Saturday, March 2, 2024

අපි Vs අපි


 පෙර කතාව:

අපි ජීවත් වෙන්නේ සමූහයක් හැටියට. මේ නිසා තනි පුද්ගලයෙකුගේ නිදහස සමූහය එක්ක බැඳුණු එකක්. 
දැන් මම මෙහෙම එකක් ලියන්නෙම, එතැනින් නතර නොවී මේක මේ වගේ අවකාශයක බෙදන්නෙම ඔයාට කියවන්න. ඒක වීඩියෝ ක්ලිප් එකක් ගැන, හඬපටයක් ගැන, පින්තූරයක් ගැන, ඔය ඕනම දෙයක් ගැන අදාල කතාවක්. මේක ඔයාගේ ඇහැ-කණ ගැටුන ගමන් ඔයාට යම් දෙයක් වෙනවා. එක්කෝ සතුටක් ⁣ඇති වේවි. නැත්නම් යකා නගින්නත් පුළුවන්. ඇඬෙන්න, උගුර කට පිච්චිල යන තරම් දුක හිතෙන්න පුළුවන්. බිම පෙරලි පෙරලී හිනායන්න පුළුවන්. ඒ එක්ක ඔයා තව අය එක්ක මේකට අදාලව ප්‍රතිචාර දක්වනවා. එතකොට තව තව අයට බලපානවා.
මට ඕන දෙයක් මට කියතෑකි. කට මගේ. මට ඕන දෙයක් මට අහතෑකි; කණ මගේ. ඒක මගේ අයිතිය සහ නිදහස. ඉතින් මට ඕන දෙයක්, ඔයා ගැන වුණත්, ඔයාගේ අහවලා ගැන වුණත්, වෙන කවුරු හරි ගැන වුණත් මට ඕන දෙයක් කියතෑකි.
මේ තරමට යද්දී මේ 'නිදහස' ඇතුළේ ඔයාගෙත් නිදහස තියාගන්න එක ගැන ප්‍රශ්නයක් වගේ දැනෙනව ද ? ඒක පුදුමයට හේතුවක් නෙවෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් තමයි.
ඔන්න ඕකයි එක්කෙනෙකුගේ නිදහස තව කෙනෙකුගේ නිදහස එක්ක එකට බැඳිල තියෙන්නේ කියල අපට තේරුම් ගන්න වෙන්නේ.

සන්නිවේදනයට අපි අතර වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ ජනමාධ්‍යයයයි, සමාජ මාධ්‍යයි.  එතැනිනුත් සමාජ මාධ්‍යයන් ගත්තාම අපි හැමෝම වගේ අපේ ම කියල මාධ්‍ය ආයතනයක් අයිතියේ තියන්, මෙහෙයවීම කරන අය බවට පත් වෙලා තියෙනවා.
මේ නිදහස සහ ඉඩකඩ අපි එකිනෙකා පාවිච්චි කරන්නේ එක එක විදියට.

ඉතින් අපේ නිදහස ඇත්තටම රැකෙන්නනම් අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙන විදියට විදි යොදාගන්න වෙනවා. ඒ වගේ ම එහෙම පාලනයක මුවාවෙන් නිදහස උදුරගන්නත් අනතුරක් තියෙනවා.

ලෝකයේ තවත් රටවල වගේ ලංකාවටත් සමාජ මාධ්‍ය නියාමන පනතක් ඕන කරන්නේ ඒකටයි.
දැන් ප්‍රශ්නය ලංකාවේ ඉතාම දිගුකාලෙකට පස්සේ වුණත් කඩිමුඩියේ සම්මත වුණ පනත ඒ ඕනකමට කොයි තරම් ගැලපෙනවද කියන එක.

පනත යෝජනා කරපු පොලිස් ඇමති ටිරාන් අලස් කියනවා, 2023 අවුරුද්දේ විතරක් සමාජ මාධ්‍ය ජාලාවලට සම්බන්ධ පැමිණිලි 8000ක් කියල. ලිංගික හිරිහැර ගැන 669යි. නිරුවත් පින්තූර ගැන 506යි. ඒත් විපක්ෂය කියන්නේ මේ පනතේ වගන්ති 57කින් 55ක් ම සමාජ ආරක්ෂාවට අදාල නොවෙන බවයි.
පනත දේශීය වගේ ම ජාත්‍යන්තරවත් පුළුල් විරොධතා මැද පාර්ලිමේන්තුව තුළ සම්මත වුණා. ඒත් ආයෙමත් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කෙරිල තියෙනවා වගන්ති 57න් 47ක් ම සංශෝධනය කිරීම සම්බන්ධයෙන්.



වර්තමාන කතාව:
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online safety Act)  පාර්ලිමේන්තුවේ සම්මත වුණා.
ඒ සම්මත වූ බවට කතානායක අත්සන යෙදුනා.

⁣ පාර්ලිමේන්තු මංත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුණ පනත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතකා කරපු එකක් කියන චෝදනාව කතානායකට සහ නීතිපතිට ඉදිරිපත් කෙරුනා.
ඒත්, දින තුනකට කළින්, පෙබරවාරි 29දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම නිශ්ප්‍රබා කළා.

ඒකට හේතුව තමයි ලංකාවේ අධිකරණ සමාලෝචන බලය(Power of Judicial Review) කියන එක නැහැ. ඒ බලය සන්ධීය ආකෘතිය (Federal)  ඇතුළේ අනිවාරනීය වුණත් ඒකීය රාජ්‍ය ආකෘති ඇතුලේ වැඩිපුර වෙන්න ඉඩ ඇත්තේ නැති වෙන්නයි. ගොඩක් වෙලාවට ඒකීය රාජ්‍ය ආකෘතිය ඇතුලේ ව්‍යවස්ථාදායකයට හෝ පාලනයේ මධ්‍ය කේන්ද්‍රයට බලයේ වැඩි බරක් ලැබෙන නිසා අධිකරණයට ඊට ඉහළින් කොයි අවස්ථාවකවත් පවතින්න අමාරුයි. ලංකාවෙත් මේ තත්වය ඇතුළේ සම්මත කරපු පනතක් ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ.

පරම බලය තියෙන්නේ ජනතාවට. පුදුමෙන් කටඇරන් බලන් ඉන්න ඕන නෑ. ඔව්; ඒ කියන්නේ මේ අපි 'ජනතාව' තමයි ලු. ඉතින් අපි තෝරල යවපු අපේ නියෝජිතයන් හැටියට ව්‍යවස්ථාදායකයට පරම බලය මාරු වෙනවා. එතැන බහුතරයේ බලයට කාටත් යටත් වෙන්න වෙනවා. ඒක තමයි ඒකීය රාජ්‍ය ආකෘතිය.

දැන් වෙන විදියකින් අර්බුදයක් මතු වෙලා තියෙනවා.
යම් නීතියක් එහෙම සම්මත වෙන්න කලින් කෝකටත් මහජනතාවට පුළුවන්කමක් ලැබෙනවා  ඒක රටේ මූලික නීතිය, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණය ලවා පරීක්ෂා කරවගන්න. එහෙම වෙලාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයට දන්වල එවනවා තමන්ගේ නිර්දේශ. ඊටපස්සේ වෙන්න ඕන දේ තමයි ඒ නිර්දේශ අනූව අදාල සම්මත කිරීමේ ක්‍රියාවලිය යන එක.

හැබැයි මේවා පැත්තකට දාලා,  පාර්ලිමේන්තුව ඒක සම්මත කළොත්, ඒ ගැන කාටවත් ම කරන්න දෙයක් නැති වෙනවා.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ,තව විදියකින් කීවොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන විදියෙ පනතක් නීතියක් බවට පත්වෙන තත්වයක් මැද මෙතැන වෙලා තියෙන්නෙත් ඒකයි කියලා කෙනෙක් දකින්න පුළුවන්.

එහෙමනම් මේ තත්වය එක වාක්‍යයකින් මෙහෙම කියන්න පුළුවන්;
"අපි වෙනුවෙන් අපි සමග අපට එරෙහිව අපි"




No comments:

Post a Comment