවට මේ පාසල් පද්ධතිය සහ විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාම සදහා තිබූ එක ම විකල්පය ඔන්ලයින් අධ්‍යාපනය ලෙස හැදින්වූ අන්තර්ජාල ප්ලැට්ෆෝම් ය. ඒකත් ගුරුවරුන් හා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ස්වේච්ඡාවෙන්, තම තමන් ගේ වියදමෙන්,තම තමන් ගේ උපකරණවලින් ඒ වැඩේ පටන් ගත් පසු ය. ඒවා අධීක්ෂණය කරන්නට, නිල ඇදුම් ඇගලා ගෙන විකාරරූපි නාට්‍ය රගදක්වන්නට නිලධාරීන් ඒ මැදට පැන බලපෑම් එල්ල කරන්නට පටන් ගැනීමෙන්, ගුරුන් ගේ රතු කට්ට ද පැන්නේ ය. දිවයින පුරා ශක්තිමත් අන්තර්ජාල පහසුකම් පද්ධතියක් නැත; උපකරණ නැත; වියදම් කරන්නට සිදුවන්නේ අතිනි. ගුරුන් හා ශිෂ්‍යයන්ට ටැබ් ලබා දී, රට පුරාම අන්තර්ජාල කලාප ව්‍යාප්ත කොට පටන් ගන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගතකිරීම් ආපස්සට හරවද්දී අපේ ඊනියා ප්‍රගතිශීලී කියන බලවේග රග දැක් වූ ප්‍රතිගාමී කාර්යභාරයේ විපාක දැන් දැන් අපි භුක්ති විදිමින් සිටිමු. ඒ කාලේ ඔවුන් ඇසුවේ 'දැන් අධ්‍යාපනයට අඩු ටැබ් ද' කියා ය. 'ඡන්ද නැති කරගන්නා වැඩක්'යි කියමින් වත්මන් රෙජීමයේ ද ප්‍රධාන හවුල්කරුවකු වන එවකට සිටි ජනාධිපතිවරයා ඒ යෝජනාව හමස් පෙට්ටියට එබුවේ ය.
ඉතින් අන්තර්ජාල පහසුකම් ගැන කවර කතා ද ! රටේ ජාතික මට්ටමේ පරිගනක සාක්ෂරතාවය 32%කි. එය නාගරික වශයෙන් ද 43.5%කි;ගම්වල 30.7%කි;වතුකරයේ 12.1%කි. මේ ගණන් බලා ඇත්තේ අවුරුදු 5-69 අතර පිරිස අතර ගේම් ගහන්නට හෝ පරිඝනයක් හසුරුවා ගැනීමේ හැකියාව අනූව ය. අපි අත ඇති බොහෝ ස්මාර්ට් දුරකථන ඇතුළු උපකරණවලින් වැඩි ම දෙනෙකු ෆේස්බුක් ගොස් සුද්ද සිංහල කෙටීමට හා සකබර්ග්ලා විසින් දී ඇති මූණක්, අතක් ලකුණු කොට දීමට වඩා දෙයක් දන්නේ නැත. බොහෝ වැඩිහිටියන්, විශේෂයෙන් ම ගුරුවරුන් අන්තර්ජාලය සලකන්නේ යක්ෂයෙකු ලෙස ය. පාසල්වල ICT ලැබ් වල හොදම දේ වාරණය කර ඇත. ලෝකයේ sex සම්බන්ධයෙන් වැඩි ම අතෘප්තිමත් පාරිභෝජකයන් සිටින රටක් බවට ලංකාව පත්වන්නේ ඉහත සියල්ලේ අනිවාර්ය ප්‍රතිපලයක් ද ලෙස ය.
ඉතින් දැන් ඉස්කෝල බිල්ඩින් ටික ඇරගන්නට බැරි වූ කල මේ කවුරුත් zoom, meet,team, classroom ආදි අන්තර්ජාල ප්ලැට්ෆෝම් සොයා ගිය හ. අර පසුබිමේ මේ වැඩේ කරන්නට යාම අත්‍යවශ්‍ය හෝම්වර්ක් මග හැර මැද්දෙන් පැනීමකි. මේ වන විට ප්‍රතිඵල ලෙස දරුවන්ගෙන් 60%ක් අධ්‍යාපනයෙන් පිටුවහල් වී ඇතැයි ද, සිලබස්වලින් 5%-10%ට වඩා කවර් කර නැතැයි ද ගුරු සංගම් වලින් පෙන්වා දී ඇත.
පුළුල් අන්තර්ජාල ආවරණයන් ගැන අතේ පත්තු වෙන මාගල් සයිස් බේගල් දෙසා බෑම වෙනුවට ඇත්ත විකල්පයන් දෙසට හැරෙන ලෙස ගුරු සංගම් දැන් බලකරමින් සිටී. අධ්‍යපෙයේ අහිමි වන සම අවස්ථා ගැන මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමේ උද්ඝෝෂණයක් ද ඔවුහු දැන් ආරම්භ කර ඇත.
ආණ්ඩුව අධ්‍යාපනය පමණක් නො ව කිසිදු තීරණාත්මක ප්‍රශ්නයක් ගැන විකල්පයක් නිර්මාණය කරන්නට අසමත් ව සිටී. ඒ රට කරවන ඇත්තන් ගේ දෝෂයක් ම යයි මම නොසාතමි.ඔවුන් සැබැවින් ම අපේ සමාජයේ අන්ත පසුගාමී බලවේගවල මජර කොල්ලකාරි උවමනාවන් නියෝජනය කරමින්, ඒ තුළින් තමන් ගේ ලොකු කුට්ටිය කඩා ගනිමින් පමණක් සිටිති. ඒ මංකොල්ලයත්, හරස් වන්නන් මර්දනයත් යන දෙකට එහායින් මේ සමාජ බලවේගවලට කිසිදු වැඩපිළිවෙලක් ගැන  කල්පනා නො වේ.
ඉතින් දැන් යෝජිත අධ්‍යාපන විකල්ප මොනවාද ?
සියළු ගුරුන්  හා විදුහල්පතින් එන්නත් කර පාසල් විවෘත කිරීමත්, පුරුදු පරිදි වැඩ කර ගෙන යාමත් එක යෝජිත විකල්පයකි. මේ ජුනියේ මැද වන විට එන්නත් කර ඇත්තේ ජනගහනයෙන් 2.81%ක් පමණි. ඒ ද බරපතල ගැටළුකාරී දේශපාලන හා පරිපාලන ඇගිලි ගැසීම් මගින් ඇති කළ විකෘතතා සහිතව ය. අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය ලබා නොදීම මෙන් ම චීන එන්නත් හී ඵලදායිතාවය ගැන ද සැකමුසු චෝදනා එල්ල වෙමින් තිබේ. මේ තත්වයන් තුළ පාසල් ප්‍රජාව එන්නත් කර අවසන් කිරීම අතිශයින් අසාර්ථක විකල්පයක් වනු ඇත.  ඒ හැරත් රජයේ පාසල් 10,012කින් 2644ක වැසිකිලි පහසුකම් නැති, 1627ක ජල පහසුකම් නැති තත්වයක් යටතේ කෝවිඩ් වළක්වාගැනීම සිනා නැති විහිළුවක් පමණක් වනු ඇත.
මේ වන විට වඩා ඉහළින් ඔසවමින් ඇත්තේ රූපවාහිනිය තුළින් සිලබස් කවර් කිරීමේ යෝජනාව ය. ආණ්ඩුවට මෙය ක්‍රියාත්මක කළ හැක්කේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ එකගතාවය මත පමණි. ඕනෑනම් අනෙක් පෞද්ගලික රූපවාහිනි සේවා සමග ද එකගතා ඇති කර ගත හැක. එහෙත් මේ යෝජනාව ඔසවා තබන අය ට එක් අතෙකින් රූපවාහිනි චැනලයක වේලා තීරු වෙන් කිරීමේ කාර්යය ගැන අබ මල් රේනුවක දැනුමක් නැති බවක් පෙනේ. අනිත් අතින් රූපවාහිනි සේවා වුව ද මුළු දිවයින එක ලෙස ආවරණය කරන්නේ නැති බව ද, එසේ කිරීම සදහා අප රටේ භාවිතා කෙරෙන උපකරණ වල සිට තව බොහෝ දේ ප්‍රමාණවත් නොවන බව ද, අති විශේෂයෙන් ම කිසිදු ජනමාධ්‍යයක ක්ෂණික සහ සෘජු ප්‍රතිචාර දැක්වීමේ නොහැකියාව නිසා දුර්වල වන ප්‍රතිපෝෂණ හැකියා ගැටළුව ගැනද ආදි සුවහසක් ගැටළු අවධානයෙන් ගිලිහී ගොස් ඇති බව ද පෙනේ.
එහෙත් මේ යෝජනා ගෙන එන අය අවංක ලෙස ම ඒවා කරනුයේ පවතින විභාග ටික කර ගැනීම ම පමණක් ම සමස්ත අධ්‍යාපනය ලෙස සළකා ය. මේ ප්‍රශ්නය ගැන මුළු සාකච්ඡාව ම කැරකෙමින් ඇත්තේ විභාග කේන්ද්‍රීය මේ අධ්‍යාපන ව්‍යුහය කඩා වැටීම වළක්වන්නේ කෙසේ ද යන්න ගැන ය.
ඇත්ත ම අර්බුදය ඇත්තේ යල් පැන ගිය මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ ය.  දැන් ඉතින් මේ අවසරයෙන්වත් ඊට කුළු ගෙඩි පහරක් දිය යුතු නො වේ ද...?
අවශ්‍ය පහසුකම් සහ නිර්මාණාත්මක නිදහස තහවුරු කරන ලද ගුරු අධ්‍යාපනයක් තිබුණේනම්, ඇත්ත වශයෙන්ම රූපවාහිනී හෝ ඒ තරමටවත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේද අසාර්ථක නො වේ. ඇත්ත ම අසාර්ථකත්වය ඇත්තේ 'අහවල් විභාගයට අහවල් ප්‍රශ්නපත්‍රයේ අසන මේ විදියේ ප්‍රශ්නයට මේ විදියේ පිළිතුරක් දෙන්න' යයි කීමට සීමා වූ අධ්‍යාපන පද්ධතියේ ය; 'ටෝක් සහ චෝක්'  ක්‍රමවේදයේ ය.
මේ තව එක පැයක් වත්‍ පවත්වා ගැනීමට නුසුදුසු ක්‍රමයකි.
වහාම කළ යුතු ව ඇත්තේ මේ අසාර්ථක විභාග පද්ධතිය අහෝසි කර දැමීම ය.
විකල්ප ඇගයුම් ක්‍රමයක් ස්ථාපිත කිරීම හදිසි හා අත්‍යවශ්‍ය වේ. හැකිතාක් ස්වයං අධ්‍යයන ක්‍රම දිරිගැන්විය යුතු ය. ඉන්දියාවේ සෘෂිවැලි සහ ස්ථාන හයක ක්‍රිෂ්ණමුර්ති පදනමෙන් පවත්වා ගෙන යන පාසල්වල ඉගෙන ගන්නා දරුවෝ අවශ්‍යනම් පම‍ණක් ගුරුන් විමසති. තම ශ්‍රේණියට අදාල තත්වය අපැහැදිලිනම් පහළ ශ්‍රේණීන්ගේ සිට අදාල මූලධර්ම ඉහළට ඉගෙනගනිමින් එති. ඇත්තටම නායකත්වය ශිෂ්‍යයන්ට දී ගුරුවරු පසුපසින් සිට පහසුකම් සැපයිය යුතු තත්වයක් නිර්මාණය කර ගත යුතු වෙමු. යල් පැනගිය දිසාපාමොක්ලා ගෙන් අපි වහා වහා ම නිදහස් විය යුතු වෙමු.
අන්තර්ජාල තාක්ෂණය නිසා දරුවන් රෝගී බවට පත් ව ඇතැයි  වෛද්‍ය වාර්තා උපුටා දක්වයි. ඇත්ත ය. ඉතා දිගු කලක්, අකුරු කියවමින්, කුඩා තිර මත ඇස් රදවා ගෙන සිටින්නට බල කිරීම මගින් එය අනිවාර්යයෙන් ම සිදු වනු ඇත. 2017 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අඩු ම වශයෙන් අවුරුදු 17 වන තුරුවත් සිය‍ළුම විභාග අහෝසි කරන ලෙස ආණ්ඩුවට යෝජනා කළේ විභාග පාදක අධ්‍යාපන ක්‍රමය අපේ දරුවන් මානසික- කායික රෝගින් බවට පත් කරමින් ඇති බැවිනි. 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ ආරම්භක පියවර ම, ඒ වැදගත් වෙනසේ මුලපිරුම ම විනාශ කිරිමෙන් එය ද ආපස්සට හරවන ලදී. දැන් සනීප ය ! 
"අපි ප්‍රශ්න අසන්නෙමු.නුඹලා ඒවාට අප කැමති, අප අනුමත කරන පිළිතුරු දිය යුතු වේ. ඒවා එසේ ම දී ඇත්දැයි පරික්ෂා කිරීමට අප විසින් පත් කරන උත්තර පරීක්ෂකවරුන්ට මොඩල් උත්තර අප විසින් දී ඇති අතර ඒවා සමග ඇති ගැලපුම අනූව නුඹලාට ලකුණු හිමි වනු ඇත" යන්න පදනම් කර ගත් අධ්‍යාපන ක්‍රමයක් අපේ දරුවනුත්,අනාගතයත්,ශිෂ්ටාචාරයත් තවදුරටත් විනාශ කරනු ඇත. ඒ ඉදිරියේ බකං නිලා  සිටිනවා ද; නැතහොත් ඊළග පැයේදීම එය  වෙනස් කරනවා ද ? අඩු ම වශයෙන් ආරම්භක පියවර හෝ තැබීමට මේ සුදුසු ම මොහොත නො වේ ද ?
විකල්ප ඇගයුම් ක්‍රමයක මුල් ම පාදම විය යුත්තේ ශිෂ්‍යයා ගේ ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සහ ඊටත් වඩා ප්‍රතිචාර සටහන් කිරීමේ මාධ්‍යය සම්බන්ධයෙන් ඔහු ගේ, ඇයගේ නිදහස පූර්ණ ලෙස පිළිගැනීම ය. මාකින් ස්කීම් අවශ්‍ය නැත. ඔහු ට හෝ ඇයට, අදාල දෙය කොයි තරම් දක්ෂ ලෙස ඒත්තු ගැන්විය හැකිව තිබේ ද යන්න පමණක් ගණනය කළ යුතු ය. පිළිතුරකට මාර්ග බොහෝ තිබිය හැක.බොහෝ විට පිළිතුරු ද එකකට වඩා තිබිය හැක. ඒවා යේ හරි වැරදි ගැන අධිකාරීවාදි මතයක් පටවනු වෙනුවට අවශ්‍ය කරන්නේ අදාල ප්‍රකාශනය කොතෙක් හොදින් සංනිවේදනය කර ඇත් ද යන්න මැදිහත් ව විමසා බැලීමයි. එය අළුත් දැනුම නිෂ්පාදනයේ තෝතැන්නක් වනු ඇත; කුසලතා ගොඩනගනු ඇත;ආකල්ප සහ අධ්‍යාත්මයන් නිදහස් කරනු ඇත.
ඉතින් කෝවිඩ් තුළින් අධ්‍යාපනයේ අර්බුදයක් මතු වී ඇතැයි යන විකාර අදහස අතහරිමු. සිදු ව ඇත්තේ අධ්‍යාපනයේ අර්බුදය ප්‍රකාශ වෙමින් පොලා පැනීම ය. ප්‍රශ්නයේ හරය වන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වහා අහෝසි කරන්නට බල කරමු.

Friday, June 25, 2021

නොකළ වරදට සමාව දීම සහ කළ සාපරාධි වරදට තෑගි දීම



"මා නිදහස ලබා යන්නේ මා අත්අඩංගුවට පත් පරිසරයටම නම් නිදහස ලබන මා නැවතත් කරන්නේ පෙර දිනෙක මා අත්අඩංගුවට පත්වීමට කරන ලද දේ ම ය....එවිට ඔබ මම මෙම ගේට්ටුවෙන් පිටත් ව ගිය වහා ම නැවත අත්අඩංගුවට ගනු ඇත" (නිදහස සොයා ගිය ගමනක්:2 කාණ්ඩය, පිටුව 388-9)
නෙල්සන් මැන්ඩෙලා ගේ මේ ප්‍රකාශය මතක් කෙරෙනුයේ පොසොන් සදට මුවා වී රාජපක්ෂ රෙජීමය විසින් කරන ලද ඊනියා සිරකරු නිදහසේ සිද්ධිය සමග එහි ඇති සෘජු අදාලත්වය නිසා ය. එසේ නිදහස් කරන ලදැයි කියන 93 දෙනෙකු අතර නින්දිත 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත'  යටතේ සිර කොට සිටි 16 දෙනෙක් ද වූහ.
මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention from Terrorism Act)1979 යන්න යුක්තියේ,සාධාරණත්වයේ හා නීතියේ සමානත්මතාවය ආදි ශ්‍රේෂ්ට මූලධර්ම සියල්ල නටඹුන් කරන්නක් වන්නේ ඇයි?  එය සාමාන්‍ය‍ නීතියට පිටින් ක්‍රියාත්මක වන්නකි. එනම් සාමාන්‍ය නීතියේ වලංගුබව අභියෝග කරන්නකි. මේ යටතේ අත්අඩංගුවට පත් වන ඔබ,  18 මසක් පුරා විවෘත අධිකරණයකට ඉදිරිපත් නොකර, නිල රැදවුම් භාරයක් නොවන තැනක රදවා තබා ගත හැක. මුළුමහත් ලෝකයෙන් ම වසන්ගා ගෙන සිටින ඔබ විසින් කරනවා යයි ඔවුන් සදහන් කරන පාපෝච්චාරණයකට මේ කාලය තුළ ඔබගේ අත්සන තබන්නට ඔබට සිදු වෙයි.මොකක්....?ප්‍රතික්ෂේප කළහොත්....ඇගිලිවලින් එල්ලා කරන පහරදීම්, නිය ගැලවීම්, පෙට්‍රල් පිරවූ ෂොපින් බෑග් තුළ හුස්ම ගන්නට බලකිරීම්, ශිෂ්නයට යකඩ කූරු ඇතුළු වධක උපකරණ ඇතුල් කිරීම්, ආදි මෙකී නොකී හිංසක ක්‍රීඩා රැසක් ඔබේ කැමැත්ත පහසුවෙන් දිනා ගැනීමට අසමත් වෙතැයි ඔබට විශ්වාස ද? ඔබ පමණක් නොව ඔබගේ සමීපතමයන් වධබන්ධනයට ලක් කරවා ගැනීමේ, ජීවිතය අවසන් කරවීමේ තර්ජන විහිළු නොවන බව හොදටම තේරුම් ගන්නා ඔබ මේ වෘක රැළ කියන ඕනෑම දෙයක් නොකරනු ඇත් ද?
ඉතින් මෙසේ අත්සන් කරනු ලබන 'පාපෝච්ඡාරණයක්' අධිකරණය හමුවේ ඔබට ම එරෙහි සාක්ෂියක් ලෙස ඉදිරිපත් කෙරේ. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ගැන ඒ නිවස ඉදිරිපිට පිහිඹියා ගසක අත්තක් කපමින් සිටි තමිල් දුගී කුලීකරුවෙකු මෙසේ සිරදඩුවම් විදිමින් සිටියදී නැවත සිය දුගී දරුපවුල කිසිදා නොදැකම ජීවිතය අවසන් කළේ සිරගෙදර ය. ජනාධිපතිනි චන්ද්‍රිකා ඝාතනයට වැරදිකරු කොට අවුරුදු 293ක සිරදඩුවමක් නියම කළ මිනිසා මුල්වරට වව්නියාවෙන් පිටතට පැමිණ ඇත්තේ තමන් අත්අඩංගුවට ගත් පිරිස සමග ය ! මෙසේ  අධිකරණයට ඉදිරිපත් කළ පසු ද විවිධ වර්ගයේ සිරදඩුවම් වල සිට මරණීය දණ්ඩනය දක්වා දඩුවම් ඔබට නියම කිරීමේ අවස්ථා විනිසුරන් සතු ය.
මෙය මුළුමනින් ම යුක්තියේ හා සාධාරණත්වයේ මූලධර්ම සුන්බුන් කරන්නක් බව තේරුම් ගැනීමට වෘකයා ඔබ නිවසේ දොරට තට්ටු කරන මොහොත තෙක් පමා විය යුතුද යන්න සිතා බලන්න.
යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවේ ලංකාව මානව හිමිකම් උල්ලංඝනයන් අඛණ්ඩව සිදු වන රටක් ලෙස බහුතර එකගතාවයකට පත්වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මෙම නින්දිත පනත දිගින් දිගටම ක්‍රියාවේ යොදවමින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බව තහවුරු කිරීම ය. ඒ මගින් යුරෝපා වෙළදපොළේ තෝරාගත් විශේෂ සහන තත්වයන් සදහා ලංකාව නුසුදුසු රාජ්‍යයක් ලෙස 2010 දී ගත්, 2017දී ආපසු හරවන ලද තීන්දුව වෙත ආපසු ගමන් කිරීමක් සිදු වනු ඇත. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් ,යහපත් වෙළදපොළකට හේතු නොවන බව යුරෝපා සංගමය වැනි දියුණු ධනේෂ්වර කේන්ද්‍රයන් විසින් පිළිගනී. එම රාජ්‍යයන් හී විශ්වයීය පුරවැසි චින්තනයකින් යුතු
ශක්තිමත් සිවිල් සමාජයේ බලපෑම ප්‍රධාන හේතුවකි.
ලංකාවේ අපනයන වෙළදපොළ මූලික වශයෙන් යුරෝපය මත රදාපවතින්නකි.

මේ අනූව දෙකොන පූට්ටු වී සිටින රාජපක්ෂ රෙජීමය හිටි අඩියේ ම 'මෙත්මල් පිබිදේවා' ගීත ගායනා කරන්නට කැමරා ඉදිරියේ පෙනී සිටින්නට පටන් ගෙන ඇත. සිය රාජකාරිය අවංක ලෙස ඉටු කිරීමේ වගකීම හේතුවෙන් චෝදනා රහිතව වසර එකහමාරක් තිස්සේ අත්අඩංගුවේ තබා ගෙන සිටින පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසුන්දරට මුල් වරට ඇප හිමි වන්නේත්, අර කී නින්දිත පනත යටතේ සිර කොට සිටි අයගෙන් 16කට 'නිදහස' පිළාගැන්වීමත් පස්ස ගිනි ගත් රෙජීමයේ ගැලවිජ්ජාවන්ට වඩා දෙයකැයි කිව හැක්කේ කාටද !
අවම වශයෙන් ඔවුන් කළ යුතු ව තිබුණේ මේ නින්දිත පනත අහෝසි කරදැමීම ය. එවිට ඒ යටතේ සාපරාධී ලෙස සිර කොට සිටින සියළු දෙනා සාපේක්ෂක හෝ නිදහසක් ලබනු ඇත. ඇත්ත වශයෙන් ම ඔවුන්ට සමාව දීමක් කරන්නට රජයකට අයිතියක් නැත. ඇත්තටම සමාව ගත යුත්තේ රජයයි. දැන් මොවුන් කර ඇත්තේ නොකළ වරදකට ඊනියා සමාවක් දී තමන් ගේ දැහැමි වෙස් මුණු විකට ලෙසින් ප්‍රදර්ශනය කිරීමකි.
ඒ මදිවාට කිරි මූඩියකට ගොම කලයක් හලා ගත්තා සේ  ය; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද සැකයකින් තොරව තහවුරු කරන ලද මරණීය දණ්ඩනය හිමි ව සිටි රාජපක්ෂලාගේ කුප්‍රකට ගජයකු වන දුමින්ද සිල්වා ද මේ පොසොන් නිදහස් ලැයිස්තුවෙන් එළි බැස ඇත. මරණිය දණ්ඩනය හිමි වූවෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී ව්‍යවස්ථාවේ 34(1) උල්ලංඝනය කරමින් ලංකාව අරාජික රාජ්‍යයක් බවට පත් කෙරෙන තත්වයක් ජාතික හා ජාත්‍යන්තර ආයතන ගණනාවක් විසින් පෙන්වා දී තිබේ.
රාජපක්ෂ රෙජීමය විසින් සිය මරිමෝල් අනුචරයන් ද සමග ලංකාවේ එහි අදුරුතම අගාධයෙනුත් පහළට ගෙන යනු ඇත. ඊනියා යුද ජයග්‍රහනයක මිථ්‍යාවෙන් ඇස් නිලංකාර කර ගෙන සිටින මේ තක්කඩි මුග්ධයන්ට ජාතික ප්‍රශ්නය දේශපාලනික ව විසදා, ප්‍රජාතන්ත්‍රීය එක්සත් ලංකාවක් බිහි කළ හැකියයි විශ්වාස කරන්නේ කුමන පදනමකින් ද ?

Tuesday, June 8, 2021

අධිවේගී මුතුඇටේ ගැන අමුතු ඇටේ අමුතු කරුණාව.


 කොළඹ වරාය අද්දරින් ගිනි ජාලාවක් වී ජංජාලයක් වුණ  Express Pearl නැවේ සිද්ධිය මගින් ලංකාවේ සාගරය ට පිරිමැසිය නොහැකි වින්නැහියක් ඵල දී ඇති මොහොතකි; මේ ජුනි 8,ලෝක සාගර දිනයයි. 

Express Pearl හෙවත් 'සීඝ්‍රගාමී මුතුඇටේ'

Express Singapore සමාගමට අයත් නැවකි. එහි අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81 ඇතුළු කන්ටේනර් 1486ක් පටවා තිබී ඇත. 

විනාශය මගින් ද්‍රව්‍යමය වශයෙන් වූ පාඩුව නැවත පියවා ගත හැකි වනු ඇත. එහෙත් සාගර ජෛව පද්ධතියට වූ විනාශය අවුරුදු 20-50ක් තරම් කාලයක් යන තුරුවත් පියවා ගත නොහැක්කක් බව පරිසර විද්‍යාඥයන් විසින් තක්සේරු කෙරේ. 

"අහක යන වින්නැහියක් ගෙදරට කැදවා ගත්තේ මොන මගුලකටදැ"යි ප්‍රශ්න කරන්නෝ වෙති.මේ ප්‍රශ්නය සෑහෙන වලංගු එකෙකැයි මටත් සිතේ.එහෙත් ඒ දෘෂ්ටිකෝණයට මම  එතරම් නොකැමැත්තෙමි. උදව්වක් උපකාරයක් අවැසි ඕනෑ ම මොහොතක ඒ ඉටු කිර්‍රිමේ යහගුණය රාජ්‍යතාන්ත්‍රිකව ද තිබිය යුත්තකැයි මම අදහමි. ප්‍රශ්නය වනුයේ උදව්වක් කිරීමේ හැකියාවක් කොළඹ වරාය හෝ ලංකාව හැටියට තිබුණා ද යන්න ය. 

පෙනී යන හැටියට දැනුවත්වම ඒ හැකියාව ලංකාව සතු නො වේ. ගින්‍න නිවා දැමීම සදහා ලංකාව විසින්‍ මුළින් ම භාවිතා ක‍ළ උපක්‍රම වලට පින් සිදු වන්‍නට ගිනි ජාලා වැඩි වැඩියෙන් පැතිර යන්නට විය. ඒ හැකියාව තිබූ ඉන්දියානු නාවික සහාය ඉල්ලා සිටියේ  අවසාන මොහොතටත් පසුව තවත්‍ ටික වෙලාවකට පසුව ය. ජාත්‍යන්තර top list අනූව ලංකාවේ කොළඹ වරාය 24 වන ස්ථානයේ පිහිටා ඇති අතර ඉන්දීය හොද ම වරාය පිහිටා ඇත්තේ 29 වන ස්ථානයේ ය. වරාය අධිකාරියේ ඉලක්කම් අනූව ජුනි 8 දක්වා 2021 මුල සිට කොළඹ වරායට නැව් 1521ක් පැමිණ තිබේ. ලංකාව ආසන්නයෙන් ගමන් කරන නැව් 3000ක් පමණ වන අතර සාමාන්‍යයෙන් ඉන් 30%ක් පමණ මෙරට වරායට ඇතුල් වෙන බව පැවසේ. එහෙත් මෙරට නාවුක හමුදාව සූදානම් කොට ඇත්තේ තාමත් හූදු මිලිටරි යාන්ත්‍රණයක් ලෙස ය. නිරන්තරයෙන් ම ඇති වන මෙවැනි අනතුරුවලට මුහුණ දීමට සමත් නවීකාරක නාවික බලයක් ගැන සිතීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමකැයි තැති ගන්වන අමන තක්කඩියන් ට ඒ ගරුත්වය හිමි වෙත්වා!

තත්වය එසේයයි හොදින් ම දන්නා අතර ම මේ 'අධිවේගී මුතු ඇටේ' ගිනි ප්‍රශ්නය ලංකාවේ බලධාරීන් විසින් තනියම කරගසන්නට බාර ගැනීමේ වීර වික්‍රමාන්විත අභිලාශය පිටුපස ඇත්ත කුමක් විය හැකි ද ?

2020 ජූලියේ දී මුරුසි දිවයින ආශ්‍රිත වසර දහසකට වඩා ඉපැරණි කොරල් පරයක් හා ගැටීමෙන් ඊට සිදු වූ විනාශයට වන්දි ගෙවීමට නැව් සමාගමට සිදු වූ අතර එම වන්දිය එරට වාර්ෂික දල ජාතික ආදායමට ද වැඩි විය. ලංකාව ද මෙවැනි කුඩා හෝ වන්දි අය කරගැනීමක් මාසයකට පෙර සිදු කළ බව ආරංචි ය.

'අධිවේගී මුතුඇටේ' සම්බන්ධයෙන් 'ඉන්දියන් සයුරේ අමුතු ඇටේ'දැක් වූ කරුණාව අන් කිසිවක් නො ව මේ වන්දි මුදල් වාසනාව ගැන කළ මලපෙරේත කෙල හැලීමක් මිස අන් කිසිවක් නොවන බව දැන් අපට පැහැදිලි ය. තනියෙන් බදා ගෙන කන්නට ගොසින් වෙච්ච අලකලංචිය ගැන හෝ තාමත් රෙජීමයට වගේ වගක් නැත.  

එහෙත් අනෙක් පැත්තෙන් වන්දි ලබා ගැනීම ගැන ද සැක කටයුතු තත්වයක් මතු වී තිබේ. ඒ මේ සම්බන්ධ ජාත්‍යන්තර හැම්බර්ග් සම්මුතිය තවමත් ලංකාණ්ඩුව විසින් අත්සන්‍ තබා නැති බැවිනි. ක්ෂණික සල්ලි කුට්ටි කඩාගන්‍නා අවස්ථා ලෙස මිස ජාත්‍යන්තර සම්මුති මගින් බැදෙන සීලාචාර අන්තර්ජාතික දේශපාලනයක් ද මේ මුග්ධ රට ට අකැප ය. 'අහවල් සම්මුතියට අත්සන් තබා රට අනතුරේ හෙලුවේ අප නොවේ, අන්න අරුන්' යනුවෙන් නැගෙන නර්මාලාප අපට හොදින් හුරුපුරුදු ය. 

සුනාමි ව්‍යවසනය මෙන් ම මේ සිය‍ළු ව්‍යවසන වෙස් වලාගත් ආශිර්වාද බවට පත් කරගන්නා බල හවුලක් ලබන්නට ලංකා දිවයින වාසනාවන්ත වී තිබේ. ඒ කිසිදු විටෙක ඉන් විපතට පත් වූවන් ට ඒ ආසිරි හිමි නො වූ බව අපි අත්‍දකිමින් නොසිටිමු ද ? 

නයිට්‍රික් අම්ල ඇතුළු කාන්දු වූ විෂ රසායන මගින් මසුන් ඇතුළු ජලජ ජීවීන්ගේ පිට කටු, ඇට කටු දිය කර හරිමින් තිබේ; කොරල් පර විනාශ කරමින් තිබේ. ධීවර කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත් මේ අනූව සැලකිය යුතු අභියෝගයකට මුහුණ පානු ඇත. "නැත;.පෑරලිය පෙන්වා වික‍නුවා සේඅපට මේ වින්නැහිය ද සුද්දන්ට විකුණා ගානක් කඩා ගත හැකිය" යනුවෙන් කියන කේවට්ටයකු මතු වුවහොත් ඒ ගැන පුදුම විය  යුතු නො වේ. 

කොරල් පරයක් වූ කලී ජෛව විවිධත්වයෙන් ඉහළ ම පද්ධතියකි. නිදසුනක් ලෙස කොරල් විශේෂ 400කට අධික ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්  පරය, මාළු විශේෂ 1500කටත්, බෙල්ලන් විශේෂ 4000කටත් වාසස්ථාන සපයන අතර කැස්බෑ විශේෂ හතෙන් හයක් ම එහි සිටිති. කොරල් පරයක විනාශය, මේ සියල්ල ම විනාශ මුඛයට ඇද දමයි. අවසාන අර්ථයෙන් මේ ඕනෑම පරිසර පද්ධතියක විනාශය මනුෂ්‍ය අපේ විනාශය සහතික කරන්නකි. අපේ පැවැත්ම, මේ සියල්ලේ එකතුවකින් රදා පවතින්නකි. 

එහෙත් ඔක්සිජන් කන්නදැයි අසන රෙජීමයක් මේ කිසිවක් ගැඹුරින් අවබෝධ කර ගනී ද ? එහි මූලික ආර්ථික මූලෝපාය බවට පත් ව ඇත්තේ වින්නැහි ලාබ ය ! ඒ ලාබ අත්පත් කරගන්නට රොද බැද සිටින ඉහළ සිට පහළ දක්වා හරස් තීරුවක් දැන් මේ දිවයිනේ නිර්මාණය වී තිබේ. ඒ උන්දැලා අපත් ඇද ගෙන විනාශයෙන් විනාශය කරා තවත් ඉදිරියට යනු ඇත. ඒ ගැන පාලක පුටු හොබවන්නන්ට පමණක් දොස් කියා අපේ අත් සෝදාගැනීමට ඉතිහාසය අපට අවසර නොදෙනු ඇත.